එක්සත් ජනපදයේ යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තීය සමිතියේ දූෂන සෝලිය හා ක්‍රියාකාරී කමිටු සඳහා අවස්ථාව

The United Auto Workers corruption scandal and the case for rank-and-file committees

2018 අගෝස්තු 22

ෆියට් ක්‍රයිස්ලර් (එෆ්සීඒ) හිටපු සේවක සම්බන්ධතා උප සභාපති, අල්පෝන්ස් ඉකබොලීට එරෙහිව සඳුදා ගොනු කෙරුනු, දඬුවම් නියම කිරීමේ සංදේශය තුල, ෆෙඩරල් නඩු පවරන්නෝ, “ප්‍රතිලාභ, වරදාන හා සාමූහික කේවල් කිරීමේ සාකච්ඡා හා පරිපාලනය තුල වාසි ලබා ගැනීමේ” උත්සාහයේ තුටුපඬරුවලට එක්සත් මෝටර්රථ කම්කරුවන්ගේ (යූඒඩබ්ලිව්) වෘත්තීය සමිතිය ඍජුව සම්බන්ධ කර යි.

“කම්කරු-කලමනාකරන සම්බන්ධතාව දූෂනය කිරීමට හා වෙනස් කිරීමට” යූඒඩබ්ලිව් නිලධාරීන්ට මීට පෙර වාර්තා කෙරුනාට වඩා එෆ්සීඒ මුදල් පොම්ප කර ඇති බව සටහන තහවුරු කර යි. මූලින් වාර්තා කෙරුනාට වඩා දෙගුනයක් ද ඉකබොලී පිලිගෙන ඇතිවාට වඩා හය ගුනයක් ද වන ඩොලර් මිලියන 9කට වඩා වෘත්තීය සමිති විධායකයින්ට 2009 හා 2017 අතරතුර හරවා යැවුනේ යූඒඩබ්-ක්‍රයිස්ලර් ජාතික පුහුනු මධ්‍යස්ථානය(එන්ටීසී) හරහා ය.

දූෂිත සම්බන්ධකම් කොන්ත්‍රාත්තු සාකච්ඡාවලට ඍජුව බල පා ඇත යි යන ප්‍රකාශයට බොහෝ දුර දිග යන ගම්‍යයන් පවතී. යූඒඩබ්ලිව් විසින් පටවන ලද කොන්ත්‍රාත්තු බල රහිත, ඔවුන්ට එරෙහිව එල්ල කෙරුනු නීතිවිරෝධී කුමන්ත්‍රනයක නිර්මිතයක් බව මොටර්රථ කම්කරුවන් සැලකිල්ලට ගත යුතු ය. මෙය අදාල වන්නේ 2009 හා 2017 අතර එෆ්සීඒව තුල කඩිමුඩියේ ඇති කෙරුනු කොන්ත්‍රාත්තුවලට පමනක් නො වේ. ඒ ආකාරයේ ම සංගතවාදී සම්බන්ධකම් විශාල මෝටර්රථ සමාගම් තුන තුල ද පවතින අතර, ඒවා දශක ගනනක් අතීයට විහිදෙයි.

සඳුදා නඩු ගොනු කිරීම ව්‍යාප්තවන දූෂන සෝලිය තුල හෙලිදරව් කිරීම් මාලාවක මෑත ම එක යි. පසු ගිය සතියේ දී, ඉකබොලී වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා කොන්ත්‍රාත්තු සාකච්ඡාවලට බලපෑමේ කුමන්ත්‍රනය ඉකබොලී විහින් ම පැටලීමට පෙර සිට ම පැවතුන බව තහවුරු කරමින් ලිපිගොනු ඉදිරිපත් කලේ ය.“ඉකබොලී එක් වූයේ ඒ වන විටත් පැවති කුමන්ත්‍රනයකට” යැයි එය පවස යි. “මෙම නඩුවේ අවධානය යොමු වන භාවිතයන් හා දූෂන ඇරඹුනේ ඉකබොලීට බොහෝ කලකට පෙර ය.”

එන්ටීසියේ මෙහෙයුම් විස්තර කරමින්, නෛතික වාර්තව තහවුරු කරන්නේ මෙහෙයුමට පැටලුනු යූඒඩබ්ලිව් නිලධාරීන්ට “හුරුපුරුදු ලෙස තමන්ගේ ම පුද්ගලික සත්කාර සේවා තිබුනු” බව යි. එය මෙසේ ද පවස යි: “ඔවුන්ට එන්ටීසියෙන් නිකුත් කෙරුනු නය කාඞ් පත් තිබුනි. ඔවුන්ට විශාල මුදල් තොගවලට ලඟා වීමේ හැකියාව තිබුනි... ඇතම් වෘත්තීය සමිති නියෝජිතයෝ හා සමාගම දීර්ග කාලයක් තිස්සේ මෙය කලෝ ය.”

(එෆ්සීඒට අනුව) සෝලියට සම්බන්ධ “නරක ක්‍රියාකාරීන් සුලු සංඛ්‍යාවක්” බව හා (යූඒඩබ්ලිව් සභාපති ඩෙනිස් විලියම්ස්ට අනුව) “අපචාරය පිලිබඳ අපගේ නායකත්ව කන්ඩායමට දැනුමක් තිබුනේ නැති” බවට එෆ්සීඒ හා යූඒඩබ්ලිව් කරන ප්‍රකාශ මුසාවාද ලෙස හෙලිදරව් වෙමින් තිබේ. පසු ගිය සතිය පුරා හෙලිදරව් වීම් අතර දැනට අභාවප්‍රාප්ත ෆියට් ප්‍රධාන විධායක නිලධාරී සර්ජියෝ මාකිනෝන් පුද්ගලිකව, යූඒඩබ්ලිව් උප සභාපති ජනරාල් හොලිෆීල්ඞ්ට ඩොලර් 2,000ට වඩා වටිනා ඔර්ලෝසුවක් ත්‍යාග කල අතර ඊට පසු ෆෙඩරල් පරීක්ෂනයේ දී ඒ ගැන බොරු කීමේ කරුන ද වේ .

ඊට පසු, එෆ්සීඒ යූඒඩබ්ලිව් උපසභාපති නොර්වුඞ් ජුවෙල්ගේ හිටපු සහකාර නැන්සි ජොන්සන් විසින් පසු ගිය මාසයේ නිකුත් කරන ලද සමාව ඇයදීමේ පොරොන්දු පත්‍රය තුල යූඒඩබ්ලිව් උප සභාපති විලියම්ස් ම ද සම්බන්ධ බව ඇඟ වේ. විලියම්ස් පුහුනු මධ්‍යස්තානවල අරමුදල් සුඛෝපභෝගී අයිතම හා පුද්ගලික වියදම් සඳහා ගෙවීමට යූඒඩබ්ලිව් විධායකයින් මෙහෙය වූ බව ජොන්සන් තහවුරු කලා ය.

මෙම දූෂිත විධිවිධාන යූඒඩබ්ලිව් හා මෝටර්රථ සමාගම් අතර සමස්ත සම්බන්ධකම් පිලිබඳ නින්දිත ම ප්‍රකාශන පමනී. මුදල් හා සුඛෝපභෝගී භාන්ඩ එතරම් නිදහස් ලෙස සමාගමින් වෘත්තීය සමිතියට මාරු වන්නේ මෙම සංවිධාන දෙකම එකම පැත්තේ වන බැවිනි. යූඒඩබ්ලිව් සෝලිය මෝටර්රථ කම්කරුවන් එදිනෙදා අත්දකිනා දේ පිලිබඳ අවිවාදාත්මක සාක්ෂි සපය යි. එනම් යූඒඩබ්ලිව් ම ද සංගත ගැති ව්‍යාපරයක් මිස කම්කරු සංවිධානයක් නො වේ යන්න යි.

මෝටර්රථ කම්කරුවන් හා කම්කරු පන්තියේ සියලුම කන්ඩායම් මෙම කරුනින් අත්‍යාවශ්‍ය නිගමන උකහා ගත යුතු ය. තමන්ගේ උත්සුකයක් ඉදිරියට ගෙන යාමට කම්කරුවන්ට අරගලයේ නව සංවිධාන අවශ්‍ය ය. සංගත හා මූල්‍ය ප්‍රභූවට එරෙහිව විරුද්ධත්වය සංවිධානය කිරීමට හා එක්සත් කිරීමට කම්හල්වල හා වැඩපොලවල කම්කරු කමිටු ගොඩනැගිය යුතු ය.

1984දී, සමාජවාදී සමානතා පක්ෂයේ පුරෝගාමී වර්කර්ස් ලීගය, දශක තුනකට වඩා වැඩි කාලයකට පෙර දී හඳුන්වා දුන් යූඒඩබ්ලිව්-සමාගමේ ඒකාබද්ධ ව්‍යුහය හා ව්‍යාපාරවල විශේෂත්වය පෙන්වා දුන්නේ ය. කෝපරේට්වාදය හා වෘත්තීය සමිති නම් තම ලිපියෙහි වර්කර්ස් ලීගය යූඒඩබ්ලිව් මතවාදය “කෝපරේට්වාදය” ලෙස නිර්වචනය කලේ ය. එනම්, “එහි ප්‍රතිවිපාක කම්කරු පන්තියට කොතරම් බරපතල වන්නේ දැ යි නො තකා, ලාභ පද්ධතිය රැක ගැනීමට නිලධරය හා ධනේශ්වර රාජ්‍ය අතර අසීමිත හවුල්කාරිත්වයකට මග පාදන, ශ්‍රමය හා කලමනාකරනයේ අනන්‍යතාව පිලිබඳ ප්‍රවාදයකි.” කම්කරු ලීගය එන්ටීසීයේ පුරෝගාමී වූ “ඒකාබද්ධ නිපුනතා සංවර්ධන පුහුනු අරමුදල” නිවරැදිව ගුනාංගීකරනය කලේ “යෝධ අල්ලස් අරමුදලක්” ලෙස ය.

යූඒඩබ්ලිව්ව “යූඒඩබ්ලිව්-ජීඇම්,” “යූඒඩබ්ලිව්-ෆෝර්ඞ්” හා “යූඒඩබ්ලිව්-ක්‍රයිස්ලර්” බවට පත් විය. මෙම විධිවිධානවල අපේක්ෂිත ප්‍රතිඵලය අද දැකිය හැක්කේ, වැඩවර්ජන මර්දනය, වැඩපොල වසා දැමීම හා දොට්ටදැමීම්, හා සමාගම්වලට අවසානයක් නැති අපාසු-ගෙවීම් මගින් යූඒඩබ්ලිව් විසින් පැටවුනු කොන්දේසි යටතේ කම්කරුවන් මුහුන දෙමින් සිටින තතු තුල ය.

සියදහස් ගනනක් රැකියා තුරන් කෙරී ඇත; පූර්නකාලීන රැකියා අඩු වැටුප්, අර්ධකාලීන හා තාවකාලික තනතුරු ආදියෙන් විස්තාපනය කෙරී ඇත; කම්කරු පන්තිය බහුවිධ ශ්‍රේනිවලට වෙන් කෙරී ඇත; සෞඛ්‍ය රැකවරන හා විශ්‍රාමික ප්‍රතිලාභ කපා දමා ඇත; ජීවන වියදම් දීමනා තුරන් කෙරී ඇත; එමෙන් ම පැය අටක වැඩ දිනය ඵලදායී ලෙස වනසා ඇත.

යූඒඩබ්ලිව්ව සංගතවාදී සම්මේලයකට හා ලාභ-ශ්‍රම කොන්ත්‍රාත්කරුවෙකු බවට පරිනාමය වීම හුදකලා සිදුවීමක් නො වේ. එක්සත් ජනපදය තුල මෙන් ම ලෝකය පුරා, තම ධනවාදී හා ජාතිකවාදී වැඩසටහන් මත පාදක වෘත්තීය සමිති, තෙමේ ම සංගත හා ආන්ඩුවේ ඒජන්සි බවට පරිවර්තනය වී ඇත.

1970 ගනන් හා 1980 ගනන්වල මුල පුරමින්, එක්සත් ජනපදයේ වෘත්තීය සමිති නිෂ්පාදනයේ ගෝලීයකරනයට, ඇමරිකානු ධනවාදයේ පරිහානියට හා ඇමරිකානු පාලක පන්තියේ මූලෝපාය තුල දක්ෂිනාංශික වෙනසට ප්‍රතිචාර දැක්වූයේ, ලෝක වෙලඳපොලේ එක්සත් ජනපද සමාගම්වල තරඟකාරිත්වය වැඩි කරනු පිනිස වැටුප් පහල දැමීමට හා කම්කරු පන්තිය සූරාකෑම වැඩි කිරීමට සංගත කලමනාකරනය සමග එක්වෙමිනි. වෘත්තීය සමිති වැටුප් වැඩි කිරීමට සමාගම් මත පීඩනය යෙදීමේ සිට වැටුප් පහල දැමීමට කම්කරුවන්ට පීඩනය යෙදීමට කරා ගියේ ය. මෙම සංවිධාන පාලනය කරන විධායකයින්ගේ සේවය වෙනුවෙන් නිර්ලෝභී ලෙස ත්‍යාග පිරිනැමේ.

සඳදා නඩු ගොනු කිරීම තුල, නඩු පවරන්නන් තහවුරු කරන්නේ එෆ්සීඒ සමාගමින් පොම්ප කෙරුනු මුදල්වල අභිප්‍රාය වූයේ “කම්කරු සාමය මිල දී ගැනීම” බව යි. වෘත්තීය සමිති ඔනෑවටත් වඩා විකිනීමට කැමති මෙයයි.

මෙම වසර මුල දී ඒඑෆ්එස්සීඑම්ඊට එරෙහිව ජානුස් නම් නඩුවේ දී උසාවිය ඉදිරියේ ඔහුගේ තර්ක කිරීමේ දී, රාජ්‍ය, කෝරල හා නගරසභා සේවකයින්ගේ ඇමරිකානු ෆෙඩරේෂනයේ නීතිඥ පැවසුවේ, “ඒජන්සි ගාස්තු,” සියලුම කම්කරුවන්ගේ එනම්, වෘත්තිය සමිතිවල නොමැති අය පවා ඇතුලත්ව, වෘත්තීය සමිති ගාස්තු ගෙවීමේ අවශ්‍යතාව, වැඩ වර්ජන ඇති නොවීම සඳහා තුටුපඬුරක්” වන බව යි.

සංගතවල හා ආන්ඩුවේ කාර්මික පොලීසිය ලෙස වෘත්තීය සමිතිවල කාර්යභාරය පිලිබඳ මීට වඩා පැහදිලි ප්‍රකාශයක් තිබිය නො හැක.

අරගලයේ නව සංවිධාන, එනම් කම්හල්වල සාමාජිකයන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට විරුද්ධ වන, ඩෙමොක්‍රටික් පක්ෂය තුල හා එය වටා ක්‍රියාත්මක වන, මෙම සංවිධාන එසේ කරන්නේ වෘත්තීය සමිතිවල ස්වභාවය හා කාර්යභාරය වසන් කිරීමේ ආස්ථානයෙනි. ඔවුන්ගේ අරමුන වන්නේ වෘත්තීය සමිති සමග තම කටුක අත්දැකීම්වලින් අත්‍යාවශ්‍ය සංවිධානමය හා දේශපාලනික නිගමනයන් උකහා ගැනීමෙන් කම්කරුවන් වැලක්වීමට ය.

මෙම අරුමුන වෙනුවෙන්, ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය (අයිඑස්ඕ), ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් (ඩීඑස්ඒ) හා අනෙකුත් ව්‍යාජ වාම කන්ඩායම්වල වෙබ් අඩවි, මාස ගනනාවක් තිස්සේ දිගහැරෙමින් තිබෙන යූඒඩබ්ලිව දූෂන සෝලිය ගැන සැබවින් ම කිසි දෙයක් කියා නොමැත.

චිකාගෝ ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය පාලනය කරන අයිඑස්ඕ සංවිධානයේ ප්‍රකාශනය වන සෝෂලිස්ට් වර්කර් නම් වෙබ් අඩවිය යූඒඩබ්ලිව දූෂන සෝලිය ගැන එක ද ලිපියක් හෝ පල කරන නැත. ඩීඑස්ඒට සම්බන්ධ ජැකොබින් සඟරාව ද එසේ කර නැත. වෘත්තීය සමිති සංවිධාන තුල උපකල්පිත නොයෙකුත් විසම්මතික කන්ඩායම් පුම්බන ලේබර් නෝට්ස් නම් වෙබ් අඩවිය, පෙබරවාරි තරම් ඈත දී එක ලිපියක් පල කර ඇත. එය නරුම ලෙස තර්ක කරන්නේ නිලධාරීන් හා කලාපීය අධ්‍යක්ෂකයින් ඍජු ඡන්දයකින් පත්කර ගැනීම සඳහා කරන උද්ඝෝෂනයක් මගින් යූඒඩබ්ලිව් පරිවර්තනය කල හැකි බව යි.

මෙම සංවිධාන කතා කරන්නේ ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කන්ඩායම් වෙනුවෙනි. කම්කරුවන් අරගලයන්ට තල්ලු වීමෙන් හා වෘත්තීය සමිතිවල ගලග්‍රහනයෙන් නිදහස් වීමට උත්සාහ ගැනීමෙන් ඔවුහු භීතියට පත් කෙරෙති. මෙම වසර මුල ගුරුවරුන්ගේ වැඩවර්ජනය මතුවූයේ, මුල දී වැඩවර්ජනයට විරුද්ධ වූ ද, පසුව ඒවා හුදකලා කර විකුනා දැමීමට වැඩවර්ජනවල පාලනය ගත්තා වූ ද වෘත්තීය සමිතිවලට එරෙහි කැරල්ලක් ලෙස ය. එක්සත් පාර්සල් සේවාවේ කම්කරුවන්ගේ දැවන්ත විරුද්ධත්වයට ඉහලින් කඩිමුඩියේ ගිවිසුමක් ගසා ගැනීමට ටීම්ස්ටර් වෘත්තීය සමිතිය හා සමාගමේ ඒකාබද්ධ කුමන්ත්‍රනයකට කම්කරුවන් දැන් මුහන පා සිටින්නේ, දරිද්‍රතා මට්ටමේ වැටුප්වලට වන කම්කරුවන්ගේ විරුද්ධත්වය “මනෝබද්ධ” හා ආත්මාර්ථකාමී යැයි වෘත්තීය සමිති නිලධාරීන් විසින් හෙලා දැකීම සමගිනි.

මොවුන් හා කම්කරු පන්තියේ අනෙකුත් කන්ඩායම් බලමුලු ගැන්වීම හා එක්සත් කිරීම සඳහා නව සංවිධාන ගොඩනැංවීම මූලික අත්‍යාවශ්‍ය පූර්ව අවශ්‍යතාවකි. සියලුම කොන්ත්‍රාත්තු ආපසු ගෙවීම් සුරකීම, ශ්‍රේනි තුරන් කිරීම, සියලුම තාවකාලි කම්කරුවන් ස්ථීර ලෙස බඳවා ගැනීම, සියලු කම්කරුවන් සඳහා වහා ම වැටුප් වැඩි කිරීම, හා අවංක ප්‍රජාතන්ත්‍රවාදය මෙන් ම වැඩපොලවල කම්කරුවන්ගේ පාලනය ඇතුලු තම ඉල්ලීම් කම්කරුවන්ට ඉදිරියට ගෙන යා හැක්කේ කම්හල් හා වැඩපොලවල සමාජිකයින්ගේ ක්‍රියාකාරී කමිටු යන රූපාකාරය ඔස්සේ පමනී.

ජාතිකවාදී වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් නිදහස් කම්කරුවන්ගේ ස්වාධීන කමිටු, පොදු අරගලයක දී ලෝකය පුරා කම්කරුවන් එක්සත් කිරීමේ කොන්දේසි නිර්මානය කරනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය ස්වාධීන කම්කරු සංවිධාන ස්ථාපිත කිරීම ප්‍රවර්ධනය කිරීමට හා ආධාර කිරීමට අපගේ ශක්තියෙන් කල හැකි සියලු දේ කරනු ඇත්තේ, පන්ති අරගලයේ වර්ධනය සමාජවාදී දේශපාලනික ඉදිරිදර්ශනයකට හා ක්‍රියාමාර්ගයකට සම්බන්ධ කරමිනි. එවැනි කමිටු පිහිටුවීමට උත්සුක කම්කරුවන්ගෙන් අදම අප හා සම්බන්ධතා ඇති කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

ජෝශප් කිෂෝර්

Share this article: