කටුනායක ගුවන් තොටුපල සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා වර්ජනයේ යෙදෙති

කපිල ප‍්‍රනාන්දු සහ නිහාල් ගීකියනගේ විසිනි, 2018 අප්‍රේල් 4

විරෝධතා‍වයෙහි යෙදෙන ගුවන් තොටුපල සේවකයෝ

රුපියල් 10,000 ක වැටුප් වැඩි කිරීමක් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවකයෝ ගුවන් තොටුපල පිවිසුම් මාර්ග සියල්ල අවහිර කරමින් ඊයේ උදෑසන වර්ජනයක නිරත වූහ. ගුවන් තොටුපල සංඥා කුලුනුවල හා ඊයේ දින වැඩෙහි නිරත ආරක්ෂක අංශ හැර ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමට අයත් කලමනාකරන, ඉන්ජිනේරු, ආරක්ෂක සහ බලශක්ති යන සෑම අංශයකම සේවයේ නිරත 3000 කට අධික සේවකයෝ මෙම වර්ජනයට සම්බන්ධ වූහ.

වර්ජනයට සහාය පල කරමින් මත්තල, අත්තිඩිය ගුවන් විදුලි සම්ප්‍රේෂන සහ පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයෝ ද වර්ජනයේ නිරත වී තිබේ.

ප‍්‍රමාද වී ඇති, වසර තුනකට වරක් ලබාදෙන වැටුප් වැඩි කිරීම් වහා ලබාදීමට අමතරව, සියයට 4 ක ආපදා නයක් ලබාදීම, රක්ෂන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම හා නව ආරක්ෂක ප‍්‍රධානියා සම්බන්ධ අදාල විනය ක්‍රියාමාර්ග ගැනීම කම්කරුවන්ගේ ඉල්ලීම් විය.

බලධාරීන් සමග සාකච්ඡා බිඳවැටීමෙන් පසු වර්ජනයට අවතීර්න වූ කම්කරුවෝ පිවිසුම් මාර්ග අවහිර කොට, විදුලිය විසන්ධි කොට, ජල සැපයුම් හා සියලුම බලශක්ති සැපයුම්වල පාලනය අතට ගනිමින් පැය කිහිපයකට ගුවන් තොටුපල අඩපන කලේ ය. ඉල්ලීම් දිනා ගැනීමේ අධිෂ්ඨානය හා සටන්කාමීත්වය පෙන්නුම් කල කම්කරුවෝ, ආන්ඩුවේ විධානයෙන් කැඳවා තිබු පොලිස් කැරලි මර්දන ඒකකවලට හා ජල විදින ට‍්‍රක් රථවලට පහරදීමට ගුවන් තොටුපලේ ගිනිනිවීම් අංශයේ අධිබලැති ජල විදින ට‍්‍රක් රථ සීරුවෙන් තබා තිබුනි. කම්කරුවෝ මාර්ග අවහිර කිරීමට බැකෝ යන්ත‍්‍ර යොදා ගෙන තිබුනි.

ගුවන් සේවා සමාගමේ ඉහල ලාභ පෙන්නුම් කල කම්කරුවෝ “බිලියන ගනන් උපයනවා අපට හුලං” යයි සටන් පාඨ කියා හඬ නැගූහ. වසර 25 ක් ගුවන් තොටුපලේ සේවයේ නිරත ගුවන් තොටුපල ගිනිනිවීම් රථ අසල සිටි එක් කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ ප‍්‍රකාශ කලේ ය: “අපිට රජයේ වැටුප් වැඩිවීම් මොකුත් ලැබෙන්නේ නෑ. අවුරුදු තුනෙන් තුනට වැටුප් වැඩිවීමට තමා ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. 2014 ට අපිට වැටුප් වැඩි වෙලා නෑ. අනෙකුත් අනුබද්ධ ආයතනවලට වරායට, පෙට්‍රෝලියම් හා පාඩු ලබනවා යයි කියන ශ්‍රී ලංකන් එකටත් වැටුප් වැඩිවීම් දුන්නා. නමුත් අපිට නෑ. අපි ඊයෙත් පිකටින් කලා. මාධ්‍ය හැම එකක වගේ ප‍්‍රචාරය කලා. ඒක ඇමතිලා දන්නෙත් නැතිලු. පාර්ලිමේන්තුවේ ඉන්න උන් දන්නේ නැතිලු. ඉස්සරහ පොලිසිය ගාව නවත්වලා තියෙනවා පොලිස් කැරලි මර්දන ඒකක මෙහෙට එන්නේ නෑ බයයි. අපිට ගැහුවොත් අපිත් ගහනවා.”

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ (ශ්‍රීලංනිසේස), ජාතික සේවක සංගමයේ (ජාසේස) සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සමිතිවල නායකයන් වර්ජනය තුල කම්කරු පන්තියේ රැකවලුන් ලෙස මවා පෑමක නිරත වූ නමුත් කම්කරුවන් පෙන්නුම් කලේ සමිතිවල භේදකරනයන් බිඳගනිමින් තම පන්ති අවශ්‍යතා සඳහා ඒකාබද්ධව සටන් කිරීමේ උවමනාවයි.

සමිති නායකත්වය, වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවත් සමස්ත ධනපති ක‍්‍රමයත් ගලවා ගැනීම සඳහා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා ට චෝදනා එල්ල කලේ ය.

වැටුප් වැඩිවීමේ අවශ්‍යතාවය විස්තර කරමින් තවත් කම්කරුවෙක් මෙසේ පැවසීය: “අපිට විශ‍්‍රාම වැටුපක් නෑ. අපි බෙල්ට් භාරව ඉන්නේ ඒ කියන්නේ පැමිනෙන සියලුම මගීන්ට පහසුකම් සැලසීම තමා අපෙන් කෙරෙන්නේ. අපේ මූලික වැටුප ගොඩක් අඩුයි. දීමනා තමයි එල්ලලා තියෙන්නේ. රටේ තියෙන ජීවන වියදමත් එක්ක අපි රුපියල් 50,000 ක් ගත්තත් ජීවත් වෙන්න බෑ. අපි සපත්තු දාලා හොඳට ඇඳලා පිලිවෙලට එන්න ඕනා. මේක ජාත්‍යන්තර ගුවන් තොටුපලක්. ඒ හැම දේටම අපිට වියදම් යනවා. අපි දවල් වරුව පැය අටයි, නයිට් එක පැය 16 යි. නයිට් එකකට ඕෆ් 2 ක් ලැබෙනවා. සතියකට අපි කොහොමත් පැය 40 ට වැඩිය වැඩ. අපි පනස්දාහක් විතර පඩි ගද්දි මේකේ කලමනාකාරීත්වයේ ඉන්න ඉහල නිලධාරීන් අපි වගේ දස ගුනයක් වැටුප් ගන්නවා. ඒ ගොල්ලන්ගෙ පඩි වැඩිකර ගන්න වර්ජන මොකුත් ඕන නෑ. නිකම්ම වැඩි වෙනවා. අපි 2014 අග මහින්ද රාජපක්ෂගේ කාලේ වැටුප් වැඩිවීමක් දිනා ගත්තෙත් අරගල කරලා තමයි.”

ගුවන් තොටුපලේ පවිත‍්‍රතා සහ භාන්ඩ එහා මෙහා ගෙන යාමේ කටයුතු සඳහා දැනටමත් කොන්ත‍්‍රාත් පදනමේ කම්කරුවන් යොදවා තිබේ. අබාන්ස් වැනි පෞද්ගලික සමාගම් එම කොන්ත‍්‍රාත් වලින් ඉහල ලාභ උපයයි. ගුවන් තොටුපල පිටවීම් දොරටුවේ රැකියාවේ නිරත එම කම්කරුවෙක් ප‍්‍රකාශ කලේ පැය 24 ක සේවා මුරයක් සහිත තම රැකියාවේ මාසික වැටුප රුපියල් තිස්දාහක් බවයි.

ගුවන් තොටුපල කම්කරුවන්ගේ වර්ජනය මගින් තමා මුහුන දී සිටින ආර්ථික හා දේශපාලන අර්බූදය තවත් උග‍්‍ර කරන බව දැක ගත් ආන්ඩුව ක්ෂනිකව වර්ජනය නවතා දැමීම සඳහා වෘත්තීය සමිති නායකත්වය සමග සම්මුතියකට පිවිස ගත්තේ ය. ඊයේ සවස සමිති නායකයත්වය කම්කරුවන් අමතා ප‍්‍රකාශ කලේ ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ ලබා දුන් රුපියල් 10,000 කින් මාසික වැටප වැඩි කිරීමේ වාචික පොරොන්දුව සියයට සියයක් විශ්වාස බවයි.

නියෝජ්‍ය ඇමතිගේ පොරොන්දුව මත වර්ජනය නවතා දැමූ සමිති නායකත්වයේ ශ්‍රීලංනිසේස සභාපති වර්නසිරි බන්ඩාර මොහන්දිරම් ලෝසවෙඅ ට මෙසේ පැවසීය: “ලිඛිතව නම් පොරොන්දු වුනේ නෑ. නමුත් අපිට විශ්වාසයි. දුන්නෙ නැත්නම් අයෙත් වර්ජනය පටන් ගන්නවා.”

ගුවන් තොටුපල කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තියට එල්ල කෙරෙන ප‍්‍රහාරය සම්බන්ධයෙන් මූලික වගකීම දරන සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව කොක්කෙන් ගලවා, කම්කරු විරෝධය ආන්ඩුව වෙත එල්ලවීම වැලැක්වීම සඳහා සමිති නායකත්වය දරන ප‍්‍රතිගාමී ප‍්‍රයත්නය ජාසේස සභාපති සේනාරත්න ජයකොඩි ගේ ප‍්‍රකාශයෙන් ඉතා පැහැදිලි විය.

ඔහු මෙසේ කීවේය: “අපිට විශ්වාස නෑ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිව. එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මේක විසඳයි කියලා අපිට විශ්වාසයි. වාචිකව තමා පොරොන්දු වුනේ නමුත් අපිට සියයට සියයක්ම විශ්වාසයි. අද හවස 6.30 වෙද්දී ඊට අනුමැතිය දෙනවා කිව්වා. අවුරුදු තුනකට සැරයක් වැටුප් වැඩිවීම සිදුවිය යුතුයි. නමුත් ඇමති සිරිපාල ද සිල්වා ඒක කඩ කෙරුවා. අපි රජයට ආන්ඩුවට විරුද්ධ නෑ. නමුත් අපි ඇමතිට විරුද්ධයි. එතුමා ආන්ඩුවේ ඉඳගෙන ආන්ඩුවට විරුද්ධව කටයුතු කරනවා. එතුමාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා තමයි මෙවැනි තත්වයක් උදා වුනේ.”

මේ වන විට මාසයකට වඩා දිගු කාලයක් වැඩ වර්ජනයේ නිරත විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ ඉල්ලීමි ඇතුලු කම්කරු පන්තියේ අනෙකුත් ඉල්ලීම් සම්බන්ධව ආන්ඩුවේ නොතැකීම හා කම්කරුවන්ට එරෙහිව පොලිසිය දිගේලි කිරීම පිලිබඳව විමසූ විට ඒ පිලිබඳව කිසිවක් ප‍්‍රකාශ නොකල ඔහු කියා සිටියේ “අනෙක් ආයතන ගැන අපි කතා කරන්නේ නෑ” යනුවෙනි.

Share this article: