ජර්මනියේ කාර්මික කම්කරුවෝ සිය දහස් ගනනක් වැඩවර්ජනය කරති

Hundreds of thousands of industrial workers strike in Germany

2018 ජනවාරි 31

කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට පහර දීම හා රට යලි මිලිටරීකරනය කරනු සඳහා නව ආන්ඩුවක් ඇටවීමට ජර්මානු පාලක ප‍්‍රභූව ක‍්‍රමන්ත‍්‍රනය කිරීමත් සමග, කම්කරු පන්තිය තම ප‍්‍රතිචාරය ලබා දෙමින් සිටින්නේ වසරක15ක් තුල රටේ ඇති වූ විශාලම වැඩවර්ජන ව්‍යාපාරයක රූපාකරයකිනි.

එලඹෙන බදාදා ජර්මනියේ ලෝහ හා විදුලි කර්මාන්තයේ 65,000ට වැඩි කම්කරුවන් වැඩවර්ජනය කරනු ඇත. බ‍්‍රහස්පතින්දා හා සිකුරාදා තවත් සිය දහස් ගනනක් එක්වනු ඇත. අයිජී මෙටල් කර්මාන්ත වෘත්තීය සමිතිය ඩෙම්ලර්, බීඑම්ඩබ්ලිව් හා ෆොක්ස්වගන් ඇතුලුව සමාගම් 250ක් තුල පැය 24ක ජාතික පරිමාන වැඩවර්ජනයක් කැඳවා ඇත.

කාර්මික වැඩවර්ජනවල පැතිරීම සිදුවන්නේ වර්තමාන කොන්ත‍්‍රාත් වැඩවර්ජනය මැඩ පැවත්වීමට හා කම්කරුවන්ගේ ඉල්ලීම් පාවා දෙන තුච්ඡ සම්මුතියකට ලඟා වීමට අයිජී මෙටල් සමිති නායකත්වය ගන්නා උත්සාහය නොතකමිනි. එය ආන්ඩුව හා හාම්පුතුන් විසින් දශකයක් තිස්සේ ගෙන යන ලද සමාජ ශුභ සාධන කප්පාදුවලට එරෙහිව කම්කරුවන්ගේ වැඩෙන කෝපයේ හා සටන්කාමිත්වයේ ප‍්‍රකාශනයකි.

මෙම අරගලයන්ගේ වැදගත්කම ජර්මනියේ දේශසීමා ඉක්මවා බොහෝ දුර ගමන් කර යි. යුරෝපය පුරාවට මෙන් ම ලෝකය වටා පාලක ප‍්‍රභූව කම්කරු රැකවරන අහිමි කිරීමේ ද කම්කරුවන්ගේ වැටුප් හා ප‍්‍රතිලාභ විනාස කිරීමේ ද ප‍්‍රහාරයක යෙදී සිටින්නේ නව හා වඩා විශාල යුද්ධවලට මුදල් සැපයීමට හා තමන්ගේම සාක්කු යහමින් පුරවා ගැනීමටත් ය.

ජර්මනියේ වැඩවර්ජන රැල්ල නව වසර ආරම්භයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු මතු සඳහන් විග‍්‍රහය තහවුරු කිරීමකි. “2018 වසර, මාක්ස්ගේ උපතේ දෙසිය වන වසර වන අතර එය විශේෂයෙන් ම විදහා දැක්වෙනු ඇත්තේ ලෝකය පුරා සමාජ ආතතියේ දැවන්ත තීව‍්‍ර කිරීමක් හා පන්ති අරගලයන්ගේ උත්සන්න වීමක් මගිනි.”

ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල්ගේ මෙන් ම එරට හිටපු මුදල් ඇමති වොල්ෆෑන්ග් ෂෝබර්ගේ නම් වසර හතරක් තිස්සේ අනන්‍යවී ඇත්තේ යුරෝපීය කම්කරු පන්තිය මත ම්ලේච්ඡ ප‍්‍රහාර සමගිනි. ග‍්‍රීසිය, ස්පාඤ්ඤය හා පෘතුගාලයේ මිලියන ගනනාවක් කම්කරු පන්තික පවුල්වල ජීවිත උඩුයටිකුරු කෙරුනු කප්පාදු නියෝග, විශේෂයෙන් ම බර්ලිනයේ අවසන් මහා සභාග ආන්ඩුවේ කෙරුම් ය. කලින් ස්ටැලින්වාදීන් විසින් පාලනය කෙරුනු රටවල කම්කරුවන්ට බටහිර යුරෝපීය රටවල වැටුප් වලින් සොච්චමක් ගෙවන, ජාත්‍යන්තර සංගත වෙනුවෙන් ලාභ ශ‍්‍රමයේ දැවන්ත පොකුනක් බවට නැගෙනහිර යුරෝපය පරිවර්තනය කිරීම ද ජර්මානු පාලක පන්තික ප‍්‍රතිපත්තියේ කොටසකි.

ඉතා යටහත් පහත් වෘත්තීය සමිතිවල සහාය ඇති ව, ඊට සමගාමීව ජර්මානු කම්කරු පන්තියට පහර දී එය පාලනය කර නො තැබුවේ නම් ජර්මානු ආන්ඩුවට මෙම කාර්යභාරය ඉටු කල නො හැකි වනු ඇත. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී-හරිත ආන්ඩුව විසින් 2003දී සම්මත කෙරුනු, කම්කරු හා ශුභසාධන “ප‍්‍රතිසංස්කරන” හඳුන්වා දුන් හාර්ට්ස් නීතිය, දැවන්ත අඩු වැටුප් අංශයක් නිර්මානය කර ඇත. ඒ අතර ම, යහමින් වැටුප් ලබන, වැඩ කවුන්සිල නියෝජිතයින් හා වෘත්තීය සමිති නිලධාරීහු වැටුප් එක තැන පල්වීමත් වැඩ කොන්දේසි නොකඩවා පරිහානියට යෑමත් තහවුරු කලෝ ය.

කම්කරු පන්තියට පිටුපසින් අත්පත් කර ගැනුනු, ජර්මානු ආර්ථික “සාර්ථකත්වයෙන්” කම්කරුවනට ලැබුනු කිසිවක් නොමත. සමාජයේ ඉහල කුඩා ස්ථරයක් තෙමේ ම පොහොසත් වී ඇත්තේ, සේවකයින්ගෙන් සියයට 40ක් ඔවුන් දශක දෙකකට පෙර ඉපයුවාට වඩා අඩුවෙන් ඉපයීමත් සමග, ජර්මනිය යුරෝපයේ වඩාත් ම විෂම රටවලින් එකක් බවට පත් කරමිනි.

මෝටර්රථ, ලෝහ හා විදුලි කර්මාන්තවල වැඩවර්ජන රැල්ල මෙම කොන්දේසිවලට එරෙහිව කැරල්ලකි. අයිජී මෙටල් වෘත්තීය සමිතිය පැය 24ක වැඩවර්ජනයක් කැඳවීමට තල්ලු කෙරී ඇත්තේ, එය බලපාන්නා වූ කර්මාන්ත ඉක්මවා බොහෝ දුර යන කෝපය හා අවිශ්වාසයේ මනෝගතියකට එය මුහුන දෙන බැවිනි.

අනෙකුත් යුරෝපීය රටවල ද සටන්කාමිත්වය වැඩෙමින් තිබේ. සර්බියාව හා රුමේනියාව තුල මොටර්රථ කර්මාන්තයේ හාමතට ඇද දැමෙන වැටුප්වලට එරෙහිව ස්වයං-සිද්ධ වැඩවර්ජන පැවතී ඇත. ග‍්‍රීසිය තුල, යුරෝපා සංගමයේ නියෝග වලට හා සිරිසා ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තිය වැඩවර්ජන පවත්වා විරෝධය දක්වා ඇත. ප‍්‍රන්සය තුල ජනාධිපති මැක්‍රෝන්ගේ ශ‍්‍රම වෙලඳපොල “ප‍්‍රතිසංස්කරනවලට” එරෙහි විරෝධය වැඩෙමින් තිබේ. එක්සත් රාජධානිය දුම්රිය වැඩවර්ජන මාලාවක් අත්දැක ඇත. ජර්මනිය තුල වැඩවර්ජන ව්‍යාපාරය ඔවුන්ගේ වැඩවර්ජනවල දී යුරෝපය පුරා කම්කරුවන් ශක්තිමත් කරනු ඇත.

වැඩවර්ජනය කරමින් සිටින කම්කරුවන් මුහුන දෙන අභියෝග සියල්ලටත් වඩා දේශපාලනික ය. ඉහල වැටුප් හා වඩා අඩු පැය ගනනකට ඔවුන් සටන් කරමින් සිටින අතර, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ආචීර්නකල්පික ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංගමය හා ක‍්‍රිස්තියානි සමාජ සංගමය සමග මහා සභාගයේ තුන්වැනි සංස්කරනය ඇටවීමට සූදානම් වෙමින් සිටී. එවැනි පක්ෂයක් ජර්මනිය හා යුරෝපය පුරා කම්කරු පන්තිය මත ප‍්‍රහාරය තීව‍්‍ර කරනු ඇතිවා පමනක් නො ව, එය ආන්ඩුවේ බලය ව්‍යාප්ත කර මිලිටරි යලිසන්නද්ධකරනයේ වැඩසටහන ව්‍යාප්ත කරනු ඇත.

එවැනි ආන්ඩුවකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුජාතභාවයක් නොමැත. මාස හතරකට ඉහත දී මහා සභාගය ඡන්දයෙන් දොට්ට දැමුනි. මැතිවරනයේ දී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංගමය හා ක‍්‍රිස්තියානි සමාජ සංගමයේ ඡන්ද සියයට 14කින් පහලට වැටුනි. නව මහා සභාගයක රූපාකාරයෙන් එකී පක්ෂම ආපසු බලයට ගෙන ඒමේ උත්සාහය දේශපාලනික කුමන්ත‍්‍රනයකි, එහි සැබෑ ඉලක්ක මහජනයාගෙන් වසන් කෙරෙමින් තිබේ.

සභාගයට පක්ෂපාතී අය “යුරෝපයේ එක්සත්කම” හා “ප‍්‍රන්සය සමග මිත‍්‍රත්වය” ගැන පුරාජේරු කියන අතර, ප‍්‍රන්ස ජනාධිපති මැක්‍රෝන් හා එක් ව ඔවුන්ගේ අරමුන වන්නේ සමාජ ප‍්‍රතිවිප්ලවය දැඩි කිරීම හා රුසියාව, චීනය හා එක්සත් ජනපදයට එරෙහිව ජර්මානු හා ප‍්‍රන්ස අධිරාජ්‍යවාදී උත්සුකයන් ක‍්‍රියාවේ යෙදවීමට ආර්ථික සන්ධනායක සිට මිලිටරි සන්ධානයකට යුරෝපා සංගමය හැරවීම යි.

නේටෝව විසින් අනුමත කරන ලද්දා වූ දල දේශීය නිෂ්පාදනයෙන් සියයට දෙකක ඉලක්කය දක්වා පමනක් නොව, ඊටත් ඉහල අනුපාතයක මිලිටරි වියදම් වැඩි කිරීමට ජර්මානු පාලක ප‍්‍රභූව කුමන්ත‍්‍රනය කරමින් සිටී. එහි අර්ථය වන්නේ යුරෝ බිලියන 60 දක්වා එය දෙගුන කිරීමකි. මෙය කල හැකි වනු ඇත්තේ සමාජ ශුභසාධන වියදම් දැවන්ත ලෙස කප්පාදු කිරීමෙනි, මෙය ලෝහ කම්කරුවන් වැඩවර්ජන හරහා ජය ගැනීමට ඉඩ ඇති ජයග‍්‍රහන අතු ගා දමනු ඇත.

ලෝහ හා විදුලි නිෂ්පාදන කර්මාන්තයේ වැඩවර්ජන නව මැතිවරනයක් සඳහා වන සටන සමග සම්බන්ධ කල යුතු ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වඩාත් ම අන්ත දක්ෂිනාංශික ආන්ඩුව ඇටවීමට කම්කරුවන් ඉඩ නො දිය යුතු ය.

සමාජ කප්පාදුව හා ඒකාධිපතිත්වයට එරෙහිව සටන ධනවාදය පෙරලා දැමීම සමග ඒකාබද්ධ කරන සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් පසු පස ඒකරාශී කිරීමට නව මැතිවරනයක් ඉල්ලා සිටිය යුතු ය. එවැනි ක‍්‍රියාමාර්ගයකට සටන් වදින එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය යි. එය යුරෝපා සංගමය ප‍්‍රතික්ෂේප කරන අතර යුරෝපා එක්සත් සමාජවාදී සංගමයක් සඳහා වන අරගලය පෙරට ගෙන යයි.

මෙම සතිය සලකුනු කරන්නේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා මධ්‍යස්ථ පක්ෂයේ සහාය ඇති ව තෝරා පත් කර ගෙන සිටි, ජනාධිපති පෝල් වොන් හින්ඩෙන්බර්ග් වටා වූ කල්ලියක් විසින් හිට්ලර් චාන්ස්ලර් හැටියට පත්කොට, ලෝක ඉතිහාසයේ විශාලත ම මානව ව්‍යසනය ආරම්භ කිරීමේ තැන් සිට 85වැනි වසර යි.

නිල ආඛ්‍යානයට වෙනස් ලෙස, හිට්ලර් බලයට ගෙන එන ලද්දේ මහජන සහයෝගයේ රැල්ලක් මගින් නො ව. එවකට නාසීන් සිටියේ ගැඹුරු අර්බුදයක ය. 1932 රයිස්ටැග් (පාර්ලිමේන්තු) මැතිවරනයේ දී, ඔවුහු ආසන්න වසයෙන් මිලියන දෙකක ඡන්ද අහිමි කර ගත්හ. සියයට 33ක ඡන්ද සමග, ඔවුන් සිටියේ ඒකාබද්ධ ව සියයට 37ක ඡන්ද හිමි කර ගෙන සිටි ප‍්‍රධාන කම්කරු පන්තික පක්ෂ දෙකට, එනම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා කොමියුනිස්ට් පක්ෂයට පසුපසිනි. නමුත් කම්කරුවන්ගේ ව්‍යාපාරය මැඩීමට හා ඊ ලඟ යුද්ධය සූදානම් කිරීමට ජර්මානු පාලක ප‍්‍රභූවට හිට්ලර් අවශ්‍ය විය.

එවැනි විනාසයක් යලි ඇති නො විය හැකි යැයි කිසිවෙකු නො සිතිය යුතු ය. ලෝකය වේගයෙන් තුන්වැනි ලෝක යුද්ධය කරා ඇදෙමින් තිබේ. මෙම සතියේ බ්‍රිතාන්‍ය එකොනොමිස්ට් සඟරාවේ ශීර්ෂපාඨය වූයේ “මී ලඟ යුද්ධය” යන්න යි. එහි ප‍්‍රධාන කතුවැකිය මෙසේ ප‍්‍රකාශ කර යි, “දෙවැනි ලෝක යුද්ධයෙන් පසු දැක නැති පරිමානයක හා තීව‍්‍රතාවක ගැටුමක් නැවත වතාවක් ඇති විය හැකි ය.”

ජර්මානු පාලක ප‍්‍රභූව වඩ වඩා විවෘත ව යුද්ධය හා ඒකාධිපතිත්වය සඳහා සූදානම් වෙමින් සිටිති. පලමු වතාවට, අන්ත දක්ෂිනාංශික පක්ෂයක් වන, “ජර්මනිය සඳහා විකල්පය” (AfD), පාර්ලිමේන්තුවේ වාඩි වී සිටින අතර, එයට අයවැය කමිටුවේ සභාපතිත්වය පවරනු ඇත. හුම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝර්ග් බාබරොව්ස්කි, “හිට්ලර් කුරිරු නො වී” යැයි නිවේදනය කරන අතර ශිෂ්‍යයින්ගේ විවේචනවලට එරෙහිව විශ්වවිද්‍යාල පරිපාලනය හා මාධ්‍ය විසින් ඔහු ආරක්ෂා කෙරේ. හිට්ලර් වෙනුවෙන් බාබරොව්ස්කිගේ ක්ෂමාලාපය ප‍්‍රසිද්ධ කල, සතිපතා ඩර් ස්පීගල් පත‍්‍රයේ මෑත ම කතුවැකිය කයිවාර ගැසුවේ, “රාත්තල් 800ක ගොරිල්ලා”, එනම් ජර්මනිය යලිසන්නද්ධ වන විට “මැන්චෙස්ටර් හා රෝමයේ ද වොර්සෝ හා ලියොන් වල ද” ජනෙල් පියන් දෙදරමින් තිබෙනු ඇති බව යි.

විසිවැනි සියවසේ පලමු භාගයේ දී මෙන්, කම්කරු පන්තිය සමාජවාදය ද නැතහොත් ම්ලේච්ඡත්වය ද යන විකල්පයන්ට මුහුන දී සිටියි. තම සමාජ ප‍්‍රතිවිප්ලවවාදී වැඩ සටහන පැටවීමෙන් හා ලෝකය විනාසකාරී යුද්ධයකට ඇද දැමීමෙන් පාලක පන්තිය වැලැක්වීමට කම්කරු පන්තිය ආරම්භකත්වය ගෙන ධනවාදය පෙරලා දැමීමට ජාත්‍යන්තර ව එක්සත් විය යුතු ය.

ලෝහ හා විදුලි කර්මාන්ත වැඩවර්ජන ව්‍යාප්ත කල යුතු ය. මෙයට අයිජී ලෝහ වෘත්තීය සමිතියෙන් බිඳීම අවශ්‍ය ය, එය වැඩවර්ජනය මැඩ පැවත්වීමට කල හැකි සියලු දේ කරමින් සිටී. එකී වෘත්තීය සමිතිය හාම්පුතුන්ගේ සංවිධාන සමග කිට්ටුවෙන් වැඩ කරන අතර, එහි නිලධාරීහු බොහෝ දෙනා එස්පීඩී සාමාජිකයින් මෙන් ම මහා සභාගයේ නව සංස්කරනයේ ආධාරකරුවන් ද වෙති.

වැඩ වර්ජනය ව්‍යාප්ත කරනු පිනිස, ආරවුල අතට ගැනීමටද යුරෝපයේ මෙන් ම ලෝකය වටා කම්කරුවන් සමග සම්බන්ධකම් තහවුරු කිරීමට ද සාමාජිකයින්ගේ ක‍්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු ය. නව මහා සභාගයක් ඇටවීම වැලක්වීම ද සමාජවාදී විකල්පයක් පෙරට ගෙන යාම ද නව මැතිවරනයක් සඳහා වන සටන සමග වෙන් කල නො හැකි සේ බැඳී තිබේ.

පීටර් ස්වාට්ස්

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඔටෝවර්කර් (මෝටර් කම්කරු) පුවත්පතට පිවිසෙන්න

මෝටර් රථ කම්කරුවන් හා කම්කරු පන්තියේ සියලු කොටස්වලින් ලෝසවෙඅ ඉල්ලා සිටින්නේ ඔටෝවර්කර් (මෝටර් කම්කරු) පුවත්පත නිරතුරුව ම යාවත්කාලීන කරමින් තමන්ගේ ම විස්තර විභාගයන් හා ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ සහ තවත් දෑ. එලෙස කරනු පිනිස, මෙතැනින් පිවිසෙන්න.

Share this article: