තිත්ත කහට - වතු කම්කරුවන් පිලිබඳ නාටකීය අත්දැකීම:
සීමාසහිතකම් ඇතත් පැසසිය යුතු නිර්මානයක්

සමන් ගුනදාස විසිනි, 2018 අගෝස්තු 9

ජන කරලිය නාට්‍ය කන්ඩායම සහ පරාක්‍රම නිරිඇල්ල විසින් නිර්මානය කරන ලද “තිත්ත කහට” නාට්‍යය ලංකාවේ කම්කරු පන්තියේ අතිශයින්ම සූරා කෑමට භාජනය වන ස්ථරය පිලිබඳ පර්යේෂනාත්මක වූ නව නාට්‍ය අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එන පැසසිය යුතු කෘතියකි.

එහි පවතින මූලික සීමාසහිතකම නම් කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ඉස්මතු කිරීමට අසමත් වීමෙන් වතු කම්කරුවන් සමාජයේ අනුකම්පාවට ලක්විය යුතු අසරන ජන කොටසක් ලෙස හුවා දැක්වීමයි.

මෙම නාට්‍යයට ප්‍රස්තූත වී ඇත්තේ ලාංකීය වතු කම්කරුවන්ගේ ඉතිහාසය මෙන්ම වර්තමානයයි. වර්තමානය ලෙස හැඳින්විය හැකි නුදුරු අතීත සිද්ධීන් වේදිකාවේ පසු තිරය මතට ගෙන එමින් නාට්‍ය හා යථා ලෝකය අතර අපූර්ව සබඳතාවක් පවත්වා ගෙන යාම මගින් නාට්‍යය ප්‍රබන්ධයකට වඩා වාර්තාමය (ඩොකුයුමෙන්ට්‍රි) කලා කෘතියක ස්වරූපය අත්කර ගනියි. ලංකාවේත් ඉන්දියාවේත් වත්මන් දේශපාලන චරිත ගනනාවක් මෙන්ම වතු කම්කරුවන් මුහුන දුන් නාය යෑම් වැනි ඛේදවාචක මෙන්ම වතු කම්කරු ලැයින් කාමර පේලි හා හිස් ගොඩනැගිලි වලින් යුත් දික්ඔය රෝහල ආදිය පරිගනක වීඩියෝ පට හා පරිගනක ප්‍රක්ෂේපන මගින් තිරය මතට විටින් විට ගෙන එමින් නාට්‍ය ගලා යයි. ඒ කෙසේ වෙතත් නාට්‍යමය ගුනය රැක ගනිමින් මුල සිට අග දක්වාම ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට කෘතිය සමත් වී තිබේ.

නාට්‍ය ඇරඹෙන්නේ වතු කම්කරුවන් ඉන්දියාවේ රාමේෂ්වරමේ සිට මන්නාරම කරා පිරීතිරුනු බෝට්ටු වලින් ගෙන ඒමේ දර්ශන වලිනි. මෙම බෝට්ටු වලින් සමහරක් මුහුදුබත් වී සියල්ලන් මරනයට පත්වීම සිදු වූ ආකරය මෙන්ම කම්කරුවන් මෙරටට ගෙන ඒමේ කොන්ත්‍රාත්කරුවන් මිනිස් ජීවිත වලට සැලකූයේ අප්‍රිකානු වහල් සේවයට රැගෙන ගිය මිනිසුන්ට නොවෙනස් ලෙස බව ඉස්මතු කෙරේ. මිනිසුන් පිරි බෝට්ටු දෙකක් මුහුදු බත්වීම කොන්ත්‍රත්කරුට හුදු පාඩුවක් පමනි.

මෙරටට ගොඩ බැස්ස තැන් පටන් දිවයින තුලට කොටුවන කම්කරුවන්ට සලකන ආකාරය, ගැබ්ගත් ලඳක් මන්නාරම සිට මාතලේ කරා යන අතර මඟදී දරුවෙක් ප්‍රසූත කල පසු ඇය හා දරුවා වන සතුන්ට ගොදුරු වන ලෙස අතහැර දමා යාම වැනි අතිශය කෲර සිද්ධීන් හරහා, වේදිකාව මත රඟ දැක්වේ. තමන් රට තුල වැඩෙහි නිරත වන කාලයට ලැබිය යුතු වැටුප් ගසා කෑම ඇතුලු නන් අයුරින් වතු කම්කරුවන් ඇට පොත්තටම සූරා කන ආකාරය හා ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති නිසා වහලුන් ලෙස වැඩෙහි නිරත වීම හැර කල හැකි දෙයක් නොමැති වන අයුරු නාටකාකාරව වේදිකාව මත රඟ දැක්වේ.

මෙම අතීතය සමඟම වේදිකාව වර්තමානය කරා පිවිසෙන්නේ එදා මෙදා තුර කම්කරුවන්ගේ ජීවිත වල ඇති සමානත්වය ප්‍රේක්ෂකයාට පසක් කරමිනි. සොච්චම් වැටුප්, කොඳු කැඩෙන වැඩ ඉලක්ක, තමන්ට කියා බිමක් නොමැති වීම, ලැයින් කාමරයක පවුල් ගනනක් ජීවත් වීම, බෙහෙත් හා පහසුකම් නැති රෝහල්, ප්‍රවාහන පහසුකම් නොමැතිවීම, මෙන්ම නාය යෑම් ඇතුලු ස්වාභාවික ව්‍යසන වලින් අද දක්වා පීඩා විඳින වතු කම්කරුවන්ගේ ජීවිත පිලිබඳ කතා පුවත නාටකාකාරව වේදිකාව මත දිග හැරේ.

කම්කරුවන් මෙසේ කඹුරන අතරතුර ඉහල සමාජය වෙත තේ අලෙවි කිරීම් ජාත්‍යන්තර සුපිරි නිවේදන ප්‍රක්ෂේපනය කරමින් ඉන් ලාබ ලබන මහා ව්‍යාපාර පිලිබඳ ඉඟි කෙරේ. ඉහල මධ්‍යම පන්තික සමාජයේ නිවෙස් වල මෙහෙකාර කම වැනි සමාජයේ පවතින දුෂ්කර රැකියාවන්ට වතු කම්කරුවන් ඇද දමා ඇති ආකරයද ඉස්මතු කෙරේ.

නාට්‍යයේ සෑහෙන කොටසක් වෙන් වන්නේ වතුකරය තුල වෘත්තීය සමිති මෙන්ම දේශපාලන පක්ෂ ලෙසද ක්‍රියාත්මක වන ආරුමුගම් තොන්ඩමන් ගේ ශ්‍රී ලංකා වතු කම්කරු සංගමය හා පලනි දිගම්බරම්ගේ ජාතික කම්කරු සංගමය වතු කම්කරුවන් මුලා කරමින් හා දේශපාලනිකව වංචා කරමින්ද කම්කරුවන් භේද කරමින්ද ක්‍රියා කරන ආකාරය ගෙන හැර දැක්වීමටය. මෙම චරිත එම නම් වලින්ම වේදිකාව මත රඟ දැක්වීම විශේෂත්වයකි. නාට්‍ය තුල කූට ප්‍රාප්තික සිද්ධිය ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරය හුවා දැක්වෙන අතර ලංකාවේ දේශපාලන නායකයන්ගේ ප්‍රෝඩාකාරී මැතිවරන පොරොන්දු මෙන්ම මෝදි ලංකාවේ දේශපාලන නායකයන් වන අගමැති රනිල් වික්‍රමසිංහට හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට මෙන්ම අවසානයේ තොන්ඩමන්ටම බෝලය පාස් කර අත සෝදා ගන්නා අයුරු වේදිකාව මත රඟ දැක්වේ. අනතුරුව පවුල් කිහිපයක් එකට ජීවත් වීමට තරම් ඉඩ පහසුකම් නොමැති නිවාස කිහිපයක් දිගම්බරම්ගේ දේශපාලන හෙංචයියන් හට පමනක් ලැබේ.

නාට්‍ය තුල වතු කම්කරුවන් පාලකයන්ගේ පීඩනයට එරෙහිව නැගී සිටින අවස්තාවන් අල්ප වන අතර ඉන් එක් අවස්තාවක් වන්නේ වතු කම්කරු වර්ජනයකි. අල්ලපු වත්තේ කම්කරුවන් වැඩට යෙදවීමෙන් වර්ජනය කඩා දැමීමට පාලකයන් පියවර ගන්නා අතර තම රැකියාව බේරා ගැනීමට කම්කරුවෝ වර්ජනය අත හරිති. වර්ජනයට මුල් වූ කම්කරුවන් පීඩාවට ලක් කෙරේ. අනෙක් අවස්තාව නම් කම්කරුවෙකු විසින් තමන් මුහුන දෙන ප්‍රශ්න ප්‍රසිද්ධියේ (ප්‍රේක්ෂකයන් හට) පැවසීමයි. පසු පසින් පැමිනෙන ඝාතකයෙකු විසින් එම කම්කරුවා ගෙල කපා මරා දැමේ.

නාට්‍යයේ අවසන් ජවනිකාව වන්නේ මලගිය කම්කරුවාගේ බිරිඳගේ අඳෝනාව මධ්‍යයේ කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න පිලිබඳ අඳෝනාවන් නාටකීය ලෙස ඉදිරිපත්වන රංගනයන් කිහිපයකින් හා තමන් සියලු දුක් මැද හෙටත් ඊයේ මෙන්ම වැඩට යන බවට සංඥා කෙරෙන ප්‍රකාශයකිනි. “අපේ කතාව නිමයි. දැන් ඔබේ වාරයයි” වැනි ප්‍රේක්ෂකයින් අමතන වැකියකින් නාට්‍යය නිමාවේ.

වතු කම්කරුවන්ගේ පන්ති ශක්තිය පිලිබඳව නාට්‍යය දක්වන අඩු තක්සේරුව නාට්‍යයේ මූලික තේමාව ට එල්ල කර ඇත්තේ තියුනු ප්‍රහාරයකි. වතු කම්කරුවන් යනු අවශේෂ ජනයාගේ අනුකම්පාවට පාත්‍ර විය යුතු අසරන ජන කොටසක්ය යන අදහස රඟහලෙන් පිටතට යන ප්‍රේක්ෂකයා ගේ හිතට නැංවීම නාට්‍යයේ මුඛ්‍ය එල්ලය ලෙස හැඟීයාම වැලැක්විය නොහැකිය.

යථා ලෝකයේ සත්‍ය මෙයද? කම්කරුවන් අසරන යැයි හැඟී යන තැනට ඇද දැමීමට එදා වතු පාලකයන් හා කංගානීන් වැඩ කල ලෙස අදත් දේශපාලන නායකයින් හා ඔවුනගේ සහචර වතු සමිති නායකයන් ක්‍රියා කරන බව සත්‍යයකි. එනමුදු ඔවුනට එය කරගෙන යාමට ඉඩ ලැබී ඇත්තේ කෙසේද යන්න හා ඊට අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන ප්‍රවනතා එලිමහනට ගෙන ඒමට නාට්‍ය උත්සාහ දරා නැත. ඒ වෙනුවට කම්කරුවන් පහසුවෙන් රැවටිය හැකි පෞරුෂයකින් තොර සමාජ ස්ථරයක් ලෙස නාට්‍ය තුල හුවා දැක්වේ.

කම්කරු පන්තිය දේශපාලන බලය ගත යුතු හා බලය ගත හැකි පන්තිය ලෙස ඓතිහාසිකව තේරී පත්ව ඇති පන්තිය ලෙසින් පවතින බවත් අද දිනයේ කම්කරුවන් මුහුන දෙන උග්‍රවන සූරාකෑමෙන් විමුක්ත වීමේ මාවත කම්කරු-ගොවි ආන්ඩුවක් කරා ඉදිරියට යාම බවත් තහවුරු කරන මාක්ස්වාදී ක්‍රියා මාර්ගය මගින් වතු කම්කරුවන් ශක්තිමත් කිරීම වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වන බලවේග වන නව සම සමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වමේ පක්ෂ මෙන්ම ධනපති රාජ්‍යයේම ඊනියා විකල්ප පක්ෂයක් ලෙස තමන්ව හුවා දක්වන ජනතා විමුක්ති පෙරමුන වැනි සංවිධාන වල ක්‍රියා කලාපයද නාට්‍යකරුවන් පහසුවෙන් අමතක කර දමා තිබේ. ජනතා විමුක්ති පෙරමුන වතු කම්කරුවන්ට එරෙහිව සිංහල වර්ගවාදය මත පදනම්ව පහර එල්ල කිරීමට ක්‍රියාත්මක වූයේ එහි මූලාරම්භය වූ 1960 දශකයේ සිටමය.

මෙම අමතක කිරීමේ තීරනාත්මක බව දෙගුන තෙගුන වන්නේ ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගය මත ලංකා සම සමාජ පක්ෂය වතු කම්කරුවන්ට නායකත්වය දුන් 1939 - 40 වසරවල වතු කම්කරු අරගලයන් සමස්ත ධනපති ක්‍රමයටම අභියෝගයක් ලෙස ඉස්මතු වී ආ ඉතිහාසය නාට්‍යයෙන් ඉවත් කර තිබීමයි. මුල්ඔය වේවැස්ස වැනි වතු වල වතු කම්කරු අරගල ලංකාවේ කම්කරු අරගල ඉතිහාසය තුල ප්‍රබල ලෙස සටහන් තබා තිබේ. 1939 අග භාගයේදී වේවැස්ස වත්තෙන් ඇරඹි වර්ජනය 1940 මුල වන විට සමස්ත වතුකරය පුරා පැතිර ගිය අතර මූල්ඔය වත්තේ වර්ජකයෙක් වූ ගෝවින්දන් පොලිසිය විසින් ඝාතනය කිරීම සමඟ අරගලය වඩාත් උත්සන්න විය. එම අරගලය ආන්ඩුවේ කොඳු නාරටිය සෙලවීමට ඉවහල් වූ අතර 1940 මැදදී සම සමාජ පක්ෂ නායකයන් අත්අඩංගුවට ගෙන සිර ගත කිරීමට බි්‍රතාන්‍ය පාලකයන් පියවර ගැනීමට එක් මූලික හේතුවක් වූයේ වතු කම්කරුවන්ගේ මෙම වීරෝදාර සම්මුති විරහිත අරගලයන්ය.

කම්කරුවන් සිය පන්ති ශක්තිය ගොනු කර ගනිමින් අවශේෂ කම්කරුවන්ගේද සහය ලබා ගැනීමට මෙම අරගල වලදී ඉදිරියට ආහ. පසුකාලීනව සම සමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සභාග ආන්ඩුවට යමින් කල පාවා දීම හරහා මෙම පන්ති ශක්තිය මොට කර දැමීම වත්මන් දේශපාලන නායකයන් හට වතු කම්කරුවන් අතරට පැන ගැනීමට ඉඩ විවෘත කලේය. මෙම ඓතිහාසික සිද්ධි දාමය නාට්‍ය විසින් නොතකා හැරීම නිසා වතු කම්කරුවන්ගේ ඉතිහාසය ඓන්ද්‍රිය වශයෙන්ම හුදු පාරාජික ඉතිහාසයක් ලෙස හුවා දැක්වීමට නාට්‍යකරුවාට සිදුවී තිබේ.

වතු කම්කරුවන් ලංකාවේ කම්කරු පන්තියේ මුල්ම හා ප්‍රබලම කම්කරු කොටස වූ අතර එදා මෙන්ම අදත් ලංකාවේ ධනපති ආර්ථිකයේ කොඳු නාරටිය බඳු විදේශ විනිමය සපයන තේ කර්මාන්තය පදනම්ව ඇත්තේ මෙම කම්කරුවන් මතයි. එම පසුබිම තුල වතු කම්කරුවන්ගේ පන්ති ශක්තිය මොට කිරීමට පාලකයන් අතිශය දැනුවත් උප්පරවැට්ටි යෙදීම (තමන් වැඩ කරන වත්තෙන් පිට යාමට ඉඩ නොදීම ආදී) හා තොන්ඩමන් හා දිගම්බරම් වැනි නායකයන්ට කම්කරුවන් අතර යම් පසුබිමක් සපයා දී කම්කරුවන් භේද කිරීමටත් කම්කරුවන්ගේ සටන් ශක්තිය මොට කිරීමටත් එකකට පසු එකක් ධනපති ආන්ඩු ක්‍රියාත්මක වූයේ එබැවිනි.

නාට්‍ය තුලින් දිස්වන වර්ජිත කම්කරුවන් අල්ලපු වත්තේ සිටින කම්කරුවන් පවා තම අරගලයට ගොනු කර ගැනීමට තරම් අදහසක් හෝ උත්සාහයක් නොමැති කම්කරු කොටසක් ලෙස හුවා දැක්විම, මෙම ප්‍රතිගාමී වැඩකටයුතු වලට ආවරනයක් වේ. ජවිපෙ හා රාජ්‍ය මැර හමුදා විසින් 1989 -90 කාලය තුල දියත් කල භීෂනයේදීද වතු කම්කරුවන්ට එල්ල කල ප්‍රහාරයන් වැලැක්වීමට කම්කරුවන් සංවිධනය වීමට ක්‍රියාත්මක විය. නොයෙකුත් මං පෙත් ඔස්සේ කම්කරුවන් ධනපති පීඩනයට නතු කිරීමට එල්ල කෙරුනු පීඩනයන් මධ්‍යයේ එකල විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයද අනතුරුව එහි අනුප්‍රාප්තික සමාජවාදී සමානතා පක්ෂයද වතු කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු තනමින් මෙම පීඩනයට එරෙහිව වතු කම්කරුවන් සංවිධානය කිරීමේ උත්සාහයක නිරතවිය. නාට්‍ය තුල තමන්ට සිදුවන අසාධාරනය පිලිබඳව කතා කරන කම්කරුවා පහසුවෙන්ම ඝාතනය කිරීමේ සිද්ධිය කම්කරුවන්ගේ හුදු අසරන බව පිලිබඳ ප්‍රශ්නයක් බවට ලඝු කිරීමෙන් දේශපාලන යථාර්තය විකෘත වීමක් සිදුවන්නේ එබැවිනි.

නාට්‍ය තුල පවතින මෙම දුර්වලතාවය නිසා එය විසින් වතු කම්කරුවන්ට මෙන්ම අවශේෂ කම්කරුවන්ටද තමන් මුහුන දෙන දහසකුත් එකක් පීඩනයන්ගෙන් මිදීමට සිය පන්ති ශක්තිය හා පන්තියක් ලෙස විමුක්ත වීමට පවතින ශක්‍යතාවය විදහා දක්වනු වෙනුවට තමන්ගේ අසරන බව කෙරේ ධනේශ්වරයේ අනුකම්පාව අයැද සිටින තැනට කම්කරු පන්තිය පහත හෙලීම සිදුව ඇත. එම දුර්වලකම තිබියදී වුවද වතු කම්කරුවන් පිලිබඳ තතු වේදිකාව මතට ගෙන ඒමට පරාක්‍රම නිරිඇල්ල ප්‍රමුඛ ජන කරලිය නාට්‍ය කන්ඩායමේ උත්සාහය ප්‍රශංසනීයවේ.

Share this article: