<

 

නිදහසෙන් 70 වසරකට පසු ශ්‍රී ලංකාව: ධනවාදී කුනුවීමේ වාර්තාව හා සමාජවාදයේ අවශ්‍යතාව

70 years after Sri Lankan independence: The record of capitalist decay and the necessity for socialism

විජිත් සමරසිංහ හා කේ. රත්නායක විසින්, 2018 පෙබරවාරි 03

1948දී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නාමික නිදහස ලැබීමේ 70 වන සංවත්සරය, පෙබරවාරි 4දා උත්සවශ්‍රීයෙන් සමරනු ලබන බව ආන්ඩුව නිවේදනය කර ඇත. ලෝක ආර්ථික අර්බුදයේ බරෙන් ද නැගී එන භූ-දේශපාලන එදිරිවාදිකම් වලින් ද රට තුල පුපුරන සුලු සමාජ ආතතීන්ගෙන් ද මිරිකී සිටින ආන්ඩුව, සැමරුම යොදාගනු ඇත්තේ, ප‍්‍රතිගාමී ජාතිකවාදී මනෝ භාවයන් ඇවිස්සීමට ය. කොලඹ ආන්ඩුව බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජිනගේ නියෝජිතයා ලෙස එඩ්වඩ් කුමරු සහභාගී කර ගැනීම මගින් ධනේශ්වරයේ අධිරාජ්‍ය ගැති ස්වභාවය තවදුරටත් ප‍්‍රදර්ශනය කර ඇත.

ගාලු මුවදොර පිටියේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතිය ඇමතීමට නියමිතය. වැඩකරන ජනතාවට පිලිගැන්වීමට කිසිවක් නැති ඔහු, රටේ සියලු ”ව්‍යාධින්ගේ” සැබෑ මූලය වන ධනපති ක‍්‍රමයෙන් අවධානය වෙනතකට හැරවීම පිනිස, පාලක පන්තියේ සියලු කොටස් විසින් වැලඳගෙන සිටින දූෂනයෙන් තොර රටක් ගොඩනැගීම පිලිබඳ ඝෝෂාව නගනු නිසැකය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා ජනතාවගේ ජීවන තත්වයන්ට පහර දුන් පාලනය කෙරෙහි කැකෑරෙමින් පැවති විරෝධය පීලිපැන්වීමට සිරිසේන 2015 ජනවාරියේ බලයට පත්විය. සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් කම්කරු පන්තිය මැඩලීම පිනිස ගොඩනගාගත් ”ජාතික එක්සත් ආන්ඩුව” දැන් රට මුහුනපා ඇති අර්බුදයට වගකිව යුතු යයි දෙදෙනා එකිනෙකාට චෝදනා කර ගන්නා තතු තුල දෙපලුවෙමින් තිබේ.

මෙම නිදහස් සැමරුම පිලිබඳ උද්‍යෝගයක් වැඩකරන ජනතාව අතර නම් ඇත්තේ නැත. මාස ගනනක් තිස්සේ වැඩවර්ජන, ශිෂ්‍ය පෙලපාලි හා ගොවි ජනතාවගේ විරෝධතා වර්ධනය වෙමින් තිබේ. පෙබරවාරි 10ට යෙදී ඇති පලාත් සභා ඡන්දය කඩාකප්පල් වේය යන කඩතුරාවක් යටතේ, පෙබරවාරි 15දා දක්වා කම්කරු උද්ඝෝෂන නොපවත්වන ලෙස මැතිවරන කොමසාරිස් වෘත්තීය සමිති වලින් ඉල්ලා ඇත. පාලක පන්තියට ඇති සැබෑ බිය නම්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ පෙරලිකාරීතත්වයේ කොටසක් මහජන ජනතා අරගල පැනනැගීමේ කොන්දේසි ගැනය.

රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) අධීක්ෂනය යටතේ පවතියි. 2015 පැවති මට්ටමෙන් අඩක් දක්වා අයවැය හිඟය පහත දැමිය යුතුය යන නියෝගය ද ඇතුලු දරුනු කප්පාදු පියවර ගන්නා ලෙසට එය බලකර සිටී. ජනගහනයෙන් ඉහලම සියයට 20 ජාතික ආදායමෙන් සියයට 51ක් හිමිකරගන්නා අතර පහතම සියයට 20ට හිමිවන්නේ ජාතික ආදායමෙන් සියයට 5කි.

සියවස් කාලකට වැඩි කලක් පැවති දෙමල ජනතාවට එරෙහි යුද්ධය රාජපක්ෂ ආන්ඩුව යටතේ 2009 දී ලේවැකි අවසානයකට පත් වුනේ, සෑම මහ බලවතෙකුගේම උදව්වෙනි. යුද්ධයෙන් දෙලක්ෂයකගේ ජීවිත විනාශ විය. දසදහස් ගනනක් තවමත් ජීවත් වන්නේ, මූලික පහසුකම් වලින් පවා තොර පැල්පත් වලය. උතුරු නැගෙනහිර පලාත් තවමත් මිලිටරි ග‍්‍රහනය යටතේ පවතියි.

ලංකාව තුල පවතින පුපුරන සුලු දේශපාලන තත්වය වනාහි, 1940 ගනන් අග බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව පැනනැගි ජනතා අරගල යටපත් කිරීම පිනිස ජාතික ධනේශ්වරය සමග එක්ව ඔවුන් නාමික නිදහසක් දුන් කලාපයේ සෑම රටකම පවතින තත්වයේ ප‍්‍රකාශනයකි.

ලෝකයේ අසමානතාව ඉහලම රටවලින් එකක් වන ඉන්දියාවේ ජනගහනයේ ඉහලම වරප‍්‍රසාදිත සියයට 1ක් රටේ සමස්ත ආදායමෙන් සියයට 23ක් හිමිකරගන්නා අතර දුප්පත්ම සියයට 50, එනම්, මිලියන 600ක ජනතාවකට හිමිවන පංගුව සියයට 15ක් පමනකි. ඉන්දීය ජාතික කොන්ග‍්‍රසයේ පාලනය කෙරෙහි ජනතාව අතරින් පලවූ කෝපය හා පිලිකුල ගසා කමින්, 2014දී බලයට පත්වූ හින්දු වර්ගවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) විදේශ ප‍්‍රාග්ධනය කැඳවා ගැනීමේ අරමුනෙන් ජනතාවගේ ජීවන හා සමාජ තත්වයන්ට නොකඩවා පහර දෙමින් සිටී.

මිලිටරියේ උදව් ලබන තන්ත‍්‍රයක් විසින් පකිස්ථානය පාලනය කරනු ලබයි. අගමැති ශීක් හසීනාගේ බංග්ලාදේශ ආන්ඩුව, වඩ වඩාත් ආඥාදායක බලතල පවරා ගනිමින් සිටී. තමන් මුහුනපා සිටින මහජන විරෝධය හමුවේ සිය ධනපති පාලනය රැකගත හැකි අන් මගක් කලාපයේ කිසිදු රටකට ඇත්තේ නැත.

නැගෙන භූ-දේශපාලන එදිරිවාදිකම් හමුවේ, න්‍යෂ්ටික බලවතුන් අතර ලෝක යුද්ධයක අන්තරාය වැඩෙමින් තිබේ. සිය ගෝලීය ආධිපත්‍ය අත්කර ගැනීමට, විශේෂයෙන්ම චීනයට එරෙහිව, ඇමරිකාව වඩ වඩාත් තම මිලිටරි බලය යොදාගැනීමට දරන උත්සාහය හමුවේ, දකුනු ආසියාවේ සෑම රටක්ම මේ සුලිය තුලට ඇද ගනිමින් තිබේ. පකිස්ථානයට චීනයෙන් ඈත්වන ලෙසට කෙරෙන ඇමරිකානු බලපෑම දැඩි වන තතු යටතේ ඉන්දියාව, බීජිනයට විරුද්ධ වොෂින්ටන් යුද ව්‍යායාමයෙහි ”පෙරමුනු රාජ්‍යයක්” බවට පත්ව ඇත.

රාජපක්ෂ චීනයට වඩා සමීප වීමේ කාරනය නිසා ඇමරිකාව මෙහෙයවූ තන්ත‍්‍ර මාරුවකින් සිරිසේන බලයට පත්විය. වැඩකරන ජනතාවට හොරා ”ජාතික එකමුතුවේ” ආන්ඩුව, රට චීනයට එරෙහි ඇමරිකානු මිලිටරි සැලසුම් සමග පෙලගස්වා ඇත.

ලෝකයේ ඊනියා පශ්චාත් යටත් විජිත රටවල් සියල්ලකදී මෙන්ම ඉන්දියානු උප මහාද්වීපයේ ද ධනපති පන්තිය හා ඔවුන්ගේ දේශපාලන හෙංචයියන් පෙන්නුම් කරන්නේ, අධිරාජ්‍යවාදයෙන් සැබෑ නිදහසක් අත්කරගෙන නැති බවයි. සියල්ලන්ට යහපත් ජීවන තත්වයක් හා අව්‍යාජ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් ලබා දෙන බවට දුන් පොරොන්දු ඉටුකිරීමට ඔවුන් මුලුමනින්ම අසමත්ව ඇත.

ලබාදුන් ”ව්‍යාජ නිදහස” එලිදරව් කිරීමට සමත් වුනේ, වසර 70කට පෙර, ඉන්දීය බොල්ශෙවික් ලෙනින්වාදී (බීඑල්පීඅයි) පක්ෂය හා 1938දී ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලද හතරවන ජාත්‍යන්තරය පමනි. ලබාදුන් ”නිදහස” හුදෙක් ”සෘජු පාලන ක‍්‍රමෝපායන් වක‍්‍ර ක‍්‍රමවේදයන්ට” හැරවීමක් පමනක් බව බීඑල්පීඅයි නායක කොල්වින් ආර් ද සිල්වා පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ කම්කරුවන් හා ගොවීන්ගේ විප්ලවකාරී නැගිටීම් වලට මුහුන දුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය, ඉන්දීය ජාතික කොන්ග‍්‍රසයේ හා මුස්ලිම් ලීගයේ නායකයින් ද සමග කල කුමන්ත‍්‍රනයකින් උප මහාද්වීපය, හින්දු ඉන්දියාව හා මුස්ලිම් පකිස්ථානය වශයෙන් 1947දී බෙදා වෙන්කරන ලදී. මිලියන ගනනක් මරුමුවට පත්කල ලේවැකි වර්ගවාදී ප‍්‍රචන්ඩත්වයකට තුඩුදුන් මෙම බෙදීමට ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහාය දුන්නේය.

බීඑල්පීඅයි ඉන්දියාව බෙදීමට විරුද්ධ විය. ද සිල්වා මෙසේ පැහැදිලි කලේය: ”බෙදීම සනාථ කර ඇත්තේ එක් දෙයක් පමනි. ජනතාව මත අධිරාජ්‍යවාදී වහල් භාවය පවත්වා ගැනීමේ දම්වැල අලුතින් සකස් කිරීම පමනකි. අනෙක් අතට එය සනාථ කර තිබෙන්නේ, අභ්‍යන්තර වාර්ගික හැඟීම් සිවිල් කම්පනයන්ගෙන් ඉවතට හරවා, දෙරට යුදු ගැටුම් තුලට ඇද දමන මාධ්‍යයක් බවට පත් කෙරුනු බවය.”

බීඑල්පීඅයි පශ්චාත් යුද පර්යායට අනුගත වෙමින් දේශපාලනිකව පසුබැසගොස් ලසසපට ඇතුලු වුව ද එහි දුර දක්නා විශ්ලේෂනයේ නිවැරදි බව සනාථ කෙරී තිබේ. නිදහසෙන් පසුව ඉන්දියාව හා පකිස්ථානය පුලුල් පරිමානයේ යුද්ධ තුනක පැටලී ඇති අතර දෙරටේ පාලක පන්ති, පන්ති අරගලය මැඩ කම්කරු පන්තිය බෙදාලීමේ ප‍්‍රධාන දේශපාලන අවිය ලෙස වර්ගවාදය පෙරට ගෙන ගියහ.

නාමික නිදහසෙන් පසුව දිවයිනේ අලුතෙන් බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ පලමු ක්‍රියාව වූයේ, ඉන්දියානු සම්භවයක් සහිත මිලියනයක් තරම් දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීමය. එතැන් පටන් පාලක පන්තිය, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා සිය පාලනය රැකගැනීම පිනිස යලි යලිත් දෙමල විරෝධී වර්ගවාදය යොදාගත්තේය

ලසසප දේශපාලන පරිහානියේ කුලුගැන්වීම, 1964දී අගමැති සිරිමා බන්ඩාරනායකගේ ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට ඇතුලු වෙමින් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම විවෘතවම ප‍්‍රතික්ෂේප කිරීමයි. මෙම පාවාදීමේ සෑම පියවරකදීම ඊට සහාය දෙමින් උදවු කරන ලද්දේ, 1953දී ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී වෙන්වූ මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් විසින් නායකත්වය දුන් හතරවන ජාත්‍යන්තරයේ අවස්ථාවාදී කොටසවූ පැබ්ලෝවාදීන් විසිනි.

ධනපති ආන්ඩුවට ඇතුලු වෙමින් ලසසප, කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරය පාවා දුන් අතර පාලක පන්තියේ සිංහල වර්ගවාදය වැලඳ ගත්තේය. 1972දී ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ද ඇතුලත් ශ්‍රීලනිප-ලසසප හවුල් ආන්ඩුව, බුද්ධාගම රාජ්‍ය ආගම බවටත් සිංහල නිල රාජ්‍ය භාෂාව බවටත් පත්කල නව ව්‍යවස්ථාවක් ඇටවූහ.

ලසසප පාවාදීමෙන් ඇතිකල ව්‍යාකූලත්වය ගසා කමින් ජනතා විමුක්ති පෙරමුන, කැස්ත්‍රෝවාදයේ ද මා ඕවාදයේ හා සිංහල ජනතාවාදයේ ද අච්චාරුවක් මත පදනම්ව, ගම්බද සිංහල තරුනයින් අතර අනුගාමිකත්වයක් දිනා ගත්තේය. දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය, තමන්ගේ දෙමල බෙදුම්වාදය ද සන්නද්ධ අරගලය ද සඳහා දෙමල තරුනයින් අතර අනුගාමිකත්වයක් දිනා ගත්තේය.

අනෙක් අතින් ලසසප පාවාදීම, අපකීර්තියට පත්ව සිටි එජාපය 1977 බලයට පත්කිරීමටත්, කම්කරු පන්තිය මත එහි වෙලඳපොල ගැති ආර්ථික පිලිවෙත පැටවීම සඳහාත් මග හෙලි කලේය. රාජ්‍ය අංශයේ කම්කරුවන් එම ප‍්‍රහාරයන්ට විරෝධය පලකල විට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, ලක්ෂයක් දෙනා සේවයෙන් පහකර, කම්කරු පන්තිය බෙදාලීම පිනිස එකකින් පසුව තවෙකක් වශයෙන් වර්ගවාදී ප‍්‍රකෝපකරනයන් ඇවිලවීය. 1983දී ඔහුගේ පාලනය දිවයින විනාශයට පත්කල වර්ගවාදී යුද්ධය දියත් කලේය.

සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව ලෙස 1968දී පිහිටුවාගනු ලැබින. සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වෙමින් විකොස, ලසසපයේ පාවාදීමට එරෙහිව අඛන්ඩ සටනක් ගෙන ගියේය. යුද්ධයටත්, මූලික සමාජ හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහර දීමටත් එරෙහිව සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුව සඳහා ගෙනගිය සටනේදී විකොස, සියලු වර්ගයේ ජාතිකවාදයට හා වර්ගවාදයට එරෙහිව නැගී සිටියේය.

විකොස හා සසප අරගලය මුල්බැස ගත්තේ, මහජනතාවන්ගේ කුමන සමාජ හා ප‍්‍රජාතන්ත්‍රීය අභිලාෂයක්වත් විසඳීමට ශ්‍රී ලංකාව වැනි පසුගාමී ධනපති රටවල ඊනියා ජාතික ධනේශ්වරය ඓන්ද්‍රීයවම අසමත් වන්නේ යයි පෙන්වාදුන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය තුලය. මෙම ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය, පලමු හා අද දක්වාමත් බිහිවුන එකම කම්කරු රාජ්‍යය නිර්මානය කලාවූ ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් නායකත්වය දුන් රුසියාවේ ඔක්තෝබර් සමාජවාදී විප්ලවය මගින් බලගතු ලෙස සනාථ කෙරුනි.

ශ්‍රී ලංකා ධනේශ්වරයේ සියලු කොටස්, සිය ප‍්‍රතිගාමී හා කම්කරු පන්ති විරෝධී ස්වභාවය පෙන්නුම්කර ඇත. දිගු කලකට පෙරම ජවිපෙ, පාර්ලිමේන්තු ආසන වෙනුවෙන් සිය මිලිටරි කබා ගලවා දැමූ අතර කොලඹ දේශපාලන සංස්ථාපිතයට මුලුමනින්ම ඒකාග‍්‍ර වී සිටී. නිරන්තරයෙන්ම දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි එල්ටීටීඊය උත්සාහ කලේ, අධිරාජ්‍යවාදයේ උදව්වෙන් වෙනම ධනපති රාජ්‍යයක් අටවා ගැනීමටය. සියලු මහ බලවතුන් එයට විරුද්ධව හැරීමෙන් පසුව, 2009දී පරාජයට පත්කරන ලද එල්ටීටීඊය යලි වතාවක් පෙන්නුම් කරනු ලැබුවේ, ජාතිකවාදයේ බංකොලොත් කමයි.

නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා ජවිපෙ පතුරක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි විවිධ ව්‍යාජ වාම සංවිධාන, ප‍්‍රධාන ධනපති පක්ෂවල හෙංචයියන් හා ක්ෂමාලාපකයින් මිස අන් කිසිවක් නොවේ. ඔවුන් සියලු දෙනාම 2015දී සිරිසේන බලයට පත්කල, ඇමරිකාවේ තන්ත‍්‍ර මාරු මෙහෙයුම පිටුපස ගාල්වූහ.

ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් සටන්වදින එකම පක්ෂය සසප පමනි. සසප සටන් වදින්නේ, ධනවතුන් අතලොස්සකගේ ලාභය වෙනුවෙන් නොව, වැඩකරන ජනතාවගේ දැවෙන අවශ්‍යතා සපුරාලිය හැකි සමාජවාදී ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහාය. ඒ සඳහා කම්කරු පන්තිය ධනේශ්වරයේ සියලු කොටස් වලින් දේශපාලනිකව ස්වාධීන කර ගැනීමටය.

පෙබරවාරි 4දා පැවැත්වෙන නිදහස් උත්සවයේදී පාලක පන්තිය, සිය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා සමාජ පරිහානියේ වසර 70ක පිලිකුල් සහගත වාර්තාවට සුදුහුනු ගෑම සඳහා මංමුලා සහගතව උත්සාහ දරනු ඇත. අප කම්කරුවන්ගෙන්, ගොවීන්ගෙන්, තරුනයින්ගෙන් හා සිසුන්ගෙන් මෙන්ම බුද්ධිමතුන්ගෙන් ද ඉල්ලා සිටින්නේ, මේ ප‍්‍රතිගාමී නාඩගම ප‍්‍රතික්ෂේප කරන ලෙසයි. සසප හා හජාජාක ඉදිරිදර්ශනය හදාරන ලෙසයි. ධනවාදය පෙරලා දමා මානව වර්ගයා වෙනුවෙන් සමාජවාදී අනාගතයක් නිර්මානය කිරීමේ විප්ලවවාදී අරගලයට එක්වන ලෙසයි.

Fight Google's censorship!

Google is blocking the World Socialist Web Site from search results.

To fight this blacklisting:

Share this article with friends and coworkers