තුර්කි අර්බුදය හා ලෝක යුද්ධයේ තර්ජනය

The Turkish crisis and the threat of world war

2018 අගෝස්තු 15

අඟහරුවාදා ට්‍රම්ප් පාලනාධිකාරිය දැනටමත් තුර්කිය ආර්ථික දියවීමකට ඇද දමා ඇති එක්සත් ජනපද ආර්ථික සම්බාධක තවදුරටත් උත්සන්න කිරීමේ තර්ජනයක් නිකුත් කලේ ය.

පසු ගිය සිකුරාදා, වොෂින්ටනය තුර්කි වානේ හා ඇලුමිනියම් මත එක්සත් ජනපද තීරුබදු පිලිවෙලින් සියයට 50 හා 20 දක්වා දෙගුනකින් වැඩි කලේ ය. මෙම ක්‍රියාව දැනටමත් මාස හතරක් තිස්සේ පහල යමින් තිබෙන තුර්කි ලීරාවේ වටිනාකම ප්‍රපාතාකාර සියයට 20ක වැටීමකට මග පෑදුවේ, තුර්කි කම්කරු පන්තියේ ජීවන තත්වයන් වාෂ්ප කර දමා ඇති උද්දමනයක කාලයක් මුදා හරිමිනි.

ආදී නේටෝ මිතුරෙකු මත වොෂින්ටනයේ මෙම දඬුවම්කාරී ප්‍රහාරය සඳහා කඩතුරාව වන්නේ ඉවන්ජලිකානු නිකායේ ඇමරිකානු දේව ගැතියෙකු වන ඇන්ඩෘ බ්‍රන්සන්ගේ අඛන්ඩ රඳවා ගැනීම යි. හෙතෙම 2016දී අත්අඩංගුවට ගැනුනේ ජනාධිපති රෙසෙප් ටේයිප් අර්ඩෝගන් පෙරලා දැමීමට උත්සාහ ගැනුනු, එම වර්ෂයේ ජූලි මස අසාර්ථක කුමන්ත්‍රනයේ සංවිධායකයන් සමග හවුල් වීමේ චෝදනා මත ය.

“පාලනාධිකාරිය මේ ගැන අතිසයින් ම ස්ථීර ව සිටිනු ඇත. දේව ගැති බ්‍රන්සන් ආපසු සිය රටට ගෙන ඒමට ජනාධිපති සියයට සියයක් කැපවන අතර, ඉදිරි දින කීපයේ දී හෝ සතියක දී අප පියවරක් නො දකින්නේ නම්, වැඩි දුරටත් පියවර ගැනීමට ඉඩ ඇත” යි ධවල මන්දිර ජ්‍යෙෂ්ට නිලධාරියෙක් රොයිටර් නිව්ස් සේවයට පැවසී ය.

බ්‍රන්සන්ගේ ඉරනම මත ප්‍රසිද්ධ උද්ඝෝෂනය, ඔහුගේ දක්ෂිනාංශික ක්‍රිස්තියානු පදනමට අභියාචනා කරන, ට්‍රම්ප්ගේ දේශීය දේශපාලන න්‍යායපත්‍රයට සේවය කරන අතර, තුර්කි ආර්ථිකය අක්‍රීය කිරීම සඳහා වන සැබෑ අරුමුනු පවතින්නේ තමාගේ ම අර්බුදය වෙලඳ යුද්ධය, ආර්ථික සම්බාධක හා ඍජු මිලිටරි ගැටුම් මගින් තම හතුරන් මෙන් ම මිතුරන්ගේ කර මතට මාරු කිරීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ උත්සාහය තුල ය.

ඇමරිකානු දාමරික, ට්‍රමප් උත්සාහ ගනිමින් සිටින්නේ වෝල් විදීය හා එක්සත් ජනපදයේ පිහිටි අන්තර්ජාතික සංගතවල උත්සුකයන්ට හිස නැමීමට ලෝකයේ සියලු රටවල්වලට තර්ජනය කිරීමට හා බිය වැද්දීමට ය.

පසු ගිය මාසය අත් දැක ඇත්තේ තුර්කි ලීරාව ගිල්වා දැමූ සම්බාධක පමනක් නොව, පී5+1(එජ, එරා, ප්‍රන්සය, චීනය, රුසියාව, ජර්මනිය) සමග 2015 ඇති කෙරුනු ඉරාන න්‍යෂ්ටික ගිවිසුම එක්සත් ජනපදය විසින් ඒකපාර්ශ්වීය අවලංගු කිරීමෙන් පසු, ඉරාන ආර්ථිකය මත බරපතල හානිවලට මග පාදා ඇති නව සම්බාධක ඉරානයට එරෙහිව පැටවීම ද වේ. ඉරානයේ බලශක්ති අපනයනය හා බැංකුවලට ඊටත් එහා යන දඬුවම්කාරී සම්බාධක නොවැම්බරයේ දී එල්ල කිරීමට නියමිත ය.

ඒ ආකාරයෙන් ම, බ්‍රිතාන්‍යයේ සැලිස්බරි නගරයේ දී හිටපු රුසියානු ඔත්තුකරු සර්ගේයි ස්ක්‍රිපාල් හා ඔහුගේ දුවට චූදිත ස්නායු ගෑස් විෂ වැද්දීමේ චෝදනා මත රුසියාව මත සම්බාධක පැටවෙමින් තිබේ. ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ රුසියානු ආන්ඩුව මෙම කටයුත්තේ දී කිසියම් හෝ සම්බන්ධයක් ඇත යි යන්න ප්‍රතික්ෂේප කර ඇති අතර, එය එහෙම නො වේ යැයි ඔප්පු කිරීමට ස්ථීර පදනමක් සහිත සාක්ෂි ඉදිරිපත් කෙරී නැත. ඉරාන සිද්ධියේ දී මෙන් ම, රුසියාව ද මෙම වසර අවසානයේ දී දිග හැරෙනු ඇති බොහෝ සම්බාධකවල අපේක්ෂාවන්ට මුහුන දෙයි.

රුසියානු බැංකු මෙහෙයුම් අවහිර කිරීමට යෝජිත පියවර “ආර්ථික යුද්ධ ප්‍රකාශ කිරීමක් ලෙස ගනන්” ගැනෙනු ඇති අතර “ආර්ථික මාධ්‍ය, දේශපාලනික මාධ්‍ය හා, අවශ්‍ය වන්නේ නම්, අනෙකුත් මාධ්‍ය ප්‍රතිචාරයකට” අවධානය යොමු වනු ඇත යි රුසියානු අගමැති ද්මිත්‍රි මෙඩ්වෙඩෙව් සිකුරාදා අනතුරු ඇඟවූයේ ය.

තුර්කිය මත ප්‍රහාර බැඳෙන්නේ රුසියාව හා ඉරානයට එරෙහිව ගැනෙමින් තිබෙන වඩ වඩා ආක්‍රමනකතාරී එක්සත් ජනපද පියවර සමගිනි. අර්ඩෝගන්ගේ ආන්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මැද පෙරදිග හා වඩා පුලුල් ලෙස යුරේසියාවේ එක්සත් ජනපද භූමූලෝපායික උත්සුකයන් ඉක්මවා ගොස් ඇත.

සිරියාවේ දී, රුසියාව හා ඉරානය යන දෙරට සමග ම ඇන්කාරා තන්ත්‍රය එකඟත්වයකට ලඟා වී ඇත්තේ, දකුනු දේශසීමාවේ දී තම උත්සුකයන් හඹා යාමට තමන්ට ඉඩ පාදා ගනිමිනි. ඒ අතරම, තුර්කිය එක්සත් ජනපදය සමග මිලිටරි ගැටුමක අද්දරට පැමින ඇත. එත්සත් ජනපදය තම ප්‍රධාන ගැත්තර ගොඩිබිම් හමුදාව ලෙස යොදා ගනිමන් සිටින්නේ, තුර්කි කුර්දි පීකේකේ සංවිධානයේ අංකුරයක් වන, සිරියානු කුර්දි වයිපීජී මිලීෂියා භට කන්ඩායම යි. තුර්කි කුර්දි පීකේකේ සංවිධානයට එරෙහිව ඇන්කාරාව දිග්ගැස්සුනු ලේවැකි ත්‍රස්තවිරෝධී උද්ඝෝෂනයක් ගෙන ගොස් ඇත.

මේ අතර, තුර්කි ආන්ඩුව රුසියාවෙන් නවීන එස්-400 මිසයිල ආරක්ෂක පද්ධතියක් මිල දී ගැනීමේ සැලැසුම් හෙලිදරව් කර ඇති අතර, එකී පද්ධතිය ලබන වසරේදී ලබා දෙනු ඇත යි ද එමෙන් ම එය නේටෝ මිසයිල නාශක පද්ධතිය සමග නො පෑහෙන බව ද සිතනු ලැබේ.

අවසාන වසයෙන්, තුර්කියේ බලශක්ති ආනයනයේ ප්‍රධාන මූලාශ්‍රය වන, ඉරානයට එරෙහිව එක්සත් ජනපදය විසින් ඒකපාර්ශ්වීය පටවමින් තිබෙන සම්බාධකවලට බැඳීසිටීමට තමන් අපේක්ෂා නො කරන බව ඇන්කාරා සංඥා තර ඇත. එමෙන් ම, මෑත ට්වීටර් පනිවුඩයක ට්‍රම්ප් සංඥා කර ඇති පරිදි,“ඉරානය සමග ගනදෙනු කරන ඕනෑ ම අයෙකු එක්සත් ජනපදය සමග ගනදෙනු නො කරනු ඇත.”

මෙම එකම ජාත්‍යන්තර ගැටුම්, විශේෂයෙන් ම රුසියාව හා චීනය සමග වඩා කිට්ටු සම්බන්ධකම්වලට තුර්කිය හැරීම, ඔබාමා ධවල මන්දිරයේ සිටිය දී දියත් කෙරුනු, අර්ඩෝගන්ට එරෙහි 2016 ජූලි අසාර්ථක මිලිටරි කුමන්ත්‍රනයට එක්සත් ජනපද සහාය ද එමෙන් ම ජර්මානු සහාය ද පෙලඹවී ය.

දාමරික ට්‍රම්ප් එක්තරා අස්වාභාවික නො මග යාමක් නොවේ, ඊට වෙනස් ව තම උත්සුකයන් හඹායාමේදී ලෝක පරිමානව ඓතිහාසික අපරාධ ගෙනයාමට සූදානම් පරපුටු එක්සත් ජනපද පාලක කතිපයාධිකාරියේ සැබෑ ස්වරූපය යි.

තුර්කිය සම්බන්ධ සිද්ධියේ දී, එරට අර්බුද ග්‍රස්ත ආර්ථිකය ප්‍රපාතයට තල්ලු කිරීම එක්සත් ජනපදය මත ඍජු බලපෑමක් නොවනු ඇත යි යන්න වොෂින්ටනයේ ගනන් බැලීම යි. තුර්කිය එක්සත් ජනපද භාන්ඩ සඳහා 28වැනි වෙලඳපොල වන අතර, මෙම වසරේ පලමු භාගයේ එක්සත් ජනපද අපනයනවලට එකතු කෙරුනේ යන්තම් සියයට 0.6ක් පමනි. මෙම වසරේ පලමු කාර්තුව අවසානයේ දී එක්සත් ජනපද බැංකු යන්තම් ඩොලර් බිලියන 38ක තුර්කි නය පවත්වා ගනිමින් සිටියේ ය.

ඊට වෙනස් ව, ස්පාඤ්ඤ, ප්‍රන්ස හා ඉතාලි බැංකු පිලිවෙලින් ඩොලර් බිලියන 83.3ක්, ඩොලර් බිලියන 38.4ක්, හා ඩොලර් බිලියන 17ක් තුර්කියට නයට දී ඇත.

තුර්කි අර්බුදය යුරෝපා සංගමයට පිටාර ගැලීමේ ඉඩ කඩ යුරෝපා සංගමය මූලෝපායික සතුරකු ලෙස සලකන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අසතුටට කාරනයක් නොවේ. මේ අතර තුර්කි ලීරාවේ ඇද වැටීම, ඊනියා නැගී එන වෙලඳපොල ආර්ථිකයන් හරහා ගිගුම් දී ඇත්තේ, ඉන්දියාවේ සිට මැක්සිකෝව හා දකුනු අප්‍රිකාව දක්වා මුදල් අවප්‍රමාන කරමිනි.

ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයින් ඒ ගැන සටහන් කර ගෙන ඇති අතර, අතීතයේ දී, පොදුවේ ජාමුඅ “ප්‍රතිව්‍යුහ ගත කිරීමේ” වැඩසටහන් පැටවීම මගින්, තුර්කිය විසින් මුහන දී ඇති තත්වයට සමාන කොන්දේසි යටතේ ගෝලීය වෙලඳපොල සන්සුන් කිරීමේ උත්සාහයක දී වොෂින්ටනය මැදිහත් වී ඇත. මෙම අවස්ථාවේ දී එය හිතාමතා ම උත්සාහ කර ඇත්තේ අර්බුදය වඩාත් උග්‍ර කිරීමට ය.

මහා අවපාතයේ විධාරනයට වසරකට පෙර, 1928දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය විශ්ලේෂනය කරමින් ලියොන් ට්‍රොට්ස්කි මෙසේ අනතුරු ඇඟවී ය: “අර්බුද කාලපරිච්ඡේදයක දී, එක්සත් ජනපද ආධිපත්‍යය උත්පාත සමයකට වඩා පරිපූර්න ලෙස, වඩා විවෘතව, හා වඩා කුරිරු ලෙස ක්‍රියාත්මක වනු ඇත. එක්සත් ජනපදය මූලික වසයෙන් යුරෝපයේ වියදමින් තම දුෂ්කරතාවන් හා ව්‍යාධීන් ජය ගැනීමට හා තමා මුදා ගැනීමට උත්සාහ කරනු ඇත්තේ, මෙය සිදුවන්නේ ආසියාවේ, කැනඩාවේ, දකුනු ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ හා යුරෝපයේ ද, මෙය සිදුවන්නේ සාමකාමී ව ද නැත්නම් යුද්ධය මගින් ද යන්න නො තකමිනි.”

අවසාන ගෝලීය මූල්‍ය අර්බුදය පිපිරීමේ තැන් සිට දශකයකට පසු, 2008 වෙලඳපොල දිය වීම ඇති කල ලාභ පද්ධතියේ ප්‍රතිඝතිතාවන් තීව්‍ර වී ඇතිවා පමනී. ගෙවී ගිය දශක තුන පුරා ගෝලීය නිෂ්පාදනය විසින් දැවන්ත ලෙස තීව්‍ර කෙරී ඇති, ගෝලීය ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර විසඳිය නො හැකි ගැටුම, ගෝලීය වෙලඳ යුද්ධය, පශ්චාත් දෙවැනි ලෝක සන්ධානයන්ගේ කඩා වැටීම හා මිලිටරිවාදයේ නැගීම විසින් උපලක්ෂිත වන්නා වූ නව පූර්ව යුද්ධ කාලපරිච්ඡේදයක නැගීම ඇති කරමින් තිබේ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් හඹායන කුරිරු හා විනාසකාරී ප්‍රතිපත්ති එක්සත් ජනපදය තුල ම ඇතුලුව සමාජ ආතතියේ හා පන්ති අරගලයේ අතිමහත් වර්ධනයක නැගීම ඇති කරමින් තිබේ. එය තුල නව ලෝක යුද්ධයක් අවුලුවන වෙලඳ යුද්ධය හා ලෝකය පුරා බහු විධ මිලිටරි ගැටුම්වල වැඩෙන තර්ජනයට වන එකම ශඛ්‍ය උත්තරය පවතී. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තිය මත පදනම් වූ ජාත්‍යන්තර, සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: