එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ පස්වන ජාතික සම්මේලනයේ යෝජනා සම්මතය
පන්ති අරගලයේ පුනර්ජීවනය සහ සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ

The Resurgence of Class Struggle and the Tasks of the Socialist Equality Party

2018 අගෝස්තු 8

මෙම යෝජනාව 2018 ජුලි 22-27 පවත්වන ලද එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ පස්වන ජාතික සමුලුව විසින් ඒකමතිකව සම්මත කරගන්නා ලදී. සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සහාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ආරම්භක වාර්තාව ඉදිරිපත් කෙරුනි. සමේලනය, “ජුලියන් අසාන්ජ් නිදහස් කරනු!” යන යෝජනාවද සම්මත කලේ ය.

හැඳින්වීම

1. ලෝක ධනේශ්වර පද්ධතිය තියුනු සමාජ හා දේශපාලන අර්බුදයේ සමයකට පිවිසී තිබේ. එය සංලක්ෂිත වී තිබෙන්නේ පිරිහී යන ජීවන තත්ත්වයන් සහ ධනය එක්පසක සංකේන්ද්‍රනය වීමත්, පන්ති ගැටුම උග්‍ර වීමත් පවත්නා දේශපාලන සංස්ථාවන් සියල්ල අපකීර්තියට පත් වීමත් ද විසින් නිර්මානය කල පලල් අතෘප්තිය විසිනි. ධනපති ක්‍රමය ආවේනිකවම අසාධාරන යැයිද ආර්ථිකයේ අති මූලික වෙනස්කම් ඇති කල යුතුව ඇතැයි ද යන හැඟීමක් කම්කරු පන්තියේ සහ තරුනයින්ගේ සැලකිය යුතු කොටස් අතර වැඩෙමින් පවතී. මෙම පුලුල්ව පදනම් වූ හැඟීම ධනපති ක්‍රමය අවසන් කිරීමට යොමු වූ පුලුල් පදනමින් යුතු මහා දේශපාලන ව්‍යාපාරයක් කරා තවමත් වර්ධනය වී නොමැති නමුත්, සමාජවාදය පිලිබඳ උනන්දුව සහ සහයෝගය වේගයෙන් වැඩෙමින් පවතී. තමන් මත අධිරාජ්‍යවාදයේ සාම්ප්‍රදායික සංස්ථාගත -නිලධාරිවාදී ආයතනයන්, ප්‍රධානවශයෙන් ම ධනේශ්වර-ගැති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ඒ හා බැඳුනු හිටපු -ප්‍රතිසංස්කරනවාදී පක්ෂ ද වෘත්තීය සමිතිද විසින් පටවන ලද දේශපාලන විලංගු බිඳගෙන, කම්කරු පන්තිය ඉදිරියට එන්නට පටන්ගෙන තිබෙන බවට පැහැදිලි ඇඟවීම් තිබේ.

2. 1930 ගනන්වලින් මොබ ලෝක ධනේශ්වර ක්‍රමය මෙවන් අතිමූලික අර්බුදයකට මුහුන දී ඇත්තේ නැත. ඇත්ත වශයෙන්ම දිනපතා ප්‍රවෘත්ති වාර්තා 1930 ගනන්වල ආර්ථික, දේශපාලන සහ සමාජ තත්වයන් මතක් කරති. ඒ දෛවොපගත දශකයේදී සිදුවූ පරිදිම දැනුදු ප්‍රධාන අධිරාජ්‍ය බලවතුන් අතර ආතතීන් උග්‍රව, පාලනය කරගත නොහැකිව, එලියට පැනීමේ තර්ජනය මතු කර තිබේ. 1930 ස් ගනන් වලදී මෙන්ම, ලෝක අධිරාජ්‍යවාදයේ “මෘගතා දර්ශකය” නොනැවතී ම නැගෙමින් පවතී. මානවහිතවාදී ව්‍යාජයන් අත් හරිමින් තිබේ. ගාසා තීරුවේ අනාරක්ෂිත පලස්තීනුවන් මරා දැමීම ඉස්රායලය සහ එහි මිත්‍ර බලවතුන් විසින් යුක්තිකරනය කරනවා පමනක් නොව, වර්නනා කරනුද ලැබේ. යේමනය ට විරුද්ධව සෞදි අරාබිය විසින් එක්සත් ජනපදය විසින් සම්පාදිත ආයුධ යොදාගෙන කරගෙන යන භයන්කර කෲරකම් පිලිබඳ වාර්තා පුවත් මාධ්‍යවල විරල වේ. අධිරාජ්‍යවාදී යුද්ධ සහ ආර්ථික ප්‍රහාර මගින් උන්හිටිතැන් අහිමි කෙරුනු මිලියන සංඛ්‍යාත ජනයාට සලකනු ලබන්නේ ඔවුන්ගේ ජීවිත වල කිසිදු වටිනාකමක් නැතුවාක් මෙනි. එක්සත් ජනපදයේ ජනාධිපති වරයා උතුරු කොරියාව වැනි කුඩා රටකට ‘අප මෙතෙක් කිසි දා නුදුටු විරු ගින්දරෙන් සහ භීතිකාවෙන්’ ප්‍රහාර එල්ල කිරීම පිලිබඳ තර්ජනය කර සිටි; වෙනත් වචනවලින් දක්වන්නේ නම්, එක්සත් ජනපදයේ හෝ ජාත්‍යන්තර පාලක කවවලට මොනම සැලකිය යුතු ප්‍රතිචාරයකින් තොරව, මිලියන ගනනක් මරනයට පත් කරන න්‍යෂ්ටික ප්‍රහාරයක් කඩාපාත් කරන බවය. “නව සාමාන්‍යය” බවට පත්වී ඇත්තේ සංක්‍රමනිකයන් මධ්‍යධරනී මුහුදේ ගිල්වීම, භීතියට පත් සරනාගතයන් සිර කඳවුරු වල සිර කර තැබීම පමනක් නොව දරුවන් දෙමාපියන්ගෙන් වෙන්කොට දැමීම පවා ය. දහස් ගනන් මරනයට පත් කොට, මිලියන ගනන් විතැන් කොට භූගෝලීය ව්‍යසනයක තර්ජනය ගෙන එන මානව-ප්‍රේරිත දේශගුනික විපර්යාසය හා පාරිසරික පරිහානිය මගින් මෙම අර්බුද උග්‍රකරනු ලැබ තිබේ.

3. දේශපාලන, සංස්කෘතික, සහ සදාචාර වශයෙන් පාලක පන්තිය ලබා ඇති පිරිහීම ධනේශ්වර අර්බුදයේ පරිමාව පෙන්නුම් කරයි. රටක් රටක් පාසා අන්ත ජාතිකවාදී පක්ෂ රාජ්‍යයේ ඉහලම ම තැන් වලට ඔසොවා තබනු ලැබේ. හිට්ලර් බලයට පත්වී අවුරුදු අසු පහකට පසුව මුලුමුනින්ම ෆැසිස්ට් වාදී “ඔල්ටනටිව් ෆොර් ජර්මනි” [ජර්මනිය සඳහා විකල්පය] නම් සංවිධානය ජර්මනියේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත්ව තිබේ. මේ අතර ඉතාලියේ ෆැසිස්ටික ලගා සංවිධානය සභාග ආන්ඩුවේ කොටස් කරුවෙකි. පාදයේ සිට කුනුවූ, පාලක පන්තියේ සාම්ප්‍රදායික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ තත්වාරක්ෂක [කොන්සර්වටිව්] පක්ෂ, අන්ත දකුනේ වැඩපිලිවෙල ට අනුගත වෙමින් සිටිති. යුරෝපයේ සහ එක්සත් ජනපදයේ පාලක පන්තීහු , සමාජ විරෝධයට භීතියෙන්, අධිකාරවාදී රූපයන් දෙසට හැරෙමින් සිටින අතර අන්තර්ජාලය වාරනය කිරීමේ වියරු ප්‍රයත්නයක යෙදී සිටිති.

4. පන්ති පාලනයේ ගෝලීය අර්බුදය එහි ඉහලම ප්‍රකාශනය අත්කර ගන්නේ ලෝක ධනවාදයේ අපිකේන්ද්‍රය වන ලෝක පර්යායේ සකල ප්‍රතිඝතිතාම සංකේන්ද්‍රනය කොට ගත් ඇමරිකා එක්සත් ජනපදයේ ය. ඩොනල්ඞ් ට්‍රම්ප් පත්කරගැනීම ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ තීරක හැරීම් ලක්ෂ්‍යයක් සලකුනු කලේ ය. ඔහුගේ ධනේශ්වර විරුද්ධවාදීන් ඔහුව අපායෙන් ආ රකුසෙකු ලෙස පින්තාරු කරන නමුත්, සිය ධනය මූල්‍ය හා නිශ්චල දේපල, කැසිනෝ සූදු සහ විනෝද සම්පාදන කර්මාන්තවල වංචාවලින් ගොඩගසාගත්, ට්‍රම්ප් වඩාත් හොඳින් තේරුම්ගත හැක්කේ ඇමරිකානු පාලක පන්තියේ පරපුටුබවේ සහ මුලුමහත් පර්යායේ ක්‍රියාකාරිත්වය පුරාම ඉතිර පැතිර පවත්නා සාපරාධීභාවයේ පුද්ගලාරෝපනය ලෙසයි.

5. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ එලිපත්තේදී, එක්සත් ජනපදය ප්‍රධාන ලෝක බලවතා ලෙස ඉස්මත්තට එමින් සිටි සමයේ, ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් මේ වැකිය නිමානය කලේ ය, “මෘදුව කතා කරන්න, ලොකු යෂ්ටියක් අතේ ගෙන යන්න”. එහෙත් , සිය ආර්ථිකය එහි ගෝලීය පිලිමලුන්ට සාපේක්ෂව පිරිහී ගොස් ඇති තතු තුල, ඇමරිකානු අධිරාජ්‍යවාදය වැඩි වැඩියෙන් කැස කවා ඇත්තේ සිය ගෝලීය තත්ත්වය රැක ගැනීම උදෙසා යුද බලය ඉහල දමා ගැනීමටය. “ඇමරිකාව යලිත් “ශ්‍රේෂ්ඨ කිරීමට” ට්‍රම්ප් කරන රනකාමී තර්ජන එන්නේ ජාතික අර්බුදයේ හා පරිහානියේ භීතියෙනි. එහෙත් ඇමරිකා එක්සත් ජනපදය යලි “ශ්‍රේෂ්ඨත්වයට” පත්කිරීමට ට්‍රම්ප් ගන්නා මාර්ගය ඇත්තටම යන්නේ ව්‍යසනය කරා ය. “අමරිකාව පලමුව” පිලිවෙත දෙවන ලෝක යුද්ධයෙන් පසු සමයේ එක්සත් ජනපදයේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරගත් ආයතනයන් අවිචාරයෙන් බිඳ දමයි. ඔහු බටහිර යුරෝපයේ සහ ආසියාවේ තීරක මිත්‍රයන් විරසක කරගන්නවා පමනල් නොව, ඒ සමගම -කැනඩාව සහ මෙක්සිකෝව එකවිට හෙලාදකිමින් - ඇමරිකා මහද්වීපය තුල එක්සත් ජනපදය හුදෙකලා කර දමයි.

6. ට්‍රම්ප් ගනන් බලන්නේ, ආර්ථික තහන්චි පිලිබඳ අවතාරයට මුහුන දෙන එක්සත් ජනපදයේ සාම්ප්‍රදායික මිත්‍රයන් ට ඇමරිකානු තහන්චි වලට යටත් වීම හැර අන් මගක් ඇත්තේ නැති යයි කියාය. ට්‍රම්ප් නිරතුරුව අපහස කරන ධනේශ්වර ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් ගේ කෝපය හා ප්‍රතිවිරෝධයට වඩා එක්සත් ජනපදයට අනතුරු සහගතවන්නේ ට්‍රම්ප්ගේ පරුෂ හඬ තැලීම නිසා ලෝකය පූරාම මහජනයා තුල ජනනය කෙරෙන කෝපයයි. සිය අධිරාජ්‍යවාදී කොල්ලයන් “ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම්” ධජයකින් ආවරනය කිරීමට එක්සත් ජනපදය දරු ප්‍රයත්නයන් දශක ගනාවක යුද්ධය නිසා දැනටම හෙලිදරව් වී මුලුමනින්ම අපකීර්තියට පත්ව ඇත.

ඇමරිකානු අධිරාජ්‍යවාදය කෙරේ ලෝකය පුරාම පුලුල් මහජනතාව අතර පැතිර පවත්නා භූගෝල පරිමාන විරෝධය, විශේෂයෙන්ම එක්සත් ජනපදය පුරා පැතිරෙමින් පවත්නා සමාජ රැඩිකලිකරනය සමග එය අන්තර් ඡෙදනය වන සහ අන්‍යෝන්‍ය ලෙස බල පවත්නා තතු තුල අර්ථභාරි දේශපාලන සාධකයක් ලෙස ඉස්මතු වෙමින් පවතියි.

7. ට්‍රම්ප් පාලනය අරක්ගෙන සිටින්නේ සමාජ අසමානතාවය අසාධ්‍ය තලයක් කරා එලඹ පවත්නා රටකි. එහි වැඩකටයුතු ඇමරිකානු ධනවාදය එලඹ ඇති අපාර අවෘත්තාග්‍රය ප්‍රකාශනය කරයි. ට්‍රම්ප් ගේ පාලනාධිකාරය යටතේ “ත්‍රස්ත විරෝධී යුද්ධය”, “සංක්‍රමනිකයන්ට එරෙහි යුද්ධය” කරා ස්ථානාත්තරනය වී තිබේ. සංක්‍රමනික කම්කරුවන්ට එරෙහිව යොදන ප්‍රජාතන්ත්‍ර විරෝධී පොලිස් රාජ්‍ය පියවර පාලක පන්තියේ යුද හා සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිවන සෑම සමාජ විරෝධයකටම විරුද්ධව යෙදෙනු ඇත.

8. ප්‍රජාතන්ත්‍ර පාලන ආකෘතීන්ගෙන් බිඳීමත් සමග රාජ්‍ය තන්ත්‍රය ඇතුලත මෘග ඝට්ටන එලඹෙයි. සෑම දවසකම ජනාධිපති වරයා තමාගේ වාචික පරුෂ හඬ තැලීම වගුරුවන අතර, ඩිමොක්‍රටිකයෝ රුසියානුවන් ඇමරිකාව තුල භේද වගා කරන බවට වන නව මැකාර්තිවාදී අරුම සිහින එලි දක්වති. ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂය සහ සමහර මධ්‍ය විසින් නංවනු ලබන විරෝධයේ යන්තමින් හෝ ප්‍රගතිශීලි වන දෙයක් ගැබ්කර ගෙන ඇත්තේ නැතුවාක් මෙන්ම එහි කිසිදු උත්කර්ෂවත් බවක් නොමැත. ඔවුහු පාලක පන්තියේ තවත් ප්‍රතිගාමී පිලක් නියෝජනය කරති. ඔවුන් ට්‍රම්ප්ට විරුද්ධ වන්නේ ප්‍රධාන වශයෙන් ම ඔහුගේ විදේශ පිලිවෙත - විශේෂයෙන් රුසියාවට එරෙහිව - ඇමරිකන් අධිරාජවාදයේ දිගුකාලීන මුලෝපායික උවමනාකම් වලට බාධාකාරීය යන කාරනය උඩය.

9. සමාජයේ කතිපයාධිපති ස්වභාවයට උචිත වන පරිදි රාජ්‍යයේ ව්‍යුහයන් පෙල ගස්සා ගැනීම සඳහා පාලක පන්තිය පැරනි පාලන රූප බිඳ දමමින් සිටි. එහෙත් මෙම සන්තතිය, සමාජ අසමානතාව හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තිය තුල වර්ධනය වී වැඩීයන දැනුවත් ප්‍රතිරෝධයට මුහුන දී සිටි.

වෘත්තිය සමිති විසින් දශක ගනනාවක් තිස්සේ යටපත් කිරීමෙන් පසු - පන්ති අරගලයේ අතිශයින්ම මුලික රූපය වන ස්ට්‍රයික්/ වැඩවර්ජන ක්‍රියාකාරීත්වයේ මට්ටම ඉහල ගොස් ඇත. මෙම ගෝලීය සන්තතියට, ඉරානයේ කප්පාදුවට එරෙහිව විරෝධය, එක්සත් ජනපදයේ ප්‍රාන්ත හරහා ගුරුවරුන්ගේ ස්ට්‍රයික් සටන් රැල්ල, ජර්මනයේ මහා වැඩවර්ජන, ප්‍රන්සයේ දක්ෂිනාංශික කම්කරු නීති වලට එරෙහිව කම්කරුවන් බලමුලුගැන්වීම, සහ ලතින් ඇමරිකාව ද මැදපෙරදිග ද පුරා ගුරුවරුන්ගේ හා කථිකාචාර්ය වරුන්ගේ වැඩවර්ජන ද අයත්වේ.

10. පන්ති අරගලයේ උග්‍රවීම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවද එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයද මත ට ඉමහත් වගකීමක් ගෙන එයි. කම්කරු පන්තිය සොයමින් සිටින්නේ තම ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් මතට එල්ලවන නිර්දය ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට ය. එහෙත්, ධනවාදයේ අර්බුදයද පාලක ප්‍රභූව දැනුවත්වම යුද්ධය සහ ඒකාධිපතිත්වය සඳහා කරන සුදානම්ද කම්කරු පන්තියේ පන්ති විඥානය වර්ධනය වීමට වැඩි වේගයකින් ඉදිරියට යමින් පවතී. මෙම දේශපාලන යථාර්තය වටහා ගැනිම විසින්, අනෛතිහාසික ආත්මීයවාදයේ අතිශයින්ම අදූරදර්ශි සහ නිරර්ථක ස්වරුපය වන, අසුභවාදය යුක්තිසහගත කෙරෙන්නේ නැත. මෙම වැටහීම විසින් ඉල්ලා සිටිනු ලබන්නේ, ගත වූ ශත වර්ෂයේ පන්ති අරගලයේ ද වර්තමාන වෛෂයික අර්බුයේ ද ඓතිහාසික පාඩම් වටහාගැනීම මත පදනම්ව කම්කරු පන්තිය මුහුනදී සිටින ඓතිහාසික කර්තව්‍යයේ මට්ටමට ගැලපෙන පරිදි කම්කරු පන්තියේ දේශපාලන විඤ්ඤානය ඉහල දැමීමට අවශ්‍ය කරන්නාවූ වඩාත් ඉහල අධිස්ථානයකි.

11. ගෝලීය ධනේශ්වර පද්ධතියේ වෛෂයික අර්බුදය ද කම්කරු පන්තියේ පන්ති විඤ්ඤානය අතර සම්බන්ධතාව ස්ථිතික නොවේ; එය ගතික වේ. පුපුරායන සිද්ධීන්හි - අන් සියල්ලටමත් වඩා පන්ති ගැටුමේ සැබෑ අත්දැකීම තුලින් පැනනගින ඒවා යේ - අඩුවක් නොතිබෙනු ඇත. එවන් සිද්ධීන් සම්ප්‍රදායික විශ්වාස වල පදනම බිඳ සමාජ විඤ්ඤානය රැඩිකලීකරනය කරනු ඇත. ‘හදිසියේම’ මහා ජන විප්ලවවාදී අරගලවල ස්වරූපය අත්පත් කරගනු ගනු ඇති ගැඹුරින් මුල්බැස ගත් සන්තතීන් නිරීක්ෂනය කරගැනීමට, විශ්ලේෂනය කරගැනීමට හා ඒවාට සූදානම්වීමට සමත්වන්නේ න්‍යායික අන්තර්ඥානය හා ඓතිහාසික දැනුමෙන් සමන්විත මාක්ස්වාදී පක්ෂයකට පමනි. එහෙයින්, විප්ලවවාදී පක්ෂයක කර්තව්‍යය වන්නේ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගිය හැකිද යන්න පිලිබඳව සමපේක්ෂනය කිරීම නොවේ. ජයග්‍රහනය කල හැක්කේ හා නොහැක්කේ කුමක්ද යන්න නීර්නය වනු ඇත්තේ අරගලය තුලිනි.

12. 1940 දී දෙවන ලෝක යුද්ධයේ අරම්භක අවධීන් තුල කරන ලද ට්‍රොට්ස්කිගේ ඇගයුම, ඉන් අවුරුදු හැත්තෑ අටකට පසුව අද දින වඩාත් බලගතු ව අදාල වෙයි:

19වන සියවසයේ මෙන් නොව, අද දින එය තවදුරටත් සරලවම ආර්ථික ජීවිතයේ වඩ වඩා වේගවත් සහ සෞඛ්‍ය සම්පන්න වර්ධනයක් ඇති කර ගැනීම පිලිබඳ ප්‍රශ්නයක් නොවේ: දැන් එය වනාහි මානව වර්ගයා සියදිවි හානි කර ගැනීම වලකන පිලිවෙතක් පිලිබඳ ප්‍රශ්නයකි.

ඓතිහාසික ගැටලුවේ තියුනු බව ව විසින් ම, අවස්ථාවාදී පක්ෂ වල දෙපා යටින් පදනම මුලුමනින්ම බිඳ දමනු ලැබේ; මෙයට ප්‍රතිවිරුද්ධව, විප්ලවයේ පක්ෂය, තමන් ඉටු කරන්නේ අසීමිත ඓතිහාසික ආවශ්‍යතාවයක් ය යන්න පිලිබඳ දැනුවත් කම තුලින්, ශක්තියේ නොසිඳෙන උල්පතක් අරා සිටි.

හතරවන ජාත්‍යන්තරයේ අසු වසරක්

13. මෙම ඓතිහාසික තත්වය තුල, විප්ලවවාදී පක්ෂයම වෛෂයික අර්බුදයේ ප්‍රතිඵලය තීන්දු කිරීමේ ලා අත්‍යන්ත සාධකයක් වන්නේ ය. විප්ලවවාදී පක්ෂයේ මැදිහත්වීමේ බලපෑම නොතකන, වෛෂයික තත්ත්වය හා දේශපාලන ශක්‍යතා පිලිබඳ සත්‍යවාදී ඇගයුමක්, මාක්ස්වාදයට මුලුමන්න්ම ප්‍රතිකුලය. මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂය හුදෙක් සිද්ධීන් සමීක්ෂනයට භාජන කරනවා පමනක් නොවේ. එය තම විශ්ලේෂනයට භාජනයවන සිද්ධීන්ට සහභාගී වන්නේ ය. කම්කරුවන්ගේ බලය සහ සමාජවාදය සඳහා අරගලය තුලින් එය ලෝකය වෙනස් කිරීමට යත්න දරන්නේ ද වෙයි.

14. 1938 සැප්තැම්බර් මස හතරවන ජාත්‍යන්තරය ආරම්භ කර අසු වන සංවත්සරය මේ වසරේදී සපිරෙන්නේ ය. එය පැවැති අසූ අවුරුදු කාල පරිච්චේදයෙහි අවුරුදු හැට පහක් ම හතරවන ජාත්‍යන්තරය වර්ධනය කරනු ලැබුවේ ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේය. 2018 ප්‍රේක්ෂන ලක්ෂ්‍යයේ සිට බලන කල්හි, 1938 දී හතරවන ජාත්‍යන්තරය පදනම් කරනු ලැබූවා වූද, 1953 දී ජාත්‍යන්තර කමිටුව පිහිටුවමට නිකුත්කල විවෘත ලිපිය මගින් පිලිගනු ලැබූ වූ ද, ඓතිහාසික විෂ්ලේශනය, මූලධර්ම සහ ක්‍රියාමාර්ගය, ඓතිහාසික වර්ධනයේ සමස්ථ ගමන් මග විසින් සනාථ කරනු ලැබ තිබෙන බවට කිසිදු ප්‍රශ්නයක් නැත.

15. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ස්ටැලින්වාදයට එරෙහිව කරන ලද අරගලයේ ඓතිහාසික සහ දේශපාලන සුජාතකත්වය පිලිබඳ සෑම ප්‍රශ්නයකටම, 1989 -91 සමයේ දී ස්ටැලින්වාදී තන්ත්‍රයන් විසුරුවා හැරීමෙන් ද, නැගෙනහිර යුරෝපය, සෝවියට් සංගමය, චීනය සහ වියට්නාමය තුල ධනවාදය යලි පිහිටුවීමෙන් ද තීරනාත්මකව සහ අඛන්ඩනීයව පිලිතුරු සපයන ලදී.

ට්‍රොට්ස්කි 1936 දී ලියනලද Revolution Betrayed (පාවාදුන් විප්ලවය) නම් කෘතිය තුල පෙර දුටු පරිදි, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය, 1917 ඔක්තෝබර් විප්ලවයෙන් ඉක්බිත්තෙහි ස්ථාපිත කර තිබුනු ජනසතු කරන ලද දේපල සම්බන්ධතා දියකර දමන ලදී. 1989-91 සිද්ධීන් ස්ටැලින්වාදයට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ අරගලය සනාථ කලා පමනක් නොවේ; එම සිදුවීම් විසින් සෝවියට් සංගමයේ, නැගෙනහිර යුරෝපයේ සහ චීනයේ පිහිටුවනු ලබා තිබුනු පාලන තන්ත්‍ර වල බලය පැවතුනේ නව සූරාකන සමාජයක අලුත් වර්ගයක පාලක පන්තියක් අත යයි කියා සිටි ප්‍රති-ට්‍රොට්ස්කිවාදී ප්‍රවනතාවයේ බංකොලොත් කමද එලිදරව් කලේය. එහෙත් මැක්ස් ෂැට්මන් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් මහා තූර්යඝෝෂයෙන් සොයාගත් මේ සූරාකන්නන් ගේ “නව පන්තිය” ක්‍රියා කලේ ඔවුන්ගේ න්‍යායට පරම වශයෙන් ම සතුරු ව ය. එය [] මේ පන්තිය ] සිය කැමැත්තෙන්ම විසිරී ගත්තේය!. නව දේපල ආකෘතියක ආරක්ෂකයන් වීම පසෙක තබා, ට්‍රොට්ස්කි කල්තියාම පෙන්නුම් කල පරිදි, මේ නිලධාරිවාදී රෙජීමයන් ඔප්පු කලේ තමන් වනාහි ධනේශ්වර පුනස්ථාපනයේ සහ ධනපති පන්තියක අලුතෙන් ගොඩ නැගීමේදී යොදා ගැනුනු දේශපාලන උපකරනය බව ය.

16. 1953 දී ජාත්‍යන්තර කමිටුව පිහිටු වනු ලැබුවේ ප්‍රමුඛ වශයෙන්ම, මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල් විසින් ඉදිරිපත් කරනු ලැබූ, සමාජවාදය සාක්ෂාත් කෙරෙනු ඇත්තේ ස්ටැලින්වාදී තන්ත්‍රයන් විසින් යයි කියා සිටී, අලුත් පන්නයේ ප්‍රති -ට්‍රොට්ස්කිවාදී සංශෝධනවාදයට එරෙහිව ය. ඔවුහු ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයන් විසින් පිරිහුනු කම්කරු රාජ්‍යවල පාලනය ශතවර්ශ ගනනාවක් පුරාම පවත්වාගෙන යනු ඇති යයි කියා සිටියෝය. ස්ටැලින්වාදී තන්ත්‍ර ඉතිහාසයේ ප්‍රගතිශීලී බලවේගය යයි වර්නනා කල මෙම මූසල ඉදිරිදර්ශනය නිලධාරි තන්ත්‍ර මත බලපෑම් කරන ද්විතියික සමාජ බලවේගයක් ලෙස කම්කරු පන්තිය පිරිහෙලා හතරවන ජාත්‍යන්තරය මුලුමනින්ම අනවශ්‍ය යයි කියා සිටියේ ය. පැබ්ලෝවාදීහු තම දේශපාලන විරුදාවලි ධනේශ්වර ජාතිකවාදී සහ සුලුධනේශ්වර රැඩිකල් ව්‍යාපාර රාශියක ට පුද කලෝය. කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී අරගලකින් සහ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂයේ නායකත්වයෙන් තොරවූ සමාජවාදයක් සඳහා නව මාවතක ආදර්ශ ලෙස ඊජිප්තුවේ නසාර්, ඇල්ජීරියාවේ බෙන් බෙලා, ආජන්ටිනාවේ පෙරොන්, සහ විශේෂයෙන් කියුබාවේ කස්ත්‍රෝ [මේ පැබ්ලෝවාදීන්ගේ වීරයන් අතර වඩා ප්‍රසිද්ධ අය ය] හුවා දක්වනු ලැබිනි.

17. 1953 පැබ්ලෝවාදීන්ගෙන් බිඳීම සලකුනු කලේ හතරවන ජාත්‍යන්තර තුල ප්‍රතිට්‍රොට්ස්කිවාදී අවස්ථාවාදයට එරෙහි දිග්ගැසුනු දේශපාලන අරගලයක ආරම්භය පමනකි. පැබ්ලෝවාදී සංශෝධනවාදය ද “සාධාර්මික ට්‍රොට්ස්කිවාදය” ද අතර අරගලය හුදෙක් වාචික සටනක් වූයේ නැත. වෛෂයික දේශපාලන තත්ත්වයෙන් පැනනැගුනු එය පිලිබිඹු කලේ පන්ති බලවේගයන්ගේ උවමනාකම් ය. පැබ්ලෝවාදය වනාහි කම්කරු පන්තිය තමන්ගේ අවශ්‍යතාවලට යටත්කර ගැනීම සඳහා සුලුධනේශ්වරය දැරූ උත්සාහයේ දේශපාලන ප්‍රකාශනය වේ. පශ්චාත් යුද කාලීන උත්පාතයේ තත්ත්වයන් සහ ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රයන් සහ ධනපති ජාතිකවාදී සංවිධානවල ඒ වනවිටත් සැලකියයුතු මට්ටමක පැවති බලපෑම විසින් පන්ති විඥානය සහ විප්ලවීය පන්ති අරගලය යටපත් කලතාක් දුරට, හතරවන ජාත්‍යන්තරය තුල බලවේගයන්ගේ සම්බන්ධතාවය පැබ්ලෝවාදීන්ට වාසි සහගත විය. 1970 ගනන් වලදී බි්‍රතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය, එහි නායකයන් විසින් පෙර කල - 1953 පැබ්ලෝ-මැන්ඩෙල් ට එරෙහි අරගලයේ දී ද, 1963 දී ඇමරිකානු සෝෂලිස්ට් වර්කර්ස් පාර්ටි [සමාජවාදී කම්කරු පක්ෂය] පැබ්ලෝවාදීන් සමග යලි එක්සත් වීම ට එරෙහි අරගලයේදී ද- ආරක්ෂාකල මූලධර්මයන්ගෙන් පසුබැස පලායාම හතරවන ජාත්‍යන්තරය විනාශ කිරීමේ තර්ජනයක් එල්ල කලේ ය.

18. කවිපයේ පැබ්ලෝවාදී ගමන්මගට එරෙහිව වර්කර්ස් ලීගය [එක්සත් ජනපදයේ සසපයේ පුර්වගාමී] තුල 1982 සහ 1985 අතරතුර දී පැනනැගී විපක්ෂය මුලු ජාත්‍යන්තර කමිටුවම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඓතිහාසිකව වර්ධනය කරනලද ක්‍රියාමාර්ගය ආරක්ෂා කිරීමට බලමුලුගැන්වීමේ ලා තීරනාත්මක විය. 1985 දෙසැම්බරයේ දී කම්කරු විප්ලවවාදී පක්ෂය [ජාත්‍යන්තර කමිටුවෙන්] අත් හිටුවීම ද ඊට පසු 1986 දී, නිලවශයෙන් භේද වීමද සමග සාධාර්මික ට්‍රොට්ස්කිවාදීන් හතරවන ජාත්‍යන්තරය මත ග්‍රහනය යලිත් තහවුරු කර ගන්නා ලද්දේය.

මෙම තීරනාත්මක ජයග්‍රහනය අත්කරගන්නා ලද්දේ සෝවියට් සංගමයේ සහ නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත්‍රයන්හි අවසන් මරනීය අර්බුදය ද, ලෝක ධනවාදයේ ප්‍රහාරය හමුවේ එකල පැවති මහා කම්කරු පක්ෂ සහ වෘත්තීය සමිති වල යටත් වීමද, ලෝක පරිමාන අධිරාජ්‍යවාදී නව යටත් විජිතවාදය ඉදිරියේ ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවල පැහැදිලි බෙලෙහීනත්වයද, යන මෙම පසුබිම තුල ය යන්න කිසිසේත්ම අහම්බයක් නොවේ.

19. 1985-86 භේදයෙන් ඉක්බිති, ජාත්‍යන්තර කමිටුව, මාක්ස්වාදී න්‍යාය හා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සමස්ත උරුමය ද මත පදනම්ව, දේශපාලන පැහැදිලිකමේ සහ සංවිධානාත්මක වර්ධනයේ ද සන්තතියක් ආරම්භ කලේ ය.

කලින් පැවති ජාත්‍යන්තර කමිටුවේ ලීගයන් ගේ රූපයේ සිට, නව සමාජවාදී සමානතා පක්ෂ කරා පරිවර්තනය වීම සිද්ධ කරන ලද්දේ එලඹෙමින් පවත්නා කම්කරු පන්තියේ නව විප්ලවවාදී නැගිටීමේ යුගයේදී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ඉටු කිරීමට සිදුවන තීරනාත්මක සහ ස්වාධීන භූමිකාව අපේක්ෂා කරමිනි.

අන්තර්ජාලයේ විභවය වටහාගෙන එය නිර්මානාත්මකව යොදාගනිමින් පෙර නොවිරූ ලෙස ගත් ආරම්භකත්වයක් ලෙස 1998 පෙබරවාරියේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිහිටුවිම විප්ලවවාදී මාක්ස්වාදයේ ශ්‍රාවකත්වයත් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දේශපාලන ආනුභාවයත් අතිමහත් ලෙස පුලුල් කිරීමට අවස්ථාව උදා කලේය.

20. ඉතිහාසය විසින් එහි මූලධර්ම සහ ක්‍රියාමාර්ගය සනාථ කරනු ලැබූ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ජාත්‍යන්තර කම්කරු පන්තිය ඒකාබද්ධකොට සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමේ ලා දැන් තීරක බලවේගය වන්නේය.

සමාජ අර්බුදය සහ කම්කරු පන්තියේ රැඩිකලීකරනය

21. ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර සහ සමාජගත නිෂ්පාදනය සහ ලාභයේ පෞද්ගලික හිමිකාරිත්වය අතර පවත්නා ධනවාදයේ මූලික පරස්පර විරෝධයන්, ප්‍රකාශයට පත්වන්නේ භූදේශපාලනික ඝට්ටනයන් සහ තුන්වන ලෝක යුද්ධයක අන්තරාය උත්සන්නවීම, සමාජ අසමානතාවයේ වර්ධනය, ජාත්‍යන්තරව ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපයන් බිඳවැටීම තුල හා අන්සියල්ලටමත් වඩා කම්කරු පන්තියේ දේශපාලන රැඩිකලීකරනය තුලය.

22. ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයක් විනා තාවකාලික කඩාවැටීමක නිරූපනයක් නොවුනු 2008 ආර්ථික අර්බුදයේ සිට වසර දහයක් ගතවී ඇත. අර්බුදයට “සමාජමය වශයෙන් නිෂ්ක්‍රිය” ප්‍රතිචාරයක් තිබිය නොහැකි බවත් “සියලු පියවරයන් මුල්‍ය ප්‍රභුවේ වඩාත්ම බලගතු කොටස් වල අවශ්‍යතා ආරක්ෂා කරදීම ඉලක්ක කරගත් ඒවා බවත්” 2009 ජනවාරියේදී සසප අනතුරු ඇඟවා තිබුනි. පාලක පන්තියේ ප්‍රතිචාරය වනු ඇතැයි අප විසින් පෙරදක්නා ලද්දේ, කම්කරු පන්තිය මත ප්‍රහාරය දැඩි කිරීම සහ ප්‍රධාන අධිරාජ්‍යවාදී සහ ධනපති බලවතුන් අතර ආතතිය අවුලුවාලමින් ජාත්‍යන්තර පරිමාන මිලිටරිමය ප්‍රචන්ඩත්වයේ පුලුල් කිරීමකි.

23. මෙම විශ්ලේශනය නිරවද්‍ය බව සනාථ කෙරී ඇත. පසුගිය දස වසර තුල, එක්සත් ජනපදයේ ඔබාමා ආන්ඩුව විසින් නායකත්වය දෙනු ලැබූ ලෝකයේ පාලක පන්තීන්, වත්කම් බුබුලු පිම්බීම සඳහා, කප්පාදු, වැටුප් කැපීම්, සමාජ වැඩසටහන් මත නිර්දය ප්‍රහාරයන් හරහා පියවා ගැනීමට නියමිතව තිබූ ඩොලර් ට්‍රිලියන ගනනක් , වෙලඳපලට හරවා එවීය. එහි ප්‍රතිවිපාක, ලෝකය පුරා පැතිර පවත්නා සමාජ අසමානතාවයේ මට්ටමෙන් සහ සමාජ සම්බන්ධතාවල තත්වයෙන් පැහැදිලි වේ.

24. මුල්‍ය ප්‍රභූව අතේ ධනය සංකේන්ද්‍රනය වීම නුතන ඉතිහාසයේ අන් කවර කලෙකටත් වඩා වැඩිය. 2018 ජුනි මාසයේ කැප්ජෙමිනි උපදේශන ආයතනය විසින් ඉදිරිපත් කල “ලෝක ධනය පිලිබඳ වාර්තාවට” අනුව, ලෝකයේ මිලියනපතියන්ගේ ධනය (මිලියන 18.1ක දෙනෙකුගේ) පසුගිය වසරට වඩා සියයට 10ක වැඩිවීමක් පෙන්නුම් කරමින්, 2017 වසරේදී ප්‍රථම වතාවට ඩොලර් ට්‍රිලියන 70 පසුකර ගියේය. මැයි මාසයේදී වෙල්ත් එක්ස් විසින් පලකල “බිලියනපති සංඛ්‍යාලේඛන” නම් තවත් වාර්තාවක් විසින් සොයාගෙන තිබුනේ, 2016 සහ 2017 අතර ගෝලීය බිලියනපති ජනගහනය සියයට 15කින් එනම් පුද්ගලයන් 2754ක් දක්වා ඉහලගොස් ඇති බවත්, මොවුන්ගේ ධනය සමස්ත ග්‍රහලෝකයේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12 කට සමාන වන වාර්තාගත ඩොලර් ට්‍රිලියන 9.2ක් දක්වා සියයට 15කින් වර්ධනය වී ඇති බවත්ය. මෙලෙස ධනය ඉහලයාම හමුවේ ප්‍රධාන සාධකය වී ඇත්තේ, පසුගිය දශකය තුල ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය හතර ගුනයකින් ඉහල ගිය අතර, ගෝලීය වෙලඳපල ප්‍රාග්ධන සම්පාදනය 2017 වසරේ සියයට 21.8 කින් වර්ධනය සමඟ කොටස් වෙලඳපලේ නැගීමයි.

25. ආන්ඩුවල අනුග්‍රහය ඇතිව මුල්‍ය සමපේක්ෂනය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ආසමාන්‍ය පරිමාවක ආන්තික ධන සමුච්චනය, ඒවායේ “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” දිගුකාලීන වැඩසටහන් හරහා නිරූපනය විය. නමුත් වෙලඳපල සමපෙක්ෂන දරාගත නොහැකි මට්ටම් වලට ලඟා වී ඇති බවට ලකුනු පහලවී ඇත. සමස්ත මායිම් නය (කොටස් මිලදී ගැනීම සඳහා නයට ගන්නා මුදල්) දල වශයෙන් ඩොලර් බිලියන 670 මට්ටමේ රැඳී පවතී. මෙය දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 3කට වග කියයි. එම ප්‍රමානය 1929 කඩාවැටීමෙන් පසු එලඹි ඕනෑම අවස්ථාවකදී පැවති අගයට වඩා වැඩිය. ෆෙස්බුක්, ඇපල්, ඇමසන්, ගූගල් සහ නෙට්ෆ්ලික්ස් යන සමාගම් පහේ කොටස් සමස්ත කොටස් වෙලඳපල අගයන්ගෙන් සියයට 10.6 ක ප්‍රතිශතයකට වග කියයි.

26. ආන්ඩු විසින් අනුමත වෙලඳපල සූදුව, මුල්‍ය කතිපයාධිකාරය පොහොසත් කරන අතර ජනගහනයෙන් පුලුල් කොටසකගේ කොන්දේසි කම්පාකාරී වේගයකින් ඛාදනය වෙමින් පවතී. ක්‍රෙඩිට් ස්විස් ආයතනය විසින් පලකර ඇති වාර්තාවකට අනුව පසුගිය වසර අවසානයේ “ලෝකයේ දුප්පත්ම වැඩිහිටියන් බිලියන 3.5ට අයත් පුද්ගලයෙකු සතු වන්නේ ඩොලර් 10, 000 (යුරෝ 7600) කට අඩු වත්කම් ප්‍රමානයකි. සාමූහිකව ලෝකයේ වැඩ කරන වයසේ ජනගහනයෙන් සියයට 70ක් වන මෙම මිනිස්සු ගෝලීය ධනයෙන් යන්තම් සියයට 2.7 කට පමනක් හිමිකම් කියති.” එක්සත් ජනපදය තුල ජෙෆ් බෙසොස්, බිල් ගේට්ස් සහ වොරන් බුෆෙ නමැති පුද්ගලයින් තිදෙනා සතුව ජනගහනයේ දුප්පත් අර්ධය සතුව ඇති ධනයට වඩා වැඩි ධනයක් ඇත. 1980 දී සියයට 10ක් වූ එක්සත් ජනපදයේ වත්කම් උපයන්නන්ගෙන් ඉහලම සියයට 1ක ආදායම් පංගුව 2016 දී 20ක් දක්වා ඉහල නැග ඇත්තේ පහල සියයට 50කගේ වත්කම් පංගුව එම කාලය තුලදීම සියයට 20 සිට 13 දක්වා පහල බැස ඇති තත්වයක් තුලය.

27. සමාජ අසමානතාවයේ අසාමාන්‍ය වර්ධනය නොගිනිය හැකි තරම් රූපාකාරයන්ගෙන් ප්‍රකාශයට පත්වී ඇත. මත්ද්‍රව්‍ය වසංගතයෙන් සහ ඇල්කොහොල් අවභාවිතයෙන් මියයන ප්‍රමානයේ තියුනු වැඩිවීම සහ සියදිවි නසාගැනීම හේතුවෙන් 2016 දී අඛන්ඩව දෙවන වසරටත් ආයු අපේක්ෂාව පහල ගොස් ඇත. ඩොලර් 10,000ට අඩු ඉතුරුම් සහිත ජනගහනයෙන් ආසන්න වශයෙන් අඩකට විශ්‍රාම ගැනීමට නොහැකි වනු ඇත. ඔබාමාකෙයා වැඩසටහනේ බලපෑම යටතේ සෞඛ්‍ය වියදම් ඉහලයමින් තිබෙන අතර විශ්වවිද්‍යාල උපාධිධරයන් සතු සමස්ත නය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 1ට වැඩි වී ඇත. අර්ධකාලීන සහ අඩු වැටුප් රැකියා ව්‍යාප්තියේ මූලාරම්භය ඔබාමා ආන්ඩුව රථවාහන කර්මාන්තය තුල සිදුකල ප්‍රතිව්‍යුහකරනයයි. ෆ්ලින්ට් ජල අර්බුදයේදී සහ 5000ක් හෝ ඊට වැඩි පිරිසක් මරාදැමුනු පුවෙටෝරිකෝවේ මරියා චන්ඩ මාරුතයෙන් සිදුකල විනාශයෙන් ජනතාවගේ යටිතල පහසුකම් කොල්ලකෑමෙන් ජනිත සාපරාධී ප්‍රතිවිපාක එලිමහනට පැමිනියේය.

28. සෑමවිටම ප්‍රබන්ධමය ස්වරූපයක් ගත් “අසීමිත අවස්ථාවන්ගේ භූමිය”, අඩු වැටුප්, නය, සදාකාලික ආර්ථික අනාරක්ෂිත භාවය සහ සමාජ අසමානතාවයේ භූමියක් බවට කඩාවැටී ඇත. පසුගිය අඩසියවසක කාලය තුල දරුවෙකු ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන්ට වඩා ඉපයීමට ඇති ඉඩකඩ සියයට 90 සිට සියයට 50 දක්වා පහල ගොස් තිබේ. මේ වනවිට ඇමරිකානු එක්සත් ජනපදය, ඕනෑම ප්‍රධාන ධනපති රටක දක්නට ඇති ඉහලම ලදරු මරන අනුපාතිකය සහ පහලම ආයු අපේක්ෂාවට හිමිකම් කියයි.

29. මෙම කරුනු වලට වඩාත් දුර දිග යන දේශපාලන ඇඟවුම් ඇත. 2010 දී සම්මත කරගන්නා ලද සසප වැඩපිලිවලේ ප්‍රකාශ කෙරුනු පරිදි “අවසාන විග්‍රහයේදී ඇමරිකානු කම්කරු පන්තිය එහි සංගත පාලත ද්විපක්ෂ ක්‍රමයට යටත්වීමට වඩාත්ම අර්ථභාරී වෛෂයික හේතුව, ඇමරිකානු ධනවාදය සතු මහා ධනස්කන්ධය සහ බලයයි. කෙසේ වුවත් වෛෂයික කොන්දේසිවල වෙනස්වීම ඇමරිකානු කම්කරුවන්ගේ අදහස්වල වෙනසකට මග පාදනු ඇත. මුලධර්මයක් සහ සමාජයේ ආර්ථික සංවිධානයේ විප්ලවීය වෙනසක් වෙනුවෙන් සටන් වැදීමට ධනවාදයේ යථාර්තය විසින් කම්කරුවන්ට බොහෝ හේතු සපයනු ඇත.”

30. විඤ්ඤානයේ මෙම වෙනස්කම් දැනටමත් ඇරඹී ඇත. වෙනත් කිසිම් රටක සමාජවාදී විඤ්ඤානයේ ඉතා මූලික ප්‍රකාශනයක් පවා අවහිර කිරීමට මෙවැනි නිර්දය උත්සාහයක් දැරී නැත. කෙසේ වෙතත් මත විමසීම් ගනනාවක් විසින් පෙන්වා දී ඇත්තේ තරුන ප්‍රජාව අතර සියයට 50කට වැඩි පිරිසක් සමාජවාදයට පක්ෂ මතයක් දරන බවත් තවත් අය ධනපති සමාජයකට වඩා සමාජවාදී සමාජයක ජීවත්වීමට කැමති බවත්ය. මෙය මාක්ස්වාදයේ සංකල්ප තහවුරු කරන සහ පන්ති අරගලයේ අවසානය සහ කම්කරු පන්තියේ අවසානය ගැන සුලු ධනේශ්වර න්‍යායන් නිෂ්ප්‍රභ කරන කැපීපෙනෙන වෙනසකි.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පුපුරායාම සහ ලෝක යුද්ධයේ අන්තරාය

31. ඇමරිකානු ධනවාදයේ දීර්ඝකාලීන පරිහානියට ඇමරිකානු පාලක පන්තිය රට තුලදී දක්වන ප්‍රතිචාරය සමාජ ප්‍රතිවිප්ලවයයි. පුපුරු ගසන අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය එහි ජාත්‍යන්තර පරිමාන ප්‍රතිචාරයයි. මහා අවපාතය ඇරඹීමට වසරකට පෙර එනම්, 1928 දී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය විශ්ලේශනය කිරීමේදී ලියොන් ට්‍රොට්ස්කි මෙසේ අනතුරු ඇඟවිය: “අර්බුදයේ අවධිය තුල එක්සත් ජනපදයේ ආධිපත්‍යය, උත්පාතයේ අවධියකදීට වඩා, බෙහෙවින් විවෘතව හා නිර්දය ලෙස කටයුතු කරනු ඇත. එක්සත් ජනපදය සිය ව්‍යාධීන්ගෙන් ගැලවීමට බලන්නේ මූලිකවම යුරෝපයේ, වියදමෙන්ය. ඒ එසේ කටයුතු කරන්නේ, ආසියාවේ ද, කැනඩාවේ ද, දකුනු ඇමරිකාවේ ද, ඔස්ට්‍රේලියාවේ ද යුරෝපය තුලම ද යන කරුන හෝ මෙය සිදුවන්නේ සාමයෙන් ද, යුද්ධයෙන්ද යන්න නොතකමිනි.”

32. යුද්ධය ඇමරිකානු ප්‍රතිපත්තියේ ස්ථාවර අංගයක් බවට පත් වී ඇත. 1991 දී සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී බිඳ විසිරවීමෙන් පසු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායඥයෝ “ඒක ධ්‍රැවීය මොහොතක්” ප්‍රකාශයට පත් කලහ. සීතල යුද්ධ සමයේ තමන්ගේ ප්‍රධාන තරඟකරුවා ඉවත්වීම ඇමරිකානු පාලක පන්තිය විසින් අර්ථ දක්වන ලද්දේ, ඇමරිකානු ධනවාදයේ සහ එහි ගෝලීය ආධිපත්‍යයේ පදනම් ඛාදනයවීම ආපසු හැරවීම සඳහා බාධාවකින් තොරව කේන්ද්‍රීය යාන්ත්‍රනයක් ලෙස, සිය මිලිටරි බලය උපයෝගී කරගැනීමට ලැබුනු අවස්ථාවක් හැටියටයි.

33. ශතවර්ෂ කාලකට පසුව මෙම ප්‍රතිපත්තිය ප්‍රත්‍යක්ෂවම අසාර්ථක විය. ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ආන්ඩුව විසින් 2002 වසරේදී සිය ජාතික ආරක්ෂක මූලෝපාය තුල සම්මත කරගත් “පුර්වභංග යුද්ධය” පිලිබඳ ලියවිල්ලේ පැහැදිලි කෙරෙන මිලිටරි ප්‍රචන්ඩත්වයේ පුලුල් පරිමාන තීව්‍ර කිරීමක් සඳහා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” නමැති කඩතුරාව 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ‍ ප්‍රහාරය විසින් සපයන ලද්දේය. එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද හෝ පිටුබලය දෙන ලද යුද්ධ සහ ආක්‍රමන මාලාවක් ඉරාකය, යුගොස්ලෝවියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, යුක්‍රේනය යේමනය සහ තවත් බොහෝ රටවල් වනසා දැම්මේය. මිලියනයකට වඩා මනුෂ්‍ය ඝාතන වලට වග කියමින්, සමස්ත ශිෂ්ඨාචාරයන් වනසා දමමින් සහ දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට දැවැන්තම සරනාගත අර්බුදය නිර්මානය කරන ලද්දේ වුවත් මෙම යුද්ධ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදය විසඳීමට අසමත්ව සිටියි. දැන් ඒවා චීනය සහ රුසියාව ද යුරෝපය තුල සිටින වොෂින්ටනයේ සාම්ප්‍රදායික මිතුරන් ඇතුලු ප්‍රධාන බලවතුන් සමඟ ඝට්ටනයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.

34. එක්සත් ජනපදය සක්‍රීයව යුද්ධය සුදානම් කරමින් සිටියි. මිලිටරි සැලැස්මේ කේන්ද්‍රය මහා බලවතුන් ඈඳාගන්නා මහා යුද්ධයකට සූදනම්වීම බව, 2017 දෙසැම්බරයේ අනාවරනය කෙරුනු, ට්‍රම්ප් ආන්ඩුවේ ජාතික ආරක්ෂක මූලෝපාය විසින් ප්‍රථම වරට ප්‍රසිද්ධ කරනු ලැබුවේය. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට දෙපාර්ශවයම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධව කෙරෙන එවැනි යුද්ධයක් මානව වර්ගයාගේ භෞතික පැවැත්මට තර්ජනය කරනු ඇත. රුසියාව සහ චීනය “ප්‍රතිසංස්කරනවාදී බලවතුන්” ලෙස හඳුන්වමින් ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් ප්‍රකාශ කලේ “දැන් එක්සත් ජනපද ජාතික ආරක්ෂාවේ පලමු එල්ලය ත්‍රස්තවාදය නොව, මහා බලවතුන් අතර තරගය” බවයි. පසුගිය කාලය තුල ඇමරිකාවේ “මූලෝපායික තෘප්තිමත්භාවය”, “මිලිටරි ධාරිතාව” ගොඩනැංවීමට සහ “නව අවි පද්ධතියක්” අත්පත්කරගැනීමට අසමත් වීම, සහ වඩාත් වැදගත් ලෙස “අනතුරක් රහිත දුරක සිට අවම හානි සහිතව, ඉක්මනින් ජයග්‍රහනය කිරීම” පිලිබඳ අදහස සම්බන්ධයෙන් මූලෝපායික ලියවිල්ල මැසිවිලි නැඟුවේය.

35. එක්සත් ජනපදය විසින් අවුලුවන ලද යුද්ධයේ සියවස් කාලත්, මහා බලවතුන් අතර ගැටුම් වර්ධනය වීමත් ලෝක යුද්ධයක තර්ජනයත් අතර නෛසර්ගික සම්බන්ධතාවයක් ඇත. සසප සභාපති ඩේවිඩ් නෝර්ත් 2016 ජුලි මාසයේ ලියු පරිදි:

ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමරිකාවේ යුද ධාවනයේ මූලෝපායික තර්කනය, මැද පෙරදිග සහ අප්‍රිකාවේ නව යටත් විජිතවාදී මෙහෙයුම් වලින් ඔබ්බට දිවෙයි. දැනට කෙරීගෙන යන ප්‍රාදේශීය යුද්ධ, රුසියාව හා චීනය සමග ඇමරිකාවේ වේගයෙන් පැතිර යන ගැටුමේ සංරචකයන්ය. එහෙත් රුසියාව සහ චීනය සමග ගැටුමේ හදවතෙහිම පවතින, ලෝක ආධිපත්‍යය සඳහා කෙරීගෙන යන මෙම අරගලයේ අලුත්ම අදියර, ඇමරිකා එක්සත් ජනපදය ද එහි වත්මන් අධිරාජ්‍යවාදී සහචරයින් ද අතර පුපුරන සුලු විභවයකින් යුතු ආතතීන් මතුපිටට ගෙන එයි. ඔවුනතුරෙන් වඩාත්ම වැදගත් සහ විභවීය සතුරා වන ජර්මනිය ද ඇතුලුව විසිවෙනි සියවසේ ලෝක යුද්ධ දෙකම සිදුවූයේ වැරදි වැටහීම් නිසා නොවේ. අතීතය පූර්ව රංගනයකි. 1990-91 දී ජාත්‍යන්තර කමිටුව පෙර දුටු පරිදි, ලෝක ආධිපත්‍යය සඳහා ඇමරිකානු සුදානම, ලෝක දේශපාලනය යට පැසවමින් ඇති අන්තර් අධිරාජවාදී එදිරිවාදිකම් යලිත් එලිමහනට ගෙනාවේය. [පෙරවදන, යුද්ධයේ විසිපස් වසරක්: ලෝක ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ ධාවනය 1990-2016

36. ට්‍රම්ප්, යුරෝපීය සහ කැනේඩියානු ආන්ඩු එකිනෙකා හෙලාදැකීම මධ්‍යයේ ජුනියේ පැවති ජී-7 සමුලුවේ ඓතිහාසික බිඳවැටීම, වැඩෙන අන්තර් අත්ලාන්තික් භේදයන්ගේ අලුත්ම සහ වඩාත්ම ආන්තික ප්‍රකාශනයයි. ඝට්ටනයට ආසන්නම හේතුව, ට්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” යන ආර්ථික ජාතිකවාදය සහ යුරෝපා සංගමයෙන්, කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් කෙරෙන ඩොලර් බිලියන ගනනක ආනයන වලට තීරු බදු තහංචි පැනවීමේ තර්ජනයි. ඇමරිකානු-යුරෝපීය මතභේද වැඩෙන්නේ වෙලඳාම මුල්කරගෙන පමනක් නොවන අතර, ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අවලංඟු කිරීම මඟින් ඉරානයට එරෙහි යුද තර්ජන එල්ල කිරීමේ ඇමරිකානු ප්‍රතිපත්තියට යුරෝපා සංගමයේ විරුද්ධත්වය ද ඊට බලපායි. කෙසේ වුවද ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් අතර වර්ධනය වන ඝට්ටන, ට්‍රම්ප්ගේ සුවිශේෂ චරිත ස්වභාවයට ආරෝපනය කල නොහැකිය. ඒවා වනාහි වෙලඳපල ප්‍රවේශය, සම්පත් සහ ශ්‍රමය මුල්කරගෙන එම බලවතුන් අතර වර්ධනය වන ගැටුම්වල ප්‍රකාශනයයි.

37.යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් ඊට ප්‍රතිචාර දක්වන්නේ, එක්සත් ජනපදයෙන් ස්වාධීනව යලි සන්නද්ධවීම සහ සිය උත්සුකයන් තහවුරු කර ගැනීම ලෙසයි. “යුරෝපීයයන් හැටියට අපේ ඉරනම වඩ වඩාත් අපි අතට ගත යුතුයි” ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ජුනි මාසයේදී ප්‍රකාශ කලාය. “අප දශක ගනනාවක් පුරා යම් ආකාරයක නොසැලකිල්ලකින් කලාක් මෙන් තවදුරටත් ඇමරිකානුන්ගේ පානෙන් එලිය බැලිය නොහැකිය. ජර්මනිය සහ යුරෝපය “යුරෝපයේ ප්‍රතිපත්ති සහ වටිනාකම් ශක්තිසම්පන්න ලෙස ප්‍රවර්ධනය කල යුත්තේ, කැනඩාව හෝ ජපානය සමඟයි.” ජර්මන්-ප්‍රන්ස නායකත්වය යටතේ ස්වාධීන යුරෝපා මිලිටරි බලකායක් සඳහා මර්කල්ගේ ජර්මානු ආන්ඩුව සහාය දී ඇත.

මාලිගා කුමන්ත්‍රනයද පන්ති අරගලය ද?

38. දැරිය නොහැකි සමාජ අසමානතාවය සහ නිමක් නැතිව පතුරුවමින් ඇති යුද්ධය, එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපකාරයන් බිඳහෙලීම තුලින් දේශපාලන ප්‍රකාශනයක් අත් කරගෙන තිබේ.

39. ට්‍රම්ප්ගේ බලයට පත්වීම, අන්ත දක්ෂිනාංශික, ෆැසිස්ට්වාදී සහ ආන්තික ජාතිකවාදී දේශපාලනය රාජ්‍ය යාන්ත්‍රනය තුලට ගෙන ආවේය. 2016 මැතිවරන අවධියේ, බොරුව සහ “අමතක කල මිනිසා” පිලිබඳ හිස් ජන ඝෝෂා යොදාගනිමින් ට්‍රම්ප් තමන්ගේ කයිවාරුව, සමාජ අසහනය සහ ඉච්ඡාභංගත්වයට අනුගත කලේය. කෙසේ වුවත්, ධනවතුන් වෙනුවෙන් බදු සහන, මිලිටරි වියදම් වැඩි කිරීම සහ මහජන අධ්‍යාපනය, ආන්ඩුවේ රෙගුලාසි, සමාජ වැඩසටහන් සහ සමස්ත කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරය තුල ආන්ඩුවේ සැබෑ ඡන්ද දායකයන් කවුදැයි පෙන්නුම් කෙරේ.

40. ට්‍රම්ප් ආන්ඩුවේ ප්‍රතිපත්තිය හරි මැද ඇත්තේ, ගෙස්ටාපෝ පන්නයේ කඩාවැදීම් මඟින් බියවද්දා ඇති සංක්‍රමනිකයන් හෙලා දැකීම, සිරගත කිරීම සහ පිටුවහල් කිරීමයි. දේශසීමා වලදී දරුවන් තමන්ගේ දෙමාපියන්ගෙන් වෙන්කිරීම, කූඩුවල සිරගත කිරීමෙන් පසු කායිකව සහ ලිංගිකව අපයෝජනය කිරීම වැනි සිද්ධි එක්සත් ජනපදය සහ ලෝකය පුරා කම්පනයට සහ පිලිකුලට ලක්ව ඇත. පාලක පන්තිය තුල කුලල්කා ගැනීම් කෙරෙහි ට්‍රම්ප් දක්වන ප්‍රතිචාරය වන්නේ, ෆැසිස්ට්වාදීන්ට කෙරෙන ආයාචනා දැඩි කරමින්, අන්ත ජාතිකවාදය සහ ජනතාවාදී කැලඹීම් තුලින් දක්ෂිනාංශික බලවේග බලමුලු ගැන්වීමට උත්සාහ කිරීමයි. එහි එල්ලය, දැනට වඩාත්ම සූරා කැවෙන සංක්‍රමනික කම්කරු කොටස් ඇමරිකානු සමාජය අංගලක්ෂිත වී තිබෙන අසාමාන්‍ය මට්ටමේ සමාජ අසමානතාවය වෙනුවෙන් බිල්ලට දීමයි.

41. සංක්‍රමනික සහ රේගු අධිකාරිය සහ රේගු සහ දේශසීමා ආරක්ෂක ඒජන්සිය, කම්කරු පන්තියට එරෙහි අනාගත යුද්ධ සඳහා පුහුනු කඳවුරයි. පුරවැසිභාවය තහවුරු කරන ලෙස ඉල්ලා නීතිවිරෝධී සෝදිසි මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකරමින්, පාසල්වල සහ රැකියා ස්ථාන සියල්ලකම රඳවා තබාගෙන, සෑම කෙනෙකුගේම ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීමට දීර්ග කාලීන බලපත්‍රයක් සංක්‍රමනික පොලීසියට ලබා දී ඇත. ඔබාමා ආන්ඩුව යටතේ ඉදිකෙරුනු බන්ධනාගාර මධ්‍යස්ථාන, නූතන සමුහ සිර කඳවුරු ලෙස පුලුල් කෙරෙමින් ඇත. මෙම මර්දන යාන්ත්‍රනය පාලක පන්තිය විසින් සියලු සමාජ සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව යොදාගනු ඇත.

42. ට්‍රම්ප්ගේ ආන්ඩුව පිහිටුවීමත් සමඟ ඇමරිකානු පාලක පන්තිය, සීමා ඉර පසු කර ඇති අතර ආපසු හැරීමක් නොමැත. 2000 වසරේ මැතිවරන කොල්ලයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරනයේ 5 -4 බහුතර තීන්දුවකින් ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ජනාධිපති ලෙස පත්කිරීමෙන් පසුව වසර 18ක් ගත වී ඇත. ඒ අවස්ථාවේ ලෝසවෙඅ අවධාරනය කල පරිදි, මැතිවරනයේ ප්‍රතිඵලය සහ සමස්ත දේශපාලන සංස්ථාපිතය ඒ කෙරෙහි දුන් අනුමැතියෙන් ඔප්පු කෙරුනේ, පාලක පන්තිය තුල තවදුරටත් මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අය නැත යන්නයි. මැතිවරනයට පසුව පැමිනියේ, දේශප්‍රේමී පනත සමඟ සදාකාලිකව බැඳී පවතින, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය”, රට තුල ඔත්තු බැලීම, “අසාමාන්‍ය රඳවා වධදීම”, රාජ්‍ය අනුග්‍රහය සහිත වධ දීම් සහ ග්වන්තනාමෝ බේ වධ කඳවුර ආදියයි. නිසි ක්‍රියා පිලිවෙත නොමැතිව ඇමරිකානු පුරවැසියන් ද ඇතුලු ඕනෑම කෙනෙක් ඝාතනය කිරීමට ඇමරිකානු ජනාධිපතිට ඇති අයිතිය තහවුරු කර ගැනීමත් සමඟ ඔබාමා ආන්ඩුව, ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත ප්‍රහාරය දැඩි කලේය.

43. දේශපාලන සංස්ථාපිතය තුල ට්‍රම්ප් විවේචකයින්ගේ කොන්ද පනනැති කම සහ ප්‍රතිගාමී ස්වභාවය ඔහුට ලැබී ඇති ඉහලම සම්පතයි. යුරෝපයේ මෙන්ම, එක්සත් ජනපදය තුල සමාජ කෝපය සහ අතෘප්තිය පිටකිරීමේ ප්‍රගතිශීලි මගක් නොමැති කමේ වාසිය ගනිමින් සිටින්නේ අන්ත දක්ෂිනාංශයයි.

44. “මාලිගා බල කොල්ලය සහ පන්ති අරගලය: වොෂින්ටනයේ දේශපාලන අර්බුදය සහ කම්කරු පන්තිය සඳහා මූලෝපාය” යන ප්‍රකාශය තුල සසප දේශපාලන කමිටුව පැහැදිලි කල පරිදි:

ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන, දෙපක්ෂයේ ම කොටස් ඇතුලු දේශපාලන සංස්ථාපිතය තුල ට්‍රම්ප්ගේ විරුද්ධවාදියෝ, මහා සංගත හා මූල්‍ය ප්‍රභූවේ කොටසක් වෙනුවෙන් කතාකරති. ට්‍රම්ප්ට විරුද්ධ සිය ව්‍යායාමයේ දී ඔවුන් යොදාගන්නා විධික්‍රම අති මූලික වශයෙන් ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ය; මිලිටරි /ඔත්තු සේවා සහ මහ සංගත-මූල්‍ය ප්‍රභූවේ කොටස් අතර තිරයට පිටුපසින් ගෙනයනු ලබන එම ව්‍යායාමයේ දී යොදාගැනෙන්නේ, මාලිගා බල කොල්ලයක විධික්‍රමයන් ය.

45. 2016 දී ට්‍රම්ප්ට තේරීපත්විය හැකිවූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ස්වභාවය නිසා පමනි. හිලරි ක්ලින්ටන් තරග කලේ, වෝල්වීදියේ, මිලිටරි-බුද්ධි යාන්ත්‍රනය සහ අනන්‍යතා දේශපාලනය ඉස්මතු කරන, ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස් වල අපේක්ෂිකාවක් හැටියටය. සමාජ විරෝධතාවය ඩිමොක්‍රටික් පක්ෂය පසුපස පෙලගැස්වීම ඉලක්ක කරගත් උද්ඝෝෂනයේ කූටප්‍රාප්තිය වූ බර්නි සැන්ඩර්ස් ක්ලින්ටන්ට සහයෝගය දීමට ගත් තීරනය, සමාජ අතෘප්තිය ගසා කෑම පිනිස ට්‍රම්ප්ට දොර විවර කර දුනි.

46. මැතිවරනයට පසු රුසියානු විරෝධී උද්ඝෝෂනය සහ හිටපු එෆ්බීඅයි ප්‍රධානී රොබට් මුලර් විසින් මෙහෙයවූ විමර්ශන කේන්ද්‍ර කරගත් ඔත්තු සේවයේ බලගතු කොටස්වල කුමන්ත්‍රන සහ කුටෝපායන් වෙත, ට්‍රම්ප්ට එරෙහි සමස්ත විරෝධය පෙලගැස්වීමට ඩිමොක්‍රටිකයන් කටයුතු කර ඇත. රුසියාවේ ව්ලැදිමීර් පුටින්ගේ තන්ත්‍රය සමඟ සම්මුතියකට උත්සහ දැරීම ගැන ඩිමොක්‍රටිකයන් ට්‍රම්ප් ආන්ඩුව හෙලා දුටු නමුත් කම්කරු පන්තියට හා සංක්‍රමනිකයන්ට එරෙහිව ආන්ඩුව ගෙනයන ප්‍රහාරය, ධනවතුන්ගේ බදු කපාහැරීම, සහ තුන්වන ලෝක යුද්ධයක් සඳහා එහි ක්‍රමානුකූල සූදානම, ඔවුහු නොසලකා හැර ඇතුවාක් මෙන්ම එය වසන් කර ඊට පහසුකම් සලසමින් සිටිති.

47. ඩිමොක්‍රටිකයන්ගේ රුසියානු විරෝධී උද්ඝෝෂනයේ අරමුනු තෙවැදෑරුම්ය: (1) චීනය සමඟ ගැටුමට එලඹීමේදී පූර්ව අවශ්‍යතාවයක් ලෙස අභිමුඛ වන මැදපෙරදිග කලාපය තුල, ඇමරිකානු ආධිපත්‍යයට ප්‍රධාන බාධකයක් ලෙස පවතිනු ඇතැයි මිලිටරි ඔත්තු සේවාවන්හි ප්‍රබල කන්ඩායම් විසින් දැකගනු ලබන, රුසියාවට එරෙහිව, වඩා අක්‍රමනකාරී විදේශ ප්‍රතිපත්තියක් දියත් කිරීම; (2) ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහර දීම සඳහා පිඹුරුපත් සකස්කිරීමටත්, “අසත්‍ය පුවත්” සහ “රුසියානු අතපෙවීම්” වලට එරෙහිව සටන්කිරීමේ ප්‍රෝඩාව යටතේ අන්තර්ජාලය වාරනය කෙරුනු තන්ත්‍රයක් ස්ථාපනය කිරීම; (3) මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ කෝපය ධනපති ක්‍රමයට කවර හෝ අභියෝගයක් වීමෙන් ඉවතට හැරවීම.

48. රුසියානු විරෝධී උද්ඝෝෂනයට අමතරව ඩිමොක්‍රටිකයන්ගේ සැලකිල්ලට ලක්වූ අනෙක් ප්‍රධාන කරුනක් වන්නේ, නිසි ක්‍රියාවලියකට මුහුනදීමේ අයිතිය ඇතුලු මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දුර්වල කිරීම සහ උදුරාගැනීම සඳහා, ලිංගික හිංසනය සහ ප්‍රචන්ඩත්වය පිටුදැකීමේ කඩතුරාව යටතේ, විරුද්ධවාදීන් දඩයම් කිරීමේ වාතාවරනයක් නිර්මානය කරගැනීමට උදව්කාරක වී ඇති ඃමීටූ (ඃඵැඔදද) ව්‍යාපාරය පිම්බීමයි. ඃමීටූ ව්‍යාපාරය කම්කරු පන්තියේ කාන්තාවන්ද ඇතුලු, සමස්ත කම්කරු පන්තිය මුහුනදෙන ගැටලු මුලුමුනින්ම නොතකා හැර තිබේ. ලිංගිකත්වයට ලබාදෙන අතොරක් නැති සැලකිල්ල, ඩිමොක්‍රටික් පක්ෂයේ ධනවත් ඉහල මධ්‍යම පන්තික අධාරකරුවන්ට හොඳින් ගැලපෙන්නේ වුවත් ලිංග භේදය, ජාතිය හෝ ලිංගික යොමුවට වඩා ධනපති සමාජය තුල තමන්ට හිමිව තිබෙන තැන අනුව උද්ගත වන ගැටලු වලට ප්‍රධාන අවධානය දෙන වැඩකරන ජනතාව අතර එය කමකට නැති මාතෘකාවක් බවට පත් වී තිබේ.

49. පදවි ප්‍රාප්තියෙන් වසර එක හමාරකට පසුව ට්‍රම්ප් පිටුදැකීම සඳහා වන ඩිමොක්‍රටික මූලෝපාය, මහත් වියවුලක් බවට පත්ව ඇත. ආන්ඩුවට පන බේරාගැනීමට ඉඩ සැලසෙන අතර, ශ්‍රේෂ්ඨාධිකරනය ඇතුලු රාජ්‍ය ආයතන මත්තේ අන්ත දක්ෂිනාංශික පාලනයක් පිහිටුවා ගැනීම සඳහා ආන්ඩුව සිය උත්සුකයන් පෙරට ගනිමින් සිටියි. අනික් පසින් ඩිමොක්‍රටිකයෝ, සමාජ සහ දේශපාලන අතෘප්තිය අවමංගත කිරීමට සහ මර්දනය කිරීමට දරන සිය උත්සාහය දැඩි කරමින් සිටිති. ධවල මන්දිරයේ බිලියනපති මැරයාට එරෙහි මහජන ව්‍යාපාරයක් මතුවීම තරම් ඔවුන් බියවද්දන අන් දෙයක් නැත. පන්ති අරගලයේ වර්ධනය හමුවේ, ධනපති රාජ්‍යය ආයතන දුර්වල කරන කිසිවක් කිරීමට ඔවුන්ට අවශ්‍ය නැත.

සීඅයිඒ ඩිමොක්‍රටිකයන් සහ ව්‍යාජ-වම

50. ට්‍රම්ප්ගේ තේරී පත්වීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරය නිර්නය කෙරෙන්නේ ඔවුන්ගේ පන්ති ස්වභාවය සහ දේශපාලන මුහුනුවරයි. එය, ආදායම අතින් ඇමරිකානු සමාජයේ ධනවත්ම සියයට 10 අතරට ගැනෙන, සමෘද්ධිමත් ඉහල මධ්‍යම පන්තියේ පුලුල් ස්ථරයක සහයෝගය ලබන, මුල්‍ය ප්‍රග්ධනයේ සහ මිලිටරි-බුද්ධි අංශ යාන්ත්‍රනයේ පක්ෂයකි. වරප්‍රසාදිත 90 - 99 ප්‍රතිශතයට අයත් මෙම ධනවත් සමාජ ස්ථරයේ ආදායම, ඇමරිකානුවන් අතිමහත් බහුතරයකගේ ආදායමට වඩා බොහෝ සෙයින් ඉහල නමුත් එය ජනගහනයේ ධනවත්ම සියයට 1, 0.1 හෝ 0.01 සතු ධනය සමඟ සසඳන කල තමන් පරිමානයෙන් දැවැන්ත ලෙස ඊට පහතින් සිටින බව වටහාගෙන සිටිති. ඔවුන් වඩාත් අතෘප්තියට පත්ව සිටින්නේ, ධනවත්ම සියයට 10 අතර ඔවුන් දකින අසාධාරන ධනය බෙදීයාම ගැන මිස, තමන් සහ පුලුල් ජනතාවගේ දරිද්‍රතාව අතර පවතින වෙනස ගැන නොවේ. ඉතා ධනවත් ඇමරිකානුවන් අතට පත්වෙන දැවැන්ත ධන සම්භාරය අඩුකිරීමෙහි ලා බලපෑම් කිරීමට ඔවුන් නොසමත්ව තිබියදී පවා ඉහල මධ්‍යම පන්තියේ සාමාජිකයන් ඔවුනොවුන් අතරම රුදුරු පොරයක් ගෙනයන්නේ ඇමරිකානු ධනවාදයේ මුදුන වෙත තව තවත් මුදල් වක් කිරීම සඳහාය.

51. ඩිමොක්‍රටික් පක්ෂය විසින් ප්‍රවර්ධනය කරන වාර්ගික, ලිංග භේද සහ ලිංගික අනන්‍යතා දේශපාලනය, සමාගම්, විශ්වවිද්‍යාල, වෘත්තීය සමිති සහ රාජ්‍ය යාන්ත්‍රනයේ නිලතල අත්කර ගැනීම අරබයා ඉහල මධ්‍යම පන්තිය තුල පවත්නා තුච්ඡ ගැටුම් සමඟ බැඳී ඇත. දැන් “ක්ෂුද්‍රචන්ඩත්වය”, වර්ගවාදය සහ සියල්ලටමත් වඩා භයානක ලිංගික අඩන්තේට්ටම් පිලිබඳව, චෝදනා එල්ල කෙරෙන ඒ හෝ මේ පුද්ගලයින් හෙලාදැකීම, අනන්‍යතා දේශපාලනයට ආයුධ සැපයීම මිස අන් කිසිවක් නියෝජනය නොකරයි.

52. ව්‍යාජ වමේ කොටස් “සියයට 99 ගේ නව පක්ෂයක්” වෙනුවෙන් කැඳවුම් කිරීම පුරුද්දක් බවට පත් කරගෙන ඇත. මෙම ඉල්ලීමෙන් ඇඟවෙන්නේ, වසරක දී /25000ක් ගෙවනු ලබන්නන් (පැයට /12 ගෙවනු ලබන රැකියාවක වාර්ෂික ආදායම) සහ වාර්ෂික වැටුප / 250,000 සිට /1,000,000 ගෙවනු ලබන්නන් (ආයෝජනවලින් ලැබෙන ආදායම් හැර) අතර පොදු ලක්ෂනයක් පවතින බවයි. මෙම සමාජ විද්‍යාත්මකව විකාරරූපී මෙන්ම දේශපාලනිකව ප්‍රතිගාමී ඉල්ලීම, කම්කරු පන්තිය ඉහල මධ්‍යම පන්තියට සහ ඩිමොක්‍රටික් පක්ෂයට යටත් කිරීම අරමුනු කරගනියි.

53. ලෝසවෙඅ 2018 අන්තර්වාර මැතිවරනය අවධියේ ලියු පරිදි, ඩිමොක්‍රටිකයන් හිටපු බුද්ධි නිලධාරීන් සහ යුද විශේෂඥයන් පෙර නොවූ විරූ සංඛ්‍යාවක් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කර තිබේ. “සී අයි ඒ ඩිමොක්‍රටිකයන්ගේ” දේශපාලනය, ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමෙරිකා (ඩීඑස් ඒ) සහ ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඔර්ගනයිසේෂන් (අයිඑස්ඕ) වැනි සංවිධාන තුල ප්‍රකාශයට පත්වන ඉහල මධ්‍යම පන්තියේ ව්‍යාජ වාම දේශපාලනය සමග නොගැටෙන අතර ඊට අනුරූප වේ. “මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද” ලිපියේ ලෝසවෙඅ සඳහන් කල පරිදි:

මධ්‍යම පන්තික දේශපාලනයේ සුවිශේෂ ලක්ෂනය වන්නේ, එයට පාලක පන්තියෙන් ස්වාධීන විය නොහැකි කමයි. එය ඩිමොක්‍රටික් පක්ෂයට බලපෑම් දමා ධනේශ්වර ක්‍රමයේ සීමාසහිත ප්‍රතිසංස්කරන සඳහා එහි සහාය දිනාගැනීමට උත්සාහ කරයි. මෙම දේශපාලන ස්ථරයේ වඩාත් වාම-ලිබරල් කොටස්, සමාජ අසමානතාවය වැනි ප්‍රශ්න කෙරේ අවධානය යොමු කල ද ඔවුහු අතිශය ප්‍රතිපත්ති විරහිත ආකාරයකට, ඩිමොක්‍රටික් පක්ෂයට ද ඇමරිකානු අධිරාජ්‍යවාදයේ එල්ලයන්ට ද සහාය දීමේ පිලිවෙත සමග සිය අර්ධ -ලිබරල් ආයාචානා බද්ධ කරති. ඔවුන්ගේ වරප්‍රසාදිත ආර්ථික තත්වය සංගත ලාභ හා කොටස් මිල වාර්තාගත ලෙස ඉහල යාම මත පදනම් වී ඇත යන කාරනය සමග මෙය බැඳී ඇත. ඔවුන්ගේ ප්‍රාථමික දේශපාලන කර්තව්‍යය, කම්කරු පන්තිය මත පාලක පන්තියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමට ආධාර කිරීමයි.

54. ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන අධිකාරයට රුකුල් දීමේ උත්සාහයේදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සංවිධානය වඩාත් කේන්ද්‍රීය ක්‍රියාකලාපයක් ඉටුකරයි. 2016 මැතිවරනයේ සිට ඩීඑස්ඒ සාමාජිකත්වය 7,000 සිය 37,000 දක්වා ඉහල ගොස් ඇත. ඔවුහු, ධනවාදයට විරුද්ධව සමාජවාදී විකල්පයක් සොයන තරුන කොටස් අතර සහයෝගය දිනාගනිමින් සිටින අතර එම වාම මනෝගතිය, ඩිමොක්‍රටිකයන් පිටුපස පෙලගැස්වීමට මඟක් සොයමින් සිටිති. ජුනි මාසයේ පැවති නිව්යෝර්ක් ප්‍රාථමික කොන්ග්‍රස් ඡන්දයේදී ප්‍රමුඛ කොන්ග්‍රස් සභික ජෝසප් ක්‍රෝලි පැරදවූ ඩීඑස්ඒ සාමාජිකා ඇලෙක්සැන්ඩි්‍රයා ඔකාසියෝ-කොර්ටෙස්, එහි ක්‍රියා කලාපය පැහැදිලි කරයි. පාර්ලිමේන්තුවේ සිව්වැනි ඉහලම ඩිමොක්‍රටික් සාමාජිකයා වන ක්‍රෝලි පරාජය කිරීම සඳහා සමාජ අතෘප්තියට තට්ටු කරන අතරේ ඔකාසියෝ-කොර්ටෙස්, ව්‍යාපාරික මාධ්‍යයේ වර්නනාව හමුවේ සංස්ථාපිතයට තමන්ගේ පවතින සම්බන්ධතාව පිලිබඳ සුදුසුකම් පෙරමුනට ගැනීමේ නිරතව සිටියි. ඩීඑස්ඒ සහ ඔකාසියෝ-කොර්ටෙස්ගේ “සංක්‍රමන සහ රේගු බල අධිකාරය අහෝසි කිරීම” සඳහා වන ඉල්ලීම සත්‍ය වශයෙන්ම නම් යොමුව ඇත්තේ, එහි සියලු දුෂ්ඨකම් සමඟම එයට නව ලේබලයක් ඇලවීම සඳහාය. ඩිමොක්‍රටික් පක්ෂ නායකත්ව යේ කොටසක් එයට සහාය පල කරති.

55. ඔකාසියෝ-කොර්ටෙස් ගේ ප්‍රාථමික මැතිවරන ජයග්‍රහනයෙන් ඉක්බිති, සමාජවාදය සඳහා උනන්දුව වර්ධනය වීම සහ ඩීඑස්ඒ වැනි කන්ඩායම් වල ක්‍රියාකාරිත්වය පිලිබඳ බිය, නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත තුල ප්‍රකාශ වී තිබුනි (මිචෙල් ගොල්ඞ්බර්ග් විසින් ලියූ “සහශ්‍ර වාර්ෂික සමාජවාදීන් පැමිනෙමින් සිටියි” ලිපිය). “නිෂ්පාදන මාධ්‍යන්ගේ ජනතා පාලනය ගැන කතා බහ, පක්ෂයේ ඉතාම ලිබරල්වාදීන් පවා ඇතුලත් බොහෝ ඩිමොක්‍රටිකයන්ට මහත් ජුගුප්සාජනක දෙයකි. තරුනයින් සමඟ එය වඩා හොඳින් පෑහේ. වයස 18ත් 34ත් අතර ඩිමොක්‍රටිකයන් සියයට 61ක් සමාජවාදය ධනාත්මකව දකින බව මෑත සමීක්ෂනයකින් පෙන්වාදී ඇත. මහා ආර්ථික අවධමනය, අධ්‍යාපන පිරිවැය ඉහලයාම, අඩමාන සෞඛ්‍ය රක්ෂන සහ වැඩපලවල වැඩෙන අස්ථාවරභාවය යන ඒවායේ සංයෝජනය විසින් තරුන ප්‍රජාව දුක්ඛදායක භෞතික අනාරක්ෂිත භාවයක හෙලා ඇත. කොමියුනිස්ට්වාදයේ පුලුල්ව පැතිරී ගිය අසමත්කම ගැන ඔවුන්ට මොනම මතකයක් හෝ නැත. ඔවුන් මත තිබෙන්නේ තමන් වටා ඇති ධනවාදයේ අසමත්කම ගැනයි.”

56. ගොල්ඞ්බර්ග් ගේ නිගමනය, ඩිමොක්‍රටික් පක්ෂය විසින් පක්ෂය යලි පෙලගැස්වීමේ මාර්ගයක් ලෙස, ඩීඑස්ඒ සහ එහි ඡන්ද අපේක්ෂකයන්ට පක්ෂයේ දොර හැරිය යුතු බවයි:

ඔකාසියෝ-කොර්ටෙස් වැනි බොහෝ අපේක්ෂකයන් සිටින අතර ඩිමොක්‍රටික් පක්ෂය ඔවුන්ව සාදරයෙන් පිලිගත යුතුයි. පක්ෂය අසල්වැසි ආයතනයක් ලෙස යලි ගොඩනැගීමේ කාර්යය ඉෂ්ටකිරීමට, ඔවුන්ගේ තාරුන්‍යයයත්, ජවයත්, සුදානමත් අවැසිය. පක්ෂ නායකත්වය කැමති වුනත්, නැතත් ඔවුන් පැමිනෙමින් සිටිති.

57. ඇත්ත වශයෙන්ම අනෙකුත් ව්‍යාජ වාම පක්ෂ මෙන්ම ඩීඑස්ඒ වැඩපිලිවල තුලත් අව්‍යාජ සමාජවාදයක අංශුමාත්‍රයක් හෝ නැත. සීමිත සමාජ සුභසාධනයන් සඳහා ඔවුන්ගේ යෝජනා, ඩිමොක්‍රටික් පක්ෂයට සහාය දැක්වීම සහ ව්‍යාපාර ගැති වෘත්තීය සමිති විසින් කම්කරු පන්තිය මත පවත්වාගෙන යන සංවිධානමය අධිකාරය ආරක්ෂා කිරීම සමඟ සම්බන්ධිතය. එනම්, කම්කරු පන්තියට එරෙහි යුද්ධය සඳහා පෙලගැසී සිටින ආයතන වලට ව්‍යාජ වාම ආවරනය සම්පාදනය කිරීමයි.

58. ව්‍යාජ වාම කන්ඩායම් එක්කෝ අධිරාජ්‍යවාදී මිලිටරිවාදයට එරෙහි සටනෙන් වැලකි සිටින අතර නැතිනම් ඇමරිකානු මිලිටරි මෙහෙයුම් වලට අනුමැතිය දීම සඳහා ඊට වංක සුජාතබවක් ලබා දෙති. ඇමෙරිකාව තුල අයිඑස්ඕ සංවිධානයේ නිශ්චිත කාර්ය භාරය, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ සීඅයිඒ සංවිධානයේ ප්‍රතිපත්ති ව්‍යාජ-වාම දේශපාලන කවයන් තුල පැහැදිලි ලෙස සන්නිවේදනය කිරීමයි. එය සිරියාව තුල තන්ත්‍ර මාරුවක් සඳහා ඇමරිකාව විසින් පිටුබලය දෙන උද්ඝෝෂනයේ උද්යෝගීමත් අධාරකරුවෙකු වන අතර සිරියාව තුලත්, රුසියාවට එරෙහිවත් ගෙනයන වඩාත් ආක්‍රමනකාරි මිලිටරි මැදිහත්වීමකට කැඳවුම් කරමින්, රාජ්‍යයේ කල්ලි කන්ඩායම් සමඟ සමීප සම්බන්ධකම් ගොඩනගාගෙන ඇත.

59. අධිරාජ්‍යවාදය වෙත ව්‍යාජ-වමේ සහයෝගයෙහි වඩාත් දුෂ්ඨ ප්‍රකාශනය, ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ සිරවී සිටින්නාවු ද ඉන් ඉවතට ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඔත්තුබැලීම පිලිබඳ සාපරාධී චෝදනා එල්ල කිරීමට නියමිත හා ඇමරිකාවට උදර්පනය කිරීමේ අවදානමට මුහුන දී සිටින, විකිලීක්ස් හී නිර්මාතෘ මාධ්‍යවේදී ජුලියන් අසාන්ජ්ට එරෙහිව උත්සන්න කර ඇති තර්ජනය පිලිබඳ එහි මුනිවත රැකීමයි.

60. ඉහල මධ්‍යමපන්තික ව්‍යාජ වමේ සංවිධාන වල ද්‍රෝහී ක්‍රියාකලාපය ජාත්‍යන්තර සංසිද්ධියකි. ග්‍රීසිය තුල “රැඩිකල් වමේ සභාගය” හෙවත් සිරිසාව, වසර තුනහමාරක සභාග ආන්ඩුවකට නායකත්වය දී ඇත්තේ එම කාලය තුල යුරෝපීය බැංකු වල ඉල්ලීම් සුවච ලෙස ක්‍රියාවට දමමින් සහ යුරෝපා සංගමයේ සංක්‍රමන විරෝධී ප්‍රතිපත්තියේ ඉදිරිපෙල අපරාධකරුවකු ලෙස ක්‍රියාත්මක වෙමිනි. ජර්මනිය තුල, වාම පක්ෂය ෆැසිස්ට්වාදී ඒඑෆ්ඩීයේ වැඩපිලිවෙලට විශාල ලෙස අනුගත වෙමින්, කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමටත් සංක්‍රමනිකයන්ට එරෙහි ප්‍රහාරයටත් සහයෝගය දෙමින් සිටියි.

61. දේශපාලන සංස්තාපිතයේ කොටස් විසින් ඩීඑස්ඒ, අයිඑස්ඕ සහ අනෙකුත් ව්‍යාජ වාම කන්ඩායම් ප්‍රචාරනය කිරීම ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) මැඬීම සඳහා වන ක්‍රමානුකුල උත්සාහයන් සමඟ එක පෙලට පිහිටයි. ඩීඑස්ඒ සංවිධානයට සම්බන්ධ ජැකොබින් සඟරාව නිව්යෝර්ක් ටයිම්ස් හි නිතිපතා උපුටාදැක්වෙන අතර, ගූගල් සෙවීම් තුල ප්‍රධාන පෙලේ විශේෂාංග අතරට යද්දී, ලෝසවෙඅ රාජ්‍යයේ බුද්ධි අංශ සමඟ සමීපව සම්බන්ධිත ගූගල්, ෆෙස්බුක් සහ අනෙකුත් අන්තර්ජාල සමාගම් විසින් පනවා ඇති වාරන යාන්ත්‍රනයේ ප්‍රධාන ඉලක්කය බවට පත්වී සිටියි. කම්කරුවන් සහ තරුනයන් අතර බහුජන කොටස් ධනවාදය ප්‍රතික්ෂේප කිරීමට මගක් සහ සමාජවාදය සඳහා සටන පිලිබඳ විමසිලිමත් වෙද්දී, ඔවුන් රාජ්‍යයේ සහ ධනපති දේශපාලන යාන්ත්‍රනයේ අත්ගෙඩි ලෙස සේවය කරන සංවිධාන තුලට යොමු කෙරෙමින් පවතී.

වැඩවර්ජන ක්‍රියාකාරිත්ව පුනරාගමනයේ අර්ථභාරය

62. ට්‍රම්ප් පරිපාලනයට එරෙහි සැබෑ ව්‍යාපාරයක් පාලක පන්තිය හෝ ඉහල මධ්‍යම පන්තිය තුලින් හෝ පැන නොනගිනු ඇත. එය පැන නැගිය හැක්කේ දේශපාලන ජීවිතයෙන් සම්පූර්නයෙන්ම බැහැරකරනු ලැබූ කම්කරු පන්තිය, එනම් පුලුල් මහජනතාව වෙතිනි. ධනපති අර්බුදයේ යථාර්තය කම්කරු පන්තියේ අරගලවල සැලකිය යුතු ආරම්භක ප්‍රකාශනවලට මේ වසර තුලදී දැනටමත් තුඩු දී ඇත. පසුගිය වසර 30ක කාලය තුලදී වෘත්තීය සමිති විසින් පන්ති අරගලයේ සෑම සංවිධානාත්මක ප්‍රකාශනයක්ම පාහේ යටපත්කරන ලදී. නමුත් 2018 වසර ආරම්භයේ සිට - බටහිර වර්ජිනියා, ඔක්ලහෝමා, නිව් ජර්සි, ඇරිසෝනා, උතුරු කැරොලිනා, කොලරාඩෝ සහ කෙන්ටකි යන ප්‍රාන්ත වල - ගුරුවරු වැඩවර්ජන හා විරෝධතා මාලාවක්ම සිදු කර ඇත. එලෙසම බටහිර වර්ජිනියා හි විදුලි සංදේශන කම්කරුවන් සහ කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ සේවා කම්කරුවන් ද වැඩවර්ජන වල නිරත විය.

63. පන්ති අරගලයේ වර්ධනය මගින් මාක්ස්වාදයේ අති මූලික න්‍යායාත්මක මූලධර්ම හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් විස්තාරනය හා වර්ධනය කරනු ලැබූ දේශපාලන ඉදිරිදර්ශනය සනාථ කරයි. එය පෙන්නුම් කොට ඇත්තේ:

ඇමරිකානු සහ ලෝක සමාජයේ අතිමූලික සමාජ බෙදුම්කඩනය පන්තිය මිස, වර්ගය, ලිංග භේදය හෝ ලිංගික අනන්‍යතාවය නොවන බවයි. එය ඇමරිකානු එක්සත් ජනපදය “රතු” සහ “නිල්” ප්‍රාන්ත වශයෙන් බෙදා දැක්වීමෙහි වංචනික බව හෙලිදරවු කොට ඇත්තේ කෙසේද යත් මේ වසරේ සිදු වූ පන්ති සටන් බොහොමයක් පැනනැග තිබුනේ ඩිමොක්‍රටිකයන් සහ ඔවුන්ගේ දේශපාලන සහචරයන් විසින් වර්ගවාදී හා පසුගාමී යැයි අපවාදයට ලක්කර ඇති කම්කරු පන්තිය ජීවත්වන “රිපබ්ලිකන්” ප්‍රාන්ත වලය.

කම්කරු පන්තිය යනු යුද්ධයට, අධිපතිවාදයට, වාරනයට සහ අසමානතාවයට එරෙහි ව්‍යාපාරයක් පදනම් විය යුතු මූලික විප්ලවවාදී සමාජ බලවේගය යන්න යි.

පන්ති අරගලය යනු ජාත්‍යන්තර අරගලයකි. 1988 දී හජාජාක ලියූ පරිදි “ධනවාදී සංවර්ධනයේ නව රූපාකාරයන් යටතේ, පන්ති අරගලයේ ස්වරූපය පවා ජාත්‍යන්තර ස්වභාවයක් ගත යුතුය. කම්කරු පන්තියේ ප්‍රාථමික අරගලයන් පවා පෙනුම් කරන්නේ එහි ක්‍රියාකාරීත්වයන් ජාත්‍යන්තර පරිමාන සමායෝජනයකින් සිදු කිරීමේ අවශ්‍යතාවයයි.”

ජාතිකවාදී හා ධනපති ගැති වෘත්තීය සමිති යනු කම්කරු සංවිධාන නොව අසමානතාවයට හා ධනපති ක්‍රමයට එරෙහි විරෝධය අවහිර කරන හා මැඩපවත්වන, කලමනාකරනයන්හි හා රාජ්‍යයේ කෝපරේට්වාදී හස්තයන් ය.

64. මේ වසරේ සෑම ප්‍රධාන ගුරු වර්ජනයක්ම ආරම්භ කරනු ලැබුවේ වෘත්තීය සමිති නොව සාමාන්‍ය ගුරුවරුන් විසිනි. මෙම වර්ජනවලින් වර්ජිනියා හිදී පැවති පලමු වැඩ වර්ජනයේදී ප්‍රාදේශීයව වර්ධනය වූ හදිසි වර්ජන මාලාවක් හේතුවෙන්, ගුරු අතෘප්තිය සමනය කොට එය වාෂ්ප කර හැරීම සඳහා ප්‍රාන්තය පුරා සීමිත වර්ජනයක් කැඳවුම් කිරීමට වෘත්තීය සමිති වලට බල කෙරුනි. ප්‍රාන්තයේ බිලියනපති ආන්ඩුකාරවරයා සමග එලැඹි එකඟතාවයක් මත වෘත්තීය සමිති විසින් නැවත වැඩට පිවිසීමේ නියෝගයක් නිකුත්කල විට ගුරුවරුන් එයට එරෙහිව කැරලි ගැසුවේ වර්ජනය නොනවත්වා පැවැත්වීමට බල කරමිනි. වෘත්තීය සමිති ඉන් අනතුරුව, ඩිමොක්‍රටික් පක්ෂය වටා සිටින ව්‍යාජ වාම සංවිධානවල සහාය සහිතව, ගුරුවරුන්ගේ කිසිදු ප්‍රධාන ඉල්ලීමක් ඉටු නොවී අරගලය නවතා දැමීම සඳහා තම ප්‍රයත්නයන් උත්සන්න කලහ. සෑම වර්ජනයකදීම කම්කරුවන්ගේ විරෝධය යටපත් කිරීම හා නවතා දැමීම සඳහා වෘත්තීය සමිති මීට සමාන භූමිකාව යෙදුනි.

65. රාජ්‍ය සේවයේ නියුතු එහෙත් සමිතියකට අයත් නොවන කම්කරුවන්ගෙන් පවා සමිතිවල සාමාජික ගාස්තුවට සමාන “නියෝජිත ගාස්තුවක්” අයකරදීම ව්‍යවස්ථානුකූල ද යන්න ජනුස්ට එදිරිව ඒඑෆ්එස්සීඑම්ඊ (AFSCME – American Federation of State, County and Municipal Employees) නම් වූශ්‍රේෂ්ඨාධිකරන නඩුවේ දී, විවාදයට ලක් විය. මෙම විවාදයේදී සමිතිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු වෘත්තීය සමිති වල සැබෑ කාර්යභාරය ප්‍රකාශයට පත් කලහ. ඉලිනොයිස් ප්‍රාන්තයේ 31 වන ඒඑෆ්එස්සීඑම්ඊ කවුන්සිලය වෙනුවෙන් ඬේවිඞ් ෆෙඩි්‍රක් “නියෝජිත ගාස්තු ගිවිසුම හරහා කේවල් කෙරෙන ප්‍රධානම දෙය වැඩවර්ජන සීමා කිරීමයි. සාමූහික ගිවිසුම් බොහොමයක් සම්බන්ධයෙන් මෙම කරුන සත්‍ය වෙයි.” යනුවෙන් ප්‍රකාශ කලේ ය. “(නියෝජිත) ගාස්තු යනු (වැඩ වර්ජන සීමා කිරීම වෙනුවෙන්) සමිති වලට ගෙවන මිලයි. සමිති සුරක්ෂිත වනුයේ වර්ජන නොකිරීම වෙනුවෙන් ලැබෙන මෙම මුදලෙන්.” යැයි ෆෙඩි්‍රක් තවදුරටත් පැවසීය. ප්‍රාන්ත රාජ්‍යයන්ට නියෝජිත ගාස්තු බලාත්මක කිරීමේ අභිමතය ලබාදෙන පූර්ව නඩු තීන්දු අධිතීරනය කරනු ලබන තීන්දුවක් මෙම අධිකරනය ලබාදුන හොත් විය හැකි අන්තරාය සිහි ගන්වමින් ඔහු ප්‍රකාශ කලේ, එමගින් “මුලු රට පුරාම සිතාගත නොහැකි ප්‍රමානයේ කම්කරු නොසන්සුන්තාවයක අවතාරයක් නැගිටවනු ඇති” බවයි. ඤ්ත්‍ීක්‍ඵෑ යනු එක්සත් ජනපද රාජ්‍ය සේවකයන්ගේ විශාලතම වෘත්තීය සමිතියයි- පරිවර්තක%

66. කොන්ත්‍රාත් සාකච්ඡාවන් සඳහා සහභාගි වූ යුනයිටඞ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) නිලධාරීන්ට ෆියට් ක්‍රයිස්ලර් ඔටෝමොබයිල් (එෆ්සීඒ) විධායකයන් විසින් ඩොලර් මිලියන 1.5 කට අධික මුදලක් ගෙවීම ආශ්‍රිතව යුඒඩබ්ලිව් පුරා ඇලලී ගිය දූෂන සෝලිය මගින් වෘත්තීය සමිති වල ස්වභාවය ප්‍රකාශයට පත්වෙයි. මෙම ගෙවීම් වලට හිලව් වශයෙන්, පැය අටේ වැඩ දිනය අහෝසි කෙරෙන, දෙවන තලයේ කම්කරුවන් ගේ නව පන්තියක් සඳහා කම්කරු වැටුප් අඩකින් කපා දැමෙන සහ සමිති වලට සාමාජික මුදල් ගෙවන නමුත් අයිතීන් අහිමි තාවකාලික අර්ධ-කාලීන කම්කරු සංඛ්‍යාව වැඩි කෙරෙන කොන්ත්‍රාත් යූඒඩබ්ලිව් විසින් ක්‍රියාවට දැමුවේ බියවැද්දීම් සහ වංචාවන් මගිනි. කොන්ත්‍රාත් සාකච්ඡාවන් සඳහා සහභාගි වූ යුනයිටඞ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) නිලධාරීන්ට ෆියට් ක්‍රයිස්ලර් ඔටෝමොබයිල් (එෆ්සීඒ) විධායකයන් විසින් ඩොලර් මිලියන 1.5 කට අධික මුදලක් ගෙවීම ආශ්‍රිතව යුඒඩබ්ලිව් අලලාගත් දූෂන සෝලිය මගින් වෘත්තීය සමිති වල ස්වභාවය ප්‍රකාශයට පත්වෙයි. මෙම ගෙවීම් වලට හිලව් වශයෙන්, පැය අටේ වැඩ දිනය අහෝසි කෙරෙන, දෙවන තලයේ කම්කරුවන් ගේ නව පන්තියක වැටුප් අඩකින් කපා දැමෙන සහ සමිති වලට සාමාජික මුදල් ගෙවන නමුත් අයිතීන් අහිමි තාවකාලික අර්ධ-කාලීන කම්කරු සංඛ්‍යාව වැඩි කෙරෙන කොන්ත්‍රාත් යූඒඩබ්ලිව් විසින් ක්‍රියාවට දැමුවේ බියවැද්දීම් සහ වංචාවන් මගිනි.

67. වෘත්තීය සමිතිවල ස්වභාවය මුල්බැස ඇත්තේ “මූලික වශයෙන්” තනිතනි නායකයන්ගේ දූෂනයන් තුල පමනක් නොව, එම සංවිධානවලම ස්වභාවය තුල සහ ලෝක ආර්ථික ව්‍යූහයේ ඇතිව පවත්නා වෙනස්කම් තුල ය. භූගෝලීය නිශ්පාදනයේ වර්ධනයට සහ එක්සත් ජනපද ධනවාදයේ අර්බුදයට සහ පරිහානියට මෙම ජාතිකවාදී සහ ධනපතිගැති සමිති ප්‍රතිචාර දැක්වූයේ සීමිත ජයග්‍රහනයන් සඳහා වූ අරගලය පවා අත්හැර දැමීමෙනි. සමිතිවල සාමාජිකත්වය පහත වැටෙද්දී සහ කම්කරුවන්ගේ වැටුප් සහ සහන බිඳ වැටෙද්දී පවා සමිති විධායකයන්ගේ ආදායම නොකඩවා වැඩිවීම සහතික කෙරෙන සමිති-කලමනාකාරිත්ව සහභාගිත්වයන්ගේ නිරන්තර වර්ධනයක් සහිත සංගත කලමනාකාරිත්ව සැකැස්මක් තුලට වෘත්තීය සමිති උපකරනයමත් වඩා සෘජුවම අන්තර්ග්‍රහනය විය.

68.පන්ති අරගලයේ වර්ධනය වෛෂයික ක්‍රියාවලියකි. ලෝසවෙඅ “මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද” යන්නෙහි සඳහන් කල පරිදි:

එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව පවත්නා අර්බුදයේ වෛෂයික කොන්දේසි සහ මහජන සමාජ විඥානයේ රැඩිකලීකරනය අතර අන්තර්ක්‍රියාකාරිත්වය පන්ති අරගලයේ පුපුරායාම තුල ප්‍රකාශනය අත් පත් කරගනු ඇත. වෘත්තීය සමිති නිලධරය, ඩිමොක්‍රටික් පක්ෂය, සහ විවිධාකාර අනන්‍යතා දේශපාලනයේ ධනවත් අනුග්‍රාහකයන් විසින් දශක ගනනාවක් තිස්සේ පන්ති අරගලය යටපත් කරනු ලැබීම අවසානයකට ලංවෙමින් පවතී. පාලක ප්‍රභූන්ගේ සමාජ ප්‍රතිවිප්ලවය දැන් ඇමරිකානු කම්කරු පන්තියේ නැගිටීමකට අභිමුඛවීමේ ආසන්නයට පැමින ඇත. වැඩපලවල, ජනප්‍රජාවන්තුල සහ සමස්ත නගරවල සමාජ විරෝධයේ විවිධාකාර ස්වරූප, නිශ්චිත කම්කරු පන්තික අනන්‍යතාවක්, ධනපති විරෝධී යොමුවක් හා සමාජවාදී ගතිලක්ෂන එන්න එන්නම අත්පත් කර ගනු ඇත. තනි තනි වැඩපලවල සහ ජනප්‍රජාවන්ගේ අරගල කම්කරු පන්තියේ පුලුල් කොටස්වල ඒකාබද්ධ අරගලය තුලට ආකර්ෂනය කර ගනු ඇත.

පන්ති අරගලයේ සහ මහ වැඩවර්ජනයේ තර්කනය

69. එක්සත් ජනපදය යනු සමාජ වෙඩිබෙහෙත් පීප්පයකි. එක්සත් ජනපදයේ සමාජ අරගල පෙර නොදුටු ආකාරයකින් පැනනැගීම වැලැක්විය නොහැක. කම්කරු පන්තියේ පුලුල් කොටස්වල සමාජ අවශ්‍යතාවල පොදුබව, ප්‍රාදේශීය බෙදීම් වල ඛාදනය, කම්කරු පන්තියේ වාර්ගික හා ජාතික ඒකාග්‍රතාවය, අන්තර්ජාලය පදනම් කරගත් සමාජ මාධ්‍යවල බලපෑම යනාදී බොහෝ සාධක මහජන විරෝධතාවයන්ගේ ඒකාබද්ධවීමක් දෙසට ක්‍රියා කරමින් තිබේ. ඒ අනුව ක්ෂනික හේතුකාරකය කුමක් වුවත්, කුමන ස්ථානයක හටගත්තත්, පුපුරායන බරපතල සමාජ විරෝධතාවයන් ඉතා සීග්‍රයෙන් ව්‍යාප්තවන බවටත්, මිලියන ගනනින් කම්කරුවන් අරගලය තුල ක්‍රියාකාරී සහභාගීත්වයට ආකර්ශනය කරගනු ඇති බවටත් අපේක්ෂා කල හැකිව තිබේ. කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීම් සලකා බැලීමේදී, මෙම සමාජ අරගලවල ඒකාබද්ධ වීමේ තාර්කික ප්‍රතිඑලය වනු ඇත්තේ, දේශපාලන බලය පිලිබඳ ප්‍රශ්නය මතු කරන, මහා වැඩවර්ජනයකි.

70 මේ නිසා කම්කරු පන්තියේ මහා අරගලවලට සූදානම් වීම පිනිස ප්‍රසිද්ධ වැඩබිම්බල හා ආශ්‍රිත ප්‍රදේශවල එකිනෙකට සම්බන්ද කොමිටි ජාලයක් වර්ධනය කිරීම අවශ්‍යවේ. එවන් කොමිටිවල අවශ්‍යතාව උද්ගත වන්නේ කම්කරුවන්ගේම අත්දැකීම තුලිනි. ඔවුන්ව නියෝජනය කරනවායැයි කියන වෘත්තීය සමිති කම්කරු පන්ති අරගල සංවිධානය වීමට බරපතල ලෙස හතුරු වනවා පමනක් නොව, කම්කරුවන්ගේ දුක්ගැනවිලි විසඳීම හා ගිවිසුම් වගන්ති බලාත්මක කිරීම වැනි අතිශය සීමා සහිත ආකාරයේ නියෝජනය කිරීම් පවා අත්හැර දමා තිබේ. නිශ්පාදන පේලි වේගය මත කම්කරුවන්ගේ පාලනය, බහු ස්ථර ශ්‍රම ක්‍රමය අවසන් කිරීම, සෑම කම්කරුවෙකුටම පූර්න හා ජීවත්විය හැකි වැටුප් සමඟ පැය අටේ වැඩ දිනය බලාත්මක කිරීම, අනාරක්ෂිත වැඩ කොන්දේසි අවසන් කිරීම යනාදී ඉල්ලීම් වැඩබිම් හා ෆැක්ටරි කොමිටි විසින් නගනු ඇත.

71. සංගත මගින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති වලින් සම්පූර්නයෙන් ස්වාධීනව සාමාන්‍ය කම්කරු ෆැක්ටරි කොමිටි ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කරන ලද කැඳවුම කෝපයට පත් කොට ඇත්තේ ප්‍රතිගාමී නිලධාරි තන්ත්‍රය පමනක් නොව ව්‍යාජ වමෙහි සෑම ප්‍රවනතාවක්මය. “කම්කරුවන් මත වෘත්තීය සමිති වල දේශපාලන හා සංවිධානාත්මක පරමාධිපත්‍යයට අහියෝග කිරීමට තරම් සසප නිර්භීත වන්නේ කෙසේද! සමහර ව්‍යාජ වාම කථිකයෝ, ට්‍රොට්ස්කිවාදී බවට මවා පාමින්, සසප සංක්‍රමනීය ක්‍රියාමාර්ගය අත්හැරදමා ඇතැයි චෝදනා කරති. කෝපරේට්වාදි සමිති විධායකයන්ගේ මෙම සුලු ධනේශ්වර නියෝජිතයින් ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරයේ පදනම් ලියවිල්ලේ සත්‍යවශයෙන්ම ලියන ලද්ද එක්කෝ කිසිදිනක කියවා නැත, නැත්නම් එය අමතක කොට බොහෝ කල් ය. හතරවන ජාත්‍යන්තරයේ සාමාජිකයන්ට ඔහු කැඳවුම් කලේ මෙසේය:

හැකි සෑම අවස්ථාවල දී ම ධනේශ්වර සමාජයට එරෙහි ජනතා අරගලයේ කර්තව්‍යයන්ට වඩාත් සමීපව අනුරූප වන ස්වාධීන සටන්කාමී සංවිධාන නිර්මානය කිරීමටත් නිර්භීත ව අධිෂ්ඨානශීලිව ප්‍රයත්න දැරිය යුතු යි; අවශ්‍ය වුව හොත්, වෘත්තීය සමිතිවල ගතානුගතික යාන්ත්‍රනයෙන් කෙලින් ම බිඳී වෙන් වීමක් ඉදිරියේ පවා බිය නො විය යුතු යි. කට්ටිවාදී කන්ඩායම් පෝෂණය කිරීම සඳහා ජනතා සංවිධානවලට පිටු පෑම සාපරාධී වන්නේ නම්, විප්ලවීය ජනතා ව්‍යාපාරය විවෘතව ම ප්‍රතිගාමී වූ වෙස්වලා ගත් ගතානුගතික (“ප්‍රගතිශීලී”) නිලධාරි කල්ලිවල පාලනයට යටත් කරනු ලැබීම නිෂ්ක්‍රියව ඉවසා සිටීම ඊට නො අඩු ලෙස ම සාපරාධී වේ. වෘත්තීය සමිති වනාහි ඒවා සඳහා ම පවත්නා දෑ නො වේ. ඒවා නිර්ධන පන්ති විප්ලව මාවතේ උපකරන යි.

72. ෆැක්ටරි සහ වැඩබිම් කොමිටි සෑදීම නිර්දේශ කරමින් ට්‍රොට්ස්කි පැහැදිලි කලේ, ඒවා “ෆැක්ටරියේ හාම්පුතා වන්නේ කවුද, ධනපතියාද, කම්කරුවාද?” යන ප්‍රශ්නය මතු කරන බවයි කමිටුව දර්ශන පථයට පැමිනි මොහොතේ සිට කම්හල තුල නියම ද්වන්ද්ව බලය ප්‍රතිෂ්ඨාපිත වෙයි. ධනේශ්වර හා නිර්ධන පන්ති යන නො පෑහිය හැකි පාලන තන්ත්‍ර දෙකක් තමා තුල ගැබ් කර ගන්නා හෙයින් එය තම තථ්‍ය සාරයෙන් ම සංක්‍රමනීය රාජ්‍යය නියෝජනය කරයි. කම්හල් කමිටුවල මූලික වැදගත්කම නිසැකයෙන් ම අන්තර්ගත වන්නේ ඒවා සෘජු විප්ලවීය අවධියකට නො වේ නම්, ධනේශ්වර හා නිර්ධන පන්ති පාලන තන්ත්‍රයන් අතර වූ පූර්ව විප්ලවීය අවධියකට දොරවල් විවර කරලීමෙහි ය.

සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ

73. ඉතා හදිසි දේශපාලන කර්තව්‍යය වන්නේ කම්කරු පන්තියේ සෑම කොටසක් තුලම සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන ආනුභාවය ගොඩනැගීමයි. සසප වර්ධනය වන වෛෂයික කම්කරු පන්ති ව්‍යාපාරය ස්ථිරසාර විප්ලවවාදී මූලෝපායකින් හා ඉදිරි දර්ශනයකින් සන්නද්ධ කිරීමේ සටනේ පෙරමුන ගනිමින් සිටී. එය සටන් කරමින් සිටින්නේ පහත වැටෙන වැටුප්, සෞඛ්‍ය සේවා කප්පාදුව, පොදු අධ්‍යාපන සේවය විනාශ කිරීම යන ඒවාට එරෙහි අරගල සංක්‍රමනික කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයට, පොලිස් මෘගත්වයට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීමට සහ ලෝක යුද්ධ අන්තරායට එරෙහි අරගල සමග සම්බන්ධ කිරීමටයි.

74. සසප උරදී සිටින මුඛ්‍යම කර්තව්‍ය වන්නේ විප්ලවවාදී පෙරටු බලඇනිය ගොඩ නැගීම සහ කම්කරු පන්තියට තම ඉලක්කයන් සම්බන්ධව වඩ වඩාත් ඉහල මට්ටමේ අවබෝධයක් ලබාදීම සහ වර්ධනය වන ව්‍යාපාරයේ ස්වභාවය පිලිබඳ පැහැදිලි කමක් ලබා දීමයි. පුද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතාවය මත ආර්ථික ජීවිතය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා රාජ්‍ය බලය ගැනීමට, සමාජවාදී, ජාත්‍යන්තරවාදී සහ අධිරාජ්‍ය විරෝධී දේශපාලන ව්‍යාපාරයකට කමිකරු පංතිය තුල වැඩෙන අරගල සම්බන්ධ කිරීමට සසප සටන් වැදිය යුතුයි. පාලක පන්තියේ යුද්ධයේ සහ සමාජ ප්‍රතිවිප්ලවයේ ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරු පන්තිය සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගයක් පෙරට ගත යුතුය.

75. සසප සහ හජාජාකවේ දේශපාලන ක්‍රියාකාරීත්වය , වර්ධනය වන දේශපාලන සිද්ධි දාමයන්ට වඩ වඩාත් සම්බන්ධිත ය. පසුගිය වසර තුල හජාජාක සහ සසප, අන්තර්ජාල වාරනයට එරෙහි හා ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ සටනේ පෙරමුන ගත්තේය. සංගත ගැති වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ෆැක්ටරි කොමිටි සෑදීම සඳහා කරනු ලැබූ පක්ෂයේ උද්ඝෝෂනය ගුරුවරුන්, මෝටර්රථ කම්හල් කම්කරුවන් සහ අනෙකුත් කම්කරු පන්ති කොටස් තුල වැඩෙන සහයෝගයක් දිනාගෙන තිබේ.

76. විසිවන ශතවර්ශයේ සමාජ විප්ලව සම්බන්ධව අධ්‍යයනයේදී අනාවරනය වන්නේ, බොහෝවිට දේශපාලන පරාජයන් වනාහි විප්ලවවාදී අරගලයන් තුලදී සමාජවාදී පක්ෂය ගත් වැරදි පිලිවෙත්වල ප්‍රතිඵලය බවයි. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී (1936-39) පීඕයූඑම් විසින් පිලිපැදි පිලිවෙත්, වැරදි පිලිවෙත් හේතුවෙන් පරාජයට පත්වීම පිලිබඳව මහත් ඛේදනීය උදාහරනයක් සපයයි. නමුත් පරාජයන්හි තවත් හේතු කාරකයක් වන්නේ විප්ලවවාදී අර්බුදයක ප්‍රවිෂ්ටයක් කල් නොයවා හැඳිනගෙන එයට ප්‍රමානවත් සහ අධිෂ්ඨානවත් ආකාරයකින් ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීමයි. 1923 දී ජර්මානු විප්ලවය පරාජයට පත් වීම වනාහි දේශපාලන ආරමිභකත්වයක එවන් අසාර්ථකත්වයක් පිලිබඳ වඩාත් සුවිශේෂීම උදාහරනය වේ. ගැඹුරුවන අර්බුදයේ වත්මන් තත්වයේදී, පසුව සඳහන් කල ආකාරයේ අත්වැරැද්දක් සිදුකිරීමෙන් වැලකීමට විප්ලවවාදී ව්‍යාපාරය අධිෂ්ඨාන කරගත යුතු ය.

77.මෙම ඉදිරි දර්ශනයෙන් ගලා එන සුවිශේෂී කර්තව්‍යයන් වන්නේ:

අ. මෝටර් රථ කර්මාන්තයේ සහ අනෙක් නිශ්පාදන කම්කරුවන්; තෙල් නිස්සාරන, පතල් හා වානේ කර්මාන්තවල කම්කරුවන්; ගුරුවරුන් සහ අනෙකුත් පොදු-සේවා කම්කරුවන්; සෞඛ්‍ය සේවා කම්කරුවන්; ඇමසන්, යූපීඑස් සහ වෙනත් නැව් ආශ්‍රිත කම්කරුවන්; සහ සේවා කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ ප්‍රධාන කොටස් තුල පක්ෂයේ පදනම වර්ධනය කර ගැනීම. වෘත්තීය සමිති වලින් ස්වාධීනව ෆැක්ටරිවල, වැඩපොලවල සහ ආශ්‍රිත ප්‍රදේශ වල ක්‍රියාකාරී කමිටු සංවිධානය කිරීමේ ආක්‍රමනශීලී උද්ඝෝෂනයක් සමග ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තිය දේශපාලන වශයෙන් බලමුලු ගැන්වීම, සම්බන්ධ කල යුතුය. කම්කරු පන්තියේ ජාත්‍යන්තර පරිමාන වෛෂයික එක්සත් භාවය පිලිබඳ සවිඤ්ඤානකත්වය ඇති කරමින්, එක්සත් ජනපදය තුල කම්කරුවන්ගේ ක්‍රියාකාරකම් අනෙක් රටවල කම්කරුවන්ගේ ක්‍රියාකාරකම් සමග සමායෝජනය කිරීමට සෑම උත්සාහයක්ම ගත යුතුය. කම්කරු පන්තියේ වඩාත් දියුනුම කොටස් පක්ෂයට බඳවා ගැනීම සඳහා පක්ෂයේ සියලු ශාඛාවන් විධිමත් ලෙස ක්‍රියා කල යුතුය.

ආ. සංක්‍රමනික කම්කරුවන් දඩයම් කිරීම සහ ට්‍රම්ප් පරිපාලනයේ ෆැසිස්ට්වාදී ප්‍රතිපත්තිවලට එරෙහිව ව්‍යාපාරයක් වර්ධනය කිරීම. සංක්‍රමනිකයන්ට එරෙහි ප්‍රහාරය සමස්ත කම්කරුවන්ටම එරෙහි ප්‍රහාරයක් බවත්, සංක්‍රමනිකයන්ට එරෙහිව යොදාගනු ලබන පොලිස් රාජ්‍ය විධික්‍රම සෑම ආකාරයේම සමාජ හා දේශපාලන ප්‍රතිවිරෝධයන්ටම එරෙහිව යොදාගනු ඇතිබවටත් වන අවබෝධය හරහා සංක්‍රමනිකයන්ට අඩන්තේට්ටම් කිරීමට එරෙහි සටන කම්කරු පන්තිය තුලට ගෙන ආ යුතුය. මෙම ව්‍යාපාරය ඩිමොක්‍රටික් පක්ෂය සහ එය වටා ඇති සෑම සංවිධානයකටම විරුද්ධව වර්ධනය කල යුතුය.

ඇ. කම්කරු පන්තියේ නව යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීම. හජාජාකවේ “සමාජවාදය සහ යුද්ධයට එරෙහි සටන” යන ප්‍රකාශනයට සහ යුද විරෝධී ව්‍යාපාරයක අත්‍යවශ්‍යම දේශපාලන පදනම් වශයෙන් එහි සටහන් කෙරෙන මූලධර්මවලට සසප තම සහයෝගය නැවතත් අවධාරනය කරයි:

i. යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලු ප්‍රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.

ii. නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාදායකත්වය ද, මිලිටරිවාදයේ සහ යුද්ධයේ මූලික හේතුව වන ආර්ථික ක්‍රමය ද, අවසන් කිරීමේ සටනකින් තොරව යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි.

iii. එබැවින් නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන්ම, මුලුමනින්ම හා පැහැදිලිවම, ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වලට විරුද්ධ හා ඒවායින් ස්වාධීන විය යුතුය.

iv. අන් සියල්ලටත් වඩා, නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතුය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය. ධනවාදයේ නොනවතින යුද්ධයට, කම්කරු පන්තිය නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් පිලිතුරු දිය යුතුය. එහි මූලෝපායික එල්ලය වන්නේ, ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම හා ලෝක සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමයි. ගෝලීය සම්පත්, සහේතුක, සැලසුම්ගත සංවර්ධනයකට එමගින් කොන්දේසි සැකසෙන අතර එම පදනම මත, දුප්පත්කම තුරන්කර මානව සංස්කෘතිය නව ඉහලකට ඔසවා තබනු ඇත.

ඈ. කම්කරු පන්තියේ පුලුල් බලමුලු ගැන්වීමක් හරහා අන්තර්ජාල වාරනයට හා ජුලියන් අසාන්ජ් දඩයම් කිරීමට එරෙහි උද්ඝෝශනය තීව්‍ර කිරීම. හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ශා කිරීමට කම්කරු පන්තිය අවශ්‍යය යන්න පමනක් නොව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කම්කරු පන්තියට තීරනාත්මකය. පන්ති අරගලයේ ආරම්භක විදාරනය පෙන්වා ඇති පරිදි, නිදහස් හා විවෘත අන්තර්ජාලයක්, රජයේ හා වෘත්තීය සමිති වල මෙවලම් වන ධනපති මාධ්‍ය වලින් ස්වාධීනව කම්කරුවන්ට සංවිධානය වීමට හා සන්නිවේදනය කිරීමට අත්‍යවශ්‍ය වේ. ලෝසවෙඅ ට එල්ල කොට ඇති වාරනය අභිබවනය කල යුත්තේ එහි පාඨකත්වය වර්ධනය කිරීම සඳහා හා එහි අන්තර්ගතය වර්ධනය කිරීම සඳහා, සමාජ මාධ්‍ය ජාල ක්‍රමානුකූලව යොදා ගැනීම ඇතුලුව කරනු ලබන ආක්‍රමණශ්‍රීලී උද්ඝෝශනයක් මගිනි.

ඉ. සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය විශ්වවිද්‍යාල හා පාසැල් තුල සහ කම්කරු පන්තික තරුනයන් අතර ගොඩනැගීම සඳහා පලල් හා ක්‍රියාකාරී උත්ඝෝශනයක් දියත් කිරීම. 2018 වසරේ මුල් භාගයේ දී පාසැල් තුල ප්‍රචන්ඩත්වයට එරෙහි මහජන විරෝධතා ඇතුලු තරුන ජනයා දේශපාලනීකරනය වීමේ සුවිශේෂි ප්‍රකාශන දක්නට ලැබුනි. මෙම රැඩිකලීකරනය වීම කම්කරු පන්තිය දෙසට හැරවිය යුතු අතර අසමානතාවයේ, යුද්ධයේ හා ප්‍රචන්ඩත්වයේ මූලයට එනම් ධනපහි ක්‍රමයට එරෙහිව සවිඥ්ඥානිකව යොමු කල යුතුය.

ඊ. මිචිගන්හි 12වන කොන්ග්‍රස් දිස්ත්‍රික්කයේ 2018 මධ්‍යවාර මැතිවරනයේ සසප අපේක්ෂක නයිල්ස් නීමුත්ගේ උද්ඝෝෂන ව්‍යාපාරයට සහාය දීම. මෙම මැතිවරන උද්ඝෝෂනය කම්කරු පන්තියේ අයිතීන් ආරක්ෂා කිරීම, මූල්‍ය කතිපයාධිපත්‍යයේ වත්කමි ජනසතු කිරීම, මහා පරිමාන බැංකු සහ සංගත මහජන පාලනයට යටත් සේවා බවට පත් කිරීම, වැඩබිම් සහ නිශ්පාදන ක්‍රියාවලිය මත කම්කරු පාලනය ස්ථාපිත කිරීම යනාදිය සඳහා කම්කරු ආන්ඩුවක් පිහිටුවීමට සමාජවාදී වැඩපිලිවෙලක් පෙරට ගෙන එයි.

78. තම අතිමහත් දේශපාලන වගකීම් ක්‍රියාවට දැමීම සඳහා, පක්ෂය හා එහි කේඩරය, මාක්ස්වාදී ව්‍යාපාරයේ ඓතිහාසික අත්දැකීම් තුල, සියල්ලටත් වඩා ලියොන් ට්‍රොට්ස්කි 1938 දී පිහිටුවා ලූ හතරවන ජාත්‍යන්තරයේ අසූ වසරක ඉතිහාසය තුල දැඩි ලෙස මුල්බැස ගත යුතු අතර ඒ පිලිබඳව අධ්‍යාපනිකගත කරගත යුතුය. කම්කරු පන්තිය තුල මාක්ස්වාදය සඳහා සටනේ අඛන්ඩතාවය නියෝජනය කරන වෙනත් දේශපාලන ව්‍යාපාරයක් නැත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මගින් මූර්තිමත් කරන අතිමහත් ඉතිහාසය වර්ධනය වන කම්කරු පන්ති ව්‍යාපාරය තුලට ගෙන ආ යුතුය. කම්කරු පන්තියේ වෛෂයික රැඩිකලීකරනය සහ පක්ෂයේ භාවිතාව අතර අන්තර්ඡේදනය කම්කරු පන්තිය ජයග්‍රහනය කිරීමේ, ධනපති ක්‍රමය අහෝසි කිරීමේ සහ ලෝක ආර්ථිකය සමාජවාදී ලෙස පරිවර්තනය කිරීමේ කොන්දේසි නිර්මානය කරනු ඇත.

Share this article: