පොලිස් ප‍්‍රහාරයට එරෙහිව ලංවිම කම්කරුවන්ගේ බලගතු විරෝධයක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 ජනවාරි 20

බදාදා පැවති සිය උද්ඝෝෂනයට එල්ල කල මෘග පොලිස් ප‍්‍රහාරයට එරෙහිව බ‍්‍රහස්පතින්දා වැඩ වර්ජනයක නිරත වූ ලංකා විදුලි බල මංඩලයේ (ලංවිම) කම්කරුවන් කොලඹ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂනයක් පැවැත් වී ය. දිවයිනේ සෑම ප‍්‍රදේශයකින් ම පාහේ පැමිනි 2000 ක පමන පිරිසක් විරෝධතාවට සම්බන්ධ වුහ.

පොලිස් ප‍්‍රහාරය හෙලා දකින හා වැටුප් ඉල්ලීම් සම්බන්ධ සටන් පාඨ සහිත පුවරු ප‍්‍රදර්ශනය කරමින් කම්කරුවන් විරෝධතා දැක්වීමට සහභාගී වී සිටියහ. උද්ඝෝෂකයන් බිය ගැන්වීම සඳහා බැටන් පොලු සහිත හා රහිත සියයක පමන පොලිස් බල ඇනියක් පිකට් වැට අසල සීරුවෙන් තබා තිබුනි.

උද්ඝෝෂනය කැඳවුම් කර තිබුනේ ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය (ඒවෘසස) විසිනි. ඒවෘසස ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේස), පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රී ලනිප) හා එක්සත් ජාතික පක්ෂයට (එජාප) සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේස) සහ ජාතික සේවක සංගමය (ජාසේස) ඇතුලු සමිති 30 ක එකතුවකි.

බදාදා උද්ඝෝෂනයේ දී ඒවෘසස විසින් ඉදිරිපත් කර තිබුන මූලික ඉල්ලීම් වූයේ ඉංජිනේරු සහ උපකාරක සේවාවන් අතර වැටුප් අනුපාතය 1:6 ලෙස සකස් කිරීමයි. ආයතනයේ මුදල් අවභාවිතයේ යොදවන දූෂිතයන් ට එරෙහිව මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ (එෆ්සීඅයිඩී) විමර්ශන වහා ආරම්භ කිරීම හා දූෂිතයන්ට දඬුවම් දීම තවත් ඉල්ලීමකි. එය ආන්ඩුව හා ජවිපෙ දුෂිතයන් මැඩීමේ නමින් කම්කරුවන් අතර වැඩෙන විරෝධය නොමග යැවීමට ගෙනයන ව්‍යාජ උද්ඝෝෂනයේ ඉල්ලීමකි.

ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයට එරෙහිව කැරලි මර්දන පොලීසිය සීරරුවෙන්

දහවල් පැවති උද්ඝෝෂනයෙන් පසුව ඊට සහභාගී වූ සාමාජිකයන් සමග ප‍්‍රධාන කාර්යාලය තුලට ගිය සමිති නායකයන් සාකච්චාවක් ඉල්ලා ලංවිම සභාපති ඩබ්ලිව්. බී. ගනේගල ඇතුලු බලධාරීන් ට බල කර ඇත. එය ප‍්‍රතික්ෂේප කල ඔවුන් පොලීසියට සිද්ධිය දැනුම් දුන්නේය. පසුව උසාවි නියෝගයක් සහිතව පැමිනි පොලීසිය විසින් සභාපති කාර්යාලයෙන් පිටතට ගෙන යාමත් සමග කැරලි මර්දන හා පොලිස් විශේෂ කාර්යසාධක බලකාය විසින් කාර්යාලය තුල සිටි සේවකයන්ට බැටන් පොලු වලින් පහර දී තිබේ. පහරදීමෙන් කාන්තාවන් ඇතුලු 10 දෙනෙකු පමන තුවාල ලබා රෝහල් ගත කල බව කම්කරුවෝ කීහ.

බ‍්‍රහස්පතින්දා ප‍්‍රධාන කාර්යාලය ඉදිර්පිට උද්ඝෝෂනයෙන් පසු වෘත්තීය සමිති ලංවිම සේවකයන් මෙහෙයවූයේ අගමැති කාර්යාලය දක්වා පාගමනින් ගොස් ඉල්ලීම් වලට විසඳුම් ලබා දෙන ලෙස අගමැතිට ආයාචනා කරන සන්දේශයක් සමිති නායකයන් අතින් භාර දීම සඳහාය. අනතුරුව උද්ඝෝෂකයන් ඇමතූ ඒවෘසස යේ කැඳවුම්කරු සහ ජවිපෙ ට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් අදාල ගැටලුවලට “කඩිනමින් විසඳුම් ලබා දෙන” බවට අගමැති කාර්යාලයේ නිලධාරීන් “සහතික” වූ බව පැවසුවේය.

මුලින් නිවේදනය කර තිබුනේ පොලිස් ප‍්‍රහාරයට සහ ඉල්ලීම් වලට විසඳුම් ලබා නොදීමට එරෙහිව බ‍්‍රහස්පතින්දා පෙරවරු 9 සිට අඛන්ඩ වර්ජනයක් කරන බවය. අගමැති කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්චාවෙන් පසු වර්ජනය තාවකාලිකව නතර කරන බව පැවසූ ජයලාල් පෙබරවාරි මාසයේ 7 වෙනිදා වන විට විසඳුමක් නොලැබුනොත් ඊට පසුදින සිට “අඛන්ඩ වර්ජනයක්” ආරම්භ කරන බවට පුහු තර්ජනයක් කලේ ය.

මෙම ඉල්ලීම් පදනම් කරගෙන පසුගිය වසර තුන පුරා ලංවිම සමිති විසින් ආන්ඩුවට පීඩනය යොදා ඉල්ලීම් ලබා ගත හැකිය යන මිථ්‍යාව පතුරවමින් විවිධාකාර උද්ඝෝෂන කර ඇත. ඒ හැම විට ම ඒවා අවසන් කෙරුනේ ආන්ඩුවේ බොරු පොරොන්දු වලට යටත් කිරීමෙනි.

සමිති විසින් බදාදා විරෝධතා උද්ඝෝෂනයක් සංවිධානය කලේ ඉල්ලීම් වලට විසඳුම් නොලැබීම නිසා සේවකයන් අතර වර්ධනය වන විරෝධය වාෂ්ප කර දැමීමේ ක්‍රියාවක් ලෙසය. දුෂන සහ වංචාවන්ට එරෙහි අරගලයක් බවට කම්කරුවන්ගේ වැටුප් අරගලය පරිවර්තනය කිරීමට සමිති නායකයන් තැත් කරන්නේ වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් ලංවිම කම්කරුවන් මුහුන දෙන ඇත්ත ප‍්‍රශ්න යට ගැසීමට ය.

ඒවෘසස කැඳවුම්කරු ජයලාල් ජවිපෙ වෘත්තීය සමිති අංශයේ ප‍්‍රධාන නායකයෙකි. දූෂනය උපුටා දමා ධනපති පන්ති පාලනය ලාභ සහිතව ගෙන යා හැකි බව ජවිපෙ දේශපාලන උද්ඝෝෂනයේ පදනමයි. තම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂයටත් විකල්පය තමන් බව සඳහන් කරන ජවිපෙ දේශපාලනයට ලංවිම සමිති ගැටගසා කම්කරුවන් කරබදු කිරීමට ජයලාල් ඇතුලු නිලධරය ක්‍රියා කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමේ උද්ඝෝෂනයට ජවිපෙ දූෂනය පිටු දැකීමේ නමින් සහාය දුන්නේය. ජයලාල් ලංවිම කම්කරුවන්ගේ චන්දය සිරිසේනට ලබා දීමට මූලිකත්වය ගත්තේය. දූෂනයෙන් හා වංචාවෙන් තොර පාලනයක් ඇති කිරීම ගැන පලාත් පාලන මැතිවරනය තුල ජවිපෙ ගෙන යන උද්ඝෝෂනයේ එල්ලය ද එයයි.

ඒවෘසස බොරු පොරොන්දු වලට යටත් කොට කම්කරුවන් නොමග යවන අතර විදුලි ඉංජිනේරු සංගමය (විඉස) ආන්ඩුවේ අත්ගෙඩියක් ලෙස ක්‍රියාත්මක වෙමින් එහි මර්දනයට උඩ ගෙඩි දෙයි. බ‍්‍රහස්පතින්දා සවස මාධ්‍ය සාකච්චාවක් පැවැත් වූ විඉස උද්ඝෝෂනයේ නිරත සමිතිවලට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරු සමග කතාකල ගම්පහ ප‍්‍රදේශයේ ලංවිම සේවකයෙකු පැවසුවේ ආන්ඩුව කෙරෙහි බරපතල ලෙස කලකිරී ඉන්න බවය. “මේ ආන්ඩුවට චන්දෙ දුන්නේ වෙනසක් බලාපොරොත්තුව. අපේ අයිතිවාසිකම් කප්පාදු කරනවා. රාජපක්ෂ ආන්ඩුව වගේම මේ ආන්ඩුවත් කම්කරුවන් ව මර්දනය කරනවා. පොදුජන පෙරමුනට චන්දෙ දුන්න කියල ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒකෙ ඉන්නේ කලින් ආන්ඩුවේ හිටපු අයමනේ. දූෂනයට වංචාවට විරුද්ධව ඒගොල්ලන්ට චන්දෙ දෙන්න කියල ජවිපෙ කිව්වට ඒ අය ඔය ඔක්කොම ආන්ඩු බලයට ගේන්න සහයෝගය දුන්නනෙ”.

පොලිස් පහර දීමට එරෙහි පොදු උද්ඝෝෂනයක් නිසා පැමිනියත් වෘත්තීය සමිති ගැන විස්වාසයක් නැති බව ද ඔහු කීවේ ය. “දැන් අවුරුදු තුනක් මේ වගේ උද්ඝෝෂන කීයක් කලා ද?” යි ඔහු ප්‍රශ්න කලේය.

පොලිස් ප‍්‍රහාරය මුර්ගත්වය විස්තර කරමින් කතා කල ප‍්‍රධාන කාර්යාලයේ රියදුරෙකු මෙසේ පැවසුවේ ය. “ඒක මහ තිරිසන් ගැහිල්ලක්. යුද්ධෙකට වගේ එස්ටීඑෆ් එකයි කැරලි මර්දනේ අයයි දෙගොල්ලම ඇවිල්ල හිටිය. මේකේ ඉන්න අයගෙන් හුඟ දෙනෙක් චන්දෙ දුන්නේ මේ ආන්ඩුවට. යහපාලනේ මෙහෙම කරයි කියල අපි හිතුවේ නැහැ.”

පඩි වැඩි වීමක් ඉල්ලන්නේ ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බැරි නිසා බව ලිපිකරුවෙකු පැවසුවේය. “හැමදාම බඩු මිල ඉහල යනවා. කැපිල කෙටිල මාසේ අන්තිමට අතට එන්නේ රුපියල් 20,000 ක් විතර. දැන් ඕටීත් කපල. අපි බදාදා ඇතුලට ගියේ සාකච්චාවක් ඉල්ලන්න. කවුරුවත් හිර අඩස්සියට ගන්න නෙමෙයි. මමත් චන්දෙ දුන්නේ මේ ආන්ඩුවට තමයි. ඒත් දැන්නම් කිසිම කෙනෙක් ගැන විස්වාසයක් නැහැ.”

නඩත්තු කිරීම්, යටිබිම් කේබල් එලීම සහ අලුතෙන් රැහැන් ඇදීම ඇතුලු බොහෝ අංශ පෞද්ගලික කොන්ත‍්‍රත්කරුවන්ට දී ඇති බව කම්කරුවෝ පැවසුහ.

ඇත්ත වශයෙන් ම කම්කරුවන් මුහුන දෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ ලංවිම පුද්ගලීකරනය කිරීමය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන පුද්ගලීකරන ලැයිස්තුවට ලංවීමත් ඇතුලත් ය. රාජපක්ෂ ආන්ඩුව යටතේ 2009 ලංවිම පුද්ගලීකරන පනත සම්මත කල අතර ක‍්‍රමානුකුලව දැන් එය ක්‍රියාවට දමනු ලබයි.

ලංවිම කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසිවලට පහර එල්ල වන්නේ ඒ අනුවය. සමිති කම්කරුවන්ගෙන් හිතාමතා සඟවන්නේ ද මෙම කාරනයයි. වරායේ සහ තෙල් සංස්ථාවේ සහ අධ්‍යාපන කප්පාදුවට එරෙහි ශිෂ්‍යන්ගේ අරගලවලට මෘග ලෙස පහර දුන් ආන්ඩුව ලංවිම කම්කරුවන්ට පහරදීම මගින් යලිවතාවක් පෙන්නුම් කර ඇත්තේ එහි කප්පාදු පිලිවෙත් වලට එරෙහි කවර හෝ විරෝධයක් ඉවසීමට නුසුදානම් බවය. පුද්ගලීකරනයට විරුද්ධ අරගලයක් කප්පාදු පිලිවෙත් සමග සෘජුව ගැටෙන බව ලංවිම සමිති නායකයෝ දනිති. ධනේශ්වර රාජ්‍ය උපකරන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකට සුදානම් නැත.

Share this article: