බර්නී සෑන්ඩර්ස් රුසියානු විරෝධී උද්ඝෝෂනය වැලඳ ගනී

Bernie Sanders embraces the anti-Russia campaign

2018 ජූලි 23

වර්මොන්ට් ප්‍රාන්ත සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස් “ජාතියට මුහුන දෙනු” නම් සීබීඑස් (ඇමරිකානු) රූපවාහිනී විකාශයේ ඉරිදා සම්මුඛ සාකච්ඡා වැඩසටහනට සහභාගී වෙමින්, ඩිමොක්‍රටික් පක්ෂය ද මාධ්‍යයේ වැඩි කොටස ද තල්ලුව දෙන, එක්සත් ජනපද මිලිටරි-ඔත්තුසේවාවන්ගේ රුසියානු විරෝධී උද්ඝෝෂනය පූර්න ලෙස වැලඳ ගත්තේ ය.

සීබීඑස් සත්කාරක මාගරට් බ්‍රෙනන්ගේ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්, සෑන්ඩර්ස් රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් සමග හෙල්සින්කින්වල ට්‍රම්ප්ගේ හමුව හා මාධ්‍ය සාකච්ඡාව හෙලාදැකීමේ වාග් ප්‍රහාරයක් එල්ල කලේ ය. එහි මූලික පිටපතක් මෙසේ පවස යි:

සෑන්ඩර්ස්: “මම ඔබට කියන්න ඕනෑ හෙල්සින්කිවල ඔහුගේ හැසිරීම ගැන මම තදින් ම කෝප වෙලයි ඉන්නේ. එහිදී ඔහු ඇත්තටම ඇමරිකානු මහජනතාව විකුනුවා. ඒක මට හිතන්න සලස්වන්නේ එක්කෝ රුසියාව කරලා තියෙන්නේ මොකක්ද කියලා ට්‍රම්ප් දන්නේ නෑ, අපගේ මැතිවරනේදී විතරක් නොවෙයි, අපගේ පොදුකාර්ය පද්ධතියේ හැම කොටසකටම එරෙහිව සයිබර් ප්‍රහාරයෙන්, නැත්නම් ඔහු දන්නේ නෑ සමහර විට රුසියාව ඔහු බියවද්දලා කියලා, මන්ද ඔවුන් ඔහු ගැන දන්නා තොරතුරු නිසා ඔහු සම්මුති ගස්සමින් ඉන්නවා වෙන්න පුලුවන්”

“එහෙම නැත්නම් සමහර විට ඔබට ඉන්නෙත් ඇත්තටම දැඩි ආධිපත්‍යධාරී ප්‍රවනතාවත් තියෙන ජනාධිපති කෙනෙක්. සමහර විට පුටින් රුසියාවේ ගෙනියන ජාතියේ ආන්ඩුවක් ඔහු පිලිගන්නවා වෙන්ට පුලුවන්. මම හිතන්නේ ඒ ඔක්කොම ඇමරිකානු මහජනතාවට අවමානයක් වගේ ම අනර්ථයක්. එමෙන් ම අපිට සහතික කරන්න ඕනෑ අපගේ ඉලෙක්ෂන් එකේ දී පමනක් නොවෙයි, අපගේ ජීවිතයේ අනෙක් පැතිවලදීත් රුසියාව ඇඟලි ගහන්නෙ නෑ කියලා සහතික කර ගැනීම.”

පසු ගිය සතියේ අග කැන්සාස්වලදී ඔහු කල සඳහන් කිරීම් දෝංකාර නංවන මෙම අදහස්, සංඥා කරන්නේ ඩිමොක්‍රටිකයන් විසින් දියත් කරන්නා වූ ද මිලිටරි ඔත්තුසේවා සංවිධානවල ප්‍රමුඛ කන්ඩායම් විසින් තල්ලුව දෙන්නා වූ ද දක්ෂිනාංශික උද්ඝෝෂනය සෑන්ඩර්ස් විසින් වැලඳ ගන්නා බව යි. ට්‍රම්ප්ට වන ඔවුන්ගේ විරුද්ධත්වය විදේශ ප්‍රතිපත්ති ප්‍රශ්න මත කේන්ද්‍රගත වන්නේ, තමාගේ ම “ඇමරිකාව පලමුව” වර්ගයේ අධිරාජ්‍යවාදී මූලෝපාය හේතුවෙන්, අනුල්ලංඝනී යැයි සැලකෙන (විශේෂයෙන් ම රුසියාව සමග ගැටුමේ දී) භූ-මූලෝපායික ආඥාවන්ට ට්‍රම්ප් විරුද්ධව වී ඇත යි යන උත්සුකය මත පදනම් ව ය.

ට්‍රම්ප්ගේ සංක්‍රමනිකයන් පිටුවහල් කිරීම හා තම දෙමව්පියන්ගෙන් ලමයින් වෙන් කිරීම හෙලා දැකීමට, නැතහොත් ඔහු අන්ත දක්ෂිනාංශික නීතිවේදී බ්‍රෙට් කවනාහ් ශ්‍රේෂ්ඨාධිකරනයට නම් කිරීම ප්‍රතික්ෂේප කිරීමට, හෝ දරිද්‍රාපන්න කම්කරුවන් සඳහා වන සමාජ සත්කාර වැඩ සටහන් විනාස කිරීම යුක්ති සහගත කරනු පිනිස, “දුප්පත්කම මත යුද්ධය” ජයග්‍රාහී ලෙස අවසන් කර ඇත යි යන ධවල මන්දිරයේ ප්‍රකාශයට පහර දීමට හෝ සෑන්ඩර්ස් ජාතික රූපවාහිනී වැඩසටහනක තම කාලය යොදා නො ගනි යි. එමෙන් ම සෞඛ්‍ය රැකවරනය, රක්ෂා හා අධ්‍යාපනය වැනි දේශීය ප්‍රශ්න මත ඔහුගේ වාමාංශික යයි කියන වැඩසටහන ඉදිරිපත්කිරීමට හෝ උත්සාහ නො කලේ ය.

සෑන්ඩර්ස් රුසියානු විරෝධී උද්ඝෝෂනය වැලඳ ගැනීම පුදුමයක් නො ව, එය උපදේශාත්මක ය. මේ, විශේෂයෙන් ම, තෙමේ ම “වාමාංශික,” පමනක් නොව “සමාජවාදියෙක්” යැයි කියා ගත් පුද්ගලයෙකි. 2016 මැතිවරනය උද්ඝෝෂනය තුල දී, “බිලියනපති පන්තියට” එරෙහිව “දේශපාලන විප්ලවයක්” සඳහා තම ඉල්ලීමට මිලියන ගනනාවක පුද්ගලයන්ගේ සහයෝගය ඔහු දිනා ගත්තේ ය. ඩිමොක්‍රටික් පක්ෂ කක්ෂය තුල අවස්ථාවාදී හා අධිරාජ්‍යවාදී ගැති දීර්ග ඉතිහාසයක් ඇති සෑන්ඩර්ස් සම්බන්ධයෙන් ගත් විට, උද්ඝෝෂනයේ හැම විටම එල්ලය වූයේ සමාජ අසහනය සංස්ථාපිතයේ කානු ඔස්සේ හරවා යැවීමට ය, ඔහු හිලරි ක්ලින්ටන්ගේ උද්ඝෝෂනය අනුමත කිරීමෙන් එය මස්තකප්‍රාප්ත විය.

මැතිවරන උද්ඝෝෂනයට පසු, එක්සත් ජනපද සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂ දේශපාලන බල මන්ඩලයේ ඉහල මට්ටමේ තත්වයකට ඔහු එසවුනි. ට්‍රම්ප්ගේ සමාරම්භයට ඔහුගේ පලමු ප්‍රතිචාරය වූයේ ජනාධිපති “සමග වැඩ කිරීමේ” තම කැමත්ත ප්‍රකාශ කිරීමට ය. එය ට්‍රම්ප් තෝරා පත් කර ගැනීම, එය තුල සෑම පැත්තක් ම එකම කන්ඩායමක් වන, “බිත්ති ඇතුලත කෝලාහලයක” කොටසක් යැයි ඔබාමා විසින් කරන ලද සඳහන කිට්ටුවෙන් අනුගමනය කිරීමකි. කෙසේ නමුත්, මිලිටරි-ඔත්තුසේවා සංවිධානවල උද්ඝෝෂනය උග්‍රවත් ම, සෑන්ඩර්ස් එම මාවතට පිවිසෙමින් සිටී.

සෑන්ඩර්ස් සම්බන්ධයෙන් පමනක් නොව, සමස්ත දේශපාලන පරිසරය ද එය හා සම්බන්ධිත දේශපාලන ඉදිරිදර්ශනය ද සම්බන්ධයෙන් මෙම අත්දැකීම උපදේශාත්මක ය. ඩිමොක්‍රටික් පක්ෂය තුල වැඩ කිරීමේ අර්ථය මෙය යි. සෑන්ඩර්ස්ගේ උද්ඝෝෂනය ඩිමොක්‍රටික් පක්ෂය වමට තල්ලු නො කලේ ය, ඊට විපරීතව පාලක පන්තියේ රාජ්‍ය සංවිධාන සෑන්ඩර්ස් ගෙන ආවේ මුලුමනින් ම දක්ෂිනාංශික පක්ෂයකට “වාම” කඩතුරාවක් සැපයීමට ය.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ට (Democratic Socialists of America - DSA) අනුබද්ධ බොහෝ නව දේශපාලන නායකයෝ මෙම අරමුන සඳහා ම පෙරට ගෙන එනු ලැබ සිටිති. සෑන්ඩර්ස් තම රුසියානු විරෝධී බැන වැදීම කල අවස්ථාවේ, ඇලෙක්සැන්ඩ්‍රා ඔකාසිඕ-කොර්ටෙස් ඔහු ලඟින් වාඩි වී සිටියේ හිස සොලවා ඇගේ එකඟත්වය අඟවමිනි. ඩීඑස්ඒහි 28වියේ සාමාජිකාව නිව් යෝක් 14වැනි දිස්ත්‍රික් කොංග්‍රස් මන්ඩල ඩිමොක්‍රටික් නාම යෝජනා දිනුවේ, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඩිමොක්‍රටික් නායකත්වයේ හතරවැනි තැන ගන්නා සාමාජිකයා මෙන් ම දැනට සිටින ඩිමොක්‍රටිකයා වන ජෝශප් ක්‍රව්ලේගේ අසුන අහිමි කරමිනි.

එතැන් සිට, ඔකාසිඕ-කොර්ටෙස්ට සංගත මාධ්‍ය විසින් දැවන්ත මෙන් ම විශාල වසයෙන් අවිවේචනාත්මක ප්‍රසිද්ධියක් දී ඇත. නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ කර්තෘවාක්‍ය ප්‍රශංසාත්මක ලිපියක සාරාංශ කරමින් ඈ විස්තර කෙරුනේ, “නිව් යෝක් දේශපාලනයට දැඩිව අවශ්‍ය වූ ශක්තිය ගෙන විත් ඇති ඩිමොක්‍රටික් පක්ෂයේ දීප්තිමත් ආලෝකයක්...” ලෙස ය.

ඔකාසිඕ-කොර්ටෙස් හා සෑන්ඩර්ස් සිකුරාදා ජේම්ස් තොම්සන් යන අයගේ උද්ඝෝෂන රැලියකට පෙනී සිටිය දී කැන්සාස් ප්‍රාන්තයේ දී එකට සම්මුඛ සාකච්ඡාවකට ලක් කෙරුනි, තොම්සන් අගෝස්තු මස 7 දින මූලික වටයේ මැතිවරනයේ දී විචිටා නගරය පදනම් වූ හතරවැනි කොංග්‍රස් මන්ඩල දිස්ත්‍රික්කයේ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩලය සඳහා ඩිමොක්‍රටික් පක්ෂ නාමයෝජනා අපේක්ෂා කරමින් සිටී.

තොම්සන් “සමාජවාදී” සෑන්ඩර්ස් හා ඩීඑස්ඒ සාමාජික ඔකාසිඕ-කොර්ටෙස්ගේ අසාමාන්‍ය මිතුරෙකු ලෙස පෙනෙන්නට ඉඩ ඇත. ඔහුගේ උද්ඝෝෂනය හමුදා ප්‍රවීනයෙකු ලෙස ඔහුගේ භූමිකාව වර්නනා කරන අතර, ඔහුගේ වෙබ් අඩවිය “තොම්සන් හමුදාවට එක්වනු” යන සටන්පාඨය යටතේ ඇරඹෙන අතර, ඊට පසු අපේක්ෂකයා “ඇමරිකාව සඳහා” සටන් කරනු ඇති බවට වන පොරොන්දු සඳහන් කෙරේ. ඇසෝසියේටඞ් ප්‍රෙස් සමග සම්මුඛ සාකච්ඡාවක දී, “සියලු දෙනා සඳහා වෛද්‍ය රැකවරන” සඳහා වන සෑන්ඩර්ස්ගේ ඉල්ලීමට තම සහයෝගය ද ඩීඑස්ඒ විසින් ඔහු අනුමත කිරීම ද නො තකා, සමාජවාදය සමග මොන යම් හෝ සම්බන්ධයක් ගැන ඔහු පරීක්ෂාකාරි ය. “සමාජවාදියා යන වචනෙට මම කැමති නෑ. මොකද මිනිස්සු ඒක සම්බන්ධ කරන්නේ ඉතිහාසයේ නරක දේවල් එක්ක” යැයි ඔහු පැවසී ය.

එවැනි කොමියුනිස්ට් විරෝධයක් හරියට ම ගැලපෙන්නේ රුසියානු විරෝධී උද්ඝෝනය සමගිනි, මෙය 2018 ඩිමොක්‍රටික් මැතිවරනයේ ප්‍රධාන තේමාව යි. මාස ගනනාවක් තිස්සේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙන්වා දී ඇති පරිදි, ඩිමොක්‍රටික් පක්ෂ උද්ඝෝෂනයේ සැබෑ තල්ලුව ප්‍රදර්ශනය කෙරෙන්නේ, සීඅයිඒ හා මිලිටරි ඔත්තුසේවා ඒජන්තයින්, ඉරාකය හා ඇෆ්ගනිස්ථානයේ යුද්ධවල සටන් අනදෙන්නන්, පෙන්ටගනය, රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ධවල මන්දිරයේ යුද සැලැසුම්කරුවන් දුසිම් ගනනාවක් තම කොංග්‍රස් මන්ඩල අපේක්ෂකයන් ලෙස බඳවා ගැනීමෙනි.

ඩිමොක්‍රටික් පක්ෂය තුලට මිලිටරි ඔත්තුසේවා අපේක්ෂකයින් ගලා ඒම හා පක්ෂයට “වාම” කඩතුරාවක් සැපයීමට සෑන්ඩර්ස් හා ඔකාසිඕ-කොර්ටෙස්ගේ සේවය යොදා ගැනීම අතර පරස්පරවිරෝධයක් නොමැත. සීඅයිඒ ඩිමොක්‍රටිකයන් හා ව්‍යාජ වාම “සහෝදරවරු” යන දෙගොල්ලම ඉතාමත් වැදගත් ප්‍රශ්නවල දී එකට එක් වෙති: එනම්, ඇමරිකාවේ ගෝලීය උත්සුකයන් ආරක්ෂා කිරීම හා සිරියානු සිවිල් යුද්ධය තුල මෙන් ම වොෂින්ටනය හා මොස්කව්ව ගැටෙන අනෙකුත් ප්‍රදේශවල ද වඩා ආක්‍රමනකාරී මැදිහත්වීම් වල දී එක් වෙති.

පැට්‍රික් මාටින්

Share this article: