ආන්ඩුව කොලඹ දුගීන් බිය වැද්දවීමට තොටලඟ නිවැසියන් 114ක් අත්අඩංගුවට ගනී

අපේ වාර්තාකරුවන් විසිනි , 2018 අගෝස්තු 24

පසුගිය සෙනසුරාදා (22) පාන්දර තොටලඟ “කජීමාවත්ත” පැල්පත් වලට කඩාපැනීමක් කල විදුලිබල මන්ඩලයේ විශේෂ වැටලීම් ඒකකය හා පොලිසිය, අනවසරයෙන් විදුලිය ලබා ගත්තේ යයි චෝදනා නගමින් නිවැසියන් 114ක් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. “අනවසරයෙන් විදුලිය ලබා ගැනීම” යන චෝදනාවට මුවා වී සිදු කලත්, මේ සමුහ වැටලීම, කොලඹ ඉඩම් පුද්ගලික ආයෝජන සඳහා නිදහස් කරගැනීම සඳහා ආන්ඩුව ගෙනයන මෙහෙයුමේ කොටසක් වශයෙන් සිදුකෙරුනු බිය වැද්දීමකි.

මෙලෙස අත් අඩංගුවට ගැනුනු බහුතරයක්, පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ “කොලඹ සංවර්ධන වැඩසටහන” යටෙතේ, විවිධ ප්‍රදේශ වලින් ඉවත් කොට, කජීමාවත්ත ප්‍රදේශයේ පැල්පත් වල බලහත්කාරයෙන් පදිංචි කරවූ දුගී පවුල් වල පුද්ගලයින්ය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මගින්, “මෙගාපොලිස්” වැඩපිලිවෙල යටතේ, 2016 පෙබරවාරි මාසයේ කජීමා වත්තේ නිවාස විශාල ගනනක් කඩා දමා, ජලය හා විදුලි සැපයුමද කපා හැරිනි. මෙයට එරෙහිව පැන නැගුනු ජනතා විරෝධය නිසා නිවාස සම්පූර්නයෙන් ඉවත් කිරීම තාවකාලිකව හකුලා ගැනීමට ආන්ඩුවට සිදු වුවත්, දැන් එය යලි තීව්‍ර කර ඇත.

පොලිස් කඩා පැනීම සිදුකල දින ප්‍රදේශයට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තා කරුවන්ට ප්‍රදේශවාසින් කියා සිටියේ විදුලිබල මන්ඩලයේ නිලධාරීන් පිරිසක් හා පොලිස් භටයින් විශාල පිරිසක් පාන්දර 4.30 ට පමන ප්‍රදේශය වටලා, නිවෙස් වලට කඩා පැන, කිසිඳු කරුනු දැක්වීමකට ඉඩ නොතබා අත්අඩංගුවට ගත් බවයි.

ෆාතිමා නස්ලියා හා ෆාතිමා නවාජියා ඇතුළු පිරිස

ලෝසවෙඅට කරුනු දැක්වු, ෆාතිමා නස්ලියා හා ෆාතිමා නවාජියා තම නිවාස පේලියේ සියලුම ගෙවල් වල පිරිමින් අත්අඩංගුවට ගෙන ඇති නිසා දැන් ඇපදීම, නීතිඥයින් සොයායාම වැනි සියලු කටයුතු වල බර පැවරී ඇත්තේ කාන්තාවන් මත බවයි. “කරන්ට් ගන්න අවුරුදු ගනනක් පුරා එක එක අයට දාස් ගනන් ගෙවනවා. ඒ ගෙවපු රෙසිට් අපි ඒ මහත්තුරුන්ට පෙන්නුවා, ඒවා ගනන් ගත්තේ නැහැ. දැන් කියනවා රුපියල් 30,000ක් විතර දඩ ගෙවන්න වෙයි කියල. අපි කුලී වැඩ කරලා එදා වේල හම්බ කරගෙන කන මිනිස්සු, කොහෙන්ද ඔච්චර දඩ ගෙවන්නේ. අපේ මිනිස්සු හිරේ ගියොත් මේ ලමයින්ට යන කල මොකක්ද?”

අත්අඩංගුවට පත් තම මස්සිනා බැලීමට ගොස් පැමිනෙමින් සිටි මොහොමඞ් ඉශාම් පවසා සිටයේ විදුලි ප්‍රශ්නය මත ජනතාව බරපතල උගුලකට හසු වී තිබෙන බවයි. “කලින් හරියට මීටර් දාල විදුලිය දීපු එක කැපුවේ ආන්ඩුවෙන්මයි, දැන් අපිව අත්අඩංගුවට ගන්නවා. මෙතන ලයිට් නැතිව ඉන්න පුලුවන්ද? පොඩි වැස්සටත් මුලු වත්තම මඩ වෙනවා, ටොයිලට් එකට යන්න ගෑනු ලමයින්ටත් වත්ත කෙරවලටම යන්න ඕනේ, රෑට හැම තැනම සර්පයි.”

ආන්ඩුව හිතාමතාම ජනතාව මේ උගුලට හසුකර ඇති ආකාරය තවදුරටත් ඔහු මෙසේ පැහැදිලි කලේය. “2016 පෙබරවාරි මාසේ මේ ආන්ඩුවෙන් කජීමා වත්තට විදුලිය කැපුවා. ඊට පස්සේ, එක්සත් ජාතික පක්ෂ (එජාප) නගර සභා මන්ත්‍රී සුනිල් විතාන මැදිහත්වෙලා, තනි ගෙයකට ලයිට් අරගෙන මේ ගෙවල් ඔක්කොටොම බෙදන ක්‍රමයක් හැදුවා. ඒක පවත්වාගෙන ගියෙත් මේ පැත්තේ එජාප තැරැවූ කාරයෝ ටිකක්. මේ හැම ගේකින්ම ඒ බිලට මාසෙකට ලොකු ගානක් එකතු කලා. ඒගොල්ලෝ බිල හරියට ගෙවලා නැහැ කියලා තමයි කියන්නේ.”

විදුලි බල මණ්ඩලයෙන් නිකුත් කල ලියුමක පිටපතක් පෙන්වන ශාන්ති

පසුගිය රාජපක්ෂ ආන්ඩුව සමයේ, කොටාපාරේ පිහිටි තම නිවස කඩා මේ ප්‍රදේශයේ පදිංචි කල ගෘහනියක් වන කේ. ඩබ්. ශාන්ති ද මේ කරුනුම තහවුරු කරමින් කියා සිටියේ තමන් මෙලෙස ලබාගත් විදුලියට මසකට රුපියල් 1500ක් පමන ගෙවීම් කල බවයි. එම විදුලි සැපයුම සඳහා තැන්පතු මුදල් හා බිල් නිසි පරිදි ගෙවා නැති බැවින් රුපියල් 532,382 මුදලක් වහාම ගෙවන ලෙස ඉල්ලමින් විදුලි බල මන්ඩලය මගින්, එස්. විතානගේ නමැති අයෙකුට 2017 ජනවාරි මස යොමුකල ලිපියක පිට පතක්ද පෙන්වමින් ඇය පැවසුවේ; “මේ අය කරන්ට් අරගෙන දුන්නේ කොහොමද කියන්න අපි දන්නෙ නැහැ. සාමාන්‍ය ගෙදරක මෙච්චර බිල් එකතු වෙනකම් ඉන්නවද ලයිට් කපන්න? හොරෙන් කරන්ට් ගත්ත නම්, මාස ගානක් කරන්ඩ ඉඩ දීල හිටියේ ඇයි.”

දෙරණ රූපවාහිනියට අදහස් දක්වමින්, විදුලිබල මන්ඩල නිලධාරියෙක්, කියා සිටියේ අනවසර විදුලි රැහැන් ඇදීම නිසා, මේ ලෑලි නිවෙස් තුල මතුවී තිබුනු “බරපතල ගිනිගැනීම් තර්ජනය හා මිනිස් ජීවිත වලට එල්ලව පැවති අවදානම” සැලකිල්ලට ගනිමින් කඩිනමින් පොලිසිය හා එක්ව මේ මහෙයුම දියත් කල බවයි. මෙය වංචනික හා කුහක ප්‍රකාශයකි. වැටලීම සිදුවන විට මේ නිවැසියන් විදුලිය ලබාගනිමින් සිටියේ නීති විරෝධීව වුවත් නැතත්, එම තත්වයට ජනතාව තල්ලු කරන ලද්දේ ආන්ඩුව විසිනි.

පරිභෝජනයත් සමග වැඩිවන ඒකක අනුපාතය ක්‍රමය නිසා, කෙටි කලකින්ම මේ ජනතාවට විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව වන බව නිලධාරින් හා දේශපාලනඥයින් දැන සිටියහ. ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවක් වන විදුලිය, නීත්‍යානුකුලව ලබාදීම වෙනුවට, නාගරික මන්ත්‍රීන් හා එක්සත් ජාතික පක්ෂයේ තැරැවූ කරුවන් තම ඡන්ද පදනම් තර කර ගැනීමට කල මේ කූට ව්‍යායාම වලට නිලධාරීන්ගේ සම්පූර්න සහයෝගය ලැබිනි.

පෙර තමන්ගේම නිවාස වල ජීවත්ව සිට ආන්ඩුව මගින් අවතැන් කරන ලද මේ ජනතාවට, ජලය, විදුලිය, හා සනීපාරක්ෂක පහසුකම් සහිත සුවපහසු නිවසකට අයිතියක් ඇත. ඒ වෙනුවට, පසුගිය හා වර්තමාන ආන්ඩු දෙකෙන්ම කලේ, නිවාස වලට පැවති පහසුකම්ද කපා හැර, මේ දුගී ජනතාවට ගංවතුර, ඩෙංගු, අනෙකුත් බෝවන රෝග වැනි නිරන්තර ආපදාවන්ට ලක් වීමට ඉඩ හැරීමයි. දැන් ආන්ඩුව සැරසෙන්නේ “අනවසර විදුලිය ගැනීම” චෝදනාව යටතේ විශාල දඩ පනවන බවට ජනතාව බියවද්දා, ඔවුන් කජීමා වත්ත ප්‍රදේශයෙන්ද ඉවත් කර ගැනීමටයි.

දැඩි මහජන විරෝධය නිසා, 2018 පෙබරවාරියේ පැවති පලාත් පාලන මැතිවරනය අවසන් වන තුරුම යටපත් කරගෙන් සිටි, කොලඹ දුගී නිවාස ඉවත් කිරීමේ වැඩපිලිවෙල යලි වේගවත් කිරීමට මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය දැන් පියවර ගෙන ඇත. මේ යටතේ, 2017 අප්‍රේල් කසල කන්ද කඩාවැටීමේ ව්‍යසනය යොදා ගනිමින්, “අවදානම් කලාපයේ” යයි කියමින් මීතොටමුල්ල ප්‍රදේශයෙන්ද නිවාස සිය ගනනකින් පවුල් ඉවත් කල අතර, පසුගිය ජුලි මාසයේදී තවත් පවුල් ගනනාවකට ඉවත් විය යුතු බව දැනුම් දී ඇත. කසල කන්ද අක්කර 15 උද්‍යානයක් බවට පත්කිරීම හා ඒ වටා ධාවන පථයක් තැනීම වැනි පුද්ගලික ආයෝජන වලට හිතැති ව්‍යාපෘති මාලාවක් දැනටමත් එහි අරඹා ඇත,

පසුගිය ජුනි මාසයේදී මුදල් ඇමති මංගල සමරවීර ප්‍රකාශ කර තිබුනේ, කොලඹ නගරයේ “මුඩුක්කු” ඉවත් කොට පවුල් 50,000ක් නව නිවාස සංකීර්න වලට යැවීමට වහාම පියවර ගන්න බවයි. මෙලෙස දුගී නිවාස කොලඹින් ඉවත් කිරීමට ආන්ඩුවට ඇති තදියම හුවා දක්වමින්, පසුගිය අප්‍රේල් මාසයේදී අගමැති වික්‍රමසිංහ පවසා තිබුනේ “පැල්පත්වලින් තොරව විසිඑක්වැනි සියවසට ඔබින විධිමත් නගරයක් බවට කොලඹ පරිවර්තනය කිරීමේ කටයුතු ශීඝ්‍රයෙන් සිදුවීගෙන යන” බවත් “පැල්පත් මුලුමනින්ම කොලඹින් පිටුදකින” බවත්ය.

ඩොලර් බිලියන් 65 කට ආසන්න විදේශ නය කන්දරාවක සිරවී සිටින ආන්ඩුවට “විසි එක්වෙන සියවසට ගැලපෙන “ කොලඹ නගරයක් තනා දීමට අවශ්‍යව ඇත්තේ පුද්ගලික ආයෝජකයින්ටය. පාලක පන්තිය මේ අරමුන කරා යමින් සිටින්නේ සම්පූර්නයෙන්ම දුගීන්ගේ හා කම්කරුවන්ගේ වියදමිනි. “2023 දී පැල්පත්වාසී සෑම පවුලකටම තට්ටු නිවාසයක්”, “නිවසක් වෙනුවට ජීවිතයක්” වැනි කතාවලින් වසාගෙන ගෙනයන මේ සාහසික සමාජ ප්‍රතිවිප්ලවයට ධනපති මාධ්‍ය සියල්ලේමත් සහයෝගය ලැබී ඇත.

තුවාන් නසීර්

කජීමාවත්ත පැල්පත් වාසීන් අත්අඩංගුවට ගැනීම පිලිබඳව ධනපති පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කලේ වරද සම්පූර්නයෙන්ම ජනතාව මත පටවමිනි. ඉනුදු ඔබ්බට යමින්, එක ගුවන්විදුලි නාලිකාවක්, මේ වැටලීමට දින කිහිපයකට පෙර, කජීමාවත්ත ප්‍රදේශය පිලිබඳ ගවේශනාත්මක වැඩසටහනක් විකාශය කරමින්, ප්‍රදේශයේ වැසියන් “හොරෙන් විදුලිය ගැනීම”, “නිවාස විකිනීම” වැනි ජාවාරම් වල යෙදෙන බවට චෝදනා කල බව, ප්‍රදේශ වාසීන් හා කුලී කම්කරුවෙක් වන තුවාන් නසීර් ලොසවෙඅට ප්‍රකාශ කලේය. “පලාත් සභා මන්ත්‍රී කෙනෙකුගේ පුටුවකට රුපියල් ලක්ෂ 6ක් වියදම් කරන රටේ, අපි තමයි දැන් ජාවාරම් කාරයෝ බවට පත් කරලා තියෙන්නේ” ඔහු තව දුරටත් පැවසීය.

කොලඹ නගරය ධනපතීන්ගේ කෙලිබිමක් බවට පත් කිරීමට ගෙනයන ව්‍යාපෘතියට නැගෙන ජනතා විරෝධය සීසීකඩ යැවීමට පාලක පන්තියත්, ඔවුන්ගේම මෙවලම් වන ධනපති මාධ්‍යත් කටයුතු කරයි. පීඩිත ජන කොටස් වලට එරෙහිව කරන මාධ්‍ය ප්‍රචාරයන් මගින් සිදු කරන්නේ, ආන්ඩුවේ පොලිස් බියවැද්දවීම් සාධාරනීකරනය කරමින් ඒවාට අවශ්‍ය පසුබිම සකසා දීමයි.

Share this article: