සසප හැටන් නගර ශාලාවේ මැතිවරන රැස්වීමක් පවත්වයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 පෙබරවාරි 2

පෙබරවාරි 10 දා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරනයට තරග වදින සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය ඉරිදා හැටන් නගර ශාලාවේ දී තම මැතිවරන වැඩපිලිවෙල සාකච්ඡා කිරීමේ රැස්වීමක් පැවැත් වී ය. මෙම රැස්වීමට වතු කම්කරුවෝ, තරුනයෝ, ශිෂ්‍යයෝ, ගුරුවරු සහ ගෘහනියෝ සහභාගිවී සිටිය හ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් යන ප‍්‍රාදේශීය සභාවන්ටත් කොලඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාවටත් තරග වදින සසප, හැටන් රැස්වීම පැවැත්වූයේ, අඹගමුව පලාත් පාලන බල ප‍්‍රදේශය, හැටන් නගරය සහ ඒ ආශ‍්‍රිත වතු කීපයක ගෙනගිය උද්ඝෝෂනයකට පසුවයි. “කප්පාදුවට හා යුද්ධයට එරෙහි ව සසපට සහාය දෙන්න! කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදිමු!” යන හිසින් යුත් සසප මැතිවරන ප‍්‍රකාශයේ සිංහල සහ දෙමල පිටපත් කීප දහසක් බෙදා හරිමින් සසප සාමාජිකයන් කල එම උද්ඝෝෂනය තුල කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් මුහුන දෙන ගැලු විසඳා ගැනීම සඳහා සසප ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල පිලිබඳව උද්‍යෝගිමත් සාකච්ඡාවක් වර්ධනය කර ගත හැකිවිය.

රැස්වීමේ මුලසුන දැරූ සසප මධ්‍යම කාරක සභික ශාන්ත කුමාර්, පලාත් පාලන මැතිවරනය කැඳවා ඇත්තේ කම්කරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ මෙන්ම අවශේෂ පීඩිතයන්ගේ අරගල මාලාවක් පැන නැගී ඇති තතු තුල සහ ධනපති පාලක පන්තිය දරුනුතම අර්බුදයකින් වෙලී ඇති තත්වයක් තුල බව පැහැදිලි කලේ ය.

“අනෙකුත් සියලුම පක්ෂ සහ සංවිධාන මෙම මැතිවරනය දූෂනවිරෝධී දුමාරය තුල ගිල්වා මහජනතාවගේ දැවෙන ප‍්‍රශ්න පිලිබඳ කවර හෝ සාකච්ඡාවක් වැලැක්වීමට සන්ධාන ගතවී සිටිනවා. මේ තතු තුල සසප මෙම මැතිවරනයට ඉදිරිපත්වූයේ අධිරාජ්‍යවාදී යුද තර්ජනය සහ ආන්ඩුවේ කප්පාදු වලට එරෙහිව මහජනතාව අතර සාකච්ඡාවක් වර්ධනය කරමින් යුද්ධය වැලැක්වීමේ සහ කප්පාදු වැඩපිලිවෙල පරාජය කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කිරීමට සහ එමගින් කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩ නැගීමටයි.”

ඉන්පසු රැස්වීම ඇමතූවේ අඹගමුව ප‍්‍රාදේශීය සභාවට තරග වදින සසප අපේක්ෂක කන්ඩායමේ නායකත්වය දරන එම්. දේවරාජා විසිනි. ඔහු මැතිවරනයට ඉදිරිපත් වී ඇති දේශපාලන පක්ෂවල කම්කරු පන්තියට එරෙහි දේශපාලන වාර්තාව හෙලිදරව් කරමින් කතා කලේ ය.

“රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රධාන ඇමැති ධුරයක් දරමින් එම රජයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ වලටත් යුද්ධයටත් බැදුම්කර වංචාවට ද වගකිව යුතු සිරිසේන පෙර ආන්ඩුවල නොසිටියාක් මෙන් දූෂනයෙන් තොර රජයක් පිහිටුවීම ගැන කතා කරනවා. චන්ද්‍රිකා කුමාරතුංගගේ පරිවාස ආන්ඩුවට රිංගා ඇගේ කප්පාදු සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිලිවෙත් වලට මුලුමනින්ම කරබදු වූ, 2006 දී රාජපක්ෂ බලයට ගෙන එමින් දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයේ ප‍්‍රධාන උද්ඝෝෂකයෙකු වූ ජනතා විමුක්ති පෙරමුන දැන් දූෂනයෙන් තොර ගමක් බිහිකරන්න ගමේ බලය ඉල්ලා සිටිනවා.”

කම්කරු පවුල් අතර තේ පඳුරු බෙදා දී ඒවා රැකබලා ගැනීමේ වගකීම ඔවුනට පවරා ඉන් ලැබෙන ආදායමෙන් පංගුවක් ලබාදීමේ නව ක‍්‍රමය සම්බන්ධයෙන් දේවරාජා මෙසේ පැහැදිලි කලේය.

“මෙය කම්කරුවන් අඳ ගොවියන් තත්වයට පත් කෙරෙන විනාශකාරී වැඩපිලිවෙලක්. දරුවන්ද ඇතුලු මුලු පවුලම තේ ගස් වලට ගැට ගසන ක‍්‍රමයක්. දලු අස්වැන්න අඩු කාලයට ඔවුන්ගේ ආදායම කඩා වැටෙනවා. නමුත් බලයට ඒම සඳහා මේ ආන්ඩුව පොරොන්දු දුන්නේ කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ගෙවනවා කියල. දිගම්බරම්, මනෝ ගනේශන් සහ රාධාක්‍රිෂ්නන් වැනි වෘත්තීය සමිති නායකයන් මේ ආන්ඩුවේ ඇමතිකම් දරාගෙන කම්කරුවන්ට එරෙහි ඉහත ප‍්‍රහාරයන් ක්‍රියාත්මක කරන්නන් බවට පත්වෙලා ඉන්නෙ. අද හැටන් නගරයේ පැවැත්වෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ සහභාගිවන එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමට මෙම සමිති විසින් බස් රථ යොදවල කම්කරුවන් දහස් ගනනක් ගෙනාවෙ වික‍්‍රමසිංහගෙ අලුත් මැතිවරන පොරොන්දු ටික ගිල්ලන්න.”

හැටන් නගරයට යාබද තලවාකැලේ හි ජනාධිපති සිරිසේනගේ සහභාගිත්වයෙන් එදිනම පැවති රැස්වීම ගැන සඳහන් කරමින් දේවරාජා පැවසුවේ, ප‍්‍රහාරයන් එල්ල කරන ආන්ඩුවේ නායකයා වන සිරිසේනගේ ව්‍යාජ පොරොන්දු ගිල්ලවීම සඳහා එම රැස්වීමට කම්කරුවන් සහභාගි කරවීමේ කොන්ත‍්‍රාත්තුව භාරගෙන ඇත්තේ නව අඳගොවි ක‍්‍රමය කම්කරුවන් මත පැටවීමේ සාමූහික ගිවිසුම අත්සන් කල සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමාන් බවයි.

තේ සමාගම් වල වියදම් කප්පාදුවේ ප‍්‍රතිඵලයක් ලෙස ඉසිලිය නොහැකි බරක් පටවාගෙන ගිය දලු ට‍්‍රැක්ටරයක් පෙරලී එහි සිටි කම්කරුවන් කීප දෙනෙකුට බරපතල තුවාල සිදුවීමත් සමග නෝර්වුඩ් හි වෙන්චර් වත්තේ පැන නැගුනු වැඩ වර්ජනය ගැන සඳහන් කරමින් දේවරාජා මෙසේ පැවසීය: “වැඩ වර්ජනයට ආසන්නතම හේතුව වුනේ ට‍්‍රැක්ටරය පෙරලීමේ සිද්ධිය වුවත් කම්කරුවන් 800 ක් පමන වූ වත්තේ සියලු කම්කරුවන් වර්ජනයට පිවිසියේ තම ජීවන සහ සේවා කොන්දේසි වලට එරෙහිව කලක් තිස්සේ එල්ල වෙමින් පවත්නා ප‍්‍රහාරයන්ට එරෙහිවයි.”

“කප්පාදු පියවරයන්ට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය අරගලයට එමින් තිබෙනවා. එහි ම කොටසක් ලෙස වතු කම්කරුවන් ඇතුලුු සෙසු කම්කරුවන් ද ලංකාව තුල අරගලයට එමින් සිටිනවා. වෘත්තීය සමිති හා ව්‍යාජ වාම පක්ෂ උත්සාහ කරන්නේ ඔවුන් අවමංගත කරවීමටයි. කම්කරු පන්තියට තම අයිතිවාසිකම් රැක ගත හැකි වන්නේ ධනපති පන්ති පාලනය පෙරලා දැමීමෙන් පමනයි.”

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයේ සාමාජික දිනේෂ් හේමාල් තම සංවිධානය තරුනයන් සහ ශිෂ්‍යයන් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයට දිනා ගැනීමට විශ්ව විද්‍යාල තුලත් ඉන් පිටතත් ගෙන යන අරගලය ගැන පැහැදිලි කිරීමක් කලේය. “අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහි ශිෂ්‍යයන්ගේ විරෝධය හුදු සයිටම් විරෝධී පාජාවකට යොමු කොට පුද්ගලීකරනයට එරෙහි සටන අවමංගත කිරීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය ගෙනයන වැඩපිලිවෙලේ ප‍්‍රතිගාමී ස්වභාවය අපි මුල සිටම හෙලිකලා. බලපෑම් යොදා ආන්ඩුවේ පිලිවෙත වෙනස් කල හැකිය යන මිථ්‍යාව ඔස්සේ සිසුන් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ සහ එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතා දේශපාලනයට එරෙහිව අපි සටන් වදින්නෙ ජාත්‍යන්තර සමාජවාදය සඳහා. අධ්‍යාපනයේ පුද්ගලීකරනයට සහ අධ්‍යාපන කප්පාදුවට එරෙහිව ශිෂ්‍යයන්ගේ දැවැන්ත අරගල පුපුරා ගියත් එම පිලිවෙත් ඔස්සේ අනුප‍්‍රාප්තික ආන්ඩුවලට දිගටම යා හැකිව ඇත්තේ මෙම ව්‍යාජ වාම සංවිධාන වල ක්‍රියා කලාපය නිසයි.”

අවසාන කතාව පැවැත් වූ සසප දේශපාලන මන්ඩල සභික පානි විජේසිරිවර්ධන තම කතාව අරඹමින් මෙසේ පැවසීය: “හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය මේ මැතිවරනයට ඉදිරිපත් වී සිටින එකම කම්කරු පන්තික පක්ෂය යි. අපි මැතිවරනයට ඉදිරිපත් වුනේ ලෝක සමාජවාදී විප්ලවය සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමේ වැඩකටයුතුවල කොටසක් ලෙසයි.”

“ධනපති පන්තියේම ප‍්‍රධාන කඳවුරු හතරක් මෙම මැතිවරනයට තරග කරනවා. මේ සෑම කඳවුරකම මූලික තේමාව වෙලා තියෙන්නෙ ඊනියා දූෂනයට එරෙහි සටන. ජනාධිපති සිරිසේන දූෂන විරෝධයේ සෙන්පතියෙකු ලෙස මවා පෑමක යෙදෙද්දී තම දූෂන විරෝධී අසිපත සිරිසේන විසින් පැහැර ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුන මැසිවිලි නගනවා. අගමැති වික‍්‍රමසිංහ ඔහුගේ මැතිවරන වේදිකාවට ‘දූෂන විරෝධී’ සටනට අමතරව ඊනියා සංවර්ධන සැලැස්මක් එකතු කරගෙන තිබෙනවා. රාජපක්ෂගේ ‘සංවර්ධනය’ මෙන්ම වික‍්‍රමසිංහගේ ‘සංවර්ධනය’ යටින් පවතින්නෙ ජාත්‍යන්තර ප‍්‍රාග්ධන ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීමයි. අද හැටන් රැස්වීමෙදි වික‍්‍රමසිංහ කිව්ව නුවරඑලිය දිස්ත්‍රික්කයට තවත් සංචාරක පුරවරයක් බොගවන්තලාවෙ ඇති කරනව කියල. වික‍්‍රමසිංහ කාලෙක ඉඳල වතු කම්කරුවො තේ කර්මාන්ත ක්ෂේත‍්‍රයෙන් වෙනත් ක්ෂේත‍්‍රයන්ට මාරුවෙන්න ඕන කියන අදහස ඉදිරිපත් කරනව. අර්බුදයට මුහුන දී සිටින වතුකරයේ තේ කර්මාන්තය මුලුමනින් විනාශ කරල අලුතෙන් ඉදි කෙරෙන නව කර්මාන්ත වලට අවශ්‍ය ලාභ ශ‍්‍රම තටාකයක් නිර්මානය කරදීම ඔහුගෙ අරමුන.”

හිටපු ජනාධිපති රාජපක්ෂ ගේ කඳවුර තම මැතිවරන උද්ඝෝෂනයේදී ‘දූෂන විරෝධී’ රංගනයක යෙදෙන අතරේ දෙමල සහ මුස්ලිම් විරෝධී වර්ගවාදය අවුලුවාලමින් සිටින බව විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය. ‘දූෂන විරෝධී’ ව්‍යාජ විවාදයේ දුමාරයෙන් කම්කරු-පීඩිත මහජනතාවගේ දැවෙන ප‍්‍රශ්න වසන් කොට තැබීමේ අශුද්ධ සන්ධානයක් මෙම සතර කඳවුර අතර පවත්නා බවද නිර්මාල් රංජිත් දේවසිරි සහ හරිනි අමරසූරිය වැනි තම නාසයෙන් එපිට දුර නොදකින මධ්‍යම පන්තික බුද්ධිමතුන් රොත්තක් ද මෙම සන්ධානයට එක්ව සිටිනා බවද විජේසිරිවර්ධන පැවසීය.

“දූෂනය සහ වංචාව, මූල්‍ය ප‍්‍රාග්ධනය ආධිපත්‍යය දරන ධනපති ක‍්‍රමයේ මේ යුගයට ආවේනික ලක්ෂනයක් විනා පෞද්ගලික දුෂ්ඨත්වයකින් පැන නැගෙන්නක් නොවේ. එම නිසා දූෂනයට එරෙහි අව්‍යාජ සටනක් නම් එය ධනපති ක‍්‍රමය පෙරලා දමන සටනක් විය යුතුයි”

“කෙසේ නමුත් මේ ‘දූෂන විරෝධී’ ව්‍යාජ විවාදයට යටින් ධනපති පාලකයන් පන්ති යුද්ධය සූදානම් කරමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ විධානය මත සියලු සමාජමය සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් උදුරා ගැනීම පාලක පන්තියේ එල්ලයයි. පද්ධතිමය බිඳ වැටීමක් තුලින් ගමන් කරන ලෝක ධනපති ක‍්‍රමය තුල කම්කරුවන්ට කෙසේවත් තම අයිතීන් රැක ගැනීමට හැකි වන්නේ නැහැ. ඒවා රැකගත හැක්කේ මහා පරිමාන වතු, ෆැක්ටරි, බැංකු කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට සමස්ත ආර්ථිකයම මානව අවශ්‍යතාව මත ප‍්‍රතිසංවිධානය කිරීමෙන් පමනයි.”

මේ වන විට මනුෂ්‍ය වර්ගයා මුහුන දී ඇති දැවැන්තම ප‍්‍රශ්නය වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක අවදානම ගැන විජේසිරිවර්ධන අවධානය යොමු කලේය. කඩා වැටෙන ඇමරිකානු ධනවාදය තම මිලිටරි බලයෙන් රැකගැනීම සඳහා මැදපෙරදිග, සිරියාව, ඇෆ්ඝනිස්ථානය ඇතුලු රටවල්තුලට කෙරෙන ව්‍යසනකාරී මැදිහත්වීම් තුලින් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මරනයට ගොදුරු කරමින් දස ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් සරනාගතයන් බවට පත් කෙරෙන ආකාරය ඔහු පෙන්වා දුන්නේය.

“ආසියාවට හැරීම නමින් ඇමරිකානු අධිරාජ්‍යවාදය ඉන්දු ශාන්තිකර කලාපය තුල ක්‍රියාත්මක කරන මූලෝපායට ශ්‍රී ලංකාව ඒකාග‍්‍ර කර ගැනීමේ කොටසක් ලෙස, වොෂින්ටනය තම හස්තය යොදා කරන ලද මෙහෙයුමක ප‍්‍රතිඵලයක් ලෙසයිි 2015 ජනාධිපතිවරනයේදී සිරිසේන ජනාධිපතිධුරයට පත්වුනේ. එතැන් පටන් ගතවූ අවුරුදු තුන තුල ලංකාව එම මූලෝපායේ මධ්‍යයටම ඇදී පවතිනවා. දෙමල ජාතික සන්ධානය, ජවිපෙ, ව්‍යාජ වාම පක්ෂයන් වන වික‍්‍රමබාහු කරුනාරත්නගේ නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන සියලු සංවිධාන එම තන්ත‍්‍ර මාරු මෙහෙයුම වටා ගොනු වුනා. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ලොවපුරා කරන ප‍්‍රකෝපකරනයන් හේතුවෙන් ඕනෑම මොහොතක න්‍යෂ්ටික ලෝක යුද්ධයක් ඇතිවිය හැකියි. මෙය නතර කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම්වූ ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා සටන් වැදීමෙන් පමනයි.”

“සමාජවාදී සමානතා පක්ෂය මෙම මූලධර්ම සහ ඉදිරි දර්ශනයන්මත සටන් වදින්නේ ඉන්දියානු උප-මහාද්වීපීය සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන් කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමටයිි. සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එම සටනට උරදෙන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”

විජේසිරිවර්ධනගේ කතාව අවසන් වීමෙන් පසු සමාජවාදී සමානතා පක්ෂයේ ඉතිහාසය සහ ඉදිරි දර්ශනය පිලිබඳව පැහැදිලි කර ගැනීමේ වැදගත් සාකච්ඡාවක්ද වර්ධනය විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඔටෝවර්කර් (මෝටර් කම්කරු) පුවත්පතට පිවිසෙන්න

මෝටර් රථ කම්කරුවන් හා කම්කරු පන්තියේ සියලු කොටස්වලින් ලෝසවෙඅ ඉල්ලා සිටින්නේ ඔටෝවර්කර් (මෝටර් කම්කරු) පුවත්පත නිරතුරුව ම යාවත්කාලීන කරමින් තමන්ගේ ම විස්තර විභාගයන් හා ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ සහ තවත් දෑ. එලෙස කරනු පිනිස, මෙතැනින් පිවිසෙන්න.

Share this article: