“වෘත්තිය සමිති ගෙනයන වැඩ පිලිවෙල උඩ අපේ ඉල්ලීම් දිනාගන්න බෑ” -තැපැල් සේවකයෙක්

කම්කරු ඉල්ලීම් දිනා ගත හැක්කේ කෙසේද?

සමන් ගුනදාස විසිනි, 2017 ජනවාරි 08

ඉල්ලීම් කිහිපයක් මත සටනට එලඹ සිටින තැපැල් කම්කරුවන් සමග සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කල සාකච්ඡාවකදී හමුවූ මාතර තැපැල් කාර්යාලයේ සේවකයෙක් මෙසේ පැවසීය: “මම මෙම වෘත්තිය සමිතියේ සාමාජිකයෙක් වුනත් වෘත්තිය සමිති ගෙනයන වැඩ පිලිවෙල උඩ අපේ ඉල්ලීම් දිනාගන්න බැරි බව හොඳටම පැහැදිලියි. සසප කියන වැඩ පිලිවෙල හොඳයි. ඒත් කම්කරුවන් ඒ තරම් හිතන්නේ නැහැ.”

ඔහු තව දුරටත් මෙසේ කියා සිටියේය: “වෘත්තිය සමිති රැස්වීමකදි මම යෝජනා කලා දුම්රිය සහ අනිකුත් කම්කරුවන් සමග ඒකාබද්ධව අරගලයට යාම සූදානම් කලයුතුයි කියා. එවිට තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති නායකයෝ එයට විරුද්ධව කියා සිටියේ අපේ ඉල්ලීම් අනිත් වෘත්තිය සමිති වල ඉල්ලීම් සමග ගැලපෙන්නේ නැති නිසා එහෙම අරගල කරන්න බැහැ කියා. මට නිශ්ශබ්ද වන්න සිදුවුනා.”

දුම්රිය කම්කරුවන් මුන ගැසීමට ගිය සසප වාර්තාකරුවන්ට දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කලත් පසුගියදා පැවැත්වූ වැඩ වර්ජනයට නොකැඳවූ කාර්යාල කම්කරුවෙකුගෙන් අසන්නට ලැබුනේ මෙවැන්නකි: “ඇත්තට ම මේ වර්ජනය කැඳවුම් කල ස්වභාවය ගැන මට තිබෙන්නේ දැඩි නොකැමැත්තක්. වර්ජනය කල කම්කරුවන්ගේ සමිති නායකයන් අපට මේ පිලිබඳ ව කල් තබා දැනුම් දුන්නේ නැහැ.” වර්ජනය මගින් බලපෑමට ලක්වන දුම්රිය මගීන් ඇතුලු අනෙකුත් කම්කරුවන්ට කතා නොකිරීම ගැන දොස් කී ඔහු “හුදකලා වී වර්ජනය නො කර සියලු ම ක්ෂේත‍්‍රවල කම්කරුවන් කැඳවාගත යුතු යයි මම අදහස් කරන්නේ ඒ සියලු කම්කරුවන්ට මෙවැනි ම ප‍්‍රශ්න පවතින නිසයි” යනුවෙන් සඳහන් කලේය.

මෙම තැපැල් හා දුම්රිය කම්කරුවන්ගේ ප‍්‍රකාශ සහතික වශයෙන්ම ලංකාවේ මෙන්ම රටක් රටක් කම්කරුවන් පාසා මුහුන දෙන තීරනාත්මක ප‍්‍රශ්නයක් ඉස්මත්තට ගෙන එයි.

පසුගිය දෙසැම්බර් තෙවන සතියේ රුමේනියාවේ වැඩ වර්ජිත ෆෝඩ් මෝටර් රථ කම්කරුවන් සමඟ සාකචඡා කල ලෝක සමාජවාදී වෙබ් අඩවියට සිය වෘත්තීය සමිතියේ ක්‍රියා කලාපය පිලිබඳව කම්කරුවන් පැවසූ පහත ප‍්‍රකාශය දෙස බලන්න:

“අප මෙම වෘත්තීය සමිතිය විසුරුවා හැර නව සංවිධානයක් ගොඩ නැගිය යුතුයි. මසකට ඉහත නව නිලධාරිනියක් ඡන්දෙන් පත් කර ගත්තා. [කම්කරුවන්ගේ වැටුප්, සේවා කොන්දේසි හා රැකියා පිලිබඳ] නව ගිවිසුමක් පිලිබඳව සාකච්ඡා ආරම්බ කල පසුව, වෘත්තීය සමිතිය සමග සාකච්ඡා දින 30කට කල් දැමුනේ අතිශයින්ම සැක සහිත වාතාවරනයකයි.

“අපට අවශ්‍ය ස්වාධීන සංවිධානයක්. වත්මන් වෘත්තීය සමිතියට නඩු දමා අපකීර්තියට පත් කල යුතුයි. නමුත් වත්මන් තත්වයට අනුව වෘත්තීය සමිතිය අපට ඉන් ඉවත් වන්නට හෝ එලියට යන්නට ඉඩ දෙන්නේ නැහැ.”

සෑම රටකම කම්කරුවන්ට මෙලෙස අත්දැකීමට සිදුව ඇත්තේ තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට පවතින උපකරනය ලෙස විශ්වාස කෙරෙන හා නායකත්වය සපයන බවට බලාපොරොත්තු වන සමිති ධනපති සමාගම්වලට සහ ආන්ඩුවලට ගැති ස්වභාවයයි.

කම්කරුවන්ට සටන් කිරීමට අවශ්‍ය වන්නේ ධනපති පන්තිය හා එහි පාලකයන් විසින් සූරා කෑම උග‍්‍ර කරමින් සමාජ අසමානතාව තවතවත් තීව්ර කරන පසුබිමක ය.

ලංකාවේ පසුගිය මාස ගනනාවේ සෑම අංශයකම කම්කරුවන් අරගලයට ඇදී ඒම හෝ ඒමට අරඅදින තත්වයන් දකින්නට ලැබුනි. වෘත්තීය සමිති කලේ ඒවාට ඇබ ගැසීමයි.

කම්කරුවන්ට සිය අයිතීන් සඳහා අරගල දියත් කිරීමට හොඳින් හිතාමතා සකස් කල මූලෝපායක් අවශ්‍යවේ. ධනපති ආන්ඩු හා මහා ව්‍යාපාර, කම්කරු පන්තික අරගල මැඩලීම සඳහා මිලිටරි-පොලිස් බලය ද වෘත්තීය සමිති හා කම්කරුවන්ගේ මිතුරන් ලෙස වෙස්පාමින් ධනපති ක‍්‍රමය රැකීම සිය පිලිවෙත කර ගන්නා ව්‍යාජ වම ද යොදා ගනියි.

මෙම පසුබිම තුල සටනට පිවිසීමට උත්සාහ දරන කම්කරුවන්ට අත් දකින්නට ලැබෙන තත්වය වන්නේ මෙම තත්වයට මුහුන දුන් තැපැල් සේවකයා පවසන ලෙස “වෘත්තිය සමිති ගෙනයන වැඩපිලිවෙල උඩ අපේ ඉල්ලීම් දිනාගන්න බැරි බව හොඳටම පැහැදිලියි” යන්නයි. ඊට හේතුව වෘත්තීය සමිති ධනපති පද්ධතියට බැඳී පැවතීමයි.

සිය වසකටත් ඉහතදී මාක්ස්වාදී ව්‍යාපාරය පැහැදිලි කල පරිදි වෘත්තීය සමිති වර්ධනය කෙරුනේ ජාතික රාජ්‍යයන්ට මෙන්ම ධනපති ලාබ ක‍්‍රමයට ඓන්ද්‍රිය ලෙස සම්බන්ධිතවය. එම ඓන්ද්‍රිය සම්බන්ධය නිසාම ධනපති රාජ්‍යය සමග ගැටෙන ඕනෑම අරගලයකට වෘත්තීය සමිති විරුද්ධය. ප‍්‍රතිසංස්කරන දිය නොහැකි ලෙස ධනපති ක‍්‍රමය අර්බුදයට යන විට එය විශදව පෙන්නුම් කෙරේ.

දෙවන ලෝක යුද්ධයට පසු සමයේ කම්කරු පන්තියට යම් සීමිත අයිතිවාසිකම් දිනා දීමට සමිති වලට හැකියාව තිබූ බව සත්‍යයකි. ඒ ධනපති ක‍්‍රමයේ උත්පාතය තුල පන්ති අරගලය යටපත් කිරීම සඳහා ජාතික සහනාධාර රාජ්‍යයන් ලෙස ක්‍රියා කිරීමට පැවති ඉඩ කඩ නිසාය. 1970 ගනන් අග පටන් ප‍්‍රමුඛත්වයට පැමිනි නිෂ්පාදනයේ ගෝලීයකරනයවීම සිද්ධවුයේ ලාභ රේට්ටු කඩාවැටීම මධ්‍යයේය. එය බැඳී තිබුනේ ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනය ශ‍්‍රම සූරාකෑමේ නව ප‍්‍රහාරයක් දියත්කිරීම සමගය. මෙම වර්ධනයන් ධනපති ක‍්‍රමයට නව අර්බුදයන් නිර්මානය කලේය. 2008 මූල්‍ය බිඳ වැටීමත් සමග දිග හැරෙන්නේ ධනපති ක‍්‍රමයේ බිඳ වැටීමේ නව කාල පරිච්චේදයකි. ලෝකයේ එක් කොනක කෝපරේට් ධනපතීන් අත සම්පත් කඳු ගසමින් ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ නියෝග මත කම්කරු දුගී ජනතාව සඳහා වූ සියලු සහනාධාර කපමින් තිබේ.

කම්කරුවන්ගේ ආර්ථික ඉල්ලීම් සඳහා කේවල් කිරීමේ කප්පිත්තන් ලෙස සමාජ තත්වයන්, වරප‍්‍රසාද හා තානාන්තර අත්කරගත් සමිති නිලධරය දැන් නිෂ්පාදනයේ පෙර නුවූ විරූ භූගෝලීකරනය තුල සෘජුව කම්කරු පන්තිය මත ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ කප්පාදු පැටවීමට සහයෝගය දීම සඳහා සමිති මෙහෙයවති. තම අයිතීන් දිනා ගැනීමට උත්සුක වන සාමාජිකත්වයේ අවශ්‍යතාවට එරෙහිව සමිති වැඩට බසින්නේ ධනපති පන්තියේ මූලෝපායේ උදව්කරුවන් ලෙසය.

තත්වය එසේ නම් කම්කරුවන්ගේ අරගල විසින් පසුගිය කාලයේ දිනා ගෙන ඇති දේ රැක ගත හැක්කේ කෙසේදැයි යන පැනය යමෙක් මතු කරනු ඇත. ඊට පිලිතුර සැපයීම සදහා අප ලියොන් ට්‍රොට්ස්කි 1938දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමේදී ලියූ ක්‍රියා මාර්ගික ලියවිල්ල වන “සංක‍්‍රමන ක්‍රියාමාර්ගය” වෙත හැරෙමු.

“හතරවන ජාත්‍යන්තරය කම්කරුවන්ගේ ප‍්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් හා සමාජික ජයග‍්‍රහන වෙහෙස නොබලා ආරක්ෂා කරයි. එහෙත් එය මේ දෛනික කටයුතු කර ගෙන යන්නේ නිරවද්‍ය, තථ්‍ය, එනම්, විප්ලවවාදී ඉදිරි දර්ශන රාමුව ඇතුලතය.” (ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, පිට 6, කම්කරු මාවත ප‍්‍රකාශන, 1988)

එනම් ධනපති ක‍්‍රමය පද්ධතිමය කඩා වැටීමට ලක්ව ඇති මෙම කාල පරිච්ෙඡ්දය තුල කම්කරු පන්තිය සිය සටන් ශක්තියෙන් දිනා ගත් අයිතීන් ආරක්ෂා කර ගත හැකිවන්නේ ඒවා උදුරා ගන්නා ධනපති පන්තියට ද එහි උවමනාවන්ට සේවය කරන වෘත්තීය සමිතිවලට ද එරෙහිව සම්මුති විරහිත අරගලයක් සංවිධානය කිරීමෙන් බවයි.

මෙය බැඳී ඇත්තේ සමිති නායකයන්ගේ දේශනාවල ප‍්‍රතිවිරුද්ධය සමගයි. “දුම්රිය සහ අනිකුත් කම්කරුවන් සමග ඒකාබද්ධව අරගලයට යාමට” පවතින නොහැකියාව, එනම් ඉල්ලීම් වල පවතින නොගැලපීම ගැන සමිති නායකයන් තමන්ට පැවසූ බව තැපැල් සේවකයා පවසා තිබේ. තම ඉල්ලීම් මත අරගල කිරීමට තමන්ට කොතෙකුත් අවශ්‍යතාව තිබුනත් “වර්ජනය කල කම්කරුවන්ගේ සමිති නායකයන් අපට මේ පිලිබඳ ව කල් තබා දැනුම් දුන්නේ නැහැ” යයි දුම්රිය සේවකයා පවසා තිබේ.

සත්‍ය නම් කම්කරු පන්තියේ ඉල්ලීම් එකම මූලයකින් පැනනැගී ඇති බවයි. පොදුවේ ගත්කල ඒවා ජීවත් වීමට සරිලන වැටුපක්, පුද්ගලීකරනයට හා රැකියා කප්පාදු වලට එරෙහි වීම, සමාජ අයිතීන් කප්පාදුව නතර කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාරය පරාජය කිරීම ආදියයි.

මේ ඉල්ලීම් මත කම්කරු පන්තිය ඒකාබද්ධ වීම වැලැක්වීමට සමිති වෙහෙස නොතකා වැඩට බැස සිටියි. ශ්‍රේනි ගත වෙනස්කම් මත කම්කරුවන් අසමගි කිරීම කම්හල් හා ආයතන තුල මෙන්ම කම්හල් හා ආයතන අතරද වපුරවමින් තිබේ. එමගින් අරගලයට පිවිසෙන කම්කරුවන්ගේ ශක්තිය මොට කර එම අරගල පාවා දීමේ අවස්ථාව සකස්කර ගනී; ජාතිකවාදී වෘත්තීය සමිති ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුවට එරෙහිව සිටියි.

රුමේනියානු ෆෝඩ් කම්කරුවන් කියා සිටින ලෙස කම්කරුවන්ට “අවශ්‍ය ස්වාධීන සංවිධානයක්” බව පැහැදිලිය. මෙම ස්වාධීනත්වය පිහිටුවා ගත හැක්කේ ධනපති පන්තියේ සියලු කොටස්වලින් වෙන්ව කම්කරු පන්තියේ වැඩපිලිවෙල මත බලමුලුගැන්වීම ලෙසය. ජාතික රාජ්‍යයේ සීමා මත පදනම්ව ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයට මුනුනදී සිටින කම්කරු පන්තියට සාර්ථකව අරගල කල හැක්කේ ලෝක පරිමාන තම පන්ති සහෝදරයන් සමග එක්සත් වීමෙනි.

ධනපති පාලකයන්ගේ අත කොලු ලෙස ක්‍රියාත්මක වන සමිති වල යකඩ සැට්ටය බිඳගෙන කම්කරුවන් තමන්ගේ සෘජු චන්දයෙන් තෝරා පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු වැඩපලවල, වතුකරයේ කමිටු කම්කරු නිවහන් පෙදෙස් තුල තනා ගැනීම තම අයිතීන් වෙනුවෙන් අරගලය සංවිධානය කර ගැනීමේ අත්‍යවශ්‍ය මුල් පියවරකි. අවශේෂ කම්කරුවන් සමග හා ජාත්‍යන්තර කම්කරුවන් සමග එකමුතුව, තමන්ගේ ඉල්ලීම් හා අරගලය පිලිබඳව ඉතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස සාකච්ඡාකර තීන්දුගැනීම මෙම කමිටු හරහා කලයුතුය. සමිති හෝ ඒවායේ නිලධරයන් කමිටු තුලට වැද්ද නොගත යුතුය. සමාජවාදී සමානතා පක්ෂය (සසප* මෙවන් කි‍්‍රයාකාරී කමිටු ගොඩ නැගීමට සහය දෙයි.

ධනපති සමාගම්වලට හා ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් කම්කරුවන්ගේ ඉල්ලීම් දිනාගත නොහැකිය. ලාභය සඳහා නොව සමාජයේ බහුතරයේ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය සැලසුම්ගතව ප‍්‍රතිසංවිධානය කිරීමකින් තොරව කම්කරුවන්ගේ හා දුගින්ගේ අයිතීන් රැකගත නොහැකිය. එය කල හැක්කේ වතු, බැංකු, විශාල සමාගම් හා සංස්ථා කම්කරුවන් විසින් අල්ලාගෙන සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට නතු කිරීමෙනි. මෙය වනාහි සමාජවාදී වැඩපිලිවෙලට හා එය ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීම සමග බැඳී ඇත. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසකි. ගොඩනගන කම්කරු ක්‍රියාකාරී කමිටු තුල මෙම වැඩපිලිවෙල සාකච්ඡා කරන ලෙසද ඊට සහාය දෙන ලෙසද සසප ඉල්ලා සිටියි.

Share this article: