වැඩි වැටුප් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් යලි අරගලයේ

එම්.දේහින් වසන්ත විසිනි, 2018 පෙබරවාරි 01

වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කීපයක් මත විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ ජනවාරි 25 වන දා එක්දින සංකේත වැඩ වර්ජනයක යෙදී ගත්හ. අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කැඳවන ලද මෙම වර්ජනයට අනධ්‍යන සේවකයන් බහුතරයක් සහභාගිවීම හේතුවෙන් දිවයිනේ සෑම විශ්ව විද්‍යාලයකම අධ්‍යන වැඩ කටයුතු මුලුමනින්ම පාහේ අඩාල විය.

තම ජීවන තත්වයන්ට එල්ලවන ප‍්‍රහාර සම්බන්ධයෙන් කම්කරුවන් අතර වැඩෙන විරෝධය හමුවේ වර්ජනයක් කැඳවීමට ඒකාබද්ධ කමිටුවට සිදු වුවද, අවම වශයෙන් පිකට් වැටක් හෝ සංවිධානය නොකෙරුනු, හුදු ඇල් මැරුනු එක් දින සංකේත වර්ජනයකට එය සීමා කිරීමට සමිති නායකයෝ වග බලා ගත්හ. අනධ්‍යන කම්කරුවන් විසින් තම අරගලයන්හි දී විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සහ එක් එක් විශ්ව විද්‍යාලය ඉදිරිපිට වෙනදා පවත්වන පිකට් වැටවල් සමිති නිලධරය විසින් මෙවර වලකාලූයේ මැතිවරන සමයකදී එවැනි දෑ “සදාචාරාත්මක නොවන” බව පවසමිනි.

ඒකාබද්ධ කමිටුව යනු, ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය, අන්තර් විශ්ව විද්‍යාලයීය සේවා වෘත්තීය සමිතිය යන දේශපාලනික පක්ෂ වලට අයත් වෘත්තීය සමිති වලින්ද කාර්මික නිලධාරී සංගමය, මාන්ඩලික සහකරුවන්ගේ සංගමය, උප ශාලාධිපතිවරුන්ගේ සංගමය වැනි දේශපාලනික නොවේ යැයි කියාගන්නා වෘත්තිය සමිති වලින් ද අටවාගත් පෙරමුන කි.

2016 වැඩ වර්ජනයේදී ආන්ඩුව පොරොන්දු වූ පරිදි තම මාසික හිලව් දීමනාව වැඩි කරන ලෙස අනධ්‍යන සේවකයෝ ඉල්ලා සිටිති. විශ්ව විද්‍යාල අධ්‍යන සේවකයන්ගේ වැටුපට එකතු කල දීමනාවට සමානුපාතික මාසික හිලව් දීමනාවක්, එනම් 2015 පැවති මූලික වැටුපෙන් සියයට 75 ක දීමනාවක් ඉල්ලා, 2016 ජූලි මාසයේදී අනධ්‍යන කම්කරුවෝ දින දෙකක වැඩ වර්ජනයක නිරත වූහ. පියවර කීපයකින් එම ඉල්ලීම ඉටුකරන බවට ආන්ඩුව පොරොන්දුවූ බව පවසමින් සමිති නිලධරය වැඩ වර්ජනය නතර කලහ. ඒ සමගම ඔවුන් කියා සිටියේ දීමනාව වැඩි කිරීමට හිලව් වශයෙන් වසර දෙකකට වැඩවර්ජන නතර කරන බවට පොරොන්දුවන ලෙස පාලකයන් ඉල්ලා සිටි නමුත් තමා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කල බවයි.

2017 ජනවාරියේදී මෙම දීමනාව 2015 වැටුපට සාපේක්ෂව සියයට 15 කින් වැඩිවිය. ඒකාබද්ධ කමිටුව කියා සිටියේ එය ඔවුන් ලත් ජයග‍්‍රහනයක් බවයි. කෙසේ වුවද වැටුප් උද්ඝෝෂනය නැවත ඇරැඹීමට වසර දෙකක් ගත විය. මේ අනුව නිලධරය ඔජවඩවන ඊනියා ජයග‍්‍රහනය ලබාගෙන ඇත්තේ පාලකයන්ගේ ඉල්ලීම ඉටු කරමින් වසර දෙකක් පුරා කම්කරු අරගල යටපත්කර දීමෙනි.

2015 දී වත්මන් ආන්ඩුව බලයට පැමිනි සැනින්, ආසන්නයේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරනයේදී වාසි අත්කර ගැනීමේ අදහසින් රජයේ සේවකයන් සඳහා කල වැටුප් වැඩි කිරීමේදී, මෙම හිලව් දීමනාව එවකට පැවති මූලික වැටුපට සාපේක්ෂව සියයට 20 කින් වැඩි කෙරුනි. නමුත්, ඉන් ක්ෂනික ඉක්බිත්තේ තාවකාලික, අනියම් සහ කොන්ත‍්‍රාත් පදනමෙන් සේවය කල සේවකයන් විශාල සංඛ්‍යාවක් රැකියාවෙන් ඉවත් කෙරුනි. සමිති නිලධරය මෙයට එරෙහිව කවර හෝ හඬක් නොනගා ඉවසා සිටියහ.

පසුගිය සංකේත වර්ජනය පැවති 25 වන දා උදෑසන සමිති නායකයන් සාමාජිකත්වයට පැවසුවේ, පෙරදා සවස් වරුවේ උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ සාකච්ඡාවක් පැවැති බවත් එලැඹෙන පලාත් පාලන මැතිවරනයෙන් පසු ඉල්ලීම් සියල්ල ලබා දීමට ඔහු එකඟ වූ බවත් ය. නිසැකවම ඔවුනට අවශ්‍ය වූයේ මෙම බොරු පොරොන්දුව මත සංකේත වර්ජනය නැවැත්වීමට යි. නමුත් සාමාජිකත්වයෙන් එල්ලවිය හැකි විරෝධය ගැන උත්සුක වූ නිලධරය වර්ජනය නැවැත්වීමේ ප‍්‍රකාශයක් නිකුත් කිරීමෙන් වැලකුනි.

වර්ජිත සේවකයන්ගේ සහභාගිත්වයෙන් එදින මොරටුව විශ්ව විද්‍යාලයේ දී පැවැති රැස්වීමේ කතා කල ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ අසන්ත ද මෙල් ප‍්‍රකාශ කලේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරන තත්වයන් නිසා එදින විශ්වවිද්‍යාල ඉදිරිපිට පිකට් නොකිරීමට තීරනය කර ඇති බවයි. “විශ්වවිද්‍යාල සේවකයන්ට සදාචාරාත්මක පැවැත්මක්” ඇති බව පැවසූ මෙල්, “පවතින සමාජ වටපිටාව සලකා බලමින්” තීරනයක් ගත යුතු හෙයින් එදින සවස ඒකාබද්ධ කමිටුව රැස්වී වර්ජනය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් තීන්දු කරන බව කීවේය.

රැස්වීමේ කතා කල දේහින් වසන්ත, ඒකාබද්ධ කමිටුවේ සවස රැස්වීම ප්‍රෝඩාවක් බවත් මැතිවරනය පැවැත්වෙනතුරු වැඩ වර්ජනය කල් දැමීමට දැනටමත් සමිති නිලධරය තීන්දු ගෙන ඇති බවත් පවසමින් මෙල්ගේ කතාවට අභියෝග කලේය.

වසන්ත මෙසේ පැවසීය: “දැවැන්ත නය බරකින් සහ ගැඹුරු වෙමින් පවත්නා ලෝක ධනේශ්වර අර්බුදයේ පීඩනයෙන් මිරිකී සිටින ආන්ඩුවේ පිලිවෙත බවට පත්ව ඇත්තේ රාජ්‍ය වියදම් දැවැන්ත පරිමානව කපා දැමීම සහ එයට එරෙහිව නැගී සිටින කම්කරු-පීඩිත මහජනතාව පොලිස්-මිලිටරි බලයෙන් මර්දනය කිරීමයි. එම ආන්ඩුවෙන් වැටුප් වැඩිකිරීමක් ඉල්ලා සිටීම වෙනුවට, ආන්ඩුවේ ප‍්‍රහාරයන්ගෙන් බැටකන අනෙකුත් කම්කරුවන් සහ පීඩිතයන් දෙසට හැරී තම අයිතීන් රැකගැනීම සඳහා ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ දේශපාලන අරගලයක් අවශ්‍යයි.”

ඔහු තවදුරටත් කතා කරමින් වෘත්තීය සමිති නායකයන් පාලක පන්තිය සමඟ ඒකාබද්ධ වී කම්කරුවන්ගේ අයිතීන් වලට පහරදීමට ක්‍රියා කරන ආකාරය පැහැදිලි කලේය. සමිති නායකයන් සහ ඔවුන්ගේ හෙංචයියන් කිහිපදෙනෙකු වසන්තගේ කතාවට බාධා කරමින් එයට බරපතල විරෝධයක් එල්ල කලද රැස්වීමට සහභාගී වී සිටි අවශේෂ අනධ්‍යයන කම්කරුවෝ බාධා කිරීමකින් තොරව වසන්තගේ කතාව අසා සිටියහ.

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයෙකු වන දේහින් වසන්ත, වෘත්තීය සමිති නිලධරයට සහ වෘත්තීයසමිතිවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා නිරතුරුව සටන් කිරීම හේතුවෙන් නිලධරයේ වෛරයට පාත‍්‍රව සිටින අතර, මෙම අරගලය අත් නොහැරියහොත් ඔහු සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කාර්මික නිලධාරින්ගේ සංගමයෙන් නෙරපා හරින බවට තර්ජනය කෙරෙන ලිපියක් එහි නායකත්වය විසින් නිල වශයෙන් එවා ඇත.

වසන්තගේ කතාවට පිලිතුරු දීම සඳහා වෘත්තීය සමිති නායකත්වය කැඳවා ගත්තේ ජනතා විමුක්ති පෙරමුනෙහි අන්තර් විශ්වවිද්‍යාලයීය සේවා වෘත්තීය සමිතියේ අශෝක චන්දන ය. ඔහු සෙසු නායකයන් අනුයමින්, ඇමති කිරිඇල්ල දුන් පොරොන්දු මත වැඩ වර්ජනය කල් දැමීම අනුමත කලේය.

පාලකයන්ගේ පොරොන්දු පත‍්‍රයක් මත 2016 පැවති වැඩ වර්ජනය අවසන් කලේ පරිවාස කාලයේ සිටි සේවකයන්ගේ රැකියාවන් අහිමි කරමින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම චක‍්‍ර ලේඛනයක් නිකුත් කොට තිබියදීය. එම පොරොන්දු අතරෙන්, 2017 දී සිදු කල සියයට 15 ක පඩි වැඩිවීම හා විශ‍්‍රාම යන වයස යන අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම හැරෙන්නට අනෙකුත් ඉල්ලීම් කිසිවක් ලැබී නැත.

වර්ජනයට සහභාගී වූ පරිවාස කාලයේ සිටි සේවකයන් සහ ස්ථිර සේවකයන් වර්ජනයෙන් ඉවත්වීම වර්ජනය දිගටම ගෙන යෑමට අධිෂ්ඨාන කරගෙන සිටි තතු තුල එය අවසන් කරන ලද්දේ සමිති නායකත්වයට වර්ජනය ඉදිරියට ගෙන යෑමට හැකියාවක් හෝ වැඩපිලිවෙලක් නොමැති තත්ත්වයේ දී ය.

අනධ්‍යයන කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට හා රැකියා කොන්දේසි වලටපහර එල්ල කිරීම සඳහා වෘත්තිය සමිති නායකයන්ගේ උදව්ව පසුගිය කාලය පුරාම පාලකයන්ට ලබාදී තිබේ. වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සහාය යටතේ තවදුරටත් වැඩ වේගවත් කිරීමේ අන්තරායන්ට අනධ්‍යයන කම්කරුවන් මුහන දෙයි. ජනවාරි 17 දා අනධ්‍යන කම්කරුවන් පැවැත්වූ පිකට් උද්ඝෝෂනයේ එක් සටන් පාඨයක් වූ “සේවකයන් දිරිගන්වන ක‍්‍රමවේදය සකස් කරනු” යන්න ඒකාබද්ධ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද්දකි.

“සේවකයන් දිරිගන්වන ක‍්‍රමවේදය” යනු අවුරුදු පතා උසස්වීම් ලැබෙන ක‍්‍රමය වෙනුවට කාර්යක්ෂමතාව මත පදනම් වූ උසස්වීම් ක‍්‍රමයකි. සාමාජිකත්වය සමග කවර හෝ සාකච්ඡාවකින් තොරව සමිති නිලධරය දැනටමත් නිවාඩු අඩු කිරීම පිලිිගෙන ඇත.

සතියකට අධික කාලයක් ගතව ඇතත් ඒකාබද්ධ කමිටු “තීරනය” අනුව වර්ජනය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න මෙතෙක් සාමාජිකත්වයට දැනුම් දී නැත.

මෙම සියල්ලෙන් නැවත වරක් කම්කරු පන්තිය ඉදිරියේ මතු කෙරෙනුයේ, තම අයිතීන් දිනා ගැනීම සඳහා වෘත්තීය සමිති වලින් බිඳී වෙන්වී, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීමේ දැවෙන අවශ්‍යතාවයයි.

Share this article: