එක්සත් ජනපද ගුරුවරුන්ගේ අරගලය ඇරිසෝනා හා කොලොරාඩෝ ප‍්‍රාන්තවලට ද පැතිරෙ යි

The teachers’ struggle spreads to Arizona and Colorado

2018 අප්‍රේල් 25

එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ විරෝධතා ව්‍යාපාරය නව අවධියකට පිවිසෙමින් තිබේ.

බ‍්‍රහස්පතින්දා, ඇරිසෝනා ප‍්‍රාන්තයේ ආසන්න වසයෙන් ගුරුවරුන් 60,000ක් නිරිතදිග ප‍්‍රාන්ත ඉතිහාසයේ පලමු ප‍්‍රාන්ත මට්ටමේ වැඩවර්ජනය දියත් කිරීමට නියමිත ය. ඔවුහු සියයට 20ක වැටුප් වැඩිවීමක් ද පසු ගිය දශකය මුලුල්ලේ කප්පාදු කෙරුනු ඩොලර් බිලියන 1ට වඩා වන පාසල් අරමුදල් ප‍්‍රතිසාදනය ද ඉල්ලා සිටිති.

සිකුරාදා, අසල්වැසි කොලරාඩෝ ප‍්‍රාන්තයේ ගුරුවරුන් දහස් ගනනක් වැඩි වැටුප් හා විශ‍්‍රාම වැටුප් ඉල්ලා ඩෙන්වර්හි ප‍්‍රාන්ත අගනුවරට එක්වීමට අපේක්ෂිත ය.

අඟහරුවාදා, ගුරු හා පර්යේෂන සහයකයෝ 3,000ක් නිව් යෝක් නගරයේ කොලොම්බියා විශ්ව විද්‍යාලය තුල දින හතරක වැඩවර්ජනයක් ඇරඹූහ.

පසු ගිය මාස දෙක මුලුල්ලේ බටහිර වර්ජීනියා හා ඔක්ලහෝමා ප‍්‍රාන්තවල ගුරුවරුන්ගේ වැඩවර්ජන රැල්ල, දුර දිග යන ප‍්‍රතිවිපාක සහිත වෛෂයික ක‍්‍රියාදාමයක ප‍්‍රකාශනයකි. ට‍්‍රම්ප් පාලනාධිකාරය ද ධනේශ්වර පන්තිය තුල එහි විරුද්ධවාදීන් ද විදේශ ප‍්‍රතිපත්තිය හා යුද්ධය පිලිබඳ ප‍්‍රශ්න මත කේන්ද්‍රගත බියකරු ගැටුමක හිර වී සිටීමත් සමග, කම්කරු පන්තිය හා සමස්ත ධනේශ්වර පාලක ප‍්‍රභූව අතර මුලුමනින් ම වෙනස් ගැටුමක් ඉස්මතු වී ඇත.

එක්සත් ජනපදය තුල ගුරුවරුන්ගේ කැරැල්ල යුරෝපය, ලතින් ඇමරිකාව, අප‍්‍රිකාව, ආසියාව හා ඕස්ට්‍රේලියාව සිසාරා අධ්‍යාපන හා පුද්ගලික අංශවල කම්කරුවන් ඇද ගෙන ඇති පන්ති අරගලයේ ජාත්‍යන්තර පුනර්ජීවනයක කොටසකි.

කම්කරු පන්තියේ සමාජ තත්වය පහලට ඇද දැමීමට ද එමෙන් ම ධනය සංගත හා මූල්‍ය ප‍්‍රභූව වෙතට මාරු කිරීමට ද පාලක පන්තියට නිදහස දෙමින් වෘත්තීය සමිතිවලට පන්ති අරගලය මර්දනය කිරීමට හැකි වූ දශක ගනනාවක දීර්ග කාල පලරිච්ඡේදය අවසානයකට පැමිනෙමින් තිබේ. ගුරුවරුන්ගේ වැඩවර්ජන දර්ශන පථයේ ඇති අතිමහත් පන්ති අරගලයන්ගේ ප‍්‍රාරම්භක ම ඒවා ය.

මෙය සියල්ලටමත් වඩා ඉතා හදිසි කරන්නේ ගුරුවරුන් හා සමස්ත කම්කරු පන්තිය මේ දක්වා පන්ති අරගලයේ පාඩම් ප‍්‍රවේසමින් පුනරීක්ෂනය කල යුතු බව යි.

පලමුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පූර්වාපේක්ෂා කර අනතුරු ඇඟ වූ පරිදි, පන්ති අරගලයේ වර්ධනය කම්කරුවන් තබා ඇත්තේ තෙමේ ම වෘත්තීය සමිති යයි කියා ගන්නා ධනේශ්වර ගැති හා කෝපරේට්වාදී සංගතවලට සෘජු විරුද්ධ පාර්ශ්වයේ ය. ගුරුවරුන්ගේ වැඩ වර්ජනය ආරම්භ කලේ සාමාන්‍ය ගුරුවරුන් මිස වෘත්තීය සමිති නො වේ. විරෝධය මෙහෙය වනවාට වඩා වෙනස් ව, ජාතික අධ්‍යාපන සංවිධානය (එන්ඊඒ), ගුරුවරුන්ගේ ඇමරිකානු සම්මේලනය (ඒටීඑෆ්) හා ඔවුන්ගේ රාජ්‍ය අනුබද්ධයන් ක‍්‍රියාත්මක වී ඇත්තේ සංගත හා දේශපාලන සංස්ථාපිතය වෙනුවෙන් වැඩවර්ජන කඩාකප්පල් කරන්නන් ලෙස ය.

බටහිර වර්ජීනියා හා ඔක්ලහෝමා යන ප‍්‍රාන්ත දෙකේ ම, වෘත්තීය සමිති පෙරට ගියේ එක ම නාටක ග‍්‍රන්ථය අනුසාරයෙනි. පලමුව ඔවුහු ගුරුවරුන්ගේ වැඩවර්ජනයට විරුද්ධ වූහ, ඊට පසු, එය නැවැත්වීමට ඔවුන් අපොහොසත් වූ විට, ඔවුහු වැඩවර්ජනය හුදකලා කිරීමට, හුස්ම හිර කිරීමට හා කඩා දැමීමට ක‍්‍රමානුකූලව වැඩ කලහ. එක් ඔක්ලහෝමා ගුරුවරයෙකු නීරීක්ෂනය කල පරිදි, “ඕඊඒ (ඔක්ලහෝමා අධ්‍යාපන සංවිධානය) අපේ කෝච්චියේ පෙරමුනෙන් පැන ගියා, එය ගැම්මක් ගන්න කොට ඔවුන් කෝච්චිය දුවවනවා වගේ රඟපාන්න පටන් ගත්තා, ඊට පසු ඔවුන් කෝච්චිය නතර කරන බව කියන්න ගත්තා.”

ප‍්‍රාන්ත දෙකේ ම, වෘත්තීය සමිති විධායකයින් ක‍්‍රියාත්මක කරන්නේ ජානුස්ට එරෙහිව ඒඑෆ්එස්සීඑම්ඊ නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ ඔවුන්ගේ තර්කයේ දී ඔවුන් ප‍්‍රකාශ කල ප‍්‍රතිපත්තිය ය; එම නඩුව වෘත්තීය සමිති නිලධරයට ඊනියා ඒජන්සි ගාස්තු හෝ ආරක්ෂක ගාස්තු ගෙවන නමුදු වෘත්තීය සමිතියට බැඳීමට තෝරා නොගන්නා රාජ්‍ය නිලධාරීන්ගේ කොන්ත‍්‍රාත්තු අහෝසි කිරීමට තර්ජනය කර යි.

“වෘත්තීය සමිති ආරක්ෂාව වැඩවර්ජන නොකිරීම සඳහා තුටුපඬුරකැ” යි රාජ්‍ය, කෝරල හා නාගරික සේවකයින්ගේ ඇමරිකානු සම්මේලනයේ (ඒඑෆ්එස්සීඑම්ඊ) නීතිඥයා ප‍්‍රකාශ කලේ ය. ඒඑෆ්ටී සභාපතිනී රැන්ඩි වේන්ගාර්ටන් වොෂින්ටන් පොස්ට් පත‍්‍රයට අදහස් දැක්වීමේ දී ශ්‍රේෂ්ඨාධිකරන විනිශ්චයකාරවරයාට අනතුරු ඇඟවීමට ඊටත් වඩා දුර ගියා ය, වෘත්තීය සමිතිවල මූල්‍ය ස්ථාවරත්වය තව දුරටත් දුර්වල වුවහොත්, බටහිර වර්ජීනියා ගුරුවරුන් අතර පෙනෙන “ක‍්‍රියාවාදය හා දේශපාලනික ක‍්‍රියා” ආදර්ශය “රට පුරා වැඩි වෙනු ද මහත් වෙනු ද ඇත” යි ඇය පැවසුවා ය.

ඇරිසෝනා, කොලරාඩෝ හා අනෙකුත් ප‍්‍රාන්තවල එන්ඊඒ හා ඒඑෆ්ටීය ඉටු කරමින් සිටින්නේ එකම කාර්යභාරය යි. ගුරුවරුන් ලබන කුමන හෝ සොච්චම් පඩි වැඩිවීමක් අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් කප්පාදු කිරීමෙන් හා කම්කරුවන් මත ප‍්‍රතිගාමී බදු පැටවීමෙන් පියවනු ඇත්තේ ගෑස්, ගල්අඟුරු හා තෙල් කර්මාන්ත සල්ලි කන්දාරාවට අනතුරු සිදු නො කර ය.

සියල්ලට ඉහලින්, වෘත්තීය සමිති එක් එක් ප‍්‍රාන්තවල ගුරුවරුන්ගේ අරගල ද එමෙන් ම කම්කරු පන්තියේ අනෙකුත් අංශවල කම්කරුවන්ගේ ඒවා සමග ගුරුවරුන්ගේ අරගල ද එක්සත්වීම වැලක්වීමට අධිෂ්ඨාන සහගත ය.

දෙවනුව, දරිද්‍ර වැටුප් හා අධ්‍යාපන කප්පාදුවලට වන ඔවුන්ගේ විරුද්ධත්වය ද වැඩවර්ජන ක‍්‍රියාව සඳහා ඔවුන්ගේ සහයෝගයද මුල දී ඒවා ඔස්සේ ප‍්‍රකාශ කිරීමට හැකි වූ ද ගුරුවරුන්ගේ සහයෝගය දිනා ගත්තා වූ ද, නාමික වසයෙන් ස්වාධීන ෆේස්බුක් මෙහෙය වන කන්ඩායම් ඇතුලූව, වෘත්තීය සමිතිවල සහායක ඒජන්තයින්ගේ භූමිකාව ද බටහිර වර්ජීනියා හා ඔක්ලහෝමා වැඩවර්ජන විසින් හෙලිදරව් කරන ලදී. “එක්සත් ඔක්ලහෝමා ගුරුවරු” හා “ඔක්ලහෝමා ගුරු වැඩවර්ජනය - දැන් කාලය යි!” නම් ෆේස්බුක් පිටු වර්තමානයේ දී මෙහෙය වන පුද්ගලයන්, එක්සත් ඇරිසෝනා ගුරුවරු (ඒඊයූ) නම් ගුරු හවුල මෙන් ව්‍යාපාරයේ පාලනය බාර දුන්නේ වෘත්තීය සමිතිවලට හා ඩෙමොක‍්‍රටික් පක්ෂයට යි.

ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයට (අයිඑස් ඕ) කිට්ටු සම්බන්ධකම ඇති ඕටීයූ නම් සංවිධානයේ නායක, ලැරී කේගල්, “මහජන අධ්‍යාපනය සඳහා අරගලය දේශපාලනික නො වේ” යන ප‍්‍රතිගාමී පදනම මත ලෝසවෙඅ වාරනය කලා ය. මෙය ඉලක්ක කෙරුනේ ඩෙමොක‍්‍රටික් පක්ෂයේ දේශපාලනය ශක්තිමත් කිරීමට හා සංගත පාලිත පක්ෂ දෙකෙන් කම්කරුවන් වෙන් විය යුතු බවත් බැංකු හා මහා ව්‍යාපාරයන්ට එරෙහිව කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවත් අවධාරනය කරන සමාජවාදී ප‍්‍රතිපත්තිවලින් ගුරුවරුන් වැලක්වීමටත් ය.

වර්ගවාදී ට‍්‍රම්ප් ආධාරකරුවන් ලෙස ඔවුන් හෙලා දුටු, බටහිර වර්ජීනියාව හා ඔක්ලහෝමා වැනි “රතු ප‍්‍රාන්තවල” කම්කරුවන් නො සලකා හැරීමෙන් පසු, අයිඑස් ඕව, ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදීන් හා ඩෙමොක‍්‍රටික් පක්ෂය වටා වන එවැනි ඉහල මධ්‍යම පන්තික කන්ඩායම් කම්කරු පන්තිය මත වෘත්තීය සමිතිවල පාලනය යලි තහවුරු කිරීමට ඔවුන්ට කල හැකි හැම දෙයක් ම දැන් කරමින් සිටිති.

ගුරුවරුන්ගේ වැඩවර්ජනය, “බලාපොරොත්තු වූ පරිදි ජානුස් ශ්‍රේෂ්ඨාධිකාරන තීන්දුව පැමිනෙන්නේ නම්, රාජ්‍ය අංශයේ වෘත්තීය සමිලිවලට නො නැසී පැවතීම සඳහා මූලෝපයාක් කරා අවස්ථාවක්” බව අයිඑස් ඕ සමාජවාදී කම්කරුවා වෙබ් අඩවිය මෑත දී සඳහන් කලේ ය. එනම්, ඔවුන් බලාපොරොත්තු වන්නේ වෘත්තීය සමිතිවලට විරුද්ධව වර්ධනය වී ඇති ගුරුවරුන්ගේ අරගල, වෘත්තීය සමිතිවල අධිකාරිත්වය ශක්තිමත් කිරීමට යලි මෙහෙය විය හැකි බව යි.

තුන්වනුව, ගුරුවරුන්ගේ හා සමස්ත කම්කරු පන්තියේ අරගල පාලක පන්තියේ උත්සුකයන් නියෝජනය කරන ඩෙමොක‍්‍රටික් හා රිපබ්ලිකානු පක්ෂ හා සම්පූර්න රාජ්‍ය සංවිධාන සමග මුලුමහත් කම්කරු පන්තියම ගැටුමකට ගෙන එයි. සෑම රැලියක දී ම, වෘත්තීය සමිති නිලධරයේ කෑ ගැසීම එකතු කරන්නේ “නොවැම්බරයේ මතක් කරනු” නම් සියලු සටන්පාඨවල මුග්ධ ම එකේ ජුගුප්සාව යි. එනම්, ගුරුවරුන් ඔවුන්ගේ අරගල නැවත් විය යුතු අතර ඩෙමොක‍්‍රටික් පක්ෂය වෙනුවෙන් මැතිවරන උද්ඝෝෂනය බාර ගත යුතු බව යි.

වෘත්තීය සමිතිවල මෙන් ම ඒවායේ සහචරයන්ගේ අදහස වන්නේ රාජ්‍ය අධ්‍යාපනයේ අර්බුදය මුලුමනින් ම රිපබ්ලිකානුවන්ගේ දෝෂයක් වන බව යි. “අධ්‍යාපනය මත යුද්ධය, එමෙන් ම විශේෂයෙන් ම පාසල් ගුරුවරුන් මත යුද්ධය” මුලුමනින් ම ගෙන යමින් තිබෙන්නේ දක්ෂිනාංශික රිපබ්ලිකානුවන් විසින් බව ප‍්‍රකාශ කල නිව් යෝක් ටයිම්ස් තීරු ලිපි රචක පෝල් කෘග්මාන් විසින් අඟහරුවාදා මෙම ආස්ථානය සාරාංශ කෙරුනි. 1990 ගන්වල මැද සිටි ගුරුවරුන්ගේ වැටුප් වැටෙමින් තිබී ඇති බව පිලිගන්නා අතර, ගුරුවරුන්ට එරෙහි යුද්ධය ඩෙමොක‍්‍රටික් ආන්ඩුකාරයන් හා ක්ලින්ටන්ගේ සිට ඔබාමා දක්වා ජනාධිපතිවරුන් විසින් ගෙන ගොස් ඇත්තේ අඩු කුරිරු කමකින් නොවන බව කෘග්මාන් අමතක කලේ ය.

රිපබ්ලිකානුවන් වෘත්තීය සමිති යටින් හාරා බිඳ දැමීමට උත්සාහ ගෙන ඇති අතර, ඩෙමොක‍්‍රටිකයන් එන්ඊඒ, ඒඑෆ්ටී හා අනෙකුත් වෘත්තීය සමිති මත වාරු වී සිටින්නේ වැඩවර්ජන මර්දනය කිරීමට හා කුසලතා ගෙවීම් හා වරලත් පාසල් ඇතුලුව, ඔවුන්ගේ සංගත මගින් දුවවන “පාසල් ප‍්‍රතිසංස්කරන” න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මකක කිරීමටත් ය. එන්ඊඒ, ඒඑෆ්ටී ඩෙමොක‍්‍රටික් පක්ෂයේ සංරචක කොටස් වන්නේ, ඒඑෆ්ටී සභාපති වේන්ගාර්ටන් (වාර්ෂික ආදායම ඩොලර් 500,000කි) ඩෙමොක‍්‍රටික ජාතික කමිටුවේ සේවය කිරීමත් සමගිනි.

මෙම පාඩම්වලින් පහත සඳහන් කර්තව්‍ය යෝ මතුවෙති. පලමුව, ගුරුවරුන් හා සියලු කම්කරුවන්ට අරගලයේ ස්වාධීන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධාන අවශ්‍ය ය: එනම්, වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම නිදහස් වූ ක‍්‍රියාකාරී කමිටු අවශ්‍ය ය. මෙම කමිටු ප‍්‍රාන්ත හා ජාතික රේඛා ඔස්සේ අරගල සම්බන්ධ කරමින් හා පොදු ව්‍යාපාරයක් තුල එක්සත් ජනපදය සිසාර හා ජාත්‍යන්තරව ගුරුවරුන් ඒකරාශී කිරීම සඳහා මාවත සකසනු ඇත.

ගුරුවරුන්ගේ අරගලයට මෝටර් රථ, සන්නිවේදන, සෞඛ්‍ය රැකවරන, සේවා හා රාජ්‍ය අංශයේ කම්කරුවන් ඇතුලුව, අනෙකුත් කර්මාන්ත කම්කරුවන්ගේ සදාචාරාත්මක සහයෝගය පමනක් නොව, ඔවුන්ගේ ක‍්‍රියාකාරී සහභාගිත්වය අවශ්‍ය කෙරේ. කම්හල් කමිටු හා වැඩපොල කමිටු සංවිධානය මහා වැඩ වර්ජනයක් සඳහා සූදානම් වීමේ පූර්වඅවශ්‍යතාව වන්නේ ය.

දෙවනුව, පන්ති අරගලයේ පිපිරීම ධනේශ්වර පන්තියට හා ආන්ඩුවට එරෙහි දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් බවට වර්ධනය කල යුතු ය. ගුරුවරුන් තේරුම් ගනිමින් සිටන්නාක් මෙන්, දැවෙන ලෙස අවශ්‍ය සමාජ ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාත්මක කිරීම සඳහා ධනේශ්වර කතිපයාධිකාරියේ ධනසම්පත් අස්වාමික කිරීම ද බැංකු හා යෝධ සමාගම්වල ඒකාධිපතිත්වය මත ප‍්‍රමුඛ ප‍්‍රහාරයක් ද අවශ්‍ය කෙරේ. කෙසේ නමුත්, ධනේශ්වර පන්තිය රාජ්‍ය බලය දරන තාක් දුරට, එවැනි පියවර අත්කර ගත නො හැක

සමාජවාදී සමානතා පක්ෂය ද, සමාජවාදී සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ද උත්සාහ කරන්නේ, කම්කරු පන්තියේ සියලු අංශවල කම්කරුවන්ගේ සහාය පුලුල් කිරීමට ද, කම්කරුවන්ගේ පන්ති විඥානය ඉහල දැමීමට ද, ගුරුවරුන්ගේ වැඩවර්ජන හා එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තරව ධනවාදයට එරෙහි මෙන් ම සමාජවාදයට පක්ෂ අරගලය අතර සම්බන්ධතාව පැහිදිලි කිරීමට යි.

ජෙරී වයිට්

Share this article: