ශ්‍රී ලංකාව: සසප තම පලමුවැනි පලාත්පාලන මැතිවරන රැස්වීම වතුකරයේදී පවත්වයි

Sri Lanka: SEP holds first local election meeting in plantation area

අපගේ වාර්තාකරුවන් විසිනි , 2018 ජනවාරි 19

අනෙකුත් සියලුම දේශපාලන පක්ෂවලට විරුද්ධව, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් හා නායකත්වයක් සඳහා සටන් කිරීමේ අවශ්‍යතාව පැහදිලි කිරීමට සසප මෙම මැතිවරනය යොදා ගන්නා බව කථිකයෝ පැහැදිලි කලහ.

සමාජවාදී සමානතා පක්ෂය(සසප), අඹගමුව ප්‍රාදේශීය සභාවට අයත් ගිනිගත්හේන නගරයේ දී තම පලමු පලාත්පාලන මැතිවරන රැස්වීම පැවත්වීය. පෙබරවාරී 10වැනිදා පැවත්වීමට නියමිත පාලත් පාලන මැතිවරනයේ දී, සසප අඹගමුවට තරඟ කර යි.

සසප දේශපාලන කමිටු සාමාජික එම්.තේවරාජාගේ නායකත්වයෙන් අඹගමුව ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයින් 24දෙනෙකු ඉදිරිපත් කර ඇත. උතුරේ කයිට්ස් ප්‍රාදේශීය සභාවටත් කොලොන්නාව නගර සභාවටත් සසප අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇත.

ජනවාරි 13දා පැවැත්වුන රැස්වීමට පෙරාතුව, කම්කරුවන්, ගොවියන්, තරුනයන් හා ගෘහනියන් සමග පක්ෂයේ සමාජවාදී ක්‍රියාමාර්ගය සාකච්ඡා කරමින්, සසප සාමාජිකයෝ බලගතු උද්ඝෝෂනයක් පැවත් වූහ. පොල්පිටිය, ලක්ෂපාන, වටවල, ගිනිගත්හේන යන ගම්මාන සහ කැරොලිනා හා ලොනක් වතු ද ඇතුලත් අවට ප්‍රදේශවල අත්පත්ත්‍රිකා 4,500ක් පමන බෙදා හරිනු ලැබින.

අනෙකුත් සියලුම දේශපාලන පක්ෂවලට විරුද්ධව, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් හා නායකත්වයක් සඳහා සටන් කිරීමේ අවශ්‍යතාව පැහදිලි කිරීමට සසප මෙම මැතිවරනය යොදා ගන්නා බව රැස්වීමේ මුලසුන හෙබවූ, සසප සාමාජික පාලිත අතපත්තු අවධාරනය කලේ ය. “2018 වසර ජාත්‍යන්තරව මෙන්ම ශ්‍රී ලංකාවේ ද පන්ති අරගලයේ යලිපිබිදීම සලකුනු කරන” බව ඔහු පැවසී ය. “කම්කරු පන්තියේ මෙම යලි මතුවීම සමග සමපාත වන්නාවූ, මෙම වසර මාක්ස්ගේ උපතේ දෙසීය වන වසර ද වන්නේ ය. සමාජවාදී විකල්පය සෑම රටකම කම්කරුවන් සඳහා ඇති එක ම ගැලවීමේ මාර්ගය යි.”

ශ්‍රී ලංකාව තුල වර්ධනය වෙමින් තිබෙන සමාජ කැලඹීම කම්කරු පන්තියේ ජාත්‍යන්තර පෙරලිකාරිත්වයක කොටසක් බව පලමු කථිකයාවූ තේවරාජා පැහදිලි කලේ ය.විදුලිබල, වරාය,තැපල් හා දුම්රිය කම්කරුවන් වැඩවර්ජන හා විරෝධතාවලට අවතීර්න වී ඇතැ යි ඔහු පැවසී ය.

වතුකම්කරු අරගලවල අත්දැකීම් සාකච්ඡා කරමින් දේවරාජා සඳහන් කලේ, “2016 හා 2017 යන වසරවල ඉහල වැටුප් ඉල්ලමින් හා නිෂ්පාදනය වැඩි කිරීමේ බලපෑම්වලට විරුද්ධත්වය දක්වමින් කම්කරුවෝ සිය දහස් ගනනක් වැඩවර්ජනය කල” බව යි. “ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) , කම්කරුවන්ගේ ජාතික වෘත්තීය සමිතිය (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) හා උඩරට මහජන පෙරමුන (යූපීඑෆ්) ඔවුන් පාවා දුන්නා. ඔවුන් ඇත්තටම කරන්නේ, සමාගම්වල හා ආන්ඩුවේ සැලැසුම් කම්කරුවන් මත පැටවීම යි. ”

එන්යූඩබ්ලිව්, ඩීඩබ්ලිව්සී, යූපීඑෆ් නායකයින් ආන්ඩුවේ ඇමතිවරුන් වන අතර සීඩබ්ලිව්සී එකත් ජනාධිපති සිරිසේනගේ පැත්තේ ඉන්නා බව තේවරාජා සඳහන් කලේ ය. “කම්කරුවන්ට සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම්වූ නව නායකත්වයක් අවශ්‍යය යි. අප උද්ඝෝෂනය කරන්නේ ඒ සඳහා” යයි කථිකයා පැවසීය.

අවසාන කථාව පවත්වමින් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව පිපිරෙන පන්ති අරගලයන්ගේ කේන්ද්‍රීය ප්‍රශ්නවලින් අවධානය අවමංගත කිරීමට, ධනේශ්වර පක්ෂ හා ඔවුන්ගේ වාම හෙංචයියන් මැතිවරනය යොදා ගනිමින් සිටින්නේ කෙසේ දැ යි පැහදිලි කලේය.

“මෙම කිසිම පක්ෂයක් 200,000ක් පමන වන වතු කම්කරුවන්ගේ බලගතු වැඩවර්ජනය ගැන හෝ තැපල්, වරාය, විදුලිබල හා සෞඛ්‍ය මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රවල කම්කරුවන් විසින් කරන ලද අරගල ගැන කතා කරන්නේ නෑ. මෙම සටන් ප්‍රකාශ කරන්නේ ආන්ඩුවේ කප්පාදු ප්‍රතිපත්තිවලට එරෙහිව පුලුල්ව පැතිරෙන විරුද්ධත්වය යි...

“සිරිසේන, ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උද්ඝෝෂනයට බැසගෙන, රටා වටා යමින්, දූෂනයට එරෙහිව තම ව්‍යාජ සටන ගැන කයිවාරු ගහනවා. මීට වසර තුනකට ඉස්සෙල්ලා 2015 මැතිවරනයේ දී ඡන්ද ගසා කෑමට ඔහු කියමින් ගියේ ද මේ කථාවම යි”,ඩයස් පැවසී ය.

“අගමැති රනිල් වික්‍රමසිංහ, ඔහුගේ යූඑන්පිය සඳහා ඡන්දය ඉල්ලා සිටින්නේ, 2015 මහමැතිවරනය අතරතුර දී ආර්ථික සංවර්ධනය ගැන ඔහු දුන් ව්‍යාජ පොරොන්දු පොදියම විකුනමිනුයි. ආන්ඩුව ගෙන යන්නේ මෙම පක්ෂ දෙක එකට එක්වී ගෙනයි. සියලුම දූෂන හා කඩවුනු පොරොන්දුවලට මේ දෙගොල්ලම එක සමානව වගකිව යුතු යි.”

“තමන්ට දූෂනයෙන් තොර ආන්ඩුවක්” ගෙන යන්න පුලුවන් කියන බොරුව තොරොම්බල් කරමින් ඡන්දය ඉල්ලන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද තවත් ධනපති පක්ෂයක් බව ඩයස් පැවසී ය. “තමන්ට පලාත්පාලන ආයතන පාලනය කරන්න ඉඩ දුන්නොත්, මුදල් ඉතුරු කරන බවත් ඒවා ලාභදායි බව ඔප්පු කරන බවත් ඔවුන් කියනවා” යි ඔහු තවදුරටත් පැවසී ය.

“වතුකරයේ වෘත්තීය සමිති මෙන් ම, දිවයිනේ උතුරේ දෙමල ජාතික සන්ධානයත්, ව්‍යාජ වාම කන්ඩායමුත් ඔවුන් බලයට ගෙන ඒමට උදව් කල ආන්ඩුව වෙනුවෙන් කන්නලව් කරමින් ඉන්නවා.”

“කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන දැවෙන ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ ප්‍රශ්නවලින් මෙම මැතිවරන උද්ඝෝෂන කොතරම් දුරස්ත දැ යි යන්න කිසිවෙකුටත් මග හරින්න බෑ,”, ඩයස් පැවසී ය. “මහජනයා මුහුන දෙන සියලුම ප්‍රශ්නවල මූලය වන, පරිහානියට පත්වෙන මෙම ධනේශ්වර ලාභ පද්ධතිය වෙනස් කිරීමේ දේශපාලන ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කරන වේදිකාවක් බවට මෙම මැතිවරනය හැරවිය යුතු යැයි කියන්නේ සසප විතරයි.”

“තමන් මුහුනපා සිටින අතිමූලික පරස්පරවිරෝධයන් නිසා ධනවාදය ලෝක පරිමානව බිඳවැටෙන තත්වයක යි පවතින්නේ. ධනේශ්වර බිඳවැටීමේ මීට පෙර කාලපරිච්ඡේදය අතරතුර මානව වර්ගයා ඉදිරියේ මතු කෙරුනු ප්‍රශ්නය වූයේ, එක්කෝ ලෝක යුද්ධයේ ම්ලේච්ඡත්වය ද නැත්නම් සමාජවාදී විප්ලවය ද කියන අභියෝගය යි. මෙම ප්‍රශ්නවලට ප්‍රගතිශීලී උත්තරයක් දිය හැක්කේ ද කම්කරු පන්තිය සූදානම් කල හැක්කේ ද විප්ලවවාදී මාක්ස්වාදී ව්‍යාපාරයකට පමනයි. 1917 ඔක්තොබර් විප්ලවය සඳහා මිලියන ගනන් ගම්බද ජනයා ද පීඩිත ප්‍රජාවන් ද එක් කරගනිමින් සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත රුසියානු කම්කරුවන් මෙහෙයවමින් ලෙනින් හා ට්‍රොට්ස්කි ඔප්පු කලේ මෙයයි. මෙම විප්ලවයයි, පලමුවැනි ලෝක යුද්ධය අවසන් කලේ.”

“අපගේ ලෝක පක්ෂය මෙම විප්ලවවාදී සම්ප්‍රදායන් නියෝජනය කරනවා. මේ නිසයි හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප, සමාජවාදී යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් කරන්නේ. යුද්ධය නතර කිරීමේ එකම මාවත වන්නේ ධනේශ්වර පාලනය ලෝකයේ හැම රටකින්ම අතුගා දැමීම යි.”

“ජාත්‍යන්තරවාදී සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස, වතු කම්කරුවන් ද ඇතුලු සියලුම අංශවල කම්කරුවගෙන් අපි ඉල්ලා සිටිනවා. මෙම සටනට විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය යි. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ මෙන් ම දකුනු දිග ආසියාවේ එවැනි පක්ෂයක් ගොඩනැගීමට සසප කැපවෙනවා.”

පසුව සෝවියට් සංගමය තුල මතුවූ ස්ටැලින්වාදී නිලධරය විසින්, 1917ලෝක සමාජවාදය සඳහා සටනේ ඉදිරිදර්ශනය පාවා දෙනු ලබූ බව කථිකයා විසින් පැහදිලි කරන ලදි.

"1938දී ට්‍රොට්ස්කි හතරවැනි ජාත්‍යන්තරය ආරම්භ කලේ මෙම සටන ඉදිරියට ගෙන යාමට නව විප්ලවවාදී පරම්පරාවක් බිහි කිරීමට යි. “අපි නියෝජනය කරන්නේ එම අරගලයේ අඛන්ඩත්වය යි...සමාජවාදී විප්ලවයට සටන් කිරීම ඔස්සේ තවත් ගෝලීය යුද්ධයක් නතර කිරිමේ තීරනාත්මක ප්‍රශ්නය මත සසප තම දේශපාලන කටයුතු කේන්ද්‍රගත කර ඇත්තේ මේ නිසයි.”

රැස්වීමෙන් පසු, අවුරුදු 43ක් වයසැති වෙලඳ සේවකයෙකු වන අරුනාචලම්, ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ ප්‍රකාශ කලේ ය: “මම සහභාගිවුනු රැස්වීම්වලින් සැබෑ ප්‍රශ්න කතා කරපු එකම පක්ෂය මේකයි. මම නොයෙකුත් පක්ෂ දුසිමක් විතර දැකලා තියෙනවා. ඔවුන් ඔක්කොම පොරොන්දු ලැයිස්තුවක් දෙනවා. නමුත් ඒ කිසිවක් ඉටු කරන්නේ නෑ. බොහෝ වෙලාවට ඔවුන් බලයට පත්වුනාම වැඩ කරන්නේ දුන් පොරොන්දුවලට වඩා වෙනස් විදියට.”

හැටන් සිට පැමිනි වතු කම්කරුවෙක් මෙසේ පැවසී ය: “මම ටීවී එකේ දැකල තියෙනවා සීඩබ්ලිව්සී, එන්යූඩබ්ලිව් රැස්වීම්වල විස්තර. සීඩබ්ලිව්සී නායක තොන්ඩමන් වගේම එන්යූඩබ්ලිව් නායක දිගම්බරම් පුද්ගලික පහරදීම් හා මඬගසා ගැනීම් වලට තමයි බැහැ ගන්නේ. ඔවුන් කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන උනන්දු නෑ. මේ යූනියන් දෙකම සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට උදව් කලා. මේ රැස්වීමේ දී කතාකරපු අය විතරයි ලෝක යුද්ධයේ අනතුර වගේම මේ රටෙත් අනෙක් රටවලත් කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන කතා කලේ.”

Share this article: