මීතොටමුල්ල ව්‍යසනය: ධනපති පන්තිය විසින් සිදුකෙරුනු “මිනී මැරුමක්”

කේ. රත්නායක විසිනි,

මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳව ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන ඉදිරිපත් කිරීමේ ප්‍රසිද්ධ රැස්වීමක් 2108 අප්‍රේල් 1 දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත් වුනි. එහිදී පැවතී සාකච්චාවට සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන කමිටු සාමාජික හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලංකාවේ ජාතික සංස්කාරක කේ. රත්නායක විසින් කරන ලද එකතු කිරීමකි.

අද දින මෙම රැස්වීමට ඉතා වැදගත් වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ සහෝදරවරුන් මීතොටමුල්ලේ සිදුවුයේ කුමක්ද යන්න ගැන සෑම පැත්තකින්ම විමර්ශනය කොට ඉදිරිපත් කල මෙම වාර්තා ධනේශ්වර පන්ති පාලනයට හා ධනපති ක්‍රමයට දෝෂාභියෝගයක්.

මීතොටමුල්ලේ ව්‍යසනය කිසිසේත්ම අහම්බ කාරනයක් හෝ හදිසියේ ඇති වුන එකක් නො වන බවත් බලයේ පැවති ආන්ඩු විසින් නිර්මානය කල එකක් බවත් මේ වාර්තාවන්ගෙන් එලිදක්වා තිබෙනවා. මෙම වාර්තා හා නිගමන අපි වෙනත් ප්‍රදේශවල කම්කරුවන්ටත් තරුනයන්ටත් ඉදිරිපත් කිරීම අවශ්‍යයි, අර්බුද ගත ධනපති ක්‍රමය යටතේ මොනම විසඳුමක් වත් දිනාගත නොහැකි තත්වය ඇතිවී තිබෙන සැටි පෙන්වා දීම සඳහා.

සමාජවාදී සමානතා පක්ෂය, ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව (ස්කපක) පිහිටුවීමේ තීන්දුව ගන්නා විට අපට කිසිදු ආකාරයක සැකයක් තිබුනෙ නැහැ මීතොටමුල්ලේ සිදුවුනේ ”සමාජ මිනීමැරුමක්” ය යන්න ගැන. අපි වැඩකරන්නෙ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව ලෙස. ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛා ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා ජාත්‍යන්තරවම වැඩකරන ජනතාව මූහුන දෙන ප්‍රශ්න පිලිබඳව එදිනෙදා වාර්තාවන් හා විශ්ලේෂන සම්පාදනය කරනවා.

මීතොටමුල්ලේ ව්‍යසනය සිදුවීමෙන් පසු ඒ පිලිබඳව විවිධ විශේෂඥ කන්ඩායම් නොයෙකුත් මත ඉදිරිපත් කලා. විවිධාකාර ප්‍රවෘත්ති හා ලිපි ජනමාධ්‍යවල පලකෙරුනා. ඒ සියල්ලෙන් ම සිදුකෙරුනෙ විපත්තියේ මුලයන් ආවරනය කිරීම හෝ ප්‍රදේශයේ ජනයා මත විපතේ වරද පැටවීමයි. 2017 අප්‍රේල් 26 වෙනිදා ජනාධිපති සිරිසේන විසින් හිටපු විනිශ්චයකාර චන්ද්‍රසේන නානායක්කාරගේ තනි පුද්ගල කොමිසම පත් කිරීමේ අරමුන වුනෙත් ව්‍යසනයට සැබෑ ලෙසම වගකිවයුත්තන් ආවරනය කොට වරද පැටවීමට දඩමීමුන් සොයාගැනීමයි.

මේ ආකාරයට සිද්ධියේ මූලයන් ආවරනය කරන්න විශාල පෙරමුනක් ක්‍රියාත්මක වුනා. එම පෙරමුනේ සිටි තවත් ප්‍රධාන සංවිධානයක් නම් ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යි. ඛේදවාචකයට පෙරත් පසුවත් ඔවුන් විරෝධතා ගනනාවක් පැවැත්වූවා. ඔවුන් කියා සිටියේ කෙසේ හෝ පවතින ධනපති ක්‍රමය තුල ආන්ඩුවලට බලපෑම් දමා විසඳුමක් අත්කරගන්න පුලුවන් බව. කම්කරුන්ගේ, තරුනයන්ගේ හා අනෙකුත් හිතන මතන කොටස්වල අවධානය මෙලෙස විසකුරු ලෙස දූෂනය කරන්න වැඩ සිදු කෙරන තත්වය තුලයි, සසප පරීක්ෂන කමිටුව පත්කෙරුවෙ සිද්ධ වුනේ කුමක්ද යන්න සමීප ව විමර්ශනය කර එහි සැබෑ තත්වය අනාවරනය කරන්න. ස්කපක වාර්තා වලින් කර සිදු කර තිබෙන්නේ එයයි.

මේ ප්‍රදේශයේ ජනයා එක දිගට උද්ඝෝෂන මාලාවක් පැවැත්තුව මීතොටමුල්ලේ අන්තරාදායක කොන්දේසි පෙන්වාදෙමින් හා ඊට විසඳුම් ඉල්ලමින්. කලින් රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් ආන්ඩුව ද ප්‍රතිචාර දැක්වුයේ පොලිසිය යොදා ඒ විරෝධතා කුරිරු ලෙස මැඩලමින්. ව්‍යසනය සිදුවෙන තුරුම අන්තරායකාරී තත්වය යටතේ ජනයාට එම ප්‍රදේශයේ ජීවත් වෙන්න සැලැස්සුව. මහජනයා මුහුන දුන් සමාජ ව්‍යසනකාරී ප්‍රශ්න පිලිබඳව මොනම සංවේදීතාවක් වත් නිසි අවධානයක් වත් ධනපති පන්තියට, එහි පාලකයන්ට හා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නැතිබවට කටුක උදාහරනයක් මීතොටමුල්ලෙන් ලැබී තිබෙනවා.

ෆෙඩ්රික් එංගල්ස්ගේ ලිපි එකතුවක් වන The condition of the working class in England (එංගලන්තයේ කම්කරු පන්තියේ කොන්දේසි ) කියන කෘතිය තුල 1845 දී ලියු ලිපියක වැඩකරන ජනයා පිලිබඳව ධනපති පන්තියේ ආකල්පය පහැදිලි කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් ගැන මොනම සංවේදීතාවක් වත් එයට නැති ආකාරය ගැන මෙසේ සඳහන් කලා: “වරක් මම මැන්චෙස්ටර් තුලට එවන් ධනපතියෙක් සමග යමින් සිටියා. එහි පහත්, නුසුදුසු ගොඩනැගිලි තැනීමේ විධිය ගැන, වැඩකරන ජනයාගේ නිවහන්වල තිබෙන ඇඟ කිලිපොලන කොන්දෙසි පිලිබඳව මම ඔහු සමග කතා කලා. එවන් තත්වයක් ඇති තැනක් මම ජීවිතේටම දැක නැති බව ඔහුට තරයේ කියා සිටියා. මගේ කතාව අවසන් වන තුරුම නිහඬව අසා සිටි ඔහු අවසානයේ වෙන්වී යද්දී කිවේ මෙයයි: ‘ඒ වුනාට, මහත්මයා, එතනින් ගොඩක් සල්ලි හම්බු කෙරෙනවා, ඔබට සුබ උදෑසනක්’”.

මුදල් හම්බකරගන්ට හැකිනම්, තමන්ගේ වැඩකරන මිනිසුන් කුසගින්නේ ඉන්නවාද නැද්ද යන්න ගැන ඉංග්‍රීසි ධනපතියාට ඇත්තේ අන්ත නොතැකීමක් බව එංගල්ස් සඳහන් කලා. ධනපති පන්තියේ අවශ්‍යතාවය සෑමවිටම මුදල් ඉපයීමයි. එංගලස් පෙන්වා දෙනවා ධනපතියන් හා ඔවුන්ගේ ඒජන්ත පාලකයන් මෙහෙය වෙන්නේ මෙම උවමනාවන්ගෙන් බව. මොනම සංවේදීභාවයක් හෝ ඇත්තේ නෑ කම්කරු පන්තියේ ජීවන තත්වයන් හා සමාජ කොන්දේසි සම්බන්ධව.

ලංකාවේ මීතොටමුල්ලෙ, ලන්ඩන්හි ග්‍රෙන්ෆෙල්, ඇමරිකාවෙ ෆ්ලින්ට් ප්‍රදේශයෙ, කුනුකඳු ගොඩගැසෙන අනෙක් රටවල් වල තත්වය ගැන වාර්තාවල පෙන්නුම් කෙරුනා, හැමතැනකම අප දකින තත්ත්වය මෙය නොවේද? ධනපති සමාජය විසින් සිදුකෙරෙන මිනිමැරුම් ලෙස එංගල්ස් සඳහන් කරන්නේ මේවායි.

ලන්ඩන්වල කම්කරු නිවහන් ගොඩනැගිල්ලක් වූ ග්‍රෙන්ෆෙල් ගිනිගැනීමෙන් සිදුකෙරුනු විනාශය ගැන බ්‍රිතාන්‍යයේ අපගේ සහෝදර සසප පවත්තපු රැස්වීමක දී මේ කරුන මතු කරමින් එහි ජාතික ලේකම් ක්‍රිස් මාර්ස්ඩන් සහෝදරයා එංගල්ස්ගේ ඉහත සඳහන් කල කෘතියෙන් උපුටා දැක්වීමක් කලා.

“යම් පුද්ගලයෙක් මරනය ගෙනදෙන ශාරීරික තුවාලයක් සිදුකරන්නේ නම් අපි එය මිනීමැරුමක් යයි හඳුන්වමු; එලෙස තුවාල කිරීම මරනීය යයි ප්‍රහාරකයා කල්තියාම දන්නේ නම් ඊට මිනීමැරුමක් යයි අපි කියමු. සමාජය විසින්, ඉතා ඉක්මනින් අස්වාභාවික මරනයට ගොදුරු කරන තැනක සිය ගනන් වැඩකරන ජනයා තබනු ලබන්නේ නම්, එය වනාහි, ප්‍රචන්ඩත්වයෙන්, කඩුවෙන් හෝ වෙඩිල්ලකින් මරා දැමෙනවා වැනිය; එම සමාජය, ජීවත් වීමට අවශ්‍ය දේ දහස් ගනනකට අහිමි කරන්නේ නම් ඔවුන් ජීවත් වීමට නොහැකි කොන්දේසි තුල තබන්නේ නම්--එනම් මරනය සිදුවන අනිවාර්ය කොන්දේසි තුල තබන්නේ නම් ඒ තුල සිටීමට නීතියෙන් බල කෙරන්නේ නම්--දහස් ගනන් එම ජනයා වැනසෙන බව දැන දැනත් එම කොන්දේසි තුලම රඳවන්නේ නම් තනි පුද්ගලයෙක් මිනීමරුමක් කරන්නා සේ මේ සමාජය විසින් කරන්නේ ද මීනි මැරීමක්”.

මෙලෙස ජනයා මරනයට පත්වීමට ඉඩහැරීම ධනපති සමාජ විසින් සිදුකෙරුනු මිනීමැරීමක් යන්න මිස මීට වඩා අඩු වචනයක්, භාවිත කරන්න බෑ. එංගල්ස්ගේ ප්‍රකාශය මීතොටමුල්ල සම්බන්ධයෙන් මොන තරම් උචිතද?

ධනේශ්වර පද්ධතිය එදා 1800 ගනන්වල එංගලන්තයේ ඇති කරපු තත්වය අද ගෝලීයව ඇති කර තිබෙනවා. ඊට තුඩු දී තිබෙන ධනපතිවාදයේ අර්බූදය තුල රටක් රටක් පාසා පාලක පන්තීන් තමන්ගේ ලාභ සඳහා සමාජ අයිතීන් කප්පාදු කරනවා තාක්ෂනයේ යෝධ වර්ධනයන් ඇති කර තිබෙන තත්ත්වය තුල මානව වර්ගයාගේ උවමනාවන් මැනවින් සන්තර්පනය කල හැකි තත්වයක් පවතිද්දී දකින්නට ලැබෙන්නේ ගැඹුරුවන සමාජ අසමානතාව. ධනපතිවාදයේ අර්බුදය පැටවීමට විවිධ රටවල පොලිස් පාලනයන් ඇටවීම කරා යන ගමන දැකගත හැකියි.

හිටපු ජනාධිපති ඔබාමා යටතේ මෙන්ම වර්තමාන ජනාධිපති ට්‍රම්ප් යටතේ ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝක ආධිපත්‍ය සඳහා උත්සන්න කර ඇති ධාවනය විසින් තවත් ලෝක යුද්ධයක් ඇතිවීමේ කොන්දේසියි නිර්මානය කෙරෙමින් පවතින්නේ. අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් තමතමන්ගේ පැත්තෙන් මිලිටරිය සන්නද්ධ කරමින් යුද්ධයට සූදානම් වෙනවා. ඔවුන්ගේ මූලෝපාය යන්නේ අර්බූදයේ සමස්ත බර කම්කරු පන්තිය මත පැටවීමට හා මානව වර්ගයා ලෝක යුද්ධයේ ව්‍යසනයට ගොදුරු කෙරෙන ලෝක ආධිපත්‍යය සඳහා ධාවනය සඳහායි.

ලංකාවේ පාලක පන්තිය 1948 පාලනය අතට ගත් තැන් පටන් පන්ති පාලනය රැක ගැනීම සඳහා තමන්ගේ ම ජනතාවට එරෙහි යුද්ධවල නිරත ව සිටිනවා. එහි දී උතුරු නැගෙනහිර දෙමල ජනයා මෙන්ම දකුනු ප්‍රදේශවල තරුන ජනයා ලක්ෂ ගනන් මරාදමා තිබෙනවා. ලෝකයේ අනෙක් රටවල වගේ ම ලංකාවෙ පාලක පන්තියේත් පාලනය පත්ව තිබෙන්නේ අයථා තත්වයකටයි.

පාලක පන්තීන් සූදානම් කර ක්‍රියාවට දමන සමාජ අයිතීන් උදුරා ගැනීමේ ප්‍රතිවිප්ලවයට හා යුද්ධයේ ධාවනයට විරුද්ධ ව කම්කරු පන්තිය තමන්ගේ විප්ලවවාදී මූලෝපාය සකසාගත යුතුව තිබෙනවා. එම මුලෝපාය නම් ලෝක පද්ධතිය ලෝක සමාජවාදය මගින් විස්ථානපනය කිරීමයි. ලෝක ආර්ථිකය සුපිරි ධනපතියන්ගේ ලාභ වෙනුවෙන් නොව දැවෙන මානව අවශ්‍යතා සඳහා සුසන්වාදීව සැලසුම්ගත ලෙස සංවිධානය කිරීම, ඒ සඳහා ඉහල ලෙස වර්ධිත තාක්ෂනය යොදාගෙන සමස්ථ නිෂ්පාදනයම සැලසුම්ගත කිරීම, සංස්කෘතික වශයෙන් ඉහල මට්ටමකට නැගීමට කොන්දේසි සකස් කිරීම ආදී කර්තව්‍යයන් ඉටුකිරීමට පවත්නා මග එයයි. පවතින අර්බුදයට එකම විකල්පය ලෙස ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය අපි ඉදිරිපත් කරන්නෙ එය එකම යථා වෛෂයික අවශ්‍යතාව බවට පත්ව තිබෙන නිසා.

ලංකාව තුල මේ මත පදනම්ව සමාජවාදය සඳහා සටනට ක්‍රියා මාර්ගය හා ඉදිරිදර්ශනය ඉදිරිපත් කරන්නේ සසප පමනයි. ඊට බැඳී සමාජවාදය සඳහා අරගලය ගෙනයමු.

Share this article: