තුන්වැනි ලෝක යුද්ධයක් එපා! සමාජවාදී යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා!

No to World War III! For the building of a socialist anti-war movement!

2018 අප්‍රේල් 17

එක්සත් ජනපදය හා නැටෝව සිරියාවේ දමස්කස් හා හොම්ස් නගර කරා මිසයිල 100 කට අධික සංඛ්‍යාවක් මුදා හල තැන් පටන් ගත වූ දින ගනන තුල කොතෙකුත් පැහැදිලි වී ඇත්තේ එම නවතම ලේ වැගිරීමෙන් අධිරාජ්‍යවාදී බලවතුන් තෘප්ත නොවන බවයි. එම ප‍්‍රහාරවලින් පැය ගනනක් ඇතුලත, සිරියාවේ රාජ්‍ය පෙරලියක් සඳහා යුද්ධය තව දුරටත් උත්සන්න කල යුතුයැයි ඉල්ලා සිටිමින් එජ හා යුරෝපීය පුවත්පත් විසින් කතුවැකි පොම්ප කිරීම ආරම්භ කෙරී ඇත.

පාලක ප‍්‍රභූවේ අලුතෙන් පත් කරන ලද එජ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් සමග සමීපව පෙල ගැසී සිටින කොටස් වෙනුවෙන් කථා කරමින් වෝල් ස්ට්‍රීට් ජර්නලය මෙසේ නිවේදනය කලේය: “එක් බෝම්බ ප‍්‍රහාරයකින් සිරියානු යුද බිමේ මූලික තතු හෝ රුසියා - ඉරාන - අසාද් අක්ෂය ජය ගනිමින් සිටින්නේය යන මූලෝපායික යථාර්ථය හෝ වෙනස් වන්නේ නැත.”

“ඉදින් රුසියානු හා ඉරාන අධිරාජ්‍යවාදයන්ටත් අවහිර කිරීමට ට‍්‍රම්ප් මහතාට අවශ්‍ය නම් ...... ඔහුට වඩාත් අභිලාෂවත් මූලෝපායයක් අවශ්‍යය.” එය වැඩිදුරටත් පවසයි. “ඊලඟ වතාවේ ප‍්‍රහාරය මීට වඩා දන්ඩනීය විය යුතුය.”

ජර්නලය එය අවසන් කරන්නේ මෙසේය: එක්සත් ජනපදයට එම කලාපය තුල සිය අරමුනු ඉෂ්ට කර ගැනීමට හැකිවනු ඇත්තේ, “සිරියාව තුල රුසියාවට හා ඉරානයට වඩාත් වැඩි මිලක් ගෙවන්නට සිදු වූ කල්හි පමනෙකි.”

මෙවැනි ප‍්‍රකාශයන්හි ඇඟවීම් සුපැහැදිලිය: ඉරාන හා රුසියානු හමුදා සමග මුහුනටමුහුන වෙඩි හුවමාරු කරගන්නා යුද්ධයක් කරා මග පෑදිය හැකි පූර්න පරිමාන යුද ප‍්‍රහාරයක් වෙනුවට ආක‍්‍රමනික වැටලීම් දියත් කිරීමට, හුදු උපායාත්මක හේතු මත, එක්සත් ජනපදය කටයුතු කොට ඇතත් එවැනි පූර්න පරිමාන ප්‍රහාරයකට එලැඹීම හුදු කාලය පිලිබඳ ප‍්‍රශ්නයක් පමනක් වනු ඇත. එවැනි ගැටුමක් මානව වර්ගයා කෙරේ අතිශය ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක දනවනු ඇතැයි යන කරුන, එය දියත් කිරීමෙහි ලා අධිරාජ්‍යවාදී බලවතුන්ට අවහිරයක් නොවනු ඇත.

ජර්නලයේ “කලාපීය ආධිපත්‍යය” පිලිබඳ දෙඩුම් හා “සිරියාව අයතොල්ලාගේ වියට්නාමය බවට හරවන” ලෙස කෙරෙන ඉල්ලීම් අතරේ, නවතම එජ ප‍්‍රහාරය සාධාරනීකරනය කිරීම සඳහා යොදා ගැනුනු රැවටිල්ලේ දුහුල් ආවරනය; එනම්, අප්‍රේල් 7 වන දින සිරියානු ආන්ඩුව විසින් ඩෝමා තුල රසායනික අවි භාවිතා කොට පහර දෙන ලද බවට වන චෝදනාව; අතුරුදහන් වී ඇත.

ප‍්‍රහාර යුක්තියුක්ත කිරීම සඳහා කෙරෙන ප‍්‍රචාරවලින් ප‍්‍රදර්ශනය කෙරෙන්නේ සත්‍යයට මෙන්ම මහජනයාගේ බුද්ධියට ද කෙරෙන නිග‍්‍රහයකි. අවුරුදු විසි පහක් පුරා පැවැති නොනිමි යුද්ධයකින් පසු, දුබල රටවලට එරෙහි සිය සැලසුම් මිනිස් වර්ගයාගේ විමුක්තිය සඳහා සිදු කෙරෙන ශුද්ධ යුද මෙහෙයුම් ලෙස කැටයම් කිරීම සඳහා අධිරාජ්‍යවාදීන් විසින් භාවිතා කරනු ලබන වියරු හා කුහක චෝදනා දශලක්ෂ සංඛ්‍යාත ජනයාට බොහෝ දුරට හුරුපුරුදුය.

වොෂින්ටනය, ලන්ඩනය, පැරීසිය හා බර්ලිනය කටයුතු කරන්නේ, “සමූහ නාශක අවි” පිලිබඳ බුෂ් පාලනයේ මුසාවන් හෝ, ලිබියාව බිමට සමතලා කරමින් මුවම්මර් ගඩාෆි ඝාතනය කිරීම සඳහා ඔබාමා ගෙන ආ මානුෂිකවාදී බොරු හේතුවල කඩමාලු ආවරන පිලිබඳව කිසිවෙකුටත් මතක නැති සේය.

උපන්ගෙයි ම වැරහැලි වූ මෙම මුසාවාද පසුපසින් වඩාත් ගැඹුරු හේතු ප‍්‍රත්‍ය පවතී. සිරියානු අර්බුදයට ප‍්‍රතිචාර දක්වමින්, ජර්මානු රජයේ ඉහල පෙලේ නිලධාරීන්ගේ අත්සනින් යුතුව වයිස්සැසකර් පදනම විසින් නිකුත් කෙරුනු ප‍්‍රකාශයක් මෙසේ කියා සිටී: “පලමුවන ලෝක යුද්ධයට මං පෑදූ ව්‍යූහාත්මක හේතු කිසිවක් ඇත්තෙන්ම අභිභවනය කරනු ලැබ නැත.”

මේ කියන “ව්‍යූහාත්මක හේතු” මොනවා ද? ඒවා, 20 වන සියවසේ විශිෂ්ඨ මාක්ස්වාදීන් විසින් හඳුනාගන්නා ලද්දා වූ, ධනේශ්වර පර්යායේ ගැබ්ව ඇති මූලික ප‍්‍රතිවිරෝධයන්ය: එනම්, ජාතික රාජ්‍යය හා ලෝක ආර්ථිකය අතර ගැටුමෙන් පැන නැගෙන, සිය ආනුභාවයේ නිම්වලලු පුලුල් කිරීම සඳහා ද, ලෝක ගෝලය බෙදා ගැනීම සඳහා ද අධිරාජ්යවාදී බලවතුන් අතර පවතින නිර්දය ගැටුම්ය.

වසර සියයකට යන්තමින් වැඩි කාලයකට ඉහත ලියන ලද සිය සංධිස්ථානයික නිබන්ධය වන අධිරාජ්‍යවාදය තුල රුසියානු විප්ලවවාදී ව්ලැඩිමීර් ලෙනින් මෙසේ ලිවීය: “ධනේශ්වර ක‍්‍රමය යටතේ, ආනුභාවයේ නිම්වලලු, උත්සුකයන්, යටත්විජිත ආදිය බෙදාගැනීම සඳහා ඇති, සිතා ගත හැකි එකම ක‍්‍රමය වන්නේ ඊට සහභාගී වන්නන්ගේ ශක්තිය”; එනම්, අවසානයේ යුදමය ගැටුමක් තුලින් නිර්නය කෙරෙන, “ඒවායේ පොදු ආර්ථික, මූල්‍ය හා මිලිටරි ශක්තිය පිලිබඳ ගනනය පමනෙකි.” ලෙනින් වැඩිදුරටත් සටහන් කලේ, “සාමකාමී සන්ධාන යුද්ධ සඳහා භූමිය සූදානම් කරන” අතර, “ඒවා සිය වාරය එලැඹි කල යුද්ධ ලෙස වැඩී එන” බවයි.

අධිරාජ්‍යවාදී කඩා වැදීම හා ලෝකය යලි බෙදා ගැනීම තුල තම ස්ථානය, දෙවැනි විල්හෙල්ම් අධිරාජයා පැවැසූ පරිදි “සූර්යයා තුල තම ස්ථානය”, රැක ගනු වස්, අධිරාජ්‍යවාදී බලවත්තු වඩාත්ම මංමුලාගත හා ව්‍යසනකාරී යුදමය ක්‍රියාමාර්ග කරා එලඹවනු ලැබ සිටිති.

අන් හැමටත් වඩා, පෙර පැවැති සිය ආර්ථික ප‍්‍රධානත්වය ගිලිහී යාම හරහා තම ලෝක ආධිපත්‍ය දිරාපත් වෙමින් පවතින එක්සත් ජනපදයට, අන් මාවතක් නැත. වොෂින්ටනය ශත වර්ෂ කාලක් පුරා තම ආර්ථික දුබලතාවය මගහරවා ගැනීම පිනිස අවසානයක් නැති ලේ වැකි යුද්ධ මාලාවක් දියත් කොට ඇත. මේ වසරේ මුලදී පෙන්ටගනය විසින් නිවේදනය කෙරුනු “මූලෝපායික තරඟයේ” මතවාදයට අනුව යමින්, රුසියාවට හා චීනයට එරෙහි වෙලඳ යුද්ධ පියවරයන් යුදමය ගැටුම් සඳහා වන සූදානම සමග වඩවඩාත් සංයෝග කෙරෙමින් පවතී.

ඔවුන් එකිනෙකා අතර හා එජ සමග සිය උපායාත්මක වෙනස්කම් කවරාකාර වුව ද යුරෝපීය අධිරාජ්‍යවාදී බලවත්තු, ලෝකය බෙදීමේ ක්‍රියාවලියට සහභාගී වීමෙහි හා ඉන් අතපත ගා ගත් දෙයින් කොටසක් තම සංගතයන්ට ලැබෙන බැව් සහතික කර ගැනීමෙහි ලා වන සිය අධිෂ්ඨානය විසින් පොලඹවනු ලැබ සිටිති.

ශත වර්ෂ කාලකට අධික කාලයක් පුරා පැවැත ආ අධිරාජ්‍යවාදී යුද්ධයේ නව අදියර, සිරියාවට එල්ල කෙරෙන මිසයිල ප‍්‍රහාරවලින් කෙලවර නොවේ. ඉරානයේ රූකඩ පාලනයක් ඇටවීම හෝ එය කැබලිවලට කඩා දැමීම ඉලක්ක කර ගනිමින් එම රට වෙත එල්ල කෙරෙන ප‍්‍රහාරයකට පූර්විකාවක් ලෙස අධිරාජ්‍යවාදී බලවත්තු සිරියාව මුලුමනින් කැබලි කිරීමට ප‍්‍රයත්න දරති. අවසානයේ රුසියාව හා චීනය සඳහා ද එකී සංග‍්‍රහයම සූදානම් කොට ඇත.

දෙවසරකට ඉහතදී, 2016 පෙබරවාරි 18 දින, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සමාජවාදය හා යුද්ධයට එරෙහි සටන සිය ප‍්‍රකාශනය මගින් මෙසේ අනතුරු හැඟවීය: “ලෝකය එලඹ සිටින්නේ ව්‍යසනකාරී ගෝලීය ගැටුමක අද්දරට ය. ....1914 පලමු ලෝක යුද්ධයත්, 1939 දෙවන ලෝක යුද්ධයත් පුපුරා යාමට පෙර වසර වලදී මෙන් ම අද දින ද ප‍්‍රධාන බලවතුන් අතර යුද්ධයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ දුරස්ත නොවන බව ද එවැන්නක් සිදු වීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩි බව ද පමනක් නොව එවැන්නක් නොවැලැක්විය හැකි තත්වයකට එලඹ ඇතැයි ද යන නිගමනය කරා දේශපාලන නායකයෝ ද මිලිටරි සැලසුම්කරුවෝ ද නිගමනය කර ගෙන සිටිති.”

හජාජාකය මෙසේ නිවේදනය කලේය: “තුන්වන ලෝක යුද්ධය කරා වන තල්ලුව නතර කල යුතුය. ධනවාදයටත් අධිරාජ්‍යවාදයටත් විරුද්ධව වැඩකරන ජන සමූහයන් හා තරුනයින් එක්සත් කරන, යුද්ධයට එරෙහි නව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුය.”

ඊලඟට එලැඹි දෙවසර තුල, ධනපති ක‍්‍රමයට එරෙහිව වැඩෙමින් පවතින ජාත්‍යන්තර ව්‍යාපාරයක් ඉස්මතුවීම මගින් එබඳු ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ ඉඩ ප‍්‍රස්තාව බලවත් වී ඇත. එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ සිට ජර්මනියේ රාජ්‍ය අංශයේ හා ගුවන්සේවාවන්හි කම්කරුවන් ද, ප‍්‍රන්සයේ දුම්රිය කම්කරුවන් හා ශිෂ්‍යයන් ද, මහා බ්‍රිතාන්‍යයේ සරසවි ඇදුරන් ද දක්වා කම්කරු පන්තිය බලමුලු ගැන්වෙමින් පවතී.

තීරනාත්මක කර්තව්‍යය වන්නේ සමාජ අසමානතාවයට එරෙහි කම්කරු පන්තියේ ව්‍යාපාරය අධිරාජ්‍යවාදයටම එරෙහි අරගලය සමග ඒකාබද්ධ කිරීමයි.

මේ සඳහා “වම්මුන්” හා “සමාජවාදීන්”ලෙස වංචාකාරීව පෙනී සිටිමින් අධිරාජ්‍යවාදී යුද්ධය ප‍්‍රවර්ධනය කරමින් සිටින හා ඊට අනුමැතිය පලකරමින් සිටින එකී සියලු දේශපාලන ප‍්‍රවනතාවන්ට එරෙහි සටනක් අවශ්‍ය කෙරේ. මෙම ප‍්‍රතිගාමී, අධිරාජ්‍යවාදයට හිතෛෂී ව්‍යාජ වමේ අග‍්‍රගන්‍ය නියෝජිතයන් වන්නේ, රාජ්‍ය ධනවාදයේ විවිධ කන්ඩායම් හා ට්‍රොට්ස්කි-විරෝධී පැබ්ලෝවාදී ව්‍යාපාරයෙන් ශේෂ වී සිටින කොටස්ය. ඒ සියල්ලෝ සිරියාව කැබලි කිරීම නීත්‍යානුකූල කිරීමට හා එය අනුමත කිරීමට කැප වී ඇත්තාහ.

ලෝකය අධිරාජ්‍යවාදයේ ම්ලේච්ඡත්වයෙහි නව උද්ගතයක් දකිමින් සිටින මේ මොහොතේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 2016 පෙබරවාරියේ තමන් ඉදිරිපත් කල තීරනාත්මක මූලධර්ම යලි තහවුරු කරයි:

x යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලූ ප‍්‍රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.

x නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාපතිත්වයේ ද මිලිටරිවාදයේ ද යුද්ධයේ ද මූලික හේතුව වන, යල් පිනූ, ආර්ථික ක‍්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි.

x එබැවින් නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන්ම, මුලුමනින්ම හා පැහැදිලිවම, ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතුය.

x අන් සියල්ලටත් වඩා, නව යුද විරෝධී ව්‍යාපාරය ජාත්‍යන්තර විය යුතුය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය.

මෙම මූලධර්මාත්මක පදනම මත අධිරාජ්‍යවාදයට එරෙහිව සටනක නියැලීමට අධිෂ්ඨානසහගතව සිටින ලොව පුරා සියලූ කම්කරුවන්ට සහ තරුන ජනයාට හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග සම්බන්ධ වෙන ලෙසත්, තුන්වැනි ලෝක යුද්ධයක් වැලැක්වීමේ විප්ලවවාදී අරගලයට බැඳී ගන්නා ලෙසත් අපි කැඳවුම් කර සිටිමු.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලයේ ප‍්‍රකාශය

Share this article: