ජූලි හතර වැනිදා ඇමරිකාව: තෝමස් ජෙෆර්සන්ගේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වා

America on the Fourth of July: From Thomas Jefferson to Donald Trump

2018 ජූලි 4

ජූලි හතර වැනිදා සලකුනු කරන්නේ උතුරු ඇමරිකානු මහාද්වීපයේ නැගෙනහිර මුහුදුබඩ ජනපද දහතුනක් මහා බ්‍රිතාන්‍යයෙන් ද බ්‍රිතාන්‍ය කිරීටයෙන් ද ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමට ඒකමතිකව ඡන්දුය දුන් දිනයේ 242වැනි සංවත්සරය යි. තෝමස් ජෙෆර්සන් විසින් ලියන ලද නිදහසේ ප්‍රකාශනය, ශ්‍රේෂ්ට විප්ලවවාදී ලියවිල්ලක් ලෙස පවතී.

ආරම්භක පීතෘවරුන්ගේ ක්‍රියාකාරිත්වය තුල පැවති ඓතිහාසික සීමාසහිතකම් පිලිබඳව මාක්ස්වාදීන් හොඳින් දැනුවත් ය. සියවස් ගනනාවක් වැඩවසම්වාදී ඒකාධිපතිත්වය හා ආගමික බුද්ධිරෝධනවාදයෙන් ඒ වනවිට මතු වෙමින් සිටි ඔවුහු නව ධනේශ්වර ලෝකයේ පුරුෂයෝ වූහ. කෙසේ නමුත්, සමකාලීන මධ්‍යම පන්තික අනන්‍යතා දේශපාලනය විසින් ඉතිහාසය පිලිබඳ පශ්චාත්නූතනවාදී විනිර්මානය කිරීමට වඩා වැඩි පිලිකුල් සහගත දෙයක් නොමැත. එය පදනම් වන්නේ ප්‍රකාශනය තුල සාරාංශ කෙරෙන බුද්ධිප්‍රබෝධයේ සංකල්ප වන “සියලු මනුෂ්‍යයෝ සමානව නිර්මානය කෙරෙන අතර, ඔවුන්ගේ නිර්මාතෘ විසින් ඔවුන්ට ලබා දී ඇති ඉවත් කල නොහැකි අයිතීන් අතර ජීවිතය, නිදහස හා සතුට සොයා යාම” යන්න ප්‍රතික්ෂේප කිරීම මතය.

අද මෙම ප්‍රකාශනයේ ඕනෑ ම කියවීමක් ඇමරිකානු සමාජය හසුරුවන පාලක පන්තිය පිලිබඳ පිලිකුලක් ලෙස නැගී සිටි යි. එතුල නම් කෙරුනු සෑම මූලික අයිතියක් ම විවෘතව හෙලා දකිනු ලැබේ. ජූලි හතරවැනිදා සැමරෙන්නේ සංක්‍රමනිකයන් දැවන්ත ලෙස ගාල් කිරීම, ජනාධිපති ට්‍රම්ප් ගේ විවෘත ෆැසිස්ට්වාදී ප්‍රකාශ, හා වර්තමාන සමූහ සිරකඳවුරු ඉදි කිරීමේ තතු යටතේ ය.

ට්‍රම්ප් විසින් සංක්‍රමනිකයන් පිටුවහල් කිරීමට එරෙහිව ජූනි 30වැනිදා පැවති විරෝධතාවට පසුව, අවධාරනය කල යුත්තේ, “විදේශිකයන්ගේ ස්වභාවික දේශානුවර්තනය සඳහා වන නීතිවලට බාධා කිරීම” හා “විවිධ දිසාවන්ට සංක්‍රමනයන් දිරි ගැන්වීමට අනෙකුන් ට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කිරීම” මගින් ජනපද 13ට සංක්‍රමනිකයන් ඒම වැලක්වීමට ප්‍රයත්න දැරීම, නිදහසේ ප්‍රකාශනය තුල ජෝජ් රජුට එරෙහිව චෝදනා කෙරුනු එක් වරදක් වූ බවයි.

ප්‍රකාශනයේ බොහෝ අනෙකුත් ඡේද ද 2018ට වලංගු ය.

“සිවිල් බලයෙන් ස්වාධීන මෙන් ම ඊට උත්තරීතරව මිලිටරිය යොදා ගැනීමට ඔහු ක්‍රියා කර ඇත.”

ට්‍රම්ප් තම පාලනාධිකාරියේ ඉහල තනතුරුවල මිලිටරි නායකයින් තබා ඇති අතර, සමාජ සේවාවන්ගේ වියදමින් වාර්තාගත මිලිටරි අයවැයක් (ඩිමොක්‍රටික් පක්ෂයේ සහාය ඇතිව) සම්මත කල අතර වොෂින්ටන් නගරය ඔස්සේ පෙර නො වූ විරූ මිලිටරි පෙලපාලියක සැලැසුම් නිවේදනය කලේ ය. ට්‍රම්ප් තම ෆැසිස්ට්වාදී දේශපාලනය වර්ධනය කරන අතර, ඩිමොක්‍රටිකයෝ මිලිටරි-ඔත්තුසේවා සංවිධනවල අපරාධකරුවන් ප්‍රජාතන්ත්‍රවාදයේ ශ්‍රේෂ්ට නියෝජිතයන් ලෙස නගා සිටුවති.

“ජනපදවල වැසියන් අතර සිදු කරනු ඇති ඕනෑ ම මිනීමැරුමක් සඳහා දඬුවම් දීමෙන් ඔවුන් (බි්‍රතාන්‍ය හමුදා භටයන්) ආරක්ෂා කිරීමට ව්‍යාජ නඩු ඇටවීම.”

සිවිල් වැසියන්ට වෙඩි තැබූ බ්‍රිතාන්‍ය හමුදාවන්ට ජෝජ් රජු නීතිය ක්‍රියාත්මක නොකල අතර, සමස්ත දේශපාලන සංස්ථාපිතය ම එක්සත් ජනපදය තුල වසරකට 1000ට වඩා සිවිල් වැසියන් ඝාතනය කරන නිල ඇඳුම් ලා ගත් පොලීසියට එම දේ ම කර යි. ට්‍රම්ප් පාලනාධිකාරිය පොලිස් ඝාතන සම්බන්ධයෙන් වන ඉතාමත් බෙලහීන අධීක්ෂන පවා නවතා දමා ඇති අතර එවැනි අපරාධ වෙනුවෙන් පොලීසිය මත වගකීම පැවරීමේ ඕනෑ ම උත්සාහයක් ප්‍රතික්ෂේප කර ඇත.

“බොහෝ නඩුවල දී, ජූරි සභාවක් විමසීමේ වාසිය අපට අහිමි කිරීම”

සංක්‍රමනික හා රේගු බලගැන්වීමේ ඒජන්සිය හෝ දේශසීමා ආරක්ෂන හමුදාව මගින් අල්ලා ගැනුනු සංක්‍රමනිකයන් අධිකරනය ඉදිරියට පැමිනීම තුරන් කර දැමීමට ට්‍රම්ප් ඉල්ලා ඇත්තේ, ජූරියක් කෙසේ වෙතත් නඩු කාරයෙකු ඉදිරියට හෝ යෑමකින් තොර ව ඔවුන් රටින් එලවා දැමිය යුතු යයි පවසමිනි. ට්‍රම්ප්ගේ පූර්වගාමී ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා යටතේ, ජාත්‍යන්තර නීතිය හෝ නියමිත පටිපාටියකින් තොර ව, ඩ්‍රෝන් යානා මගින් එල්ල කෙරෙන කෘස් මිසයිල යොදා ගනිමින්, ග්‍රහ ලෝකය මත ඕනෑ ම පුද්ගලයෙකු ඝාතනය කිරීමේ ඔහුගේ අයිතිය ප්‍රකාශ කෙරුනි.

“මෙම මර්දනයන්ගේ සෑම අවස්ථාවක දී ම ඉතාමත් නිහතමානී වචනවලින් සහන සඳහා අපි ආයාචනා (පෙත්සම්) ඉදිරිපත් කර ඇත්තෙමු. අපගේ පුනරාවර්ත අභියාචනාවලට උත්තර දී ඇත්තේ පුනරාවර්ත හිංසාවන්ගෙනි.”

ඊට පෙර වසර 30 තුල පාරට බැස තිබූ සංඛ්‍යාවට වඩා, පසු ගිය මාස 18 පුරා ට්‍රම්ප් පාලනාධිකාරියේ ප්‍රතිපත්තිවලට එරෙහිව බොහෝ පුද්ගලයන් පෙලපාලි දක්වා ඇත. ධවල මන්දිරය විරෝධතාවන් නො සලකා හරින අතර තම දක්ෂිනාංශික වියරුව සමග ඉදිරියට තල්ලු වන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය ඒ ගැන කිසිවක් නො කරන බවට වන අවබෝධය තුල ආරක්ෂාව සලසා ගනිමිනි.

තම විප්ලවවාදී සමෘද්ධි සමයේ, තෝමස් ජෙෆර්සන්ගේ සිට ඒබ්‍රහම් ලින්කන් දක්වා, ඇමරිකානු ධනේශ්වරයට අතිවිශාල හැකියාව, අධිෂ්ඨානය හා දේශපාලන පෙරදැක්මක් සහිත දේශපාලන නායකයින් ඉදිරිපත් කිරීමට හැකි විය. ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික පරිහානියේ එක් ප්‍රමානාංකයක් වන්නේ, පාලක ප්‍රභූව තම ප්‍රමුඛ නායකයින් ලෙස තෝරා ගන්නා අය පිලිබඳ ව වන පහතට රූටා යාමයි. බිලියනපති රැවටිලිකාරයෙකු, දේපල වෙලඳාම් වංචාකාරයෙකු මෙන් ම “රියලිටි ටෙලිවිෂන්” තරුවක් ද වන, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හාස්‍යජනක පෙනුම තුල කූඨප්‍රාප්ත වන්නේ එය යි.

නාසිවාදය “බල්ලාගේ බිරුම හා ඌරාගේ ගෙරවීමේ” මට්ටමට දේශපාලන චින්තනය පරිහානියට පත් කල බව ලියොන් ට්‍රොට්ස්කි වරෙක ප්‍රකාශ කලේ ය. ට්‍රම්ප්ගේ ට්වීටර් කයිවාරු හා නින්දා කිරීම් එයම කරන්නේ, සමාජ මාධ්‍ය කාලපරිච්ඡේදයක දී ය.

කෙසේ නමුත්, ට්‍රම්ප් පාලනාධිකාරිය යටින් පවතින සමාජ ව්‍යාධියක ප්‍රකාශනයකි, පාලක පන්තිය තුල ඔහුගේ විරුද්ධවාදීන් එහි තවත් ප්‍රකාශනයකි. ඔහුගේ ඩිමොක්‍රටික් විරුද්ධවාදීහු ඇමරිකානු ධනවාදයට එරෙහිව වැඩි වෙන සමාජ විරුද්ධත්වය “බේද වැපිරීමේ” රුසියානු උත්සාහයේ නිර්මිතයක් ලෙස පින්තාරු කිරීමට උත්සාහ ගනිති. චෝදනා කෙරෙන මොස්කව් මැදිහත්වීම නො වන්නේ නම් ඇමරිකානු සමාජය මිහිපිට පාරාදීසයක් වන්නා සේ ය.

ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ආරම්භක ජේම්ස් පී. කැනන්, සමාජවාදීන් ජූලි 4වැනිදා සැමරිය යුත්තේ ඇමරිකානු විප්ලවවාදීන් “සියලුම මානව වර්ගයාට නව කාල පරිච්ඡේදයක පොරොන්දුවක් විවෘත කල යම් දෙයක් ආරම්භ කල” නිසා යැයි වරෙක ලිව්වේ ය. “නමුත් ආරම්භය අවසානයක් ලෙස ද, පොරොන්දු ඒවා මුදුන්පත් වීමක් ලෙස ද, නියෝජනය කරන ජූලි හතරවැනිදා දේශන කිසිවෙකු විසින් මට විකිනිය ලැබිය නොහැකි”යැයි ද ඔහු සඳහන් කලේ ය.

1776 බොහෝ ශ්‍රේෂ්ට සිදුවීම්වල ආරම්භය විය. ඒවා 1789 ප්‍රන්ස විප්ලවය හා 19වැනි සියවසේ ශ්‍රේෂ්ට නැගිටීම් මෙන් ම, ඊට අඩු නැතිව, පෞද්ගලික දේපලක් වූ වහල් භාවය විනාස කර මිලියන ගනනාවක් නිදහස් කල සිවිල් යුද්ධය තුල ඇමරිකානු “දෙවැනි විප්ලවයට” ද පෙලඹවී ය. නමුත් රූපික ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස හා නීතිය ඉදිරියේ සමානත්වය ස්ථාපිත කෙරුන ද “මුදුන්පත්වීම”, කැනන්ගේ වචනවලින් කියතොත්, අවංක සමාජ සමානත්වය හා අවංක ප්‍රජාතන්ත්‍රවාදය ගෙන නො ආවේ ය. ධනේශ්වර දේපල සම්බන්ධතාවන් මත පදනම් වූ සමාජයක් තුල එය ඉටු කල නො හැකි විය.

අද ඇමරිකානු විප්ලවයේ ප්‍රජාතන්ත්‍රවාදී පොරොන්දු හා ඇමරිකානු ධනවදයේ යතාර්ථය අතර ප්‍රතිඝතිතාවන්, සමාජ අසමානතාවයේ පෙර නොවූ විරූ පරිමානයේ විදාරනයවීමකට බඳුන්වී බිඳ වැටීමට ආසන්න මොහොතකට ලඟා වී ඇත. ආන්ඩුව මර්දනයේ බියකරු යන්ත්‍රයකි, මිලිටරි-ඔත්තුසේවා සංවිධානයක් වන එය ම කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වල මහත්ම තර්ජනය වී ඇත.

ඇමරිකානු සමාජය තුල ඇමරිකානු විප්ලවයේ ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයන් ආරක්ෂා කල හැකි එක ම පන්තිය කම්කරු පන්තිය යි. මෙම අයිතීන් ආරක්ෂා කිරීමේ ද සමාජ අසමානතවට විරුද්ධ වීම, සංක්‍රමනිකයන් පිටුවාහල් කිරීම අවසාන කිරීම හා ලෝක යුද්ධය දෙසට වන තල්ලුව නතර කිරීමේ ද සටන, මූල්‍ය කතිපයාධිකාරියේ ඒකාධිපතිත්වය හා එය පාලනය කරන ධනේශ්වර පද්ධතිය සමග අනිවාර්ය ගැටුමකට කම්කරු පන්තිය ගෙන එයි.

මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය විසින් ජූලි හතරවැනිදා පිලිබඳ සෑම සැමරීමක දී ම අනිවාර්යයෙන් ම නො සලකා හැරෙන්නේ ස්වාධීනතා ප්‍රකාශනය තුල ගැබ් වෙන අතිමූලික ප්‍රතිපත්තිය යි, එනම් ඕනෑම රූපාකාරයක ආන්ඩුවක් මහජනතාවගේ අයිතීන්ට විනාසකාරී වන්නේ නම්, “ජනතාවගේ ආරක්ෂාවට හා සන්තෘප්තියට වඩාත් ම බලපාන අයුරින් වන මූලධර්ම මත සංවිධානය වන ලෙස පදනම සකස් කර ගනිමින් බලය සංවිධානය කර ගැනීම සඳහා පවතින ආන්ඩුව අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට ජනතාවට බලය තිබේ” යන්නයි.

ඇමරිකානු කම්කරුවන්ගේ මෙම පරම්පරාව ද, එමෙන් ම ලෝකය පුරා කම්කරුවන් ද පවත්වා ගෙන යාමට බැඳී සිටින්නේ මෙම අයිතිය යි.

පැට්‍රික් මාටින්

Share this article: