එක්සත් ජනපද හා අධිරාජ්‍යවාදී සහචරයෝ සිරියාවට එරෙහිව ප‍්‍රහාර දියත් කරති

US and imperialist allies launch strikes against Syria

2018 අප්‍රේල් 14

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ඇමරිකානු, ප‍්‍රන්ස හා බ්‍රිතාන්‍ය හමුදා 13දා රාත‍්‍රියේ සිරියාවට එරෙහිව එල්ල කල ප‍්‍රහාර හෙලා දකියි. එම ප‍්‍රහාරය නින්දිත මෙන්ම නීති විරෝධීය. ජනාධිපති ඩෙනල්ඩ් ට‍්‍රම්ප්ගේ ආන්ඩුව, ප‍්‍රන්ස ජනාධිපති එමෑනුවෙල් මැක්‍රෝන් හා බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ යන සියල්ලන්ම යුද අපරාධයකට වරදකරුවන්ය. මෙය න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග ගැටුමක් ඇවිලවීමට තර්ජනය කරයි.

සිරියාවට එල්ල කල ප‍්‍රහාරයට නිමිත්ත වූයේ, එරට ජනාධිපති බෂර් අල් අසාද්ගේ මිලිටරිය, ඩූමා නගරය තුල ක‍්‍රියාත්මක වන ඇමරිකාවේ සහාය ලබන කැරලිකාර මිලිෂියාවන්ට එරෙහිව තහනම් රසායනික අවි යොදාගත් බවට වන සනාථ නොකල චෝදනාවන්ය. ප‍්‍රධානකොටම ඉස්ලාම්වාදී මිලිෂියාවන්ට එරෙහිව ගෙන යන සත් අවුරුදු සිවිල් යුද්ධයේදී, අසාද්ගේ ආන්ඩුවට සහාය පිනිස සැලකිය යුතු මිලිටරි බලයක් යොදවා ඇති රුසියාව, ඇමරිකාවේ හා එහි සහචරයින්ගේ ප‍්‍රචාර තරයේ ප‍්‍රතික්ෂේප කර ඇත. ව්‍යාජ රසායනික අවි ප‍්‍රහාරයකට ගොදුරුවූවන් දැක්වෙන වීඩියෝ පටයක් නිර්මානය කරන ලෙස කැරලි සංවිධාන වලට බලකරමින් සිටි බවට රුසියාව, බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවන්ට ප‍්‍රසිද්ධියේ චෝදනා කර ඇත.

රසායනික අවි තහනම් කිරීම සඳහා වන පෙනී යන ස්වාධීන සංවිධානයක කන්ඩායමක්, චෝදනාවන්ට ලක්ව ඇති ස්ථානය පරීක්ෂා කිරීම පිනිස ඩූමා වෙත පැමිනීමට නියමිතව තිබුනි. සිරියාවට කුමන හෝ ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා මුලුමනින්ම ගොතන ලද කඩතුරාවක් බව එම සංවිධානය විසින් කරනු ලබන පරීක්ෂනයකදී තහවුරු කිරීම පූර්ව භංග කිරීමට ගනන් බලා කරන ලද්දකි, ප‍්‍රහාර එල්ල කිරීමට ට‍්‍රම්ප් දුන් නියෝගය.

ප‍්‍රහාරයේ ව්‍යාජ පදනම, ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයෙන් මඳකට පසුව ඔහුගේ ආරක්ෂක ලේකම් ජෙනරාල් ජිම් මැටිස් විසින් පවත්වන ලද කෙටි මාධ්‍ය හමුවේදී හෙලිදරව් විය. ඇමරිකානු චෝදනා පිලිබඳ කිසිදු පිලිගත හැකි විස්තරයක් ඉදිරිපත් කිරීමට මැටිස් අසමත් විය. තව ද සිරියාවට එරෙහි දිගට ගෙන යන ව්‍යාපාරයක් පිලිබඳව ට‍්‍රම්ප් කරන දිව්රුම ට පටහැනි ලෙස ජෙනරාල් ඇඟවුම් කලේ, දැනටමත් එල්ල කර ඇති මිසයිල් ප‍්‍රහාරයන්ට අමතරව කිසිදු ක‍්‍රියාවක් සිදු නොවනු ඇති බවයි.

ප‍්‍රශ්නය මෙය නම්, ට‍්‍රම්ප් නියෝග කල ප‍්‍රහාරය, ඇමරිකානු දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයෙන් කෙරෙන ඉල්ලීම් වලට වඩා බොහෝ අඩු මට්ටමේ දෙයක් වන්නේය.

අසාද්ට එරෙහිව නැගෙන දෝෂාරෝපන දෙස බලන විට, මිලිටරි ප‍්‍රහාර සඳහා උපදෙස් දෙන්නන්, සිරියානු ජනාධිපති ඝාතනය කිරීමේ ව්‍යායාමයක්, කුමන හෝ ප‍්‍රහාරයක තිබිය යුතු යයි අපේක්ෂා කරන බව නිසැකය.

ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී පාලක පන්තියේ විශාල කොටසකට අවශ්‍යව ඇති, සිරියාවට එරෙහිව මුදාහැරිය යුතු ප‍්‍රචන්ඩත්වයේ සාපරාධී ස්වභාවය පිලිබඳ ඇඟවුමක්, ඩි වෙල්ට් නම් ජර්මානු සඟරාවක් විසින් ලබාදී ඇත. එහි මෙසේ සඳහන්වේ: “අසාද්ට එරෙහි යුද්ධය මෙහෙයවිය යුත්තේ එක් අරමුනකිනි...අසාද් තන්ත‍්‍රය මිසයිල් ප‍්‍රහාරයකින් සමූලඝාතනය (auslöschen) කල හැකි ද?” සිරියානු ජනාධිපති හැඳින්වීමට එම ජර්මානු වචනය යොදාගැනීමෙන් ජර්මානු සඟරාව එක්වන්නේ, නාසින් යටතේ යුදෙව්වන් සමූලඝාතනය කිරීමට යොදාගත් වචනය සමගය. එනම් හිට්ලර්ගේ Völkischer Beobachter තුල පමනක් පැවතිය හැකි භාෂාව යොදාගන්නා බවයි.

එහෙත් අසාද් ආන්ඩුව විනාශ කිරීම කෙසේ වෙතත් සිරියාවට එරෙහි ප‍්‍රහාරයෙන් වී ඇත්තේ අවම බලපෑමක් පමනක් බව පෙනී යයි. රුසියානු මිලිටරිය කයිවාරු ගැසුවේ, රට තුලට එල්ල කල මිසයිල වලින් බොහොමයක් සිරියාවේ ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් වෙඩිතබා බිම හෙලන ලද බවයි. තමන්ගේ මිනිසුන්ට හෝ තම දේපොල වලට කිසිදු හානියක් සිදුව නැති බවයි. ජනාධිපති 14දා උදේ සිය කාර්යාලය වෙත ඇවිද ගිය බවයි.

මේ අවස්ථාවේදී ප‍්‍රහාරය පෙන්නුම් කලේ, සිරියාව තුල තන්ත‍්‍ර මාරුවක් සඳහා වන ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රනය මුහුනපා ඇති ව්‍යසනකාරී තත්වයයි. පල්ලම් බැස පුටින්ට යටත්වී ඇති බවට ඇමරිකාවේ දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය ට‍්‍රම්ප්ට චෝදනා එල්ල කරනු වැඩි ඈතක නොවේ. වඩාත් පුලුල් හා බිහිසුනු ක‍්‍රියාන්විතයන් සඳහා අනිවාර්යෙන්ම ඉල්ලීම් කෙරෙනු ඇත.

සිරියාවට පහර දීම යුක්ති සහගත කරන ප‍්‍රචාරන ව්‍යාපාරය ගොතන ලද්දේ දැවැන්ත මිලිටරි ප‍්‍රහාරයකට මිස මිසයිල් ප‍්‍රහාර සඳහා කඩතුරාවක් ලෙස නොවේ.

සිරියානු ආන්ඩුව පෙරලා දැමීමට සටන් වැද සිටින සිය ඉස්ලාම්වාදී කුලී හමුදාවන්ට අත්ව ඇති නින්දිත පරාජයේ වාතාවරනය තුල, උත්සන්නියක් සඳහා තීරනය වොෂින්ටනය හා ලන්ඩනය තුල ගනු ලැබ ඇත. කඩතුරාවක් නිර්මානය කිරීමේ කාර්යය සීඅයිඒ, එම්16 හා ඔවුන්ගේ සිරියානු ඒජන්තයන්ට පවරනු ලැබින.

බටහිර මාධ්‍ය විසින් ඒකමතිකව කියා සිටියේ, අප්‍රේල් 7දා ඩුමාවේ ඇතිවූ සිද්ධිය, අසාද් ආන්ඩුව විසින් සිවිල් වැසියන්ට එල්ල කරනු ලැබූ රසායනික අවි ප‍්‍රහාරයක් බවය. එහෙත් ඒ පිලිබඳව මේතාක් දුරට ඉදිරිපත් කර තිබෙන පිලිගත හැකි හා තර්කාන්විත තොරතුරු ගෙනහැර දක්වා ඇත්තේ, 13දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසිනි.

“මෙය තවත් අටවන ලද ප‍්‍රහාරයක් බවට අප සතුව නොවරදින සාක්ෂි ඇත. රුසියානු උමතුවක් ගොඩනැගීමේ ව්‍යාපාරය එය සිදුකිරීමට පෙරමුන ගත් විශේෂ රාජ්‍ය සේවය ලෙස ක‍්‍රියා කර ඇත” යයි රුසියානු විදේශ ඇමති සර්ගේ ලැව්රොව් පැවසීය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පුද්ගලයින් දෙදෙනෙකු සමග කල සම්මුඛ සාකච්ඡාවක් දර්ශනය කලේය. එක් අයෙක් ඩුමාවේ ක‍්‍රියාත්මකව ඇති එකම රෝහලේ වෛද්‍ය ශිෂ්‍යයෙකි. ගොඩනැගිල්ලකට සිරියානු හමුදාවේ කාලතුවක්කු ප‍්‍රහාරයක් එල්ල වීමෙන් පසුව දුම් ආශ්වාස කිරීමෙන් පීඩාවට පත් පුද්ගලයින්ට රෝහලේදී ප‍්‍රතිකාර ලබාදෙමින් සිටි බව ඔවුහු පැවසූහ. ඒ අවස්ථාවේ නොහඳුනන පුද්ලයින් රෝහලට කඩා වැදී රසායනික අවි ප‍්‍රහාරයක් එල්ලවී ඇතැයි කෑගසන්නට විය. පසුව දැනගන්නට ලැබුනේ ඔවුන් සීඅයිඒ සහාය ලබන “සුදු හෙල්මට්” නම් සිරියානු කැරලිකරුවන් බවයි. පීඩාවට පත්ව සිටි අයට ජලයෙන් මුහුනු තෙමාගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටි අතර ඉන්පසුව ඒවා රූගත කලේය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝ කොනෂෙන්කෝ මෙසේ පැවසීය: “අප්‍රේල් 3-6 අතර දිනවලදී ඊනියා සුදු හෙල්මට්වරුන්ට තමන් සූදානම් කරමින් සිටින ප‍්‍රකෝපකරනය වේගවත් කරන ලෙස ලන්ඩනය විසින් දැඩි ලෙස බලකරනු ලැබූ බව අපි නිශ්චිතවම දන්නෙමු.”

ආර්ටී මාධ්‍ය වාර්තා කලේ: “කොනෂෙන්කෝට අනුව, ගොතන ලද රසායනික ප‍්‍රහාරයේ ඡායාරූප හා පටිගත කිරීම් වලට මුල්වූ කන්ඩායමට, එවක ඩුමාවේ පාලනය ගෙන ගිය ඉස්ලාමීය කන්ඩායම වන ඉස්ලාම් හමුදාව ඩැමස්කසයට දැවැන්ත කාලතුවක්කු ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බව දන්වා තිබුනි. සුදු හෙල්මට්කරුවන්ට නියෝග ලැබී තිබුනේ සිරියානු ආන්ඩුවේ හමුදා ඊට ෂෙල් වෙඩි මගින් ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසුව ප‍්‍රකෝපකරනය සූදානම් කරන ලෙසයි.”

රුසියානු ප‍්‍රකාශ එක එල්ලේ ප‍්‍රතික්ෂේප කරන ලද වොෂින්ටනය වේවා ලන්ඩනය වේවා, කරුනු වශයෙන් ඒවා නිෂ්ප‍්‍රභා කිරීමට කිසිදු උත්සාහයක් දැරුවේ නැත. වීඩියෝ සාක්ෂි ද සමග රුසියානු ආන්ඩුවේ දැඩි ප‍්‍රකාශයන්ට පටහැනි ලෙසින් තෙරේසා මේ පැවසුවේ, සිරියාව ප‍්‍රහාරය සිදුකරන්නට “බොහෝ ඉඩ කඩ” ඇති බවයි. ඇමරිකාව තවමත් “නිශ්චිත සාක්ෂි සොයමින්” සිටින බවට ආරක්ෂක ලේකම් මැටිස් කල ප‍්‍රකාශයන්ට පවා වැඩියෙන් අගමැති මේගේ ප‍්‍රකාශ නිශ්චිත විය.

සිරියානු ප‍්‍රහාරයට මූලිකවූ ඇමරිකාව හා එහි සහචරයින් පෙන්නුම් කර ඇත්තේ, යුද්ධය සඳහා නාමික හේතු අවශ්‍ය නොවන බවයි. ඔවුන්ගේ කඩාවැදීම් දුවවන්නේ, ඒවා යුක්තිසහගත කිරීමට ගොතන බොරු වලට වඩා ගැඹුරු හේතු මගිනි.

සිදුවෙමින් තිබෙන දේ, ලෙනින් හා ට්‍රොට්ස්කි යන 20 වන සියවසේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් විසින් ගෙනහැර දැක්වූ අධිරාජ්‍යවාදය පිලිබඳ විශ්ලේෂනයන්ට අනුකූලය. ලෝක අධිරාජ්‍යවාදය ලෝකය අලුතෙන් යලි බෙදීමට පැනගෙන සිටිති. බි‍්‍රතාන්‍යයට හා ප‍්‍රන්සයට, මැද පෙරදිග අලුතෙන් කපා වෙන්කර ගැනීමේ පූර්න හවුල්කරුවන් වීමේ අවශ්‍යතාව පවතී. එනම්, තම තෙල් සමාගම් කොල්ලයෙන් බැහැරකර නොතැබීමට වගබලා ගැනීමය.

මෙම නව කඩාවැදීමට හවුල්ව සිටින සියලු ආන්ඩු අර්බුදයෙන් දෙදරුම්කා ඇති අතර කිසිදු ව්‍යවස්ථාපිත නීතියුක්ත භාවයකින් තොරය. ඔවුන් හා ඔවුන්ගේ ජනතාව අතර පවතින දැවැන්ත වෙනස, යුද්ධය සඳහා කිසිදු පුලුල් ජනතා පදනමක් නිර්මානය කර ගැනීමට ඔවුන් කිසිවෙකුත් සමත්ව නැතිකම පිලිබඳ කාරනයෙන් ප‍්‍රකාශිතය. එක් යූගව් මත විමසුමකට අනුව සිරියාවට එරෙහි මිලිටරි ප‍්‍රහාරයකට සහාය දක්වන්නේ බ්‍රිතාන්‍ය ජනගහනයෙන් සියයට 22ක් පමනි.

තව ද ලන්ඩනයේ, පැරිසියේ හා වොෂින්ටනයේ ප‍්‍රමුඛ නව මිලිටරි ව්‍යාපාරයක් දියත්ව තිබීමේ අර්ථය වන්නේ, නැගී එන මහජන විරුද්ධත්වය හා කම්කරු පන්තියේ වැඩවර්ජන රැල්ල හමුවේ තම අර්බුද ග‍්‍රස්ත ආන්ඩු නගා සිටුවීමේ මහා වාරනය ද ඇතුලු පොලිස්-මිලිටරි පාලනයකි.

මෙම නව ගැටුම සිරියාවට එරෙහි ප‍්‍රහාරයකින් නතර නොවනු ඇත. ඒ යුද්ධය පුලුල් වීම ඉරාකය ආක‍්‍රමනයෙන් නතර නොවුනාක් මෙනි. ඉරානය, රුසියාව හා අවසානයේදී චීනය සමග ගැටුමට වේදිකාව සැකසෙමින් ඇත. අධිරාජ්‍යවාදී පිලිවෙත එන්ට එන්ටම ඉවබව නැති හා උමතු තත්වයක් අත්කරගනිමින් තිබේ.

යුද්ධයට කිසිදු සංවිධිත ප‍්‍රතිරෝධයක් නොමැතිකම මත මේතාක් දුරට පාලක පන්තියට වාරුවී සිටීමට හැකිවී තිබේ. එහෙත් යුද විරෝධී ජනතා මනෝ භාවයන් අනිවාර්යයෙන්ම ක‍්‍රියාශීලීව එලිබසිනු ඇති අතර එය කප්පාදුවට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වැනසීමට එරෙහිව නැගී එන ව්‍යාපාරය සමග සම්පාත වනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කතෘ මන්ඩලය

Share this article: