දේශපාලන අර්බුදය සහ පන්ති අරගල වර්ධන වෙද්දී ආන්ඩුව මරන දඬුවම බලාත්මක කිරීමට තීන්දු කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 ජුලි 14

“මත් ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ” මර්දනය කිරීමේ කඩතුරාව යටතේ මරන දඬුවම යලි සක්‍රීය කිරීමට අමාත්‍ය මන්ඩලය ජුලි 10 වෙනිදා ඒකමතිකව තීන්දු කර ඇත. අදාල යෝජනාව අමාත්‍ය මන්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ නීතිය හා සාමය පිලිබඳ ඇමති රන්ජිත් මද්දුම බන්ඩාර විසිනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මරන දඬුවම බලාත්මක කිරීමේ ආන්ඩුවේ තීරනයට සිය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරයි.

ඇමතිවරුන්ගේ “ප්‍රීතිඝෝෂා” මධ්‍යයේ මරන දඬුවම බලාත්මක කිරීමට අවශ්‍ය පනතක් කෙටුම්පත් කරන ලෙස අධිකරන හා බන්ධනාගාර ඇමතිනී තලතා අතුකෝරල ට සිරිසේන උපදෙස් දුන් බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. දැනට මරන දඬුවම නියම කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ලැයිස්තුවක් ලබා දෙන ලෙස ද සිරිසේන නියෝග කර ඇත. එම සංඛ්‍යාව 19 කි.

ජුලි 11 වෙනිදා මහනුවර ගැටඹේ පැවති රැස්වීමක දී සිය තීන්දුව ගැන උජාරුවෙන් ඔහු මෙසේ සඳහන් කලේ ය. “මම ඇමති මන්ඩලයට යෝජනාවක් ගෙනාවා මුලු සමාජයට රටට හෙට උපදින දරුවන් වෙනුවෙන්. මම ඊයේ හවස් වෙන කොට අධිකරන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා මත් ද්‍රව්‍ය නිසා මරනීය දන්ඩනයට නියම වී, එසේ මරනීය දන්ඩනයට නියම වීමෙන් පසුවත් පුලුල් ලෙස මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙලා ඉන්න අය සඳහා මරනීය දන්ඩනයට අවසර ලබාදෙමින් මගේ අත්සන යොදන්න.”

මත් ජාවාරම් මර්දනය කිරීමේ මුවාවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය රට පුරා මුදා හැරීමට හා වසර දෙකකට ඔවුන් ට පොලිස් බලතල ලබා දීම ට ද ආන්ඩුව තීන්දු කර තිබේ. එය මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩලමින් ආඥාදායක පොලිස් රාජ්‍යයක් සඳහා තැබෙන නිශ්චිත පියවරකි.

ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධානය ආන්ඩුවේ තීරනයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. “අපරාධය හෝ ඝාතනය කිරීමේ ක්‍රමය නොතකා කවර තත්වයක් යටතේ හෝ මරන දඬුවම පැමිනවීමට ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධානය පරම වශයෙන් ම විරුද්ධ” බව එහි දකුනු ආසියානු නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනුෂිකා දිසානායක 11 වෙනිදා නිකුත් කල ප්‍රකාශයක සඳහන් වේ.

“ආන්ඩුව කවර හෝ ඝාතනයන් සිදු කිරීමේ සැලසුම් වහාම නතර කිරීම, සියලුම මරන දඬුවම් අත්හිටුවීම සහ සම්පූර්නයෙන් ම එය අහෝසි කිරීමේ ප්‍රථම පියවරක් ලෙස මරන දඬුවම පැමිනවීම නිල වශයෙන් නතර කිරීම තහවුරු කල යුතු” යයි ප්‍රකාශය අවධාරනය කරයි.

ජනතාව රැවටීමට සිල් රෙද්ද ඇඳගෙන පන්සල් ගානේ යමින් බන දෙසන ජනාධිපති සිරිසේනගේ මෘගත්වය සහ දුෂ්ටත්වය ඔහුගේ මෙම තීන්දු තීරන වලින් මැනවින් එලිදරව් වෙයි.

ඔහු රට තුල සිදු වූ යුද අපරාධවලට රිජුව වගකිව යුතු එක් පුද්ගලයෙකි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය ට විරුද්ධ යුද්ධයේ අවසන් අදියරේ වැඩබලන රාජ්‍ය ආරක්ෂක ඇමති ලෙස කටයුතු කලේ ඔහු ය. එකල ආරක්ෂක හමුදාවන් විසින් සිවිල් දෙමල ජනයා දසදහස් ගනනක් ඝාතනය කෙරුනි. තවත් දහස් ගනනක් බලහත්කාර අතුරුදහන් කිරීම් හා පැහැරගැනීම් වල ගොදුරු බවට පත් වුහ. සිරිසේන මෙම යුද අපරාධ මෙන් ම ඒවාට වගකිවයුතු හමුදා නිලධාරීන් ද ආරක්ෂා කරයි.

අපරාධ විධිවිධාන සංග්‍රහයේ මරන දඬුවම පිලිබඳ නීති අඩංගු වෙතත් 1976 මෙපිට වසර 40 ට වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුල එය ක්‍රියාත්මක වී නැත. ධනපති පාලක පන්තියේ අර්බුදය තීව්‍රවීම සහ පන්ති අරගල වර්ධනය වීමට ප්‍රතිචාර වශයෙන් පසුගිය දසක දෙක තුල එය යලි සක්‍රීය කිරීමට බලයේ පැවතී ආන්ඩු උත්සාහ කලහ.

“ඉහල යන අපරාධ” වලට විරුද්ධව “නීතිය හා සාමය” රැකීමේ කඩතුරාව යටතේ 1999 ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, 2003 දී එක්සත් ජාතික පක්ෂ (එජාප) සහ 2012 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආන්ඩු විසින් ද, 2015 දී “ලමා අපයෝජන සහ ඝාතන” මර්දනය කරීමේ ව්‍යාජය යටතේ ජනාධිපති සිරිසේන විසින් ද මරන දඬුවම යලි ස්ථාපිත කිරීමට තැත් කලේ ය. මහ ජනතාවගේ සහ මානවහිමිකම් සංවිධානවල බර පතල විරුද්ධත්වය හේතු කොට එය කල් දැමීමට ධනපති පාලක පන්තියට බල කෙරුනි.

වර්තමාන ආන්ඩුව විසින් මරන දඬුවම යලි සක්‍රීය කිරීමට තීන්දු කර ඇත්තේ ගැඹුරුවන ආර්ථික අර්බුදය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග යටතේ එය විසින් ක්‍රියාවට දමන ප්‍රහාර වලට එරෙහිව කම්කරු-පීඩිත ජනයාගේ අරගල වර්ධනය වන කොන්දේසි තුලය. සිරිසේන මෑත අවස්ථා කිහිපයක දී ම ඔහුගේ ආන්ඩුව ලබා දී ඇති “ප්‍රජාතන්ත්‍රවාදී නිදහස” අනිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් රට අස්ථාවර කිරීමට ක්‍රියාකරන බවට කම්කරුවන්ට සහ ශිෂ්‍යයන්ට දෝෂාරෝපනය කලේ ය.

ආන්ඩුවේ මෙම දුෂ්ට ප්‍රයත්නයට විපක්ෂයේ සහ ආගමික ප්‍රභුවේ සහයෝගය දැනටමත් ලැබී ඇත.

“දඬුවම්දීමේ ක්‍රමයක් ලෙස මරන දඬුවම ක්‍රියාත්මක කලයුතු නම්, එය ක්‍රියාත්මක කිරීම පිලිබඳ ගැටලුවක් නැති” බව ජුලි 11 වෙනිදා පැවති මාධ්‍ය හමුවක දී ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර ඇත.

ව්‍යාජ වාම පක්ෂ වන නව සම සමාජ පක්ෂය (නසසප) පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ වෘත්තීය සමිති කිසිවක් විසින් ආන්ඩුවේ තීන්දුව ගැන මෙතෙක් වචනයක් වත් කතා නොකිරීම ඔවුන් නිහඬව ම ඊට අනුමැතිය පල කිරීමක් විය හැකිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන (පොජපෙ) ඒ සම්බන්ධ ව, මෙතෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නැතත් රටේ “විනය පිරිහීම” “අපරාධ වැඩිවීම” “මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහලයාම” ට විරුද්ධව “නීතිය ක්‍රියාත්මක කිරීම” ට අසමත්වීම ගැන ආන්ඩුවට විරුද්ධව ගෙන යන උද්ඝෝෂනයේ එල්ලය පන්ති අරගල මැඩීම සඳහා මෙවන් දැඩි මර්දන නීති ක්‍රියාවට දැමීමට ආන්ඩුවට බල කිරීමය.

ආන්ඩුවේ තීරනයට බෞද්ධ සංඝ ප්‍රභුවේ අනුමැතිය ලැබුන බව බුද්ධසාසන ඇමති ගාමිනි ජයවික්‍රම පෙරේරා 11 වෙනිදා පැවත් වූ ප්‍රවෘත්ති සාකච්චාවක් සම්බන්ධ ඬේලි මිරර් පත්‍රයේ පල වූ වාර්තාවක සඳහන් වේ.

“බන්ධනාගාර ගත වූ දරුනු අපරාධකරුවන් එහි සිටම චන්ඩිකම්, දාමරිකකම් කරනවා නම් එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම වරදක් නැත” යි කොලඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් සඳහන් කර තිබේ.

ධනපති මාධ්‍ය සියල්ල ද ආන්ඩුවේ තීන්දුවට පක්ෂව උද්ඝෝෂනයට බැසගෙන සිටිති.

ජුලි 13 වෙනිදා ඬේලි නිවුස් කතුවැකිය මෙසේ ලිවීය “මත් ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ වේගයෙන් ඉහල යන තත්වය තුල මරන දඬුවම යලි ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරනය ආපස්සට ලුහුටා යන එකක් නොව, අවසාන විසඳුම ලෙස ගත් එකක් බව අපට නිශ්චිත ය”........ “තේරුමක් නැති ලේ හැලීම් කෙලවර කිරීමට සහ රට අරාජක තත්වයට ඇද වැටීම වැලැක්වීම සඳහා දැඩි නිවාරකයක් හඳුන්වා දීමට පියවර ගැනීමේ දී ජනාධිපතිවරයා මුලුමනින් ම යුක්තිසහගත ය”.

එදිනම පලවූ ඬේලි මිරර් කතුවැකිය ආන්ඩුවේ තීන්දුවට ආවඩන ගමන් එය තවත් අපරාධ වලට විරුද්ධව දිගු කල යුතු බව සඳහන් කරයි. “මත් ද්‍රව්‍ය ජාවාරම් පමනක් නොව, ගෘහ ප්‍රචන්ඩ ක්‍රියා නිසා සිදු වන ඝාතන වැලැක්වීම දක්වා දිගු කලයුතු මරන දඬුවමට ජනතාවගෙන් බහුතරයක් අනුමැතිය පල කිරීමට බොහෝවිට ඉඩ තිබේ....... මෙරට බලධාරීන් මනුෂ්‍යයා සිය වර්ගයේ අන්‍යයන්ට ගරු කරන සංස්කෘතියක් මෙරට තුල තහවුරු කිරීමේ උච්චතම අවස්ථාව මෙය” බව ඬේලි මිරර් කතුවැකියේ ලියා ඇත.

වර්ගවාදී හා කම්කරු විරෝධී දිවයින පත්‍රයේ කතුවැකිය ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධානයේ ප්‍රකාශයට බුරා පනිමින් එම විරුද්ධත්වය නොතකා තීන්දුව සම්බන්ධයෙන් නොසැලී සිටින ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා ඇත. “කුඩුකාරයන් පමනක් නොව, ස්ත්‍රී දූෂකයන් සහ ලමා අපචාරකයන් එල්ලන ලෙස ඉල්ලමු. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය බුරන බිරිල්ලට නොසැලෙන ලෙස ද ජනාධිපතිගෙන් ඉල්ලමු.” කතුවැකිය සඳහන් කරයි.

මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල සාමාජිකයන් සහ ප්‍රධාන ධනපති පක්ෂ දෙකේ - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සහ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ඇතැම් මූලික දේශපාලනඥයන් අතර සමීප සම්බන්ධකම් පවතින බව නොරහසකි. එමෙන් ම, සමහර දේශපාලනඥයන් මත් ද්‍රව්‍ය ජාවාරම් වල යෙදෙන බවට චෝදනා එල්ල වී ඇත. ඇතැම් දේශපාලනඥයන් ගේ පුද්ගලික ආරක්ෂකයන් පාතාල සාමාජිකයෝය.

මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ අපරාධ මෙන් ම අනෙකුත් සියලු අපරාධ ධනේශ්වර ක්‍රමය සහ ලාබ පද්ධතිය විසින් දූෂනය කරන ලද හා රෝගීභාවයට පත් කරන ලද සමාජයක ප්‍රතිවිපාකයෝ ය. එම ප්‍රතිවිපාකයන් ම අනෙක් අතට ධනපති පාලක පන්තිය විසින් කම්කරු-පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වැනසීමට සහ ඔවුන්ට එරෙහිව පොලිස් රාජ්‍ය සැලසුම් ඉස්මත්තට ගැනීමට යොදාගනු ලබයි.

එල්ටීටීඊ සංවිධානයට එරෙහි දසක තුනක යුද්ධය විසින් ඇතිකරන ලද ආර්ථික හා සමාජමය විනාශය, රට තුල විරැකියාව හා දරිද්‍රතාවය ඉහලයාම සහ සමාජ අසමානතාවය පුලුල්වීම සමාජ විරෝධී ක්‍රියාවන් සහ අපරාධ වර්ධනයට තුඩු දී ඇත.

වයස අවුරුදු 15-24 අතර තරුන ජනයා අතර විරැකියාව සියයට 22 කි. රැකියා විරහිත උපාධිධාරීහු 60,000 ට ආසන්න සංඛ්‍යාවක් සිටිති. බලාපොරොත්තු සුන්වීම තරුන ජනයා මත් ද්‍රව්‍ය භාවිතයට හා වෙනත් සමාජ විරෝධී ක්‍රියාවන් ට යොමු වීමේ ප්‍රධාන සාධකයෙකි. ධනපති මාධ්‍ය හුවා දක්වන ගෘහ ප්‍රචන්ඩත්වය ද මෙම සමාජ පරිහානියේ විපාකයකි.

මත් ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මර්දනය කිරීමේ මුවාවෙන් මරන දන්ඩනය යලි බලාත්මක කිරීමට ආන්ඩුව ගෙන ඇති තීන්දුව ධනේශ්වර ක්‍රමය විසින් ම නිර්මිත මේ සමාජ ව්‍යසනයෙන් මහජනතාව ගේ අවධානය ඉවතට හැරවීමේ සහ දේශපාලන විරුද්ධවාදීන්, විශේෂයෙන් ම වැඩකරන ජනයා මර්දනය කිරීමේ පියවරකි. එහෙයින් කම්කරුවන්, තරුනයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් වලට ගරු කරන සියලු දෙනාම ඊට විරුද්ධ විය යුතුය.

මත් ද්‍රව්‍ය ජාවාරම් සහ සියලු අපරාධ නතර කල හැක්කේ අර්බුදගත, දූෂිත ධනවාදය පෙරලා දමා සමාජවාදී සමාජයක් තහවුරු කිරීමෙන් පමනි.

Share this article: