සසප මැතිවරන උද්ඝෝෂනයට කොලොන්නාව ප‍්‍රදේශවාසීන්ගෙන් උනුසුම් සහයෝගයක්

අපේ වාර්තා කරුවන් විසිනි, 2018 පෙබරවාරි 4

පෙබරවාරි 10 දින පැවැත්වෙන පලාත් පාලන මැතිවරනය සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙනයන උද්ඝෝෂනයේ කොටසක් ලෙස පසුගිය දා කොලොන්නාව ප‍්‍රදේශවාසීන් හමුවූ සසප සාමාජිකයෝ ඔවුන් සමග තම ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කලහ. කම්කරුවන්, අවශේෂ දුගීන්, තරුනයන් සහ ගෘහනීන් මෙම සාකච්ඡාවට උද්යෝගයෙන් සහභාගි විය.

සසප මෙවර පලාත් පාලන මැතිවරනයේදී කොලොන්නාව නගර සභාවට ද අඹගමුව සහ කයිට්ස් ප‍්‍රාදේශීය සභාවන්ට ද තරග වදියි.

කොලොන්නාව නගර සභා බල ප‍්‍රදේශයේ පිහිටි මීතොටමුල්ල කසල කන්ද නායයාමෙන් විනාශයට මුහුන දුන් ජනයාට අමතරව, අවට කම්හල් තුල දරුනු සූරාකෑමකට ගොදුරු කෙරෙන කොන්ත‍්‍රාත් කම්කරුවන්ද, පෝට් සිටි ව්‍යාපෘතියේ කම්කරුවන්ද, ගංවතුරට හසුවූ නිවැසියන්ද, ජනවාරි 27 දා සිදුකල මෙම උද්ඝෝෂනයේදී සසප සාමාජිකයන්ට මුන ගැසුනි.

චන්ද්‍රසිරි

ජනවාරි 21 දින මීතොටමුල්ලේ දී සසප පැවැත්වූ ප‍්‍රසිද්ධ රැස්වීමට සවන් දුන් වයස 51 ක් වූ චන්ද්‍රසිරි නැමැති නිවැසියෙක් මෙසේ පැවසීය: “සියලු ධනපති පක්ෂ වලින් වෙන්වලා කම්කරු පන්තිය ස්වාධීනව සංවිධානය කරන්න ඕන කියල රැස්වීමෙ කථිකයන් ඉදිරිපත්කල අදහසට මම එකඟයි. කතා අහපු බොහෝ දෙනෙක් ඒ අදහස අගය කලා.”

ආන්ඩුව, අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා වෙන් කෙරෙන මුදල් දැවැන්ත පරිමානව කපා හරින තතු තුල මෙවර අයවැයෙන් ද ආරක්ෂක වියදම් වැඩිකර ඇති ආකාරය සම්බන්ධයෙන් කෙරුනු සාකච්ඡාවට උනන්දුවෙන් සහභාගි වූ චන්ද්‍රසිරි මෙසේ කීවේය: “අයවැයෙන් වැඩිම මුදලක් ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කරල තියෙන්නෙ අපි වගේ දුප්පත් මිනිස්සු ඉල්ලීම් ඉල්ලල සටන් කරන කොට අපිව මර්දනය කරන්න අවශ්‍ය පරිදි පොලීසිය සහ මිලිටරිය තර කර ගන්න කියන එක පැහැදිලියි. ලඟදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එල්ල කල පොලිස් ප‍්‍රහාරයෙන් ඒක තහවුරු වෙනව. මේ ආන්ඩු ඉස්පිරිතාලවලට මුදල් දෙන්නෙ නැතුව ආරක්ෂක අමාත්‍යංශයට මුදල් දෙන්නේ ඒ නිසානෙ.”

ශ්‍රී ලංකාවේ හැත්තෑ වසරක “නිදහස” පිලිබදව විමසූ විට ඔහු පැවසුවේ “හරිහමන් කෑමක් බීමක් සහ ලෙඩට දුකට බෙහෙත් ටිකක් නැතිව මොන නිදහසක් ද? දුප්පත් මිනිස්සුන්ගෙ ප‍්‍රශ්න විසඳ ගන්න දුප්පතුන්ගෙ ආන්ඩුවක් හදාගත යුතු” බවයි.

නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි කසල කන්ද අසල මෙතෙකුදු ජීවත්වන ගෘහනියක් කියා සිටියේ පලාතේ ගංවතුරට හේතුව කසල කන්ද බවයි. ඇය මෙසේ පැවසුවාය: “කුනු කන්ද ගොඩ ගහන්න ඉස්සෙල්ල මේ ගෙවල් ගංවතුරට යට වුනේ නැහැ.” රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් ආන්ඩුව ද මහජන විරෝධය නොතකා කසල කන්ද දිගටම පවත්වාගෙන යාමෙන් බොහෝ ජීවිත විනාශවූ බව ඇය තවදුරටත් පැවසුවාය.

“නාය යෑමෙන් නිල වශයෙන් මරන 32 යයි කිවුුවත් ඇත්ත ගනන ඊට වැඩියි. කැඩීබිඳී යාමෙන් ගෙවල් 1000 ක විතර අය අවතැන් වුනා. දීල තියෙන මහල් නිවාසවල ජීවත් වෙන්න බැහැ. පොරොන්දු වුන වන්දි මුදල් මහ ජනයාට ලැබී නැහැ. මේ කුනු කන්ද දැනුත් ගිනි ගන්නවා. අපි ඉන්නෙ මරන භයින්. නමුත් අපි මහල් නිවාස වලට නම් යන්නෙ නැහැ. ඒවා ජීවත්වීමට නුසුදුසුයි.”

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෙක් වූ නුවන් බෝපගේ ගේ මූලිකත්වයෙන් කසල කන්දට එරෙහිව කල ආන්ඩුවට බලපෑම් දැමීමේ උද්ඝෝෂනයන්ගෙන් කිසිවක් ලබාගත නොහැකිවූ බව ඇය කියා සිටියාය.

සසප පවත්වන ලද වතු රැස්වීමෙන් පසු පක්ෂය පිලිබඳ පැහැදිලි කමක් පලාතේ අය අතර ඇති බවද සසප පවසන පරිදි කම්කරුවන්ගේ ආන්ඩුවක් ගොඩනැගීම සදහා ඉදිරියට යායුතු බව ද ඇය පැවසුවාය.

කොලඹ සංවර්ධනය සඳහා යයි පවසමින් ආයෝජකයන්ට ඉඩම් විකිනීම සඳහා ආන්ඩුව කොම්පඤ්ඤවීදියෙන් මෑතකදී බලහත්කාරයෙන් ඉවත් කල නිවැසියන් සාලමුල්ල මහල් නිවාසයන්හි සී -ගොඩනැගිල්ලේ පදිංචි කරවා ඇත.

එසේ පදිංචි කරවූ පෝට් සිටි ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත් කම්කරුවෙකු ලෙස සේවය කරන රමේෂ් ඔහු මුහුන දෙන තත්වය මෙසේ විස්තර කලේය: “මට මෙහෙට එන්න සිද්ධ වුනේ නෙලුම් කුලූන ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ අවට ප‍්‍රදේශයේ නිවාස ඉවත් කල නිසා. එතන නිවාස 290 ක් විතර බලහත්කාරයෙන් කඩා දැම්මා. අපට කිව්ව යන්න කියලා නැත්තම් වතුර ලයිට් කපනවා කිව්වා. අපි ඉවත් වෙච්ච ගමන්ම නිවාස කඩලා දැම්මා. සාලමුල්ල නිවාස යෝජනා ක‍්‍රමයට ඇවිත් සතියක් පමන ගත වෙනවා. ලමයින්ගෙ පාසල් යැවීම වගේම මගේ රැකියාවට යෑමද මෙතැන සිට දුෂ්කරයි. දවස් දෙකක් ලමයි ත්‍රීවීල් එකක ඉස්කෝලෙ ඇරියා. පසුගිය දවස් තුනේ පාසල් යවන්න බැරි වුනා.”

“අපි හිටපු ගෙදර වර්ග අඩි ප‍්‍රමානය අඩුයි කියලා මේ ගෙදරට නම ලක්ෂ අනූ අට දාහක් ගෙවන්න නියම කලා. මාසෙකට රුපියල් 2500 ගානේ ඉල්ලනවා. නමුත් ආරම්භයේදී මෙතන රැස්වීමක් පවත්වලා මෛත්‍රීපාල සිරිසේන කිව්වේ මේ ගෙවල් නොමිලේ දෙන්න කියලා.”

නිවාස සංවර්ධන අධිකාරිය මේ මුදල් අය කරනුයේ ආන්ඩුවේ විධානයන් මත බවත් සංවර්ධන කඩතුරාව යටතේ ඔවුන් වැනි දුගීන්ගේ ඉඩම් පැහැරගෙන සුඛෝපභෝගී තට්ටු නිවාස ඉදිකිරීම සඳහා ව්‍යාපාරිකයන්ට ලබාදෙන බවත් ඇය කෝපයෙන් පැවසුවාය.

“අපේ ඉඩම් අල්ලගෙන සුඛෝපභෝගී තට්ටු නිවාස හදනවා. අඩු ගනනේ මේ නිවාසවලට ඔප්පුවක් අපට දෙන්නේ නැහැ.”

ආර්.පී.ඩී. සිල්වා

සාලමුල්ල තට්ටු නිවාසයන්හි පදිංචි ඉදිකිරීම් කම්කරුවෙකු වන ආර්.පී.ඩී. සිල්වා මෙසේ කීවේය: “අපි ජිවත්වුනේ කොම්පඤ්ඤවීදිය 87 වත්තේ. නෙලුම් කුලුන අවට ඉදිකිරීම් වලට කියල නාගරික සංවර්ධන අධිකාරියෙන් අපේ ගෙවල් කඩල ඉවත්කලා. අපිට අධිකාරියෙන් කිව්වා ‘ගෙවල් වලින් අයින් වෙන්න. නැත්නම් අපි කරන්න ඕන දේ දන්නවා’ කියලා. අපි බයට අයින් වුනා. ඒ ඉඩම් ඔක්කොම චිදේශ ආයෝජකයින්ට විකුනනවා. පවුල් 2000ක විතර මිනිස්සු මේ පොඩි තට්ටු ගෙවල් වලට හිරකරල ඒ මිනිස්සු ජීවත්වුනු ඉඩම්වලින් ධනපතියෝ ලාභ ගන්නවා.”

වෘත්තීය සමිති කම්කරුවන්ගේ අයිතීන් සඳහා සටන් නොකරන බවද, ජනතා විමුක්ති පෙරමුන දුප්පතුන්ගේ පක්ෂයක් යැයි කියා ගත්තද එය ධනපති පක්ෂයක් බව දැන් ඉතා පැහැදිලි බවද පැවසූ ඔහු කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා සසප ගෙනයන වැඩපිලිවෙල අගය කලේය.

මඩකලපුවේ සිට පැමින කොලොන්නාව ප‍්‍රදේශයේ ජලප‍්‍රවාහන කම්කරුවකු ලෙස සේවය කරන ලවකුමාර් තම දුෂ්කරතා මෙසේ පහැදිලි කලේය: “මේ බෝඩිමේ ඉන්න අපි අට දෙනෙක් වෝටර් බෝඩ් එකේ වැඩ කරන්නේ. ඔක්කොම මඩකලපුවේ ඉඳන් ඇවිත් ඉන්නේ. ඒ පලාත්වල හරිහමන් රස්සාවක් නැහැ. මම ගමේ වඩු වැඩ කරමින් හිටියෙ. දැන් ඒතරම් වැඩ නෑ. මගේ බයිසිකලයත් විකුනල කොලඹ ආවේ. වෝටර් බෝඩ් එකෙන් අපිව කොන්ත‍්‍රාත් පදනමටයි වැඩට ගත්තේ.”

රුපියල් 1350 ක දෛනික වැටුපක් යටතේ සේවය කරන මෙම කම්කරුවකෙුගේ දිනක ආහාර වියදම රුපියල් 500 ක් පමන වෙයි. නේවාසික ගාස්තු ගෙවූ පසු ඉතිරි වන සොච්චම තම දරු පවුල්වලවියදම් සඳහා කිසිසේත් ප‍්‍රමානවත් නොවන බව ලවකුමාර් පැවසුවේය. ඔවුන් කොලඹට පැමින ඇත්තේ මඩකලපුවේ සිටියදී යෙදී සිටි ධීවර කර්මාන්තයෙන් ජීවත්වීමේ කොන්දේසි නැතිවී ගිය තතු තුලයි.

“ඔබ පැහැදිලි කරන අන්දමට ලෝකයේ දුප්පත් මිනිස්සු වැඩිවෙලා ඉන්නවා කියල මම පිලිගන්නවා. ඒ දුප්පත් මිනිස්සු ඔක්කොම එකතු කරගන්න අවශ්‍යයි. සිංහල දෙමල මුස්ලිම් කම්කරුවෝ එකතුවෙලා සටන් කරන්න ඕනේ. එහෙම ව්‍යාපාරයක් හදන්න අපි සගයෝගය දෙනවා.”

කොලොන්නාව - වැල්ලම්පිටිය කුප්පියාවත්ත ප‍්‍රදේශයේ ජීවත් වන පතිරත්න ජනතා විමුක්ති පෙරමුන ගැන තම අදහස මෙසේ පැවසීය: “මට ප‍්‍රධාන දේශපාලන පක්ෂ ගැන විශ්වාසයක් නැහැ. ජේවීපී එක 88-89 කාලේ කරපුව මට මතකයි. ඒ කාලෙදි මගේ මල්ලී කෙනෙක් පේරාදෙනියේදී මැරුවා. එවැනි තරුන ජීවිත රාශියක් ඒ කාලේ ජේවීපීයෙන් සහ හමුදාවෙන් මරලා දැම්මා.”

“ජවිපෙ පසුගිය කාලයේ විප්ලවයක් ගැන කතා කරලා දැන් පාර්ලිමේන්තුවෙන් ප‍්‍රශ්න විසඳන්න කතා කරනවා. මොවුන් මේ ආන්ඩුවට බලයට එන්න උදව් කලා. ජනාධිපතිවරනයට ඔවුන් ඉදිරිපත් වුනේ නැහැ. ඊට කලින් සරත් ෆොන්සේකාටත් උදව් කලා. ඔහු යුද්ධය දිනන කාලේ හමුදාපති. හමුදාව උතුරෙ කරපු අපරාධ ගැන අපේ හිතවත් දෙමල අය අපට කියනවා. ජවිපෙ ඒ අපරාධ කරපු යුද්ධෙට දිගටම උදව් කලා.”

යුද්ධය අවසන් වීමෙන් පසු දඹුල්ල මුස්ලිම් පල්ලි දෙකකට එල්ල කල ප‍්‍රහාරය මතකයට නංවමින් රාජපක්ෂ ආන්ඩුව යටතේ මුස්ලිම් විරෝධී ප‍්‍රකෝපකරනයන් වර්ධනය කෙරුනු ආකාරය ඔහු විස්තර කලේය. “පාලකයො තමයි අදටත් ජාති භේදය ආගම් භේදය විශාල වශයෙන් අවුස්සන්නෙ. මගේ ඉස්සරහ ගෙදර ඉන්නේ මුස්ලිම් අය. අපි සමගියෙන් ඉන්නවා පාලකයො බල තන්හාවට මේ සමගිය නැති කරනවා.”

ලෝකයපුරා වර්ධනය වෙමින් පවත්නා යුද තත්වය ගැන පැහැදිලි කලවිට ඔහු මෙසේ පැවසීය: “ටීවී බැලුවට හරි විස්තරයක් දැන ගන්න බැහැ. යුද්ධය ඇති වෙනවා නම් පැත්තකට වෙලා ඉන්න බැහැ.”

Share this article: