ශ‍්‍රී ලංකාව: කම්කරුවෝ සහ තරුනයෝ මැයි දින තහනම හෙලා දකිති

Workers and youth denounce Sri Lankan May Day ban

අපගේ වාර්තාකරුවන් විසිනි , 2018 අප්‍රේල් 27

සමාජවාදී සමානතා පක්ෂය ද සමාජවාදී සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ද, සාමාජිකයෝ හා ආධාරකරුවෝ ආන්ඩුව විසින් මැයි දින සැමරුම් තහනම් කිරීමට මෙන් ම වාර්ෂික මැයි දින නිවාඩුව අහෝසි කිරීමට ද එරෙහිව ප‍්‍රබල උද්ඝෝෂනයක නිරතව සිටිති.

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තම තීරනය ගනු ලැබුවේ, බෞද්ධ පුන්‍ය උත්සවයක් වන “වෙසක්” සතිය සමග මැයි දිනය සම්පාත වන බැවින් එදින කම්කරු පන්තික කටයුතු නවත් වන ලෙස බෞද්ධ ප‍්‍රධානීන් විසින් කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර වසයෙන් බව ආන්ඩුව ප‍්‍රකාශ කලේ ය.

සැබෑ කාරනය නම් අර්බුද ග‍්‍රස්ත සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි තම විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමට කම්කරුවන් ජාත්‍යන්තර කම්කරු දිනය යොදා ගනු ඇතැ යි යන බිය යි.

සසප උද්ඝෝෂනය, කොලඹ

සමාජවාදී සමානතා පක්ෂය තම මැයි දින ප‍්‍රසිද්ධ රැස්වීම වෙනුවෙන් කොලඹ නගර සභාවට මුදල් ගෙවා වෙන් කර ගත් අතර, රැස්වීම පැවත්වීමට නීතියෙන් අවශ්‍ය කෙරෙන පොලිස් අවසරය ද ලබා ගෙන තිබුනි. කෙසේ නමුත්, සඳුදා, ශාලාව වෙන් කිරීම අවලංගු කරන ලද බව කොලඹ නගර සභා අධිකාරීහූ සසපට දැනුම් දුන්හ. වෙනත් වෘත්තීය සමිති හා පක්ෂ ද ආන්ඩුවේ තහනමට ලක් වී ඇත.

සසප හා සසජාතශි උද්ඝෝෂන කන්ඩායම රටේ විවිධ ප‍්‍රදේශවල “ශ්‍රී ලංකා ආන්ඩුවේ මැයි දින තහනමට එරෙහි වෙනු” යන සසප ප‍්‍රකාශනය බොදා හැරියහ. බොහෝ දෙනා ආන්ඩුව හෙලා දුටු අතර සසප හා සසජාතශි උද්ඝෝෂනයට සහාය පල කලහ.

හෝමාගම ප‍්‍රදේශයේ පින්තාරු වැඩ පරීක්ෂකයෙකු වන සෂික දිල්ෂාන්, කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කලේ ය. “තහනම් නොතකා කම්කරුවෝ හැමදාමත් මැයි දිනය පැවත්වූවා” යි ඔහු පැවසී ය.

සෂික දිල්ෂාන්,

“ආන්ඩුව අභියෝගවලට මුහන දෙන ඕනෑම වෙලාවක තහනම් පටවන්න උත්සාහ කරනවා. මේ තහනමේ තේරුම එය වෙනත් අයිතීන්ටත් ගහනවා කියන එක යි. මගේ අදහස නම්, විප්ලවයක් නැතිව කම්කරුවන්ට ඉස්සරහට යන්න බෑ කියන එකයි. ඒ නිසා කම්කරුවෝ එක්සත් වෙන්න ඕනෑ.”

“මම කැමති යි ඔයගොල්ලෝ මගේ පින්තූරයක් ගන්නවා නම්. මට ඕනෑ අනෙක් කම්කරුවන් උනන්දු කරවන්න. මම (සසප) මගේ ෆේස්බුක් එකේ දාලා මගේ යාලුවොත් එක්ක ෂෙයාර් කර ගන්නවා. එතකොට ඒ ගොල්ලත් ඔබලාගේ උද්ඝෝෂනය ගැන දැන ගනීවි.”

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන රොෂාන් සුමේධ මැයි දින තහනමට විරුද්ධ වූ අතර මෙසේ පැවසී ය, “හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවයි මේ ආන්ඩුවයි අතරෙ වෙනසක් නෑ.”

“ආන්ඩුවේ වැඩේ කම්කරුවන්ගේ, තරුනයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මර්දනය කරන එකයි” ඔහු පැවසී ය. “අධ්‍යාපනය පුද්ගලීකරනයට විරුද්ධ අපගේ උද්ඝෝෂනයේ දී ශිෂ්‍යයෝ පොලිස් පහරදීම් ගනනාවකට මුහුන දීලා තියෙනවා.”

ජාත්‍යන්තර දේශපාලන තත්වය හා තවත් ලෝක යුද්ධයක හැකියාව ගැන සඳහන් කරමින් සුමේධ මෙසේ පැවසී ය: “මේක ලෝකයේ සෑමඅයෙකුට ම බරපතල අනතුරක්. ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය යයි කියන කාරනයට මම ඔබ සමග එකඟයි.”

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කම්කරුවෙක් මෙසේ අදහස් දැක්වී ය: “2015දී මම මේ ආන්ඩුවට ඡන්දය දුන්නා. මට ඕනෑ කලා වෙනසක්. ඒත් මේ ආන්ඩුව කමකට නෑ. රාජපක්ෂ ආන්ඩුව වගේම ඒකත් කම්කරුවන්ට ගහනවා. අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල වැඩිවෙනවා. ආන්ඩුවට ඕනෑ තෙල් මිලත් වැඩි කරන්න. ඒක මිනිසුන්ට බරපතල විධියට දැනෙයි.”

“මම බැඳලා ලමයි දෙන්නෙක් ඉන්නවා. මගේ වයිෆ් වැඩ කලත් අපගේ මාසේ ආදායමෙන් ගැටගහ ගන්ට අමාරුයි. මිනිස්සු මේ ආන්ඩුවට විරුද්ධයි.”

සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවකයෙකු වන සමන් වික‍්‍රම, සාකච්ඡාවට එකතු වුනේ මෙසේ කියමිනි, “මේ වගේ ඇටෑක්වලට කම්කරුවන් නිශ්ශබ්දව ඉන්න හොඳ නෑ; දිගන (මහනුවර දිස්ත්‍රික්කයේ මෑත මුස්ලිම් විරෝධී ප‍්‍රහාර) ඇටෑක් එක ආවාම ආන්ඩුව ෆේස්බුක් තහනම් කරලා ප‍්‍රතිචාර දැක්වූවා.”

සමන් වික‍්‍රම

මධ්‍යම කඳුකරයේ වතුකම්කරුවන් සමග ද සසප ආධාරකරුවෝ සාකච්ඡා කලහ.

හැටන් නගරයට ආසන්න දික්ඔය වත්තේ කම්කරුවෙකු වන කේ. සත්‍යශීලන්, “මට අවුරුද 47යි. කම්කරුවෙක් හැටියට හැම අවුරුද්දෙම අපි මැයි දින උත්සව තියලා තියෙනවා. සාමාන්‍යයෙන් මැයි 1දා අපිට සම්පූර්න පඩියත් එක්ක නිවාඩු ලැබුනා.”

“මැයි දිනය තහනම් කලාටවත් දවස වෙනස් කලාටවත් කිසිම වෘත්තීය සමිතියක් විරුද්ධ වනවා මම දැක්කේ නෑ. මම කම්කරුවන්ගේ ජාතික සමිතියේ සාමාජිකයෙක්. ඒක 7වැනිදා මැයි දිනය පවත්වනවා. ලංකා කම්කරු කොංග‍්‍රස් එකත් එදාම මැයි දිනේ තියනවා. ඔවුන් ආන්ඩුවට සපෝට්. අපේ කට්ටිය කියන්නේ රුපියල් 1000 පඩි වැඩිකර ගැනීමේ අරගලය ඔවුන් පාවාදුන්නා කියලා.”

එම වත්තේ ම, අවුරුදු 38ක් වන කේ. මහේන්ද්‍රන්, “ගොඩක් තරුන කට්ටිය පිට ජොබ් හොයනවා. මොකද වතුවල පඩි හරි අඩුයි. වැඩ කොන්දේසි හරිම දරුනුයි. අපේ පඩිය කෑමටවත් මදි. අපි දවසකට දලු කිලෝ 20ක් කඩන්න ඕනෑ. ඒක කරන්න බැරි වුනොත් රුපියල් 140ක් කපනවා නිෂ්පාදන දීමනාවෙන්. හොඳ කාලයක් බලාපොරොත්තුවෙන් අපි මේ ආන්ඩුවට ඡන්දුය දුන්නා” යැයි පැවසී ය.

බලපිටිය ප‍්‍රදේශයේ වාස්තු විද්‍යාඥ චම්පික ද සිල්වා, “මම තියෙන ඔක්කොම දේශපාලන පක්ෂවලට විරුද්ධයි. අපි දැකලා තියෙනවා අඛන්ඩ වැඩවර්ජන ශිෂ්‍යයින්ගේ උද්ඝෝෂන. නමුත් පාලකයින් සූදානම් නෑ ඔවුන්ගේ ඉල්ලීම්වලට කන්දෙන්න. ඒ එක්කම වාමාංශික පක්ෂ හා වෘත්තීය සමිති වලට මේ තත්වයට මුහන දෙන්න බැරි බව ඔප්පු වෙලා. ඔවුන් පෙල ගැහිලා ඉන්නේ ආන්ඩුව එක්ක” යයි පැවසී ය.

උතුරේ යුද්ධේ තියෙනකොට කිව්වා ගැටුම ඉවර වුනාම හැමදෙයක්ම විසඳෙනවා කියාලා. යුද්ධය ඉවරයි. උතුරේ හරි දකුනේ හරි මිනිස්සුන්ගේ ජීවන තත්වයන් නැගලා තියෙනවා ද? ඒක පෙන්වන්නේ ආන්ඩුව තවත් යුද්ධයකට සූදානම් වන බවයි. මැයි දිනය වෙනුවෙන් ඔබලාගේ උද්ඝෝෂනයට මම සහාය දෙනවා.”

ප‍්‍රාදේශීය සභා කම්කරුවෙක් මෙසේ පැවසී ය: “ආන්ඩුවේ වෑයම පරද්දන්ට ඕනෑ. මේ කම්කරුවන්ගේ සියලු අයිතීන් ඉවත් කිරීමේ වැඩසටහනේ කොටසක්. ශ්‍රී ලංකාවේ ධනපති ආන්ඩුව, ඔවුන් අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස දිනාගත්තා කියාල උත්සව තියනවා. ඒ ගොල්ලන්ට ඕනෑ කම්කරුවන් තමන්ගේ දිනය සමරන එක නවත්වන්න.”

මොරටුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කම්කරුවෙක් මෙසේ ඇසී ය: “බෞද්ධයන්ට විතර ද අයිතීන් තියෙන්නේ? ලංකාවේ මැයි දිනය කම්කරුවන්ගේ දීර්ග සම්ප‍්‍රදායක්.” තහනම් කීරීම පෙන්වූයේ ආන්ඩුව “කම්කරුවන් මත මර්දනය හා අනෙකුත් ප‍්‍රහාරයන් මුදා හැරීමට සූදානම් වෙමින් සිටින බවයි. කම්කරුවන් මෙම ප‍්‍රහාර ගැන දැනුවත් කල යුතු යි” ඔහු පැවසී ය.

මේ මාසයේ දී වෘත්තීය සමිති, 15,000ක් පමන වන විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන්ගේ දින 44ක් කරපු සටන පාවා දුන්නා.

ප‍්‍රධාන පාර්ලිමේන්තු පක්ෂ වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ගැන සඳහන් කරමින්, විශ්වවිද්‍යාල කම්කරුවා මෙසේ පැවසී ය. “සමහර මිනිස්සු හිතන්නේ මේ රටේ පක්ෂ දෙකක් විතරයි තියෙන්නේ කියලා. හැබැයි මේ පක්ෂ දෙකම මැයි දින තහනමට එකඟ යි.”

Share this article: