පුරවැසි බලයේ නායකයෝ ආඥාදායක පාලනයකට අත වනති

විජිත් සමරසිංහ විසිනි, 2018 අප්‍රේල් 21

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව මුහුන දී ඇති බරපතල අර්බුදය හා අස්ථාවරත්වය හමුවේ, 2015 දී එය බලයට පත් කිරීමට කරබදු වූ සිවිල් සංවිධාන හා ධනපති බුද්ධිමත්තු, සීග‍්‍රයෙන් තවතවත් දකුනට තල්ලුවෙමින් සිටිති. අගමැති වික‍්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාව හා පෙබරවාරි මාසයේ පලාත් පාලන මැතිවරනයෙන් සභාග ආන්ඩුවේ එක්සත් ජාතික පක්ෂ (එජාප) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ලත් අන්ත පරාජය නිසා සලිත වී සිටින මොවුන් යෝජනා කරන්නේ ධනපති පන්ති පාලනය ස්ථාවර කර ගැනීම සඳහා, පවතින හවුල් පාලනය වෙනුවට, ජනාධිපති හෝ අගමැති අත බලය සංකේන්ද්‍රනය වන ආකාරයේ ආඥාදායක පාලනයක් අටවා ගන්නා ලෙසයි.

අප්‍රේල් 4 දා පැවති විශ්වාසභංග විවාදයේදී, අගමැති වික‍්‍රමසිංහ යන්තම් බේරුනේ අවසාන මොහොත දක්වාම, හවුල්කාර ශ්‍රීලනිපය පමක් නොව, ඔහුගේම පක්ෂය වන එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සමග ද කේවල් කිරීමෙන් පසුව ය. චන්ද විමසීමේදී, ආන්ඩුවේ ශ්‍රීලනිප ඇමතියන් 16 දෙනෙක් අගමැතිට එරෙහිව චන්ද ප‍්‍රකාශ කලහ.

කෙසේ නමුත්, පාලක පන්තියේ මෙම බෙදීම් සහ ඉරිතැලීම් යටින් පවත්නා ප‍්‍රධානතම හේතුව, තම ජීවන සහ සමාජ කොන්දේසි වලට එල්ල කෙරෙන නිර්දය ප‍්‍රහාරයන්ට එරෙහිව වැඩකරන ජනතාව තුල වේගයෙන් වර්ධනය වන සටන්කාමිත්වය යි. ගුවන්තොටුපොල, විශ්ව විද්‍යාල, හම්බන්තොට වරාය, දුම්රිය දෙපාර්තමේන්තුව, විදුලිබල මන්ඩලය ආදී ආයතන ගනනාවක පසුගිය මාස කීපය තුල වැඩවර්ජන පිපිරී ගියේ වැටුප්, හා අනෙකුත් අයිතීන් වල කප්පාදුවට එරෙහිවයි.

සිරිසේන, වික‍්‍රමසිංහ හා රාජපක්ෂ අතර ඇති මතභේද, මේ මහජන විරෝධය මැඩ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්නේ කෙසේද, යන්න ගැන මුලුමනින්ම උපායාත්මක වන ප‍්‍රශ්නයන්ය. ධනපති පන්ති පාලනය අස්ථාවර වීම ගැන තැතිගැනී සිටින සිවිල් සංවිධාන හා ධනපති බුද්ධිමතුන් වඩාත් ආඥාදායක පාලනයක් ඉල්ලා සිටින්නේ මේ අර්බුදය හමුවේය.

“විශ්වාසභංගයෙන් පසු යහපාලනය කොයිබටද” යන තේමාවෙන් අප්‍රේල් 3 දා සිවිල් සංවිධාන කීපයක් එක්ව සංවිධානය කල රැස්වීමකදී, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් වන දඹර අමිල භික්ෂුව කියා සිටයේ අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව, මහින්ද රාජපක්ෂ විසින් ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහන විනාශ කොට, “රට අනාථ කිරීමට” කරන කුමන්ත‍්‍රනයක් බවයි. මේ තැත පරාජය කිරීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සලකමින් සිටිය නොහැකි බවත්, ජෙනරාල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යංශය භාරදී, විශේෂ උසාවි පිහිටුවා, “දිවා රෑ නොබලා නඩු අසා” රාජපක්ෂ හා ඔහුගේ කල්ලියට දඬුවම් දිය යුතු බව ඔහු තව දුරටත් පැවසීය.

විශ්වාස භංග යෝජනාවට පෙර කැඳවූ මාධ්‍ය සාකච්ඡාවකදී කරුනු දැක්වු පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම් කරු ගාමිනී වියන්ගොඩ පැවසුවේ, “අගමැතිවරයා පමනක් නොව, යහපාලන රජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිපත්ති ආරක්ෂා කරගැනීමට” 2015 ජනාධිපතිවරනයෙදී “ජනතා ජයග‍්‍රනයට සම්මාදම් වූ 62 ලක්ෂයක් වූ ජනතාව මෙයට එරෙහිව නැගී සිටිය යුතු” බවත් ඔහු තවදුරටත් පැවසීය.

මේවා අමු කුහක ප‍්‍රකාශයන් ය. මොවුන් “ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක්” යයි හඳුන්වන්නේ, කම්කරුවන් හා පීඩිතයන්ගේ උද්ඝෝෂන හා වර්ජනවලට එරෙහිව මුර්ග පොලිස් ප‍්‍රහාර හා අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවන හා උතුරු නැගෙනහිර දෙමල ජනතාවට එරෙහිව රුදුරු මිලිටරි පාලනයක් ගෙනයන ලෙයින් නැහැවී ගිය ඉතිහාසයක් ඇති පක්ෂ දෙකක් වන ශ්‍රීලනිපයේ හා එජාපයේ හවුල් ආන්ඩුවටයි. නීතිය හා සාමය ඇමති කමට පත්කල යුතු යයි ඔවුන් යෝජනා කරන්නේ, දෙමල ජනතාවට එරෙහි යුද්ධයේ අවසන් සමයේ හමුදාපතිව සිටි, එම යුද අපරාධ බොහොමයකට වග කිවබවට චෝදනා එල්ලවන සරත් ෆොන්ස්කා ය.

පසුගිය මාසයේ මහනුවර ප‍්‍රදේශයේ සිදුවූ, මුස්ලිම් ජනතාවට එරෙහි ප‍්‍රහාරද මුලුමනින්ම රාජපක්ෂගේ ගිනුමට බැර කරමින් ප‍්‍රකාශයක් නිකුත් කල දඹර අමිල, වියරුවෙන් සඳහන් කලේ “රාජපක්ෂගේ කුමන්ත‍්‍රනය” පරදවා, ආන්ඩුවේ පාලනය ස්ථාවර කිරීම සඳහා “හදිසි නීතිය” පමනක් නොව අවශ්‍යනම් “යුද නීතිය” හා යුද අවි ද භාවිතා කල යුතු බවයි. මෙය කිරීමට අසමත් සිරිසේන දෙකයි පනහේ, “කොන්ද පන නැති” ජනාධිපතිවරයෙක් ලෙසට ඔහු චෝදනා කලේය.

රාජපක්ෂ පාලනය නැවතු තැනින් එහාට යමින්, වත්මන් ආන්ඩුව ජීවන හා සමාජ කොන්දේසි කප්පාදු කිරීමට ගන්නා එකදු පියවරකටවත් දඹර අමිල හෝ වියන්ගොඩ විරුද්ධ නැත. ඔවුන් මහජන අරගල වලට පහර ගසන්නේ ආන්ඩුවට එරෙහි කුමන්ත‍්‍රන ලෙස හංවඩු ගසමිනි. රාජපක්ෂගේ දූෂන හා අවභාවිත මැඩීමේ කඩතුරාවට මුවාවී ආඥාදායක පාලනයකට යන ලෙස වික‍්‍රමසිංහ ගෙන් ඔවුහු ඉල්ලති.

ඔවුන්ගේ සගයෙක් වන කොලඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස පිලිබඳ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මඳක් වෙනස් ලෙස කියා සිටින්නේ, විශ්වාසභංග යෝජනාව දිනවීම මගින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කර ජනාධිපති වරයාට “සුදුසු අයෙක්” අගමැති ධුරය සඳහා පත් කිරීමට අවස්ථාව සාදා දිය යුතු බවයි. අප්‍රේල් 9 දා පැවති රැස්වීමකදී ඔහුගේ කරුනු දැක්වීම සිදු කලේය. මහින්ද රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ වික‍්‍රමසිංහ ඉවත් කිරීමට නොව, එමගින් ආන්ඩුවේ බෙදීමක් ඇතිකොට, අස්ථාවර වූ පාලනය මගින් “ජනවාරි 8 ජන වරම ඉටුනොවන තත්වය හමුවේ ජනතාව තුල ආන්ඩුව ගැන කලකිරීමක් ඇති වීමට ඉඩ හැර” ඉදිරි මැතිවරන ජයග‍්‍රහනය කිරීමට බවයි.

“මහින්ද රාජපක්ෂගේ ප‍්‍රාර්ථනාව එයයි. එය ඉටුවීමට ඉඩ දෙන්න බැහැ. ජනවාරි 8 ජනවරමෙන් ජනතාවට දුන් පොරොන්දු නැවත ඉටු කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගත යුතුයි.” මෙය දඹර අමිලගේ තර්කයේ තවත් දිගුවකි. ආන්ඩුව් ස්ථාවර කරගැනීම සඳහා, වික‍්‍රමසිංහ පලවා හැර, සිරිසේනට තම ජනාධිපති විධායක බලය රිසිසේ පරිහරනය කරගැනීමට සුදුසු ආන්ඩුවක් පත්කර දිය යුතු බව ඔහු කියයි.

“ජනවාරි 8 ජනවරම” යනුවෙන් දේවසිරි, වියන්ගොඩ හා දඹර අමිල පුන පුනා ප‍්‍රකාශ කරන්නේ, චීනය දෙසට ඇදෙමින් සිටි හිටපු ජනාධිපති රාජපක්ෂ බලයෙන් පහ කිරීම සඳහා වොෂින්ටනයේ මැදිහත් වීමෙන් 2015 ජනාධිපතිවරනයේදී ගෙන ගිය තන්ත‍්‍ර මාරුවයි. රටේ මහජනතාවට පමනක් නොව, ශ්‍රීලනිපයේ හා එජාපයේ සාමජිකත්වයටමත් හොරෙන්, රාජපක්ෂගේ අන්තේවාසිකයෙක් ව සිටි සිරිසේන, ධනපති ප‍්‍රභූන්ගේ නිවෙස් වල කල රහස් සාකච්ඡා මගින්, රාජපක්ෂට එරෙහිව මැතිවරනයට ඉදිරිපත් කරවීමේ, මොනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂනයක් වත් නැත.

මොවුන් විසින් රාජපක්ෂට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයක් ලෙස සිරිසේන-වික‍්‍රමසිංහ හවුල හුවාදක්වමින්, “යහපාලන” ප්‍රෝඩාව තොරොම්බල් කරන විට, මේ තන්ත‍්‍ර මාරු මැදිහත්වීමේ සැබෑ අරමුන වූයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ චීනයට එරෙහි යුද සුදානම සමග මූලෝපායිකව පෙලගැසෙන ආන්ඩුවක් කොලඹ පිහිටුවා ගැනීම බව හෙලිදරවු කලේ සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ම පමනි.

ව්‍යාජ වම හා සිවිල් සංවිධාන අටවාගත් බුද්ධිමතුන් හා තවත් කන්ඩායම් සිරිසේන පෙරටු කර ගත් මෙම ව්‍යාපාරයෙන් සැබෑ භූමිකාව වූයේ වොෂින්ටනයේ ව්‍යායාමයට සහයෝගය දෙන ගමන් රාජපක්ෂ පාලනයට එරහිව පැන නැගෙමින් පැවති සමාජ පිපිරීම් සහගත තත්වය අවමන්ගත කිරීමයි.

“ජනවාරි 8 ජනවරම” හා “යහපාලන ප‍්‍රතිපත්ති” යනුවෙන් මේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට සැපයූ වහන්තරාවන් ජනතාවගේ පිලිකුලට හා වෛරයට පාත‍්‍ර වී ඇති බව පෙබරවාරි මාසයේ පලාත් පාලන මැතිවරනයේ දී ආන්ඩුව ලැබූ පරාජයෙන් හා දිගහැරෙමින් පවතින කම්කරු සටන් රැල්ලෙන්නුත් පැහැදිලිවෙයි. මේ තතු යටතේ ධනපති බුද්ධිමතුන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුලු ඉහල මධ්‍යම පන්තික ස්තරය, ධනපති ක‍්‍රමය තුල තම වරප‍්‍රසාද අරකෂා කරගැනීම සඳහා, වඩාත් ආඥාදායක ආකාරයේ ධනපති පාලනයක් පිහිටුවා ගතයුතු බවට ගනන් බලති.

ධනපති බුද්ධිමතුන් මෙන්ම, ව්‍යාජ වාම කන්ඩායම්ද ඇතුලත් මේ ඉහල මධ්‍යම පන්තික ස්තරය ලංකාවේ පමනක් නොව ලොව පුරාම සීග‍්‍රයෙන් දකුනට පැද්දෙමින් හා, අධිරාජ්‍යවාදී යුද වාදයේත් අවශ්‍යතා වලට අනුගත වෙමින් සිටිති. ඔවුන්ගේ මේ පරිවර්තනය, ධනපති ක‍්‍රමයේ ලෝක පරිමාන අර්බුදයේ කොටසක් ලෙස සිදුවන, මූල්‍ය ප‍්‍රාග්ධනයේ ප‍්‍රසාරනය, හා පරපුටු මූල්‍ය සමපේක්ෂන හරහා කුඩා සුලුතරයක් අත අතිමහත් ධනස්කන්ධයක් සංකේන්ද්‍රනය වීම යන ක්‍රියාවලින්ට ඓන්ද්‍රීයව බැඳී පවතී.

ලෝක සමාජවාදී වෙබ අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝත් තම ව්‍යාජ වමේ න්‍යායික හා ඓතිහාසික සම්භවයෝ යන කෘතියෙන් පැහැදිලි කල අයුරු: “පසුගිය දශක කිහිපය තුල ඉහල මධ්‍යම පන්තියේ සැලකිය යුතු කොටසක් සැලකිය යුතු ධන සම්භාරයක් අත්කරගෙන ඇත. ... එය ධනවත්ම සියයට එක සිට පහ දක්වා වූ පිරිස අත ඇති ධනයට කිසිසේත්ම සැසඳිය නොහැකිවුවත්, ඔවුහු කම්කරු පන්තියට වඩා හොඳ තත්වයකට පැනගෙන සිටිති. ... මේ ක්‍රියාවලිය තුලින් ඔවුන්, ද්‍රව්‍යමය, දෘෂ්ටිමය හා දේශපාලනිකව කම්කරු පන්තියෙන් පරාත්වාරෝපනය වීමට යොමු වී ඇත.”

1980 ගනන් වල සිට අර්නස්ට් ලක්ලා ඕ හා ශාන්තාල් මුෆ් වැනි පශ්චාත් නුතනවාදී න්‍යායාචාර්ය වරුන් කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය ඍජුව ප‍්‍රතික්ෂේප කරන තර්ක ඉදිරිපත් කිරීමේ පටන්, වර්තමානයේ ස්ලැවෝ ජිජක් වැනි පිරිහුනු ව්‍යාජ වාම ශාස්ත‍්‍රාලිකයන්, අධිරාජ්‍යවාදී රටවල සරනාගතයන්ට එරෙහි ප‍්‍රහාර, මිලිටරිකරනය හා රහස් ඔත්තු බැලීම පවා ඍජුව සාධාරනීකරනය කරන තැනට පත්ව ඇත්තේ මේ ක්‍රියාවලිය තුලය.

ලංකාව තුලදී, ඔවුන්ගේ න්‍යායික සගයන් වන දේවසිරි, දඹර අමිල හා වියන්ගොඩ වැන්නවුන්, 2015 දී කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද අවශ්‍යතා නියෝජනය කල ඊනියා “යහපාලන” බෝට්ටුවට පැන ගැනීම අහම්බයක් නොවේ. එමගින්, ධනපති පාලන ව්‍යූහයන් හා බද්ධවීමෙන් තමන්ට ලැබී ඇති වරප‍්‍රසාද ආරක්ෂා කරගැනීම සඳහා සීමිත ධනපති නීතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පවා කුඩුපට්ටම කර දැමීමට මැලි නොවන ලෙස ඔවුහු තම ධනපති හාම්පුතුන්ට උපදෙස් දෙති.

පලවන ලෝක සංග‍්‍රාමය අභියස ලෙනින් පෙන්වා දුන්නේ, අර්බුදය ඉදිරියේ ධනපති පන්තිය “සකල ධනේශ්වර නීත්‍යානුකුල භාවයම වනසා දැමීමට යොමුවන” බවයි. එබැවින්, ලංකවේ කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයන්, ධනපති බුද්ධිමතුන් හා සිවිල් සංවිධාන ආඥාදායකත්වය සඳහා කරන මේ කන්නලව්ව, බැරෑරුම් අනතුරු ඇඟවීමක් ලෙස ගෙන. ධනපති පක්ෂ හා ඒවායේ ව්‍යාජ වාම හා ශාස්ත‍්‍රාලික ක්ෂමාලාපකයන්ගෙන් සම්පූර්නයෙන්ම බිඳී සමාජවාදී දේශපාලන ඉදිරිදර්ශනයක් සඳහා පෙලගැසිය යුතුය.

Share this article: