කතරගම සිය ගනන් ජනයා පොලිස් වෙඩි තැබීමකින් තරුන කම්කරුවා මරා දැමීමට විරෝධය දක්වති

එල්.පී.උදය සහ ලක්ෂ්මන් ප‍්‍රනාන්දු විසිනි, 2018 ජනවාරි 24

පතිරනගේ නිරෝෂන් නමැති තරුන කම්කරුවා පොලිසිය විසින් වෙඩිතබා මරා දැමීම ගැන කෝපාවිෂ්ට වූ සිය ගනන් ජනයා කතරගම පොලිසිය අසලට රැස්ව සෙනසුරාදා රාත‍්‍රී සහ පසුදා දහවල් විරෝධතා දැක්වීමක යෙදී ගත්හ. වෙඩි තැබීම සිදුකල පොලිසියට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස බල කරමින් සිය කෝපය ප‍්‍රකාශ කිරීම සඳහා පොලිසියට ගල්මුල් වලින් පහර දුන් ජනයා මහා මාර්ගයද අවහිර කලහ.

විරුද්ධත්වය දැක්වූ ජනයාට රාත‍්‍රී කඳුලු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කොට විසුරුවා හැරි පොලිසිය, සියගනනක් කැරලි මර්දන භටයන් හා විශේෂ කාර්ය බලකායන් කතරගම නගරයට හා පොලිස් ස්ථානයට ගෙන්වාගෙන දහවල් විරෝධතාවට පහර දීම සූදානම් කර තිබුනි. පොලිසිය බැටන් හා පොලු අමෝරාගෙන, විරෝධතාකරුවන් ලුහුබඳිමින් අතින්පයින් පහරදුන් මුර්ග ආකාරය වීඩියෝ පටවලින් ප‍්‍රවෘත්ති සමග ප‍්‍රදර්ශනය විය. කාන්තාවන් ඇතුලුව 60ක් පමන අත්අඩංගුවට ගත් පොලිසිය ඉන්පසුව ද ඔවුන්ට පහරදී ඇත.

ආන්ඩුවේ පොලිසිය භාර ඇමති මහජන කෝපය වැඩෙන තතුතුල පොලිසියට දොස් පවරා එහි මුර්ග කඩාපැනීම් වලට තමන්ගේ වගකීමෙන් අත් සෝදා ගැනීමේ මංමුලාසහගත තැතක දී සිටියි.

පතිරනගේ නිරෝෂන්

පොලිස් වෙඩි පහරින් මියගිය විසිපස් හැවිරිදි නිරෝෂන් කතරගම ප‍්‍රාදේශීය සභාවේ සනීපාරක්ෂක කම්කරුවෙකි. පොලිසිය සඳහන් කරන්නේ ප‍්‍රාදේශීය සභාව අසල පාරේ නිරෝෂන් පදවමින් සිටි යතුරු පැදිය සිය මුර පොලේ සිටි භටයන්ගේ අන නොතකා ධාවනය කෙරුනු නිසා වෙඩිතැබූ බවයි.

යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන්කල ඔහුගේ සහෝදර කම්කරුවකු වන නුවන් ගුනතිලක පොලිස් ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරයි. බයිසිකලයෙන් බැසීමේදී තුවාල ලබා රෝහල් ගතකර සිටින ගුනතිලක ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට හමුවිය. ඔහු සඳහන් කරන්නේ යතුරුපැදිය නවතා තමන් බිමට බැසීමත් සමග පොලිස් භටයා නිරෝෂන්ට වෙඩිතැබූ බවයි. වාහනය යද්දී වෙඩි තැබුවා නම් තමන්ට පහර එල්ල විය යුතුව තිබු බව ගුනතිලක පෙන්වා දෙයි. පොලිසිය එල්ල කල වෙඩිල්ල නිරෝෂන්ගේ හිසට වැදුනි. තමන් අසල් වැසියන් සමග නිරෝෂන් රෝහලට ගෙන ගියත් ඔහු මරනයට පත්වූ බව ගුනතිලක පැවසීය.

නුවන් ගුනතිලක

ගුනතිලකට සුලු තුවාල සිදුවී ඇත. එහෙත් පොලිසිය සිය වාර්තාව ලබා නොදීම නිසා අඟහරුවාදා අප වාර්තාකරුවන් රෝහලට යනවිට ද ඉන් පිටවී යාමට ඔහුට නොහැකිවී ඇත. තමන් එලෙස රෝහලේ රඳවා ඇත්තේ තොරතුරු එලිවීම වැලැක්වීමට බව ඔහු ප‍්‍රකාශ කලේය.

සිය සාධාරන කෝපය ප‍්‍රකාශ කල ජනයා පොලිස් අත්අඩංගුවෙන් මුදා හැරුනේ බරපතල ඇප කොන්දේසිවලට යටත් කරමිනි. ලක්ෂ දෙක බැගින් ශරීර ඇපවලට යටත් කෙරුනු ඔවුන්ට ජනවාරි 28 ඉරිදා කතරගම පොලිසියේ පෙනී සිට ඇප අත්සන් කිරීමට නියම කර ඇත. නැවත කලහකාරී ලෙස හැසුරුනුහොත් බන්ධනාගාර ගත කිරීම, සෑම මසකම ඉරිදා උදේ 9 සිට 12 දක්වා කාලය තුල කතරගම පොලිසියේ පෙනී සිට අත්සන් කිරීම හා නිරෝෂන්ගේ අවමගුල අවසන් වන තුරු කලහකාරී සිදුවීම් ඇති නොවීමට වග බලා ගැනීම ඔවුන්ට පැනවූ කොන්දේසි අතර වේ. අත්අඩංගුවට ගත් අය අතර 20ක් පමන කතරගම ප‍්‍රාදේශීය සභාවේ සේවකයින්ය. පොලිසිය ඔවුන්ට විරුද්ධව චෝදනා ගොනු කිරීමට නියමිතය.

මිය ගිය නිරෝෂන් කටුක ජීවිතයක් ගතකල අයෙකි. තාවකාලික සනීපාරක්ෂක කම්කරුවෙකු ලෙස දිනකට දීර්ඝ සේවා කාලයක් වැඩකරමින් ඔහු මසකට රුපියල් 30,000 පමන අමාරුවෙන් උපයා ගත්තේය. ඔහුගේ කුඩා නිවස කතරගම නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමන ඈත නාගහවීදියේ පිහිටා ඇත. එම ප‍්‍රදේශයේ ජනයා ජීවත්වන්නේ සුලු ඉඩම් කට්ටිවල තැනු කුඩා ගෙවල්වලය.

නිරෝෂන්ගේ බිරිඳ චතුරිකා

පෑවිල්ල නිසා වගාවක් කරගත නොහැකි බව කී නිරෝෂන්ගේ බිරිය වූ දුකට පත් චතුරිකා ආදායමක් උපයා ගැනීමට කුලීවැඩ වල නිරත වන බව සඳහන් කලාය. මොන වරදක් කලාට පොලිසිය මගේ මහත්තයා මරා දැමුවාදැයි මාධ්‍ය ඉදිරියේ හඬමින් ප‍්‍රශ්න කාලය.

පොලිසිය තොරතුරු එලිවීම හා මහජන කෝපය මාධ්‍යවල ප‍්‍රකාශ වැලක්වීමට මැදිහත් වී ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් මියගිය තරුනයාගේ මෘත දේහය තබා තිබූ නිවසට ගියවිට ඥාතියෙකු යැයි කියාගත් බන්ඩාර නැමැත්තෙක් කිසිදු තොරතුරක් ලබා ගැනීමට ඉඩදිය නොහැකි බව පැවසීය. ඔහු සඳහන් කලේ කතරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා බාහිර පුද්ගලයන්ට වර්තා ලබාගැනීමට ඉඩ ලබා නොදෙන මෙන් විධාන කර ඇති බවයි.

බන්ඩාර නැමැත්තා උපපොලිස් පරීක්ෂක ලක්මාල් නැමැත්තෙකුට දුරකථන ඇමතුමක් දුන්විට ඔහු ලෝසවෙඅ වාර්තාකරුවන්ට පවසා ඇත්තේ තොරතුරු අවශ්‍ය නම් පොලිසියට පැමිනෙන ලෙසයි. එක් වාර්තාකරුවෙක් තමන් පොලිසියට නොපැමිනෙන බවත් මහජනතාවගෙන් වාර්තාවක් ලබාගැනීමට තමන්ට අයිතියක් ඇති බවත් දුර කථනයන් පැවසූවිට එම පොලිස් පරීක්ෂක අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇත.

එහෙත් බහුතරයක් දෙනා පොලිසියේ ක‍්‍රියාව ගැන කෝපයෙන් කතා කලහ. එහි සිටි කාන්තාවක් ලෝසවෙඅ වාර්තාකරුවන්ට තොරතුරු ලබාගැනීමට ඉඩ නොදීමට විරෝධය පෑවාය. “පොලිසිය මරනයට වගකිවයුතුයි. මාධ්‍යවලට තොරතුරුදීම වලක්වන්නේ පොලිසියේ උවමනාවට,” යයි ඇය කියා සිටියාය.

වෙඩිතැබීම සිදුවූයේ ඉන් මියගිය තරුනයා රැකියාවේ නිරතවී සිටි කතරගම ප‍්‍රාදේශීය සභාව තුල ආතති සහගත තත්වයක් කොලඹ ආන්ඩුවේ ප‍්‍රධාන පාර්ශව කරුවා වන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන උපාලි ජයවීර නැමැත්තෙකු ප‍්‍රමුඛ කන්ඩායමක් විසින් නිර්මානය කර තිබූ පසුබිමකයි. මෙම කන්ඩායම දේශපාලන විරුද්ධවාදීන්ට හිරිහැර කරන බව පලාත් සභාවේ සේවකයෙක් ලෝසවෙඅට පැවසුවේය.

ජනවාරි 4 වනදා ජයවීර ප‍්‍රාදේශීය සභාවට පැමින කලහකාරී ලෙස හැසිරීමෙන් පසුවදා පලාත් සභාවේ සියලුම සේවකයින් ඊට එරෙහිව උද්ඝෝෂනයක නිරත වූහ. වෙඩි තැබීමෙන් මියගිය තරුනයා ද ඊට සහභාගී වී ඇත. එම උද්ඝෝෂනයේදී ද එජාප කන්ඩායම උද්ඝෝෂනයේ නියුතු පිරිසට තර්ජනය කර ඇත. පොලිසිය එම උද්ඝෝෂකයන් වෙනවෙනම ඡායාරූප කරගත් බව සේවකයෝ කීහ.

පොලිසිය මුලදී සිද්ධිය යට ගැසීමට උත්සාහ කලත් මහජන විරෝධය ඉදිරියේ එය අපහසුවී ඇත. ජනයා අතර කෝපය සමහන් කිරීමේ තැතක් ලෙස වෙඩි තැබීම සිදුකල පොලිස් නිලධාරියා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

විරෝධතා කරුවන්ට තිරිසන් ලෙස පහර දීමටත් පොලිස් ඝාතනයටත් එරෙහිව පැතිරී ඇති මහජන කෝපය නිසා ආන්ඩුව සිය වගකීමෙන් ගැලවීමට තැත් කරයි. ඇමති සාගල රත්නායක පොලිස්පතිට තරවටුවන ප‍්‍රකාශයක් කර ඇතිබව මාධ්‍ය වාර්තා කරයි. “මහජනයාගේ ආරක්ෂකයන්වන පොලිසිය ඔවුන්ගේ හිංසාකාරයෙක් ලෙස ක‍්‍රියා කල නොහැකි ය” යි ද, මෙය හුදකලා සිද්ධියක් නොවන බව ද ඇමති පවසා ඇතැයි වාර්තාවේ. පොලිසියේ “වෘත්තීය නොවන තත්වය” වෙනස් කිරීමට විදේශීය විශේෂඥයන්ගේ පුහුනුව ලබා දෙන බව ඔහු කියා ඇත.

මේවා කුහක ප‍්‍රකාශයන් ය. වත්මන් ආන්ඩුව මහජනයා බියවැද්දීම සඳහා නිදැල්ලේ ක‍්‍රියා කිරීමට පොලිසියට ඉඩ සලසා ඇත. උතුරේත් දකුනේත් හිතුමතේ විටින් විට ඝාතනවල යෙදෙමින් පොලිසිය ක‍්‍රියා කරයි. කම්කරුවන්ගේ දුගීන්ගේ හා සිසුන්ගේ අරගල මැඩලීම සඳහා ආන්ඩුව මුර්ග පොලිස් ප‍්‍රහාර මුදා හැරීම දිනපතා අත්දැකීමක් වී තිබේ. මෙය දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය මගින් ක‍්‍රමානුකූලව වර්ධනය කෙරී ඉදිරියට ගැනෙන ඇති පොලිස් පාලනයක ලක්ෂනයි.

Share this article: