අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහි පා ගමන සහ අවිශිබම දේශපාලනය

නවීන් දේවගේ විසිනි, 2018 ජනවාරි 30

දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල නියෝජනය කෙරුනු ශිෂ්‍ය-ශිෂ්‍යාවන් සහ ඔවුනගේ දෙමාපියන්ගෙන් සමන්විත පන්දහසක් පමන දෙනා, ජනවාරි 25 වැනි දා කොලඹට රැස්ව, අධ්‍යාපනයේ පෞද්ගලීකරන සහ කප්පාදු පිලිවෙත්වලට තම විරෝධය පල කරමින් පා ගමනක නිරත වූහ. “ව්‍යාජ නම්වලින් සයිටම් එපා” යන තේමාව යටතේ මෙම පා ගමන කැඳවුම්කර තිබුනේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), එයට අනුබද්ධිත වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මන්ඩලය යන සංවිධාන විසිනි.

උද්ඝෝනයට කොලඹට රැස්වූවන්ගෙන් කොටසක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට කොල්ලුපිටිය මංසන්ධිය දක්වා වූ පා ගමනේදී, සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්ලිට් ආයතනය යටතේ වෙනත් නමකින් ආරම්භ කිරීමට, රාජ්‍ය මර්දනයට, පාසල් පෙල පොත් සහ නිල ඇඳුම් කප්පාදුවට, “සුරක්ෂා සිසු රක්ෂනයට” හා ”අධ්‍යාපනය විකිනීමට” එරෙහිව ඔවුහු සටන් පාඨ හඬ නැගූහ.

ශිෂ්‍යයන් ගේ විරෝධතා ව්‍යාපාරය බිඳ දැමීමට ආන්ඩුව පෙර දින රාත්‍රියේ ම ගංගොඩවිල හා කොටුව අධිකරනවලින් වාරන නියෝග ලබා ගැනීමට කටයුතු කර තිබුනි. මැතිවරන සමයක් තුල පැවැත්වෙන මෙවන් පෙලපාලි “නීති විරෝධී” වෙතැයි යන්න වාරනය සඳහා යොදාගෙන තිබුනු කඩතුරාව යි.

විශාල ප‍්‍රමානයෙන් පොලිසිය රඳවා තිබුනි

ආන්ඩුව සිසුන් බිය ගැන්වීම සඳහා විජේරාම මංසන්ධියේ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල විශාල ප‍්‍රමානයෙන් පොලිසිය රඳවා තිබුනි. ආන්ඩුවේ වාරන නියෝග නොතකා පෙරට ගිය පා ගමන කොල්ලුපිටිය මංසන්ධියේ දී මාර්ග බාධක යොදා අවහිර කල පොලීසිය විරෝධතාකරුවන් වෙත ජල හා කඳුලු ගෑස් ප‍්‍රහාර එල්ල කරමින් ඔවුන් විසුරුවා හලේය.

මැතිවරන නීතිවලට මුවා වී රජය සිදු කොට ඇත්තේ ශිෂ්‍යයන් ඇතුලු මහජනතාවගේ මූලික ප‍්‍රජාතන්ත්‍රීය අයිතියක් උදුරා ගැනීමකි. එමෙන්ම මැතිවරනයක් අත ලඟම තිබියදී ම ආන්ඩුව ශිෂ්‍යයන්ට එල්ල කල පොලිස් ප‍්‍රහාරය, ඉදිරියේ දී පුපුරා යාමට නියමිත පන්ති අරගල කෙරෙහි තම ප‍්‍රතිචාරය කුමක්ද යන්න පිලිබඳ පෙර ඇඟවීමකි.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මඟින් මෙහෙයැවෙන අවිශිබම විසින්, සිසුන් හුදු සයිටම්-විරෝධයකට කොටුකර තැබීමට මුල සිටම ප‍්‍රයත්න දැරුව ද, ශිෂ්‍ය විරෝධයේ මුඛ්‍ය මූලය වන්නේ අධ්‍යාපනයේ පෞද්ගලීකරනයයි. බලපෑම් යෙදීමෙන් ආන්ඩුවේ පිලිවෙත් වෙනස් කල හැකිය යන පදනම මත පිහිටාගත් අවිශිබම යේ විරෝධතා දේශපාලනයේ බංකොලොත්භාවය ඉතා පැහැදිලිව ප‍්‍රකාශයට පත් කරමින්, “ලාභ නොපතන” සහ “අවම ප‍්‍රමිතීන්ට අනුකූල” යන ප්‍රෝඩාකාරී ලේබල යටතේ ආන්ඩුව අධ්‍යාපනයේ පෞද්ගලීකරනය පෙරටම ගෙන යමින් සිටී.

අධ්‍යාපනයේ පෞද්ගලීකරන සහ කප්පාදු පිලිවෙත්වලට විරෝධය පල කරමින් ශිෂ්‍යයන්ගේ පා ගමන

ආන්ඩුව, සයිටම් කලමනාකාරිත්වය සහ ස්ලිට් ආයතනය එලැඹගත් අවබෝධතා ගිවිසුමට අනුව, සන්සෙට් යන නමින් ස්ලිට් ආයතනය යටතේ පිහිටු වනු ලබන නව වෛද්‍ය පීඨයට දැනට සයිටම් හි ඉගෙනුම ලබන සිසුන් අන්තර්ග‍්‍රහනය කෙරේ. එමගින් සයිටම් වෛද්‍ය පීඨය “අහෝසි” වී යයි. සන්රයිස් යන නමින් “ලාභ නොපතන” සහ “අවම ප‍්‍රමිතීන්ට අනුකූල” නව පෞද්ගලික වෛද්‍ය පීඨයක් ස්ලිට් ආයතනය යටතේ ම ඇරැඹෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කල “සයිටම් අර්බූදය විසඳීමේ කමිටුවේ” සභාපතිි, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සමග, නොවැම්බර් 08 දා පැවැත් වූ සාකච්ඡාවක දී සයිටම් “අහෝසි” කරන බවට ඔහු ලබා දුන් පොරොන්දුව මත සියලු විරෝධතා අත් හරින බව, නොවැම්බර් 9 දා කොලඹ පැවති ප‍්‍රසිද්ධ රැස්වීමකදී අවිශිබම නායකයෝ නිවේදනය කලහ.

අවිශිබම මෙම තීන්දුව ගනු ලැබුවේ විරෝධතා නවතා දමන ලෙස ආන්ඩුව දිගින් දිගටම කරන ලද ඉල්ලීමට අවනත වෙමිනි. බරපතල දේශපාලන අර්බුදයක ගිලී සිටින සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුව, ශිෂ්‍යයන්ගේ අරගලය ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව සටනට අවතීර්න වෙමින් සිටින කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල සමග ඒකාබද්ධ වෙතැයි ගැඹුරින්ම භීතියට පත්ව සිටියේය.

අවශ්‍යව පැවතියේ, එම ශිෂ්‍ය අරගල, කම්කරු අරගල සමග ඒකාබද්ධ කරමින්, පෞද්ගලීකරනය ඇතුලු අනෙකුත් ප‍්‍රහාරයන්ගේ මූලය වන ධනේශ්වර ලාභ පද්ධතියට සහ ධනපති ආන්ඩුවට අභියෝග කරන්නා වූ, දේශපාලනික අරගලයක් වර්ධනය කිරීමයි. නමුදු පෙසප මගපෙන්වීම යටතේ අවිශිබම සිදු කලේ එහි ප‍්‍රතිවිරුද්ධය යි; එනම් පුද්ගලීකරන පිලිවෙත් වලට එරෙහිව අධිෂ්ඨානවත් සටනක නියැලී සිටි සිසුන්ගේ සහ දෙමාපියන්ගේ අරගලය ආන්ඩුවේ අවශ්‍යතාවයන්ට යටත් කොට පාවා දීමයි. “ලාභ නොපතන” සහ “අවම ප‍්‍රමිතීන්ට අනුකූල” යන වර්ගීකරන යටතේ පෞද්ගලික අධ්‍යාපනය පෙරට ගැනීමට ආන්ඩුවට ඉඩ හසර සලසා දුන්නේ මේ පාවා දීමයි.

ස්ලිට් ආයතනය සම්බන්ධිත ආන්ඩුවේ නව වැඩපිලිවෙල ප‍්‍රකාශයට පත්වීමත් සමග අධ්‍යාපනයේ පුද්ගලීකරන පිලිවෙතේ කවර හෝ වෙනසක් සිදු නොවී ඇතිබව වටහා ගනිමින් පවත්නා සිසුන්ගේ සහ පීඩිත මහජනතාවගේ කෝපය වැඩෙමින් පවතිනුයේ, ආන්ඩුවට එරෙහිව පමනක් නොවේ; තම අරගලය පාවාදුන් අවිශිබම ඇතුලු නඩයට එරෙහිව ද සිසුන් සහ දෙමාපියන් අතර වැඩෙමින් ඇත්තේ බලගතු කෝපයකි.

එම කෝපය දියකර හරිනු වස් අවිශිබම නව තැටියක් වාදනය කරයි. යලි පුද්ගලික වෛද්‍ය පීඨයන් නොඅරඹන බවට නොවැම්බර් 09 දා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා දුන් පොරොන්දුවක් මත විරෝධතා අත්හල බවත් එමගින් තමා රැවටීමකම ලක් වී ඇති බවත් අවිශිබම දැන් පවසයි.

ආන්ඩුව හා එලැඹි එකඟතාව දැවැන්ත ජයග‍්‍රහනයක් ලෙස හුවා දක්වා කැවුම් කිරිබත් කා සිදු කල සැමරීම් වලින් මාස දෙකහමාරකට පසු, ජනවාරි 25 පා ගමන අවසානයේ අවිශිබමයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මෙසේ පැවසීය: “ අපි කියනවා සයිටම් සටන එක තැනක නතර කලේ ජයග‍්‍රහනයක් අරගෙන. ඇයි එහෙම කියන්නෙ? ජාතික රූපවාහිනියෙ විකාශයකට ඇවිල්ලා කිරිඇල්ලලා, රාජිතලා, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා මොකක් ද කිව්වෙ? මේක වහන්නෙත් නෑ; නම අයින් කරන්නෙත් නෑ. නම අයින් කරන්න හරි තීන්දුව ගන්න සිදු වුනේ අරගලය නිසා, සටන නිසා මිස වෙන කිසිවක් නිසා නොවන බව අප පැහැදිලිව ම කියනවා. සටන් කිරීම පිලිබඳ විශ්වාසය අපි හැදුවා.”

වීරසේකර ගේ අරගලය යනු දක්ෂිනාංශික පෙරමුනු අටවමින්, ධනපති පන්ති විඤ්ඤානය තුල සිසුන් සිරකොට කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය වෙතට හැරී ගැනීමෙන් ඔවුන් වලකා ලීමයි. අවිශිබම සහ එයට නායකත්වය දෙන පෙසප යෙදී සිටිනුයේ අර්බුදග‍්‍රස්ත ධනපති ක‍්‍රමයත්, ධනපති ජාතික රාජ්‍යයත් රැක ගැනීමේ ප‍්‍රතිගාමී ව්‍යායාමයකයි.

පා ගමනට සම්බන්ධ වූ අවිශිබම ක්‍රියාකාරිකයෙක් තම සංවිධානයේ වැඩපිලිවෙල ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙලෙස පැහැදිලි කලේ ය: “ආන්ඩුව ලොකු ම අර්බුදයක හිර වෙලා ඉන්නෙ. මහජන මතය අනිත් පැත්තට හැරිල. මේක ආන්ඩුව නම්ම ගන්න හොඳ ම අවස්ථාවක්. අපි දාන්න පුලුවන් උපරිම බලපෑම දානවා.”

විරෝධතා පා ගමනට මැදිහත් වූ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), ලෝක සමාජවාදී වෙබ් අඩවියෙ හි පල වූ “අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් වැදි සිසුන් සහ දෙමාපියන් ගොරතර පාවා දීමකට හසු කෙරෙයි” සහ “සයිටම් පාවා දීම ජයග‍්‍රහනයක් ලෙස ඔජ වැඩූ වේදිකාවක්” යන ලිපි ද්වය බෙදා හරිමින්, නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කල හැක්කේ කම්කරු පන්තිය දේශපාලන බලය සඳහා කරන අරගලයක් තුලින් පමනක් ය යන්න අවධාරනය කිරීමේ උද්ඝෝෂනයක යෙදී ගත්හ.

සසජාතශි සාමාජිකයන් පලමු වසර වෛද්‍ය සිසුන් පිරිසක් සමග ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරමින් සිටිනු දැක කලබලයට පත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් වහා එතැනට දිව විත් එම සිසුන් ව්‍යාකූල කිරීමට උත්සාහ ගත්තේය. “සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන වැඩපිලිවෙල හරි” යැයි පැවසූ ඔහු, කම්කරු පන්තිය තුල නායකත්ව අර්බුදයක් පවතින බැවින්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් කම්කරු පන්තිය යටතේ බලමුලූු ගන්වාගත නොහැකි බවට ප‍්‍රතිගාමී තර්කයක් ඉදිරිපත් කලේය.

මෙම තර්කයට යටින් පවත්නේ, “සිසු අරගල” උත්කර්ෂයට නංවමින් කම්කරු පන්තිය සිසුන්ගේ අධිකාරිත්වය යටතට ගෙන ඒම සඳහා පෙසප සහ අවිශිබම ගෙනයන ප‍්‍රතිගාමී දේශපාලනයයි. දින කීපයකට පෙර ලහිරු වීරසේකර ඩේලිමිරර් පුවත්පතට කියා තිබුනේ, ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ දුන් පොරොන්දු කඩකිරීම හේතුවෙන් කෝපයට පත්ව සිටින කම්කරුවන්, ගොවීන් සහ අවශේෂ පීඩිතයන් ද තම අරගලය වටා ගොනුකර ගන්නා බව යි. එහි අර්ථය වන්නේ ද, ධනපති ක‍්‍රමය පෙරලා දැමීමේ විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තිය සිසුන් යටතට ගාල් කරමින් ඔවුනගේ විප්ලවවාදී විභවය විනාශ කොට ධනපති ක‍්‍රමය රැක දීමයි.

කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමට මං අහුරා ඇත්තේ පෙසප, අවිශිබමය වැනි ව්‍යාජ වාම සංවිධාන ම බවත්, මෙවැනි මැදිහත්වීම්වල අරමුන එබඳු සංවිධානවල කම්කරු පන්ති විරෝධී ධනපති ගැති ස්වභාවය එලිදරව් කරමින් එම නායකත්වයේ අර්බුදය විසඳීම බවත් කෙරුනු පැහැදිලි කිරීමට ජයලත් ගේ ප‍්‍රතිචාරය මෙ බඳු විය.

“අපි පිලිගන්නවා මේක ප‍්‍රතිසංස්කරන අරගලයක් තමයි. ධනපති ක‍්‍රමය තියෙනකං නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගන්න බෑ. නමුත් අපි තහවුරු කරන්න ඕන මේ අරගලය ඇතුලෙ ප‍්‍රතිසංස්කරන දිනා ගන්න බෑ කියන එක.”

පසුගිය දශක කීපය තුල ලංකාවේත් ජාත්‍යන්තරවත් කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් නැවත නැවතත් අත් දකිනුයේ ධනේශ්වර ක‍්‍රමය තුල ප‍්‍රතිසංස්කරන දිනා ගැනීමේ කාලය අවසන්ව ඇතිබව පමනක් නොව, මෙතෙක් භුක්ති විඳි සමාජමය සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් සියල්ල යලි උදුරා ගනිමින් සිටින බවයි. අතීතයේ කරන ලද වැරැදි වලින් පාඩම් උගත යුතු නමුත් පාඩම් ඉගෙන ගැනීමේ අර්ථයෙන් වැරදි කිරීමට කෙරෙන මෙම යෝජනාව තුල පවතිනුයේ මුග්ධත්වය පරයා යන ප‍්‍රතිගාමිත්වයකි. එනම් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම සඳහා අරගලයට අවතීර්නව සිටින දහස් සංඛ්‍යාත සිසුන් හෙම්බත් කොට එම අරගලය දියකර දමා ධනපති පන්ති පාලනය රැක දීමයි.

Share this article: