ශ්‍රී ලංකාව: වැඩවර්ජිත දුම්රිය කම්කරුවන්ට දේශපාලන ඉදිරිදර්ශනයක් අවශ්‍යය

Striking Sri Lankan railway workers need a political perspective

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රීලංකාව), 2018 අගෝස්තු 11

කලක් තිස්සේ පවතින වැටුප් වැඩිවීම් හා වැටුප් විෂමතා වැනි ප්‍රශ්න මුල්කරගෙන 8දා ඇරඹු දුම්රිය සේවක වර්ජනය තවමත් ක්‍රියාත්මකය. මුදල් ඇමති මංගල සමරවීර විසින් සියලු විරෝධතා නතර කල යුතු බවට දුන් නියෝග වර්ජකයින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ආන්ඩුව හා දුම්රිය බලධාරීන් ගමන් වාර කිහිපයක් පවත්වා මුහුන බේරාගැනීමට දරන ලද උත්සාහය ව්‍යවර්තවී තිබේ.

වර්ජනය කැඳවනු ලැබුවේ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විසිනි. එයට දෛනික දුම්රිය සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය සේවකයින් සම්බන්ධ සමිති ඇතුලත්ය. ඊට දුම්රිය රියැදුරන්, දුම්රිය ගාඩ්වරු, ස්ථානාධිපතීන් හා නිරීක්ෂන කලමනාකරුවන් සම්බන්ධය.

ආන්ඩුවේ බොරු පොරොන්දු මත යලිත් විරෝධතා අත්හැර දැමීමට විරුද්ධත්වය පල කරන අධිෂ්ඨානවත් සාමාජිකයින්ගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් සමිති සන්ධානය වර්ජනය කැඳවන ලදී.

සමිති සන්ධානය ජූලි 30-31 දෙදිනක වර්ජනයක් කැඳවුව ද නායකයින් එය අන්තිම මොහොතේ අතහැර දැමුවේ, ආන්ඩුව සතියක් තුල කැබිනට් අනුකාරක සභාවක යෝජනා පරිදි කම්කරුවන්ගේ ඉල්ලීම් ලබාදෙන බවට ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා පොරොන්දුවී ඇති බව පවසමිනි.

කෙසේ වෙතත් 30දා පැවති කැබිනට් රැස්වීමේදී එම යෝජනා වලට මුදල් ඇමති සමරවීර දැඩි විරෝධය පල කලේය. දුම්රිය කම්කරුවන්ගේ කුමන හෝ වැටුප් වැඩිකිරීමක් රාජ්‍ය සේවයේ අනෙකුත් කම්කරුවන්ගේ ද වැටුප් ඉල්ලීම් පෙලකට තුඩුදෙනු ඇති බව ඔහු පැවසීය.

“කම්කරුවන් වැඩ වර්ජනය කරන බවට තර්ජනය කරන හැම විටෙකම වැටුප් වැඩිකල නොහැකි” යයි පැවසූ ඔහු කම්කරුවන්ට මුහුන දෙන කල ආන්ඩුවට “පිටකොන්දක්” නැතිවන බවට දොස් නැඟීය. මෙය එකම ඇමතියෙකුගේ හෝ වත්මන් පාලනයේ අදහස පමනක් නොවේ, එය මුලු පාලක පන්තියේම දෘෂ්ටියයි.

වර්ජනය ආරම්භවූ පසුව සමරවීර සමිති සමඟ සවස 6ට පැවැත්වීමට යොදාගෙන තිබුන සාකච්ඡාව අවලංගු කලේය. ඉන් ඇඟවුම් කලේ කිසිදු සම්මුතියකට ඉඩක් නැති බවය.

ඒ සමඟම ඊලඟ දිනයේ උදෑසන සියලු විශ්‍රාමික දුම්රිය රියැදුරන්ට සේවයට වාර්තා කරන ලෙස නිවේදනය කෙරුනි. ශ්‍රී ලංගම හා ත්‍රිවිධ හමුදාව අතර මගී ප්‍රවාහනය සම්බන්ධීකරනය සඳහා හොරිකඩ ක්‍රමයක් පිහිටුවීමට කටයුතු කිරීම පිලිබඳව ද නිවේදන නිකුත් විය. මේ අතර 10දා මාධ්‍ය වාර්තා කලේ, වැඩවර්ජනයට හොරිකඩකම් කිරීම සඳහා කිසිදු දුම්රිය විශ්‍රාමිකයෙකු ඉදිරිපත්ව නැති බවය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ හවුල් ආන්ඩුව, පූර්ව දැනුම්දීමකින් තොරව වැඩවර්ජනය කිරීම ගැන කම්කරුවන් හෙලාදකින තුච්ඡ මාධ්‍ය ප්‍රචාරනයක් දියත් කලේය. දහවල් වැඩවර්ජනය ආරම්භ වීමෙන් පසුව ගෙවල් දෙරවල් බලා ගමන් ගන්නා අනෙකුත් කම්කරුවන් උසිගැන්වීම මෙහි අරමුන විය. එහෙත් අතරමංව සිටි මඟීන් බොහෝකොටම වැඩවර්ජකයින්ට සහාය දක්වන සම්මුඛ සාකච්ඡා මාධ්‍යවල වාර්තා විය.

පසුගිය වසර පුරාම සමිති සන්ධානයට එම ප්‍රශ්නම මුල්කරගෙන වැඩවර්ජන ගනනාවක් කැඳවුම් කිරීමට බල කෙරුන ද, බොරු නිල පොරොන්දු හුවා දක්වමින් ඒ සියල්ල අත්හිටුවනු ලැබින.

පසුගිය දෙසැම්බරයේදී සන්ධානය, නොවිසඳී ඇති වැටුප් ඉල්ලීම් විසඳීම පිනිස කැබිනට් අනුකාරක සභාවක් පත්කරනු ඇතැයි කියා සිටිමින් ජාතික වැඩවර්ජනය නතරකර දැමීය. එය තවත් බොරු පොරොන්දුවක් බව සනාථ විය.

පසුගිය මැයි මාසයේදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න, යෝජනා අනුමත කල බව කියා ඇතැයි රජයට අයත් දිණමින පත්‍රය වාර්තා කලේය. මෙම බොරුව පිලිගනිමින් සමිති නායකයෝ, මැයි 8-9 පැවැත්වීමට නියමිත වර්ජනය කල් දැමූහ.

සන්ධාන නිලධාරීන් දැන් මංමුලාසහගත ලෙස උත්සාහ කරන්නේ, කැබිනට්ටුව වැටුප් ප්‍රශ්නය විසඳීමට එකඟවී ඇති නමුත් මුදල් ඇමතිගේ විරුද්ධත්වය නිසා ඇනහිට තිබෙනවාය යන බොරුව මඟින්, ආන්ඩුව සමඟ අතිව තිබෙන පැතිර යන දේශපාලන ගැටුම වෙනතකට හැරවීමටය.

දුම්රිය කම්කරුවන් හා කම්කරු පන්තියේ අවශේෂ කොටස්වල නැඟී එන සටන්කාමිත්වය හමුවේ යලි වතාවක් සන්ධානය, ප්‍රශ්නය විසඳීමට මැදිහත් වන ලෙස සිරිසේනට නිරර්ථක ආයාචනා ඉදිරිපත් කරති. සිරිසේන තමා සිටින්නේ කොතැනකදැයි ඉතා පැහැදිලිව පෙන්වා ඇත: පසුගිය දෙසැම්බරයේදී ඔහු, දුම්රිය කම්කරුවන්ගේ වැඩවර්ජනය නීති විරෝධී කරමින් අත්‍යවශ්‍ය සේවා නියෝගය පැනවීය.

දුම්රිය කම්කරුවන් කෙරේ අනුකම්පා සහගත ආකල්පයක් දරන බවට ප්‍රවාහන ඇමති හා කැබිනට් ප්‍රකාශක කරන රඟපෑම පරිපූර්න ප්‍රෝඩාවකි. දුම්රිය කම්කරුවන්ගේ වැඩවර්ජනය, ආන්ඩුවේ මහ ව්‍යාපාරික ගැති පිලිවෙත් වලටත් සිය සමාජ තත්වයන්ටත්, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ටත් එකසේ විරුද්ධ කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල ද සහයෝගය දිනාගනු ඇති බවට එම පාලක පන්තියම දක්වන බිය පෙන්නුම් කරන උපාමාරුය මේ.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, පොදු ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය හා අනෙකුත් අත්‍යවශ්‍ය සමාජ සේවාවන්ගේ වියදම් කපාහැරීම මඟින් අයවැය හිඟය අඩුකල යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කර ඇති නියෝගයන්ට සිය පූර්න කැපවීම ගැන පොරොන්දු දී ඇත. රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනයට සූදානම් වීමේ පිලිවෙතට අනුව දුම්රිය අර්ධ රාජ්‍ය ව්‍යවසායක් බවට පත්කිරීම ද මීට ඇතුලත්ය. සැබවින්ම මේ සැලැස්ම, කම්කරු වැටුප් හා වැටුප් විෂමතා සම්බන්ධ කම්කරුවන්ගේ ඉල්ලීම් විසඳීමේ අභිලාෂය පෙන්නුම් කල කැබිනට් අනු කාරක සභාවේ යෝජනාවන්හි කොටසකි.

වෘත්තීය සමිති, මෙම රැකියා වනසන ක්‍රියාමාර්ගයට විරුද්ධ දුම්රිය සේවකයින්ගේ හෝ අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ ඒකාබද්ධ අරගලයකට මූලිකවම සතුරුය. මක්නිසා ද යත් එය වත්මන් ආන්ඩුවට පමනක් නොව ධනේශ්වර ක්‍රමයටම අභියෝගයක් වන බැවිනි.

දුම්රිය සේවකයින් හා කම්කරු පන්තියේ අවශේෂ කොටස් බෙදීමට සමිති ක්‍රියාකරයි. ඔවුහු, දුම්රිය රියැදුරන්, සථානාධිපතිවරුන්, ගාඩ්වරුන් හා නිරීක්ෂන නිලධාරීන්, කම්කරුවන් හා තාක්ෂනික සහායකවරුන් වැනි අවශේෂ කම්කරුවන්ගෙන් බෙදා වෙන්කරති. දුම්රියේ පමනක් එකිනෙකට වෙනස් සමිති සීයකට වැඩි ගනක් ඇත.

විශ්වවිද්‍යාල අනධ්‍යන, ජල සම්පාදන, තැපැල්, විදුලිබල කම්කරුවන්ගේ ද සිසුන්ගේ හා ගුරුවරුන්ගේ ද රැකියා විරහිත තරුනයින්ගේ හා ගම්බද පීඩිත ජනතාවගේ මෑත හටගත් විරෝධතා පෙන්නුම් කරන පරිදි, ආන්ඩුවට එරෙහි කම්කරු පන්තියේ නැඟී එන ව්‍යාපාරයක කොටසකි, දුම්රිය කම්කරුවන්ගේ වර්ජනය.

මෙය රටක් රටක් පාසා ධනපති ආන්ඩුවල කප්පාදු පියවරයන්ට එරෙහිව මතුවෙමින් ඇති අරගලයන්ගේම නොවෙන්කල හැකි කොටසකි. ඇමරිකාවේ ගුරුවරුන්ගේ ද ජර්මානු තාක්ෂනික කම්කරුවන්ගේ ද ප්‍රන්සයේ දුම්රිය කම්කරුවන්ගේ ද බ්‍රසීලයේ ට්‍රක් රථ රියැදුරන්ගේ ද නවසීලන්ත හෙද හා සෞඛ්‍ය කම්කරුවන්ගේ ද අරගල මෑත නිදසුන්ය. මේ ලැයිස්තුවට, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුවට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ගම්බද ගොවීන්ගේ හා මිලියන සංඛ්‍යාත ප්‍රවාහන කම්කරුවන්ගේ අරගල ද ඇතුල් කල යුතුය.

සෑම රටකම කම්කරුවන් මුහුනපාන ප්‍රධාන බාධකය වෘත්තීය සමිතිය. ඒවා ක්‍රියාත්මක වන්නේ, ධනපති පාලක පැලැන්තියේ ද ලාභ පද්ධතියේ ද අවසාන ආරක්ෂක වැටක් ලෙසය. සමිති වලට ගැටගැසී සිටිනතාක් කල්, කම්කරු පන්තියට රැකියා, සමාජ කොන්දේසි හා මූලික අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාර පරාජය කල නොහේ.

වැඩවර්ජිත දුම්රිය කම්කරුවන් ද කම්කරු පන්තියේ අවශේෂ කොටස් ද නොවැලැක්විය හැකි පරිදිම මුහුන දෙන දේශපාලන අභියෝගය, වෘත්තීය සමිති වලින් කැඩී වෙන්වෙමින්, ගම්බද පීඩිතයන්ගේ හා තරුනයින්ගේ සහාය ගොනුකරගන්නා කම්කරු පන්තියේ නායකත්වය යටතේ ස්වාධීන සංවිධාන පිහිටුවාගැනීමය.

දුම්රිය කම්කරුවන්, ඒකාබද්ධ දුම්රිය කම්කරු අරගලයක් සංවිධානය කිරීම සඳහා සාමාජිකත්වයේ ක්‍රියාකාරී කමිටු ගොඩනැඟීමට මූලිකත්වය ගත යුතුය. එසේම රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංහයේ හා වතුකරයේ ද පීඩිත ජනතාවගේ ද දේශපාලන හා ක්‍රියාත්මක වෘත්තීය සහාය සඳහා කැඳවුම් කිරීමට ඔවුන් ආරම්භකත්වය ගත යුතුය.

දුම්රිය කම්කරුවන් නිරතව සිටින්නේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවටත් පාලක පන්තියේ අන් සියලු කොටස්වලටත් එරෙහි දේශපාලන අරගලයකය. එයට පෙරට යා හැකි වන්නේ, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදී සමූහාන්ඩු පිහිටුවීම පිලිබඳ පුලුල් ඉදිරිදර්ශනයක කොටසක් ලෙස, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරු ගොවි ආන්ඩුවක් පිහිටුවීමේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත පදනම්ව පමනි.

සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාමාර්ගය මෙයයි. එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාවයි. සියලු ජාතීන්ට අයත් පන්ති විඥානයෙන් යුත් කම්කරුවන්, ග්‍රාමීය පීඩිතයින්, තරුනයින් හා සිසුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, සසපයට බැඳෙමින් මේ අරගලය පෙරට ගෙනයන ලෙසයි.

අපි පහත සඳහන් ලිපි ද කියවන මෙන් ඉල්ලමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආන්ඩුවට කප්පාදු වැඩපිලිවෙල කඩිනම් කරන ලෙස අවධාරනය කරයි (2018 ජනවාරි 28)

ලංවිම අරගලයෙන් උගතයුතු පාඩම් (2017 සැප්තැම්බර් 25)

ඛනිජ තෙල් සංස්ථා වැඩ වර්ජනය පාවාදීමෙන් පසු ශ්‍රී ලංකාවේ කම්කරුවන් සඳහා ඉදිරි මාවත (2017 අගෝස්තු 12)

Share this article: