කම්කරු විරෝධය මධ්‍යයේ වැඩ නැවැත්වූ කම්කරුවන් සේවයේ පිහිටුවීමට වතු කලමනාකාරීත්වයට බලකෙරේ

එම්. දේවරාජා විසිනි, 2018 අප්‍රේල් 10

ටොරින්ටන් වත්තේ කම්කරුවන්ගේ විරෝධතා උද්ඝෝෂනය

ටොරින්ටන් වත්තේ කම්කරුවන් දියත් කල ධෛර්යය සම්පන්න විරෝධතා උද්ඝෝෂනයකින් පසු වැඩ තහනම් කල පී. කනගමූර්ති හා එල්. සෂීදරන් යන කම්කරුවන් දෙදෙනා අප්‍රේල් 7 දා යලි සේවයේ පිහිටුවීමට ටොරින්ටන් වතු කලමනාකාරීත්වයට සිදු විය. ටොරින්ටන් වත්ත, ආගරපතන වතු සමාගම යටතේ ක‍්‍රියාත්මක වේ.

මාර්තු 29දා කනගමූර්ති හා ඔහුගේ පුත‍්‍රයා භූමිතෙල් සිරුරට වක්කරගෙන සියදිවි හානි කරගැනීමට උත්සාහ කල විට වැඩ තහනම් කල සේවයකයන් දෙදෙනා යලි සේවයේ පිහිටුවන ලෙස හා දුෂ්කර වැඩ කොන්දේසිවලට විරුද්ධ ව 300ක් පමන වන වතු කම්කරුවෝ අඛන්ඩ වැඩ වර්ජනයකට යාමට තීරනය කල හ. අප්‍රේල් 4දා වෘත්තීය සමිති, වතු කලමනාකාරීත්වය හා රාජ්‍ය කම්කරු නිලධාරීන් අතර පැවැති සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසු සටන්කාමී කම්කරුවෝ පසුදින වත්තේ සිට ආගරපතන-හැටන් මාර්ගය දක්වා විරෝධතා පවත්වමින් පැමින පිකට් උද්ඝෝෂනයක නිරත වූහ. පොලීසිය විරෝධතාව නැවැත්වීමට උත්සාහ කල ද එය අසාර්ථක වුනි.

වත්තෙන් කම්කරුවන්ට දෙන තේ දලු පාවිච්චියට නුසුදුසු හානිකර දේවල් අඩංගු වන බවට ව්‍යාජ චෝදනා කිරීම, එම චෝදනාව මත කම්කරුවන් අතර අතෘප්තිය නිර්මානය කිරීමට උත්සාහ දැරීම, එම චෝදනාව මත ම කලමනාකාරීත්වයේ හා වත්තේ කීර්ති නාමයට හානි කිරීම, වැඩ අධීක්ෂක (කංකානම) වී. සුන්දර්රාජ්ට අසභ්‍ය වචනයෙන් බැනවැදීම සහ කලමනාකාරීත්වයට කීකරු නො වීම හා ගරු නො කිරීම ඇතුලු චෝදනා 7ක් යටතේ කනගමූර්තිට චෝදනා එල්ල කෙරුනි. සෂීදරන්ට එරෙහි චෝදනාව වූයේ වත්තේ මාර්ග බාධකය කඩාදැමීම යි.

වත්තෙන් දුන් තේ පානය කිරීමෙන් පසු තම පුත‍්‍රයා රෝගාතුර වූ බව කී කනගමූර්ති එම තේවල යම් රසායන ද්‍රව්‍යයක් අඩංගු වන තමන් විශ්වාස කරන බව කීවේ ය. වත්තේ මාර්ගයේ ගේට්ටුව නිතර ම වසා තැබෙන බවත් සෂීදරන් එය ඇද විවෘත කිරීමට උත්සාහ කල විට එය කැඩී ගිය බවත් කම්කරුවෝ කීහ.

වැඩ වර්ජනය හා විරෝධතා උද්ඝෝෂනය පුපුරා ගියේ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ය. වෘත්තීය සමිති වර්ජනය නතර කරන ලෙස කම්කරුවන්ට කීවත් ඔවුහු එය ප‍්‍රතික්ෂේප කල හ. කම්කරුවන් පවසන ආකාරයට කනගමූර්තිට හා සෂීදරන්ට එරෙහි චෝදනා ඉවත් කරගැනීමට කලමනාකාරීත්වය එකඟ වී ඇත. දුෂ්කර වැඩ කොන්දේසි සම්බන්ධ මී ලඟ සාකච්ඡාව අප්‍රේල් 26දා පැවැත්වීමට නියමිත ය.

ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), ලංකා කම්කරු කොංග‍්‍රසය (සීඩබ්ලිව්සී) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) යන වෘත්තීය සමිති තුනක් වත්තේ ක‍්‍රියාත්මක ය. වර්ජිත කම්කරුවන් සියලු සමිතිවලට අයත් ය. එන්යූඩබ්ලිව් හා යූපීඑෆ් වත්මන් ආන්ඩුවේ පාර්ශවකරුවන් වන අතර සීඩබ්ලිව්සීය ද ආන්ඩුවට හා විරුද්ධ පක්ෂයට සහයෝගය දක්වයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කතා කල කම්කරුවෝ සමාගමේ කලමනාකාරීත්වයට මෙන් ම වෘත්තීය සමිතිවලට ද එරෙහි ව කෝපය ප‍්‍රකාශ කල හ. “කලමනාකාර මොහොමඩ් ජින්නා හිතුමතේ ගන්නා පියවරවලට විරුද්ධ වන බොහෝ කම්කරුවන් ව කනගමූර්තිට කල වර්ගයේ බොරු චෝදනා නගා සේවයෙන් නෙරපා තිබෙනවා. වෘත්තීය සමිති ඔක්කොම කම්කරුවන් වෙනුවට කලමනාකාරීත්වට සහයෝගය දෙනවා. අපි වැඩ වර්ජනය පටන් ගත්තෙ වෘත්තීය සමිති නො තකා” යයි ඔවුහු කීහ.

කම්කරුවෝ වත්තේ පීඩාකාරී වැඩ කොන්දේසි විස්තර කල හ. “ලෙඩවෙලා හරි වෙනත් හේතුවක් හින්ද හරි කම්කරුවෙකුට එක දිගට දවස් 3ක් වැඩට එන්න බැරිවුනොත් වැඩ තහනම් කරනවා. අපි උදේ 7.30 වෙනකොට වැඩට ඉන්න ඕනි කියල බලකරන කලමනාකාරීත්වය මිනිත්තු කිහිපයක් පරක්කු වුනත් දවසේ වැඩ දීම ප‍්‍රතික්ෂේප කරනවා. සමහර වැඩකරන තැන් තියෙන්නේ කන්ද උඩ අපේ ගෙවල්වලින් කිලෝ මීටර 3ක් විතර ඈත. අපි වෙලාවට ම වැඩට ඉන්නෙ කොහොමද?”

ඈත තැන්වල වැඩකරන අයට සමහර සහන තිබුනු බව කම්කරුවෝ කීහ. “කම්කරුවෙක් වැඩකරන ගමන් අසනීප වුනොත් විශේෂයෙන් ම කාන්තා කම්කරුවන්ට මුලදි පැය දෙකක් විවේකී ව ඉඳල වැඩ පටන් ගන්න පුලූවන්. එතකොට මුලු පඩිය ම ගෙවුව. දැන් ඒ සහන අයින් කරල.”

කනගමූර්ති දිවි නසාගැනීමට උත්සාහ කිරීමෙන් පසු සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් මාර්තු 31දා වාහන හතක පෙරහැරකින් වත්තට පැමින තිබුනි. කනගමූර්ති අයත් වන්නේ කවර වෘත්තීය සමිතියටදැයි ඔහු විමසී ය. ඔහු සාමාජිකත්වය දරන්නේ එන්යූඩබ්ලිව් සමිතියේ බව කී විට එන්යූඩබ්ලිව් සාමාජිකයෙක් ගැන තමන්ට කතා කල නො හැකි බව ඔහු කීවේ ය.

“සර්, සෑම කම්කරුවෙක් ම මොන සමිතියෙ ද කියල තකන්නෙ නැතුව ආරක්ෂා කරන්න ඕන. පහුගිය මැතිවරනයෙදි ඔබට ඡන්දෙ දෙන්න කියල ඔබ හැමෝට ම කිවුව දැන් එන්යූඩබ්ලිව් එකේ එක්කෙනෙක් නො තකා හරින්නෙ කොහොමදැයි” විශ‍්‍රාමික හා අන්ධ ව සිටින කම්කරුවෙක් වන රත්නවේල් කීවේ ය. තොන්ඩමන් කෝපයෙන් ඔහුගේ කමිස කර පටියෙන් අල්ලා තල්ලු කර දැමුවේය.

මෙම නපුරු හැසිරීමට කම්කරුවන් විරෝධය පල කල විට තොන්ඩමන් කතා කිරීම නවත්වා යන්නට ගියේ ය.

එක් කාන්තා කම්කරුවෙක් මෙසේ කීවා ය. “පහුගිය ඡන්දෙදි ඔක්කොම වෘත්තීය සමිති ඡන්ද හිඟාකාගෙන මෙහේ ආවත් අපි දවස් 8ක් වර්ජනය කරද්දි කිසිකෙනෙක් ගනන් ගත්තෙ නැහැ. [සමාජවාදී සමානතා පක්ෂයේ] ඕගොල්ලො ගැන අපි කලින් අහල නො තිබුනත් ඕගොල්ලො ඇවිල්ල අපිට සහයෝගය දුන්න. අපි ජීවත් වෙන්නෙ හරි ම දුෂ්කර කොන්දේසි මැද්දෙ. අපිට සම්පූර්න පඩිය හම්බ වෙන්නෙ දලු කිලෝ 18 ටාගට් එක දුන්නොත් විතරයි, එහෙම නැත්නම් දවසකට අපෙන් රුපියල් 140ක් කැපෙනව.” හාල්, පොල්, පිටි ආදී අත්‍යවශ්‍ය දේවල්වල මිල ගැන ඇය සඳහන් කලා ය. “ඒත් අපේ දවසක මූලික පඩිය රුපියල් 500යි. අපි ජීවත් වෙන්නෙ කොහොමද? සහනයක් බලාපොරොත්තුවෙන් අපි මේ ආන්ඩුවට ඡන්දෙ දුන්නත් සිද්ද වෙලා තියෙන්නෙ තත්ත්වය තවත් නරක් වෙච්ච එක විතරයි” ඇය කීවා ය.

අප්‍රේල් 5දා විරෝධතාව අවසන් වූ අවස්ථාවේ සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජාට ටොරින්ටන් කම්කරුවන් අමතා කතා කිරීමට අවස්ථාව ලැබුනි. “සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඔබලාගේ ධෛර්යය මත් අරගලයට සම්පූර්නයෙන් සහයෝගය දෙනවා. ඕගොල්ලො සටන් කරන්නේ කලමනාකාරීත්වයට පමනක් නෙවෙයි කම්කරුවන්ට විරුද්ධ ව ඔවුන් එක්ක ලඟින් ම වැඩකරන වෘත්තීය සමිතිවලටත් විරුද්ධ ව” යයි ඔහු කීවේ ය.

“කනගමූර්තියි එයාගෙ පුතයි ජීවිත නැති කරගන්න හදපු එකෙන් මේ වත්තෙ කම්කරුවො ජීවත් වෙන්නෙ කොහොම ද කියල හොඳින් ම පෙන්නුම් කරනව. මේ දුෂ්කර කොන්දේසි මැද්දෙත් වෘත්තීය සමිති ඕගොල්ලන් ව අත්හැරල දාල. ජීවිතේ නැති කරගන්න එක විසඳුමක් නෙවෙයි.”

ටොරින්ටන් වත්තේ කම්කරුවන්ගේ විරෝධතා ව්‍යාපාරය 15,000ක් පමන විශ්ව විද්‍යාල අනධ්‍යයන කම්කරුවන් කරගෙන යන අරගලය හා වෘත්තීය සමිතිවල සහයෝගය සහිත ව අනෙකුත් රටවල ධනේශ්වර ආන්ඩු ගෙනයන සමාජ ප‍්‍රතිවිපල්වවාදී පියවරයන්ට එරෙහි ව කම්කරුවන්ගේ රැඩිකලීකරනය සමග බැඳී තිබෙන ආකාරය දේවරාජා විස්තර කලේ ය.

“ඔබ අනෙකුත් වතු කම්කරුවොත් අනෙකුත් ක්ෂේත‍්‍රවල කම්කරුවොත් අරගලය වටා ඒකාබද්ධ කරගත යුතු යි. ආදායම් බෙදාහැරීමේ ක‍්‍රමය හඳුන්වා දීම හරහා වෘත්තීය සමිතිවලත් සහයෝගය ඇති ව මෛත‍්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව වතු කම්කරුවන්ට විරුද්ධ ව ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙනවා. වතු කම්කරුවන්ට අතීත අරගලවලින් දිනාගත්ත ඊපීඑෆ්, ඊටීඑෆ්, සෞඛ්‍ය ප‍්‍රතිලාභ හා ලමා සුබසාධනය වැනි සීමිත සමාජ අයිතීන් පවා නැති වී යාමට නියමිත යි” දේවරාජා කීවේ ය.

මෙම ආදායම් බෙදාහැරීමේ ක‍්‍රමයට විරුද්ධ ව වතු කම්කරුවන් ඉදිරියට ආ යුතු බව ඔහු අවධාරනය කලේ ය. කම්කරුවන් ව අඳගොවි තත්ත්වයට ඇද හෙලා ඔවුන් ව අංශුවලට විසුරුවන මෙම ආදායම් බෙදීමේ ක‍්‍රමයට පහුගිය සාමූහික ගිවිසුම්වල දී වෘත්තීය සමිති එකඟ වූ බව ඔහු කම්කරුවන්ට මතක් කර දුන්නේ ය.

“වතු සමාගම්වල හා ධනේශ්වර ආන්ඩුවල ඒජන්තයින් ලෙස ක‍්‍රියාකරන වෘත්තීය සමිතිවලින් වතු කම්කරුවන් බිඳී වෙන් වී අරගල ඉදිරියට ගෙනයාමටත් අනෙකුත් කම්කරුවන්ගේ සහයෝගය ගොනු කරගැනීමටත් ක‍්‍රියාකාරී කමිටු ගොඩනගා ගතයුතු” යයි ඔහු කීවේ ය. සමාජවාදී වැඩපිලිවෙලට සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන්කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරනය කලේය.

Share this article: