එක්සත් ජනපද යූපීඑස් සමාගම කොටස් හිමියන්ට ඩොලර් මිලියන 700ක් ගෙවයි:
ධනවාදී ක්‍රියාන්විතය පිලිබඳ නිදසුනක්

UPS pays out $700 million to stockholders: An object lesson in the operation of capitalism

2018 අගෝස්තු 13

බ්‍රහස්පතින්දා, එක්සත් ජනපදයේ පිහිටි සැපයුම් හා බෙදාහැරීම් සංගතයක් වන එක්සත් පාර්සල් සේවාව (යූපීඑස්), 2018 අගෝස්තු දක්වා මස තුන සඳහා තම කොටස්කරුවන්ට ඩොලර් මිලියන 700ක කාර්තුමය ලාභාංශ ගෙවීම් නිවේදනය කලේ ය. නිවේදනය සිදු කෙරුනේ යූපීඑස් කම්කරුවන් සඳහා දරිද්‍ර මට්ටමේ වැටුප් බලාත්මක කරන්නා වූ ද නව ප්‍රධාන වරදානයන් හඳුන්වා දෙන්නා වූ ද නව ගිවිසුමකට අනුමැතිය පල කිරීමට ටීම්ස්ටර්ස් වෘත්තීය සමිතිය ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝ නගරයේ දී අනුමැතිය දීමත් සමගිනි.

යූපීඑස් ලාභාංශ ගෙවීම් ධනවාදයේ මූලික ක්‍රියාකාරිත්වයේ වෛෂයික පාඩමකි. මෙම ඩොලර් මිලියන 700 පැමිනෙන්නේ කොහෙන් ද? විශේෂයෙන් ම, එය අදිසියෙන් මතු නො වී ය. එය මිරිකා ගැනුනේ එක්සත් ජනපදය තුල ද ජාත්‍යනක්තරව ද සිය දහස් ගනනක් කම්කරුවන්ගේ ශ්‍රමයෙනි. එය කම්කරුවන් විසින් නිෂ්පාදනය කෙරෙන අතිරික්ත වටිනාකමේ, එනම් තම ශ්‍රම ශක්තිය විකිනීමෙන් ඔවුන් උපයන, යන්තම් පන ගැට ගසා ගැනීමට ප්‍රමානවත් වැටුප් සහ නිෂ්පාදන හා බෙදා හැරීමේ ක්‍රියාදාමය තුල දී ඔවුන් එකතු කරන වටිනාකම අතර වෙනසේ කොටසකි.

මෙම සූරාකෑමේ ක්‍රියාදාමයේ වාසි ලබන්නෝ යූපීඑස් සමාගම පාලනය කරන සංගත විධායකයින් පමනක් නො ව, ප්‍රධාන ආයතනික ආයෝජකයින් හා යූපීඑස් කොටස් හිමි සුපිරි පොහොසත්තු ද වෙති. විශාල ම යූපීඑස් කොටස් හිමිකරුවන් අතර ආරක්ෂක හෙජ්ෆන්ඞ් වෑන්ගාර්ඞ් ගෘප් (මෙය ඩොලර් මිලියන 46ක් ලබනු ඇත), බ්ලැක්රොක්(ඩොලර් මිලියන 36) හා ස්ටේට් ස්ට්‍රීට් කෝපරේෂන් නම් මූල්‍ය සමාගම(ඩොලර් මිලියන 24) වෙයි. ඊට පසු මෙම ආරක්ෂක අරමුදල් සමාගම් තම “ඉපයීම්” එය කලමනාකරනය කරන හා එහි ආයෝජනය කරන මූල්‍ය පරපුට්ටන්ට බෙදා හරි යි.

ඔහුගේ පාර්ශ්වයෙන්, කොටස් 200,000ට වඩා පාලනය කරන, යූපීඑස් ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් ඇබ්නේ, ඩොලර් මිලියන 14කට අධික වන 2017 තම වන්දිවලට අමතර ව ඩොලර් 18,000ක් එකතු කර ගනු ඇත.

වර්ෂයේ සෙසු කාලය සඳහා ආයෝජකයින්ට ගෙවන ඒ ආකාරයේ ගෙවීම් අනුමාන කරන විට, ඩොලර් බිලියන 2.8ක 2018 යූපීඑස් ලාභාංශ, යූපීඑස්වල මිලියන හතරෙන් එකක් වන කම්කරුවන්ගේ සෑම අයෙකුටම ඩොලර් 11,000ට වඩා වැටුප් වැඩිවීමක් ලබා දීමට ප්‍රමානවත් ය. එය පැයකට ඩොලර් 10 බැගින් සතියකට පැය 25ක් වැඩ කරන අර්ධකාලීන ගබඩා කම්කරුවෙකුගේ වැටුප ආසන්න වසයෙන් දෙගුන කිරීමකි. එවැනි කම්කරුවෙකුට 2017දී යූපීඑස් ප්‍රධාන විධායක නිලධාරීන්ට ගෙවූ මුදල ලබා ගැනීමට වසර 1,000ක් ගත වනු ඇත.

යූපීඑස් දශක හතරක් මුලුල්ලේ සෑම වසරක ම කොටසක් සඳහා තම ලාභාංශ ගෙවීම් අනුපාතය වැඩි කර හෝ එලෙස ම පවත්වා ගෙන ගොස් ඇත. එය කොටස් වෙලඳපොලේ ලැයිස්තු ගත ප්‍රසිද්ධ සමාගමක් වූ 2000 සිට, ලාභාංශ බෙදීම් අනුපාතය හතර ගුනයක් වී ඇත. ගෙවී ගිය වසර හතේ දී පමනක්, යූපීඑස් ලාභාංශ වසයෙන් ඩොලර් බිලියන 18ට වඩා (කම්කරුවෙකුට නම් ඩොලර් 72,000 බැගින්) ගෙවා ඇත්තේ, වර්තමාන කොටස් හිමිකරුවන්ගේ වත්කම් පිම්බීම අරුමුනු කෙරුනු ඍජු කොටස් ආපසු මිල දී ගැනීම්වල ඩොලර් බිලියන ගනන්වලට අමතර වසයෙනි.

යූපීඑස් ලාභාංශ ගෙවීම්, කම්කරු පන්තියේ සිට සංගත ප්‍රභූවට ඩොලර් ට්‍රිලියන ගනන් මාරු කිරීමට යොදා ගැනුනු කොටස් ආපසු මිල දී ගැනීම්, අත්පත් කර ගැනීම් හා ලාභාංශවල එක් සිද්ධියක් පමනි.

මෙම සතියේ දී ගෝල්ඩ්මන් ඇන්ඩ් සැක්ස් විසින් නිකුත් කරන ලද විශ්ලේෂනයකට අනුව, එක්සත් ජනපද සංගත ඩොලර් ට්‍රිලියන එකකට වඩා තමන්ගේ කොටස් ආපසු ගන්නා බවට පුරෝකතනය කෙරේ. 2008 ගෝලීය මූල්‍ය බිඳ වැටීමෙන් වසර දහයකට පසු, සංගත ඩොලර් ට්‍රිලියන ගනන්වලින් උතුරා යන අතර වාර්තාගත ලාභ උපයමින් සිටී. එස්ඇඩ්පී 500 සමාගම් අතර, පසු ගිය වසරේ එම කාල පරිච්ඡේදය හා සසඳන විට 2018 දෙවැනි කාර්තුවේ දී එක් කොටසක උපයා ගැනීම් සියයට 24කින් වැඩිවුනි.

මෙම ධනය නව නිෂ්පාදනවල හෝ පොදුකාර්ය පහසුකම් මත යලි ආයෝජනය නො කෙරේ, වැටුප් වැඩි කිරීම් හෝ නව කම්කරුවන් බඳවා ගැනීම් ගැන කුමන කතා ද? එය හරවා යැවෙමින් තිබෙන්නේ කෘතිම ලෙස සංගත කොටස් මිල ගනන් පිම්බීම හා පොහොසතුන්ගේ කොටස් ආයෝජන දෙසට ය.

සමස්ත ධනේශ්වර පද්ධතිය ම රඳා පවතින්නේ කොටස් වෙලඳපොලේ උඩුකුරු නැගීම මත ය. 2008 මූල්‍ය කඩා වැටීමෙන් පසු, ලෝකය පුරා පාලක පන්ති, ප්‍රතිචාරය දැක්වූයේ එක්සත් ජනපදයේ ඔබාමා පාලනාධිකාරිය විසින් නායකත්වය දෙනු ලැබූ, බැංකුවලට ඇප දීමට ඩොලර් ට්‍රිලියන ගනන් කා වැද්දීමක් සමගිනි. එම ක්‍රියාදාමය ට්‍රම්ප් යටතේ ඉදිරියට ගොස් ඇත්තේ, මූලික වසයෙන් කොටස් වෙලඳපොල බුබුල පිම්බීමට සංගත හා පොහොසතුන් විසින් යොදා ගන්නා දැවන්ත බදු විරාම සමගිනි.

කොටස් වටිනාකම්වල අඛන්ඩ නැගීම සඳහා කේන්ද්‍රීය පූර්වකොන්දේසිය වන්නේ වැටුප් මැඬ පැවත්වීම හා ප්‍රතිලාභ විනාස කිරීම යි. මාර්ක්ස් පැහදිලි කල පරිදි, “එක ධ්‍රවයක ධනය සමුච්චයනය වීම යනු, ඒ නිසා, ඒ සමගම විරුද්ධ ධ්‍රවයේ කාලකන්නිකම, නොකඩවා වැඩ කිරීමේ චින්ත සන්තාපය, වහල්කම, නූගත්කම, කෘරභාවය හා මානසික හායනය සමුච්චයනය වීම යි.”

සිකුරාදා නිකුත් කෙරුනු කම්කරු දෙපාර්තමේන්තු අධ්‍යයනයක් පෙන්වා දුන්නේ සාමාන්‍ය පැයක උපයා ගැනීම්, උද්දමනය සමග ගැලපූ වහා ම, වසර හතරක් තුල පසු ගිය වසරේ දී දෙවතාවක් පහල ගිය බවයි. මෙය සිදු වී ඇත්තේ නිල විරැකියා අනුපාතය ඓතිහාසික ලෙස සියයට 3.9ක් තරම් පහල තිබෙන තතු තුල ය.

එක තැන පල්වෙමින් තිබෙන වැටුප් විස්තර කරන තම ලිපියක දී, වෝල් ස්ට්‍රීට් ජර්නලය සිහිවිකල්ව මෙන් අවධාරනය කලේ ආර්ථිකය පුරා පහත් විරැකියාව හා අඩු වැටුප්වල සථිරසාරත්වයේ සංයෝජනය යි.

ජර්නල් හා සංගත මාධ්‍ය ඉතාමත් තීරනාත්මක කාරනය නො සලකා හරි යි, නැතහොත් වඩා නිවරැදි ලෙස කියතොත් වසන් කර යි: එනම්, ගෙවී ගිය වසර තිහ තිස්සේ වෘත්තීය සමිති විසින් කම්කරු පන්තියේ අරගල මර්දනය කිරීම හා තම වැටුප් හා ජීවන තත්වයන්ගේ වර්ධනයන් සඳහා වූ කම්කරුවන්ගේ ඕනෑ ම සටනක් කඩාකප්පල් කිරීම යි.

යූපීඑස් සම්බන්ධයෙන්, ටීම්ස්ටර් වෘත්තීය සමිතිය වර්තමානයේ දී කලමනාකරනය සමග කුමන්ත්‍රනයක නියලී සිටින්නේ නව පස් අවුරුදු, වියදම් කප්පාදු කොන්ත්‍රාත්තුවක් සම්මත කිරීමට ය. ජූලි 10වැනිදා ටීම්ස්ටර්ස් විසින් නිකුත් කරන ලද ගිවිසුම පහල වැටුප් ගෙවන “දෙමුහුන්” කම්කරුවන්ගේ දෙවැනි ස්ථරයක් හඳුන්වා දෙයි. ඔවුන් ගබඩා වැඩ හා බෙදාහැරීම් (රිය) ධාවනය අතර මාරු කල හැකි අතර, වර්තමාන රියදුරන්ට ගෙවනවාට වඩා අඩු වෙන් පැයකට ඩොලර් 6ක් ගෙවනු ඇත. නව ක්‍රියාකලාපය ඉලක්ක කෙරෙන්නේ ගබඩාවල සිට රියදුරන් දක්වා අර්ධකාලීන වැඩ ව්‍යාප්ත කර සමාගමේ යහපත් වැටුප් ගෙවන අවසාන රැකියාව ද විනාස කිරීමට ය.

මෙම කොන්ත්‍රාත්තුව අර්ධකාලීන ගබඩා කම්කරුවන් සඳහා දරිද්‍ර මට්ටමේ වැටුප් ද පවත්වා ගෙන යයි, ශ්‍රමබලකායෙන් සියයට 70ට වඩා යුක්ත වන, පැයකට ඩොලර් 10ක් තරම් උපයන මොවුන්ට යූපීඑස් හා ටීම්ස්ටර්ස් විසින් සලකනු ලබන්නේ මානව කුනුකසල වලට වඩා වැඩි දෙයක් ලෙස නොවේ.

මෙම තුච්ඡ විකුනා දැමීම ශ්‍රේෂ්ට ජයක් ලෙස පෙන්වීමට ටීම්ස්ටර් නිලධාරීන් උත්සාහ ගනිමින් සිටිද් දී, ටීම්ස්ටර්ස් විධායකයේ අනුමැතිය සාදරයෙන් පිලිගනිමින් හා “ව්‍යාප්ත සති අන්ත නේවාසික සේවාවන් මෙන් ම සමාගමේ තරඟකරුවන්ගේ අභියෝගවලට මුහුන දීම ද” ඇතුලුව, “යූපීඑස් සමාගමට වඩා විශාල නම්‍යතාවක් ලබා දෙන කොන්දේසි” ගිවිසුමට අන්තර්ගත යැයි තෘප්තිමත් වෙමින් සමාගම ප්‍රකාශනයක් නිකුත් කලේ ය. වෝල් වීදිය උපහාර දක්වා ඇත්තේ, ටීම්ස්ටර් එය සම්මත කිරීමට සමත් වසනු ඇත යි යන සියුම් උපකල්පනය යටතේ, යූපීඑස් කොටස් මිල ගනන් ඉහලට ඔසවමිනි.

ටීම්ස්ටර්ස්හි දුස්සහය සමග, පසු ගිය වසර 30 තිස්සේ යූපීඑස් කම්කරුවන් තම සේවා තත්වයන් තුල ඓතිහාසික පරිවර්තනයකට මුහුන දී ඇත. 1979දී, අර්ධකාලීන ගබඩා කම්කරුවෙක් වර්තමාන භාෂිතය අනුව පැයකට ඩොලර් 27ක සමානව උපයා ගත්තේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවි යූපීඑස් වර්කර්ස් නිව්ස්ලෙටර් යූපීඑස් කම්කරුවන් දුසිම් ගනනක් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති අතර, ඔවුන් සමාගමේ අවසානයක් නැති ලාභ හඹායාමේ මානව පිරිවැය විස්තර කර ඇත.

පැයකට ඩොලර් 13ක් ලබන හා ඇගේ ස්වාමියා සමග ලමුන් තිදෙනෙකු ඇති දැඩි කිරිමට සටන් කරමින් සිටින, ඉලිනොයිස් හි ගබඩා සේවිකාවක වන ලිලී තේරීම් පටියක දී ඇඟිල්ල කැපී ගිය සහෝදර කම්කරුවෙකු ගැන කතා කලා ය. ටෙනෙසී ප්‍රාන්තයේ පැකේජ පටවන්නෙකු වූ සීන්ට ඔහුගේ තුන්මස් වයසැති දරුවා හා බිරිඳ සඳහා අත්‍යාවශ්‍ය දේ ලබා දීමට අවස්ථා කීපයක දී රුධිර ප්ලාස්මා විකිනීමට බල කෙරී ඇත.

වඩා පුලුල් ලෙස, සංගතවාදී, කම්කරු විරෝධී වෘත්තීය සමිති වැඩ කර ඇත්තේ කම්කරුවන්ගෙන් පොහොසතුන්ට ධනය නැවත බෙදා හැරීමට වන විරුද්ධත්වයේ සෑම ප්‍රකාශනයක් ම හුදකලා කර මර්දනය කිරීමට ය. ප්‍රධාන වැඩවර්ජන සැබවින් ම අතුරුදහන් ව ඇත්තේ, සමාජ අසමානතාව පවා ඉහල නැගී තිබිය දී ය. වෘත්තීය සමිති තෙමේ ම ලාභ ශ්‍රම කොන්ත්‍රාත්කරුවන් ලෙසට පර්වර්තනය වී ඇත.

ඩෙමොක්‍රටික් පක්ෂය වටා වන බොහෝ ව්‍යාජ වාම සංවිධාන ඇතුලුව, කම්කරුවන් මත මෙම සංවිධානයන්ගේ ග්‍රහනය ඉහලට ඔසවන අය එසේ කරන්නේ වෘත්තීය සමිති විසින් සපයා ඇති පහසුකම් නිසා, විශේෂයෙන් ම කොටස් වටිනාකම්වල අවසානයක් නැති ඉහල යාමේ ක්‍රියාදාමයෙන් වාසි ලබා ඇති ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කන්ඩායම් වෙනුවෙන් ඔවුන් කතා කරන බැවිනි.

තම උත්සුකයන් සඳහා සටන් කිරීමට, කම්කරු පන්තියට නව සංවිධාන, එනම් කම්හල්වල, වැඩපොලවල හා අසල් වාසයන්ගේ ක්‍රියාකාරී කමිටු අවශ්‍ය ය. මෙම සංවිධාන, සංගත හා මූල්‍ය ප්‍රභූවට එරෙහිව පොදු අරගලයක දී, එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තර ව මෝටර්රථ කම්කරුවන්, ගුරුවරුන්, ඇමසන් කම්කරුවන්, සේවා කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් සියලු කන්ඩායම් සමග යූපීඑස් කම්කරුවන් එක්සත් කිරීමට සටන් කල යුතු ය.

නොනවත්වා ඉහල යමින් තිබෙන සමාජ අසමනාතව ද ලෝකය පුරා කම්කරුවන් මිලියන ගනනාවක් දරිද්‍රතාවට පත් වීම ද විසඳීමට ධනේශ්වර රාමුව තුල මාවතක් ඇත්තේ නැත. යූපීඑස් කම්කරුවන් මුහුන දෙන්නේ හුදෙක් එක් සංගතයකට හෝ දූෂිත නිලධාරීන්ට නො ව, කම්කරු පන්තිය සූරාකෑම මත පදනම් වූ සමස්ත ආර්ථික පද්ධතියකට ය.

ජාත්‍යන්ර වසයෙන් භාන්ඩ ප්‍රවාහනය කිරීමට දියුනු, තාර්කිකව සංවිධානය කෙරුනු විද්‍යාත්මක ක්‍රමයක් ඇති දැවැන්ත සැපයුම් සංගත වන, යූපීඑස්, ඇමර්සන් හා ෆෙඞ්එක්ස් සමාගම්වල අයිතිය පැහර ගෙන මූල්‍ය කතිපයාධිකාරයේ හස්ථයෙන් මුදා ගත යුත්තේ කම්කරු පන්තිය විසින් ලෝක ආර්ථිකය සැලැසුම්ගත ලෙස සංවිධානය කිරීමේ කොටසක් ලෙස ය.

විල් මොරෝ

Share this article: