අධ්‍යාපන කප්පාදුවට එරෙහි සිසු උද්ඝෝෂනවලට වලට විරුද්ධව රාජ්‍ය මර්දනය තීව්‍ර කරයි

නවීන් දේවගේ විසිනි, 2018 අගෝස්තු 8

අඛන්ඩව සිදු කෙරෙන ආන්ඩුවේ නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනයට එරෙහිව රටපුරා විශ්ව විද්‍යාල කිහිපයකම මේ වන විට ශිෂ්‍ය විරෝධතා පැන නැගී ඇත. සත්‍යග්‍රහ හා වාඩිලා ගැනීම් ඇතුලු පසුගිය මාසයේ මුල පැන නැගි ශිෂ්‍ය විරෝධතාවලින් සමහරක් මේ වන විටත් ක්‍රියාත්මකව පවතී. පොලීසිය යොදා පහරදීමෙන් සහ නෛතික බලය යෙදීමෙන් ශිෂ්‍ය විරෝධතා මැඩීම සඳහා රුදුරු පියවර ගනිමින් සිටින්නේ එම තතු තුල ය.

පසුගිය සඳුදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී විරෝධතාවල යෙදෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් “රස්තියාදුකාරයන්” හා “පාතාලකාරයන්” ලෙස හෙලා ආන්ඩුවේ නව උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ ඔවුන් සමග සාකච්ඡා නැති බව ප්‍රකාශ කලේ ය.

එමෙන් ම 1998 සිට නිද්‍රාශීලීව පැවති නවකවද පනත දැන් පූර්නව බලාත්මක කර ඇති බව සඳහන් කල ඔහු ඒ යටතේ චෝදනා ලද්දෙකුට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයෙකුට වුව ද බලයක් නැති බවත්, නවකවදය සම්බන්ධයෙන් වරදකරුවෙකු වන අයෙකු වසර 10 දක්වා සිර ගත කිරීමේ බලය පවතින බව ද සඳහන් කලේ ය.

පනත දැඩිව ක්‍රියාවට දමන බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිකුත් කල නිවේදනයක දෙමව්පියන්ට තම දරුවන් ආරක්ෂා කර ගන්නා ලෙස අනතුරු ඇඟවීමක් ද කර ඇත.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වන නවකවදය දඩමීමා කර ගනිමින් ආන්ඩුව මෙම මෘග පනත ක්‍රියාවට දමන්නේ විශ්ව විද්‍යාල තුල විනයේ රැකීමේ නමින් ශිෂ්‍යන් ට එරෙහි රාජ්‍ය මර්දනය තීව්‍ර කිරීමේ කොටසක් ලෙසය.

*රුපියල් 1500 ක සොච්චමක් වන මහපොල ශිෂ්‍යාධාරය වැඩිකිරීම, පාඨමාලා සඳහා ඇතුලත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව කප්පාදු නොකිරීම, නේවාසිකාගාර හා දේශනාගාර පහසුකම් වැඩිදියුනු කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මත ජූලි 01 දා උසස් ජාතික ඩිප්ලෝමා (එච්එන්ඩී) ශිෂ්‍යයන් කොලඹ දී පැවැත් වූ විරෝධතා උද්ඝෝෂනයට පොලීසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කොට විසුරුවා හැරියේ ය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් කිහිප දෙනෙක් රෝහල් ගත කෙරුනි.

*දේශනවලට පැමිනීමේ සියට 80 ක ප්‍රතිශතයක් අනිවාර්ය කිරීම ට විරුද්ධව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂයයෝ සති තුනකට පෙරාතුව විශ්ව විද්‍යාලයේ සනාථන මන්දීර පරිශ්‍රය වාඩිලා ගත්හ. මෙම නියෝගය නිසා ශිෂ්‍යන් බොහෝදෙනෙකුට විභාවලට පෙනීසිටීමේ අවස්ථාව අහිමි කෙරෙයි.

ශිෂ්‍යන්ට දේශනවලට සම්බන්ධවීමට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මහපොල ශිෂ්‍යාධාරය ඔවුන්ගේ මූලික අවශ්‍යතාවටවත් ප්‍රමානවත් නොවීම හා ජීවන වියදම ඉහල යන කොන්දේසි යටතේ සමහරවිට තම නිවෙස් වලට ද යම් හෝ මූල්‍ය සහයෝගයක් දීමට බල කෙරී ඇති හෙයින් ඔවුන්ට විවිධ අර්ධකාලීන රැකියාවල නිරත වීමට සිදුවීමයි. මෙය හැම විශ්ව විද්‍යාලයකම ශිෂ්‍යයන් බහුතරයක් පොදුවේ මුහුන දෙන ප්‍රශ්නයකි.

ශිෂ්‍යන්ගේ විරෝධාවය බිඳීම සඳහා ජුලි 27 වෙනිදා සිට දෙමසකට විශ්ව විද්‍යාලය වසා දැමු බලධාරීන් විශ්ව විද්‍යාල භූමිය ශිෂ්‍යන්ට තහනම් කලාපයක් කර ඇත. තවදුරටත් රැදී සිටින්නන් පොලීසිය යොදවා එලියට ඇද දමන බවට ද බලධාරීන් සිසුන්ට තර්ජනය කර ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ ජූලි 17 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඉදිරිපිටට විරෝධතා පෙලපාලියකින් පැමිනියහ. පන්ති තහනම් ඉවත් කිරීම, අධ්‍යයන හා සුභසාධන ගැටලුවලට විසඳුම් ලබා ගැනීම, තාක්ෂනික විද්‍යා පීඨය ඉදි කිරීම කඩිනම් කිරීම ඔවුන්ගේ ඉල්ලීම් විය. ප්‍රතිපාදන කොමිෂමේ ගේට්ටුව අසලට පැමිනි නිලධාරියෙක් “සභාපතිතුමා මෙහේ කිසි ම සාකච්ඡාවක් නැත” යි පවසා ඔවුන් ආපසු හරවා යැවී ය.

*අග්නිදිග විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අසාධාරන පන්ති තහනම, ශිෂ්‍යභාවය අහෝසි කිරීම ඇතුලු ශිෂ්‍ය මර්දන ක්‍රියා නතර කරන ලෙස ඉල්ලා ජුලි 18 වෙනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට විරෝධතා උද්ඝෝෂනයක නිරතවූ හ. නවකවද පනත යටතේ විශ්වවිද්‍යාල පරිපාලනය ජුලි 14 වෙනිදා ශිෂ්‍යයන් 21 දෙනෙකුගේ පන්ති තහනම් කලේ ය. ජුලි 16 වෙනිදා විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අනුදැනුම ඇතිව පොලු මුගුරු සහ ක්‍රිකට් පිතිවලින් සන්නද්ධ විනයාරක්ෂකයන්, ආරක්ෂක නිලධාරීන් සහ සිවිල් ඇඳුමින් සැරසී ගත් මැරයන් ශිෂ්‍ය නේවාසිකාගාර වලට කඩා වැදී ඔවුන් ඇත තිබු නම් ලැයිස්තුවක ශිෂ්‍යයන් සොයා ඇත.

සමාජ වෙබ් අඩවිවල ප්‍රචාරය වන වීඩියෝ පටයක විශ්ව විද්‍යාල බලධාරීන් මෙහෙය වූ මෙම කන්ඩායමේ අමන සහ මැර හැසිරම් දැක ගත හැකිය.

ආරක්ෂක නිලධාරියකු ශිෂ්‍යයන්ගේ නම් ලයිස්තුවක් කියවමින් ඔවුන්ට එලියට එන මෙන් අන කරද්දී, අනෙකුන් කාමරයෙන් කාමරයට එබෙමින් ශිෂ්‍යයන් සොයයි.. එක් කාමරයක දී තම පෞද්ගලිකත්වයට හානි කර අයුරින් බලාත්කාරයෙන් කාමරවලට කඩා පැනීමට ශිෂ්‍යයෙක් අප්‍රසාදය පල කරයි. මෙලෙස කඩා පැනීම තම අයිතියක් බව පවසන විනයාරක්ෂකයා එම සිසුවාට කාමරයෙන් එලියට එන්නැයි පවසන්නේ තර්ජනයක විලාසයෙනි. එහිදී තවත් නිලධාරියෙක් මෙලෙස නේවාසිකාගාර සෝදිසියේ යෙදෙන්නේ කලක සිට බව කියයි. තවත් නිලධාරියෙක් තම ජංගම දුරකථනයෙන් විරෝධය පාන සිසුන් වීඩියෝ හෝ ඡායාරූගත කරද්දී තවත් අයෙක් ඔවුන් ගේ විශ්ව විද්‍යාල හැඳුනුම්පත් ඉදිරිපත් කරන ලෙස අන කරයි. ඔහු ඒවා පරීක්ෂා කර නැවත භාර දෙනු වෙනුවට බිමට විසි කර දමයි. පොලු මුගුරු රැගෙන ඇවිත් ඇත්තේ මන්දැයි සිසුවකු ප්‍රශ්න කරද්දි නිලධාරියකු පවසන්නේ ඒ බල්ලන්ට ගැසීමට බව ය. කෙසේ නමුත් ඔවුන්ගේ ලයිස්තුවේ නම සඳහන් කිසිදු සොයා ගැනීමකට ඔවුන් සමත් වී නැත. ඔවුන්ගේ අතට එම සිසුන් අසු වූයේ නම් නිසැකව ම මෙම දඩ බල්ලන් ඔවුන්ට පහර දෙනු ඇත.

මෙම මෙහෙයුමට අමතරව විරෝධතාවකට සම්බන්ධ වීම අවහිර කරමින් කාන්තා නේවාසිකාගාර පරිශ්‍රයේ ගේට්ටු වසා දමා ශිෂ්‍යාවන් 300 ක් දෙනා බලහත්කාරයෙන් සිර කර රඳවා ගත් බව අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ගිහාන් වීරසේකර මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. .

මෙම මර්දනයට එරෙහිව එහි ශිෂ්‍යයන් කන්ඩායමක් කොලඹ ලිප්ටන් වට රවුමේ සති දෙකක පමන කාලයක් සත්‍යග්‍රහයක යෙදී සිටී. ජූලි 25 එම සරසවියේම සිසුන් කන්ඩායමක් කොලඹ කොටුව ආසන්නයේ විදී නාට්‍යයක් රඟ දැක්වීමේ දී පොලිසිය ඔවුන්ට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන ද පැහැර ගත් බව ඔවුහු කීහ.

*ජූලි 20 ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට විරෝධතා පා ගමනින් පැමිනියේ එහි තාක්ෂන පීඨයේ ප්‍රමානවත් පහසුකම් නොමැති වීමෙන් සති දෙකක කාලයකට පරිපාලනය විසින් වසා දැමීමට විරුද්ධව ය. එමෙන් ම, ශාස්ත්‍ර පීඨයේ දේශන ශාලා හිඟයට විසඳුම් ඉල්ලමින් එහි සිසුවෝ විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපට ජූලි 26 විරෝධතාවක් පැවැත් වූහ.

ශිෂ්‍යයන්ගේ සටන්කාමීත්වය තිබියදීම ශිෂ්‍ය විරෝධතාවලට නායකත්වය දෙන ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙයවන අවිශිබම නායකයන් විසින් ශිෂ්‍යයන් දේශපාලනිකව අවමංගත කරනු ලබයි. ඔවුන් ශිෂ්‍යන් ට කියන්නේ “අරගල කිරීම හැර වෙනත් විකල්පයක්” නැති බව ය. නැවත නැවතත් මතුරන අවිශිබමයේ “අරගලයේ“ අර්ථය වන්නේ ආන්ඩුවට බලපෑම් දැමීමේ උදඝෝෂන හා විරෝධතා මගින් නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර ගත හැකිය යන විසකුරු මිත්‍යාවකට ශිෂ්‍යන් සිර කිරීමයි.

මාලඹේ පිහිටි සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනට එරෙහිව පසුගිය දශකයක් පුරා අවිශිබම නොයෙකුත් නිස්සාර විරෝධාතා වලට සිසුන් මෙහෙය වී ය.. සයිටම් සිසුන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුලත් කොට සයිටම් වසා දමන බව ආන්ඩුව නිවේදනය කිරීමත් සමග එය “ජයග්‍රහනයක්” යයි ප්‍රකාශ කල අවිශිබමය සයිටම් විරෝධතා නවතා දැමුවේ ය. සයිටම් සිසුන් මෙතෙක් එයට ආන්තර්ග්‍රහනය කර නැති අතර ඒ සඳහා ඔවුන්ගෙන් රුපියල් මිලියන හයක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ බලධාරීන් විසින් ඉල්ලා ඇතයි මාධ්‍යවල පල විය.

අවිශිබමයේ “ජයග්‍රහන” ගෝසාවට පිටුපසින් ආන්ඩුව අධ්‍යාපන පෞද්ගලීකරන වැඩපිලිවෙල වේගවත් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග මත ආන්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු සුභසාධන කප්පාදු කොට මහජනයා මත විශාල බදු බර පනවා ඇත.

අවිශිබමය ශිෂ්‍ය විරෝධතා “ශිෂ්‍ය සටන්වලට” හුදකලා කොට ආන්ඩුවේ ප්‍රහාරවලට මග පාදා ඇත්තේ මේ වන විට පැන නැග ඇති කම්කරු පන්තික සටන් වෘත්තීය සමිති විසින් හුදකලා කොට පරාජයට ලක්කර ඇති ආකාරයෙන්ම ය.

විරෝධතා දේශපාලනයට බලහත්කාරයෙන් ශිෂ්‍යයන් නම්මා ගැනීම සඳහා නවක ශිෂ්‍යයන් “නවකවදයට“ ලක් කරන අවිශිබමයට සම්බන්ධ ශිෂ්‍ය සංගම් “ශිෂ්‍ය එකමුතුවට” එරෙහිවීමක් ලෙස හුවා දක්වමින් විරුද්ධ දේශපාලන මත දරන ශිෂ්‍යයන්ට එරෙහිව අවිශිබම ක්‍රියාකාරීන් මැර බලය යොදයි. එමගින් ඔවුන් ශිෂ්‍ය මර්දනය දිගේලි කිරීම සඳහා ආන්ඩුවට කොන්දේසි නිර්මානය කර දී ඇත.

ධනේෂ්වර දෘෂ්ටිය තුල හා “සයිටම් විරෝධී සිසු-ජන පෙලගැස්ම“ වැනි ධනපති පෙරමුනු තුල සිසුන් සිර කරන අවිශිබමය සැබවින් ම ක්‍රියාත්මක වන්නේ ධනපති පාලක පන්තියේ ඒජන්ත උපකරනයක් ලෙසයි.

අවිශිබම යේ මෙම වඳ හා ප්‍රතිගාමී පිලිවෙත ප්‍රතික්ෂේප කරමින් සිසුන් හැරී ගත යුත්තේ රැකියා, වැටුප් හා සේවා කොන්දේසි වලට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව අරගලයට පිවිසෙමින් සිටින කම්කරු පන්තිය සමග එකාබද්ධව අධ්‍යාපන කප්පාදුවට සහ මර්දනයට විරුද්ධව අරගලයක් සංවිධානය කිරීමට ය.

Share this article: