රැකියා විරහිත උපාධිධාරීහු කොලඹ දී විරෝධතාවක් පවත්වති

නවීන් දේවගේ විසිනි , 2018 ජූලි 7

රැකියා විරහිත උපාධිධාරීන්ගේ කොලඹ දී පැවැති විරෝධතාව

රැකියා විරිහිත උපාධිධාරීන්ගේ ඒකාබද්ධ සංවිධානය (රැවිඋඒස) විසින් පසුගිය දිනවල රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ආන්ඩුවට බලකරන උද්ඝෝෂන මාලාවක් රට පුරා පැවැත් වීය. එහි කොටසක් ලෙස ජුලි 4 වෙනිදා කොලඹ දුම්රියපොල ඉදිරිපිට උද්ඝෝෂනයක් සංවිධානය කර තිබුනි. රැකියා විරහිත උපාධිධාරීන් 50 ක් පමන ඊට සහභාගී වූ හ. අනතුරුව පාගමනින් ජනාධිපති කාර්යාලය දෙසට ඔවුහු ගමන් කලහ.

උද්ඝෝෂකයන්ගේ ගමන අවහිර කිරීම පිනිස ආන්ඩුව පොලීසිය යොදා තිබුනි. පොලීසිය මාර්ග බාධක අටවා ඔවුන් ජනාධිපති කාර්යාලය වෙත යාම වැලක් වීය. ඉක්බිතිව රැවිඋඒස කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද භික්ෂුව ඇතුලු නියෝජිතයන් කිහිප දෙනෙක් පමනක් ජනාධිපති කාර්යාලය වෙත පොලීසිය විසින් කැඳවාගෙන යනු ලැබීය. ජනාධිපති වෙත යොමු කෙරුන සන්දේශයක් එහි දී නියෝජිතයන් ජනාධිපති මාධ්‍ය සම්බන්ධතා ලේකම් වරයෙකුට බාර දී ඇත.

උද්ඝෝෂකයන්ගේ ගමනට පොලීසිය මාර්ග බාධක අටවා තිබුනි.

සන්දේශයේ අරමුන ගැටලුව පිලිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීම හා නිසි බලධාරියා ලෙස ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීම බව කැඳවුම්කරු ඥානානන්ද මාධ්‍යට ප්‍රකාශ කලේ ය. “මේ සම්බන්ධයෙන් ආන්ඩුව අරගෙන තියෙන එකදු පියවරක්වත් සාධනීය නැති බව” ඔහු සඳහන් කලේ ය.

රට තුල රැකියා විරහිත උපාධීධාරීහු 60,000 ක ට ආසන්නව සිටිති. බලයේ පැවති සියලු ධනපති ආන්ඩු රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව විසඳීමට අසමත්ව ඇත. තරුනයන් ට රැකියා දසලක්ෂයක් සම්පාදනය කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ පොරොන්දු විය. උපාධිධාරීන් මහපාරේ “රස්තියාදු” නොකරන බවත්, උගතුන් රටට “සම්පතක්” බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිවරන උද්ඝෝෂනයේ දී පැවසී ය. නමුත් එම සියලු ප්‍රකාශ හුදෙක් චන්දය ගසාකෑමේ පොරොන්දු පමනි.

ආර්ථික අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරී පුරප්පාඩු 20,000 ක් පිරවීම සඳහා යයි පවසමින් ආන්ඩුව පසුගිය වසරේ සම්මුක පරීක්ෂන කැඳවීය. එයට 57,000 ක් පමන උපාධීධාරීහු අයදුම් කලහ. ඉන් 5000 ක් තෝරා ගෙන පසුව 4800 ට රැකියා දෙන බව ආන්ඩුව කියා ඇතත් මෙතෙක් ඔවුන් කිසිවෙකුටත් රැකියා ලබා දී නැත.

ගිය වසරේ පලමු අදියරේ සම්මුඛ පරීක්ෂන වලින් පත්වීම් නොලද අය සඳහා නැවතත් ජූලි මාසයේ සම්මුඛ පරීක්ෂන කැඳවන ලෙස ජූනි 14 දාතමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එවූ ලිපියකින් දැනුම් දී ඇත. මේ සම්මුඛ පරීක්ෂනයට ලකුනු ලබා දීමක් නොකෙරෙන බවත් මෙම වසරේ ජූනි මාසය අවසන් වීමට පෙර උපාධියක් ලබා තිබේ ද? වයස අවුරුදු 45ට අඩු ද ? යන කරුනු එහි දී පරීක්ෂා කල යුතු බවත් එහි සඳහන් වී ඇතැයි වාර්තා වේ. මෙම සම්මුඛ පරීක්ෂනය පාදකව සැප්තැම්බර් 03, තවත් 15 000ක් සංවර්ධන නිලධාරීන් ලෙස පුහුනු කිරීමට අමාත්‍යාංයට බඳවා ගන්නා බව ද නිවේදනය කර ඇත.

එහෙත්, ජුනි 19 වැනි දා අමාත්‍ය මන්ඩල හමුවක දී ජනාධිපති සිරිසේන, ජූලි 2 වැනි දා ලබා දීමට නියමිත ව තිබු පත් වීම් පන් දහස අත්හිටුවීමට තීරනය කලේ ය. එම පිරිස තෝරා ගැනීමේ දී දේශපාලන අත පෙවීම් සිදු වී ඇති බව ද, රැකියා ලබා දීමේ දි අභ්‍යන්තරව උපාධිය හැදෑරූවන්ට ප්‍රමුඛත්වය දිය යුතු බව ද එහිදී සිරිසේන පවසා ඇත.

මීට පෙර සම්මුඛ පරීක්ෂනයේ ලකුනු මත කොටසකුත්, ඉතිරි අයට නැවතත් ලකුනු රහිත සම්මුඛ පරීක්ෂනයක් කැඳවා 15 000 කු ත් වශයෙන් දෙවිධියකට තෝරා ගැනීම හා අභ්‍යන්තර හා බාහිර වශයෙන් උපාධිධාරීන් වර්ග කිරීම කෙරෙහි රැකියා විරහිත උපාධිධාරීහු විරෝධය පාති. අභ්‍යන්තර හා බාහිර වසයෙන් වර්ග කිරීම රැකියා විරහිත උපාධිධාරීන් බෙදා ඔවුන්ගේ සංවිධාන ශක්තිය දුර්වල කිරීමේ කුට උපායකි. සම්මුඛ පරීක්ෂනයේ ලකුනුවලට මුවා වී දේශපාලන ලයිස්තු සකසන බවට ද උපාධිධාරීහු චෝදනා කරති.

රැකියා නොලැබීම නිසා උපාධිධාරීහු විවිධ දුෂ්කරතා වලට මුහුන දී සිටිති. ඇතැම්හු දරුවන් සහිත විවාහකයෝ ය. ඇතැම්හු තම වයස් ගත දෙමාපියන් සහ සහෝදර සොහෝදරියන් සහිත පවුල් රැක බලා ගත යුතු ය. රාජ්‍ය අංශය සඳහා රැකියා දීමේ දී පනවා ඇති වයස් සීමාව සමහරුන්ගේ ඉක්මවා ගොසිනි. බොහෝ දෙනකු ජීවිතය ගැට ගසා ගැනීම පිනිස රාජ්‍ය හා පුද්ගලික අංශයේ අර්ධ කාලීන රැකියා වල නිරතව සිටින අතර සමහරු ඉඳිකිරීම් වැනි අංශවල එදිනෙදා වැඩ වල යෙදෙති.

කැලනිය විශ්ව විද්‍යාලයෙන් 2016 වසරේ දී තම උපාධිය ලබා ගත් දිසානායක තමන් මුහුන පා සිටින කොන්දේසි ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලේ ය.

ඔහු ගේ පියා ජීවතුන් අතර නැත. පවුලේ සාමාජිකයන් පස් දෙනෙකි. ඔහු දැන් ජීවත් වන්නේ මව ගේ ගොඩ ගොවිතැනට උදව් වීමෙනි. වර්ෂාව මත රඳා පවතින මෙම කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායම අනියත බව ඔහු පවසයි.

“රජය උත්සහ කරන්නේ නොයෙක් බෙදීම් නිර්මානය කරල ඒ මගින් මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න. මුලින් ම වයස අවුරුදු 35 ට අඩු වැඩි වශයෙන් භේදයක් නිර්මානය කරන්න හැදුවා. සාමාන්‍ය උපාධිය, විශේෂ උපාධිය වශයෙන් බෙදන්න හැදුවා. 2015 දී සිරිසේන කිව්වේ උපාධිධාරීන් ගෙදර තියන්නේ මාස 6 ක් විතරයි කියලා. වික්‍රමසිංහ කිව්වා දස ලක්ෂයක් රැකියා හදනවා කියලා. ඒ එකක්වත් ඉටු වුනේ නැහැ”.

රුපියල් පන්දහසක මහපොල දීමනාව ලැබුන ද ඇතැම් මාසවල හිඟ වියදම් සොයා ගැනීම සඳහා රාත්‍රී 10-11 වන තෙක් ම කොන්ක්‍රීට් ස්ලැබ්වල වැඩ කිරීමට සිදු වූ බව ඔහු පැවසී ය. සමහර විට එවන් ඉදි කිරීමේ වැඩපලවල හරියට වැටුප් ගෙවීම් සිදු නොවන බව ද ඔහු සඳහන් කලේ ය.

ඇල්පිටියේ පදිංචි ජයසිරි හපුගොඩ වයස අවුරුදු 48ක් වන එක්දරු පියෙකි. ඔහු 2013 වසරේ රුහුනු විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් හිමි කර ගත්තෙකි. වසර 8ක් ඔහු පාසල් දෙකක ස්වෙච්ඡා ගුරුවරයෙක් වශයෙන් සේවය කර ඇත. ඔහු තම සේවය ස්ථිර නොකිරීම ගැන නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ ය. එම නඩුවේ තීන්දුව වූයේ ඔහුව සේවයේ ස්ථිර විය යුතු බවයි. නමුත් තවම එය ඉටු වී නැත.

මොනරාගල නිශාන්ත 2015 දී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තෙකි. “විශ්ව විද්‍යාලය ඉලක්ක කර ගෙන ඉගෙන ගත්තේ හොඳ රැකියාවක් බලාපොරොත්තුව. අවුරුදු තුනක් තිස්සෙ සුදුසු රැකියාවක් හොයා ගන්න නොගත් මහන්සියක් නැහැ. මේ ආන්ඩුව බලයට එද්දි යහපාලනය කියලා සංකල්පයක් පෙන්නුවා. රටට හොඳ පාලන සංස්කෘතියක් ඇති වෙයි කියල අපි හිතුවෙ. නමුත් දැන් වෙලා තියෙන්නෙ ඒකෙ සම්පූර්න අනික් පැත්ත.”

තවත් උපාධිධාරිනියක් පැවසුවේ මෙම ප්‍රශ්නයට පසු ගිය මාස 6 ඇතුලත අට වතාවක් කොලඹ ඒමට සිදු වූ බවයි. තමන් රැකියාවක් ඉල්ලා සිටින්නේ 2012 වසරේ සිට බවත් පැවති ආන්ඩු දෙකෙන් ම තමන්ට සාධාරනයක් ඉටු නොවූ බවයි. කම්කරුවන් ගේ ඉල්ලීම් හෝ රැකියා ලබා දීමට ආන්ඩුව පසු බෑවද මැති ඇමතිවරුන් ගේ වරප්‍රසාද ඉහල දමා ගැනීමේ දී ඒ අමාරුකම් නොමැති බව ඇය පැවසුවා ය.

ආන්ඩුව මත වඩ වඩා පීඩනය යෙදීමෙන් උපාධිධාරීන්ට රැකියා ලබා ගත හැකි වෙතයි රැකියා විරහිත උපාධිධාරී සංගම් ඔවුන් අතර මිත්‍යාවක් වපුරති. උපාධිධාරීන්ගේ ගැටලුවට විසඳුම් ලැබෙන තුරු අඛන්ඩව උද්ඝෝෂනය කරන බව 4 වෙනිදා මාධ්‍යවලට ප්‍රකාශ කල රැවිඋඒස කැඳවුම්කරු ඥානානන්ද “ඡන්ද කාලේ මේ පාර ආන්ඩුවට අන්නන ඇන්නිල්ල උපාධිධාරීන්ගෙන් බලා ගන්න කියල අපි කියනවා.” යයි තර්ජනයක් ද කලේ ය.

ඒ සමගම, උපාධිධාරීන් ට රැකියා සම්පාදනය කිරීමේ “ජාතික ප්‍රතිපත්තියක්” සකස් කරන ලෙස ද රැවිඋඒස ධනපති ආන්ඩුවෙන් ඉල්ලයි.

එහෙත් පෙර පැවති ධනපති ආන්ඩු මෙන් ම, වර්තමාන ආන්ඩුව ද ක්‍රියා කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග වලට අනුවය. රාජ්‍ය වියදම් කපන ලෙස ජාමුජ ආන්ඩුවට නියෝග කර ඇත. රාජ්‍ය අංශයේ පවතින රැකියා කප්පාදුව සහ නව බඳවා ගැනීම් හැකි තරම් සීමා කිරීම හා රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය ද ඊට ඇතුලත් ය. උවමනාවට වඩා රාජ්‍ය අංශයේ රැකියා ලබා දී ඇති බවත් රැකියා සම්පාදනය සඳහා එහි තව දුරටත් ඉඩක් නැති බවත් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෑත දී ප්‍රකාශ කර තිබුනි.

රැකියා විරහිතකම ඉහලයාම සෑම රටකම තරුන ජනයා අද මුහුන දෙන ප්‍රධාන ප්‍රශ්නයකි. ලෝක ධනවාදය ගැඹුරුවන ආර්ථික අවපාතයකට ඇදවැටී ඇති තතු තුල ධනපති ආන්ඩුවල පිලිවෙත වී ඇත්තේ තරුන ජනයා සඳහා රැකියා සම්පාදනය නොව, රැකියා අවස්ථාවන් ද තරුනයන් සහ ශිෂ්‍යයන් සඳහා වන සමාජ සුබසාධන ද අතුගා දැමීමය.

ලෝකයේ කවර රටක වේවා රැකියා විරහිත තරුන ජනයාට රැකියා ලබා ගත හැක්කේ ධනවාදය පෙරලා දමා සමාජවාදී විද්‍යාත්මක ආර්ථික සැලැස්මක් ක්‍රියාවට දැමීමෙන් පමනි. ශ්‍රී ලංකාවේ දී එය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අරගලය සමග බැඳී ඇත. ධනවාදය පෙරලා දමා සමාජවාදය තහවුරු කිරීමේ අරගලයට නායකත්වය දිය හැකි සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තියයි. මෙම සටනට උරදීම සඳහා රැකියා විරහිත උපාධිධාරීන් සහ තරුනයන් කම්කරු පන්තියේ නායකත්වය යටතේ පෙල ගැසිය යුතු ය.

මෙම වැඩ පිලිවෙල කම්කරුවන් සහ තරුනයන් වෙත ඉදිරිපත් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතාශි) ය. සසප සහ සසජාතාශි සමග එක් වෙමින් මෙම අරගලයට උරදෙන ලෙස රැකියා විරහිත උපාධිධාරීන් සහ තරුනයන් ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: