ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති දුම්රිය කම්කරුවන් පාවාදෙමින් වර්ජනය නතර කරති

Sri Lankan unions sell out railway workers and call off strike

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2018 අගෝස්තු 13

අගෝස්තු 12දා උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා දුම්රිය සේවක ගැටලු සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති කැබිනට් අනුකමිටුවක සාමාජිකයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරු ව, දුම්රිය වෘත්තීය සමිති නායකයෝ සිය අඛන්ඩ වැඩ වර්ජනය ඒකමතික ව පාවාදුන් හ. වර්ජනයේ කිසිදු ඉල්ලීමක් ඉටු නො වුනු අතර, පාවාදීම ගැන සාකච්ඡා කිරීම සඳහා කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක් කැඳවුම් කලේ ද නැත.

කොලඹ ආන්ඩුවේ සමාජ කප්පාදු පියවරවලට හා වියදම් කප්පාදු කිරීමේ පුද්ගලීකරන න්‍යාය පත්‍රයට අභියෝග කරමින් දුම්රිය වැඩ වර්ජනය කම්කරු පන්තියේ සෙසු කොටස් ද ආකර්ශනය කර ගනු ඇතැයි ආන්ඩුව මෙන් ම තැතිගෙන සිටි වෘත්තීය සමිති නායකයන් සිටියේ වර්ජනය අවසන් කිරීමේ වියරුවෙන් ය.

හදිසියේ කැඳවූ ඉරිදා රැස්වීම, ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු දිස්ත්‍රික්කය වන පොලොන්නරුවේ පිහිටි ඔහුගේ පුද්ගලික නිවසේ දී පැවැත්විනි.

රැස්වීමෙන් අනතුරු ව සිරිසේනගේ නිවසින් පිටත සිට ජනමාධ්‍යවේදීන්ට කතා කරමින් දුම්රිය සමිති නායකයෝ සිය සුපුරුදු පිලිකුල් කටයුතු කියාපෑම් පුනරුච්ඡාරනය කල හ: “ජනාධිපති තුමා අපේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට පොරොන්දු වුනා.” දුම්රිය කම්කරුවන්ගේ වර්ජන ක්‍රියාමාර්ග නවතා දැමීම සඳහා මෙම කියාපෑම් පසුගිය වසර කිහිපය තුල අවම වසයෙන් හය හත් වතාවක් වත් භාවිතා කරනු ලැබ ඇත.

එසේවුවත්, ආන්ඩුවේ ඇමතියෙක් හා කැබිනට් අනුකමිටුවේ ප්‍රකාශක සරත් අමුනුගම, වෘත්තීය සමිති එකඟ වුනු යෝජනා විස්තර කලේ ය. වර්ජනය පාවාදීමේ ගනුදෙනුවට පහත සඳහන් කොන්දේසි ඇතුලත් වේ.

1) දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ සංවෘත සේවාවන් බවට පරිවර්තනය කරන අතර, ඒ පිලිබඳ සංයුක්ත යෝජනා ඊලඟ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇත.

2) දෙපාර්ශවය අතර ඊලඟ සාකච්ඡාව පවත්වන තෙක් නව බඳවා ගැනීම් හෝ විභාග පැවැත්වීම් නො කරනු ඇත.

3) දුම්රිය නිලධාරීන්ගේ පරිපාලන හා වැටුප් ගැටලු අදාල වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමග සාකච්ඡා කර විසඳුම් සෙවීමට නියමිත ය.

4) වර්ජනයට සහභාගි වූ වෘත්තීය සමිති නිලධාරීන්ට එරෙහි ව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගැනෙනු ඇත.

5) වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වැඩ වර්ජනය නැවැත්විය යුතු ය.

මෙම කොන්දේසි මතුපිටින් කියවන්නෙකුට වුව ද පාවාදීමේ නින්දිත ස්වභාවය පැහැදිලි වේ.

පලමු කොන්දේසිය, දුම්රිය සේවාව පුද්ගලීකරනය කිරීමේ ක්‍රියාවලියේ ආරම්භක පියවරක් ලෙස දැනට මත් කැබිනට් අනුකමිටුව විසින් නිර්දේශ කර ඇති එකකි.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ ආරම්භ වුනු තැන් පටන් දුම්රිය දෙපාර්තමේන්තුව පැවතී ඇත්තේ ආන්ඩුවට අයිති ව්‍යවසායක් ලෙස ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කර ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව පුද්ගලීකරනය කිරීම, දුම්රිය කම්කරුවන්ගේ අනවරත හා බලගතු විරෝධයට ලක් ව ඇත.

දෙවන කොන්දේසිය, වැඩ පරිමාව අඩු කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ සියලු පුරප්පාඩු පුරවන ලෙස කම්කරුවන් කරන ඉල්ලීමට එරෙහි ව යන්නකි. දෙපාර්තමේන්තුව තුල සේවක අතිරික්තයක් පවතින බවත්, එය පුද්ගලික අංශයේ මිල දී ගන්නන් අධෛර්යයමත් කරනු ඇති බවත් කියමින් බලයේ පැවති ශ්‍රී ලංකා ආන්ඩු හා දුම්රිය කලමනාකාරීත්වය මෙම රැකියා පුරප්පාඩු පිරවීම ප්‍රතික්ෂේප කර තිබේ.

තුන්වන කොන්දේසියේ ඉලක්කය වන්නේ, පසුගිය සතියේ වර්ජනය තුල නිරත වුනු ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය වන දුම්රිය වෘත්තීය සමිති සන්ධානය (ආර්ටීයූඒ) බිඳ දැමීම යි. ඊලඟ සාකච්ඡාවල දී දුම්රිය එන්ජින් රියදුරන්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකයන් හා සුපරීක්ෂකයන් වෙන් කෙරෙනු ඇත.

හතරවන කොන්දේසිය වන වෘත්තීය සමිති නිලධාරීන්ට විරුද්ධ ව විනය පියවර නො ගැනීම, කම්කරුවන් විසින් බොහෝ කලකට ඉහත දිනාගත් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි.

ජනාධිපති සිරිසේන “පොරොන්දු වූ විසඳුමක් ” ලෙස වෘත්තීය සමිති විසින් යලි සකසා දුම්රිය කම්කරුවන් මත දැන් පටවනු ලබන මෙම කොන්දේසි වඩා අවාසිදායක තත්වයක් කරා පසුබැසීමේ ඒවා ය.

වර්ජනය ආරම්භයේ පටන් ම, එය පරාජය කිරීමටත් දුම්රිය කම්කරුවන්ගේ කිසිදු ඉල්ලීමක් නොදීමටත් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව අධිෂ්ඨානවත් ව සිටි බව පැහැදිලි විය.

“වර්ජනවලට බියෙන් පඩි වැඩි කල නො හැකි” බව මුදල් ඇමති මංගල සමරවීර කැබිනට් රැස්වීමක් දී කී අතර, තරුන කටයුතු හා දක්ෂින සංවර්ධන ඇමති සාගල රත්නායක වර්ජනය “ත්‍රස්තවාදී ක්‍රියාවක්” යයි හෙලා දැක්කේ ය.

වර්ජනය “බෙදුම්වාදී දෙමල ඊලාම් කොටි සංවිධානය තලා දැම්මා මෙන් පරාජය කරන” බවත්, “මෙම අජූත වෘත්තීය සමිති ත්‍රස්තවාදය පරාජය කිරීමට අපි සෑම පියවරක් ම ගන්නවා” යයි රත්නායක කීවේ ය.

“වර්ජන මගින් ආන්ඩුවට රිදවන්නට” කම්කරුවන් හිතන්නේ නම්, “එය මිථ්‍යාවක්” බව ඒ අතරේ සිරිසේන ප්‍රකාශ කලේ ය.

දුම්රිය ධාවනය සඳහා සියලු විශ්‍රාමික දුම්රිය කම්කරුවන් නැවත සේවයට කැඳවන ලෙස දුම්රිය බලධාරීන්ට උපදෙස් ලැබුනු අතර, ශ්‍රී ලංකා ගමනා ගමන මන්ඩලයෙන් මෙහෙයවූ අතිරේක ප්‍රවාහන සේවා සඳහා මිලිටරියෙන් ලබාදුන් රියදුරන් හා වාහන සම්පාදනය කෙරුනි. ආන්ඩුවේ හා පුද්ගලික අංශයේ මාධ්‍ය ඒකකයන්, වර්ජනයට එරෙහි ව මහජනයා උසිගැන්වීම පිනිස විශාල ප්‍රකෝපකාරී උද්ඝෝෂනයක් මුදාහැරීමට යොමු කරනු ලැබිනි.

වර්ජනය වැලැක්වීමට සෑම දෙයක් ම කල වෘත්තීය සමිති, එය වැලක්විය නො හැකි වූ තැන ලද පලමු අවස්ථාවේ ම වර්ජනය පාවාදුන්නෝ ය. මෙම න්‍යාය පත්‍රය හුදෙක් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ බංකොලොත් හා කම්කරු පන්ති-විරෝධී ස්වභාවය පමනක් නො ව, වෘත්තීය සමිති විසින් ජාතික ව හා ජාත්‍යන්තර ව ඉටුකරන ප්‍රතිගාමී භූමිකාව පිලිබඳ ප්‍රකාශනයක් ද වේ.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ වර්ජන බිඳීමේ හා පන්ති යුද්ධයේ අනෙකුත් ක්‍රියාවන්ට මුහුන දෙමින් සිටිය දී පවා තමන් මෙන් ම පිරිහෙන සමාජ කොන්දේසිවලට ගොදුරු කෙරී ඇති ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ සෙසු කොටස් පසෙක තිබියේවා, අනෙකුත් දුම්රිය කම්කරුවන් බලමුලුගැන්වීමට වත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය කිසිවක් නොකලෙහිය.

කම්කරුවන්ගේ වැටුප්, රැකියා හා සමාජ සුබසාධන සේවාවන් මත ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ට පිටුපසින් තිබෙන්නේ, ලෝක ධනේශ්වර පද්ධතියේ ගැඹුරු වන ආර්ථික හා දේශපාලන අර්බුදය සහ ශ්‍රී ලංකාව තුල එහි තියුනු ප්‍රකාශනය යි.

අපනයන ආදායම් බිඳ වැටීමේ හා ඩොලර් බිලියන 50 ක යෝධ විදේශ නයක් සහිත වැඩෙන මූල්‍ය අර්බුදයකට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මුහුන දී ඇත.

එලඹෙන වසර හතර පුරා වර්තමාන නය වාරික හා පොලී ආවරනය කරගැනීමට වසරකට සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 3.9ක් ශ්‍රී ලංකාව ගෙවිය යුතු බව ජූලි මාසයේ දී මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හෙලිදරවු කලේ ය. ඔහු කී පරිදි ඒ සඳහා වාර්ෂික ව ජාත්‍යන්තර වෙලඳපොලෙන් අවම වසයෙන් ඩොලර් බිලියන 2.5ක් නයට ගත යුතු බව යි.

“උපාමාරු දැමීමට අපිට තියෙන්නේ ඉතාමත් ම කුඩා ඉඩකඩක්. අපි මූල්‍ය විනය අහිමි කරගෙන ජාමූඅ වැඩපිලිවෙල ඉටු නො කලහොත් දර්ශක ඒජන්සි අපේ දර්ශකයන් පහත දමාවි” යයි කුමාරස්වාමි කීවේ ය.

මේ වසරේ දී චීනයෙන් තවත් ඩොලර් බිලියන 1.5ක් ද ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ද නයට ගැනීමට ආන්ඩුව අපේක්ෂා කරයි.

අගෝස්තු 12දා සන්ඬේ ටයිම්ස් කතුවැකියක් මෙසේ කීවේ ය: “ආන්ඩුව පැහැදිලි ව ම මූල්‍ය අර්බුදයකට මුහුන දෙමින් සිටී. එවැනි තත්ත්වයක් යටතේ, ඉහල වැටුප් ඉල්ලීම සාධාරන නො වේ. හුදෙක් එක්සත් ජනපද ඩොලරයට එරෙහි ව රුපියලේ අගය පවත්වාගෙන යාමේ දී රටෙහි විදේශ වත්කම් ක්‍රමයෙන් පහත වැටෙමින් ඇත”.

මූල්‍ය ප්‍රාග්ධනය ඉල්ලා සිටින්නේ අර්බුදයේ සමස්ත බර වැඩකරන ජනයා මත පටවන ලෙස යි. ලෝකයේ අනෙකුත් ධනේශ්වර ආන්ඩු මෙන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ද මෙම ඉල්ලීම් ඉටුකිරීමට සැදී පැහැදී සිටී. කම්කරු පන්තියේ දේශපාලන දිශානතිය පදනම් විය යුත්තේ මෙම වෛෂයික යථාර්ථය හා නව දේශපාලන ක්‍රියාමාර්ගයක් මත ය.

දුම්රිය කම්කරුවන්ගේ වර්ජනය පිලිබඳ ව අගෝස්තු 11දා නිකුත් කල සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය සහ වැඩපිලිවෙල ඉදිරිපත් කලේ එම පදනම් මතයි. සමිතිවල පාවාදීම මගින් එහි නිරවද්‍යතාව සනාථ වී ඇත. එහිදී මෙලෙස අවධාරනය කෙරුනි.

“සියලු දුම්රිය සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම සඳහා සාමාජිකත්වයේ ක්‍රියාකාරී කමිටු ගොඩනැඟීමට ද රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ වතුකරයේ හා පීඩිත ජනතාවගේ ක්‍රියාශීලී කාර්මික සහ දේශපාලන සහාය සඳහා කැඳවුම් කිරීමට ද දුම්රිය කම්කරුවන් මූලිකත්වය ගත යුතුය.

“දුම්රිය කම්කරුවන් නිරතව සිටින්නේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවටත් ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ අන් සියලු කොටස්වලටත් එරෙහි දේශපාලන අරගලයකය. එයට පෙරට යා හැකි වන්නේ, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදී සමූහාන්ඩු පිහිටුවීම පිලිබඳ පුලුල් ඉදිරිදර්ශනයක කොටසක් ලෙස, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් ව පමනි.

“සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාමාර්ගය මෙයයි. එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාවයි. සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙමින් මෙම අරගලය පෙරට ගෙනයන ලෙස සියලු ජාතීන්ට අයත් පන්ති විඥානයෙන් යුත් කම්කරුවන්, ගම්බද දුගීන්, තරුනයින් හා සිසුන්ගෙන් අපි ඉල්ලා සිටිමු”.

Share this article: