සිංහල ජනයා වර්ගවාදයට ගොස් ඇතැයි කියමින් උතුරේ දෙමල සංවිධාන ජාතිවාදී උද්ඝෝෂනයක

සුබාෂ් සෝමචන්ද්‍රන් සහ ආර්. ශ්‍රී හරන් විසිනි, 2018 පෙබරවාරි 27

ලංකාවේ පලාත් පාලන මැතිවරනය් දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) දකුනු පලාත්වල වැඩි චන්ද හා ආයතන විශාල ගනනක් දිනා ගැනීමෙන් පසුව, දෙමල ජන මාධ්‍ය සහ පක්ෂ දකුනේ සිංහල ජාතිවාදය හිස ඔසවා ඇති බවට ප‍්‍රතිචාරයක් ගෙන යමින් උතුරේ දෙමල ජාතිවාදයට පන පිඹීමේ ව්‍යාපාරයක් මුදාහැර ඇත.

යාපනයේ පලවන උදයන් පුවත්පතෙහි පෙබරවාරි 12 කර්තෘ වාක්‍ය මෙලෙස සඳහන් සඳහන් කලේය: “ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ලබාගත් ජයග‍්‍රහනය මහින්ද වෙනුවෙන් දකුනේ පවතින සහාය අංශුමාත‍්‍රයක්වත් අඩුවී නැත යන පනිවිඩයත්, ශ්‍රී ලංකාවේ විශේෂයෙන් සිංහල බහුතරය අතර පක්ෂයක් තම දේශපාලන පැවැත්ම ස්ථාවර කරගත යුතු නම්, තම ජයග‍්‍රහනය ශක්තිමත් කරගත යුතු නම් වර්ගවාදය අත්තිවාරමක් ලෙස යොදාගෙන ක්‍රියා කල යුතුයි යන පනිවිඩයත් දෙයි.” උදයන් පුවත්පත ධනපති දෙමල ජාතික සන්ධානයට හිතවත් පුවත්පතකි.

කම්බන් කලහම් නමින් පෙනී සිටින “උතුරු-නැගෙනහිර සමාජ නියෝජිතයෝ” යයි හඳුන්වාගත් තවත් ජාතිකවාදී කන්ඩායමක් “සියලු දෙමල දේශපාලන පක්ෂ දෙමල ජාතියේ යහපත වෙනුවෙන් ඒකාබද්ධ වෙන්න” යනුවෙන් ඉල්ලමින් කර ඇති ප‍්‍රකාශය සමස්ත සිංහල ජනතාව ම දෙමල ජනතාවගේ සතුරන් ලෙස පින්තාරු කරන්නකි. “පලාත් පාලන මැතිවරන ප‍්‍රතිඵලය මහ ජාතියේ බහුතරය දෙමල ජනයා කෙරෙහි ඔවුන්ගේ වෛරය තවමත් වෙනස් කරගෙන නැති බව පැහැදිලිවම පෙන්වා දී ඇත” යයි එම ප‍්‍රකාශය සඳහන් කරයි.

මෙම ප‍්‍රකාශයට දෙමල ආචාර්යවරුන්, කතෝලික හා හින්දු පූජකයන්, ඉංජිනේරුවන් සහ වෛද්‍යවරුන් අත්සන් තබා ඇත.

මෙම ප‍්‍රචාරය දෙමල මහජනතාව අතර ජාතිකවාදය තහවුරු කිරීමට ගෙන යන ප‍්‍රතිගාමී ව්‍යාපාරය යුක්ති සහගත කරමින් සිංහල හා දෙමල කම්කරු පන්තිය වාර්ගිකව බෙදීම ගැඹුරු කිරීම හා අර්බුදයට ගොස් ඇති දෙමල පක්ෂ හා සංවිධානවල පදනම් පිරියම් කර ගැනීම එල්ල කරගෙන කෙරෙන්නකි. සිය වරප‍්‍රසාද සඳහා කේවල් කිරීමට ද ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් සමග සම්බන්ධතා තරකර ගැනීමටද දෙමල ධනපති කන්ඩායම් එක්සත් වීම අවශ්‍ය බව මෙම කොටස් ගනන් බලති.

මෙම ප‍්‍රචාරයට සමාන්තරව, සිංහල ජාතිවාදී කන්ඩායම් උතුරේ ජනයා බහුතරය දෙමල පක්ෂවලට චන්දය ප‍්‍රකාශ කිරීමට ඇඟිල්ල දික්කරමින් කියා සිටින්නේ ඔවුන් දෙමල ජාතිවාදයේ ගිලී ඇති බවයි. මේ දෙකම බේගල් ප‍්‍රකාශයන් ය.

රාජපක්ෂ බහුතර චන්දයක් දිනා ගත්තේ මහජනයා අතර ඔහු කෙරෙහි පැතුරුනු ප‍්‍රසාදයක් නිසා නොවේ. ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය අහෝසි කොට මහජනයාගේ ජීවන හා සමාජ අයිතීන් නගා සිටුවන බවට නොයෙකුත් පොරොන්දු දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ඒවා බිඳ දමා තම අයිතීන් තලා දැමීමට විරුද්ධත්වය පල කිරීම සඳහා මහජනයාගෙන් සැහෙන පිරිසක් රාජපක්ෂ ගේ පක්ෂයට චන්දය ප‍්‍රකාශ කලහ. බිඳ දැමු පොරොන්දු අතර යුද්ධයෙන් ඇතිවූ විනාශයන් නිසා දෙමල ජනයා මුහුන දෙන ප‍්‍රශ්න විසඳීමේ පොරොන්දුව ද විය.

උතුරු- නැගෙනහිර ආන්ඩුවට පන්දම් ඇල්ලූ දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඇතුලු පක්ෂ අපකීර්තියට පත්ව තිබුනත් වෙනත් විකල්පයක් නැති තැන දෙමල ජනයා ඒවාට චන්දය දුන්හ. එසේ වුවද චන්දය අඩුවීමෙන් හා වෙනත් සංවිධාන හිස එස වීමෙන් දෙමල පක්ෂවල අර්බුදය ප‍්‍රකාශයට පත්වී ඇත.

රාජපක්ෂ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය 2009 මැයි මාසයේ දී එල්ටීටීඊය පරාජය කොට මෘග ලෙස අවසන් කලේ ය. ඇමෙරිකාවේ භූදේශපාලන සැලසුම්වල නොතකා රාජපක්ෂ බෙයිජිනය සමග පවත්වාගෙන ගිය සම්බන්ධතාවයන් ගෙන් ලංකාව බිඳ තමන්ගේ චීනයට එරෙහි යුද-මූලෝපායික සැලසුම් වලට ලංකාව ඒකාග‍්‍ර කිරීම සඳහා, 2015 ජනාධිපතිවරනය තුල වොෂින්ටනය ඉන්දියාවේ උදව් ඇතිව තිරයෙන් පිටුපස සිට තන්ත‍්‍ර මාරුවකට ක්‍රියා කලේය. සිරිසේන බලයට ගෙන එමින් ක්‍රියාවට දැමූ එම තන්ත‍්‍ර මාරුවට දෙමල පක්ෂ සම්පූර්නයෙන් ම සහයෝගය දුන්නේ ඇමරිකාවේ අවශ්‍යතාවලට සහයෝගය දෙමින් තම පන්ති උවමනාවන් ඉටු කර ගැනීම පිනිස ය.

තතු එසේ වුවද, සිරිසේන සහ වික‍්‍රමසිංහ “දෙමල ජනතාවගේ ගැටලුව හඳුනා ගෙන, ගෝලීය තලයේ එය පිලිගෙන, විසඳුම් ලබාදීමේ උත්සාහයක යෙදුනු” බව කම්බන් කලහම් ප‍්‍රකාශය කියා සිටී. “මේ දෙදෙනා සිංහල ජනතාව විසින් පැත්තකට දමා ඇති” බවට චෝදනා කරන අතර ම “අන්තවාදී දේශපාලන කන්ඩායම් සිංහල ජනතාවගේ බහුතර සහයෝගය දිනා නැගිට ඇති” බව කියාසිටී. මෙම ඡන්ද ප‍්‍රතිඵලය අනුව “මීලඟට මේ රටේ ඇති වෙන්නට යන පාලනය වාර්ගික ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමට එකඟ වන එකක් නොවන බව ස්ථිර ය” යි මෙම කන්ඩායම අවධාරනය කරයි.

සිරිසේන හා වික‍්‍රමසිංහ “දෙමල ජනතාවගේ ගැටලු හඳුනා ගෙන” ඒවාට විසඳුම් ලබාදීමේ උත්සාහයක යෙදුනු බව කීම කෙප්පයකි. ඔවුන් කලේ ඇමරිකාවේ, ඉන්දියාවේ හා එජා මානුෂික අයිතීන් පිලිබඳ සංවිධානයේ උදව් ඇතිව යුද අපරාධ යට ගැසීමට ක්‍රියා කිරීමයි. දෙජාස ඊට මුලුමනින්ම උදවු දුන්නේය. පසුගිය අවුරුදු තුනේ, උතුරේ දෙමල ජනයා අතුරුදහන් වුවන් පිලිබඳව තොරතුරු සහ තම සියලු ඉඩම් මිලිටරියෙන් මුදා දෙන ලෙස ඉල්ලමින් කොපමන නම් උද්ඝෝෂනය කර ඇත්ද? කම්බන් කලහම් හි ඊනියා සමාජ මිතුරන් මේ සියල්ල තිබියදී සිරිසේනට හා වික‍්‍රමසිංහට සුදුහුනු ගාමින් අධිරාජ්‍ය ගැති පාලනය ආරක්ෂා කරයි. මේ දෙපොල අතීතයේ ආන්ඩුවල නායකයන් ලෙස සිටිමින් දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය ආරම්භ කිරීමට මෙන්ම ගෙනයාමට ද නොපැකිල සහයෝගය දුන්නවුන්ය.

කෙසේ වෙතත්, උතුරේ පක්ෂ සියල්ල එකතුවී කොලඹ ආන්ඩුව සමග ගනුදෙනු කිරීමට ශක්තිමත්වීමට යෝජනා කරන අතරම මෙම කන්ඩායම් මීගලඟට කොලඹ බලයට එන ඕනෑම පාර්ශවයක් සමග ගනුදෙනු කිරීමටද සුදානම් වෙති. දෙජාසයෙන් වෙන්ව වෙනත් සන්ධානයකින් පලාත්පාලන මැතිවරනයට ඉදිරිපත් වු ඊලම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුනෙහි (ඊපීආර්එල්එෆ්) නායක සුරේෂ් ෙප්‍ර්මචන්ද්‍රන් තවත් සන්ධානයකට කැඳවුම් කරමින් මෙසේ කියා ඇත:

“දකුනේ ආන්ඩුව මාරු වේදැයි ප‍්‍රශ්න කෙරෙන මට්ටමට තත්වය වෙනස් වී ඇත. එවන් වෙනස්කම් සිදුවන්නේ නම්, කරන්නේ කුමක්ද යන්න ගැන දෙමල ජාතික සන්ධානයට සැලැස්මක් තිබිය යුතුය.”

දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මෑතකදී වසන්තම් නාලිකාවේ වැඩසටහනකට සහභාගි වෙමින් “දකුනේ මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහනය දෙමල ජනතාවට අනතුරු ඇඟවීමක්” ලෙසට පෙන්වුයේය. අනෙක් අතට ෙඩ්ලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් සුමන්දිරන් කියා සිටියේ “දෙමල ජනතාවගේ ගැටලුව විසඳීමට පියවර ගන්නා ඕනෑම රජයකට සහාය දෙන” බවයි.

රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රීලංපොපෙ, ආන්ඩුව වැඩකරන ජනතාවගේ අයිතීන්ට ප‍්‍රහාර එල්ල කිරීම ගැන කිඹුල් කඳුලු හෙලමින්, මහජන විරෝධය අවමන්ගත කිරීම සඳහා වර්ගවාදී හා බෞද්ධ භික්ෂු කන්ඩායම් රැලිකර ගනිමින් දෙමල විරෝධී වර්ගවාදය ඇවිස්සීමේ ව්‍යාපාරයක් ගෙනයයි. කම්බන් කලහම් නායකයන් සුදුහුනු ගාන වික‍්‍රමසිංහගේ හා සිරිසේනගේ ප‍්‍රතිචාරය වූයේ ඊට විරුද්ධවීම නොව රට, ජාතිය හා බුද්ධාගම දිවිහිමියෙන් රකින බවට තමන්ගේ ප‍්‍රචාරය උත්සන්න කිරීමයි.

රාජපක්ෂගේ හා සිරිසේන-වික‍්‍රමසිංහ කොම්පැනියේ භීතිය වන්නේ ධනපති අර්බුදයේ බරට එරෙහිව උතුරේත් දකුනේත් කම්කරුවන් එකමුතු කිරීමේ කොන්දේසි වර්ධය වීම ගැනයි. එක දිගට නැගෙන කම්කරුවන්ගේ අරගල ජාත්‍යන්තර කම්කරු පන්තියේ රැඩිකලීකරනයේ කොටසකි. වර්ගවාදී ප‍්‍රචාරය මගින් රාජපක්ෂ මෙන්ම සිරිසේන-වික‍්‍රමසිංහ ද කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීමේ චිරකාලීන විසකුරු අවිය ඔසවා ඇත.

ගෝලීය ධනවාදයේ බිඳවැටීමේ කොන්දේසි ගැඹුරුවන තතු තුල ලංකාවේ ධනපති අර්බුදය තියුනුවෙමින් පවතී. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ආඥාදායක පාලනයකට මාරුවීමට සුදානම් වෙමින් සිටී. රාජපක්ෂ “ස්ථාවර ආන්ඩුවක් ඕනා“ යයි හඬ තලමින් තමන්ගේ පැත්තෙන් ආඥාදායක පාලනයක් ඇටවීමට වර්ගවාදය අවුලුවා ගෙන උද්ඝෝෂනය ගෙන යයි.

දෙමල සංවිධානවල වර්ගවාදී ප‍්‍රචාරය සිංහල ධනපති පන්තියේ උද්ඝෝෂනයේ සමාන්තරයකි. සිංහල ධනපතියන් මෙන්ම ඔවුන් ද භීතියට පත්ව සිටින්නේ සිංහල-දෙමල-මුස්ලිම් කම්කරුවන් එකමුතු කර වාර්ගික භේද කරනයේ හා ධනපති අර්බුදයේ බර පැටවීමේ ප‍්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට කොන්දේසි සකසන වෛෂයික තත්වයක් වර්ධනය වීම ගැනයි.

යුද්ධයේ අවසානයත් සමග උතුරේ පක්ෂ හා සිවිල් සංවිධාන දෙමල ධනේශ්වරයට පාලන බලය බෙදා ගැනීමක් සඳහා අධිරාජ්‍යවාදීන්ගේ සහාය දින ගැනීමට හා දෙමල ජනයා ජාතිකවාදී මාර්ග ඔස්සේ අවමන්ගත කිරීමට උතුරු පලාතේ මහ ඇමතිගේ නායකත්වයෙන් “දෙමල ජන සංසදය” පිහිට වූ හ. මෙම සංවිධානය උතුරේ හා නැගෙනහිරේ දී, එලූග තමිල් නමින් පෙලපාලි වලට දෙමල ජනයා මෙහෙය වීම ඉහත කී ව්‍යායාමයේ කොටසකි. දකුනේ පක්ෂ හා ඒවායේ පන්දම්කාර සංවිධාන මෙන්ම දෙමල සංවිධාන ද නියෝජනය කරන්නේ ඒ ඒ ධනපති පන්තිවල අවශ්‍යතා මිස කම්කරුවන්ගේ හා දුගීන්ගේ අවශ්‍යතාවන් නොවේ.

දෙමල මහජනතාවට එරෙහි වාර්ගික වෙනස්කම් වල මූලය වන්නේ ධනපති ක‍්‍රමයයි. දෙමල ජනතාවට එරෙහි වෙනස්කම් කිරීම දෙමල, සිංහල සමස්ත කම්කරු පන්තිය බෙදා මැඩලා ධනපති ක‍්‍රමය ගෙනයාමේ පන්ති මූලෝපායේ කොටසක් ලෙස 1948 ඊනියා නිදහසේ සිට පෙරට දැමුනි. දෙමල ජනයාට එරෙහි වර්ගවාදී වෙනස්කම් අහෝසි කල හැක්කේ ධනපති ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී ක‍්‍රමයක් තහවුරු කිරීමෙන් පමනකි. දෙමල හා සිංහල කම්කරුවන් ඇතුලූ මහජනයාගේ අරගලය නොවෙන් කල හැකි සේ බැඳී ඇත. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිංහල, දෙමල හා මුස්ලිම් වාර්ගික වෙනස්කම් ඇවිලවීමේ ධනපති පක්ෂවල හා කන්ඩායම්වල ව්‍යාපාරයන්ට එරෙහිව කම්කරුවන්ගේ ජාත්‍යන්තරවාදී එකමුතුවට හා සමාජවාදී වැඩපිලිවෙලට සඳහා කරන සටන එකම විකල්පය ලෙස මහජනතාවන් ඉදිරියේ පවතී. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප මෙම ඉදිරිදර්ශනය මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක්, එනම් දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක වැඩපිලිවෙල ඉදිරිපත් කරයි.

Share this article: