මෙක්සිකානු මැතිවරනය සහ කම්කරු පන්තියේ දේශපාලන කර්තව්‍යයන්

The elections in Mexico and the political tasks of the working class

2018 ජුනි 30

ජූලි 1 වන ඉරිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරනය මෙක්සිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉදිරියේ අතිශය වැදගත් ප්‍රශ්න මතු කරයි.

ජනාධිපති එන්රික් පෙනා නිටෝගේ පීආර්අයි (ආයතනික විප්ලවවාදී පක්ෂය) පරිපාලනයේ දූෂිත සහ කුරිරු පාලනයේ හය වසරකට පසු මෙක්සිකෝව, වසංගත බඳු ප්‍රචන්ඩත්වයේ, පෙර නොවූ විරූ මට්ටමේ සමාජ අසමානතාවයේ, අති දරුනු විරුකියා මට්ටම් වල මෙන්ම ජනගහනයේ බහුතරයක් අතර ගැඹුරු වන දරිද්‍රතාවයේ මඩ ගොහොරුව තුල සිරවී ඇත.

1929 සිට 2000 දක්වා අවිවාදිත බලය දරා ගෙන සිටි පාලක පීආර්අයි පක්ෂය කෙතරම් තදබල ලෙස වෛරයට පාත්‍රව ඇත්ද යත්, පක්ෂයේ සමාජිකයෙකු පවා නොවන “තාක්ෂනික පරිපාලකයෙකු” වන හොසේ අන්තෝනියෝ මීඞ් සිය අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමෙන් පෙනේ. ඔහු ඡන්ද විමසිම් වලිදී තුන් වන ස්ථානය නියෝජනය කරන අතර පක්ෂය, ප්‍රාදේශීය, රාජ්‍ය සහ ෆෙඩරල් මට්ටම්වලින් රටපුරා පරාජයකට මුහුනපානු ඇති බවට පැහැදිලි ඉඩ කඩක් තිබේ.

නව සහශ්‍රය උදාවේ සිට පීආර්අයි ය මාරුවෙන් මාරුවට බලය හුවමාරු කරගනු ලැබූ දක්ෂිනාංශික පීඒඑන් (ජාතික ක්‍රියාකාරී පක්ෂය) අපේක්ෂක රිකාඩෝ අනායා, මෙක්සිකානු නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ හිටපු සභාපති ලෙස ඔහු පාලනය කල අල්ලස් හා දූෂන සම්බන්ධ දූෂිත පද්ධතියේ නියෝජිතයෙක් ලෙස පුලුල්ව හදුනාගැනේ.

මෙකී සාම්ප්‍රදායික පාලක පක්ෂ දෙක මහජනතාව විසින් විශාල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමත් සමග මොරේනා ((ඵදඩසපසැබඑද ාැ ඍැටැබැර්ජසමීබ භ්ජසදබ්ක) පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන මෙක්සිකෝ නගරයේ හිටපු නගරාධිපති සහ දැන් තෙවන වරට ජනාධිපති අපේක්ෂකයා, අන්ඩ්‍රf මැනුඑල් ලොපේස් ඔබ්රඩොර් ඓතිහාසික වශයෙන් පෙර නොවූ විරූ සීමාවකින් ජූලි 01 වනදා මැතිවරනය ජයගැනීම සැම ඡන්ද විමසීමකින් ම පාහේ ප්‍රක්ෂේපණය කෙරේ.

ලොපෙස් ඔබ්රේඩර්ගේ බලයට පැමිනීම පවත්නා අර්බුදයෙන් මිදීමට මාවතක් නොසපයනු ඇති අතර එමගින් එහි තියුනු ඉහල යාමක් සහ මෙක්සිකානු කම්කරු පන්තිය සදහා නව අන්තරායන් ඇති කරනු ඇත. කල් ගතවී නොව ඉක්මනින්ම මොරේනා පක්ෂයේ නායකත්වයෙන් යුතු පරිපාලනයක්, ලෝපෙස් ඔබ්රේඩර් නරුම ලෙස ගසා කෑ සමාජ කර්කෂභාවය හා පීඩාවන් අවසන් කිරීම සදහා වූ මහජන අභිප්‍රායන් පාවා දෙනු ඇත.

ලොපෙස් ඔබ්රේඩර් හෝ ඔහුව ප්‍රසිද්ධියේ හදුන්වන පරිදි අම්ලෝ කෙරෙහි ජනප්‍රිය මිත්‍යාවන් ඇති බවට කිසිදු සැකයක් නැත. 64 වියැති වෘත්තීය දේශපාලඥයෙකු වන ඔහු පීආර්අයි යෙන් ඔහුගේ වෘත්තීය දිවිය ආරම්භ කලේය. එයින් ඉවත්වී පීආර්ඩීයට බැඳී එහි ජනාධිපති අපේක්ෂක ලෙස දෙවරක් ඉදිරිපත් විය. මෙක්සිකෝවේ ශ්‍රම වෙලඳපොල, අධ්‍යාපන පද්ධතිය, බලශක්තිය, මූල්‍යය සහ විදුලි සංදේශ පද්ධතිය, නිදහස් වෙලඳපොල “ප්‍රතිසංස්කරන” සඳහා විවෘත කල පෙනා නිටෝගේ 2012 “මෙක්සිකෝව සදහා ගිවිසුම” අත්සන් කරමින් පීආර්ඩීය තියුනු ලෙස දකුනට හැරීමෙන් පසු ඔහු මොරේනා පක්ෂය ආරම්භ කලේය..

බදාදා රැ මෙක්සිකෝ සිටි හි දකුණු දිග ඇස්ටෙකා ක්‍රීඩාංගනය පිරූ සෙනගක් ඉදිරියේ කරලියට නැංවූ අම්ලෝගේ මැතිවරන ව්‍යාපාරයේ අවසන් රැස්වීම, ලොපෙස් පිළිබඳ ජනප්‍රිය මිත්‍යාවන් සහ ඔහුගේ පන්ති ආස්ථානයේ හා දේශපාලන වැඩපිලිවෙලේ යථාර්තය අතර තියුනු පරස්පර විරෝධයන්ගේ පින්තූරයක් සපයා ඇත.

අතීත පාලක පක්ෂයන් මැතිවරනය පරදින බව සහතික කරමින්, “එකට එක කිරීමක් සිදු නොවනු ඇති” බවට ඔහු පොරොන්දු විය. මෙයින් අදහස් කෙරෙන්නේ, අම්ලෝ විසින් සිය උද්ඝෝෂනයේ කේන්ද්‍රය බවට පත් කර ගත්, අයෝටසිනාපා හි ගුරු පුහුනු සිසුන් 43 දෙනා අතුරුදහන්වීම සහ සිතනා පරිදි මරා දැමීම ඇතුලු රාජ්‍ය ආරක්ෂක හමුදා විසින් සිදුකරන ලද අනේක ප්‍රමාන වෙනත් ඝාතන ද ඇතුලු, (මහා පරිමාන දූෂන ගැන සඳහන් නොකරතත්) පසුගිය වසර හයක කාලයේ අපරාධවලට දඬුවම් නොලැබෙනු ඇති බවයි.

“අපට හැකි පමනින් අපි එක්සත්කම සොයා යමු” යයි ඔහු පොරොන්දු විය. සත්‍ය වශයෙන්ම, දශක ගනනක් තිස්සේ පක්ෂ දෙකම විසින් සිදු කරන ලද කම්කරු විරෝධී පිලිවෙත්වල අඛන්ඩවත්වය සහතික කරමින්, හිටපු දක්ෂිනාංශික පීආර්අයි සහ පීඒඑන් නිලධාරීන් දැනටමත් අම්ලෝගේ අනාගත කැබිනට් එකට ඒකාබද්ධ කරගනිමින් සිටී.

ඔහු, ඔහුගේ එලි පිටම සිදු කරන ලද මෙක්සිකානු විරෝධී වර්ගවාදය, සංක්‍රමනිකයන් පීඩාවට පත් කිරීම සහ මෙක්සිකානු දේශ සීමාවේ සංක්‍රමනිකයන් වැලැක්වීම සදහා පවුරක් ඉදිකිරීමට මෙක්සිකෝව ඩොලර් බිලියන 15 ක් ගෙවිය යුතු බවට වූ ඉල්ලීම් නිසා, පෙනා නීටෝගෙන් පසු මෙක්සිකෝවේ වඩාත් ම වෛරයට පාත්‍ර වූ පුද්ගලයා වන ඩොනල්ඞ් ට්‍රම්ප් සමග සංවාදයකට සහ ගිවිසුම්වලට එලඹීමට වූ සිය සූදානම ඇඟවුම් කලේය. ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට ලතින් ඇමරිකාව සමීපව ගැටගැසීමේ හා කියුබාවේ බඳු වාම ජාතිකවාදී විප්ලවයන් ඇතිවීම වැලැක්වීමේ එල්ලය ඇතිව 1961 දී එක්සත් ජනපද ජනාධිපති කෙනඩි යටතේ ආරම්භ කරන ලද ආධාර වැඩසටහන වන “පැරනි, ප්‍රගතිය සඳහා සන්ධානය වැන්නක්” ඩ නිර්මානය කරන ලෙස තමා ට්‍රම්ප්ට යෝජනා කරනු ඇති බව අම්ලෝ පැවසීය.

ජුලි 1 වන දා මැතිවරනයෙන් නිසැක ජයග්‍රාහකයෙකු ලෙස ලෝපෙස් ඔබ්රේඩර් මතුවී ඇති හෙයින්, නව කියුබාවක් හෝ වෙනිසියුලාවක් බවට මෙක්සිකෝව පරිවර්තනය කිරීම වෙත නැමුනු දේශපාලකයෙකු ලෙස ඔහුව පෙරදී හෙලා දුටු මෙක්සිකෝ පාලන කතිපයාධිකාරය දැන් ඔහුව පිලිගැනීම දක්වා ගමන් කොට ඇති අතරම, ඔහුද ක්‍රමානුකූලව දකුනට ගමන්කොට ඇත.

සත්‍ය වශයෙන්ම, මෙක්සිකෝවේ ධනවත්ම හා ලෝකයේ හිටපු ධනවත්ම පුද්ගලයා වන කාලෝස් ස්ලිම්, අම්ලෝ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලැබීමට අසමත් වුවහොත්, රට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුන දෙනු ඇති බවට මෑතකදී අනතුරු ඇගවීය

මෙක්සිකෝවේ ප්‍රධාන බැංකු ප්‍රධානීන් අබියස මාර්තු මාසයේ දී පෙනී සිටිමින් මොරීනා පක්ෂයේ අපේක්ෂකයා, “රජයට ඉඩම් පවරා ගැනීම් හෝ ජනසතුකරනය කිරිම්” සඳහා වූ කිසිදු සැලැස්මකින් තොරව මෙක්සිකෝවේ “දේපල තන්ත්‍රය” පිලිගන්නා බවට සහතික විය. ඔහු “වෙලඳපොල ආර්ථිකය” කෙරෙහි වූ සිය භක්තිය දිව්රා සහතික වූ අතර සිය පිලිවෙත් “බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොකරනු ඇති බවට” පොරොන්දු විය.

එමෙන්ම, මෙක්සිකෝවේ පූර්වයෙන් රාජ්‍ය පාලිත බලශක්ති අංශය පෞද්ගලීකරනය කොට අන්තර්ජාතික බලශක්ති සංගත මගින් එය සූරාකෑමට විවෘත කිරීම සදහා එබදු කොන්ත්‍රාත් සියල්ලටම ගරු කරනු ඇති බවට පොරොන්දු වෙමින් ඔහුගේ සහායකයින් සහ උපදේශකයන් අම්ලෝ ගේ පූර්ව හෙලාදැකීම් වලින් ආපස්සට ගමන් කර තිබේ.

ලොපෙස් ඔබරේඩර් ගේ ජයග්‍රහනය පිලිබද වෙලඳපොලවල් දැනටමත් ගනන් බලා සමීකරනය කර ගන ඇති අතර, මෙක්සිකානු හා ලෝක ධනවාදයේ අවශ්‍යතාවයන්ට ඉන් තර්ජනයක් නොමැති බැව් ඒවා දක්නා බවට සියලු වාර්තා වලින් පෙනේ.

“මෙම ස්ථාවරත්වය සමහර විට විශ්මයජනක යයි කියත හැකියැයි “මෙක්සිකානු කොටස් වෙලඳ පොලේ අධ්‍යක්ෂ ජනරාල් ජොසේ ඔරියෝල් බෝෂ් ප්‍රකාශ කලේය. “ සෑම දෙයකම ඍනාත්මක පැතිකඩ සොයන්නන් හැම විටම සිටින නමුත් වෙලඳපොලවල් වල පෙන්නුම් කරමින් සිටිනා දෙය වන්නේ රට මෙකී ක්‍රියාවලිය සඳහා සූදානම් බවයි. ”

ඊට සමානවම මෑත මාසවලදී සිටි ගෘප් සහ ජේපී මෝගන් චේස් සහ සමාගම බදු ප්‍රධාන ජාත්‍යන්තර බැංකුවල විධායකයින් සමඟ වූ හමුවලින් පසු වෝල් වීදිය අම්ලෝගේ ජයග්‍රහනයක් පිලිබඳ සුභවාදී වේ.

මෙක්සිකානු පාලක පන්තිය තුල ගැඹුරු අර්බුදය සහ කටුක බෙදීම් තත්ත්වය තුල 2018 මැතිවරනය මහජන ඡන්දයෙන් නොව, මැතිවරන වංචා මගින් තීන්දු වනු ඇත, යන්න බැහැර කල නොහැකි ය. 1988 දී එබදු සිදුවීමක් සිදුවිය. ඒ පීආර්අයි අපේක්ෂක කාර්ලෝස් සැලිනාස් බලයේ පිහිටුවීම සදහා මැතිවරණය කවුටිමොක් කාඩෙනස් ගෙන් මැතිවරනය සොරකම් කිරීමයි.

මැතිවරන උද්ඝෝෂනය ආරම්භයේ පටන් දේශපාලනඥයන් 120 කට අධික සංඛ්යාවක් ඝාතනය කිරීමෙන් සමන්විත මෙය මෙක්සිකානු ඉතිහාසය තුල ප්‍රචන්ඩතම මැතිවරන වර්ෂය බවට පත්ව ඇත. මෙම ඝාතන සිදු වන්නේ අඩුගනනේ 35000 ක් අතුරුදහන් ලෙස වර්ග කොට ඇති රටක, මෙම මැතිවරන වසර තුල ජීවිත 8,000 ක් බිලි ගත්තා වූ අඛන්ඩ ප්‍රචන්ඩ ක්‍රියා මාලාවක සන්දර්භය තුලය.

පසුගිය වසරේ අභ්‍යන්තර ආරක්ෂාව පිලිබඳ නීතියක් සම්මත කිරීම මගින් යුද හමුදාව වීදි බස්සා හමුදා නීති වැනි නීති පැනවීමට ජනාධිපතිට බලය ලබා දී ඇත. කෙසේ වුවද, දහනශීලී මෙක්සිකෝව ප්‍රචන්ඩ සමාජ අරගල වලට සැනින් ඇද දැමීමට එබදු කොන්දේසි යටතේ ජනාධිපතිවරයෙකු පත්කිරීමට දරන කිසියම් උත්සාහයකට හැකියාව ඇත.

වඩාත් සරු මධ්‍යම පන්තික ස්ථර මත රැඳෙමින්, “බලාපොරොත්තුවේ” හා “වෙනසේ” පොරොන්දු දෙමින්, අපැහැදිලි වාමාංශික වාක්‍ය ඛන්ඩ යොදා ගන්නා මොරිනා බඳු ධනේශ්වර පක්ෂ හා සමඟ කටුක අත්දැකීම් ජාත්‍යන්තර කම්කරු පන්තිය සතුව ඇත. මෙක්සිකෝවේ උතුරු දේශසීමාවට ඔබ්බෙන්ම, එවන් අත්දැකීමකට ඇමරිකානු කම්කරුවන් මුහුන දුනි. ව්‍යාජ-වම්මුන් විසින් “පරිවර්තනයේ ජනාධිපති” ලෙස වර්නනා කල ඩිමොක්‍රටික් පක්ෂයේ බැරැක් ඔබාමා බලයට පැමිනි පසු, යුද්ධය ව්‍යාප්ත කල, පහල සිට ඉහල ස්ථර වෙත ධනය මාරු වී යාම වේගවත් කල, වාර්තාගත මට්ටම් දක්වා මහා පරිමානයේ පිටමං කිරීම් ඉහල දැමූ පිලිවෙත් ක්‍රියාත්මක කලේය.

තවදුරටත් ග්‍රීසියේ සිරිසා ව්‍යාපාරයේ මැතිවරන ජයග්‍රහනය ගනිමු. ලෝකය පුරා සුලු ධනේශ්වර වාම පක්ෂවල සුභාශිංසනය සහිතව යුරෝපා සංගමය පනවා ඇති කප්පාදු පියවර අවසන් කිරීමට දුන් පොරොන්දු වල පදනම මත 2015 දී බලයට පැමිනි එය, කප්පාදු පියවරයන් සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරන මහා නායයෑමක් බඳු ජනමත විචාරනයක් පාගා දමමින්, ජාත්‍යන්තර බැංකු විසින් ඉල්ලා සිටි කප්පාදු පියවර පනවමින් මාස ගනනකින්ම යටත් විය.

සිරිසා හා මොරේනා විසින් දියත් කළ උද්ඝෝෂන අතර කැපී පෙනෙන සමානකමක් ඇත. යුදෙව් විරෝධයේ විවෘතවම යෙදී සිටින අතරම සංක්‍රමන විරෝධී පිලිවෙත් වලට අනුබල දෙන සහ ග්‍රීක ඕතොඩොක්ස් පල්ලිය සඳහා සහාය දෙන දක්ෂිනාංශික ජාතිකවාදී පක්ෂයක් වන ස්වාධීන ග්‍රීකයන් සමග 2015 මැතිවරණයෙන් පසු සිරිසාව සභාගයක් පිහිටුවන ලදි.

අම්ලෝගේ ගේ මොරේනා පක්ෂය, සමලිංගික අයිතීන්, සම ලිංගික විවාහ සහ ගබ්සා කිරීම් වලට එරෙහිව උද්ඝෝෂනය කරන ශුභාරංචි සේවා කිතුනුවන්ගේ බහුතරයක් අයත් වන දක්ෂිනාංශික පක්ෂයක් වන සමාජ හමුවීම පක්ෂය ද ඇතුලත් සභාගයක කොටසක් ලෙස, ඉරිදා පැවැත්වෙන මැතිවරනයේදී තරග කරයි.

මෙම සුවිශේෂී සමමිතික බව කිසි අයුරකින් අහම්බයක් වන්නේ නැත. අවස්ථා දෙකේ දීම, අන්ත දක්ෂිනාංශිකයන්ගේ පක්ෂ සමග මෙකී “වාම” ධනේශ්වර අපේක්ෂකයන්ගේ සන්ධානය, වඩාත්ම දක්ෂිනාංශික පිලිවෙත් සඳහා වූ සහයෝගයද ඇතුලුත් ජාතික හා විදේශීය ප්‍රාග්ධනය යන දෙඅංශයේම අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීම සඳහා වූ වගකීම් දැරීමට ඔවුන්ට හැකි බවට පාලක සංස්ථාපිතය කෙරෙහි වූ නොවරදින සංඥාවක් නියෝජනය කරයි.

මොරීනා සහ අම්ලෝ ධනවාදයේ අවශ්‍යතා නියෝජනය කරයි. බලශක්ති වියදම් වල ඉහල දැමීමට එරෙහිව ගැසෝලයිනාසෝ විරෝධතාවයන්ගේ සිට ගුරුවරුන්ගේ වැඩවර්ජනවලට හා රාජ්‍ය ප්‍රචන්ඩත්වයේ ගොදුරු බවට පත්වූවන්ගේ මේවන විටත් පවත්නා අරගල වලට එරෙහිව මෙක්සිකානු කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ පුපුරන සුලු අරගල ලෝපෙස් ඔබ්රේඩර් වැලදගනු ලබනුයේවත් ඒවා පිලිගනු ලබනුයේවත් නැත යන කරුන සටහන් කර ගත යුතුය.

ජනතාවාදයේ ලාභතම ආකෘතිය වන දූෂනයට එරෙහි අරගලයක් පොරොන්දු වන අතර (දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කරනු නොලබන බවට සහතික වෙමින්ම) සහ දුප්පත් ජනතාව වෙනුවෙන් සමාජ සුබසාධන වැඩ සටහන් වල අවම වැඩිකිරීම් සහතික වන අතරම, ලෝපෙස් ඕබ්රේඩර් පරිපාලනය සහන සැලසීම් මගින් නොව අම්ලෝ වැලදගෙන ඇති මූල්‍ය ප්‍රභූවේ අවශ්‍යතාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුදුරු ප්‍රහාරයන් මගින් කම්කරු පන්තිය පීඩනයට ප්‍රතිචාර දක්වනු ඇති බවට නිසැකය.

මෙක්සිකෝවේ තියුනු අර්බුදය හා කම්කරු පන්තියට ස්වාධීන දේශපාලන විකල්පයක් නොමැතිකම මගින් අවධාරනය කෙරෙනුයේ ධනවාදය අවසන් කිරීමට එක්සත් ජනපදයේ හා ඇමරිකාව පුරා කම්කරුවන් සමග මෙක්සිකානු කම්කරු පන්තියේ අරගල ඒකාබද්ධ කිරීමට සටන් වදින නව විප්ලවවාදී නායකත්වයක් එනම් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවයයි.

බිල් වෑන් ඕකන්

Share this article: