<

 

ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරික වර්ෂය පිලිබඳ අවසන් ආවර්ජන

Final reflections on the centennial year of the October Revolution

2017 දෙසැම්බර් 30

දැන් අවසානයකට පැමිනෙමින් තිබෙන මේ වසර [2017] ආරම්භයේදීම ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවීය. “ලෝක ධනවාදය හමුවේ අවතාරයක් හොල්මන් කරයි: ඒ රුසියානු විප්ලවයේ අවතාරය යි.” මෙම ප‍්‍රකාශය ධනපති ඉතිහාසඥයන් සහ මාධ්‍යවේදීන් විසින් ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය නිරීක්ෂනය කරන ලද ආකාරය මගින් මැනවින්ම සනාථ වී ඇත. වසරේ ප‍්‍රථම මාසවල දී, ඔවුන්ගේ විවරන නරුම ද නිශ්ප‍්‍රභාකාරී ද විය. එයට මනා උදාහරනයක් වූයේ ලන්ඩන් රිවීව් ඔෆ් බුක්ස් සඟරාවේ පසුගිය මාර්තු මස පල කරන ලද ඉතිහාසඥ ෂීලා ෆිට්ස්පැට්‍රික් ගේ නොතැකුම් සහගත නොබැරෑරුම් ප‍්‍රකාශයයි. “අසාර්ථකත්වය තරම් අසාර්ථක අන් කිසිවක් ඇත්තේ නැත. එමෙන්ම විප්ලවයේ ශත සංවත්සරයට අවධානය යොමුකරන ඉතිහාඥයන්ට, සෝවියට් සංගමය අන්තර්ධාන වීම කනකොක් රාවයක් වී ඇත. විප්ලවය පිලිබඳ අලුත් පොත් රොත්ත තුල කිහිපයක් පමනක් එහි කල්පවත්නා අර්ථභාරය අවධාරනය කරන අතර බොහෝ අය එය ගැන කතාකරන්නේ ක්ෂමාලාපීය ලෙසකිනි. . . . සමාජවාදය කොතරම් මිරිඟුවක් ද කියහොත් ඒ පිලිබඳ කිසිවක් සඳහන් නොකර සිටීම වඩා හිතකර සේ ය.”

නමුත් වසර දිග හැරෙත්ම විනාශකාරී යුද්ධයක වැඩෙන තර්ජනය ද ගෝලීය දේශපාලන අස්ථාවරත්වය දෛනිකව ප‍්‍රකාශයට පත්වීම ද උග‍්‍ර වන සමාජ ආතතීන් ද මධ්‍යයේ විවරනයන්ගේ තානය පෙර කවරදාකටවත් වඩා අඳුරු වන්නට පටන් ගත්තේය. 1991 දී ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍රය විසින් සෝවියට් සංගමය දියකර හැරීම මගින් සමාජවාදී විප්ලවයේ අවතාරය සදහටම පලවා හැර තිබුනි යයි විශ්වාස කරන ලදි. නමුත් ලෙනින් විසින් මෙහෙයවන ලද විප්ලවයේ නිශ්චිත ශත සංවත්සරය එලඹීම සමග මැක්බත් ආර්යාව මෙන් ඔවුහු තමන්ගෙන් ම මෙසේ අසාගන්නට පටන් ගත්හ. ‘මේ වයසක මිනිහා ඇතුලේ මෙච්චර ලේ තිබුනා යයි කවුරු හිතන්ට ඇත්ද?’

නොවැම්බර් 06 වනදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ පලකරන ලද ලිපියක දක්ෂිනාංශික ඉතිහාසඥ සයිමන් සෙබාග් මොන්ටිෆයිරේ මෙසේ ලිවීය. “හරියටම ශතවර්ෂයකට පෙර ව්ලැඩිමීර් ලෙනින් සංවිධානය කල ඔක්තෝබර් විප්ලවය, සෝවියට් සංගමය කඩා වැටුනු අවස්ථාවේ සිතා ගත නොහැකිව තිබුනු විවිධ ආකාරයන්ගෙන් තවමත් අදාලය.”

ඔහු සැලෙමින් නිරීක්ෂනය කලේ බොල්ශෙවික් ජයග‍්‍රහනය තවමත් “පිලිරැව් දෙමින් අනුප‍්‍රානය සපයන” බවත් බවත් “මහා වීර කාව්‍යයක්, පුරාවෘත්තියක්, වශීකාරකයක් ලෙස පෙනෙන” බවත්ය. ලෙනින් ඝාතනය කොට විප්ලවය පැරදවීමට රුසියානු ධනපති පන්තියේ තාවකාලික ආන්ඩුව අසමත්වීම ගැන මොන්ටිෆයිරේ වැලපුනේය.

එදිනම වොෂිංටන් පෝස්ට් පුවත්පතේ කොමියුනිස්ට් විරෝධී ඉතිහාසඥයෙකු වන ඇනී ඇපල්බෝම් සමාජවාදී විප්ලවයේ තර්ජනයට ධනවාදය තවමත් නිරාවරනය වී ඇතැයි ද ආන්ඩු තෘප්තිමත් විය යුතු නැතැයි ද අනතුරු ඇඟවීය. විප්ලවවාදී සමාජවාදීන් තවමත් සංඛ්‍යාවෙන් සුලු පිරිසක් වුවද ඔවුන්ගේ විභව ශක්තිය අවතක්සේරු නොකල යුතුය. “මතක තබා ගන්න” ඇපල්බෝම් ලිවීය, “1917 ආරම්භය වන විට, පසුව බොල්ශෙවිකයන් ලෙස ලෝකය පුරා ප‍්‍රචලිත වූ මිනිසුන්ගෙන් බොහෝදෙනෙක් සමාජයේ අද්දර සිටි කුමන්ත‍්‍රනකරුවෝ හා මනෝරාජිකවාදියෝ වූහ. වසර අවසන් වන විට ඔවුහු රුසියාව පාලනය කලහ.” එමනිසා 1917 පාඩම පැහැදිලිය. “පද්ධතියක් ඇති තරම් දුර්වල සහ විරුද්ධ පාර්ශ්වය ඇති තරම් බෙදී ඇත්නම්, පාලක පර්යාය ඇති තරම් දූෂිත නම් කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි අන්තවාදීන්ට එක්වරම පාලන මධ්‍යස්ථානය වෙත පැන ගත හැකිය.”

ඉහල පන්ති විඥානයෙන් යුත් ධනපති ඉතිහාසඥයන්ට ප‍්‍රතිකූල ලෙස සුලු ධනේශ්වර ව්‍යාජ වමේ නියෝජිතයෝ, අද දින ලෝකයේ සමාජවාදීන් සඳහා න්‍යායික මග පෙන්වීමක් සහ දේශපාලන ආකෘතියක් ලෙස ඔක්තෝබර් විප්ලවය මුලුමනින්ම අනදාල යයි දිගටම අවධාරනය කරති. ඔවුන් ලෙනින්ට පමනක් නොව ට්‍රොට්ස්කිට පවා උත්සවාකාර ලෙස සමාචාර දැක්වීමට විරුද්ධ නැත. එහෙත් ප‍්‍රායෝගික කාරනයක් ලෙස, ඔවුහු, සමකාලීන ලෝකයට සුවිශේෂව අදාල කිසිවක්, බොල්ශෙවික්වාදයේ හා ඔක්තෝබර් විප්ලවයේ න්‍යාය, දේශපාලනය සහ අත්දැකීම් තුල නොදකිති. මෙම බංකොලොත් දැක්ම, ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය සනිටුහන් කරන ජැකොබින් සඟරාවේ විශේෂ සංස්කරනයක් තුල වඩාත්ම සමාප්ත ප‍්‍රකාශනය අත් කර ගනියි. කෝනර් කිල්පැට්රික් සහ ඇඩනර් උස්මානි විසින් ලියන ලද “නව කොමියුනිස්ට්වාදීන්” යන මැයෙන් යුතු ලිපියක් මෙම උපදෙස් පාඨයෙන් ආරම්භ වේ. “මේ 2017යි, 1917 ප‍්‍රශ්න පිලිබඳව තැවීම් නතර කිරීමට කාලයයි.”

මෙම අවවාදය කිල්පැට්රික් සහ උස්මානි එසේ යයි විශ්වාස කරන තරමට නවමු නැත. මෙය “නව වම්මුන්” අඩසියවසකට පෙර පදනම් වූ මූලික සංකල්පය මය. 1968 දී සිදුවූවාක් මෙන්, “1917 ප‍්‍රශ්න පිලිබඳ තැවුල අවසන් කරන ලෙස” කෙරෙන මෙම කැඳවුම යොමු වී ඇත්තේ, විප්ලවවාදී, මාක්ස්වාදී දේශපාලන පක්ෂයකින් නායකත්වය ලද කම්කරු පන්තිය බලය අල්ලාගත් පලමු සහ එකම විප්ලවයේ න්‍යාය, වැඩපිලිවෙල, ප‍්‍රතිපත්ති සහ මූලෝපායික පාඩම් අධ්‍යයනය කිරීමට එරෙහිව ය. “නව වම්මුන්ගේ” සහ ඔවුන්ගේ ව්‍යාජ වාම උරුමක්කාරයන්ගේ “අතීතය අමතක කරනු” යන ප‍්‍රවිෂ්ටය සහගාමි වනුයේ, විසිවන සියවස පුරා වර්ධනය වූ, කම්කරු පන්තිය විසින් ධනවාදය විප්ලවීය ලෙස පෙරලා දැමීම සඳහා ලැබුනු බොහෝ අවස්ථාවන්හි පරාජයන් සහ පීලි පැන්වීම් අත්කරදුන් ස්ටැලින්වාදය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍යමිකවාදය සහ අනෙකුත් ආකාරයේ දේශපාලන අවස්ථාවාදයන් ඉටු කල භූමිකාව පිලිබඳ මොනම විමර්ශනයක් හෝ නොකිරීම සමග ය. සියල්ලටත් වඩා ව්‍යාජ වම්මුන් විසින් වගා කරනු ලබන ස්මෘති හානිය එල්ලවී ඇත්තේ, ට්‍රොට්ස්කිවාදයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය සහ වැඩපිලිවෙල පිලිබඳ අධ්‍යයනයකට හා ඒ සමග බරපතල නිමග්නවීමකට එරෙහිව ය.

අපේක්ෂිත පරිදි, සමකාලීන සමාජවාදී න්‍යායේ ආදර්ශයක් ලෙස නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ප‍්‍රචාරයට හා වර්නනාවට ලක්වන ජැකොබින් සඟරාවට පොදු ගුනයක් වන පරිභවාත්මක සහ අවිචක්ෂනශීලී තර්කයන්ගෙන් කිල්පැට්රික්-උස්මානි ලිපිය පිරී ඇත. “විසිවන සියවසේ සමාජවාදය අසාර්ථකත්වය ඉරනම් කොට ගත්ත ද නැති ද යන්න නොතකා, අප දැන් ජීවත් වනුයේ නව යුගයකය” යි කතුවරු ලියති. මෙම “නව යුගය” නිශ්චිතව කුමක්ද යන්න හෝ එය ඔක්තෝබර් විප්ලවයේ යුගයෙන් මූලිකවම වෙනස් වනුයේ කෙසේ ද යන්න හෝ පැහැදිලි නොකරම කිල්පැට්රික්-උස්මානි තරයේම මෙසේ කියා සිටිති. “වසර සියයකට පසු අද ලෝකය පරිවර්තනය වී ඇත. [?%] 1918 දී [?? ] බොල්ශෙවිකයන් මුහුන දුන් ආකාරයේ කිසිදු දේශපාලන කර්තව්‍යයක් අද ලෝකයේ කොතැනක හෝ ඇත්තේ නැත. බොල්ශෙවිකයන්ට උරුම වූයේ සංහාරක අන්තර් අධිරාජ්‍යවාදී යුද්ධයක් විසින් කම්පිත වූ ලෝකයකි. අපි ජීවත් වනුයේ වාර්තාගත ඉතිහාසය තුල දක්නට ලැබෙන අතිශයින්ම සාමකාමී කාල පරිච්ෙඡ්දයේය.” [???]

ගිය විසිපස් වසර පුරා නිදා සිටි මෙම දේශපාලන රිප් වෑන් වින්කල්ලාට [හිටිඅඩියේ නින්දට වැටී අවුරුදු 20ක ට පසුව ඇහැරුනු මිනිසෙකු පිලිබඳව ලියන ලද කතාවක් -- පරිවර්තක] ඉරාක ආක‍්‍රමන දෙක පිලිබඳව හෝ 1990 බෝල්කන් යුද්ධ පිලිබඳව හෝ අප්‍රිකාව තුල අධිරාජ්‍යවාදය විසින් දියත් කරන ලද විවිධ ලේ හැලීම් සහ පසුගිය වසර 16 පුරා “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” ප‍්‍රතිපලයක් ලෙස මැද පෙරදිග සහ මධ්‍යම ආසියාවේ බොහෝ ප‍්‍රදේශ පුරා මුදා හැර ඇති පොදු සංහාරයන් පිලිබඳව හෝ හාංකවිසියක්වත් නැත. මෙම “වාර්තාගත ඉතිහාසය තුල දක්නට ලැබෙන අතිශයින්ම සාමකාමී කාල පරිච්ෙඡ්දය” තුල, මිලියන ගනනක් මිනිසුන් තුවාල කොට, මරා දමා, ඇති අතර කෝටි ගනනකට නිවාස සහ රටවල් අහිමි කොට ඇත.

“ලෝකයේ කම්කරු පන්තීන් එතැනින් ඉවතට ගමන්කොට තිබේ” යයි ජැකොබින් සඟරාවේ න්‍යායවාදීහු ප‍්‍රකාශ කරති. “සුබ සිහිනවල කාලය” ඉක්ම ගොස් ඇත. ඒ වෙනුවට, “පැරනි ප‍්‍රශ්නවලට දෙන පැරනි පිලිතුරු පිලිබඳ තැවීම නවතා දමා වැඩ කරන ජනයා අසන ප‍්‍රශ්න ගැන තැවීමට දැන් අපට කාලය එලඹ ඇත.” මෙය ලෙනින්ගේ සහ ට්‍රොට්ස්කිගේ යුගය නොවේ, ඒ වෙනුවට සැන්ඩර්ස්ගේ සහ කෝබින්ගේ යුගයයි! ජරපත් ප‍්‍රතිසංස්කරනවාදයේ මෙම ශෝචනිය නියෝජිතයන් දෙදෙනාට “ලෝකය වෙනස් කිරීම දෙසට දැඩිව යොමුවී සිටින කෝටි ගනන් මිනිසුන්ගේ” සැබෑ හඬ ලෙස හුරේ දමනු ලැබේ. ලෝකයේ වඩාත්ම ප‍්‍රතිගාමී ධනේශ්වර පක්ෂයන්ගෙන් දෙකක් වන එක්සත් ජනපදයේ ඩිමොක‍්‍රටික් සහ එක්සත් රාජධානියේ ලේබර් යන පක්ෂ රැක ගැනීමට “දැඩිව යොමුවී සිටින” එම මිනිසුන් දෙදෙනාගේ නායකත්වය යටතේ මෙම විප්ලවවාදී අභිලාෂය සාක්ෂාත් කෙරෙනුයේ කෙසේද යන්න පැහැදිලි කිරීමට කිල්පැට්රික් - උස්මානි සමත්ව නැත.

****

පසුගිය දොලොස් මාසය තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, 1917 සිදුවීම් සහ බොල්ශෙවික්වාදයේ විප්ලවවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල සමග සිය ප‍්‍රගාඪ ඓතිහාසික හා දේශපාලන අනන්‍යතාව ප‍්‍රකාශිත වන පරිද්දෙන් ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය සමරා ඇත. අපගේ සැමරීමේ අංගයක් ලෙස, රුසියාව තුල සහ ජාත්‍යන්තරව, එම විප්ලවවාදී වසරේ සිදුවූ ප‍්‍රධාන දේශපාලන, සමාජ හා සංස්කෘතික සිද්ධීන් අලලා ගත්, 1917හි සවිස්තර සතිපතා කාලවේදයක් පලකෙරුනි. 1917 ප‍්‍රධාන දේශපාලන හා න්‍යායික මතභේද මත සංකේන්ද්‍රනය වූ අතර ම එය, රුසියානු නිර්ධන පන්තියේ මහා විප්ලවවාදී ව්‍යාපාරය විකසනය වූ සමාජ සහ බුද්ධිමය වාතාවරනය පිලිබඳ අවබෝධයක් සම්පාදනය කිරීමට ද උත්සාහ කලේය. ජාත්‍යන්තර කමිටුව විකාශනය කල දේශන 9 ක් මගින්, 1917 පෙබරවාරි සහ ඔක්තෝබර් විප්ලවවල දී බෝල්ශෙවික් පක්ෂය මුහුන දුන් න්‍යාය, ක්‍රියාමාර්ගය සහ ඉදිරි දර්ශනය පිලිබඳ තීරක ප‍්‍රයුක්තින් විභාග කොට පැහැදිලි කරදුනි. අන්තිමේ දී මෙම වසරේ ශරත් සමයේ, උතුරු ඇමරිකාවේ, යුරෝපයේ සහ අසියාවේ ද ආසියා පැසිෆික් කලාපයේ ද ජාත්‍යන්තර කමිටුව හා අනුබද්ධවූ දේශපාලන පක්ෂ ඔක්තෝබර් විප්ලවයේ ඓතිහාසික අර්ථභාරය හා පාඩම් පිලිබඳ ප‍්‍රසිද්ධ දේශන පැවැත්වූ අතර ඒවාට ශිෂ්‍ය, තරුන හා වැඩකරන ජනයා සැලකියයුතු ප‍්‍රමානයක් සහභාගී වූහ.

ජාත්‍යන්තර කමිටුවේ ශත සංවත්සරය සැමරීමේ සෑම අංශයක්ම විප්ලවවාදී මාක්ස්වාදී ඉදිරි දර්ශනයක් සම්මුති විරහිත ලෙස ආරක්ෂාකිරීමක් තුල මුල් බැස ගත්තේය. මෙයට පහත සඳහන් සාරභූත සංකල්ප ඇතුලත් විය.

1. ඔක්තෝබර් විප්ලවය ලෝක සමාජවාදී විප්ලවය පිලිබඳ යුගයේ ආරම්භය සනිටුහන් කලේය; ධනවාදයේ සිට සමාජවාදය දක්වා පරිවර්තනයේ ඓතිහාසික කාල පරිච්ෙඡ්දයක් වන එය, වත්මන් ඓතිහාසික කාල පරිච්ෙඡ්දය දිගටම අර්ථගන්වයි. 1917 කම්කරු බලය තහවුරු කිරීම සහ ඉන් ඉක්බිතිව 1922 දී සෝවියට් සංගමය නිර්මානය කිරීම, ඔක්තෝබර් විප්ලවයේ සුවිසල් විජයග‍්‍රහනයෝ වූහ. එසේ වෙතත් සෝවියට් බලය පිහිටුවීම සහ එය ආරක්ෂා කිරීම කොතරම් අර්ථභාරි වුව ද එය ලෝක සමාජවාදී විප්ලවයේ එක් අදියරක් පමනකි. ස්ටැලින්වාදයේ අති මූලික පාවාදීම ද රුසියානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි එහි සියලු අපරාධයන්ගේ මූලාශ‍්‍රය ද වූයේ, එය විසින් ලෝක විප්ලවයේ ක්‍රියාමාර්ගය ප‍්‍රතික්ෂේප කිරීම සහ ජාතික රාජ්‍යයක් ගොඩනැගීමේ ව්‍යාපෘතියක් බවට බොල්ශෙවික් වාදය විකෘත කිරීමයි. ස්ටැලින් සහ බුකාරින් විසින් 1924 දී නිවේදනය කරන ලද “තනිරටේ සමාජවාදය” පිලිබඳ වැඩපිලිවෙල වනාහි, 1917 පෙබරවාරි විප්ලවයෙන් ක්ෂනිකව ඉක්බිති ස්ටැලින් සහ කමනෙව් වැලඳගත් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී දිශාවනතියේ පුනස්ථාපනයක් විය; 1917 අප්‍රේල් මස රුසියාවට පෙරලා පැමිනි ලෙනින් අශමනීය ලෙස සටන් වැදුනේ එම දිශාවනතියට එරෙහිවය.

2. රුසියානු නිර්ධන පන්තිය විසින් දේශපාලන බලය අත්පත් කර ගැනීමෙන් කූටප‍්‍රාප්තියට පත් 1917 සිදුවීම්, 1905 විප්ලවයෙන් ඉක්බිති ලියොන් ට්‍රොට්ස්කි විසින් විස්තාරනය කරන ලද නොනවතින විප්ලවයේ ඉදිරි දර්ශනය සනාථ කලේය. ට්‍රොට්ස්කි පෙර දැක තිබූ පරිදි විප්ලවයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් ඉටු කල හැකි වූයේ, නිර්ධන පන්තිය විසින් ධනපති පන්තිය පෙරලා දැමීම සහ සමාජවාදී පිලිවෙත් ආරම්භ කිරීම මගින්ම පමනකි. කුමන රටක එය සිදුවුන ද සමාජවාදී විප්ලවයේ ආරක්ෂාව රඳා පවතිනුයේ එය ලොව පුරා ප‍්‍රසාරනය කිරීම මතය.

3. ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහනය, මාක්ස්වාදී පෙරටු බල ඇනි පක්ෂයක අත්‍යාවශ්‍යතාව විදහා දැක්වීය. දේශපාලන අවස්ථාවාදයට ද දාර්ශනික භෞතිකවාදය විඤ්ඤානවාදී ලෙස සංශෝධනය කල මතයන්හි අනුහසට ද එරෙහිව ලෙනින් කලා වූ දිගු කාලීන අරගලය නොවන්නට, 1917 රුසියාව තුල පැනනැගුනු ස්වයංසිද්ධ මහජන ව්‍යාපාරයට දේශපාලන සහ සංවිධානමය දිශානතියක් ලබාදීම පිනිස අවශ්‍ය, අතිශයින් සවිඥානික වූ මාක්ස්වාදී විප්ලවවාදී කේඩරයක් කම්කරු පන්තිය තුල නොපවතිනු ඇත.

4. බොල්ශෙවිකයන් විසින් සපයන ලද නායකත්වය මගින් 1917 දී සාධනීයව සනාථ කෙරුනු විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයේ අත්‍යාවශ්‍යතාව, ඉන්පසු දශකයන් තුල කම්කරු පන්තිය මුහුන දුන් පරාජයන් මගින් නිශේධනීය ලෙස සනාථ කරන ලදී. විසිවන සියවසේ ධනවාදය පන රැක ගත්තේ, විප්ලවවාදී තත්ත්වයන් සහ අවස්ථාවන් නැති කම නිසා නොවේ; කම්කරු පන්තියේ නිලධාරීවාදී ලෙස පාලනය කෙරුනු පක්ෂ සහ වෘත්තීය සමිති සංවිධානවල නායකත්වයන්ගේ පාවාදීම නිසාය.

5. ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරයේ සමාරම්භක වැඩ පිලිවෙලේදී අවධාරනය කල පරිදි, කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳාලීම, විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරය මුහුනදෙන දැවැන්ත ඓතිහාසික කාර්යය ලෙස ඉතූරුව පවතී.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට, එය 2017දී ගෙනගිය න්‍යායික සහ දේශපාලනික කාර්යයන් දෙස සාඩම්බරව ආපසු හැරී බැලීමට සෑම අයිතියක්ම පවතී. දේශපාලනික සහ න්‍යායික අධ්‍යාපනය පිලිබඳ මෙම අභිලාෂී වැඩපිලිවෙල සාර්ථක කර ගැනීමට ජාත්‍යන්තර කමිටුව සමත් වීම වඩාත් වැදගත් වන්නේ, එය ඒ සමගම ලෝක සමාජවාදී වෙබ් අඩවිය දෛනිකව පල කිරීම ද සිදු කල හෙයිනි. මෙම ජයග‍්‍රහන, ලෝකයේ එකම විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සැලකිය යුතු තරම් ශක්තිමත් වීම පිලිබඳ සාක්ෂි දරයි.

එහෙත් පසුගිය ජයග‍්‍රහනයන් පිලිබඳ අඩම්බර වීම වනාහි, උදාසීන ස්වයං තෘප්තිය නොවේ. ජාත්‍යන්තර කමිටුව පසුගිය වසරේ කරන ලද සියලු අධ්‍යාපනික කාර්යයන් දැක ගන්නේ, 2018 වඩාත්ම අර්ථභාරී දේශපාලන ලක්ෂනය වනු ඇති, ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ පුනර්ජීවනය සඳහා අත්‍යාවශ්‍ය සූදානම ලෙස ය.

ඩේවිඩ් නෝර්ත්

Fight Google's censorship!

Google is blocking the World Socialist Web Site from search results.

To fight this blacklisting:

Share this article with friends and coworkers