පලාත් පාලන මැතිවරනය-2018

සසප හැටන් හි දී මාධ්‍ය හමුවක් පවත්වයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 ජනවාරි 24

පෙබරවාරි 10 දා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරනය තුල තරඟ වදින සමාජවාදී සමානතා පක්ෂය (සසප), තම ක්‍රියාමාර්ගය සහ මැතිවරනයට ඉදිරිපත්වීමේ අරමුනු පැහැදිලි කරන මාධ්‍ය හමුවක්, 21 ඉරිදා, හැටන් නගරයේ දී පැවැත්වීය.

සසප දේශපාලන මන්ඩල සභිකයන් වන පානි විජේසිරිවර්ධන සහ එම්. දේවරාජා ගේ ප‍්‍රධානත්වයෙන් “කම්කරු සෙවන” ශාලාවේ පැවති මාධ්‍ය හමුවට අයිටීඑන්, දෙරන, හිරු සහ සිරස රූපවාහිනී නාලිකා සහභාගි විය.

වතුකම්කරුවන් බහුතරයක් ජීවත් වන මධ්‍යම කඳුකරයේ අඹගමුව ප‍්‍රාදේශීය සභාවට, කොලඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාවට සහ යුද්ධයෙන් පීඩා විඳි උතුරේ පිහිටි කයිට්ස් ප‍්‍රාදේශීය සභාවට සසප මෙම මැතිවරනයේ දී තරග වදියි.

පලමුව මාධ්‍ය ඇමතූ පානි විජේසිරිවර්ධන තම කතාව ආරම්භ කලේ මැතිවරනයට තරග කරන අනෙකුත් දේශපාලන පක්ෂ සහ සසප අතර පවත්නා අති මූලික පන්ති වෙනස්කම අවධාරනය කරමිනි: “සමාජවාදී සමානතා පක්ෂය (සසප) යනු කම්කරුවන්ගේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), අගමැති රනිල් වික‍්‍රමසිංහ ගේ එක්සත් ජාතික පක්ෂය (එජාප), ජනතා විමුක්ති පෙරමුන, දෙමල ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග‍්‍රසය සහ වතුකරයේ විවිධ වෘත්තීය සමිති සහ සන්ධාන ඇතුලූ ධනපති පක්ෂ සහ ධනපති ක‍්‍රමයේ ආරක්ෂකයන් වන වික‍්‍රමබාහු කරුනාරත්නගේ නව සම සමාජ පක්ෂය (නසසප) වැනි ව්‍යාජ-වාම පක්ෂ වලට එරෙහිව මෙම මැතිවරනයේදී තරග වදින එකම කම්කරු පන්තික පක්ෂය සසප යි.”

මෙම මැතිවරනය පැවැත්වෙන්නේ ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරව ද දැවැන්ත පන්ති අරගල පුපුරා යන තත්වයක බව විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය. මෑතකදී ලංකාවේ පුපුරා ගිය තැපැල්, වරාය, විදුලිබල සහ වතු කම්කරු අරගල මෙන්ම ශිෂ්‍යයන්ගේ සහ ගොවියන්ගේ අරගල, ලංකාව ඇතුලූ ලොවපුරා ධනපති ආන්ඩු කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල වැඩෙමින් පවත්නා රැඩිකලීකරනයක ප‍්‍රකාශනයක් බව ඔහු පැවසීය.

“තම සමාජ සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව අරගලයට ඇදී එමින් පවත්නා මෙම කම්කරුවන්ට නිරවද්‍ය ඉදිරි දර්ශනයක් සහ නායකත්වයක් නොමැතිකම ඔවුන් මුහුන දෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයයි. සමාජවාදී සමානතා පක්ෂය මෙම මැතිවරනයට ඉදිරිපත්ව සිටින්නේ, එම ඉදිරි දර්ශනය සහ නායකත්වය සම්පාදනය කිරීම සඳහා ගෙනයන වැඩකටයුතු වල කොටසක් ලෙසයි.”

ලෝක ධනේශ්වර පද්ධතිය බිඳ වැටෙමින් පවත්නා තතු තුල අන්තර් අධිරාජ්‍යවාදී සතුරුකම් උග‍්‍රවී එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවදීන් විසින් ලෝක මහජනතාව න්‍යෂ්ටික ලෝක යුද්ධයක් කරා වේගයෙන් ඇදගෙන යන අයුරු විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය.

“වොෂින්ටනය විසින් චීනය ආර්ථික සහ මිලිටරි වශයෙන් වටලෑම සඳහා ගෙනයන මූලෝපායික වැඩ කටයුතු වලදී ඉන්දියාව එහි පෙරමුනු රාජ්‍යයක් බවට පරිවර්තනය කෙරී පවතින අතර, 2015 ජනවාරියේ කොලඹ සිදු කෙරුනු තන්ත‍්‍ර මාරුවෙන් පසු ලංකාව මෙම යුද වාසුලියේ මධ්‍යයටම ඇදගෙන තිබෙනවා. වොෂින්ටනය උතුරු කොරියාවට සහ චීනයට එරෙහිව කරන ප‍්‍රකෝපකරනයන් මධ්‍යයේ සමස්ත ආසියානු මහාද්වීපයම දැවැන්ත යුද ආතතියකින් වෙලී පවතිනවා.”

සසප තම ජාත්‍යන්තර සගයන් සමග එක්ව ලෝක යුදවිරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා ගෙනයන සටන මෙම මැතිවරන උද්ඝෝෂනය මධ්‍යයට ගෙනඑන බව සඳහන් කල විජේසිරිවර්ධන මෙසේ පැවසීය: “මෙම අන්තරායකාරී තත්වය පිලිබඳ කවර හෝ සාකච්ඡාවක් වලක්වා මහජන අවධානය අන් අතකට යොමු කිරීම මැතිවරනයට ඉදිරිපත්ව සිටින අන් සෑම පක්ෂයකම ව්‍යායාමය යි.”

“ජනාධිපති සිරිසේන සහ ඔහුගේ කඳවුර මෙවර මැතිවරනයේ මූලික තේමාව කරගෙන ඇත්තේ ඊනියා දූෂනය ට එරෙහි සටන යි. බිඳ වැටීමක් ආසන්නයේ පවතින වත්මන් ආන්ඩුවේ ජනාධිපතිවරයා ලෙස බැඳුම්කර වංචාවටද, පසුගිය රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රධාන ඇමතිවරයෙකු ලෙස එම ආන්ඩු කාලයේ සිදු වූ සියලූම දූෂනයන්ට ද, සිරිසේන මුලුමනින්ම වගකිව යුතුයි. සිල් රෙදි පොරවාගත් මෙම ශ්‍රීලනිප නඩය ආන්ඩුවෙන් දුරස්ථ වීමක් පෙන්නුම් කරන්නේ තමාගේ ද සහභාගිත්වයෙන් වත්මන් ආන්ඩුව එල්ල කල ප‍්‍රහාර හමුවේ මහජනතාව අතර වැඩී ඇති විරෝධය එක්සත් ජාතික පක්ෂය වෙතට හරවා මෙම මැතිවරනයේදී එහි වාසිය ගන්න.”

පසුගිය ආන්ඩුව සහ වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි ජවිපෙ, දැන් එම වගකීමෙන් අත සෝදාගෙන “දූෂනයෙන් තොර ගමක්” ගොඩනැගීම ගැන කරන කතාවන්හි ප්‍රෝඩාකාරිත්වය විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය. “යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීම සම්බන්ධයෙන් දුන් පොරොන්දු සියල්ල කඩකර කුජීතව සිටින එක්සත් ජාතික පක්ෂය නැවතත් යහපාලන තැටියම වාදනය කරන බව”ද ඔහු පැවසීය.

අධිරාජ්‍යවාදී යුද්ධය, සමාජ අසමානතාවය සහ දරිද්‍රතාව අවසන් කොට සමාජයීය සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කරගත හැක්කේ තම සටන් සගයන් වන ලෝක කම්කරු පන්තිය සමග එක්ව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමෙන් පමනක් බව පැවසූ විජේසිරිවර්ධන තම කතාව මෙසේ අවසන් කලේය: “ඉන්දු උප-මහාද්වීපීය සමාජවාදී සමූහාන්ඩුවක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන්, කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සසප යේ අරමුනයි. ඒ සඳහා කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් බලමුලු ගන්වමින් ඔවුනට නායකත්වය දෙන විප්ලවවාදී පක්ෂය වන සසප ට සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයට සිතන මතන කම්කරුවන් සහ තරුනයන් කොටසක් දිනා ගැනීම මෙම මැතිවරන උද්ඝෝෂනය තුල අපි බලාපොරොත්තු වෙනවා.”

අඹගමුව ප‍්‍රාදේශීය සභාවට තරග වදින සසප කන්ඩායමේ නායකත්වය දරන දේවරාජා තම අදහස් දැක්වීම ආරම්භ කලේ දශක හතරකට අධික කාලයක් වතුකරය තුල සසප ගෙනගිය සප‍්‍රතිපත්තික අරගලය ගැන සඳහන් කරමිනි. “කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය සඳහාත්, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය සඳහාත් වතුකරයේ දෙමල කතා කරන කම්කරුවන් අතර කල සප‍්‍රතිපත්තික සහ මූලධර්මාත්මක අරගලය සම්බන්ධයෙන් සසප ට ඇත්තේ කීර්තිමත් වාර්තාවක්. වතුකරයේ දෙමල දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීම සඳහා සහ උතුරු-නැගෙනහිර දෙමල පීඩිත ජනයාට එරෙහිව කොලඹ ආන්ඩු ගෙනගිය වර්ගවාදී යුද්ධයට විරුද්ධව සසප සහ එහි පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගෙනගිය අරගලය ඒ අතර විශේෂයි.”

ධනපති දේශපාලන පක්ෂ ලෙස වතුකරය තුල ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වල ද්‍රෝහී ක්‍රියා කලාපයට එරෙහි සසප අරගලය ගැන සඳහන් කල දේවරාජා මෙසේ පැවසීය: “අන් සෑම තැනකදී මෙන්ම වතු කම්කරුවන්ට ද තම අවශ්‍යතා සඳහා සටන් කිරීමට ඇති ප‍්‍රබලතම බාධාව මෙම වෘත්තීය සමිතියි. කම්කරුවන්ගේ ජීවිතයේ සෑම අංශයක් මතම මොවුන් දරා සිටින්නේ බලහත්කාරී අධිකාරිත්වයක්. මෙම සමිති කම්කරුවන්ට එරෙහිව වතු සමාගම් හිමිකරුවන් සමග ඇතිකරගත් ගිවිසුම් හෙලිදරව් කරමින් සහ ධනපති උපකරන බවට පත්ව ඇති එම සමිති වලින් වෙන්ව සටන තමාගේම අතට ගැනීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් සසප එක දිගටම වතු කම්කරුවන් අතර සටන් වදිනවා.”

“තොන්ඩමන්, දිගම්බරම් සහ මනෝ ගනේෂන් ඇතුලු වෘත්තීය සමිති නායකයන් සියල්ල ධනපතියන්. ඔවුන් ඒ හෝ මේ ධනපති ආන්ඩුවේ ඇමතිකම් ලබා ගනිමින් සිදු කරනුයේ ධනපති ආන්ඩු සහ වතු සමාගම්කරුවන් මුහුන දී සිටින අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමයි. මේ සියලු සංවිධානයන්ට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය මත පාදකවූ කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් බලමුලූ ගැන්වීම අපේ අරමුනයි.”

Share this article: