ජූලියන් අසාන්ජ්ට එරෙහිව සීඅයිඒ ඩිමොක‍්‍රටිකයෝ

The CIA Democrats vs. Julian Assange

2018 අප්‍රේල් 23

2016 එක්සත් ජනපද ජනාධිපතිවරනය සොරා ගැනීමේ අපරාධකාරී උත්සාහයක් තුල රුසියාව හා ට‍්‍රම්ප්ගේ උද්ඝෝෂනය සමග විකීලීක්ස් හා එහි පුරෝගාමී ජූලියන් අසාන්ජ් සම-කුමන්ත‍්‍රනකාරීන් ලෙස නම් කරමින්, ඩිමොක‍්‍රටික ජාතික කමිටුව (ඩීඑන්සී) විසින් ගොනු කර ඇති පැමිනිල්ල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මත එල්ල කෙරෙන සෘජු ප‍්‍රහාරයකි. එය මාධ්‍ය නිදහස හා භාෂනයේ නිදහස අතිමූලික අයිතීන් ලෙස ස්ථාපිත කෙරෙන, එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පලමු සංශෝධනය පාගා දම යි.

විකී ලීක්ස් නියැලී සිටින්නේ පුවත්පත් කලාව තුල මිස, ඔත්තු බැලීමක නොවන බව; එහි වැඩ කටයුතු සමන්විත වන්නේ ආන්ඩු, යෝධ සමාගම් හා අනෙකුත් බලගතු සංවිධානවල අපරාධ හෙලිදරව් කිරීමට උත්සාහ ගන්නා අකටයුතු හෙලිකරනන් විසින් සපයන ලද ලිපිලේඛන ප‍්‍රසිද්ධ කිරීමෙන් බව; මෙන් ම මෙම නිර්භීත හෙලිදරව් කිරීමේ උද්ඝෝෂනය වෙබ් අඩවිය ද එහි කතුවරයා ද ලෝකය පුරා රාජ්‍ය මර්දනයක ඉලක්කයන් කර ඇති බව, ඩිමොක‍්‍රටික් පක්ෂයේ පැමිනිල්ල හෝ එය ගැන මාධ්‍ය අදහස් දැක්වීම් හෝ පිලි නො ගනිති.

ගෙවී ගිය වසර හය තිස්සේ, ලන්ඩනයේ ඉක්වදෝරියානු තානාපති කාර්යාලය තුල අසාන්ජ් තමන් විසින්ම සිරවනු ලැබ සිටින්නේ, මරනීය දන්ඩනය ගෙන ආ හැකි, ඔත්තු බැලීමේ හා රාජද්‍රෝහී චෝදනා මත, වාර්තාවන පරිදි රහස් මහා ජූරියක් ඔහුට අධිචෝදනා ගොනු කර ඇති, එක්සත් ජනපදයට ඔහු පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය, ස්වීඩන හා ඇමරිකානු ආන්ඩුව විසින් ගැනෙන උත්සාහයන්ගෙන් බේරීමට ඔහු එතුලට පැමිනි තැන් සිට ය. මාර්තු මස අවසානයේ සිට, ඉක්වදෝරියානු ආන්ඩුව, එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ඉහල යමින් ඇති පීඩනයට ප‍්‍රතිචාර දක්වමින්, ඔහු සමග බාහිර සන්නිවේදන සම්බන්ධකම් කපා හැර ඇත.

අසාන්ජ් අධිචෝදනාවන්ට හා වධබන්ධනයට ලක් කිරීමේ හේතුව වන්නේ අකටයුතු හෙලිකරන්නෙකු වූ චෙල්සි මෑනින්ග් විසින්, ඉරාකය හා ඇෆ්ඝනිස්තානය තුල එක්සත් ජනපද යුද අපරාධ මෙන් ම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අපහාස වන රාජ්‍යතාන්ත‍්‍රික කේබල් පනිවුඩ හෙලිදරව් කරමින් සැපයුනු රහස් මිලිටරි ලියවිලි ප‍්‍රසිද්ධ කිරීම මගින් ඔවුන් ලෝකය පුරා ආන්ඩු නොමග යැවීම හා යටත් කිරීමේ එක්සත් ජනපද උත්සාහයන් විස්තර කල නිසා ය.

සිකුරාදා ඩිමොක‍්‍රටික් ජාතික කමිටුව පිටු 66ක පැමිනිල්ල ගොනු කලේ ය, එය මැකාතිවාදයේ ගඳ ගස්සන්නේ, වසර 70ට වඩා ඉහත දී කොමියුනිස්ට් විරෝධී දඩයමේ පෙරමුන ගනිමින්, “අති විශාල කුමන්ත‍්‍රනයක්” ගැන විස්කොන්සින් සෙනෙට් සභිකයා ගැසූ කයිවාරුවේ ආකල්ප සමගිනි. රුසියානු ආන්ඩුව හා එහි මිලිටරි ඔත්තුසේවා ඒජන්සිය වන ජීආර්යූ වේ සිට ට‍්‍රම්ප් උද්ඝෝෂනය හා ජූලියන් අසාන්ජ් දක්වා පෙල ගැසෙන, උපකල්පිත කුමන්ත‍්‍රන පිලිබඳ දීර්ග ලැයිස්තුවක් විස්තර කිරීමෙන් පසු, පැමිනිලිකරු මෙසේ ප‍්‍රකාශ කර යි: “කුමන්ත‍්‍රනය සමන්විත වූයේ පෙර දී සිතන්නට ඉඩ නොතිබුනු ආකාරයේ ද්‍රෝහී ක‍්‍රියාවකිනි: එනම්, ජනාධිපතිත්වය ජය ගැනීමේ තමන්ගේ ම අවස්ථාව ශක්තිමත් කර ගැනීමට, හතුරු විදේශ බලවතෙකු සමග ප‍්‍රධාන පක්ෂයක ජනාධිපති නාමයෝජකයෙකුගේ මැතිවරන ව්‍යාපාරය කුමන්ත‍්‍රනය කිරීම”යි.

දක්ෂිනාංශික දේශපාලනික තක්කඩියෙකු වූ මැකාර්ති 1950ස් ගනන්වල දර්ශන පථයෙන් ඉවත්ව ගියාට පසු, ඇමරිකානු මහජන ජීවිතය තුල එවැනි භාෂාවකට තැනක් තිබී නැත. ජෝන් බර්ච් සමාජය වැනි අන්ත දක්ෂිනාංශික කන්ඩායම් ඊ ලඟ දශකවල දී එවැනි ගඳ ගසන උපක‍්‍රම සජීවිව තැබුවත්, ඔවුන් දේශපාලන පද්ධතියේ මායිම් කරා ඇද දැමිනි. දැන් ඩිමොක‍්‍රටික් පක්ෂය මෙම විධික‍්‍රම පුනරුච්චාරනය කිරීමට උත්සාහ ගෙන ඇත්තේ, 2018 මැතිවරනයේ දී බලය සඳහා වන තම ප‍්‍රයත්නයේ කේන්ද්‍රීය යොමුව ලෙස ය.

විකී ලීක්ස් ඉලක්ක කිරීමේ දී, මෙම උද්ඝෝෂනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාද විරෝධී අන්තර්ගතය තම නින්දිත ම ප‍්‍රකාශනය සොයා ගනි යි. ඉතාමත් සුලු හෝ සාක්ෂියකින් තොර ව, ඩීඑන්සී පැමිනිල්ල තහවුරු කරන්නේ, “විකී ලීක්ස් හා අසාන්ජ් මෙම රහස් වපුරවා, මැතිවරනය ජය ගැනීමේ ට‍්‍රම්ප් උද්ඝෝෂනයේ අවස්ථාව වැඩි කරනු ඇතැ යි යන අපේක්ෂාව සහිතව, මෙම චර්යාවේ නිරත වීමට, සහ/හෝ විකී ලීක්ස් හා අසාන්ජ්ට ඩීඑන්සීයේ වෙලඳ රහස් සැපයීමට, විකී ලීක්ස් හා අසාන්ජ් රුසියාව හා රුසියානු ප‍්‍රධාන ඔත්තුසේවා කාර්යාලය (ජීආර්යූ) මෙහෙයවා, කැමති කරවා, සහ/හෝ දිරිමත් කල” බව යි.

කෙසේ නමුත්, විකී ලීක්ස් හා අසාන්ජ්ට අනුව, 2016දී එය ප‍්‍රසිද්ධ කල ඩීඑන්සී හා ක්ලින්ටන් උද්ඝෝෂන සභාපති ජෝන් පොඩෙස්ටාගෙන් ලබා ගත් ලියවිලි සපයන ලද්දේ අකටයුතු හෙලිකරන්නෙකු විසිනි, විකී ලීක්ස් ඔහුගේ අනන්‍යතාව නොදන්නේ රහස්‍යතාව රැකීමේ දී මූලාශ‍්‍රය ආරක්ෂා කිරීමේ තම සාමාන්‍ය ආරක්ෂක භාවිතයන් පිලිපැද්ද බැවිනි. එය එසේ නො වේ යැයි ඔප්පු කිරීමට සාක්ෂි අංශුවක් වත් ඉදිරිපත් කෙරී නොමැත.

ඩීඑන්සී නීති ලියවිල්ල සඳහන් කරන විකීලීක්ස් හෙලිදරව් කිරීම්වල නිෂේධනීය ප‍්‍රතිවිපාක සඳහන් කිරීම වටී:

135. නීතිවිරෝධී කුමන්ත‍්‍රනය ඩීඑන්සීය මත ප‍්‍රගාඪ හානි පැමින වී ය. සොරා ගැනුනු ලියවිලිවල කාල ගනන ය හා තෝරා ගෙන නිකුත් කිරීම ඡන්දදායකයන්හට තමන්ගේ ම කරුනු සන්නිවේදනය කිරීමෙන් ඩීඑන්සීය වැලැක් වී ය. සොරා ගැනුනු ලියවිලි මෙලෙස තෝරා ගෙන නිකුත් කිරීම ඩිමොක‍්‍රටික් ජාතික සම්මේලනයට වහාම පෙරාතුව මුදුනකට ලඟා වූ අතර මහමැතිවරනය ඔස්සේ දිගටම ඉදිරියට ගියේ ය.

136. සොරා ගැනුනු ලියවිලිවල කාල ගනනය හා තෝරා ගෙන නිකුත් කිරීම සැලැසුම් කෙරුනේ හා ප‍්‍රතිඵලය වී තිබුනේ ඩීඑන්සීය හා ඩිමොක‍්‍රටික් ඡන්දදායකයන් අතර භේදයක් ඇති කිරීමයි. සොරා ගැනුනු ලියවිලිවල නිකුත් කිරීම මහමැතිවරනය තුල දී ඩිමොක‍්‍රටික් අපේක්ෂකයාට සහාය දීමේ ඩීඑන්සී හැකියාව ද අඩු කලේ ය.

නමුත් විකීලීක්ස් ලියවිලි එතරම් හානිදායක වූයේ මන් දැ යි පැමිනිල්ල පැහදිලි නො කර යි. ඊට ප‍්‍රතිකූලව, එයට “වෙලඳ රහස්” හා ඩිමොක‍්‍රටික් පක්ෂ නායකත්වයේ අනෙකුත් හිමිකාර තොරතුරු ඇතුලත් බව කීම හැර කාන්දු වූ දේවල සැබෑ අන්තර්ගතය ගැන එය කිසිවක් නො කිය යි.

ඩිමොක‍්‍රටිකයන් ගැන විකී ලීක්ස් විසින් ප‍්‍රසිද්ධ කෙරුනු ලියවිලි ප‍්‍රධාන කාන්ඩ දෙකකට අයත් වේ. පලමුවැන්න වූයේ ඩීඑන්සී සභාපතිනී ඩෙබී වසර්මන් ෂුල්ට්ස් හා ඇගේ ඉහල ආධාරකරුවන් ක්ලින්ටන්ගේ අභියෝගකාර බර්නී සෑන්ඩර්ස් වැලැක්වීම හා ක්ලින්ටන් ඩිමොක‍්‍රටික් නාමයෝජනා ලැබීම තහවුරු කිරීමේ ක‍්‍රමානුකූල උත්සාහයක නියැලී සිටීම පෙන්වන අභ්‍යන්තර විද්‍යුත් තැපල් හා වාර්තා ය. වෙනත් වචනවලින් පවසතොත්, රුසියාව 2016 මැතිවරන උද්ඝෝෂනය වංචා කිරීමේ නිරත වූ බවට චෝදනා කරන අතර ම, ඩීඑන්සීය ඩිමොක‍්‍රටික් මූලික ඡන්ද ප‍්‍රතිඵල වංචා කිරීමට උත්සාහ ගනිමින් සිටි බව යි.

ලේඛනවල දෙවැනි කාන්ඩය ක්ලින්ටන්ගේ උද්ඝෝෂන සභාපති ජෝන් පොඩෙස්ටාගෙන් පැමිනි අතර, ඒවාට ඇතුලත් වූයේ එක් පෙනීසිටීමක් වෙනුවෙන් ඩොලර් 300,000ක් තරම් ඉහල ගාස්තුවකට මූල්‍ය ක්ෂේත‍්‍රයේ කන්ඩායමකට හිලරි කලින්ටන් පැවත් වූ කතාවල අනුපිටපත් ය. මෙම සටහන් තුල, ඇය බැංකුකරුවන්ට යලි සහතික වූයේ, 2008 වෝල් වීදියේ කඩාවැටීම ඇවිල වූ හා කම්කරුවන් මිලියන ගනනාවකගේ රැකියා හා ජීවන තත්වයන් විනාස කල මූල්‍ය ප‍්‍රයෝගය වෙනුවෙන් ඔවුන්ට දඬුවම් කිරීම සම්බන්ධ මොන යම් හෝ උද්ඝෝෂන කයිවාරු වලින් ඔවුන් භීතියට පත් නො විය යුතු බව යි. ක්ලින්ටන් ආන්ඩුව ද ඔබාමා පාලනාධිකාරියේ වෝල් වීදියට ගැති ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බව ඇය පැහැදිලි කලා ය.

ඩීඑන්සී පැමිනිල්ල සමස්තයක් ලෙස සීඅයිඒ හා මිලිටරි ඔත්තුසේවාවල ප‍්‍රමුඛ පක්ෂය වීමේ ඩිමොක‍්‍රටික් පක්ෂ උත්සාහය ගැඹුරු කිරීමකි. විකී ලීක්ස් හා අසාන්ජ් ඉලක්ක කිරීම තුල ඩිමොක‍්‍රටිකයන් වැලඳ ගනිමින් සිටින්නේ, විකී ලීක්ස් මොස්කව් සමග සබඳතා ඇතැයි පැවසෙන “රාජ්‍ය නොවන හතුරු ඔත්තුසේවාවක්” යැයි හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ මෙන් ම දැන් රාජ්‍ය ලේකම් තනතුර සඳහා ට‍්‍රම්ප්ගේ තේරීම ද වන මයික් පොම්පියෝගේ අපවාදයයි.

තව ද, අසාන්ජ් එක්සත් ජනපද ආන්ඩුවේ බොරු හා අපරාධ හෙලිදරව් කරන බැවින්, ඔහු පාවාදෙන්නෙකු වන්නේ නම්, ඔහුව ආරක්ෂා කරන හා සංගත මාධ්‍ය විසින් විසිරුවා හරින ආන්ඩුවේ ප‍්‍රචාරයන්ට අභියෝග කරන ප‍්‍රකාශන, වෙබ්අඩවි හා පුද්ගලයන් ද රාජද්‍රෝහිත්වය පිලිබඳ දුස්සහායක බැවින් ඒ අනුව කටයුතු කල යුතු බව ද ඇඟවෙන්නේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මීට පෙර පැහැදිලි කල පරිදි, සිරියාව තුල යුද්ධය තියුනු ලෙස උත්සන්න කිරීමට හා රුසියාවට එරෙහිව වඩා ආක‍්‍රමනකාරී ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ට‍්‍රම්ප් පාලනාධිකාරිය තල්ලුු කිරීමට ඉලක්ක කෙරෙන්නා වූ ද, සැබෑ සාක්ෂිවලින් තහවුරු නො කෙරෙන්නා වූ ද, ඩිමොක‍්‍රටිකයන් විසින් වැඩිදියුනු කෙරෙන රුසියානු විරෝධී උද්ඝෝෂනය ප‍්‍රතිගාමී කුමන්ත‍්‍රනයකි. ඒ අතරම, එය යොදා ගැනී ඇත්තේ අන්තර්ජාලය වාරනය කිරීමේ දැවන්ත හා සමායෝජිත උද්ඝෝෂනය යුක්තිසහගත කිරීමක් ලෙස ය. ගූගල් හා ෆේස්බුක් විසින් ගවේෂන වංචා කිරීම හා ප‍්‍රවෘත්ති තොරතුරු වාරනය කිරීම පසු පස වාමාංශික, යුද විරෝධී හා සමාජවාදී මාධ්‍ය ප‍්‍රකාශන මර්දනය කිරීමේ වඩා සෘජු උත්සාහයන් හඹා එනු ඇත.

ට‍්‍රම්ප්ගේ ධවල මන්දිරය සමග තම ගැටුමේ දී “ඔත්තුසේවා ප‍්‍රජාව” වෙනුවෙන් නැගී සිටින පක්ෂය ලෙස ටිමොක‍්‍රටිකයන් පිහිටුවීමට ද මෙම උද්ඝෝෂනය උදව් කර ඇත. නොවැම්බරයේ මධ්‍ය වාර මැතිවරනයට කලින්, මෙය දැන් ඌනපූරනය කෙරෙමින් තිබෙන්නේ, තරඟකාරී දිස්ත‍්‍රික්ක තුල ඩිමොක‍්‍රටික කොංග‍්‍රස් මන්ඩල නාමයෝජනා අපේක්ෂකයින් සඳහා සීඅයිඒ, මිලිටරිය, ජාතික ආරක්ෂක ඒජන්සිය හා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගෙන් විශාල වසයෙන් අපේක්ෂකයින් ගලා ඒමකිනි. (බලන්න: සීඅයිඒ ඩිමොක්‍රටිකයෝ )

ඩීඑන්සීයේ හැසිරීම ප‍්‍රදර්ශනය කරන්නේ ඩිමොක‍්‍රටික් පාලිත කොංග‍්‍රසයක් පත් කර ගැනීම, ට‍්‍රම්ප්ට හා රිපබ්ලිකානුවන්ට එරෙහිව ප‍්‍රතිප‍්‍රහාර දීමේ මාවත බව පවසන ලිබරල් හා ව්‍යාජ වාම කන්ඩායම්වල ප‍්‍රතිගාමී හා බංකොලොත් ස්වභාවය යි. මොවුන් සියලු දෙනා අසාන්ජ් හුදකලා කිරීම හා ඔහුට නඩු පැවරීම සම්බන්ධයෙන් සම්පූර්න නිශ්ශබ්දතාවක් පවත්වා ගෙන යති. සත්‍ය වන්නේ මෙම පක්ෂ තුල යුද්ධය, කප්පාදු හා මර්දනයට කැප වුනු කඨෝර දේශපාලන සතුරන් දෙදෙනෙකුට කම්කරු පන්තිය මුහුන දෙන බව යි.

පැට්‍රික් මාටින්

ලේඛකයා පහත ලිපි ද අනුමත කරයි

ඉක්වදෝරය ජූලියන් අසාන්ජ්ව නිහඬ කොට ඇත්තේ ඇයි?

මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂිංටනයේ දේශපාලන අර්බුදය සහ කම්කරු පන්තියේ මූලෝපාය

Share this article: