ජූලියන් අසාන්ජ් සඳහා නිදහස!

Freedom for Julian Assange!

2018 ජනවාරි 11

ජුලියන් අසාන්ජ් මුහුනදී සිටින කොන්දේසි “දැරිය නොහැකි” සහ “තව දුරටත් පවත්වාගෙන යා නොහැකි” ඒවා බව ප‍්‍රකාශ කරන එක්වදෝර ආන්ඩුව, විකිලීක්ස් සමාරම්භකයා සිය තානාපති කාර්යාලය තුල දීර්ඝ කාලීනව චෝදනා නොමැතිව සිරගතව සිටීම අවසන් කරනු වස් තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් ඉල්ලා සිටී.

හිරු එලියට සහ නැවුම් වාතයට අවකාශ නොලබමින්, සිය පවුලෙන් සහ මිතුරන්ගෙන් වෙන්කර සහ සිය දරු මල්ලන් වැඩෙනු දැක ගැනීම අහිමි කරමින් අසාන්ජ් තනාපති කාර්යාලයේ කුඩා ඉඩකඩක වසර පහමාරක් තිස්සේ සිරකරුවකුව සිටී. විය හැකි පරිදිම හෘදයාබාධ වලට සහ නිදන්ගත නිවුමෝනියාවට ගොදුරු වෙමින් ඔහුගේ සෞඛ්‍යය පිරිහී ගොස් ඇති බව ට වාර්තාවේ. අසාන්ජ්ගේ “මානසික සහ කායික ඒකාග‍්‍රතාව අනතුරුදායක මට්ටමක පවතින” බව එක්වඩෝර විදේශ ඇමතිනි මාරි ඕ ෆර්නැන්ඩා එස්පිනෝසා, ක්විටෝ හිදී වාර්තා කරුවන් සමග පැවසුවාය.

රටින් පිටව යාමට අවකාශ සලසමින් ඔහුට පුරවැසි භාවය සහ තානාපති වරප‍්‍රසාද ලැබීමට ඉඩ ඇතැයි යන්න පලවී ඇති උපකල්පනයට රුකුල් දෙමින්, ක්විටෝ වෙන් අසාන්ජ්ට ගුවන් බලපතක් සහ හැඳුනුම් පතක් ලබාදුන් බව බදාදා එක්වඩෝර පුවත් පතක වාර්තා විය. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය අධිකාරීන් එවන් නීතිමය සියුම් කාරනා වන්ට ගරු කරාවිද යන්න ස්තීර නැති අතර, ඔහුට ආරක්ෂිතව රටින් පිටව යාමට ඉඩ සැලසීමේ සහතිකයක් නැතිව, අසාන්ජ්ව ලක්කර ඇති මේ “තත්වාකාර සිරගත කිරීමෙන්” ඔහු මුදා ලීම උදෙසා එක්වඩෝර ආන්ඩුව ගන්නා මොනයම් හෝ පියවරක් අර්තපූර්න නොවේ.

තවද, එක්වඩෝර ආන්ඩුවේ සැබෑ අභිලාෂයන්ද පහැදිලි නැත. තානාපති කාර්යාලයෙන් අසාන්ජ් විවෘතව නෙරපා හැරිය යුතුය ඉල්ලා සිටි වඩාත් දක්ෂිනාංශික අපේක්ෂකයා පරාජය වීමෙන් පසුව පසුගිය මැයි මස එක්වඩෝරයේ ජනාධිපති ලෙනින් මොරෙනො බලයට පැමිනි අතර, නව ආන්ඩුව මහා ව්‍යාපාරිකයින් ද, දේශපාලනික දක්ෂිනාංශයද සහ වොෂින්ටනය සමග යලි මිත‍්‍ර වීමට සොයා බලා ඇත. මොරිනෝ, “අපගේ මිතුරන් වන ජාතීන්” ගේ දේශපාලනයට අසාන්ජ් ඇඟිලි නොගැසිය යුතුය යනුවෙන් ප‍්‍රසිද්ධියේ ඉල්ලීය.

ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් “හිතුවක්කාර ලෙස රඳවා ගැනීමේ” ගොදුරක් වී ඇති අයෙකු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද 2016 දී ප‍්‍රකාශ කරන ලද අසාන්ජ්ට එරෙහිව, ඇප කොන්දේසි උල්ලංඝනය කලේය යන්න හැර, වෙනත් කිසිදු අපරාධයකට එක්සත් රාජධානිය තුල ප‍්‍රසිද්ධ චෝදනාවක් ඉදිරිපත්වී නැත. මෙය ඇරඹෙන්නේ, 2012 ජූනි මස, ලිංගික අතවරයක් පිලිබඳව ගොතන ලද චෝදනා මත පලමුව ස්වීඩනයට යවමින් සහ එතැනින්, මරනීය දන්ඩනය ද හිමි විය හැකි අපරාධ ලෙස ඔත්තු බැලීමේත් සහ රාජ ද්‍රෝහයත් සඳහා නඩු ඇසීමට, එක්සත් ජනපදයට යැවීම සඳහා, එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය සහ ස්වීඩන ආන්ඩුවල කුමන්ත‍්‍රනයෙන් බේරීමට, ඔහු එක්වඩෝරයේ දේශපාලන රැකවරන පතා ලන්ඩනයේ එක්වඩෝර තානාපති කාර්යාලයට ඇතුලූවූ පසුය.

ස්වීඩන බලධරයෝ තමන් විසින් ගොතන ලද ව්‍යාජ පරීක්ෂනය පසුගිය වසරේ නාමිකව අවසන් කලේය. මෙය තහවුරු කලේ, පලමු කොටම පරීක්ෂන පැවැත්වීමට කිසිදු චෝදනාවක් කෙදිනකවත් නොතිබුනු බවයි. විකිලීක්ස් අපහාසයට පත්කරමින් ද පක්ෂාඝාත කරමින්ද අසාන්ජ් සිරගෙට දැක්කීමේ හෝ ඊටත් වැඩි අනතුරක් කිරීමේ අරමුනු ඇතිව “අශිෂ්ට උපක‍්‍රම” ක‍්‍රියාත්මක කලා පමනි.

ඒ කෙසේවෙතත්, ස්වීඞීනය තුල අසාන්ජ්ට එරෙහි චෝදනාවල නෛතික සීමාවන් 2020 වනතුරු අවසන් නොවේ. නඩු පවරන්නෝ පැහැදිලි කර ඇත්තේ ඕනෑම මොහොතක, නිවැරදිව කිවහොත්, වොෂින්ටනය කැඳවූ විට, තමන්ගේ බද්ධ වෛරය යලි වැමෑරීම සඳහා තමන් සූදානම් බවයි.

බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේගේ කොන්සවේටිවු පක්ෂ ආන්ඩුව, මේ අතරතුර, පැහැදිලි කලේ තමන්ට මෙය බේරුම් කර ගැනීමට කිසිඳු උනන්දුවක් නැති බවත් අසාන්ජ් විසින් ඇපය උල්ලංඝනය කිරීම ගැන මස් රාත්තලම සඳහා ලුහු බැඳීමට අධිශ්ඨානශීලි බවත්ය. ඔහු තානාපති කාර්යාලයේ සීමාවෙන් එහා අඩියක් හෝ තැබුවහොත් අත්වලට විලංගු දමමින්, මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් රැගෙන යනු ඇත.

බදාදා බ්‍රිතාන්‍ය ආන්ඩුවේ ප‍්‍රකාශකයකු පැවසුවේ, “එක්වඩෝර ආන්ඩුව දන්නවා ජූලියන් අසාන්ජ්ට මෙම ගැටලූව විසඳා ගැනීමේ මාවත වන්නේ තානාපති කාර්යාල අතහැර ගොස් යුක්තියට මුහුන දීමයි,” යනුවෙනි. එනම්, බ්‍රිතාන්‍ය සිරකුටියක් සහ එක්සත් ජනපදයේ ෆෙඩරල් සිරගෙයක් වෙත යාම සඳහා යලි ඒමට මගක් නැති ටිකට් පතක් ලබාදීමය.

එක්සත් ජනපදය තුල අසාන්ජ් සහ විකිලීක්ස් පරීක්ෂනය මෙහෙයවන රහසිගත ජූරි සභාව ඔබාමා පරිපාලනය යටතේ පත් කරගනූ ලැබූ අතර ට‍්‍රම්ප් යටතේ පවත්වාගෙන යනු ලබයි.

හිලරි ක්ලින්ටන්ගේ ජයග‍්‍රහනය තහවුරු කිරීම සඳහා ජනාධිපති නාම යෝජනා ක‍්‍රමය වංචා කලේ යයි ඩිමොක‍්‍රටික් ජාතික කොමිටියේ අභ්‍යන්තර ඊමේල් පනිවිඩ මගින් එලිදරව් කල මොහොතේ “විකිලීක්ස් කෙරෙහි තමන්ගේ ආදරය” පිලිබඳ ට‍්‍රම්ප් කල පූච්චානම් කථා කෙසේ වූවත් පරිපාලන නිලධාරීන් පැහැදිලි කලේ අසාන්ජ් වොෂින්ටනයේ “නොම්මර එකේ පොදු සතුරා” ලෙස සිටින බවයි.

සීඅයිඒ අධ්‍යක්ෂක මයික් පොම්පෙ විකිලීක්ස් “රාජ්‍ය නොවන සතුරු බුද්ධි සේවාවක්” ලෙස විස්තර කල අතර, “ඔහුගේ ඒජන්සිය එක්සත් ජනපදයට එරෙහි එම තර්ජනය නැතිකිරීමට වැඩකරමින් සිටින” බවට පොරොන්ඳු විය.

ඇටෝනි-ජෙනරාල් ජෙෆ් සෙසන්ස් පසුගිය අප්‍රේල් මස පැවසුවේ අසාන්ජ් අත්අඩංගුවට ගැනීම “ප‍්‍රමුඛතාවයක්” බවත් “නඩුවක් දැමිය හැකි ඕනෑම මොහොතක අප සමහර මිනිස්සු සිරගෙදරට යැවීමට සුදානමින් සිටිමු” යන්නයි.

ඊට අමතරව පසුගිය මැයි මස හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂක ජේම්ස් කොමේ සෙනට් මන්ඩලය නියෝජිත මඩුල්ලකට “විකිලීක්ස් අපගේ අවධානයේ වැදගත් කේන්ද්‍රයක්” බව පැවසු අතර, අසාන්ජ්ට එරෙහිව නිල අපරාධ චෝදනාවක් වශයෙන් ගොනු නොකලේ ඇයිද යනුවෙන් නැගු ප‍්‍රශ්නයකට පිලිතුරු දීම ප‍්‍රතික්ෂේප කලේය. “මතු බලාපොරොත්තු වියහැකි චෝදනා ඇතිද නැතිද යන්න සහතික කිරීමට මට අවශ්‍ය නොවන නිසා මෙම විශේෂ කරුන පිලිබඳව කරුනු දැක්වීමට මට අවශ්‍ය නොවේ” යනුවෙන් ඔහු පැවසීය. “ඔහුව [අසාන්ජ්] සිරභාරයට ගැනීමට නොහැකි වී ඇත්තේ, ලන්ඩනයේ එක්වඩෝර තානාපති කාර්යාලයේ ඇතුලේ සිටින නිසා” යනුවෙන් ද ඔහු පැවසීය.

අසාන්ජ්ගේ හිස සඳහා මෑතම ඉල්ලීම් මතුවූයේ සීඅයිඒ සංවිධානය විසින් තොරතුරු රහසිගතව සොරාගන්නා ක‍්‍රමවිධීන් මාලාවක තොරතුරු සහිත වෙබ් පිටු 8,000 ක් පමන විකිලීක්ස් විසින් මුදාහැරීමෙන් පසුවය.

එක්සත් ජනපද පාලක සංස්ථාපිතය, අසාන්ජ්ට සහ විකිලීක්ස්ට සමාව නොදෙන්නේ, එහි හමුදාව සහ බුද්ධි අංශ තන්ත‍්‍රයත් සහ එහි ප‍්‍රධාන පක්ෂ දෙකත් ඉරාකයේත්, ඇෆ්ගනිස්ථානයේත් සහ ලොව පරිමානවත් මිලියන සංඛ්‍යාත ජනයා ගොදුරු කල ඝාතනවලත්, තුවාල සිදු කිරීමේත් සාපරාධී ක‍්‍රියාවන් හෙලිදරව් කිරීම නිසාය. මෙය ආරම්භවූයේ “ඇෆ්ගන් යුද්ධ දිනපොත” සහ “ඉරාක යුද්ධ ලොග් සටහන්” දිගටම පවත්වා ගනිමින්, ඉරාක සිවිල් වැසියන් 12 දෙනෙක් 2007 වසරේ ඝාතනය කල අපචෙ හෙලිකොප්ටර් යානාවල වෙඩි තැබීම් පෙන්වන “සමාන්‍ය ඝාතනයන්” (collateral murder) පිලිබඳ වීඩියෝ දර්ශන මුදා හැරීමත්, එක්සත් ජනපද හමුදා විසින් සිදුකල විවිධ වර්ගවල යුද්ධ අපරාධ එලිදරව් කිරීමත්, සහ ග‍්‍රහලෝකය පුරා සිදු කෙරෙන වොෂින්ටනයේ ප‍්‍රතිවිප්ලවවාදී කුමන්ත‍්‍රන හෙලිදරව් කරන රහසිගත එක්සත් ජනපද රාජ්‍යතාන්ත‍්‍රික කේබල් පනිවිඩ 250,000 ට වැඩි ප‍්‍රමානයක් අන්තර්ජාලයේ පල කිරීමත් සමගය.

ඔව්හු අසාන්ජ් දඩයම් කරනවා පමනක් නොව විකිලීක්ස් වෙත ලිපි ගොනු සැපයීම මගින් “සතුරාට ආධාර දීම” කර ඇත යන චෝදනාව මත හමුදා සෙබල ප‍්‍රයිවේට් චෙල්සී මැනින් වෙත වසර 35ක සිර දඬුවමක් නියම කලහ. පසුව, ඔබාමා විසින් මැනින්ගේ සිර දඬුවම ලිහිල් කර මුදා හරින ලදී. නමුත් ඊට පෙරාතුව හමුදා සිරගෙවල් තුල වධහිංසා වලට සම කල හැකි නින්දා අපහාසවලට ඇය ගොදුරු කෙරිනි.

මේ අතරතුර, එක්සත් ජනපදයේත් සහ ලොව පරිමානවත් මහජනයාගේ දත්ත එකතු කරන ජාතික ආරක්ෂක ඒජන්සියේ (එන්එස්ඒ) දැවැන්ත ඔත්තු ජාලය හෙලිදරව් කල එන්එස්ඒ හි සේවක එඞ්වඞ් ස්නෝඞ්න් මොස්කෝවට පිටුවහලේ පලායාමට බල කෙරී, රටක් නොමැති පුද්ගලයකු බවට පත් කරනු ලැබ ඇත.

අසාන්ජ්ගේ නීතිඥ කන්ඩායම මෙම සතියේ යලිත් අවධාරනය කලේ, නීති විරෝධීව හිතුවක්කාරී ලෙස රඳවාතබාගෙන ඇති ඔහුව නිදහස් කරමින් වන්දි ගෙවීමට නියෝග කරන එක්සත් ජාතීන්ගේ තීන්දුව ක‍්‍රියාත්මක කිරීමට ලන්ඩනය බැඳී ඇති බවයි. “අසාන්ජ් මහතා ‘විනාශ’ කරන බවට ට‍්‍රම්ප් පාලනය කරන විවෘත තර්ජන මගින් තැතිගැනීමට ලක් නොවීමට එක්සත් රාජධානිය වග බලා ගත යුතු” බව එය ප‍්‍රකාශනයක පැවසීය.

තැතිගැනීම, කෙසේවෙතත්, හුදෙක් ට‍්‍රම්ප් පරිපාලනයෙන් හෝ රිපබ්ලිකානු දක්ශිනාංශයෙන් පමනක් මතු වන්නේ නොවේ. 2016 එක්සත් ජනපද මැතිවරනයේදී රුසියාව “ඇඟිලි ගැසීය” යන චෝදනාවට අසාන්ජ් පටලවන අතරම ඔහුට එරෙහි ව්‍යාජ ලිංගික අතවර චෝදනා යුක්තියුක්ත කිරීමට මාන බලමින්, අසාන්ජ්ට එරෙහි රජයේ බද්ධ වෛරය සඳහා දේශපාලන වහන්තරාවක් සමස්ථ වාම-ලිබරල් සහ ව්‍යාජවාම සංවිධානවල කල්ලිය විසින් සපයා ඇත. මෙම කාරනා දෙක යොදා ගනිමින් හිටපු වරප‍්‍රසාදිත රැඩිකලුන්ගේ සමස්ථ ස්ථරයක් වන, එක්සත් ජනපදයේ ඊනියා දේශපාලන වාමාංශය අධිරාජ්‍යවාදයට මෙන්ම සමාජ සහ දේශපාලන ප‍්‍රතිගාමිත්වයට මුලුමනින්ම සහය පුද කිරීමට හැරී ඇත. ඔවුන්ගේ දැක්ම සහ අවශ්‍යතාවන් නේෂන්, සෝෂලිස්ට් වර්කර්, ජැකොබින් සහ ඉන්ටනැෂනල් වීව්පොයින්ට් වැනි ප‍්‍රකාශන මගින් පිලිබිඹු වෙයි.

ජූලියන් අසාන්ජ්ට එරෙහි රාජ්‍ය මර්දනය නවතා දැමීමට බලකරන ඉල්ලීම ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් ගත යුතුය. භාෂනයේ නිදහස මත කඩා වැදීමටත් සහ වෙබ් අඩවිය මත දෘඩ පාලනයත් සහ වාරනයත් බලපැවැත් වීමටත් ලෝකයේ පාලක ප‍්‍රභූන් සහ ධනපති ආන්ඩු මගින් ගෙනයන ධාවනයේත් හී-තුඩ වුයේත්, වන්නේත් අසාන්ජ්ට සහ විකිලීක්ස්ට එරෙහි ක්ෂමාවිරහිත ප‍්‍රහාරයයි.

බිල් වෑන් ඕකන් විසිනි

Share this article: