ග්‍රීසිය තුල යුරෝපා සංගමයේ කප්පාදු වැඩසටහන ගැන සිරිසාව පැවැත්වූ ජනමත විචාරනයෙන් තෙවසරකට පසු

Three years since Syriza’s referendum on EU austerity in Greece

2018 ජූලි 6

ග්‍රීසියේ (“රැඩිකල් වමේ සභාගය” හෙවත්) සිරිසා ආන්ඩුව විසින් යුරෝපා සංගම් (යුසං) කප්පාදු පිලිවෙත් ගැන ජනමත විචාරනයක් පැවැත්වීමෙන් තුන්වන වසර ඊයේ (ජූලි 5)ට යෙදුනි. මිලියන ගනනක ග්‍රීක කම්කරුවන් “එපා” යනුවෙන් දුන් ඡන්දය සිරිසාව විසින් යටපත් කිරීමේ ජාත්‍යන්තර අදාලත්වය, යුරෝපයේ ද ලෝකය පුරා ද කම්කරුවන්ගේ පුලුල් කොටස් ධනවාදී කප්පාදු පිලිවෙත් වලට එරෙහි ව අරගලයට පිවිසෙද්දී කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීමක් බවට වඩ වඩාත් පත්වේ.

2008 වෝල් වීදියේ මූල්‍ය බිඳවැටීමේ පටන් ජීවන තත්ත්වයන් සියයට 30කින් පිහෙලන ලද කප්පාදු පිලිවෙත්වලට එරෙහි පුලුල් ශිෂ්‍ය විරෝධතා ද ග්‍රීක රාජ්‍ය අංශයේ, වරාය හා රූපවාහිනී ක්ෂේත්‍රයන්වල කම්කරුවන්ගේ වැඩ වර්ජන ද පැනනැඟීමෙන් වසරකට පසුව, 2015 ජනවාරියේ සිරිසාව බලයට පත් විය.

යුසං හා ධනවාදයේ රාමුව තුල මහජනයාගේ ජීවන තත්ත්වයන් වැඩි දියුනු කරන බව ද එහි කප්පාදු ගිවිසුම ඉරා දමන බව ද යුසං සමග සබඳතා ගැන යලි සාකච්ඡා කරන බව ද සිරිසාව පවසා තිබුනි. මාස හයකට පසුව එම ඉදිරිදර්ශනය අසාර්ථක වූ අතර එක්කෝ නව ගැඹුරු කප්පාදු සිදුකරන ලෙසට හෝ ග්‍රීසිය බංකොලොත් භාවයට ඇද දමමින් නය කපාහැරීමකට මුහුන දෙන ලෙසට වූ යුසං විධානයන්ට සිරිසාව මුහුන දුනි. අගමැති ඇලෙක්සි සිප්රාස්, 2015 ජූලි 5දා යුසං කප්පාදු පිලිවෙත් පිලිබඳ ජනමත විචාරනයක් කැඳවුම් කලේ ය.

දිගහැරුනු සිද්ධීන් පෙන්නුම් කල තිත්ත පාඩම වූයේ, කම්කරු පන්තිය සඳහා එකම ඉදිරි මාවත, බලය සඳහා කරන විප්ලවීය සමාජවාදී අරගලය බව යි. ධනවත් මධ්‍යම පන්තිය මත පදනම් වූ ද න්‍යායික ව පශ්චාත්-නූතනවාදය සහ ලිංගික හා වාර්ගික අනන්‍යතා දේශපාලනය තුල මුල්බැස ඇත්තා වූ ද බංකොලොත් ප්‍රති-මාක්ස්වාදී සිරිසාව වැනි පක්ෂවල සමස්ත ජාත්‍යන්තර ස්ථරයකින් කම්කරුවන් වෙන්කරන පන්ති අගාධය එම සිද්ධීන් විසින් පරිපූර්න ලෙස හෙලිදරවු කලේ ය.

ජනමත විචාරනයේදී කම්කරු පන්තිය පෙන්නුම් කලේ තමන් සටන් කිරීමට සූදානම් බව යි. යුසං විසින් බැංකු වලට ඇප දීමට විරුද්ධ ව ඡන්දය පාවිච්චි කිරීම ව්‍යසනයක් නිර්මානය කරතියි කියා සිටිමින්, “ඔව්” ඡන්දයක් සඳහා මාධ්‍ය එකපැහැර ගෙනගිය ප්‍රචාරනය කම්කරු පන්තිය විසින් ප්‍රතික්ෂේප කලේ ය. මෙම තර්ජනය කිරීම් නො තකා, සියයට 61කට වැඩි පිරිසක් කප්පාදුවලට “එපා” යයි ඡන්දය දුනි.

එහෙත් සිරිසාව ප්‍රතිචාර දැක්වූයේ, තමන්ම පැවැත්වූ ජනමත විචාරනය පාවාදෙමිනි. යුසංන් වෙන් නො වන බව නිවේදනය කල සිප්රාස්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පැසොක් හා දක්ෂිනාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී යන කප්පාදු අනුමත කල පක්ෂ හමුවන බව කියා සිටියේ ය. සතියක් ගතවන්නටත් මත්තෙන් විශ්‍රාම වැටුප්, වේතන හා සෞඛ්‍යාරක්ෂනවලින් යුරෝ බිලියන 13ක් කපා හරින්නා වූ හා රටපුරා වරායන් හා ගුවන් තොටුපොලවල් පුද්ගලීකරනය කරන්නා වූ පනතකට ඔහු අත්සන් තැබී ය.

ව්‍යාජ-වාම සිරිසාව විසින් අටවන ලද දේශපාලන උගුලක තමන් පැටලී ඇති බව කම්කරු පන්තිය දැකගත්තේ ය. “වාම” යයි කියාගන්නා පක්ෂයක් තෝරා පත්කරගත් ඔවුන් මුහුන දුන්නේ, කප්පාදුවේ, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ප්‍රහාරයේ හා අධිරාජ්‍යවාදී යුද්ධයන්ට සහයෝගය දීමේ දක්ෂිනාංශික පිලිවෙත් පැටවීමට අධිෂ්ඨාන කරගත් ආන්ඩුවකට ය.

මෙම ජනමත විචාරනය පදනම් වූයේ බොරු මත ය. තමන් “එපා” යයි ඡන්දයක් ලබා දෙන ලෙසත් යුසං සමග කේවලයේ දී ශක්තිමත් තැනක තමන් තබන ලෙසත් ඉල්ලා සිටින බව සිප්රාස් කියා තිබුනි. “ජනමත විචාරනයෙන් පසු අපගේ ඉලක්කය වන්නේ, සාකච්ඡා සඳහා හොඳින් සන්නද්ධ ව සිටීම යි” යනුවෙන් ඔහු ප්‍රකාශ කලේ ය.

සිප්රාස් රුදුරු කප්පාදුවක් පැටවීම ආරම්භ කරද්දී, ඔහු ජනමත විචාරනය කැඳවන ලද්දේ නරුම උපායක් ලෙස පමනක් බව සිරිසාවේ ජාත්‍යන්තර සහකරුවෝ පිලිගත් හ.

ස්පාඤ්ඤයේ පොදේමොස් හා ප්‍රන්ස නව ධනපති-විරෝධී පක්ෂයේ බ්‍රිතාන්‍ය පැබ්ලෝවාදී සහකරුවා වන තරික් අලි මෙසේ ලීවේ ය: “සිප්රාස් හා ඔහුගේ අභ්‍යන්තර කවය අපේක්ෂා කලේ ‘ඔව්’ හෝ ඉතා තුනී ‘එපා‘ ඡන්දයක් බවට තවදුරටත් සැකයක් නැත. ... සිප්රාස් ජනමත විචාරනයක් පැවැත්වූයේ ම මන්ද? ‘ඔහු අතිශය දෘඪ හා දෘෂ්ටිවාදී’ යයි මර්කෙල් ඇයගේ උපදේශකයන්ට පැමිනිලි කලා ය. එතරම් නම් හොඳ ය. එය වනාහි ගනන් බලා ගත් අවදානමක් විය. ‘ඔව්’ පාර්ශවය ජයග්‍රහනය කරනු ඇතැයි සිතූ ඔහු, යුසං රූකඩයන්ට ආන්ඩුව කරගෙන යාමට ඉඩ දී ඉල්ලා අස්වීමට සැලසුම් කලේ ය.”

ජනමත විචාරන උද්ඝෝෂන සමයේ “ඔව්” යන ඡන්දයකට පසුව තමන් සන්තෝෂයෙන් ඉල්ලා අස්වන බව කියා සිටි සිරිසාවේ මුදල් ඇමති යානිස් වරුෆාකිස්, ජනමත විචාරනය ජයගනු ඇතැයි පෙනුනු රාත්‍රීයේ සිරිසාව තුල බිය, සන්ත්‍රාසය හා කෝපය අරක්ගෙන තිබුනේ කෙසේදැයි ඔහුගේ මෑත පලකල ඇඩල්ට්ස් ඉන් ද රූම් (කාමරය තුල වැඩිහිටියන්) නමැති කෘතිය තුල යලි මතකයට නංවයි.

මැක්සිමෝ අගමැතිවරයාගේ නිවහනට එම රාත්‍රීයේ ගමන් කරන විට පැවතුනු මනෝගතිය ඔහු මෙසේ විස්තර කරයි: “මැක්සිමෝට (අගමැතිට) දැනුනේ කනත්තක සිටින මෘතශරීරයකට දැනෙන සීතල යි.” ඔහු සිප්රාස් මුනගැසුනු විට, අගමැතිවරයා ග්‍රීක දේශපාලනඥයින් ම මරා දැමුනු පෙර සිද්ධීන් ගැන සඳහන් කලේ ය. වරුෆාකිස්ට අනුව, “සමූහාන්ඩුවේ ජනාධිපති ස්ටෞර්නරාස්, රහස් තොරතුරු සේවා හා අපේ ආන්ඩුවේ සාමාජිකයන් ‘අප්‍රමාද ව බලා සිටින’ තත්ත්වයක සිටි බව කියමින්, කුමන්ත්‍රනයකට සමාන දෙයක් සිදුවිය හැකි” බවට සිප්රාස් අනතුරු ඇඟවී ය.

යුසං නියෝග පැටවීමට තමන් අසමත් වුවහොත්, කර්නල්වරුන්ගේ ෆැසිස්ට් ජුන්ටාවක් බලයේ පිහිටුවමින් 1967 දී සිදුකල සීඅයිඒ පිටුබලය සහිත මිලිටරි කුමන්ත්‍රනයක් සමගින් තමන්ගේ ම ආන්ඩුවේ කොටස් එක්වනු ඇතැයි යන ප්‍රතිගාමී තර්ජනය හමුවේ, සිප්රාස් කප්පාදු-ගැති මාවත තෝරා ගත්තේ ය.

මෙම ඓතිහාසික පාවාදීම, සිරිසාව බලය ගැනීමටත් පෙර හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) කල අනතුරු ඇඟවීම සනාථ කලේ ය. සිරිසාව කම්කරුවන්ට තිත්ත ලෙස හතුරු යයි අනතුරු ඇඟවූයේ හජාජාක පමනි. එහි තක්සේරුව පදනම් වී තිබුනේ ස්ටැලින්වාදී හා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි රාජ්‍ය ධනවාදී කන්ඩායම්වලට එරෙහි ව දශක ගනනක් තිස්සේ ට්‍රොට්ස්කිවාදීන් ගෙනගිය අරගලයේ පාඩම් මත වන අතර, එවන් සංවිධානවල ග්‍රීක නියෝජිතයන් මුලුමනින් ම සිරිසාවට ඒකාග්‍ර වී තිබුනි. සිරිසාව ගැන ඔවුන් විග්‍රහ කලේ “සමස්ත වමේ හා අපගේ ජනතාවගේ අවසන් ජයග්‍රහනය සඳහා ... පූර්ව කොන්දේසියක් වන” දේශපාලනික ව “විස්ථාපනය කල නො හැකි” දෙයක් ලෙස යි.

“වැඩකරන ජනයා සඳහා සිරිසා ආන්ඩුව අර්බුදයෙන් එලියට මාවතක් නියෝජනය නො කරනු ඇත; ඒ වෙනුවට එය නියෝජනය කරනු ඇත්තේ යෝධ අන්තරායකි. එහි වාමාංශික මුහුනත් තහඩුව තිබිය දී, සිරිසාව යනු ධනවත් මධ්‍යම පන්තියේ ස්ථරයන් මත පදනම් වන ධනපති පක්ෂයකි. එහි පිලිවෙත් නීර්නය කරනු ලබන්නේ, පවත්නා සමාජ පර්යාය රැකගෙන එමගින් සිය වරප්‍රසාද ආරක්ෂා කරගැනීමට මං සොයන වෘත්තීය සමිති නිලධරයන්, ශාස්ත්‍රාලිකයන්, වෘත්තිකයන් හා පාර්ලිමේන්තු නිලධරයන් විසිනි” යයි සිප්රාස් බලයට එද්දී හජාජාක[2015 ජනවාරි 24 ඉදිරිදර්ශන ලිපිය] ලිවී ය.

ලොවපුරා ව්‍යාජ-වාම සංවිධාන, සිප්රාස් කැඳවුම් කල ජනමත විචාරනය ඔහු හා සිරිසාව සටන දියත් කිරීමට සූදානම් වන බවට තහවුරු කිරීමක් යයි උත්කර්ෂයට නංවමින් සිටිය දී, 2015 ජුනි 27දා නිකුත් කල ප්‍රකාශනයකින් එම ජනමත විචාරනය “කම්කරුවන්ගේ හා මධ්‍යම පන්තියේ පලල් කොටස්වල වියදමෙන් බැංකු විසින් ග්‍රීසිය කොල්ලකෑමට ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සුජාතකරනයක් ලබාදීමට සැලසුම් කරන ප්‍රතිගාමී ප්‍රෝඩාවක්” බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවී ය.

එම අනතුරු ඇඟවීමේ වචනයක් වත් වෙනස් කිරීම අවශ්‍ය නැත. සිරිසාව මුලුමනින් ම දක්ෂිනාංශික මාවතක් අනුගමනය කර ඇත්තේ, සමාජ පිරිවැය මත යුරෝ දසබිලියන ගනනක කප්පාදු පටවමින් හා යේමනය තුල එක්සත් ජනපද පිටුබලය සහිත ලේවැකි යුද්ධයක් දියත් කිරීම සඳහා සවුදි අරාබියට ආයුධ විකුනමිනි. කම්කරුවන් වර්ජන ක්‍රියාමාර්ග ගැනීමෙන් වැලැක්වීමට යුසං නීති එය විසින් බදාගෙන තිබෙනවා පමනක් නො වේ; සිරියාවේ හා ඉරාකයේ යුද්ධ හේතුවෙන් පලා එන සරනාගතයන් දහස් ගනනක් රුදුරු කොන්දේසි යටතේ තබන යුසි කෲර සංක්‍රමන-විරෝධී පිලිවෙත හා එකපෙලට සිටිමින් “විශේෂ” රැඳවුම් කඳවුරු සිරිසාව විසින් පවත්වාගෙන ගොස් ඇත.

සිරිසාව උත්කර්ෂයට නැංවීම මගින් ව්‍යාජ-වාම පක්ෂ පෙන්නුම් කලේ ඔවුන් ද ඒ හා සමාන පිලිවෙත් ක්‍රියාවට දමනු ඇති බව යි. සත්‍ය වසයෙන් ම, සිරිසාවේ සමීපතම සගයා වන පොදේමොස් පක්ෂය, කප්පාදු පිලිවෙත් හා මිලිටරි ගොඩනැංවීම් දිගට ම කරගෙන යන හා හිටපු ස්පාඤ්ඤ දක්ෂිනාංශික ආන්ඩුවේ කැටලාන් දේශපාලන සිරකරුවන් සිරබාරයට යවන සුලුතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුවේ ප්‍රධාන මුක්කුව යි.

ග්‍රීක කම්කරුවන්ට සිරිසාව ගැන අනතුරු ඇඟවීම මගින් හජාජාක සටන් වැදුනේ විප්ලවවාදී විකල්පයක් ගොඩනැගීමට යි. සිරිසාවේ අත්දැකීම අවධාරනය කර තිබෙන්නේ, කම්කරු පන්තිය සඳහා එකම ශක්‍ය මූලෝපාය බොල්ශෙවික් පක්ෂයේ හා 1917 ඔක්තෝබර් විප්ලවයේ සම්ප්‍රදායන් කරා යලි හැරීම පමනක් බව යි. ග්‍රීසිය තුල සිරිසාවේ පාවාදීමේ දේශපාලන පාඩම් යන සිය ප්‍රකාශනය තුල හජාජාක මෙසේ අවධාරනය කලේ ය:

...නව වාම ධනේශ්වර ආන්ඩු පත්කර ගැනීම මගින් කම්කරු පන්තියට ආරක්ෂා වීගත නොහැකි වේ.

එකම ඉදිරි මාවත පවතින්නේ, ග්‍රීසියේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය අරගලය තුල බලමුලුගන්වන, අව්‍යාජ විප්ලවවාදී ප්‍රතිපත්තියක් තුලිනි. එය ධනපති පන්තිය ට එරෙහිව ඍජු ප්‍රහාරයක් ඉල්ලා සිටී. ඔවුන්ගේ ධනය රාජසන්තක කොට, ප්‍රධාන බැංකු හා නිෂ්පාදන බලවේග අත්පත්කර ගෙන ඒවා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍ර පාලනය යටතේ තැබීම සඳහා යුරෝපයේ හා ලොව පුරා කම්කරු රාජ්‍ය නිර්මානය කල යුතුව ඇත. එවැනි අරගලයකට කම්කරු පන්තියට දේශපාලන නායකත්වය ලබා දීම උදෙසා සිරිසා ජාතියේ පක්ෂ වලට එරෙහිව නිර්දය අරගලයක් මගින් මාක්ස්වාදී පක්ෂ ගොඩනැගීම අවශ්‍ය ය.

.......(ග්‍රීසිය තුල සිරිසාවේ පාවාදීමේ දේශපාලන පාඩම් කම්කරු මාවත ප්‍රකාශන, 8පිටුව)

සිරිසා අත්දැකීමේ අතිමූලික පාඩම මෙය යි. සිරිසාවේ වාර්තාව දේශපාලනික ව කොපමන අපරාධකාරී වුවත්, එය තවමත් යුරෝපයේ, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර ව එවන් පාවාදීම් සිදුකිරීමට ධනේශ්වර පාලක පන්තියේ කැඳවීම් අපේක්ෂාවෙන් සිටින ව්‍යාජ-වාම සංවිධාන රොත්තක් සඳහා මොඩලය ලෙස සේවය කරයි.

එකම ඉදිරි මාවත වැටී තිබෙන්නේ, සිරිසාව වැනි ව්‍යාජ-වාම පක්ෂවලට එරෙහි සම්මුති විරහිත අරගලයක් තුලින් කම්කරු පන්තියට දේශපාලන නායකත්වය සම්පාදනය කිරීම පිනිස අව්‍යාජ විප්ලවීය මාක්ස්වාදී පක්ෂ ගොඩනැගීම තුල යි. දැන් වාරය එලඹී ඇත්තේ ග්‍රීසියේ ද යුරෝපය පුරා ද ජාත්‍යන්තර ව ද හජාජාක ශාඛාවන් ගොඩනැගීමට යි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: