සසප කොලොන්නාවේ මැතිවරන රැස්වීම සමාජවාදී වැඩ පිලවෙල සාකච්චා කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 ජනවාරි 23

පෙරබරවාරි 10 දා පැවැත්වෙන පලාත් පාලන මැතිවරනයට තරග වදින සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය 14 දා කොලොන්නාව මීතොටමුල්ලේ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වී ය. එම එලිමහන් රැස්වීමට ප‍්‍රදේශයේ කම්කරුවන් හා තරුනයන් සම්බන්ධ වී සිටි අතර අවට නිවෙස්වල ගෘහනීන්ගේ, වැඩිහිටියන්ගේ හා පාසල් ලමුන්ගේ ද ආකර්ෂනය දිනා ගත්තේය.

කොලොන්නාව නගර සභාවට සසප දේශපාලන මන්ඩල සභික විලානි පීරිස්ගේ නායකත්වයෙන්, අපේක්ෂකයන් විසි එකක් ඉදිරිපත්වෙති. විලානි පීරිස් කොලොන්නොවේ මීතොටමුල්ල කුනුකන්ද කඩාවැටීමෙන් ඇතිකෙරුනු ව්‍යසනය පිලිබඳව විභාග කිරීමට සසප විසින් පිහිටුවන ලද ස්වාධීන කම්කරු පරීක්ෂනයේ කැඳවුම්කරු ලෙස ක‍්‍රියා කරන්නීය. කොලොන්නාව, වතුකරයේ අඹගමුවට හා යාපනයේ කයිට්ස් යන පාලාත් පාලන ආයතනවලට සසප තරග කරන්නේ පක්ෂ සියල්ලට එරෙහිව සමාජවාදී ජත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමිනි.

කොලොන්නාවේ පිහිටි මීතොටමුල්ල කුනු කන්ද පසුගිය වසරේ අප්‍රේල් මාසයේ කඩාවැටීමකට ලක් වූයේ ප‍්‍රදේශයේ ජීවිත තිස් දෙකක් හා නිවාස ගනනක් විනාශ කරමිනි. ප‍්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ දිලිඳු නිවාස ඇතුලු කටුක ජන ජීවිතය ලංකාවේ ධනපති පාලනය රට පුරා ඇතිකර තිබෙන දරිද්‍ර සමාජ කොන්දේසි ප‍්‍රකාශ කරන තවත් තැනකි.

ජෝතිපාල

විශ‍්‍රාමික වරාය සේවකයකු වන සසප සාමාජික ජෝතිපාල දැදිගම රැස්වීමේ මූලාසනය හොබවමින් මැතිවරනයට සම්බන්ධ වීමේ සසප එල්ලය පැහැදිලි කලේ ය. “අපි මැතිවරන උද්ඝෝෂනය යොදා ගන්නේ ලෝක සමාජවාදී ඉදිරිදර්ශනය කම්කරුවන් හා තරුනයන් සමග සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලෙසයි. ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව සමාජවාදී ඉදිරිදර්ශනය මත කම්කරු පන්තිය සියලු දුගී ජන කොටස්වල නායකයා ලෙස ස්වාධීනව බලමුලු ගැන්වීම අපේ අරමුනයි,” යනුවෙන් ජෝතිපාල සඳහන් කලේය.

රැස්වීම ඇමතූ සසප දේශපාලන මන්ඩල සාමාජික පානි විජේසිරිවර්ධන, කම්කරුවන හා දුගීන් මුහුන දී ඇති ප‍්‍රශ්න වලට හේතුව ධනපති ක‍්‍රමයේ ඇති වී තිබෙන ලෝක පරිමාන අර්බුදය බවත් ව්‍යාජ-වාම කන්ඩායම් ඇතුලු ධනපති පක්ෂ මෙය කම්කරු පන්තියෙන් වහංගු කිරීමට උත්සාහ කරන බවත් පෙන්වා දෙමින් කතා කලේ ය. “මැතිවරනය තුල අනෙකුත් පක්ෂවල ප‍්‍රධාන තේමාව ‘දූෂන විරෝධී’ සටනයි. එහි ප‍්‍රධාන තැනක් ගෙන තිබෙන ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) කියන්නේ දූෂනය නැති කිරීමෙන් ධනපති ක‍්‍රමය තුල ප‍්‍රශ්න විසඳා ගත හැකි බවයි. ධනවාදය රටක් රටක් පාසා පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදය තහවුරු කිරීමකින් තොරව මහජනයාගේ එකදු සමාජ අයිතියක් දිනා ගැනීමට හා ලෝක යුද අන්තරාය නවතා ගත නොහැකියි” විජේසිරිවර්ධන ප‍්‍රකාශ කර සිටියේ ය.

පානි විජේසිරිවර්ධන

විජේසිරිවර්ධන මෙසේද පැවසීය: “මේ ආන්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කල ජවිපෙට මේ ප‍්‍රශ්නවලින් මහජනයාගේ ඇස ඉවතට අද දැමීමට දුෂන විරෝධයේ හා ගමේ ප‍්‍රශ්න විසඳීම ගැන කතා කරනවා. රැකියා රැකගන්නේ කොහොමද, බඩු මිල පහත දාන්නේ කොහොමද, ශීලාචාර ජීවිතයක් ගත කල හැකි රැකියාවක්, කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රීය හා සමාජ අයිතීන් රැක ගැනීම, වර්ධනය වන ලෝක යුද අන්තරාය ආදී කම්කරු පන්තියට ඇති අති මූලික ගැටලු එකක්වත් මොවුන් කතා කරන්නේ නැහැ. ඒ මෙම ප‍්‍රශ්න සඳහා අරගලයක් වර්ධනය කිරීම වැලැක්වීමටයි.”

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යපාරයේ (සසජාතශි) කැඳවුම්කරු කපිල ප‍්‍රනාන්දු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඇතිකර තිබෙන පරිහානිගත තත්වය හා කප්පාදුව ගෙනහැර දැක් වී ය. “ලංකාවේ පාසල් වලින් උසස් පෙල ඇතුලු යම් පහසුකම් පැවති පාසල් තුලට ලමයින්ගෙන් සියයට 64ක්ම ගොනු වී එක පන්ති කාමරයක දැන් ලමුන් 50 ට වැඩියෙන් පිරිලා. එවගේම පාසල් සංඛ්‍යාවෙන් සියයට 50 ක් ලමයි සංඛ්‍යාව 200 ට අඩු පාසල්, සියයට 15 ක් පමන සිසුන් 50 ට අඩු පාසල්, දෙමාපියන් මත අධ්‍යාපන බර පටවා තිබෙන තත්වයක් තුල මෙම පාසල් එකිනෙක වැසී යෑමට ආන්ඩුව ඉඩ හැරලා. මේ කප්පාදු හේතුවෙන් ඇතිවී තිබෙන්නේ රටතුල පාසල් යායුතු වයසේ දරුවන්ගෙන් සියයට 9.9 ක්, එනම් 452,661ක් පාසල් නොයන තත්වයක්.”

අධ්‍යාපනයට මෙම ප‍්‍රහාර එල්ල වී තිබිය දී ධනපති ආන්ඩුවට එරෙහිව කම්කරුවන්ගේ හා ශිෂ්‍යන්ගේ ඒකාබද්ධ ප‍්‍රහාරයක් සංවිධානය කිරීමට පසුගිය කාලය පුරා ජවිප, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා එය මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබමය) හා තවත් ගුරු සංගම් ඇතුලු වෘත්තීය සමිති එරෙහි වුහ. සරසවි ශිෂ්‍යයන්ගේ විරෝධතා “සයිටම්” පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අහෝසි කිරීමට කොටුකල ඔවුන් අධ්‍යාපනය පුද්ගලිකරනයට විරුද්ධ අරගලය කඩාකප්පල් කලේය.

ෆරීඩා ඉම්රාන්

සසප සාමාජිකා ෆරීඩා ඉම්රාන් දෙමල බසින් සභාව ඇමතුවාය. කොලොන්නාව ප‍්‍රදේශය තුල දශක ගනනාවක් පුරා සසපටත් එහි පූර්වගාමියාවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයටත් (විකොස) තිබෙන වාර්තාව සිහිපත් කලාය. ඉම්රාන් එම ප‍්‍රදේශයේ දීර්ඝ කාලීන අරගලයේ යෙදී සිටි පක්ෂයේ සාමාජිකාවකි.

රැස්වීමේ අවසාන කතාව කල විලානි පීරිස් මීතොටමුල්ල කුනුකන්ද කඩාවැටීමේ ව්‍යසනය සහ සාමාන්‍ය කම්කරු පීඩිත මහජනයාගේ ජන ජීවිතය සම්බන්ධ ධනපති පන්තියේ නොතැකීම හා නොහැකියාව පැහැදිලි කලේ ය. ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ කැඳවුම්කරු ලෙස ඇය ඒකරාශී කරගත් තොරතුරු ආශ‍්‍රිතව කරුනු දැක්වූවාය.

විලානි පීරිස්

“කොලොන්නාව මහජනයා 2013 සිට කසල කන්ද ඉවත් කරන ලෙස උද්ඝෝෂනය කලා. රාජපක්ෂ ආන්ඩුවත් වත්මන් සිරිසේන වික‍්‍රමසිංහ ආන්ඩුවත් පොලීසිය යොදා පහර දෙමින් මෙම උද්ඝෝෂන මර්දනය කරමින් කසල කන්ද දිගටම ගොඩ ගැසුවා. මීටර 20 ක් උසට හා අක්කර 22 ක් පුරා කුනු කන්ද පැතිරුනා.

“මෙම විනාශය වත්මන් හා පසුගිය ධනපති ආන්ඩු දෙකම වගකිවයුතු; කල අපරාධයක්. ඔවුහු එම අපරාධය වීමට ඉඩහැර සිටියා,” පීරිස් චෝදනා කලාය. ආන්ඩු දෙකේම සැලස්ම ලෙස තිබුනේ කොලඹ වගේම මීතොටමුල්ල ප‍්‍රදේශයත් ආයෝජකයන්ට විකිනීමටයි. මීතොටමුල්ලේ කසල කන්ද පසුගිය අප්‍රේල් 14 දින නාය යාමෙන් මහජනතාව බරපතල විනාශයකට මුහුන දුන්නා. නිල සංඛ්‍යා අනුව 32 ක් පනපිටින් වැලලී ගියා. මහජනයා පවසන පරිදි මරනයට පත් වූ සංඛ්‍යාව මීට වැඩි බවට මහජනයා සැක කරනවා. 146 ක් නිවාස මුලුමනින් විනාශවුනා. අනතුරුදායක ප‍්‍රදේශ යයි නම්කර තවත් පවුල් සිය ගනනක් ඉවත් කරා.

ධනපති ක‍්‍රමයේ අර්බූදයේ ප‍්‍රතිඵලයක් ලෙස ලෝකය පුරා මහජනතාව පාරිසරික හා සමාජ ව්‍යසනයන්ට මුහුන දී සිටින බව පැහැදිලි කල පීරිස් එවන් විනාශයන්ගේ ජාත්‍යන්තර තතු ගෙනහැර දැක්වූවා ය.

“මෙවැනිම කසල කන්දක් මෑතදී ඉන්දියාවේ ගාසිපුර්හිදී නාය යෑමකට ලක්වුනා. ඇමරිකාවේ ෆ්ලින්ට් නුවර වතුරට ඊයම් මුසුවී මහජන්තාව මිය ගියා. අලුත් වැඩියාව සඳහා ගිනිගන්නා සුලු ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ හේතුවෙන් ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල්හි මහල් නිවාසයක් ගිනිගෙන ජීවිත විනාශ වුනා. ලංකාවේ ඩෙංගු උවදුර ගංවතුර උවදුර භයානක විනාශයන්ට තුඩු දෙනවා. ධනපති ක‍්‍රමය යටතේ ඉතා දැනුවත්ව මෙම විනාශයන්ට දොර ඇරලා තියෙනවා.”

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුනු කන්දට එරෙහි මහජනතාවගේ අරගල රාජපක්ෂ ආන්ඩුවටත් මේ ආන්ඩුවටත් බලපෑම් දැමීමේ කොටුකල ආකාරය පීරීස් පැහැදිලි කලා ය. “පෙසප බඳු ව්‍යාජ-වාම පක්ෂවල අරමුන මහජනතාව සමාජවාදී වැඩපිලිවලකින් සන්නද්ධ වීම වැලැක්වීමයි.”

ලංකාවේ සිංහල හා දෙමල ධනපති පක්ෂවල පරාජිකාව ඓතිහාසිකව පැහැදිලි කල ඇය ලියොන් ට්‍රොට්ස්කි 1905 දී නොනවතින විප්ලව න්‍යායේදී පෙන්වා දුන් පරිදි නොදියුනු රටවලදී ජාතික ධනපති පන්තියට කම්කරුවන්ගේ ජීවන තත්වයන් නගාසිටුවීමට හෝ කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් තහවුරු කල නො හැකි බව ලංකාවේ ඊනියා නිදහසට 70 වසරක් වන තත්වයේ දී මනාව පැහැදිලි වන බව පෙන්වා දුන්නා ය.

දකුනු ආසියාවේද ජාත්‍යන්තරවද සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් කම්කරුන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක ස්වරූපයෙන් ගොඩ නැගීමෙන් පමනක් කම්කරුවන් හා පීඩිතය මුහුනදී ඇති ප‍්‍රශ්න විසඳිය හැකි බව ඇය අවධාරනය කලාය. මෙම වැඩපිලිවල යටතේ කම්කරුවන් ක‍්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම සඳහා ඉදිරියට පැමිනිය යුතු බව ඇය කියා සිටියා ය.

ධනවාදයේ අර්බූදයේ තියුනුම ප‍්‍රකාශනය වන්නේ වර්ධනය වන ලෝක යුද අන්තරාය යයි සඳහන් කල පීරිස් යුද්ධ අධිරාජ්‍යවාදී පාලක පන්තියේ අවශ්‍යතාවයක් බවත් ලෝක කම්කරු පන්තිය යුද්ධයට විරුද්ධව සමාජවාදය යටතේ ඒකාබද්ධ විය යුතු බවත් ප‍්‍රකාශ කලා ය. “ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් දැන් වසර 25 ක් පුරා නව විජිතවාදී යුද්ධ දියත් කර තියෙනවා. 1991 සෝවියට් සංගමය බිඳ විසිරවීමත් සමග මිලිටරි බලයෙන් රටවල් යටත් කිරීමේ ප‍්‍රයත්නය ආරම්භ වුනා. ඉරාකය ඇෆ්ගනිස්තානය සිරියාව වගේම උතුරු කොරියාවට එරෙහි කෙරෙන යුද තර්ජනත් දියත් කෙරෙනවා. නමුත් මෙම යුද්ධවල අවසාන එල්ලය රුසියාව හා චීනයයි.”

ලංකාවේ පාලක පන්තිය මෙම ලෝක යුද සැලසුම්වලට යටත් බව පෙන්වා දුන් පීරිස් මෙසේ පැහැදිලි කලා ය: “සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පැමිනියේ පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව චීනය සමග තර කොට ගෙන පැවති සමීප සබඳතා බිඳ දැමීමේ ඇමරිකානු පාලක පන්තිය හා මෙම කලාපයේ එහි මූලෝපායික සහකරුවා වන ඉන්දියාවේ පාලක පන්තියේ අවශ්‍යතාවය සහ සහයෝගය මතයි. මෙම ආන්ඩුව බලයට පැමීනීමත් සමග චීනයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ භූ- මූලෝපායික සබඳතා තුලට යලි ලංකාව සමීප කර තියෙනවා.”

දකුනු චීන මුහුදේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් චීනයට එරෙහි යුද සැලසුම් වර්ධනය කර ඇති තතු යටතේ චීනය සමග යුද තත්වයක් ඇවිලී යාමේදී කොලඹ ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ යුද සැලසුමේ කොටසක් බවට ලංකාව පරිවර්තනය කිරීමේ අන්තරාය මතුවී ඇතැයි පීරිස් පෙන්වා දුන්නාය. අධිරාජ්‍යවාදී යුද්ධයක් නතර කල හැක්කේ කම්කරු පන්තියට පමනයි. යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් කම්කරුවන් හා තරුනයන් අතර ගොඩනැගීමට කරන ට්‍රොට්ස්කිවාදී ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් (හජාජාක) සසපත් කරන අරගලය පැහැදිලි කල පීරිස් එම අරගලයට එක්වන ලෙස ඉල්ලා සිටියාය.

Share this article: