“අන්තර්ජාල වාරනයට එරෙහිව ප‍්‍රතිරෝධය සංවිධානය කිරීම” - සම්පූර්න පිටපත

Full transcript: “Organizing Resistance to Internet Censorship”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසිනි, 2018 ජනවාරි 25

යට දැක්වෙන්නේ “අන්තර්ජාල වාරනයට එරෙහි ප‍්‍රතිරෝධය සංවිධානය කිරීම” යන මැයෙන් මාධ්‍යවේදී ක්‍රිස් හෙජස් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත් ගේ සහභාගිත්වයෙන් ජනවාරි 16දා පැවැත්වුනු අන්තර්ජාල සම්මන්ත‍්‍රනයේ [වෙබිනාර්] සංස්කරනය කල පිටපතයි. වෙබිනාර්හි දෘෂ්‍ය පටය වෙත මෙතෙනින් පිවිසෙන්න.

අන්ද්‍රේ ඩැමන්:“අන්තර්ජාල වාරනයට එරෙහි ප‍්‍රතිරෝධය සංවිධානය කිරීම” නමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙහෙයවනු ලබන අන්තර්ජාල සම්මන්ත‍්‍රනය ශ‍්‍රවනය කරන ඔබ සාදරයෙන් පිලිගන්නා, ලෝසවෙඅ වාර්තාකාර අන්ද්‍රේ ඩැමන් වන මම, මේඅවස්ථාවේ දී ඔබගේ සත්කාරක වෙමි. අද දින ක්‍රිස් හෙජස් සහ ඩේවිඩ් නෝර්ත් අප හා එක්වෙති.

ක්‍රිස් හෙජස් පුලිට්සර් ත්‍යාගය දිනාගත් මාධ්‍යවේදියෙකි. ආර්ටී හි ‘ ඔන්කොන්ට‍ෑක්ට්’ නම් වැඩ සටහනේ සත්කාරක ය. ටෘත්ඩිග් නම් වැඩසටහනේ ප‍්‍රතිපාදකයෙකි. නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ ද වෙනත් ප‍්‍රවෘත්ති මාධ්‍යවල ද විදේශ වාර්තා කරු හැටියට ඔහු දශක දෙකක් පමන වැඩකර තිබේ. ඔහු පොත් විශාල ගනනක කාතෘ ය. ඒවා අතර Empire of Illusion: The End of Literacy and the Triumph of Spectacle මිත්‍යාවේ අධිරාජ්‍යය, සාක්ෂරතාවයේ අවසානය, අපූර්ව දර්ශනයේ විජයග‍්‍රහනය; Days of Destruction විනාශයේ දවස්,Days of Revolt කැරලි සමය, The Death of the Liberal Class, ලිබරල් පන්තියේ මරනය, සහ The Wages of Rebellion කැරැල්ලේ වැටුප් යන කෘතීන් වෙයි.

අවුරුදු 45ක් ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ නායක භූමිකාවක් ඉටු කරමින් සිටින ඩේවිඩ් නෝර්ත් ද මීට සම්බන්ධවෙයි. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩල සභාපති ය. ප‍්‍රසිද්ධ කරන ලද ඔහුගේ කෘතීන් අතර A Quarter of War: The US. Drive for Global Hegemony 1990–2016යුද්ධයේ ශතවර්ෂ කාලක්, ගෝලීය ආධිපත්‍යය කරා එක්සත් ජනපදයේ ධාවනය 1990-2016 , The Russian Revolution and the Unfinished Twentieth Century.රුසියානු විප්ලවය සහ නොනිමි විසිවන සියවස යන ග‍්‍රන්ථ වෙයි.

අද දින පැවැත්වෙන සිද්ධිය ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙහෙයවනු ලබයි; ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 20වන සංවත්සරය මෙම වර්ෂයේ දී පැවත්වෙයි. අද දින සිද්ධිය, අන්තර්ජාලයේ ඔබගේ මිතුරන්, සගයන් සහ කම්කරු සහකරුවන් අතර හැකිතාක් පුලුල් ලෙස බෙදාහදා ගන්නා ලෙස සම්බන්ධවන සියලු දෙනාගෙන් ඉල්ලමින් ආරම්භ කිරීමට මම කැමැත්තෙමි. මෙයට සහභාගී වන සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ, එන්ඩ්සෙන්සර්ශිප්.ඔර්ග් ( endcensorship.org සහ මුහුනුපොත (ෆේස්බුක්) පිටුවේ සිය අදහස් හා ප‍්‍රශ්න ඉස්මතු කරමින් මෙම සාකච්ඡාවට සම්බන්ධ වන ලෙස ය.

මෙම සිද්ධියට සහාය දෙමින් පනිවිඩ ගනනාවක් අපට ලැබී තිබේ. මම විකිලීක්ස් ආරම්භක, මාධ්‍යවේදී ජුලියන් අසාන්ජ් ගේ පනිවුඩය කියවා පටන් ගැනීමට කැමැත්තෙමි.

“මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වනාහි යන්ත‍්‍ර පාලනය කිරීම මනුෂ්‍යයන් විසින් කරනු ලබන්නේ ද මනුෂ්‍යයන් පාලනය කිරීම යන්ත‍්‍ර විසින් කරනු ලබන්නේ ද යන දෙක අතර අරගලයකි; එය වනාහි සංනිවේදනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන්නේ ද, නැතහොත් කෘත්‍රිම බුද්ධියක් විසින් සංනිවේදනයේ පාලනය උදුරාගනු ලබන්නේ ද යන්න අතර තරගයකි.

“මහජනයාට අධ්‍යාපනය ලබාගැනීමේ සහ බෙදාහැරීමේ හැකියාව අන්තාර්ජලය විසින් විප්ලවකාරීව ඉහල දමනු ලැබීමේ ප‍්‍රතිඵලය වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රපංචය, දැන් පවතින සංස්ථාපිතය අරටුවෙන්ම සොලොවා දමා තිබේ. ගූගල්, ෆේස්බුක් සහ ඊට සමාන චීන අංගෝපාංග, පවත්නා ප‍්‍රභූවන් සමග සමාජමයව, සම්බන්ධීකරනය ලෙස සහ මූල්‍යමයව ඒකාග‍්‍ර වෙමින්, අදහස් හුවමාරුකර ගැනීම සම්බන්ධව යලිත් පාලනයක් තහවුරු කර ගැනීමට පියවර ගෙන ඇත්තාහ. මෙය හුදෙක් වරද නිවරද කර ගැනීමකට සිමා වී නැත. කෘත්‍රිම බුද්ධිය විසින් බලගැන්වුනු, හඳුනාගැනීමට නොහැකි සමාජමය බලපෑම වනාහි මානව වර්ගයාගේ පැවැත්මටම තර්ජනය කරන්නකි. මෙම තර්ජන තවමත් ලදරු වියේ පසු වෙතත්, ප‍්‍රවනතා පැහැදිලි අතර පිම්මේ වේගවත්ව වර්ධනය වෙමින් ඇත. මෙම ප‍්‍රපංචය සංස්කෘතික සහ දේශපාලන ප‍්‍රපංචයන් හැඩගැස්වීමට දරන ලද සාම්ප‍්‍රදායික ප‍්‍රයත්නයන්ගෙන් වෙනස් වෙයි, මන්දයත්, එය ක්‍රියාත්මක වන්නේ පරිමාවෙන්ද, වේගයෙන් ද සියුම් බවින්ද මානව ශක්‍යතාවන් පරයා යන මට්ටමක වීමෙනි.

“මෙම ප‍්‍රපංචයට අවධානය යෙදීම ගැන මම ලෝසවෙඅට ප‍්‍රසංසා කරමි.”

සහයෝගය දක්වමින් ඕස්ට්‍රේලියානු පුවත් කලාවේදී සහ වාර්තා චිත‍්‍රපට නිර්මාපක ජෝන් පිල්ගර් විසින් එවන ලද ප‍්‍රකාශයක් ද මම කියවීමට කැමැත්තෙමි.

මාධ්‍යවේදියෙකු සහ වාර්තා චිත‍්‍රපට නිර්මාපකයෙකු වශයෙන් දිගු කලක් ප‍්‍රධාන ප‍්‍රවාහය තුල කටයුතු කර ඇති කෙනෙක් හැටියට මම, ක්‍රිස් හෙජස් සහ ඩේවිඩ් නෝර්ත් සම්බන්ධවී කෙරෙන මෙම වැදගත් සාකච්ඡාවට සහාය දක්වමි.

“මාධ්‍යය සෑමකල්හිම මධ්‍යම බලයේ ලිහිල් උපාංගයක් ලෙස පැවති නමුත් දැන් එය මුලුමනින්ම පාහේ මධ්‍යම බලයට එකාග‍්‍රකොට තිබේ. ලිබරල් ධනවාදය මහ සංගත ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන තතු තුල, ප‍්‍රධාන ධාරාව විසින් පෙර ඉවසනු ලැබූ විරුද්ධ මත දැන් අමන පාතාලයට පසු බැස පවති. මෙය ඓයිතිහාසික වෙනසකි. නව පර්යායේ මායිම් සුරැකීම පුවත් කලාවේදීන්ට භාරවී තිබේ. රුසියානු-විරෝධී උන්මාදය සහ මී ටූ (මමත් එකෙක්) දඩයම එයට සාක්ෂි දරයි, විශේෂයෙන්ම ගාඩියන් හා නිව් යෝර්ක් ටයිම්ස්වැනි ලිබරල් පුවත්පත්හි පල කෙරන, ස්වාධීන මාධ්‍ය වේදීන් ප‍්‍රධාන ධාරාවෙන් එලවනු ලැබ ඇත. එම තතු තුල බරපතල එලිදරව් කිරීම් හා සාක්ෂි සහිත විශ්ලේශනයෙන් යුතු අව්‍යාජ මාධ්‍ය වේදයේ ද ප‍්‍රානසම මූලාශ‍්‍රය ලෙසට ඉතුරුව පවතින්නේ ලෝක පරිමාන අන්තර්ජාලයයි.

“ගූගල් සහ වෙනත් යෝධ ජාල සමාගම්, විකිලීක්ස්, ලෝසවෙඅ, කොන්සොර්ටියම්නිව්ස්.කොම් , ග්ලෝබල්‍රිසච්, ඩිමොක්‍රසිනව් ඩොට් ඕර්ග් සහ කවුන්ටර්පන්ච්.ඔර්ග් යනාදිය එන්ට එන්ටම ”ව්‍යාජ” යයි ඉලක්ක කරති. මෙම වෙබ් අඩවි පිලිබඳ සෙවිලි හා මතු කිරීම් ගූගල් විසින් සීමා කරනු ලැබේ. මේවා දුරින් තිබෙන මුලාශ‍්‍රයන් නොවේ. විද්‍යාව හා තාක්ෂනය සිත්කාවදින ලෙස දියුනුව තිබෙන අතරම ප‍්‍රධාන ධාරාවේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” දේශපලනය පන්ති යුද්ධයේ ද නොනවතින යුද ඝෝෂාවේ ද අන්තයට ඇද වැටී තිබෙන තතු තුල ජනයාට සිදුවන්නේ කුමක් දැයි වටහා ගැනීම සඳහා මෙම වෙබ් අඩවි තීරනාත්මක වේ.

“රශියා ගේට් [එක්සත් ජනපදය තුල අවුලුවනු ලබන රුසියානු විරෝධී උන්මාදය] මෙන් ව්‍යාජ ප‍්‍රවෘත්ති විකෘති ලෙස මැවීම මෙයින් කොටසකි. බොහෝවිට බටහිර මාධ්‍ය විසින් අත්හැර දමා තිබෙන කර්තව්‍ය ඉෂ්ට කරන ආර්ටී විද්‍යුත් මාධ්‍යය ට බලගතු ආන්ඩුවක සහාය නොතිබෙන්නට - විනාශයට පත් කෙරෙනු ඇත. ජුලියන් අසාන්ජ් අසාමාන්‍ය ප‍්‍රානවත් බවක් හා ධෛර්යයක් දක්වමින් කුඩා නිර්භය ආන්ඩුවක ආධාරය දිනාගත්තේ නැතිනම්, ඔහුට ද අත්වනු ඇත්තේ එවන් ම ඉරනමකි. කාරනය හදිසිය, හඬ නැගීම උත්සන්න කල යුතුය! මගේ සහකරුවන්ගෙන් මා ඉල්ලන්නේ තම නිහැඬියාව අවසන් කරන මෙනි.”

ජුලියන් අසාන්ජ් සහ ජෝන් පිල්ගර් විසින් [අපගේ සම්මන්ත‍්‍රනයට සහායදී] නිකුත් කර තිබෙන එම බලගතු ප‍්‍රකාශ පිලිබඳව මම ඔවුන්ට ස්තුතිය පලකිරීමට කැමැත්තෙමි. ඔවුන් විසින් මතුකර තිබෙන තේමාවන් සමහරක් සැලකිල්ලට භාජනය කරමින් පටන්ගන්නට මම අදහස් කරමි. ඩේවිඩ් , ගතවූ මාස හය තුල ගූගල් විසින් වාමාංශික, යුද-විරෝධී, සහ ප‍්‍රගතිශීලි වෙබ් අඩවි වාරනය කිරීම පිලිබඳව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෘතුල ලෙස ලියා තිබේ. මෙම වාරනය සිදුකරමින් ඇති බවට ඔබ නිගමනය කලේ කෙසේ ද?

ඩේවිඩ් නෝර්ත් : ඔබ කී පරිදි අපි, 1998 පෙබරවාරි 14 පටන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලකරමින් සිටිමු. අපි අපගේ පාඨකය පරෙස්සමින් තෝරා බේරාගෙන ඇත්තෙමු. අවුරුදු ගතවෙද්දී අපි සැලකිය යුතු වර්ධනයක් දැක ඇත්තෙමු. ඇත්තෙන්ම වර්ධනය විවිධ කාල වකාවනු වල දී වෙනස් වෙයි. වඩාත් දැඩි දේශපාලන මැදිහත්වීමේ කාල වලදී මෙන්, එහෙත් පොදු ප‍්‍රවනතාවය වී ඇත්තේ ඉහල නැගීමකි. විශේෂයෙන්ම 2015, 2016 සහ 2017දී දිනකට හැට, හැත්තෑ, අසු දහස දක්වා වෙබ් අඩවියේ පාඨක සංඛ්‍යාව ඉතා වේගවත්ව නැගී යනු අපි අත් දුටුවෙමු.

අපි, මැයි මුලදී පාඨක සංඛ්‍යාවේ වැටීමක් දකින්නට පටන් ගතිමු. අප මුලින් සිතුවේ, මෙය හුදෙක් කාලීන ප‍්‍රපංචයක් පමනක්, මුලින් ආ ට‍්‍රම්ප් විරෝධී පෙලපාලි රැල්ලෙන් පසු එක්තරා බැස යාමක්‍ කියාය. එහෙත් එය ජුනි දක්වා ද පැතිර ගියේ ය. ඒ දැවැන්ත ආකාරයකට ය. මෙය සාමාන්‍ය දෙයක් නොවන බව අපි වටහා ගති මු. බොභෝ විට අප සමග සංසන්දනය කරනු ලබන ටෘත්ඩිග්, කවුන්ටර්පන්ච් සහ කොන්සෝටිය නිව්ස් වෙබ් අඩවි වල සංඛ්‍යා ලේඛන ද පරීක්ෂා කිරීමට අපි පටන් ගත්තෙමු. මෙය අපට පමනක් බලපැවැත්වූ දෙයක් දැයි බැලීමට. ටෘත්ඩිග්, කවුන්ටර් පංච්, ග්ලෝබල් රිසර්ච් වෙතින් විමසා බැලූ කල්හි පෙනී ගියේ ඒවාට ද සලකිය යුතු අන්දමින් පහර වැදී තිබුනු බව ය.

ඒ සමගම ගුගල් අලුත් අල්ගොරිතම් සූත‍්‍රයක් යොදාගෙන තිබුනු බව ගැන ද අපි දැනුවත් වීමු. ගූගල් කීවේ එය පාඨක අත්දැකීම් වර්ධනය කරනු ඇති බවකි. එහෙත් ඉතා පැහැදිලි ලෙස පෙනී ගිය පරිදි මෙම අල්ගොරිතමය යොදාගෙන තිබුනේ, ලෝක සමජවාදී වෙබ් අඩවියට ප‍්‍රවිෂ්ට වීම අඩපන කිරීම සඳහාය.

මෙහි ඇති ප‍්‍රස්තාරය පෙන්නුම් කරන්නේ, අප්‍රේල් මාසයෙන් පසුව මෙය කොතරම් වේගයෙන් වැඩී ගියා ද කියා ය:

ගුගල් නව අල්ගොරිතමයක් යොදාගත් අතර ඔවුන්ගේ මේ කටයුතු භාර ප‍්‍රධාන නිලධාරියා බෙන් ගෝමස් ය. ඔහු අප්‍රේල් 25 දා ප‍්‍රකාශයක් නිකුත් කලේ ය. හරියටම ඉන් පසුවය මේ වේගවත් කඩාවැටීම ඇරඹුනේ.

අපට නිගමනය කරගත හැකි වුනේ - සහ අප මෙය කලේ, සෙවිලි උපරිමකරනයේ වෙනත් විශේෂඥයින් සමග සාකච්ඡා කිරිමෙනි - ලෝක සමාජවදී වෙබ් අඩවියට පාඨකයන් ආකර්ශනය කරගන්නා සෙවීම් පද, ඉලක්ක කරගෙන ප‍්‍රහාරය එල්ලවී ඈති බවය. වෙනත් ආකාරයකට කිවහොත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට එරෙහිව එන්නතක් දී තිබේ.

ඒඩී: ඉන් සමහරක් අපි මේ තිරයේ දක්වමු.

ඩීඑන්: හරි, ඉතින් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පාඨකයින් යොමු කල ඉතාම ජනප්‍රිය සෙවිලි පද 150න් 145ක්ම අගෝස්තු වන විට පාඨකයන් යොමු කිරීම නවතා තිබුනි. ඉන් සමහර වචන මේ තිරයේ ඔබට දකගත හැකිය. “සමාජ වාදය, රුසියානු විප්ලවය, පන්ති ගැටුම.” වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් උත්සාහ කරන්නේ, ක්ලික් බේට් (රවටන ඇම) සහ වෙනත් එවන් දේ වලින් ප්‍රේක්ෂකයන් ආරක්ෂා කිරීම නොවේ.

මෙහි විශේෂිත වැදගත් කම නම්, තරුනයින් හා කම්කරුවන් අතර දේශපාලන රැඩිකලීකරනය වැඩී එන තතු තුල, ඔවුන් සමාජවාදය, විප්ලවය “සමානතාව” වැනි විරුද්ධවාදී තොරතුරු පිලිබඳව ද උනන්දු වන බවයි. කලින් ලෝක සමාජවාදී වෙබ් අඩවියටදහස් ගනන් පාඨකයින් ගෙන ආ මේ පද දැන් එකදු පාඨකයෙකු හෝ ගෙන එන්නේ නැත. වෙනත් වචන වලින් කිවහොත්, ඔවුහු අපගේ වෙබ් අඩවිය ගැන උනන්දු වීමට ඉඩ තිබුනු ජනයා සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය අතර තහංචියක් පැනවූ බවයි. පාලමක් වී තිබුනු ගූගල්, බාධකයක් බවට පත් ව ඇත. ගූගල් අපගේ වෙබ් අඩවියට ලඟාවීම වලක්වන ආරක්ෂකයෙක් වී ඇත.

මුලදී, අප විසින් මෙය ඉස්මතු කෙරුනු අවස්ථාවේ මෙම අල්ගොරිතම් සූත‍්‍රය, දේශපාලනිකව නො මෙහෙයවන, හුදෙක් අහම්බ සිදුවීමක් විතරක් ද යන ප‍්‍රශ්න මතුවී තිබුනි, දැන් කිසිදු කෙනෙකුට තවදුරටත් එසේ ප‍්‍රශ්න කිරීමට ඉඩක් ඇත්තේ ම නැත. මෙය වනාහි ඇමරිකානු ආන්ඩුවේ ප‍්‍රතිපත්ති පිලිබඳව විවේචනාත්මක අගැයීමක් ඉදිරිපත් කරන ලෝක සමජවාදී වෙබ් අඩවියත් , විරුද්ධවාදී මත ඉදිරිපත් කරන වෙනත් වෙබ් අඩවිත් යටපත් කර දැමීමට හොඳින් සිතාමතා කරනු ලබන, පරම වශයෙන් ම දැනුවත් ඒකාග‍්‍රක උත්සාහයකි. ඒ නිසාය, මෙයට එරෙහි අරගලය සංවිධානය කිරීම මෙතරම් තීරනාත්මක වන්නේ.

ඒඩී:ලෝක සමාජවාදී වෙබ් අඩවිය කරා සෙවිලි ආගමනය වැටුනු සැටි පිලිබඳ යමක් දැන් ඔබට තිරය මත දැකගත හැකි ය.

ඩීඑන්: හරි, මම තවත් කරුනක් මතක් කරන්නම්. අප්‍රේල් මාසයේදී අපගේ පාඨකයන්ගෙන් සියයට 45 පමන ලෝක සමාජවාදී වෙබ් අඩවිය කරා එලඹුනේ සෙවිලි හරහාය. මෙම සෙවිලි වලින් සැලකිය යුතු ප‍්‍රමානයක් ගූගල් උපයෝගි කරගති. මේ සතියේ මම යලිත් පරීක්ෂා කර බැලූවෙමි. ඒවන විට අපට ගූගල් වලින් ලැබී තිබුනේ සියයට 15ට අඩු ගනනකි. අගෝස්තුවෙන් පසු අපට අපේ සෘජු පාඨක සංඛ්‍යාව වැඩි කරගැනීමට හැකි වී තිබේ. අපගේ පාඨකයන්ගෙන් සියයට 50 පමන දැන් එන්නේ කෙලින්ම ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට මය. එහෙත් සෙවිලි මගින් අපට එන පාඨක සංඛ්‍යාවේ වැටීම ඉහල යාම, නැවතී නැත. මා පරීක්ෂා කල අවසන් වතාවේදී ටෘත්ඩිග් වලින් ලැබී තිබුනු ප‍්‍රතිඵල ද එසේ මය. ඔබ මුහුන දෙන්නේ ද ඊට සමාන තත්වයකට ය.

ඒඩී: ඔව් වාමාංශික, යුද-විරෝධී සහ ප‍්‍රගතිශීලි වෙබ් අඩවි සියල්ල මේ තත්වයට මුහුනපා ඇත.

ක්‍රිස් හෙජස්: මෙය දැනට අවුරුදු කීපයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින සන්තතියකි. එය දෙ ආකාරයකින් අර්බුදයට ගොස් තිබේ. සංගත ධනවාදය, ගෝලීයකරනය, නව-ලිබරල්වාදය යන කුමකින් හැඳින් වුව ද එය අර්බුදයට ගොස් ඇත. ප‍්‍රථමයෙන්ම එම දෘෂ්ටිවාදය ම විශ්වසනීයත්වය නැති කරගෙන තිබේ. දේශපාලන වර්නාවලිය හරහා එයට තවදුරටත් පිලිගැනීමක් නැත. එය බොරුවක් බව එලිදරව් වී තිබේ. අරම්භ වන විටම මේ දෘෂ්ටිවාදයේ සියලු ආස්ථානයන් යුතෝපියානු [මනෝරාජික] වූ අතර අප කරදර කිරීම නවතා, වෙලඳපොලට රජකිරීමට ඉඩ සලසා දුනහොත්, එය ගෝලීය මධ්‍යම පන්තියක් නිර්මානය කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රචලිත කරනු ඇති බවට අදහස් ඉදිරිපත් විය. [මෙම යුතෝපියානු සැලැස්මේ එක් ප‍්‍රචාරකයෙකු වූයේ තෝමස් ෆ්‍රීඩ්මන් ය.]

හුදෙක් එක්සත් ජනපදය තුල පමනක් නොව ලොව පුරාම මින් ඇතිවූ විනාශය සහ නස්පැත්තිය, ධනයට ගිජු, කාපාලු කතිපයධිකාරයක් ලෝකය පුරා නිර්මානය කොට තිබේ. ඉන්දියාවේ වේවා මෙහි වේවා, සැමතැනකම ජනගහනයෙන් දැවැන්ත පංගුවක් අනවශ්‍ය හෝ අතිරික්ත බවට පත්කර තිබේ. මාක්ස් කිවූ අයුරු අතිරික්ත ශ‍්‍රමය. එයින් මහසංගත ප‍්‍රභූවට, පාලනයේ වඩ වඩාත් රුදුරු පියවර ගැනීමට බලකර තිබේ. අපට ඇමරිකා එක්සත් ජන්පදය තුල, මූලික වශයෙන්ම, වාටියේ ජනකොටස් කුඩා පොලිස් රාජ්‍ය බවට පත් කරනු දැකගත හැකි ය. විශාල ජන සංඛ්‍යාවන් සිරකර තැබීම ඉහල යාම, විශේෂයෙන්ම දුප්පත් ජනයා, කලු හා දුඹුරු පුද්ගලයින්, අපරාධකාරී පන්තියක් ලෙස හංවඩු ගැසිම සඳහා සුලු අපරාධ චෝදනා යොදා ගැනීම මීට සම්බන්ධය.

දෙවන අර්බුදය නම්, තමන් විසින් පිහිටුවාගනු ලැබුනු නායකත්වය -බුෂ් පෙලපත වුව ද, ක්ලින්ටන් පෙලපත වුව ද බරක් ඔබමා වුව ද මේ සියලූ දෙනාම ගෙන ගිය ඩිමොක‍්‍රටික් මෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ද ව්‍යාජ දේශපාලන හරඹය- මහසංගත රාජ්‍යයේ සේවකයන් බව ප‍්‍රදර්ශනය වීම නිසා පාලක ප‍්‍රභූව තුල ඇතිව තිබෙන භීතියයි. ජොන් රාල්ස්ටන් මහ සංගතවල හිමිං සීරුවේ සිදුවන බල කොල්ලය ගැන කතා කරයි. එය නිවැරදිය.

ඉතින් මා වැනි ධනවාදයේ විවේචකයින්, අධිරාජ්‍යවාදයේ විවේචකයින්, ව්‍යූහයේ විවේචකයින්, මා වසර 15ක් වැඩකල නිව් යෝර්ක් ටයිම්ස් වැනි ප‍්‍රධාන ධාරාවේ ප‍්‍රකාශන වලින්, ඉවතට අද දමනු ලෑබ ඇත. දැන් අපට පෙනීයන සරභූත කාරනය නම්, ඕනෑම කෙනෙකුට අලෙවි කලහැකි ප‍්‍රති-තර්කයක් මොවුන් අත තව දුරටත් ඇත්තේ නැති බවය. ඉතින් මේ අද්දරට තල්ලු කරනු ලැබූ විවේචකයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ධනවාදය පිලිබඳ විවේචන පලකරයි. කම්කරු පන්තිය අපයෝජනයෙන් උඩට ඔසොවා තබයි, අපට බොහොමයක් පිලිබඳව කථා කල නොහැකි නමුත් අතේ ඇඟිලි ගානට වන අඩවි. කවුන්ටර්පංච්, ඔල්ටර්නෙට් ඉතා හොඳය. පාලක ප‍්‍රභූව ඔවුන් ඉලක්ක කර ගන්නේ, මේ විවේචකයන් භායනක යයි ද, අනතුරු දායක යයි ද දැන් ඔවුන් දන්නා නිසා ය. ඉතින් දැන් ගූගල් හා ෆේස්බුක් වැනි සිලිකන් වැලි යේ විශාල ඒකකයන් අතරේ මේ සම්බන්ධය පැන නැග තිබේ. සත්තකින්ම ඔවුහු ජාතික රාජ්‍යයට බැඳී සිටිති. නිදසුනක් ලෙස, බෙසෝස් ට සීඅයිඒ සංවිධනයෙන් ඩොලර් මිලියන් 650ක කොන්ත‍්‍රාත්තුවක් ලැබී තිබේ. ඔවුහු අතිනත් ගෙන වැඩට බැස සිටිති. අන්තර්ජාල මධ්‍යස්ථ භාවය නිෂ්ප‍්‍රභා කිරීමේ අන්තරාය මෙයයි, අන්තර්ජාලයෙන් මෙම විවේචකයින් අවශ්‍යයෙන්ම මකා දැමීම මේ ක්‍රියාවලියේ කොටසකි.

ඇලෙක්සැන්ඩර් බර්ක්මන් ලියාපු ඉතා අගනා ලිපියක් කියවන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි. මා සිතන්නේ එහි මාතෘකාව, “අදහස තමයි දෙය” කියාය. කිසියම් රජයන දෘෂ්ටිවාදයකට - අපි කියමු, රජාන්ඩුව යටතේ රජවරුන්ගේ දිව්‍යමය අයිතිය කියා- තවදුරටත් පිලිගැනීමක් ඈත්තේ නැතිනම් සිදු වන්නේ කුමක් දැයි ඔහු විමසයි. ඇන්ටෝනියෝ ග‍්‍රම්ස්කි අන්තර් රාජ්‍ය අවධිය ගැන කතා කරන විට සඳහන් කලේ මේ දෙයයි; ඒ කියන්නේ අධිපති දෘෂ්ටිවාදයට තව දුරටත් පිලි ගැනීමක් නොමැති වන අතර, මිනිසුන්ට වෙනත් විකල්ප දෘෂ්ටියක් ගොඩනගා ගැනීමට තවමත් නොහැකි ව පවත්නා නොපැහැදිලි කාල වකවානුවක් ගැනය.

බර්ක්මන් මෙය කේතලයක උතුරන ජලය හා සමාන කර දක්වයි. ඔබට එහි පැහීම පලමුවෙන් පෙනී නොයයි. සියල්ල නිසල බවකි පෙනී යන්නේ. සියල්ල පවත්නා තත්වයට සාරභූතව ආධාර කරන බවක් පෙනී යයි. එහෙත් යටින්, කිසියම් -පාලක පන්තීන්ට ඉතා භයානක වන- යටි ධාරාවෝ ඇතිවෙමින් පවතිති. ඉතින් එය පුපුරා යන විට එය කේතලයෙන් පිටවන හුමාලය සහ හඬ නගන නලාව වැනි යයි ඔහු පවසයි.

දැන් අප ඉන්නේ මෙතනය. ප‍්‍රභූව මෙය දැන සිටිති. ඉතින් ඔවුන් කරන්නේ, මහ සංගත රාජ්‍යයේ මහ සංගත ධනවාදයේ සතුරන් වන අපට විරුද්ධව පූර්ව භංග ප‍්‍රහාරයක් එල්ල කිරීමයි.

ඒඩී: අපි පැහැදිලිවම වාරනයේ පෘතුල සන්දර්භය කරා පැමින සිටිමු. මම ඩේවිඩ් ගෙන් ප‍්‍රශ්නයක් ඇසීමට කැමැත්තෙමි. අවුරුද්ද මුලදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉදිරි දර්ශන ලිපියක් පලකලේ ය. එහිදී, එය මෙම වර්ෂය තුල පන්ති අරගලය සැලකිය යුතු ආකාරයකින් උග‍්‍රවනු ඇති බව පුර්වාපේක්ෂා කලේය. ඒ සමගම, අප ලියා ඈති පරිදි, නව වසරේ ගතවූ දෙසතිය තුල අන්තර්ජාල නිදහසට පලල් ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ. මේ සම්බන්ධය ගැන ඔබට කතා කල හැකි ද ?

ඩීඑන්: මා සිතන්නේ ක්‍රිස් ඉතා වැදගත් ප‍්‍රශ්න ගැන කතා කල බවයි. ඔහු ග‍්‍රම්ස්කි ගැන සඳහන් කලේ ය. මා සිතන්නේ අප මෙහිදී මාක්ස් කී දෙය කරාම යා යුතු බවයි, එන මැයි මාසයේදී අපි මාක්ස්ගේ ජන්මයෙන් 200 වන සංවත්සරය අනුස්මරනය කරන්නෙමු. පසුගිය වසරේදී අපි (රුසියානු) ඔක්තෝබර් විප්ලවයේ 100 වන සංවත්සරය සැමරුවෙමු, සිදුවීම් දෙක දැවැන්ත සමකාලීන වැදගත් කමක් අත්කර ගනියි. සියල්ලටත් පසුව, යමෙකුට පසුගිය වසර 150 තුල ධනවාදයේ සිදුව ඇති සියල්ල ඇතුලූ, අප ජීවත් වන ලෝකය වටහාගැනීමට අවශ්‍ය නම්, මාක්ස් විසින් නිරාවරනය කල මූලික නියාමයන් අදාලව පවතී. ඔබට ලෝකය පිලිබඳව හෝ ලෝකය අවබෝධ කර ගැනීම පිලිබඳව කථා කල නොහැකියි, වටිනාකම පිලිබඳ සංකල්පය, ලාභය පිලිබඳ සංකල්පය, ලාභ අනුපාතිකයේ වැටීම පිලිබඳ අවබෝධයකින් තොරව....

ක්‍රිස්: ... හෝ නූතන අර්ථ ශාස්ත‍්‍රඥයන් විසින් මකා ඇති කම්කරු ශ‍්‍රමය පිලිබඳ සංකල්පය ....

ඩීඑන්: ...හරි, අන්තිමේදී, අවසාන විග‍්‍රහයේ දී, සකල වටිනාකමක්ම උකහාගනු ලබන්නේ කම්කරුවන්ගේ ශ‍්‍රමය සූරාකෑම් තුලිනුයි. ඉතින්, ලිබරල් සහ සුලු ධනේශ්වර ශාස්ත‍්‍රාලිකයන්ගේ තවත් ප්‍රියතම මන්තරයක් වන, කම්කරු පන්තිය අහෝසි වනවා වෙනුවට, ගෝලීයකරන සන්තතියේම ප‍්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර කම්කරු පන්තිය ප‍්‍රමානයෙන් සහ පරිමානයෙන් ඉමහත් ලෙස වැඩිවී ගිය ලෝකයක අද අපි ජිවත් වන්නෙමු.

ක්‍රිස්: අපි ඔවුන්ට වැඩ කරන දුප්පතුන් යයි කියමු. කම්කරු පන්තිය පිරිහෙලා තිබෙන්නේ මෙතැනට ය.

ඩීඑන්: මාක්ස් සම්බන්ධයෙන් ඉතා වැදගත් ලක්ෂනයක් තිබේ. මාක්ස් සහ එංගල්ස් ගේ විශිෂ්ට ජයග‍්‍රහනය වූයේ, කම්කරු පන්තිය හුදෙක් සූරාකෑමට භාජනය වන පන්තියක් පමනක් නොව, විප්ලවවාදී පන්තියක් ද වන බව හඳුනා ගැනීමය. එය විප්ලවකාරී පන්තියක් වන්නේ මන් ද යත්, අවසාන විග‍්‍රහයේ දී, එය නිෂ්පාදන බලවේග සියල්ල ක්‍රියාත්මක කරන්නා වූ, ඉතාම වැදගත් නිෂ්පාදන බලවේගය වන නිසාය. අප මාක්ස්ගේ මුල් කාලීන ලියැවිලි වලට ආපසු යනවිට පැහැදිලි වන්නාවූ කරුනක් නම්, එම ලියවිලි, ඔහු යුතෝපියානු සමාජවාදය ද සමාජය දියුනු කිරීම පිලිබඳ සුලු ධනේශ්වර සංකල්ප ද විවේචනය කරමින්, විද්‍යාත්මක විශ්ලේෂනයක් ස්ථාපනය කිරීමට වැඩකල කාල පරිච්ඡේදයේ දී ලියනලද ඒවා බව ය. ඔහු ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය විස්තාරනය කලා පමනක් නොවේ. ඔහු පන්ති අරගලය සමජවාදී විප්ලවය කරා ද කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීම කරා ද වැඩෙන හෝ ඒ සඳහා වෛෂයික කොන්දේසි නිර්මානය කරන බවත් පෙන්නුම් කලේ ය.

ක්‍රිස් නිවැරදිව මෙසේ අසයි; “ඔවුන් බයවී සිටින්නේ මන්ද?” පාලක පන්තියට ඉතා සියුම් ඉවක් තිබේ.. මට බොහෝවිට හැෙඟන කරුනක් නම්, වමේ ගැටලු වලින් එකක් වන්නේ, ඔවුන් බෙහෙවින් අසුබවාදී වීම සහ කොතරම් දුෂ්කරකම් හා ප‍්‍රශ්න මැද්දේ වුව [ධනේශ්වර පර්‍යායට එරෙහිව සටන් වදින කවුරුන් වුවත්, අදාල යෝධ ගැටලු සහ අන්තරායන් ගැන නොදන්නේ නැත] තත්වයේ පවත්නා විප්ලවීය විභවය ග‍්‍රහහනය කර නොගැනීමයි. එහෙත් පාලක පන්තිය මෙම අනතුරු ගැන ඉතා දැනුවත්‍ය. ඔබ නිවැරදිව මෙසේ කියන්නෙහිය; ඔවුන් දැන් එල්ල කර ඇත්තේ පූර්ව භාංග ප‍්‍රහාරයකි. අප කියන දේහි වැදගත්කමක් නොමැත්තේ නම්, අප වාරනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් නැත.

ක්‍රිස්: මා සිතන්නේ අප මෙසේ කිව යුතුය කියාය: අවුරුදු ගනනාවක් තිස්සේ, මේ වර්ගයේ විවේචන කල අප වැන්නන් සහතිකෙන්ම අද්දරට තල්ලු කෙරුනු බවය. එහෙත් අපට බාධාකිරීමට කිසිවක් පනවන ලද්දේ නැත. අපට ප‍්‍රධාන ධාරාවේ ශ‍්‍රාවකයා වෙත පිවිසිය නොහැකි විය. එහෙත් අපට අන්තර්ජාලය තුල ප‍්‍රකාශනයක් අත්කර ගත හැකිව තිබුනි. දැන් ඔවුන් නැතිකර දැමීමට උත්සාහ කරන්නේ එයයි.

ඔබ මාක්ස් ගැන කී දේ ට කුඩා දෙයක් එකතු කිරීමට ඉඩ දෙන්න. මාක්ස් එංගල්ස් සමග සිය අපේක්ෂාවන් ගොඩ නැගුවේ කාර්මික කම්කරු පන්තිය මත ය, අප දැන් මෙහි ඉඳගෙන ඉන්නේ, විකාර්මික කෙරුනු ඇමරිකාව මැද ය. ගෝලීය වෙලඳ ගිවිසුම් මගින්, ගෝලීය මහ සංගත කතිපයාධිකාරයන් කාර්මික නිෂ්පාදනය චීනය වැනි තැන් වලට මාරුකොට යවා ඇත. චීනයේ කම්කරුවෙකුට ලැබෙන්නේ පැය 12ක දිනයකට ඩොලර් 1ක වේතනයකි. බංග්ලාදේශයේ එය පැයකට ඩොලර් ශත 32කි. සාරභූත වශයෙන් ඔවුන් කරන්නේ, අප 19 වන සියවස මැද වහලුන්ගේ තත්වයට ඇද දැමීමය. කාර්මික විප්ලවය ඇරඹුනු එකල්හි කම්කරුවෝ වැටුප් වහලූන් වූහ. කම්කරුවන් ජීවත් වුනේ බිහිසුනු කොන්දේසි තුලය. ඒ සියල්ල දැන් චීනය තුල යලිත් අරඹා තිබේ. චීනය පුලුල් වශයෙන් සිරකරුවන්ගේ ශ‍්‍රමය යොදා ගනී. මේ රටේ මිලියනයක් සිරකරුවෝ ලාභ උපයන සංගත වලට වැඩ කරති.

ඉතින් - මා සිතන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ පිලිබඳව දන්නා බවය. - අපට ජාතික සීමාවලට හිරවිය නොහැකිය. උදාහරනයක් හැටියට, අපට කිසියම් වර්ගයක දැනුවත් බවක් ගොඩනගා ගැනීම සඳහා සහ බංග්ලාදේශයේ වහල් ශ‍්‍රම කඳවුරුවල කම්කරුවන් සමග සහයෝගය ගොඩනගාගත නොහැකිනම්, මේ පද්ධතිය බිම හෙලීමට අපට කවර කලෙකවත් හැකි නොවනු ඇත.

මෙය පීඩිත වැඩකරන ජනතාවගේ ගෝලීය සටනක් විය යුතු ය. අපගේ ආසක්තතා ඔවුන්ගේ ආසාක්තතාම වේ. ජාත්‍යන්තර බැඳීම් ඇති කරයි. මන්ද යත් අප සියලූ දෙනාම සටන් කරන්නේ එකම සතුරාට විරුද්ධව නිසාය. ඔහු ජාත්‍යන්තර සතුරෙක් වන නිසා ය. අපි මෙය බදු ගෙවීම මගහැරීම සඳහා යොදාගනු ලබන බදු රහිත කුඩා රාජ්‍ය තුල දකිමු. මා සිතන්නේ බදු මගහැරීමට ඩොලර් ට්‍රිලියන හතරක් රටින් පිට ගිනුම් ගත කර ඇති බවයි. මේ මගින් ඔවුහු බදු ගෙවීමෙන් වැලකීම සඳහා ක්‍රියාත්මක වෙති. ජෙනරල් ඉලෙක්ට්‍රික්, බෑන්ක් ඔෆ් ඇමරිකා බදු ගෙවීමෙන් වැලකී සිටිති.

මේ සටන ගෝලීය ය. මෙය සැබවින්ම මාක්ස් ද පැරනි කොමියුනිස්ට් ව්‍යාපාරය ද විසින් වටහා ගන්න ලද්දකි. අප එය යලි ග‍්‍රහනය කර ගත යුත්තේය.

ඩීඑන්: එහෙත් මෙහි ඇති මවිතකර දෙය නම්, සැබවින්ම සත්‍ය දෙයනම්, ලෝකයේ දැන් පවත්නා වෛෂයික තත්වය හරියටම මේ තත්වය උදා කරඇති බවය. ජාත්‍යන්තර සංගත වල නැගීම, ජාත්‍යන්තර මුදල් ගලනය, වෛෂයිකව ගත හොත්, කම්කරු පන්තිය ජාත්‍යන්තර කරනය කර ඇත. විද්‍යාත්මක වශයෙන් ගත හොත් තනි ජාතික නිෂ්පාදිතයක් හෝ ජාතික ආර්ථිකයක් හෝ කියා දෙයක් ඇත්තේ නැත. ධනේශ්වර ක‍්‍රමයේ ඒකාග‍්‍රකරනය, ගෝලීය වශයෙන් එකාග්‍රිත වූ කම්කරු පන්තියක් නිර්මානය කර ඇත.

අප දැන් එලඹ සිටින කාල පරිච්ඡේදයේ සුවිශේෂතාවය වන්නේ, පන්ති අරගලය වෛෂයිකව දිගහැරෙන්නට යාමයි. එය ජාත්‍යන්තර ව සම්බන්ධීකරනය වූ ක්‍රියාවලියක් වීමයි. අපි එහි වර්ධනය අත්දකිමින් සිටිමු.

මෙය අතිමූලික වශයෙන්ම, අන්තර්ජාලය පිලිබඳ භීතියට යටින් පවත්නා කාරනය කරා දිවෙයි. එය, හුදෙක් තොරතුරු ලබාගැනීමේ මාධ්‍යයක් පමනක් නොව, ජාත්‍යන්තර සම්බන්ධීකරනයේ උපකරනයක් ද වන බව ය. එය අපගේම අත්දැකීමෙන් දැක ගන්නෙමු.

මම උදාහරනයක් දෙන්නම්. අපි රුමේනියාවේ මෝටර් රථ කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් වාර්තා කරමින් සිටියෙමු. එම වැඩ වර්ජනය පිලිබඳ අපේ ලිපි රුමේනියානු බසට පරිවර්තනය කෙරෙන බව එවිට අපට දැනගන්නට ලැබුනි. රුමේනියාවේ කම්කරුවෝ අප හා සම්බන්ධ වූහ. ඒ සමගම ඔවුහු ජාත්‍යන්තර වර්ධනයන් පරෙස්සමින් සොයා බලමින් සිටියෝ ය.

මෙම වෙබිනාරය [අන්තර්ජාල සම්මන්ත‍්‍රනය] ජාත්‍යන්තරව විසුරුවා හැරෙන්නකි. ඉතාමත් දැනුවත් මට්ටමකදී නිශ්චිත අර්ථයකින්, මේ සිදුවෙමින් පවත්නා සම්මන්ත‍්‍රනය වෛෂයික සන්තතියක ප‍්‍රකාශනයක් බව මම විශ්වාස කරමි. ප‍්‍රකාශනයක් දීමට අප උත්සාහ කරන්නේ වෛෂයිකව සිදුවෙමින් පවත්නා දෙයකටය. අප ජීවත්වන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ අවධියකය. මාක්ස් මෙසේ ලිවී ය. ”ලෝකයේ සියලුම ආන්ඩු බියවී සිටිති. ඔව්, ලෝකයේ සියලූම ආන්ඩු.”

ක්‍රිස්: ඉතින්, ඒ නිසා තමයි චීනය වගේ තැන් වල අන්තර්ජාල වාරනය දකින්නට ලබෙන්නේ. ඉන්දියාවේ අන්තර් ජාල පාලනයක් ඇටවීමට යත්න දරන්නේ.

ජේකබ් ඇපල්බෝම් සමග එක්ව ජුලියන් අසාන්ජ් විසින් ලියන ලද සයිබර් රස්තියාදුකාරයෝ (පන්ක්ස්) නම් පොත ”මා කියවූ අන්තර්ජාලයේ ජානුස් දෙවියන් බඳු [දෙබිඩි ස්වාභාවය ට නම් දැරූ රෝමානු දෙවියෙකි] ස්වභාවය විස්තර කල කෘතීන් අතර ප‍්‍රථම එකක් විය. මක්නිසා ද යත් කියා ඇති සියල්ල සත්‍ය නිසාය.

අනෙක් අතට එය ඔත්තු බැලීම සඳහා, පුද්ගලික විස්තර සොයා තහවුරු කිරීම සඳහා විරුද්ධවාදීන් හඹා ගොස් ඔවුන් පිලිබඳ විස්තර තහවුරු කර ගැනීම සඳහා යාන්ත‍්‍රනයකි.

මිනිසුන් සංවිධානය වීම සඳහා විද්‍යුත් සන්නිවේදන මාර්ග යොදා ගන්නා නිසා -නැතහොත් ඇත්තටම මා කියන්නේ, විද්‍යුත් සංනිවේදන මාර්ග හොඳ සංවිධාන උපකරන නොවන වගයි. ඒවා හොඳ සංවිධානය සඳහා සංකීර්න පියවර ගැනීමටය.

අප ඕනෑම ව්‍යාපාරයකදී දැකගන්නා පරිදි, වෝල් වීදිය වාඩිලෑමේ ව්‍යාපාරයේ දී ද දුටු පරිදි, සංවිධානය කල යුත්තේ මුහුනට මුහුන පිහිටමිනි. එය විද්‍යුත් තිරයක් ඉදිරියේ කල නොහැකි දෙයකි. එහෙත් ඔබට එය සංවිධානාත්මකව කල හැකිය.

වාඩිලෑමේ ව්‍යාපාරය අහෝසිකර දැමීමෙන් ඉක්බිතිව, ඉන් මතු වූ ආරක්ෂක සහ ඔත්තු බැලීමේ පැත්ත අපි දැක ගතිමු.

සුකොටි පාක් හි වෝල් වීදිය වාඩිලෑමේ ව්‍යාපාරයේ නායක පුද්ගලයන් පිලිබඳව මම විශේෂයෙන්ම සාවධාන වීමි. ඉක්බිතිව ගත වූ සති සහ මාස වල දී රාජ්‍ය ආරක්ෂක සහ ඔත්තු අංශ යාන්ත‍්‍රනය -එෆ්බීඅයි, සහ ස්වදේශ ආරක්ෂක අංශ කලේ ව්‍යාපාරයේ වැදගත්ම පුද්ගලයන් -ඉලක්ක කර ගැනීමයි. ඔවුහු අවශ්‍යම මිනිසුන් අල්ලා ගත්හ. ඔවුන් එක් ක්‍රියාකාරකයෙකුට එරෙහිව ඇත්ත වශයෙන් ම චෝදනාවක් ගොතාගත් සැටි ගැන මම මෙහිදී කියමි. චෝදනාව නම් මෙම ක්‍රියාකාරකයා නිව්යෝක් නාගරික පොලිස් නිලධාරියෙකුට කතුරකින් අනින්නට හැදුවේය යන්නයි.

ඔවුහු සුකොටි පාක් හි සෑම දෙයක්ම රූගත කරගෙන සිටියහ. ඒ සඳහා ඔවුහු දොඹකර උඩ නැගී සිටියහ. එහෙත් ඉහතකී සිද්ධිය පිලිබඳ රූපයක් ඔවුන්ට තිබුනේ නැත. මන් ද එවැන්නක් තිබුනේ නැති නිසාය. ඔවුහු මේ තැනැත්තා උසාවියට ගෙන ආ අතර පොලිස් නිලධාරියෙකුට පහර දීම ට දඬුවම සිරගෙයි අවුරුදු හතකි. මෙය අපරාධ තීන්දුවකි. ඔහුට වරද පිලිගෙන දඬුවමෙන් මිදෙන්නට ඔවුහු ඉඩ දුන්හ. එහෙත් අවුරුදු 5ක පරිවාස කාලයකට යටත්වය. එහි තේරුම, එම අවුරුදු 5 ඇතුලත යමක් කලොත් ඔහුට අවුරුදු හතක්ම සිරගේ තපින්නට සිදුවන බවයි.

ඉතින් අවාසනාවකට ඔවුහු අන්තර්ජාලය, එනම් වැදගත් වූ සමාජ මාධ්‍යවල යාන්ත‍්‍රනය පාවිච්චි කලෝ ය. මෙය වනාහි ජුලියන් බොහෝ සෙයින් ලියා කතාබහ කර තිබෙන දෙයකි. මෙය ද අංගයක් විය යුතුය. එනම් ආන්තර්ජාලය හිතෛශී බලවේගයක් නොවේ. එය පාලනය කරන්නේ -වචන පටලන්නේ නැතිව කීවොත්- අප විසින් පෙරලා දැමීමට අරමුනු කරගත් බලවතුන් විසිනි. එය ඔවුන්ට දැවැන්ත බලයක් සපයා දෙයි. තොරතුරු සම්පාදක මාධ්‍ය පද්ධති මහ සංගතවල පාලනයේ තිබීම ඉතා භයානක දෙයකි.

ඩීඑන්: මෙය ඇත්තෙන්ම අනතුරකි. අන්තිමේ දී ඕනෑම තාක්ෂනයක පලවිපාක රැඳෙන්නේ, එය පාලනය කරන්නේ කවු ද පාවිච්චි කරන්නේ කවු ද යන්න උඩ ය. එහෙත් තත්වය සලකා බලන කල මා සිතන්නේ, මෙ වැනි සාකච්ඡාවක් කරන්නට ඉඩ ලැබීමමත්, එයට ජාත්‍යන්තර ශ‍්‍රාවකයක් ලබාගත හැකි වීමත් මෙවන් අදහස් ඉදිරිපත් කිරීමට හැකි වීමත්, නියෝජනය කරන්නේ ද එහි අන්තර්ගතව පවතින්නේ ද මහත් විභවයක් බවයි. ඔවුන් නතර කිරීමට උත්සාහ දරන්නේ එයයි.

ක්‍රිස්: හරි.

ඩීඑන්:එක්තරා අර්ථයකින් ආන්තර්ජාලය දැවැන්ත බලයක් මුදාහරියි. එය සෑම ආන්ඩුවක්ම සොලොවා දමයි. මර්දනය පිලිබඳ ප‍්‍රශ්නයට ආපසු ආවොත්: ධනවාදයට එරෙහි අරගලය ගැන යමෙක් බැරෑරුම් නම්, එම කාරනය බැරෑරුම්ව ගත යුතුව ඇත. එහෙත් අත්දැකීම් පිලිබඳ ප‍්‍රයුක්තිය, හුදෙක් සුකොටි පාක් පමනක් නොව, 2011 අත්දැකීම් ගතහොත්, ඒවා ඉතා වැදගත්වේ. වෝල් වීදිය වාඩිලාගැනීමේ මධ්‍යම පන්ති ව්‍යාපාරය මෙන් නොව, ඊජිප්තුව තුල කම්කරු පන්තියේ සැබෑ ව්‍යාපාරයක් දක්නට ලැබුනි. එය කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් විය. ගැටලුව වූයේ, දේශපාලන ඉදිරි දර්ශනයකින් තොර වීම ද තමන් සටන් කරන්නේ කුමක් සඳහා ද යන්න පිලිබඳව වැටහීමක් නැතිකම ද මුස්ලිම් සහෝදරත්වයේ ස්වභාවය හා මිලිටරියේ හා රාජ්‍යයේ ස්වභාවය පිලිබඳව පැවති ව්‍යාකුලත්වයයි.

අන්තිමේදී තීරක ප‍්‍රශ්නය වන්නේ ඉදිරි දර්ශනය පිලිබඳ ප‍්‍රශ්නයයි. කම්කරු පන්තිය වෙත යොමුවිය හැකි නිවැරදි විග‍්‍රහයක් සහ නිවැරදි පිලිිවෙත් යමෙකුට තිබේ ද?

කේන්ද්‍රීය ප‍්‍රශ්නය මෙයයි. අපි දැන් ජීවත් වන්නේ, ප‍්‍රන්සයේ මැයි-ජූනි සිද්ධියෙන් වසර 50ක් ඉක්මවා ඇති කාලයකයි. ඔබ තරමක් ලාබල වන නිසා ඔබට එය මතක නොතිබෙනු ඇතැයි සිතමි. ඒ වුනත් මට නම් මතක තිබේ. එය නව වමේ උපතේ සමය විය. ඉක්බිතිව සිදුවූයේ කම්කරු පන්තියේ භූමිකාව ප‍්‍රතික්ෂේප කිරීමයි. ඉතින් බොහෝ කාරනා හේතු කරගෙන එය අතිශය දේශාපලන ව්‍යාකූල සමයක් විය. දැන් අපට දක්නට ලැබෙන්නේ සමාජවාදය පිලිබඳ උනන්දුව යලිත් ඉස්මත්තට ඒමයි; මාක්ස්වාදය පිලිබඳ උනන්දුව අලුත් වීමයි. එහෙත් එය සම්මන්ත‍්‍රනයේ කොටසක් නොවේ.

එසේ වුවත් මසිතට වැදුනු කාරනයක් නම්, ඊයේ බර්නි සෑන්ඩර්ස් අසමානත්වයේ නපුරුකම් සියල්ල හෙලාදකිමින් ලියූ ලිපියක්, ඒ වගේ ලිපියක් “සමාජවදය” ගැන හෝ “ධනවාදය” ගැන වචනයක් වත් කතා නොකර සිටීමට සමත් වූ සැටිය.

ක්‍රිස්: ඔහු කවර විටෙකවත් “අධිරාජ්‍යවාදය” යන වචනය ද පාවිච්චි නොකරයි.

ඩීඑන්: අත්තෙන්ම නැත. ඔහු යුද ගැත්තෙකි.

ක්‍රිස්: ඔබ අධිරාජ්‍යවාදයේ විරුද්ධවාදියෙකු නොවේ නම් ඔබට සමාජවාදියෙකු විය නොහැකි ය.

ඩීඑන්: සත්තකින්ම.

ක්‍රිස්: මෙයයි සෑන්ඩර්ස් ගැන මට තිබෙන ප‍්‍රශ්නය.

ඩීඑන්: ඔබට සෑන්ඩර්ස් පිලිබඳව මහ හුඟක් ප‍්‍රශ්න තිබෙනවා. එත් මේක වඩා වැදගත් එකයි.

ක්‍රිස්: ඔබ කියන සැම දෙයක්ම ඇත්ත බව මම පිලිගන්නවා. කෙසේ වෙතත්, අපට නොතකා හැරිය නොහැකි කරුනක් තිබෙනවා. එය තමයි , ධ‍්‍රැවන්තගත වෙච්ච ඕනෑම සමාජයක් මෙන්ම අප ද දුෂ්කෘතික භාවයට වැටී තිබීම. ප‍්‍රභූවක් හෝ කන්ඩායමක් බලය අල්ලාගත් කල -එය රාජාන්ඩුවාදී වේවා ස්ටැලින්වාදී වේවා, ෆැසිස්ට් වාදී වේවා- සිදුවිය හැක්කේ කුමක් ද? සාරභූත වශයෙන් ගත් කල්හි ඔවුහු දේශපාලන පක්ෂාඝාතය ඇති කරති. ලිබරල් ධනපති ප‍්‍රජාතන්ත‍්‍රය යටතේ ආන්ඩු ක‍්‍රම පිහිටුවන්නේ, කම්කරු පන්තියේ ගැටලු ලිහිල් කිරීමට යයි පෙන්නුම් කරමිනි. අපි නිව් ඩීල් යටතේ දුටුවේ මෙයයි: කැරලිකාරී කොටස් යලිත් පර්යාය තුලට ඇදගැනීම සඳහා සෑහෙන තරම් ප‍්‍රතිසංස්කරන ඇති කිරීම.

රුස්වෙල්ට් මෙය ඇතිතරම් පහැදිලිව පිලිිගත්තේ ය. තමාගේ ඉමහත්ම ජයග‍්‍රහනය වූයේ, ධනවාදය ගලවා ගැනීම යයි ඔහු කීවේය. ඔහුගේ පුද්ගලික ලියවිලිවල එක ලිපියක ඔහු විප්ලවය ගැන කතා කරයි. ඔහු තම කතිපයධිකාරී සගයෙකුට මෙසේ කියයි: අපි දැන් දැන්ම අපේ සල්ලි වලින් ටික ටික අත්හරින්නට පටන් ගත්තොත් හොඳය. නැතිනං අපේ මුදල් සියල්ල අපට නැතිව යනු ඇත... එම පද්ධතිය බිඳවැටී ඇත. Death of a Liberal Class (ලිබරල් පන්තියේ අභාවය) ඒ පිලිබඳව පොතකි. පද්ධතිය තවදුරටත් වැඩ කරන්නේ නැත.

ඩීඑන්: ඊට වෛෂයික හේතු තිබේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය ට දෙවන ලෝක යුද්ධය අගදී තිබුනු තැන තව දුරටත් ඇත්තේ නැත.

ක්‍රිස්:එපමනක් නොව කැරලි ගැසීම වැලැක්වීම සඳහා පද්ධතිය තුල සමබරතාවයක් තියා ගැනීමට කිසියම් වර්ගයක ආරක්ෂක කපාට ලෙස වැඩ කල එම සංස්ථාවෝ සංගත ව්‍යූහයන් විසින් මිනි මස් සේ කා දමනු ලැබ ඇත. ප‍්‍රති -කොමියුනිස්ට්වාදයේ නාමයෙන් ඒ සියල්ල වනසා දමනු ලැබ තිබේ. ඔවුන් රැඩිකල් ව්‍යාපාර ද වොබ්ලිස්, කොමියුනිස්ට් පක්ෂය, සොෂලිස්ට් වරුන්, ප‍්‍රගතිශීලී පක්ෂය යනාදිය විනාශ කර දැමු පසු ඔවුහු ලිබරල් සංස්ථාවන් මතට ද කඩා වැදුනෝ ය. රුස්වෙල්ට් සිදු කල සියල්ල ආවේ මේ රැඩිකල් ව්‍යාපාර වලිනි. හොවාඩ් සින්ගේ ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසය ඉස්මතු කරන්නේ මෙම කාරනයයි.

උදාහරනයක් හැටියට, ඉතිහාසයෙන් මකා දමා ඇති නිසා අපට කියවන්නට නොලැබෙන දෙයක් නම්, 1920 ගනන් වලදී කොමියුනිස්ට් පක්ෂය වාඩිලා ගැනීමේ ස්ට‍්‍රයික් සටන් සංවිධානය කල බව ය. 1930ස් ගැන වලදී සිදුවුයේ එම උපාය කොමියුනිස්ට් පක්ෂයෙන් උදුරා ගැනීම ය. ඇමරිකානු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ විවෘත කල එම රැඩිකල් ව්‍යාපාරයෝ වනසා දමනු ලැබූ හ.

අප තවමත් ජීවත් වන මෙය, හැම විටෙකම වැසී තිබුනු පද්ධතියක් විය. මිලියන තුනක් වැඩි ඡන්ද ලබාගත් පුද්ගලයා ජනාධිපති නොවුනේ මෙලෙසින්‍ ය. එය රුසියාව සම්බන්ධ ප‍්‍රශ්නයක් නොවීය. එය ඡන්ද විද්‍යාලය පිලිබඳ ප‍්‍රශ්නයකි.

ලිබරල් ආයතනවල අභාවයත් සමග සියලුම පද්ධතිවල අපට දක්නට ලැබෙන්නේ -වත්මන් මොහොතේ දී ඉතා කුඩා කල්ලියකට- දැන්නම් නග්න චෞර තන්ත‍්‍රයක අවශ්‍යතාවන්ට සේවය කරන්නකි. එය පක්ෂාඝාතය නිර්මානය කරයි. අප විභව වශයෙන් පවතින්නේ ආන්ඩුව වසා දමනු ලැබීමේ තත්වයක මුවවිටේ ය.

මෙම පක්ෂාඝාතය දිගින් දිගටම පැවතුනහොත් -සාරභූත වශයෙන්, කම්කරු පන්තියේ වැඩිවන දුග්ගැනවිලි සහ දුෂ්කර තත්වයන්ට ප‍්‍රතිචාර දැක්වීමට ආන්ඩුවට සහ නිල ආයතනයන්ට නොහැකි වීම -දිගින් දිගටම පවතුනහොත්- පර්‍යාය ටික කලකින් ඇනහිටියි. අප එලඹ සිටින්නේ එතැනටයි.

ඩීඑන්: ඔබ ප‍්‍රශ්න විශාල ගනනක් ඉස්මතු කිරීම ඉතා වැදගත් වන නිසාම අපට මෙම ප‍්‍රපංචයන්ගේ වෛෂයික හේතු කරා යලි යලිත් හැරීමට සිදු ව ඇත..

ඇමෙරිකානු පාලක පන්තියට දැන් රුස්වෙල්ට් කෙනෙක් නිපදවන්නට බැරි මන් ද? ඔවුන්ට ට‍්‍රම්ප් කෙනෙක් ඉස්සරහට දමාගන්නට සිදු වී තිබෙන්නේ මන් ද? ට‍්‍රම්ප් වනාහි කලින් පැවති ආදම්ගේ උයනට අනවසරයෙන් ඇතුලූ වූ කිසියම් වර්ගයක මුර්ගයෙක් නොවේ.

මා මෙන් ම ඔබ ද හොඳින් දන්නා දෙය නම්, ට‍්‍රම්ප් සහ ක්ලින්ටන් යන දෙදෙනා අතරින්, මහජනතාව උනන්දුවූ තාක් දුරට, සැබෑ විකල්පයක් තිබුනේම නැත. ට‍්‍රම්ප් ජයග‍්‍රහනය කලේ, ඔහු ජනතාව මුහුනදී සිටි සමාජ තත්වයන් පිලිබඳව පැවති ගැඹුරු කෝපය ට ආමන්ත‍්‍රනය කල නිසාය. අපි මෙම සංසිද්ධිය එක්සත් ජනපදය තුල පමනක් නොව අනෙක් රටවල ද දැක ගන්නෙමු. ඊට යටින් පවතින හේතුව ජාතික ක්‍රියාමාර්ගයක් පිලිබඳ කිසිදු ශක්‍යතාවක් නොමැති වීමයි.

ක්‍රිස්: හරි.

ඩීඑන්: ඇමෙරිකානු ධනවාදයේ ගැටලු වලට ජාතික විසඳුමක් ඇත්තේ නැත. එක්සත් ජනපදය මෙය විසඳීමට උත්සාහ කරන්නේ යුද පිලිවෙතක් මගිනි. මක්නිසා ද යත් අන්තිමේදී අධිරාජ්‍යවාදයේ ස්වභාවය එය නිසාය. ජාතික රාජ්‍යයේ ගැටලු ජාතික සීමාවන් තුල විසඳාලීමට පවත්නා නොහැකියාව, යුද්ධයේ සහ රටවල් අල්ලගැනීමේ පිලිවෙතෙහි ගාමකයයි. ඉස්මත්තට එමින් තිබෙන්නේ එයයි. යුද්ධයේ සහ යුද තර්ජනයේ තතු තුල, වැඩී එන්නාවූ සහ මිනිය නොහැකි වූ අසමානතාවයේ තතු තුල, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පන රැකගත නොහැකිය. දැන් පවත්නා ප‍්‍රවනතාවය නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාගා දැමීමයි. ධනවාදයට ජාතික විසඳුමක් ඇත්තේ නැතිවාක් මෙන්ම කම්කරු පන්තියට ද ජාතික විසඳුමක් ඇත්තේ නැත.

ක්‍රිස්: ඒක හරි. මා එයට තවත් දෙයක් එකතු කල යුතුව තිබෙනවා. මෙම කොන්දේසි ෆැසිස්ට් වාදයට හෝ ප්‍රොටෝ-ෆැසිස්ට් වාදයට සරු පසක් සපයනවා. අපට මෙය ක්‍රිස්තියානි දක්ෂිනාංශය තුල දැකගත හැකියි. ඇමරිකානු ෆැසිස්ට්වාදීන්: ක්‍රිස්තියානි දක්ෂිනාංශය සහ ඇමරිකාවට එරෙහි යුද්ධය කියලා මම පොතක් ලියුවා. මම හාර්වඩ් හි දිව්‍යත්ව පාසැලේ ඉගෙනගත් කෙනෙක්. මම ‘ෆැසිස්ට්’ යන පදය සැහැල්ලුවෙන් යොදාගන්නේ නැහැ. ඔවුන් ෆැසිස්ට්වාදීන්. රජයේ, ඇමෙරිකානු ජාතිකවාදයේ නිරූපක රූප සහ භාෂාව ක්‍රිස්තියානි ආගම් සමග මිශ‍්‍ර කිරීම. නාසි ජර්මානු ක්‍රිස්තියානි පල්ලිය කලෙත් හරියටම ඒ දෙයයි.

ට‍්‍රම්ප් වනාහි දේශපාලන රික්තයකි. අප දැන් නිරීක්ෂනය කරන්නේ, ක්‍රිස්තියානි ෆැසිස්ට් වාදය විසින් එය පුරවා ලන සැටියි. නොම් චොම්ස්කි කීවේ එයයි: “ඔබ ට‍්‍රම්ප් ගෙන් අත්මිදීම ලොකු වැඩක් යයි සිතනු ඇත. එහෙත් මයිකල් පෙන්ස් ඊටත් වඩා නපුරු වනු ඇත.”

ඒඩී: ඔබ දෙදෙනා විසින් ම යුද්ධය සහ ජාත්‍යන්තරවාදය පිලිබඳව කථා කරන ලද නිසා මට සිතුනා මෙම අවස්ථාවේදී යමක් ඉදිරිපත් කරන්නට. යුද විරෝධී ක්‍රියා කාරියක වන, ඉරාක යුද්ධයට ප‍්‍රකාශිතව විරුද්ධ වීම නිසා ප‍්‍රසිද්ධියට පත් වූ සින්ඩි ෂිහාන් ගේ සහයෝගය දැක්වෙන ප‍්‍රකාශයක් මම දැන් කියවමි.

මම මගේ සහෝදරාත්මක සුබපැතුම් මෙම වැදගත් හා අවශ්‍ය සිද්ධියට සහ ප‍්‍රසංශා කටයුතු කථිකයන් වෙත එවමි; කල්තැබිය නොහැකි වූ මෙම අන්තර්ජාල වාරනයට එරෙහි අත්‍යාවශ්‍ය අරගලයේ දී නායකත්වය ගැනීම ගැන මම ලෝක සමාජවාදී වෙබ් අඩවියට සහ සමාජවාදී සමානතා පක්ෂයට මගේ කෘතඥතාවය ප‍්‍රකාශ කර සිටිමි.

පුවත් කලාවේදී ජෝන් පිල්ගර් විසින් කර තිබෙන ප‍්‍රකාශය කියවූ මම එයට සම්පූර්නයෙන්ම එකඟ වෙමි. මට අන්තර්ජාල වාරනය පිලිබඳ ප‍්‍රශ්නයට එකතු කිරීමට වැඩි යමක් නැත. ජාතික ආරක්ෂක රාජ්‍යය, විරෝධතා මැඩලීම සඳහා මෙන්ම අන්තර්ජාලය භාවිතා කරන්නන් අධිරාජ්‍යයට අවශ්‍ය ආකාරයට සිතීමට මෙහෙයවීම සඳහා වඩ වඩාත් විධික‍්‍රම යොදාගෙන යන අන්දම පෙන්නුම් කිරීමට මම කැමැත්තෙමි.

විශාලතම සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු මේ දෙය නිර්ලජ්ජිතව පිලිගෙන තිබෙන්නේ පුදුම එලවන සුලු සැහැල්ලුවකිනි. [වත්මන් සාකච්ඡාවෙන් පිටස්තරව] “ඉතින් අහන්න, අප යුද යන්ත‍්‍රය පිටුපස පිලිවෙලට අඩි තබා ගමන් කරවීමට ප‍්‍රචාරය ඇතිතරම් ඉක්මනට කරගත නො හැකි නම්, නැතිනම්, එවිට හවායි දූපතේ මිනිස්සුන්ට බැලිස්ටික් මිසයිලයක් එන වග දන්වා බිය ගන්වා ගත්තොත් වැඩේ කරගත හැකි ද?. මම අන්තර්ජාලයෙන් ඔබගේ සාකච්ඡාවට සවන් දෙන්නෙමි, ඒ අතරම අපේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට සහ ඇමරිකානු අධිරාජ්‍යයට එරෙහිව ඒකරාශී වීමේ නිදහසට එල්ලවී ඇති අලුත්ම ප‍්‍රහාරයට එරෙහිව ද අප කල යුත්තේ කුමක් දැයි සාකච්ඡා කෙරෙනු දැකීමට උනන්දුවෙන් සිටිමි. .... ..” සින්ඩි ෂිහාන්

ඇය පැහැදිලිවම ඉස්මතු කරන්නේ, අප සාකච්චා කරමින් ඉන්නා ප‍්‍රශ්න සහ මාතෘකා ය. මෙම සාකච්ඡාව තුලදී අපගේම කියවන්නන් විසින් ඉස්මතු කරන ලද ඉතා තීරක ප‍්‍රශ්න සහ මාතෘකා ඇය මතු කරන්නීය. මීලඟට කුමක් ද ? කැරොලින් මෙසේ ලියයි: “ඉතින් විසඳුම කුමක් ද ?”

අපට ජෝසප්ගෙන් මෙවන් ප‍්‍රකාශයක් ලැබී ඇත: “අන්තර්ජාල වාරනය ඉවර කිරීමට පුද්ගලයන් හැටියට පුරවැසියන්ට කුමක් කල හැකි ද ?”

බෙන් ෆ‍්‍රෑන්ක්ලින් තවත් පැනයක් නගයි: “ඔබ සිතන්නේ සමාජවාදීන් සහ විප්ලවවාදීන් විසින් අන්තර්ජාලය හරහා විකල්ප සන්නිවේදන මාර්ග පිහිටුවාගත යුතු ය කියා ද? නැතිනම් අපට සම්භාව්‍ය මුද්‍රිත ප‍්‍රකාශයන්ට සිමාවීමට සිදු වෙයි ද ?”

ඩෙරෙකා මෙසේ ලියයි: “කරුනාකර සංවිධාන පිලිවෙල විස්තර කරන්න. මහා සංගත විසින් අන්තර්ජාල පිරිවැය ව්‍යූහය අල්ලාගැනීම වලක්වා ලීම සඳහා ඉතාම සුලු අපේක්ෂාවක් වත් අන්තර්ජාලය පාවිච්චි කරන අයට තිබිය හැක්කේ කොහොම ද ?”

පැහැදිලිවම මෙය අසා ඇත්තේ ඔබ දෙදෙනාගෙන් මය.

ඩීඑන්: මෙහි බොහෝ ප‍්‍රශ්න තිබේ. මෙම සාකච්චාව පැවැත්වෙන්නේ යෝධ ජාත්‍යන්තර අර්බුදයක් පැන නැගී පවත්නා තතු තුලය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය යුද්ධය පිලිබඳ අනතුර අතිශයෝක්තියට නගන්නේ යයි සිතන ඕනෑම කෙනෙක් ගිය සති අන්තයේ හවායි ¥පත් වල සිදු වූ දෙය විමසා බැලිය යුතූ ය. මිනිසුන් මෙම සිද්ධීන් සිතට ගෙන නැති නම්, හාවයි හි පැනනැගි එක වැනි භීතියක ප‍්‍රතිචාරයක් ඇති වේ යයි මා සිතන්නේ නැත. ඔවුහු එය බරපතලව ගනිමින් සිටින අතර අන්තරාය වටහා ගැනීමට පටන් ගෙන සිටිති. ජුලියන් අසන්ජ් ගේ යෙදුමක් වූ ‘පැවැත්ම පිලිබඳ’ අන්තරායක්: යුද්ධය පිලිබඳ අන්තරාය අති මහත් ය. එවන් අන්තරායෝ අවධානය සහ දැනුවත් බව ගොනු කිරීමට හේතු වෙති.

දේශපාලනයට සම්බන්ධ වීමටත් ප‍්‍රශ්න වඩාත් ප‍්‍රගාඪ ලෙස ග‍්‍රහනය කර ගැනීමටත් මිනිස්සු පටන් ගෙන සිටිති.

“මන් ද” යන අර්ථයෙන් ගත් කල යුද්ධයේ මේ සියලු තර්ජන කුමක් පිලිබඳව ද? අවසානයේදී එක්සත් ජනපදය සිය ගෝලීය ආධිපත්‍යය තහවුරු කරගැනීමට උත්සාහ කරන්නේ මක් නිසා ද? එය ඉටු කරගත හැකි සාමකාමී මාර්ගයක් නැත. යුද්ධයේ අන්තරාය කෙතරම් ද යන්න පිලිබඳ මිලිටරියේම ඉහල පුද්ගලයින්ගේ ප‍්‍රකාශ ද අතුලත් බොහෝ ලිපි වෙබ් අඩවියේ තිබේ.

එය වලකා ලීමට හැක්කේ කුමකට ද ? එය කලහැක්කේ සමාජවාදය සඳහා ව්‍යාපාරයකටම පමනය. මෙම ප‍්‍රශ්න එකාග්‍රිතය. අසමානත්වයේ දැවැන්ත පරිමාව, නොවැලැක්විය හැකි යුද්ධයේ අනතුර, මෙවන් තත්වයන් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදය එකට පවතින්නේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාගා දැමිය යුතුවම ඇත.

ක්‍රිස්: මම මෙසේ කියන්නෙමි, අපි දැනුදු යුද්ධයේ යෙදී සිටිමු. අවුරුදු 16 අපි යුද්ධයේ පැටලී සිටිමු. මම නිව්යෝක් ටයිම්ස් පත‍්‍රයේ මැදපෙරදිග බියුරෝවේ ප‍්‍රධනියාව සිටියෙමි. මම මැද පෙරදිග අවුරුදු 7ක් ගත කලෙමි. ඉරාකයේ මාස ගනනාවක් ගත කලෙමි. ඇමරිකානු අධිරාජ්‍යයේ ලොකුම මූලෝපායික වරද්දා ගැනීම මෙය වූයේ ය. එය ඇතිනියානු අධිරාජ්‍යය සිසිලිය ආක‍්‍රමනය කිරීම වැනිය. එහිදී ඔවුන්ගේ මුලු නාවික බලඇනියම ගිල්වා දමනු ලැබින. ඔවුන්ගේ සෙබලුන්ගෙන් වැඩි දෙනෙක් ඝාතනය විය. ඉන් පසුව දැකගත හැකි වුනේ අධිරාජ්‍යය පුරාම කැරලි හටගැනීමය.

සාරභූත වශයෙන් ගතහොත් මෙය අපේ සූවස් ඇලේ අර්බුදයයි. 1956 දී බ්‍රිතාන්‍යය සහ ප‍්‍රන්සය, නසාර් විසින් සූවස් ඇල ජනසතු කිරීම පරාජය කිරීමට උත්සාහ දැරුහ. ඔවුන්ට සිදුවූයේ නිර්ලජ්ජිත ලෙස පසු බැසීමටය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය කවර කලෙකවත් ඉන් ගොඩ ආවේ නැත. ස්ටර්ලින් මුදල ලෝක මුල්‍යය ලෙස ලබා සිටි තැන අහවර විය. බ්‍රිතාන්‍ය ආර්ථිකය සීමා රහිතව කඩා වැටීම ආරම්භ විය.

ඩොලරය තව දුරටත් ලෝක මුදල නොවනදාට අප ක්ෂනික ආර්ථික බිඳවැටීමකට හසු වනු ඇත. වෝල් වීදිය සකල විධ සෙල්ලම්වල යෙදෙන තතු තුල අපි තවත් ආර්ථික බිඳ වැටීමකට මුහුන දෙන්නෙමු.

කොටස් වෙලඳ පොල තවත් ව්‍යජ බුබුලක් මෙන් ඉහල යනු අපට පෙනේ. එහෙත් එය අධිරාජ්‍යය ට පසු බැසීමට බල කර සිටි. සියලූ පැරනි අධිරාජ්‍යයන් ගේ ලක්ෂනය වූ මෙවන් මූලෝපායික වරද්දා ගැනීම් දැනටමත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීව රුධිරය වහනය කරමින් ඇත.

ඩේව්, ඔවුන් කොතරම් මෝඩ දැයි කිව හොත් තවත් යුද පෙරමුනක් ඇරඹීම සඳහා උත්සාහ දැරීමට ඉඩ තිබේ. මා සිතන්නේ අප ( එක්සත් ජනපදය ) දැනටම ඩොලර් ට්‍රිලියන් 7 ක් යුද්ධය සඳහා වියදම් කර ඇත. මෙයට යුද්ධයේ මිනිස් ජීවිත වියදම ඇතුලත් නැත. අමරිකානුන්ට පමනක් නොව, විශේෂයෙන්ම ඉරාකීයන්ට, ඇෆ්ගනිස්ථානුවන්ට, පකිස්ථානුවන් ට, යේමන් වරුන්ට, (යෙමෙනයේ සෞදි ප‍්‍රහාරය ) මහ කොලරා වසංගතයක් ගෙන ආ මෙය ගැන කතා කරන්නට කවුරුවත් සුදානම් නැත.

යල් පැනගිය අධිරාජ්‍යයේ චිරාගත ප‍්‍රතිචාරය මෙයයි. ඉතින් අපට උතුරු කොරියාව සමග මොකක් හෝ අවුලුවාගනු දැක ගත හැක. මක්නිසා ද යත්, බෝනි පැවසූ ආකාරයට, “යුද්ධය රාජ්‍යයේ සෞඛ්‍යය” වන නිසාය.

යුද්ධයේ නාමයෙන් අපට දැනටම දැක ගත හැකිව ඇත්තේ, අපවැනි විරුද්ධ මතධාරීන්ට “රුසියාවේ විදේශික ඒජන්තයන්” යයි පහර දෙන හැටි ය. ඬේවිඞ් මෙහිදී සඳහන් නොකල එහෙත් හොඳින් දන්නා, ඒ ගැන ඔබ ලියා ඇති, කරුනක් නම්, මේ අල්ගොරිතම් සූත‍්‍රවල අරමුන ලෙස ඔවුන් දක්වා ඈති දෙයක් නම්, “ව්‍යාජ පුවත්” වැලැක්වීමයි. ඔබගේ වෙබ් අඩවිය, ටෘත්ඩිග් හෝ කවුන්ටර් පන්ච්, රුසියාව ගැන “ව්‍යාජ පුවත්” පලකරන්නේ නැත, එහෙත් ඔවුන් ඒ තර්කය යොදා ගන්නා අතර, යුද සමයක විරුද්ධ මතධාරීන් යකුන් සේ මවා පෙන්වීම වඩාත් පහසු ය.

කාල් ලිබ්නෙක්ට් නැමති මහා ජර්මානු විප්ලවවාදියා - ඔහු ස්පාටසිස්ට් නැගිටීමෙන් පසුව ලක්සම්බර්ග් සමග මරා දමන ලදී - කීමට පුරුදුව සිටියේ, “සතුරා ඉන්නේ රට තුල මය.” “එනම් සතුරා ජර්මන් යුදවාදය” යනුවෙනි. එසේම අපගේ සතුරා ද රට තුලමය.

උදාහරනයක් හැටියට අප දිගින් දිගටම යුද්ධවල පැටලීගෙන සිටින්නේ ඇයි? විශේෂයෙන් අප පරාජයට පත්ව ඇති ඇෆ්ගනිස්ථානයේ? තලිබාන්වරු මුලූමනින්ම යලි පනගසා ඇත. ඉරාකයේ මෙන් නොව ඇෆ්ඝනිස්ථානයේ නාගරික පෙදෙස්වල ජිවත් වන්නේ සියයට 20ක් පමනි. සියයට 80ක් ජීවත්වන පිටිසර, එක්කෝ තලිබාන් යටතේ ය. නැතිනම් ගැටුම් සහිතය. කාබුල් සහ කන්දහාර් නගරවල පවා තලිබාන් බලපෑම පවතී.

අපට එම යුද්ධ පවත්වාගෙන යාමට තිබෙන උවමනාව කුමක් ද? රුසියාව සමග යුද්ධයකට ඉඩ සලසන්නේ මන්ද ? අවි ආයුධ කර්මාන්තය නිසා, රෙතියන් සහ හැලිබර්ටන් සහ නොර්ත්‍රෝප් ගෘම්මන්ලාට යුද්ධය හොඳ ජාවාරමක් නිසා ය.

මා වෝර්සෝ නුවර ගුවන් තොටුපලට ගිය අවස්ථාවක දී රෙතියන් ගේ යෝධ දැන්වීම් පුවරුවක් දැක්කෙමි. බර්ලින් ප‍්‍රාකාරය බිඳවැටුනු වෙලාවේ ජනාධිපති රීගන් ගොර්බචේව්ට පොරොන්දු වුනේ, නැටෝ සංවිධානය ජර්මනියෙන් ඔබ්බට ප‍්‍රසාරනය කරන්නේ නැති බවය. එහෙත් තේරුමක් නැතිව නැටෝ සංවිධානය රුසියානු දේශසීමාව අද්දරටම ප‍්‍රසාරනය කර ඇත. යුද ආයුධ කර්මාන්තයට හැර අන් කිසිවකට අනවශ්‍ය එය ගැටුම්කාරීය. මක්නිසා ද යත්, චෙකොස්ලොවේකියාව, පෝලන්තය, යනාදී මේ සියලු රටවල්, සෝවියට් ආයුධ මත රැඳී තිබුනු තමන්ගේ ආයුධ පද්ධතිය දැන් නැටෝ ආයුධවලට ගැලපෙන පරිදි සකසා ගත යුතුව ඇති බැවින්‍ය. ඒ සඳහා ඩොලර් බිලියන ගනන් යට කල යුතු වේ. ඔබට ට‍්‍රම්ප් පාලනාධිකාරයෙන් දැකගත හැක්කේ එයයි. මේ මත “ගැඹුරු රාජ්‍ය යට” ද යුද කර්මාන්තයට ද විරුද්ධව ක්‍රියා කල නොහැකි වේ.

ඩීඑන්: ඒවා ඉතා සමීපව එකාග්‍රිතව පවතිත්. අවසාන විග‍්‍රහයේදී එසේම මා සිතන්නේ යලි යලිත් මෙයට එලඹීම හැම විටම වැදගත් ය කියාය. යුද්ධය සර්වනාශකය, එහෙත් ඉන් පිටස්තර මාර්ගයක් ඔවුහු නොදකිති. යුද්ධය වනාහි පද්ධතියේ ශක්තියෙහි ප‍්‍රකාශනයක් නොවේ. එය ප‍්‍රගාඪ සහ බිහිසුනු අර්බුදයේ ප‍්‍රකාශනයකි.

සංක‍්‍රමන ක්‍රියාමාර්ගය තුල ට්‍රොට්ස්කි මෙසේ කියා සිටියේ ය. “පාලක ප‍්‍රභූව දෑස් පියාගෙන විනාශය කරා ලුහුටා යමින් සිටිති. ”1939දී ඔවුන් යුද්ධයට පැනගත්හ. ඒ සිදුවිය හැකි විනාශකාරී ප‍්‍රතිවිපාක ගැන දැන දැනමය. 1939දී ඔවුන් යුද්ධයේ ප‍්‍රතිවිපාක කවරක්දැයි දැන සිටියේය. ඒ යුද්ධය විප්ලවය ගෙන එන බවය. එහෙත් ඔවුන්ට අන් මගක් දැකගත නොහැකි විය.

පවත්නා ගෝලීය ගැටලු විසඳාලිය හැක්කේ දෙයාකාරයකින් එක් ආකාරයකිනි: ධනේශ්වර, අධිරාජ්‍යවාදී විසඳුම නම් යුද්ධයයි, ඔබ කී පරිදි ෆැසිස්ට් වාදයයි. කම්කරු පන්ති විසඳුම නම් සමාජවාදී විප්ලවයයි. මා සිතන පරිදි අප හමුවේ ඇති විකල්පය මෙයයි. ඉතින් අපට පුලුල්ම අර්ථයෙන් ඉදිරිපත්වී තිබෙන ප‍්‍රශ්නය කුමක් ද ? අප මුහුනපා සිටින ගැටලූ වලට විසඳුම කවරේ ද? විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමයි.

ක්‍රිස්: සංවිධානය පිලිබඳ දේශපාලනයට පිවිසෙනවා නම් ප‍්‍රභූව උත්සාහ කරන්නේ ද බොහෝ දුරට සමර්ථව ඇත්තේ ද ජනශක්තිය, මලගිය පර්යාය තුලට, එනම් ඩිමොක‍්‍රටික් පක්ෂය ට ආපසු හරවා යවන්ටය. මේ නිසයි- ඔහු එසේ සිතුවා හෝ එය ඔහුට වැදගත් නුවුවත්- මම බර්නි සෑන්ඩර්ස් අනුමත නොකරමි. සියලු ශක්තිය , සියලු මුදල් නිසා - මතක තබාගන්න, ඔහු විප්ලවය කියන වචනය පවා පාවිච්චි කලවග- අන්තිමේදී මේ සියල්ල ඉවර වුනේ, ඔහු රට පුරා දුව ඇවිදිමින් හිලරි ක්ලින්ටන්ට චන්දය දිය යුතු යයි ඉල්ලා සිටීමෙනි.

ඩීඑන්: හොඳින්ම පෙර දැකිය හැකිව තිබුනා. . .

ක්‍රිස්: මෙය හොඳින්ම කලින් දැකගත හැකිව තිබුනා ද?. ඩිමොක‍්‍රටික් පක්ෂ සංස්ථාපිතය.

ඩීඑන්: ඔහුට ආධාරකරුවන් ගනනාවක් හිටියා...

ක්‍රිස්: ඔව්, සෑන්ඩර්ස් ට [ඩිමොක‍්‍රටික්] නාම යෝජනා ලබාගැනීමට කොහොමටවත් ඉඩක් දුන්නේ නෑ. ඩිමොක‍්‍රටික් ජාතික සමුලුවේ ඊ මේල් එලි වීම සමග අප එය දකිනවා. එතකොට [ඩිමොක‍්‍රටික් පක්ෂ] සභාපති වරිය ගේ පොතේ ඇය සඳහන් කරපු දෙයින් පිලිගත්තේ, හිලරි ක්ලින්ටන් ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජාතික සමුලූව පාලනය කල බවයි. ඔවුන්ට යාන්ත‍්‍රනයක් තිබුනා ප‍්‍රාථමික චන්ද විමසීම් තුල දී ස්වාධීන චන්දදායකයින් චන්දය දීමෙන් වලක්වන්නට. [මම මෙහිදී එකතු කරන්ට කැමතියි, මෙම ප‍්‍රාථමික චන්ද විමසීම් වලට වියදම් කලේ පක්ෂය නොවන වග. ඒවා කලේ බදු ගෙවන්නන්ගේ වියදමින්] නෙවාඩා ඡන්දය සොරකම් කිරීම, ඩොලර් බිලියනයක කලු සල්ලි, ක්ලින්ටන්ගේ චන්ද ව්‍යායාමයට ලැබුනු මහා සංගත මුදල්. මේක කොහොමටවත් කෙරෙන වැඩක් නොවේ.

මා සිතන්නේ අප රැවටිය යුතු නැතිය කියාය. මේ පර්යායට ප‍්‍රතිසංස්කරනය වී ගත නොහැකිය. අපට එය ප‍්‍රතිසංස්කරනය කිරීම ද කල නොහැකිය. අපේ ආප්තය විය යුත්තේ දකුනු අප්‍රිකානු වර්ගයේ සහයෝගිතා වර්ජනයයි. අප කරන සෑම දෙයකින්ම රාජ්‍ය බල ව්‍යූහයන්ට බාධා කල යුතුය.

මම උතුරු ඩැකොටාවේ ස්ටෑන්ඩින් රොක් කරා ගොස් සිටියෙමි.

එහි ජල ආරක්ෂක සේවකයෝ ඊට හොඳ ආදර්ශයක් සැපයූහ. මූලික වශයෙන් ඔවුන් කලේ ඩැකොටාවට ජලය සපයන ජල නලය අවහිර කිරීමයි. ට‍්‍රම්ප් බලයට ආපසු ඔහු එය ට [විරුද්ධ නීතියක් ] සම්මත කලේ ය. මෙයට ප‍්‍රති විරුද්ධව වොෂිංටනයේ “කාන්තා පෙලපාලියේ” වෙනස බලන්න. දේශපාලන නාඩගමක ස්වභාවය ඉසිලූ එහි වැඩි හරියක් මෙහෙයවූයේ සැබවින්ම ඩිමොක‍්‍රටික් පක්ෂයයි. ඬේබි වසර්මන් ශුල්ට්ස් එහි සිටියාය. එක ස්ථානයක ඇය පැවැත්වු කතාව එම සිද්ධිය පිලිබඳ ඇඟවීමක් විය.

වොෂින්ටනයේ සිද්ධීන්ට පලවූ ප‍්‍රතිචාරය ස්ටෑන්ඩින් රොක්හි පලවූ ප‍්‍රතිචාරය සමග සසඳා බලන්න. ස්ටෑන්ඩින් රොක් හි 700 ක් සිරභාරයට ගනු ලැබිනි. මෘග දොට්ට දැමීම, රබර් උන්ඩ ,ගම්මිරිස් [පෙපර්] ස්පේ, ප‍්‍රහාරක සුනඛයන්, ඒ බින්දුවට අඩු උෂ්නත්වය තුලය. නිරන්තර කඩා වැදීම්.

මම එහි සිටියදී දවසේ පැය 24 පුරාම විරෝධතා කඳවුරට උඩින් ගුවන් යානා සැරි සැරූ අතර ඡායාරූප ගනු ලැබින. නොවැම්බරයේදී ඔවුන් පාරවල් අවහිර කල හෙයින් අපට රවුමක් ගොස් අනෙක් පැත්තට යාමට සිදුවිය. එහෙත් අතු පාරවල දී ද පුද්ගලික ආරක්ෂකයින්, කුලී ආරක්ෂකයන් මිලිටරියේ වැනි නිල ඇඳුම් ඇඳගෙන අවි රැගෙන සිටි අතර කිසිදු අනන්‍යතා ලියවිලි හෝ ලකුනු ඔවුන්ගේ දක්නට නොතිබුන බව අපට පැහැදිලි විය.

ඒඩී: සිවිල් යුද්ධය පිලිබඳ ප‍්‍රශ්නය ගතහොත්, පාලක ප‍්‍රභූව අන්තර් ජලයේ පාලනය සිය පැවැත්ම පිලිබඳ ප‍්‍රශ්නයක් ලෙස සලකති. අපි සෙනෙට් මන්ඩලයේ ද නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ද රැස්වීම් පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා කලෙමු. ඒවායේ ගූගල්, ෆේස්බුක්, සහ ට්විටර් මාධ්‍යවල ප‍්‍රධාන නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරින් දුන් සාක්ෂි වාර්තා විය. ක්ලින්ට් වොට්ස් මෙසේ ලිවීය;

“සිවිල් යුද්ධ ආරම්භවන්නේ වෙඩි පහර වලින් නොවේ. එය පටන්ගන්නේ වචන වලින්‍ය. ඇමරිකාව තමන් ම සමග කරන යුද්ධය දැනටම ඇරඹී හමාරය. දැන් අප සියලු දෙනාම සමාජ ජාල කරලියේ, තොරතුරු කැරලි මැඩපැවැත්විය යුතුය. ඒවා ඉක්මනින්ම ප‍්‍රචන්ඩ ඝට්ටන බවට පරිවර්තනය විය හැකි ය. ඉක්මනින්ම අප බෙදී ගිය ජනපද බවට පත්විය හැකි ය.”

ක්‍රිස්: මට මැදිහත් වී මෙසේ කියන්න ඉඩ දෙන්න. සෑම කෙනෙක්ම අල්ට‍්‍රානෙට් හි පලව ඇති මැක්ස් බ්ලූමන්තල් ගේ ලිපිය කියවන්න: මන්දයත් ඔහු මුලුමනින් ම පිස්සෙක් නිසා ය. අන්ත දක්ෂිනාංශික කුමන්ත‍්‍රන පිලිබඳ න්‍යායවාදියෙක් වන ඔහුට විශ්වසනීය භාවයක් ඇත්තේම නැත. එහෙත් මේ සුවිශේෂ මොහොතේ සත්තකින්ම ඔහු ද ප‍්‍රයෝජනවත් ය.

ඩීඑන්: අප අන්තර් ජාලය පිලිබඳව කතා කරන විට, ලෝක සමාජවාදී වෙබ් අඩවිය වනාහි කම්කරු පන්තිය තුල සමාජවාදය සඳහා අරගලයේ තීරක උපකරනයකි. වඩාත් තීරක ප‍්‍රයුක්තිය නම් කම්කරු පන්තිය තුල ක්‍රියා මාර්ගය වර්ධනය කිරීමය.

ඉදිරියේ දී යෝධ සමාජ අරගල පැන නගිනු ඇත; ඒවා දැනටම විකසිත වෙමින් ය පවත්නේ. සමාජ විප්ලවය පිලිබඳ ප‍්‍රශ්නය මනෝරාජික [යුතෝපියානු] නොවේ. එය වනාහි ධනවාදයේ ප‍්‍රතිඝතිතා වලින් වෛෂයිකව පැන නගින්නා වූ සන්තතියකි. මෙවන් තර්කයක් ඉදිරිපත් වියහැක- අපි ඊට මෙම තර්කයෙන් පිලිතුරු දෙමු. 2008 පටන් සැබවින්ම අපි අර්බුදයේ උත්සන්න වීමක් දැක ඇත්තෙමු .

එය කවර දාක වත් විසඳනු ලැබුවේ නැත; සමාජ අසමානත්වයේ යෝධ මට්ටම් ම ප‍්‍රකාශනය කරන්නේ, සෞඛ්‍ය සම්පන්න සමාජයක් නොව, බිහිසුනු ලෙස රෝගී වූ සමාජ- ආර්ථික පර්යායකි. එය සෑම මට්ටමකදීම සමාජ ප‍්‍රතිරෝධය අවුලුවයි.

සත්තකින්ම මහා ගැටලුව වන්නේ, දේශපාලන ව්‍යාකුලත්වය ජය ගනීම යි: එය සැබවින්ම නිර්මාය කරනු ලැබ ඇත්තේ, 20 වන සියවසේ පරාජයන් සහ පාවාදීම් විසිනි. එම පාවාදීම් නිර්මානය කරනු ලැබුවේ, ස්ටැලින් වාදයේ පාවාදීම්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයේ පාවාදීම් සහ ඇමරිකා එක්සත් ජනපදයේ කම්කරු පන්තිය ඩිමොක‍්‍රටික් පක්ෂයට යටත් කිරීම තුලිනි. මේවා වනාහී, තීරනාත්මක ප‍්‍රශ්න ය. ඒවායින් පාඩම් උගත යුතුව ඇත. කම්කරු පන්තිය මෙම තීරනාත්මක ප‍්‍රයුක්තීන් මගින් උගන්වා ගැනීම සහ ඉදිරිදර්ශනය වර්ධනය කිරීම වනාහි තීරක ප‍්‍රශ්න ය. එය එසේ නම් සත්තකින්ම මහා ප‍්‍රශ්නය වන්නේ, 20 වන සියවසේ දේශපාලන ව්‍යාකුලත්වයේ, පරාජයන්හි හා පාවාදීම්වල විපාක අබිභවනය කිරීමයි.

සත්තකින්ම අනතුර වටහා ගැනීම වැදගත් වේ; එහෙත් තත්වය තුල ගැබ්ව පවත්නා ශක්‍යතා පමනක් නොව ඓතිහාසික පාඩම්වල වැදගත් කම ද වටහා ගත යුතුය. අපගේ ප‍්‍රවිෂ්ටය, මේ පාඩම් නව විප්ලවවාදී ව්‍යාපාරයක වර්ධනයේ ලා තීරක වැදගත් කමක් දරා සිටින්නේය යන අවබෝධය බවය. මූලික ගැටලුව දිරිය නැති කම නොවේ. ප‍්‍රශ්නය සටන් කිරීමට අවශ්‍යතාවයක් නැතිකම නොවේ. එය වනාහි අවබෝධයේ හිඟකමයි.

ක්‍රිස්: .. සහ සංවිධානය

ඩීඑන්: එහෙත් විවිධ සංවිධාන රූප තිබේ. මධ්‍යම පන්තික කන්ඩායම් විසින් යෝජිත සංවිධාන ක‍්‍රමය, ඒ හෝ මේ ගැටුමක්, එකක් නැතිනම් තවත් එකක්, ඉදිරිදර්ශනයක් නැතිව. විප්ලවවාදී අරගලයේ ඓතිහාසික ගමන් මග පිලිබඳ වැටහීම ද 20 වන සියවසේ සුවිසල්ම විප්ලවවාදී අත්දැකීම් වලින්, එනම් ඔක්තෝබර් විප්ලවයේ, ජයග‍්‍රහනයන් මෙන්ම එය පාවාදීමේ ඛේදවාචකයන්ද වටහා ගැනීම අවශ්‍යයි. යමෙකු ස්ටැලින්වදයට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලයේ මැනවින් හදාරා නැතිනම් අද දින දේශපාලනය පිලිබඳව බුද්ධිමත්ව කතා කල නොහැකිය. ගිය වසරේ නිව් යෝක් ටයිම්ස් පුවත් පත රුසියානු විප්ලවය හෙලාදකිමින් ද, විකෘති කරමින් ද, මුසාකරනය කරමින් ද ලිපි විශාල ගනනක් සම්පාදනය කලේ මන්ද? එසේ වූයේ, ඔවුන් සියලු දෙනාම භීතියට පත් කරන අත්දැකීම් එහි ගැබ්ව ඇති බැවිනි. ඔක්තෝබරය, දැනුවත් මාක්ස්වාදී නායකත්වයක්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ වෛෂයිකව මහජන විප්ලවවාදී ව්‍යාපාරයක් සමග අන්තර් ඡේදනය වීම පිලිබඳ උදාහරනයක් විය. අප වත්මන් ඓතිහාසික වකවානුව දෙස බැලුවොත්, එම ලෝක ව්‍යාපාරය යලි පනගැන්වෙමින් ඇත. මොවුන් භීතියට පත්වී තිබෙන්නේ එයටයි. අන්තර් ජාලය තමන්ගේ පැවත්මටම තර්ජනයක් බව පාලක ප‍්‍රභූව තමන්ටම කියා ගන්නවා ඇත. එය නතර කරන්නේ කෙසේ ද? මම යෝජනා කිහිපයක් ඔබේ සැලකිල්ලට භාජනය කරමි. ප‍්‍රථමයෙන්ම අපට කලහැකි වන්නේ කුමක් ද ? මෙය මට්ටම් කිහිපයකින් ක්‍රියාත්මක කල හැකි වේ. පුලුල්ම අර්ථයෙන් මා හිතන්නේ, මට මේ කරුන ඉදිරිපත් කිරීමට හැකි වුනාය කියාය. අප කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. දැන් අපට ඇහුම්කන් දෙන සියල්ලන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, සමාජවාදී සමානතා පක්ෂය තුල සහ ජාත්‍යන්තර කමිටුව තුල ක්‍රියාත්මක වෙමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකත්වය වර්ධනය කිරීමට ක්‍රියාත්මක වන ලෙස ය.

එහෙත් අද අප මෙම රාමුව තුල, නිදහස් කථනය සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කර ගැනීමට දෘඪතරව සහ අධිෂ්ඨානශීලීව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය සාකච්චා කරමින් සිටිමු.

ප‍්‍රශ්න වලට වෙනස් දෘෂ්ටි ආස්ථානයන්හි සිට ප‍්‍රවිෂ්ට වෙමින් අප දැන් කරගෙන යන සංවාදය ඉමහත් වැදගත් කමක් දරන්නේ යයි මම විස්වාස කරමි. ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ආරම්භකයා වූ ජේම්ස් පී කැනන් වරක් මෙසේ කීවේය: “සත්‍යය උවමනා කරන මට්ටමේ ඉන්නා කවරෙකුට වුව සත්‍යය රිදවන්නේ නැත.” ඉතින් අප දෙදෙනාම ඉන්නේ එම මට්ටමේ ය. එහෙයින් අපට රිදෙනු නැත.

අප ප‍්‍රථමයෙන් ම යෝජනා කරන්නට යන්නේ -මා විස්වාස කරන්නේ මෙය සැලකිල්ලට භාජනය කෙරෙනු ඇති කියාය- සමාජවදී සහ යුද විරෝධී වෙබ් අඩවි වල සන්ධානයක් ගොඩ නැගීමය. අප අතර අර්ථ කථනය, ක්‍රියාමාර්ගය සහ ඉතිහාසය පිලිබඳ ප‍්‍රශ්න තිබිය හැකි වන නමුත් අපි සහභාගිත්වය අගය කරමු.

සමාජවාදය සඳහා ද යුද්ධයට එරෙහිව ද අරගලයට කැප වූවන්ට -එයින් ගලා එන කරුනක් නම්, අනිවාර්යයෙන්ම ඩිමොක‍්‍රටික් පක්ෂයට ද ද්විපක්ෂ ක‍්‍රමය ට ද ධනේශ්වර දේශපාලන පර්යායට ද එරෙහි ව- අන්තර්ජාලයේ නිදහස ද අපක්ෂපාති බවද ආරක්ෂා කිරීමට ද ප‍්‍රහාරයට ලක්වන වෙබ් අඩවි සහ පුද්ගලයන් ආරක්ෂා කිරීමට ද සන්ධානයක් ගොඩ නගා ගැනීමයි. මෙය තීරනාත්මකය. මේ ආයාචනයට ඉතා ශක්තිමත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඈතැයි මම අපේක්ෂා කරමි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද මේ මූලධර්මාත්මක පාඩම මත, මෙම ප‍්‍රශ්නවල තීරක වැදගත් කම වටහාගන්නවූන් සමග එක්ව වැඩ කිරීමට සුදානම් ය. එහෙත් අන් සියල්ලටත් වඩා, අපට අන්තර්ජාලයේ නිදහස ආරක්ෂා කිරීම අවශ්‍යය. ඒ ධනවාදයේ අර්බුදය පිලිබඳව වැටහීමක් වර්ධනය කර ගැනීම ද විප්ලවවාදී ක්‍රියා මාර්ගය උදෙසා සටන් කිරීම ද තීරනාත්මක බව අප විශ්වාස කරන හෙයිනි. ප‍්‍රශ්න උඩ විවාද කල හැකිය, සටන් වැදිය යුතු ය, අප ඉදිරි මාවත දැක ගන්නේ ඒ අන්දමිනි.

ක්‍රිස්: මා සිතන්නේ කියන ලද සියල්ල සමග මා එකඟ වනු ඇතැයි කියාය. මෙයින් බොහොමයක් සවිඥානකත්වය ගොඩනැගීම සමග බැඳී ඇතැයි සිතමි. මේ සඳහා බලගතු යාන්ත‍්‍රනයක් පවතියි. මට මගේ පොත් වලට ආපසු යාමට උවමනාවක් නැත. එහෙත් Empire of Illusion: The End of Literacy and the Triumph of Spectacle (මිත්‍යාවේ අධිරාජ්‍යය: සාක්ෂරතාවයේ අවසානය සහ විචිත‍්‍ර භාවයේ විජයග‍්‍රහනය) සමානවන්නේ ගයි දී බෝර්ඩ් ගේ කෘති වලට ය. නැතිනම් ඔබ සිසරෝ දෙස බලන්නේ නම්, රෝම අධිරාජ්‍ය යේ ඉහලම ලක්ෂයේදී ඔහු ප‍්‍රහාරයට ගියේ, රෝම පුරවැසියන්ගේ භාවමය හා බුද්ධිමය ජීවිතය ප‍්‍රයෝජනයට ගනිමිනි.

විචිත‍්‍රභාවයේ බලගතු අවමංගතික යාන්ත‍්‍රනයන් පවතී. සියලු සර්වාධිකාරී සමාජ එයට දක්ෂයෝය. අපේ සමාජය ඊට වෙනස් නැත. ඒ නිසා මිනිසුන් සාධනීයව ඉන් බිඳී වෙන්විය යුතුය. මගේ ගෙදර රූපවාහිනියක් නැත. එහෙත් ගුවන් තොටු පලවල හා පොදු ස්ථානවල මෙම ජරාව පවත්නා හෙයින් ජනප්‍රිය විනෝදාංග ලෙස විසුරුවා හරිනු ලබන හා හැරෙන හෙයින් මා ද කිලූටුවී ඇත. මේ සියල්ල, අපව බුද්ධිමය වශයෙන් නිර්වින්දනය කිරීමට යොදා ගන්නා යාන්ත‍්‍රනයන් ය.

මහා සංගත ධනවාදයේ පද්ධතීන් වැඩ කරන්නේ කෙසේ ද යන්න වටහා ගැනීමට ඔබට අවශ්‍ය නම්, ඔබ මුද්‍රිත කෘතීන් මත පදනම්වූ සංස්කෘතියක් තුල මුල්බැස ගත යුතු ය. මාක්ස් කියවිය යුතු ය. ට්‍රොට්ස්කි කියවිය යුතු ය. පොලානි කියවිය යුතු ය. ශේල්ඩන් වොලින්ගේ Democracy Incorporated( ඩිමොක‍්‍රසි ඉන්කෝපරේටඩ්) [සංගත කෘත ප‍්‍රජාතන්ත‍්‍රය] කියවිය යුතුය. මා මේ අවමන්ගතිකයන් දෙස බලන්නේ, යාන්ත‍්‍රනයන් ලෙස ය. පැය 24 පුරාම ක්‍රියාත්මක වන, අතේ ගෙනයා හැකි විද්‍යුත් උපාංග ලෙස මේවා වැඩ කරයි. මෙම තත්වයට අප ඇද දමා තිබෙන්නේ කුමන වෛෂයික කොන්දේසි විසින්දැයි විමසා බැලීමෙන් ජනයා වලක්වා ලීම ඒවායේ අරමුන යි. ඒ අර්ථයෙන් අධ්‍යාපනයේ වැදගත් කම අවධාරනය කිරීම මට කල නොහැකිය. ඔබට ස්වයං අධ්‍යාපනය ලැබිය හැකිය. එය ලබාගැනීමට වෛවාරන්‍ය පාසලකටම යාම අවශ්‍ය නැත. ඇත්ත වශයෙන්ම වෛවාරන්‍යක පාසල් වලට යන බොහෝ දෙනා ගොල්ඞ්මන් සැක්ස් කොම්පැනියට බැඳෙති. ගිය වසන්තයේ මම ප්‍රින්ස්ටන් සරසවියේ උගැන්වීමි. එහෙත් ඔබ දැනුවත් විය යුතු ය. එම විඥානයේ වැදගත් කොටසක් යයි මා සිතන්නේ සම්භාව්‍යද විප්ලවවාදී කෘතීන් කරා ආපසු යාමය. අපි ග‍්‍රම්ස්චි, රෝසා ලක්සම්බර්ග් ගැන සඳහන් කලෙමු. විප්ලවවාදී න්‍යාය හුරුපුරුදු වීමේදී බලය වැඩ කරන්නේ කෙසේ ද යන්න වටහා ගැනීම වැදගත්‍ ය. කනේට්ටිගේ Crowds and Power (ක‍්‍රවුඞ්ස් ඇන්ඞ් පවර්) [සෙනග හා බලය] වැනි විවිධාකාර මහා කෘතීන් හැදෑරීම කල යුතු ය. ඔවුන් තවම ඒවා අපෙන් උදුරාගෙන නැත. ප‍්‍රතිරෝධය වර්ධනය කිරීමේ එක වැදගත් පියවරක් නම් එයයි.

ඩීඑන්: ක්‍රිස් සඳහන් කල ඔහුගේ පොත් මම ත් නිර්දේශ කරමි. ඒවා ඉතා හොඳ සිත්ගන්නා සුලු කෘතීන් ය. ඔහු තවත් කෘතියක් නිමකරමින් සිටියි, පොතේ නම?

ක්‍රිස්: එහි නම ඇමරිකාව: සමුගැනීමේ සංචාරය යි.

ඩීඑන්: එම සංචාරය බොහොම හැල හැප්පුම් සහිත එකක් වේවි. මම කැමතියි රුසියානු විප්ලවය සහ නොනිමි 20වන සියවස කියවන ලෙස ඔබෙන් ඉල්ලා සිටින්න. ඒ පොත මම ලියපු නිසා නෙවේ, එය 20 වන සියවසේ තීරනාත්මක අත්දැකීම් සාරාංශගත කිරීමේ ව්‍යායාමයක් නිසා. ඔබට මතක ඇති සෝවියට් සංගමය විසුරුවා හැරියට පසු, “ඉතිහාසය ඉවරයි” කියපු කතාවක් පැතිර ගිය හැටි. ඒත්, ඒක ඉතිහාසයේ අවසානය විතරක් නෙවේ, 20 සියවසේ අවසානය වුනෙත් නෑ. අපි අධ්‍යයනය කරමින් ඉන්නෙත්, අධ්‍යයනය කල යුත්තේත්, පසු ගිය විප්ලවවාදී අත්දැකීම් වල පාඩම් ය. මම සහතිකෙන්ම ලිබ්නෙක්ට්ගේත් රෝසා ලක්සම්බර්ග්ගේත් ලේඛන ඔබට රෙකමදාරු කරනවා. ලිබ්නෙක්ට් රොබට් බුර්න්ස් නමැති කවියාගෙන් මෙසේ උපුටා දක්වයි: “වැදගත් කාරනය නම්: ඒ සියල්ල තිබියදීම, ” වෛෂයික තත්වයන් විප්ලවවාදී අරගලය පුනර්ජීවනය කරන බවයි.

සියලුම අන්තරායන් ද (ඒවා ඉමහත්ය) සහ ගැටලු ද (ඒවා සුවිසල්ය) සමග පොරබදන අපි, අප කරන දෙයට වග කියමු. අප ඉදිරියේ ඇති අභියෝගය නම්, ප‍්‍රගාමිව සටන්කාමී වන කම්කරු පන්තියේ ලෝක ව්‍යාපාරයකට, එය මුහුන දෙන දේශපාලන තත්වය වටහා ගැනීම සඳහා අවශ්‍ය වන්නාවූ අදහස් සහ ක්‍රියාමාර්ගය සම්පාදනය කර දීමය.

ඔබ කෘතීන් ගනනාවක් ගැන සඳහන් කලෙහි ය. “කලයුත්තේ කුමක් ද ?” යන්නට උත්තරය කුමක් ද ? කම්කරු පන්තිය තුලට සමාජවාදී විඥානය ගෙන ආ යුතු ය.

මම අපගේ පාඨකයන්ට, විශේෂයෙන් තරුනයින් ට ආයාචනය කරමි: කම්කරු පන්තියක් තිබේ. කම්කරු පන්තිය දැන් විප්ලවවාදී අදහස් වලට විවෘතය. අපගේ අභියෝගය, අවශ්‍ය කොන්දේසි සම්පාදනය කර දීමය, කම්කරුවන් මෙය විශ්වවිද්‍යාල වලින් ඉගෙන නොගනු ඇත.

මාක්ස්වාදී ව්‍යාපාරය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, කම්කරු පන්තියට කල යුත්තේ කුමක් ද යන බුද්ධිමය, සංස්කෘතිමය උපකරන සම්පාදනය කල යුතු වේ. එය බලය ද අධිෂ්ඨානය ද සපයනු ඇත. සෑම විප්ලවවාදී ව්‍යාපාරයක්ම දහනය කරන හැඟීම හා ආවේග දැන් පවතී. එහෙත් ඊට අවශ්‍ය වන්නේ වැටහීමයි.

අප අන්තර්ජාල නිදහස ආරක්ෂා කිරීමට යත්න දරන්නේ, මෙම අධ්‍යාපනය සඳහා කොන්දේසි තනා විප්ලවවාදී විඥානය පුනර්ජීවනය කිරීම සඳහා අනෙකුත් ඒවා ද සමග මෙම මාධ්‍යය ප‍්‍රයෝජනයට ගත යුතු බැවින්‍ ය. එය අපගේ මූලික අරමුනයි.

අපේ ශ‍්‍රාවකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ ක්‍රියාත්මක වන ලෙසය, අප හා සම්බන්ධ වන ලෙසය, සම්බන්ධය තහවුරු කර ගැනීම සඳහා තොරතුරු අපි සපයා ඇත්තෙමු. මුලූමනින්ම සහ ඉතා උනන්දුවෙන් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා නොනැමෙන අරගලයකට හොඳම කොන්දේසි නිර්මානය කිරීමට අපි උනන්දුවෙමු. මෙය ඉටු කිරීම සඳහා අපගේ අධිෂ්ඨානය කිසිවකටත් යටත් නොකරන්නෙමු. අපට මේ සඳහා තරුනයන්, ශිෂ්‍යයන් සහ කම්කරුවන් තුලින් ඉමහත් සහයෝගයක් ලැබෙනු අතැයි විශ්වාස කරමු.

ඒඩී: අපගේ වැඩසටහනේ කාලය ඉවර පාටයි..

ඩීඑන්: පැමින සහභාගී වීමට නිර්භීත වීම ගැන මම ක්‍රිස්ට විශේෂයෙන් ස්තුති කරමි. මම එය සැබවින්ම අගය කරමි මෙම පනිවුඩය එවීම ගැන ජුලියන් අසාන්ජ්ට ස්තුතිවන්ත වෙමි. එසේම මෙසේ කථාකිරීමට ඉදිරිපත් වීම ගැන ජොන් පිල්ගර්ට ද ස්තුති කරමි. මෙවන් පදනමක, ඉදිරියේදී ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා බලගතු ව්‍යාපාරයක් සඳහා තවදුර සාකච්ඡා කිරීමටත් සහයෝගයෙන් කටයුතු කිරීමටත් මෙය ආරම්භයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ඒඩී: මෙම වැඩසටහනට සහභාගී වීම ගැන මම අපගේ ආරාධිතයින් දෙදෙනාටම ස්තුති කරමි. අපගේ ශ‍්‍රාවකයන් ද සියලු පාඨකයන්ගෙන් ද මා ඉල්ලා සිටින්නේ, මෙම තිරයේ ඇති පෝරමය උපයෝගිකරගෙන හෝ endcensorship.org වෙබ් අඩවිය තුලින් අප හා සම්බන්ධ වන ලෙසය. එසේම ලොසවෙඅට ආධාර කරන ලෙසය. ඔබ ආරම්භයක් පමනක් වන මෙවන් සජීවී සාකච්ඡා හා වැඩසටහන් නැරඹීමට කැමැත්තේ නම් එයට අවශ්‍ය කෙරෙන මූල්‍ය සම්පත් ගැන ද සිතා බලන්න. එබැවින් අප හා එක්ව, ආධාර කරමින් එයට සම්බන්ධ වන්න. සියල්ලන්ටම ස්තුතියි.

Share this article: