පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊනියා වාමාංශිකයන් ගේ ජන අරගලයක් යෝජනා කරයි

විලානි පීරිස් විසිනි, 2018 අගෝස්තු 7

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප ) “බල අරගලය නරඹමු ද? පරදවමු ද?” යනුවෙන් දේශන මාලවක් පටන් ගෙන ඇත. ඇසූ මනතින් ම වාචාල දෙඩවිල්ලක් බව තේරුම් යන මේ මාතෘකාව යටතේ ජූලි 17 වැනි දින මහනුවර දේශනය පැවැත් වූයේ එහි නායක කුමාර් ගුනරත්නම් ය. මහජනතාව මුහුන දෙන ජීවන හා ප්‍රජාතන්ත්‍රීය ප්‍රශ්නවලට එක ම විසඳුම “ජන අරගලය” යයි එහි දී ඔහු අවධාරනය කලේ ය.

අර්බුදයක ගිලෙන කොලඹ ධනපති පන්ති පාලනයට, පෙරලිකාරී වන කම්කරු පන්තියෙන් එල්ල වන තර්ජනය හමුවේ පාර්ලිමේන්තුව තුල පැනනැගී ඇති කා කොටා ගැනීම්, බල අරගලයක අර්බුදය යයි කියා සිටින ගුනරත්නම් පාර්ලිමේන්තුව තුලින් ප්‍රශ්න විසඳිය නොහැකි යයි ද, ජනතාව මුහුන දී ඇති ජීවන කොන්දේසි කපාහැරීම් හමුවේ “සියලු වාමාංශික පක්ෂ එකාබද්ධව කරන ජන අරගලය” විකල්පය බවද කියා සිටියි. මෙම පක්ෂය වසර කීපයක සිට යෝජනා කරනු ලබන වාමාංශික පක්ෂයන් ගේ පෙරමුන ජන අරගලයක් සඳහා එකතුවක් ලෙස දැන් නම් කර ඇත.

ජන අරගලය පිලිබඳ මැත දොඩවන මෙම නායකයා ලෝක ධනේශ්වර ක්‍රමය මුහුනදී ඇති අර්බුදය මධ්‍යයේ පාලක පන්තීන් කම්කරු පීඩිත මහජනතාව මතට එල්ල කරන කප්පාදු වැඩපිලිවලට එරෙහිව ජාත්‍යන්තර පරිමානව හා ලංකාව තුල වැඩී යන්නාවූ කම්කරු සටන් රැල්ල පිලිබඳ වචනයක්වත් කතා නො කලේ ය. එය පෙන්නුම් කලේ කම්කරු අරගල මගින් ධනේශ්වර ක්‍රමයට එල්ලවී ඇති අභියෝගය වසන් කිරීමයි.

ගුනරත්නම් යෝජනා කරන වාමාංශික එකමුතුව වනාහී ග්‍රීසියේ කම්කරුවන් හා පීඩිතයන් මහා පාවා දීමකට නතු කල එහි සිරිසා ව්‍යාපාරයෙන් කොපි කර ගත්තකි. වාමාංශික කන්ඩායම් එකතු කර ගෙන දේශපාලනයට පිවිසි ග්‍රීසියේ සිරිසා ව්‍යාපාරය 2015 දී බලයට පත්වූයේ අධිරාජ්‍යවාදී කප්පාදු වැඩපිලිවලට එරෙහි යයි පවසමිනි. එහෙත් සිරිසා ආන්ඩුව බලයට පත්ව මාස කීපයක දී කප්පාදු පිලිවෙත ක්‍රියාවට දැමීම ආරම්භ කලේ ය.

2008 වෝල් වීදියේ මහා බැංකු බිඳ වැටීමෙන් වර්ධනය වූ ජාත්‍යන්තර ධනේශ්වර ක්‍රමයේ අර්බුදයේ බර ලෝක කම්කරු හා දුගීන් මත පැටවීමට අධිරාජ්‍යවාදියෝ ද ජාතික ධනපති පාලකයෝ ද ඉදිරියට පැමින ඇත්තා හ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ එල්ල කරනු ලබන මෙම ප්‍රහාරයන්ට එරෙහිව ඇමරිකාවේ ගුරුවරු ද, ජර්මනියේ ලෝහ, ප්‍රන්සයේ දුම්රිය, නොර්වේජියාවේ තෙල්, බංගලාදේශයේ ඇඟලුම් කම්කරුවෝ ද, බ්‍රසීලයේ, චීනයේ, ඉන්දියාවේ සහ ආර්ජන්ටිනාවේ ට්‍රක් රථ රියදුරෝ ද වැටුප් ඉල්ලීම් මත මෑත දී අරගලවලට පිවිසුනහ.

ලංකාව තුල ලංකා විදුලි බල මන්ඩලයේ, ඛනිජ තෙල් සංස්ථාවේ, දුම්රිය, විශ්ව විද්‍යාල අනධ්‍යන, ජල සම්පාදන හා තැපැල් කම්කරුවන් ද ගුරුවරුන් ද ඇතුලු කම්කරු පන්තියේ අරගල මාලාවක් ජාත්‍යන්තර කම්කරු අරගල සමඟ එකට පෙල ගැසුනි. මෙම අරගල, වෘත්තීය සමිති නායකයින් විසින් හුදු ආන්ඩුවට බලපෑම් දැමීමේ “අරගල”මට්ටමේ රඳවනු ලැබූ නමුත් කම්කරුවන් පෙන්නුම් කලේ තම අයිතීන් දිනා ගැනීම සඳහා වන කැපවීම සහ අධිෂ්ඨානයයි.

කම්කරු පන්තියේ අරගල නොතකා හරින ගුනරත්නම් කියා සිටින්නේ සිසුන් ගොවියන් සුලුව්‍යාාපාරිකයන් ත්‍රී රෝද රියදුරන් පමනක් නොව බහු ජාතික සමාගම්හි පරිසර විනාශය හේතුවෙන් වකුගඩු රෝගයට ගොදුරු වන්නන් ඇතුලු සියලුම ජන කොටස් එකට ඒකාබද්ද කර ගෙන යන ජන අරගලය ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමය බවයි. මේ නම්, කම්කරු පන්තියේ නායකත්වය යටතේ සෙසු පීඩිත කොටස් ස්වාධීන දේශපාලන ඒකාබද්ධ වීමක් වැලක් වීම සඳහා වන පෙසපයේ ප්‍රතිගාමී උවමනාව මනාව පෙන්නුම් කිරීමකි.

ජනතා විමුක්ති පෙරෙමුන චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුව සමග සම්බන්ධව 2004 දී කටයුතු කිරීමෙන් බර පතලව අපකීර්තියට පත්වූ තතු තුල ඉන් බිඳී 2012 දී වෙනම පක්ෂයක් ලෙස පෙසප ගොඩනගා ගත් නමුත් ඔවුන් ජවිපෙ දේශපාලනයෙන් බිඳුනේ නැති බව පැහැදිලි ය. පෙසප පෙරට දැමූ වාම මුහුනුවර කම්කරු පීඩිතයන් මුලා කිරීමට ය.

පෙසප මාක්ස්වාදයට සතුරුය. කම්කරු පන්තියේ අරගල නොතැකීම ද කම්කරු අරගල හා සෙසු දුගීන්ගේ අරගල එකම තලයකට දැමීමෙන් ද පෙසප, කාල් මාක්ස් තහවුරු කල පරිදි, ධනේශ්වර ක්‍රමය තුලදී නායක ක්‍රියා කලාපයක් ඉටුකල හැකි විප්ලවවාදී පන්තිය කම්කරු පන්තිය බව මුලු මනින් ප්‍රතික්ෂේප කරයි.

කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් 1848 දී ක කොමියුනිස්ට් ප්‍රකාශනයේ දී තහවුරු කලේ මෙය යි. “ධනේශ්වර පන්තියට එරෙහිව නැගීසිටින සියලු පන්තීන් අතුරෙන් කම්කරු පන්තිය පමනක්ම සථිරසාර වශයෙන් විප්ලවවාදී පන්තියවෙයි...කම්කරු පන්තිය වූ කලී නවීන කර්මාන්තයේ විශේෂ වූත් අවශ්‍යමවූත් ඵලයයි.

“පහල මධ්‍යම පන්තිය, කුඩා කර්මාන්ත හිමියා, කඩකාරයා හස්තකර්මාන්ත ශිල්පියා ගොවියා යන සියල්ලෝම ධනේශ්වර පන්තියට විරුද්ධව සටන් කරන්නේ මධ්‍යම පන්තියේ කොටස් වශයෙන්වූ සිය පවැත්ම අභාවයට යෑමෙන් වලක්වා ගනු පිනිසය.”

ජවිපෙ තුල භේදය වර්ධනය වීමේදීම සසප දේශපාලන කමිටුවේ කේ. රත්නායක ලෝසවෙ අඩවියට 2011 ඔක්තෝබර් 14 දින ලියූ ලිපියකදී මෙසේ පෙන්වා දුන්නේය. “ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අරගල වර්ධනය වීමේ සලකුනු මධ්‍යයේ ජවිපෙ තුල විරුද්ධ කන්ඩායමක් මතු වීම දේශපාලන මලමිනියකට පන දීමට දරන මංමුලාසහගත ප්‍රයත්නයකි. සුදානම් කරනු ලබමින් ඇත්තේ කම්කරු පන්තියේ කවර හෝ ස්වාධීන ව්‍යාපාරයක් මතු වීම වැලක් වීම සඳහා කම්කරුවන්ට හා තරුනයන්ට උගුලක් ඇටවීම බව සසප අනතුරු අඟවයි.”

අද ද පෙසප, ජවිපෙ ආරම්භක නායක රෝහන විජේවීරගේ පිලිවත දිවිහිමියෙන් සුරකින බවට දිවුරා සිටියි.

ජවිපෙ ප්‍රතිගමී දේශපාලනයට එරෙහිව ආරම්භයේ පටන්ම සටන්වැදුනේ සමාජවාදී සමානතා පක්ෂයත් එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයත්ය. 1970දී විකොස එවකට එහි ප්‍රධාන ලේකම්වූ කීර්ති බාලසූරිය තමන් විසින් ලියා පල කෙරුනු ජනතා විමුක්ති පෙරෙමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය නම් ග්‍රන්ථයේ දී ජවිපෙ කම්කරු පන්තිය පමනක්ම නායක කාර්ය භාරයට සුදුසුකම් ඇති විප්ලවවාදී පන්තිය බව මෙසේ පෙන්වාදුන්නේය.

“ධනේශ්වරයන්ට අතිරික්ත වටිනාකම් සපයා දීමේත් එමගින් ප්‍රාග්ධනය ගොඩනගා ගැනීමට උපයෝගි කරගනු ලබන මාර්ගය වන්නේත් කම්කරු පන්තියයි. ධනේශ්වර ක්‍රමය තුල නිශ්පාදන බලවේගයන් අතුරෙන් ඉතාම වැදගත් නිශ්පාදන බලවේගය වන්නේ කම්කරු පන්තියමය.....නිශ්පාදන බලවේගයන් හා කම්කරු පන්තිය අතර ඇති මේ සම්බන්ධතාව නිසාම පමනක් ධනේශ්වරයේ මිනීවල කනින අවිය බවට පත්වන්නේ කම්කරු පන්තියයි.”

දෙවන ලෝක යුද්ධයට පසු අධිරාජ්‍යවාදීන් ස්ටැලින්වාදීන්ගේ සහයෝගය ඇතුව තහවුරු කල පශ්චාත් යුදකාලීන සමතය යටතේ ලොව පුරා කම්කරු පන්තියේ අරගල මගින් අවම අයිතීන් වන නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය අයිතීන් දිනා ගත්බව සත්‍යයකි. එම සුභසාධන ප්‍රතිසංස්කරන කම්කරු පන්තියට දිනා ගත හැකි වූයේ ලෝක යුද්ධයෙන් හෙම්බත්ව හා දුබලව ගිය ලෝක අධිරාජ්‍යවාදී පද්ධතියට කම්කරු පන්තියෙන් එල්ල වූ මාරාන්තික අභියෝගය මඟ හරවා ගැනීමේ පිලිවෙතකට ඇමරිකානු ඩොලරයේ මහිමයෙන් අධිරාජ්‍යවාදය උත්සුක වූ නිසා ය.

එහෙත් අද දින ලෝක ආර්ථිකයේ අර්බුදය එක්සත් ජනපදයේ ආධිපත්‍යයට වලකපා ඇත. පසුගිය වසර වලදී නිෂ්පාදනයේ ගෝලීයකරනය ධනේශ්වර ක්‍රමයේ ජාතික රාජ්‍ය සීමා සමග ගැටී අර්බුදය උග්‍ර කලේ ය. එදින කම්කරු විප්ලවයන් වැලැක්වූයේ කම්කරු පන්තියේ අරගල යම්දීමනාවක් දී පසුබැස්වීමෙන් උවත් අද දින අධිරාජ්‍යවාදීන් සහ සියලු ධනපති පාලකයන් සියලු කම්කරු අයිතීන් උදුරා ගන්නා ලෙස වැඩට බැස සිටින්නේ මිලිටරි බලය පාවිච්චියට ගනිමින්ය. ඇමරිකාව අද යුද ගැටුම් මගින් රටවල් යටත්කිරීමේ ලෝක යුද තර්ජනය උග්‍ර කර ඇත. චීනයට එරෙහිව යුද්ධයකට සූදානම් වෙයි.

මෙම ලෝක දේශපාලන තත්වය මධ්‍යයේදී, පෙසප සියලු වාමාංශික පක්ෂයන්ගේ හා ජන කොටස්වල ඒකාබද්ධවීමකින් අරගල අඛන්ඩව ඉදිරියට ගෙන ගොස් පාලක පන්තියට බලපෑම් දැමීමෙන්, ඉල්ලීම් ජයග්‍රහනය කල හැකියයි පවසන්නේ නිශ්චිතවම අධිරාජ්‍යවාදී ප්‍රහාරයන්ට කම්කරු පන්තිය හා දුගීන් බිලිදීමට ය.

ගුනරත්නම් අරගල මගින් ජයග්‍රහනය කලේ යයි ඉදිරිපත් කරන ඇතම් උදා හරන කම්කරු පීඩිතයන් නොමග යවන්නාවූ බේගල්ය. එක් උදා හරනයක් ලෙස ඔහු හුවා දක්වන්නේ 1971 නැගිටීම මගින් ඉඩම් ප්‍රතිසංස්කරන දිනා ගත් බවය..

1971දී ගොවිජනතාව විප්ලවවාදී පන්තියයි යන න්‍යායන් යටතේ ජවිපෙ කැඳවූ සන්නද්ධ ගම්බද තරුන කැරල්ල එවකට සිටි ආන්ඩුව වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමසමාජ පක්ෂය හා ස්ටලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ හවුල් ආන්ඩුව ඩැහගනු ලැබූයේ තරුනයන් 15,000ක් පමන ඝාතනය කර ලක්ෂයක් පමන සිරගත කිරීමටය. තවද කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ද උදුරා ගැනුනි.

මෑතක ජයග්‍රහනයක් ලෙස ගුනරත්නම් හුවා දක්වන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වූ සයිටම් ආයතනයට එරෙහිව ගෙන ගිය අරගලයයි. එම අරගලයට නායකත්වය දුන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයට දේශපාලන නායකත්වය දුන්නේ පෙසපයි. එය විසින් පොලිස් ප්‍රහාරයන්ට මුහුන දෙමින් සටන් වැදුනු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ආන්ඩුවට බලපෑම් දැමීමේ අරගලයකට මෙහෙය වනු ලැබූවෝ ය.

අවසානයේදී සයිටම් අහෝසි කිරීමේ ආන්ඩුවේ පොරොන්දුව ජයග්‍රහනයක් ලෙස හුවා දැක්වූ අවිශිබම සටන පාවා දුන්නේය. අද මුදලට අධ්‍යාපනය විකුනන තවත් විශ්ව විද්‍යාලයක් වන මිලිටරි විනය සහිත කොතලාවල විශ්ව විද්‍යාලයට සයිටම් ශිෂ්‍යයන් ඈඳීම ජයග්‍රහනයක් ලෙස හුවා දක්වමින් පෙසප සහ අවිශිබම සටන පාවා දී ඇත. එය නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම ඉදිරියට ගෙන යාම සඳහා අනුමැතිය දීමක් හැර වෙන කුමක් ද?

2017 නොවැම්බර් 16 දින සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය පෙසප පාවා දීමේ දේශපාලනය මෙලෙස එලිදරවු කලේ ය. “කම්කරු පන්තිය දෙසට හැරී කරන එවන් දේශපාලන අරගලයකට මුලුමනින් ම හතුරු පෙසප සහ අවිශිබම ඒ වෙනුවට හැරී ගත්තේ ප්‍රතිගාමී බලවේග දෙසටයි. “සිසු-ජන පෙලගැස්ම” සහ “සයිටම් විරෝධී ජන පවුර” ආදී විවිධ නම් වලින් ගොඩනගාගත් ධනපති පෙරමුනු වලට කැඳවාගනු ලැබුවේ, අධ්‍යාපනයේ පුද්ගලීකරනයට පක්ෂ ධනපතියන් ඇතුලු අන්ත ප්‍රතිගාමීන් සහ ආන්ඩුවට බලපෑම් දැමීමේ ව්‍යාජ වැඩපිලිවෙල තොරොම්බල් කරන්නන් ය. මෙම පෙරමුනු කම්කරුවන්, සිසුන් හා අධ්‍යාපන අයිතිය රැකගැනීමේ අව්‍යාජ උවමනාවෙන් පෙරට එන සියලු කොටස් දේශපාලනිකව හිර කරන උගුල් විය.”

පෙසපයේ මෙම පාවා දීමේ දේශපාලනය ම ඉදිරියට ගෙන යාම සඳහා අලුතින් ගොතා ඇති “ සියලු වාමාංශික පක්ෂයන් ඒකාබද්ධ කරනු ලබන ජන අරගල” තවත් උගුලක් බව සසප අවධාරනය කරයි. ඔවුන් ගේ “ජන අරගල” පෙරෙමුනට ව්‍යාජ වාම පක්ෂද ඇතම් ධනපති පක්ෂද ඇතුලත්ය. කම්කරුවන්ද සිසුන්ද සියලු පීඩිත කොටස්ද මෙම උගුල ප්‍රතික්ෂේප කල යුතුය.

අධිරාජ්‍යවාදී ප්‍රහාරයන්ට එරෙහි තම අරගලයන් හි දී, කම්කරුවන් වෘත්තීය සමිතිවලින් බිඳී ගත යුතු අතර, ව්‍යාජ වාම පක්ෂය ආන්ඩූන්ට බලපෑම් දමීම සඳහා වන වඳ අරගල ප්‍රතික්ෂේප කරමින් කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා සටන් වැදිය යුතු ය. ඊට අවශ්‍ය නව සංවිධාන රූපයක් ලෙස කම්කරුවන් ගේ නායකත්වය යටතේ තරුනයන් සිසුන් ගොවීන් හා සියලු පීඩිත ජන කොටස් ක්‍රියා කාරී කමිටු තුල ඒකාබද්ධ කල යුතුය. සසප සටන් වදින්නේ ජාත්‍යන්තරවාදී සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම සඳහා කැප වූ එම දේශපාලනික සූදානම සඳහා සටන් කරන විප්ලවවාදී පක්ෂය ගොඩ නැංවීමටයි.

Share this article: