පාලක පන්තිය විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය දෙමල විරෝධී උද්ඝෝෂනයක් ඇවිලවීමට ඩහැ ගනී

නවීන් දේවගේ විසිනි, 2018 ජූලි 20

ජූලි මස දෙ වැනි දින යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයක් අමතමින් ලමා කටයුතු පිලිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදු කල ප්‍රකාශයක් දඩමීමා කර ගනිමින් කම්කරු පීඩිත මහජනතාව ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තලා දැමීමත් කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ අවමං ගත කිරීමත් ඉලක්ක කර ගත් දෙමල විරෝධී වර්ගවාදී උද්ඝෝෂනයක් ඇවිලවීමට ධනපති සංස්ථාපිතයේ දේශපාලකයන්, ධනපති මාධ්‍ය, සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී සංවිධාන ඇතුලු කොටස් කටයුතු කරමින් සිටිති.

උතුරු නැගෙනහිර දෙමල ධනපති ජාතික රාජ්‍යයක ඉදිරි දර්ශනය ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රතික්ෂේප කරන අතර ම මහේෂ්වරන්ට තමන් දරන දේශපාලන අදහස ප්‍රකාශ කිරීමටත් ඒ වෙනුවෙන් සංවිධානය වීමටත් උද්ඝෝෂනයේ යෙදීමටත් ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිලිගනී.

මහේෂ්වරන් කල කතාවේ පරමාර්ථය වූයේ කොලඹ ආන්ඩුවේ නොතැකීම නිසා උතුරේ මහජනතාව අතර වර්ධනය වී ඇති වෛරය දකුනේ කම්කරුවන්ට එරෙහි වර්ගවාදී මාවත් ඔස්සේ හරවා එක්සත් ජාතික පක්ෂයට සුදු හුනු ගෑමයි. උතුරේ විරැකියාව වර්ධනය වී ඇත්තේ උතුරේ රැකියා අවස්ථා ද දකුනේ අයට දීම නිසා බව පැවසූ ඇය 2015 ජනාධිපතිවරනයේ දී දුන් පොරොන්දු ඉටු නොවීම ගැන, “ජනාධිපතිව පත් කරලා ගෙනාවේ මේකට ද? එයා ගේ පක්ෂය විතරක් දියුනු කරනවා; මිනිසුන්ව ආරක්ෂා කරල නෑ” යි චෝදනා කලා ය.

කෙසේ නමුත් ඇය තම කතාවේ දී උතුරේ මහ ජනතාව ගේ ජීවන කොන්දේසි ගැන මතු කල කාරනා ඇය ම නියෝජනය කරන ආන්ඩුවටත් ධනපති පාලක පන්තියටමත් එරෙහි චෝදනා පත්‍රයකි. උපාධිධාරීන් ද ඇතුලත් තරුන විරැකියාව-එනිසා ම දුෂ්කර ශ්‍රම කොන්දේසි යටතේ වැඩ කිරීමට සිදුව තිබීම, මත්ද්‍රව්‍ය භාවිතය ඉහල යාම සහ සිය දිවි නසා ගැනීම්, පුනරුත්ථාපනය කල එල්ටීටීඊ සාමාජිකයන් මුහුන දෙන කොන්දේසි, උතුරේ 30 000ක් පමන වැන්දඹු පවුල් ආදායම් නොමැති වීමෙන් හිඟා කෑමට සිදු වන තත්ත්වයනට පත්ව තිබීම ඇය තම කතාවේ දී මතු කල කාරනා ය.

තමන් නියෝජනය කරන ආන්ඩුවට මේවා විසඳා ගැනීමට නොහැකිව ඇත්තේ ශ්‍රීලනිපය සමඟ හවුල් ආන්ඩුවක් කරන නිසා බවත් තනි එජාප ආන්ඩුවක් යටතේ උතුරු පලාත් සභාවට ඉඩම් හා මූල්‍ය බලතල ලබා ගැනීමෙන් මේවා විසඳා ගත හැකි බව සාවද්‍ය ලෙස ඒත්තු ගැන්වීමට ඇය තම කතාවේ දී උත්සහ ගත්තේ අගමැති වික්‍රමසිංහ කෙරෙහි පූර්න විශ්වාසය තබන මෙන් ඉල්ලමිනි.

තරුන කාන්තාවන් හා ලමුන් ලිංගික හිංසනයන්ගෙන් පීඩාවට පත් වන බව සාධාරන හේතුවක් කර ගනිමින් “අපේ ලමයි, අපේ ගැහැනු අය පාසල් ගොස් නැවත නිවෙස් කරා එන තත්ත්වයක් ඇති කිරීමට නම් නැවත එල්ටීටීඊ පාලනයක් පැමිනිය යුතුයි.” යි ඇය පැවසුවේ ‘රට විනය ගත කිරීමට’ නම් රුදුරු පොලිස් පාලනයක් ගෙන ආ යුතු ය යනුවෙන් ධනපති පාලක පන්තිය ගෙන යන උද්ඝෝෂන ය ම පෙරට ගැනීමට යි.

මේ ප්‍රකාශයේ වාච්‍යාර්ථය දකුනේ සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් විසින් වහා ඩැහැ ගැනුනේ දෙමල ජනයාට එරහි දැනුවත් ප්‍රකෝපකරනයක් අවුලුවාලීමටයි.

ධනපති මාධ්‍ය තම ප්‍රධාන ප්‍රවෘත්තිය බවට ප්‍රකාශයේ මේ කොටස අල්ලා ගනිමින් ඊට තම දායක්තවය යුහුසුලුව ලබා දුන් හ. පන්ති අරගලය කෙරෙහි වෛරී සහගතව තම ප්‍රචාරනයන් ගෙන යන ධනපති මාධ්ය මහේෂ්වරන් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දකුනේ දැවැන්ත මහජන විරෝධයක් ඇති සෙයක් මවා පෑමට උත්සාහ කරයි.

ජල සම්පාදන කම්කරුවන්, තැපැල් කම්කරුවන් ආදි වශයෙන් එකකට එකක් පසුව පසුගිය මාස ගනනාව පුරා පුපුරා ගිය විරෝධතාවන් වලදී උතුරේත් දකුනේත් කම්කරුවන් ඒකාබද්ධතාවක් පෙන්වීම ධනපති පන්තියේ කන්ඩායම්වල කනස්සල්ලට හේතු වී ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ කොටස් මේ ප්‍රකාශයේ එල්ලෙමින් සිරිසේන – වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි මහජන විරෝධය තම වාසියට හරවා ගැනීමේ තැතක යෙදී සිටිති.

මහේෂ්වරන් ප්‍රකාශය සිදු කොට දිනක් ගත වීමටත් පෙර රැස්වූ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ, සිය කතාව හරහා මහේෂ්වරන් “ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුකර” ඇති බැවින් ඇයට “පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අයිතියක් නැතැයි” පවසමින් මෙම වර්ගවාදී උද්ඝෝෂනයට නෛතික පදනමක් සපයමින් මිලිටරි පොලිස් මර්දන යන්ත්‍රයේ සහයද මෙම වර්ගවාදී උද්ඝෝෂනයට කැඳවීමට ඉඩකඩ විවර කලේ ය. ඊටම රුකුල් දෙමින් දයාසිරි ජයසේකර මහේෂ්වරන් සම්බන්ධයෙන් පරීක්ෂනයක් කිරීම “සීඅයිඩී” ය කැඳවුම් කරන ලෙස ඉල්ලා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුන මෙම රාජ්‍ය මර්දනය දරදඬු කිරීම ඉල්ලා සිටින ප්‍රජාතන්ත්‍ර විරෝධී උද්ඝෝෂනයට නොවලහා පෙල ගැසුනේ ය. එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ මෙවැනි “බරපතල” ප්‍රකාශයන් සිදුකල හැකිව ඇත්තේ “රටේ නීතියක් ” නොමැති නිසා බවයි. කේ.ඩී. ලාල්කාන්ත මහේෂ්වරන්ට දේශපාලනයට ඒමට හැකි වුනේ ඇගේ සැමියා එල්ටීටීඊය විසින් ඝාතනය කෙරුනු නිසා බව පවසමින් ඇයව එම ඝාතනයට පැටල වීමේ අශෝභන කතාවක් කලේ ය.

මේ ප්‍රයත්නයේ තවත් දුර යමින් අන්තවාදී සිංහල - බෞද්ධ ස්වෝත්තමවාදී කල්ලියක් වන රාවනා බලය “බුද්ධි අංශ” වලින් ඇයව “අත්අඩංගුවට ගැනීමට” ඉල්ලා සිටිමින් විවෘතවම මිලිටරි පොලිස් මර්දන යන්ත්‍රය වර්ගවාදී උද්ඝෝෂනයේ සහයට කැඳවුම් කලේය. මේ වන විට එම පරීක්ෂන කටයුතු ආරම්භ කෙරී ඇත. අධිකරනය ඇගේ ප්‍රකාශයට අදාලව සියලු ම තොරතුරු ලබා දෙන මෙන් නියෝග කර ඇත. පාර්ලිමේන්තුවේ ද ඇය ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්දැයි පරීක්ෂනයක් පවත්වයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකල වික්‍රමසිංහ “රටේ ඒකීය භාවය හා බුද්ධාගමේ ඒකීයභාවය ආරක්ෂා කරගනිමින්” දෙමල ජනතාවට ඇති ප්‍රශ්න විසඳා ගැනීමට [ඉතිරි වී] “තිබෙන” බව ප්‍රකාශ කරමින් සිය ආන්ඩුව කෙරෙහි දෙමල ජනයා තුල පුපුරා ගොස් ඇති විරෝධය සමහන් කිරීමේ අසාර්ථක උත්සහයක යෙදෙමින් ම වර්ගවාදී උද්ඝෝෂනයට සිය පූර්න එකඟත්වය පල කලේය. එක්සත් ජාතික පක්ෂයේ ම ඇමතිවරු කන්ඩායමක් ඇයව පක්ෂයෙන් නෙරපා දැමීමට උද්ඝෝෂනයක් ගෙන යමින් සිටිති.

ඇය සාමාජිකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂය ම මෙසේ පිලිබිඹු කල දෙමල විරෝධී උද්ඝෝෂනය සමග පෙල ගැසීම, කූඨප්‍රාප්තියකට පැමිනියේ පක්ෂය විසින් මහේෂ්වරන්ට එරහිව විනය පරීක්ෂනයක් අරඹන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ය.

තමන් සිදු කල ප්‍රකාශය මාධ්‍ය මගින් පරිවර්තනය කොට ඉදිරිපත් කිරීමේ දී සිදු කර ඇති විකෘතියක් නිසා එයට සාවද්‍ය අර්ථකථනයක් ලැබී ඇතැයි ද කෙරී ගෙන යන පරීක්ෂනවලට තම පූර්න සහයෝගය පල කරන බව මහේෂ්වරන් පවසයි.

මහේෂ්වරන් ගේ මෙම ප්‍රකාශය ගලා එන්නේ ඇයගේ ම පන්ති පදනම තුලිනි. ඇය දෙමල ව්‍යාපාරික ප්‍රභූවේ ම සාමාජිකාවකි. ඔවුන් ගේ ගනන් බැලීම් ඇත්තේ කොලඹ ආන්ඩුව සමඟ සබඳතා තර කර ගෙන තම වරප්‍රසාද තහවුරු කර ගැනීම කෙරෙහි ය. දෙමල ප්‍රභූවේ මේ සම්බන්ධයෙන් ඇත්තේ මේ සඳහා කවර උපාය මාර්ගයක් තෝරා ගන්නවාද යන මත බේදය පමනි.

දෙමල ජාතික සන්ධානයේ ද පාර්ශ්වයක් වන ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් පැවසුවේ දෙමල ජනතාවට “යලි සන්නද්ධ අරගලයක් අවශ්‍ය නොවන බව” තමන් හට “සියට සියයක් විස්වාස” බවයි. උතුරු පලාතේ විපක්ෂ නායක එස්. තවරාජා මහේෂ්වරන්ගේ ප්‍රකාශය “පිස්සු ප්‍රකාශයක්” ලෙස හැඳින්වී ය. පසුගිය ආන්ඩුව එල්ටීටීඊ සංවිධානය පවතිද්දී පොරොන්දු වූ දේ මේ ආන්ඩුව විසින් ඉටු නොකරන්නේ දැන් එල්ටීටීඊය නැති නිසා එම පොරොන්දු අවලංගු යයි සිතා නම් ඇගේ ප්‍රකාශයේ වරදක් නැති බව දෙමල ජාතික සන්ධානයේ සුමන්තිරන් පැවසී ය. තවත් අවස්ථාවක දී රන්ජන් රාමනායක ගේ දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් මහේෂ්වරන් ම එල්ටීටීඊ ඉදිරි දර්ශනයට තරුනයන් අතර ප්‍රසාදයක් නැති බව පැවසුවා ය.

එල්ටීටීඊය සටන් වැදුනේ උතුරු නැගෙනහිර වෙනම දෙමල ජාතික රාජ්‍යයක් පිහිටුවා ගැනීමේ ඉදිරි දර්ශනයෙනි. ඒ සඳහා ඔවුන් ආරම්භයේ පටන් ම කම්කරු පන්තියට විරුද්ධ ආස්ථානයක් ගත්තේ අධිරාජ්‍යවාදී බලයන් වෙත වාරු වෙමිනි.

පිවිතුරු හෙල උරුමයේ උදය ගම්මන්පිල සිලෝන් ටුඬේ පුවත් පතට ලියන තම කොලමේ, “විජයකලා නීතියට ඉහලින් ද?” යන මැයෙන් ජූලි 15 ලියූ ලිපියේ දී දෙමල ජාතිකවාදීන් දඩයම් කර ගැනීමට ව්‍යවස්ථාව යොද ගත හැකි ආකාරය පැහැදිලි කරයි.

මෙය ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා යයි පවසන ධනපති ව්‍යවස්ථාවේ ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රෝඩාකාරී ස්වභාවය එලිමහනට ගෙනෙන නිදර්ශනයකි. මිලිටරි බලහත්කාරය දෙමල ජනතාව මත යොදන අතරේ ම “ජනවර්ග අතර වෛරය වැපිරෙන ප්‍රකාශ” ගැන ගම්මන්පිල ඇතුලු සිංහල ස්වෝත්තමවාදී ධනපති කොටස් ගෙන යන උද්ඝෝෂන අන්තයට ම කුහක ය.

ධනපති ව්‍යවස්ථාවේ අරමුන කම්කරු පීඩිත මහජනතාව ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම නොව, කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව ප්‍රතිගාමී සිංහල බෞද්ධ ඒකීය ජාතික රාජ්‍යය ආරක්ෂා කිරීමයි. භාෂනයේ නිදහස, සංවිධානය වීමේ නිදහස, තමන් දරන දේශපාලන මතවාදය නිසා පලිගැනීමට ලක් නොවීමේ නිදහස ආදී මූලික මිනිස් අයිතිවාසිකම් රකින්නේ යයි කියන ධනපති ව්‍යවස්ථාව ම යොදා ගෙන ධනපති පන්තියේ ම තවත් කන්ඩායමකට සාහසික අයුරන් කඩා පැනීම කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයට කෙරෙන අනතුරු හැඟවීමකි. මහජනතාවට තමන් ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සාක්ෂාත් කර ගත හැක්කේත් රැක ගත හැක්කේත් ධනපති පන්ති පාලනයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් යටතේ සංවිධානය වීමෙන් පමනි.

Share this article: