සසප සාමාජික මොහම්දිරම්ලාගේ චන්ද්‍රසිරි (1955 - 2018)

Sri Lankan SEP member Mohamdiramlage Chandrasiri (1955-2018)

විමල් ප්‍රනාන්දු විසිනි, 2018 ජූලි 19

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ දීර්ගකාලීන සාමාජික මොහම්දිරම්ලාගේ චන්ද්‍රසිරි සහෝදරයා ජූනි 21වැනි දින අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 63කි. රාගම තලගොල්ල ප්‍රසිද්ධ සුසානභූමියේ පැවති ඔහුගේ අවමගුලට 200ක් පමන දෙනා සහභාගී වූහ. අනුන් ගැන සිතන හා කම්කරු පන්තිය වෙනුවෙන් ප්‍රතිපත්ති ගරුක මෙම සටන් කරුවාට අවසන් බුහුමන් දැක්වූ අය අතර ඔහුගේ ඥාතීහු, බැංකු කම්කරුවෝ හා සසප සාමාජිකයෝ විශාල සංඛ්‍යාවක් වූහ.

හෘද රෝගයක් ඇතුලුව, සෞඛ්‍ය ගැටලු රාශියකින් පෙලුනු චන්ද්‍රසිරි ජූනි 21වැනි දින ඛේදනීය ලෙස මිය යන විට හුදකලාව ජීවත්ව සිට ඇත්තේ රාගම කුලී බද්ධ නිවසක ය. ඔහු තම කාමරයේ දී සොයා ගැනුනේ පසු දින යි. පශ්චාත් මරන පරීක්ෂනය කරන ලද රාගම ශික්ෂන රෝහලේ අධිකරන වෛද්‍ය නිලධාරී ඔහු හෘදයාබාධයකින් මිය ගොස් සිටි බව තහවුරු කලේ ය.

චන්ද්‍රසිරි හලාවත තරමක් වත්පොහොසත් පවුලක ඉපදුනු අතර, නගරයේ ප්‍රධාන කතෝලික පාසල වන ශාන්ත මරියා විදුහලේ ඉගෙනුම ලැබී ය. ඔහු පවුලේ වැඩිමලා වූ අතර ඔහුගේ සහෝදර සහෝදරියෝ පස්දෙනෙක් වෙති.

මොහම්දිරම්ලාගේ චන්ද්‍රසිරි

පාසල් සිසුවෙකු ව සිටිය දී චන්ද්‍රසිරි, සසප පුරෝගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) වෙතට ආකර්ෂනය වී, සමාජවාදය පිලිබඳ හැදෑරීමේ උත්සුකය ප්‍රකාශ කලේ ය. ඔහු විකොස ප්‍රසිද්ධ රැස්වීම්වලට සහභාගී වූ අතර පක්ෂයේ සතිපතා පත්‍රය වූ කම්කරු මාවත නිතිපතා කියවී ය. ඒ වන විටත් හලාවත පැවති විකොස ශාඛාව කම්කරුවන්, ධීවරයන් හා ශිෂ්‍යයින් ඇතුලු තරුනයන්ගෙන් පුලුල් සහයෝගයක් දිනා ගත්තේ ය.

මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය (ලසසප) හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (කොප) දෙවැනි ධනේශ්වර සභාග ආන්ඩුවට එරෙහිව තියුනු අරගල පැවති කාලපරිච්ඡේදයක් විය.

සභාග ආන්ඩුව 1970දී බලයට පැමිනි අතර, 1972දී බැංකු කම්කරුවන් දහස් ගනනකගේ මහා වැඩවර්ජනයකට මුහුන දුනි. දින 108ක් පුරා පැවති වැඩවර්ජනය ආන්ඩුව විසින් පරාජය කරන ලද්දේ, වැඩවර්ජන තහනම් කරමින් හා සියලු වර්ජකයින් දොට්ට දමමිනි. ලෝක තෙල් මිල ගනන්වල තියුනු වැඩිවීම ද ගෝලීය ආර්ථික අවපාතයට ද මුහුන දුන් ආන්ඩුව, කම්කරුවන් හා ගම්බද ජනතාවගේ ජීවන තත්වයන්ට බරපතල ප්‍රහාරයක් එල්ල කලේ ය.

ලසසප හා කොප ආන්ඩුවෙන් ඉවත් වී කම්කරුවන් හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරනු යන ඉල්ලීම මුල්කරගෙන විකොස, 1974 හා 1976 අතරතුර පිපිරුනු කම්කරුවන්ගේ සියලු ප්‍රධාන අරගලවලට සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සිය දේශපාලන උද්ඝෝෂනය තීව්‍ර කරමින් මැදිහත් විය. මෙම උපක්‍රමික ඉල්ලීම යොමු කෙරුනේ ලසසප හා ස්ටැලින්වාදීන්ගේ ප්‍රතිසංස්කරනවාදී ප්‍රතිපත්ති හෙලිදරව් කිරීම හා පන්ති විඥානයෙන් යුත් කම්කරුවන් විකොසට දිනා ගැනීමට ය.

කම්කරුවන්ගේ අධිෂ්ඨාන සහගත කාර්මික ක්‍රියා ආන්ඩුව තුල බෙදීම් ගැඹුරු කල අතර 1975 සැප්තැම්බරයේ දී සභාගයෙන් දොට්ට බැසීමට ලසසපට බල කෙරුනි. කම්කරුවන්ගේ වඩ වඩා සටන්කාමී ක්‍රියා 1976 මහාවැඩවර්ජනය තුල කූඨප්‍රාප්ත වූ අතර අවසානයේ දී පාර්ලිමේන්තු මැතිවරනයක් කැඳවීමට ආන්ඩුවට බල කෙරුනි.

ජේ.ආර්. ජයවර්ධන විසින් නායකත්වය දෙන ලද එක්සත් ජාතික පක්ෂය මැතිවරනය ජය ගත්තේ ලසසප හා කොප පාවාදීම් නිසා කලකිරුනු මධ්‍යම පන්තියේ කන්ඩායම්වල අසහනය ගසා කමිනි. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම් සමග පෙල ගැසුනු දක්ෂිනාංශික ආන්ඩුව වහා ම “නිදහස් වෙලඳපොල” ප්‍රතිපත්ති ක්‍රියාවට දැමී ය. ඒ අතරම, ජයවර්ධනගේ ආන්ඩුව කම්කරු පන්තිය බෙදනු පිනිස දෙමල සුලුතරයට එරෙහිව වාර්ගික ප්‍රකෝපකිරීම් මාලාවක නිරත විය. බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය සමගින් මෙය 1983දී කූඨප්‍රාප්ත විය.

1974 අවුරුදු 18දී, ලංකා බැංකුවේ රැකියාව ඇරඹූ චන්ද්‍රසිරි විකොස සාමාජිකයන් මුන ගැසී පක්ෂයට බැඳුනි. 1978දී යූඑන්පී දාමරිකයන් ලංකා බැංකු සේවක සංගමය විසින් සංවිධානය කෙරුනු පිකට් උද්ඝෝෂනයකට පහර දුන් අවස්ථාවේ, බැංකු කම්කරුවන් තුල පක්ෂයේ දේශපාලන ඉදිරිදර්ශනය සඳහා සටනේදී ඔහු ආරම්භකත්වය ගත්තේය. සුපුරුදු පරිදි ලංබැසේස නිලධරය, අරගලයට දේශපාලනය ගෙන නො ආ යුතු බව තම සාමාජිකයින්ට පවසා, කලමනාකරනය සමග ගැටුම් වලින් තොර කේවල් කිරීමට කැපවූහ.

විකොස හා චන්ද්‍රසිරිගේ දේශපාලන වැඩකටයුතු බැංකු සේවකයින්ට පමනක් සීමා නො වූ අතර, අනෙකුත් කර්මාන්තවල මෙන් ම ප්‍රදේශබදව ද පුලුල් මැදිහත්වීම් ගෙන ගිය අතර පක්ෂයට නව සාමාජිකයින් බඳවා ගැනීමට සටන් වැදුනි.

කෙසේ නමුත්, සමස්තයක් වසයෙන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට එය දුෂ්කර දේශපාලන කාලපරිච්ඡේදයක් විය. 1980දී එජාප ආන්ඩුව රාජ්‍ය අංශයේ වැඩවර්ජනය පරාජය කල අතර ආසන්න වසයෙන් සේවකයින් 100,000ක් දොට්ට දැමී ය.

මෙය ක්‍රියාත්මක කිරීමට එජාපට හැකියාව ගෙන දුන්නේ, කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුද කල, ලසසප, කොප, නව සමසමාජය හා වෘත්තීය සමිතිවල පාවාදීම්වලට පින්සිදු වන්නටය. ආන්ඩුවට එරෙහි අරගලයක් තුල පීඩිත මහජනතාව ද තරුනයන් ද මෙහෙය වීමට හැකි කම පැවති කම්කරුවන්ගේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් කිරීමට මෙම සංවිධාන විරුද්ධ වූහ. ඒ වෙනුවට, ඔවුන් අවධාරනය කලේ විශාල විරෝධතා කම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රදානය කිරීමට ආන්ඩුවට බල කෙරෙනු ඇති බව යි.

වැඩවර්ජනයේ පරාජය හා ආන්ඩුවේ ප්‍රහාරය කම්කරු පන්තිය පසු පසට තල්ලු කල අතර, 1980 ගනන්වල මැද, චන්ද්‍රසිරි පක්ෂ දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් ඈත් විය. 2000 වසරේදී, හදවත් සැත්කමකට මග පෑදූ ඔහුගේ හෘදයාබාද ඇතුලුව ඔහුගේ අස්ථාවර සෞඛ්‍ය තත්වය ද අවසානයේ දී මෙයට හේතු විය.

කෙසේ නමුත්, චන්ද්‍රසිරි කිසි දා පක්ෂය සමග සම්බන්ධකම් බිඳ නො දැමු අතර නිතිපතා මුදලින් ආධාර ලබා දෙමින් හා වෘත්තීය සමිතිය තුල පක්ෂයේ ප්‍රතිපත්ති මත සටන් වැදුනි. 2004දී, ඔහු නැවත පක්ෂයට එක් විය.

චන්ද්‍රසිරි (දකුනේ) සසප මෑත දී සංවිධානය කල උද්ඝෝෂනයකදී

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශයට ලිපි කීපයක් ලිවූ චන්ද්‍රසිරි, අනෙකුත් සහෝදරයන් විසින් ලියන ලද ලිපිවලට තොරතුරු එකතු කර දෙමින් වැදගත් කාර්යභාරයක් ඉටු කලේ ය. ඔහු කම්කරුවන් අතර ලෝසවෙඅ ලිපිලේඛන බෙදා හල අතර, ඔවුන් සමග උද්‍යෝගීව ඒවායේ විශ්ලේෂන සාකච්ඡා කලේ ය.

චන්ද්‍රසිරි මෑත දී සමාජවාදී සමානතා පක්ෂය විසින් සංවිධානය කරන ලද මීතොටමුල්ල කුනුකන්දේ ව්‍යසනය පරීක්ෂා කිරීමට ස්ථාපිත කෙරුනු ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවට ද මැදිහත් විය.

කොලඹ ආසන්නයේ පිහිටි, මීතොටමුල්ල කසල කන්ද, අඩු වසයෙන් පුද්ගලයන් 32කු මරා දමමින්, සිය ගනනකට තුවාල ඇති කරමින් හා නිවසියන් 1000ට වඩා අවතැන් කරමින්, 2017 අප්‍රේල් මාසයේ කඩා වැටුනි. මෙම සමාජ අපරාධයට වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ පාලනාධිකාරිය ද ඇතුලත් අනුප්‍රාප්තික ආන්ඩු වග කිව යුතු ය.

සත්‍ය වසන් කිරීමට ධනේශ්වර ආන්ඩුව ද මාධ්‍යය ද ගත් උත්සාහයට එරෙහිව ස්වාධීන කම්කරු කමිටුව විනාසය ඇති කල දේශපාලනික හා ආර්ථික සාධක ක්‍රමානුකූලව හෙලිදරව් කලේ ය.

අනෙකුත් සහෝදරවරුන් සමග චන්ද්‍රසිරි, පත්‍රිකා බෙදා හරිමින්, ප්‍රදේශයේ නිවසියන් සමග සාකච්ඡා කරමින් හා රැස්වීම් සංවිධානය කරමින් මුලු හිතින්ම කමිටුවේ වැඩකටයුතුවල නිමග්න විය. සසප දේශන හා ප්‍රසිද්ධ රැස්වීම් අතරතුර බොහෝ විට දේශපාලන සාකච්ඡාවට සහාය වනු පිනිස ඔහු ප්‍රශ්න ඇසුවේ ය. ඔහු සිනමාව හා නාට්‍ය පිලිබඳ උද්‍යෝගීමත් විය. ඔහු නිතරම මෙම කලා ක්ෂේත්‍රයන් ගැන සසප සහෝදරවරුන් සමග සාකච්ඡා කලේය.

රෝගී මව වෙනුවෙන් කැපවනු පිනිස, වයස අවුරුදු 55 වූ විට චන්ද්‍රසිරි, ඔහුගේ පූර්නකාලීන රැකියාවෙන් විශ්‍රාම ගැනීමට තීරනය කලේ ය. ඒ 2010 දෙසැම්බරයේ දීය.

චන්ද්‍රසිරිගේ අවමගුලේ දී ඔහුගේ සහෝදර සහෝදරියෝ, තම පවුලේ ශූභසිද්ධිය සඳහා වූ ඔහුගේ උදාර හා ආත්ම පරිත්‍යාගී කැපවීමට ප්‍රශංසා කලහ. ඔහුගේ බැංකු සහෝදරයින් දැඩි ලෙස ප්‍රතිපත්ති ගරුක මිනිසෙකු හා තමන්ගේ ස්ථීර විශ්වාසය වෙනුවෙන් සටන් කල අයෙකු ලෙස චන්ද්‍රසිරි විස්තර කලේ ය. ට්‍රොට්ස්කිවාදය, කම්කරු පන්තියේ අයිතීන් හා සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම සඳහා වූ ඔහුගේ පරාර්ථකාමීත්වය වෙනුවෙන් ඔහුගේ සහෝදරවරුන් විසින් හැම විටම ඔහු සිහිපත් කරනු ඇත.

Share this article: