තැපැල් සේවකයන් විසින් අමතක නොකලයුතු දේශපාලන පාඩම්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 ජුලි 6

ජුනි 26 වෙනිදා මධ්‍යම රාත්‍රියේ අවසන් කෙරුන දින 16 ක් පුරා අඛන්ඩව පැවති තැපැල් සේවකයන් ගේ අරගලයෙහි පාඩම් උකහා ගැනීම ඔවුන් ට මෙන් ම, සමස්ත කම්කරු පන්තියට ම අතිශය වැදගත් ය. එම වර්ජනයට සිංහල, දෙමල හා මුස්ලිම් තැපැල් සේවකයන් 25,000 ට අධික පිරිසක් සහභාගී වූ අතර තම ඉල්ලීම් වලට නිසි විසඳුම් ලැබෙන තෙක් සටන අත නොහරින බවට දැඩි අධිෂ්ඨානයක් හා සටන්කාමිත්වයක් ඔවුන් තුලින් ප්‍රකාශයට පත් විය. එහෙත්, එය නොතකා වෘත්තීය සමිති විසින් වර්ජනය නතර කෙරුනේ ජාතික වැටුප් හා සංඛ්‍යා ලේඛන කොමිසම (ජාවැසලේකො) විසින් දුන් හුදු “ලිඛිත පොරොන්දුවක්” පිලිගැනීමෙනි.

වර්ජනය කැඳවුම් කල තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ (තැවිනිස) හා තැපැල් වෘත්තීය සමිති එකතුවේ (තැවෘසඑ) නායකයන් විලිලැජ්ජාවක් නැතියවුන් ලෙස ප්‍රකාශ කලේ එකී පොරොන්දු ඉටු කිරීම පිලිබඳ ඔවුන්ට ම ත් සහතිකයක් නැති බවය. කිසිසේත් විශ්වාසය නොතැබිය යුතු පොරොන්දු පත්‍රයේ අඩංගු වන්නේ පහත සඳහන් කරුනු ය. අලුතෙන් හඳුන්වා දී ඇති III වන ශ්‍රේනියේ තැපැල් ස්ථානාධිපති තනතුර අහෝසි කොට ඔවුන්ව II ශ්‍රේනියට අන්තර්ග්‍රහනය කිරීම සහ ඒ අනුව ජුලි මාසයේ 7 වෙනිදා වන විට නව වැටුප් තල සැකසීම; පරිවාස පදනමේ සිටින නිලධාරීන් මාසයක් හෝ දෙකක් ඇතුලත ස්ථීර කිරීම; අහෝසි කල කනිෂ්ට සේවක තනතුරු 18 යලි ස්ථාපිත කිරීම.

කෙසේ නමුත්, ජාතික වැටුප් හා සංඛ්‍යා කොමිසම (ජාවැසකො) සකසන නව වැටුප් තලවලට කැබිනට්ටුවේ සහ මහා භාන්ඩාගාරයේ අනුමැතිය ලැබිය යුතුය.

ඒ අතර, මේ පොරොන්දුවලට ම හරස්වන පරිදි තැපැල් සේවකයන් ඉල්ලන වැටුප් තලයන් ලබා දුනහොත්, එය, සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් පිලිබඳ අවුලක් නිර්මානය කරන බව අනුකාරක සභා වාර්තාව දැනටමත් අවධාරනය කර ඇත. ජාවැසකො එයම පුනරුච්චාරනය කරමින් තැපැල් සේවකයන්ගේ වැටුප් ඉල්ලීම් දුනහොත් රාජ්‍ය අංශයේ සෙසු සේවකයන්ගේ වැටුප් ද යලි සැකසිය යුතු බව කියා ඇත. දී ඇති පොරොන්දු ඉටු නොකෙරෙන බව සහතික කරමින් එම පොරොන්දු ඉටුකලහොත් රුපියල් බිලියන 8 කින් රාජ්‍ය වියදම ඉහලයන බවත්, ඒ සඳහා රජයට අරමුදල් නැති බවත් වැටුප් කොමිසම වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

පසුගිය වසර 12 තුල මෙන් ම, මෙවර ද ආන්ඩුවේ සහ තැපැල් බලධාරීන්ගේ බොරු පොරොන්දු පිලිගනිමින් තැපැල් වෘත්තීය සමිති කර ඇත්තේ වර්ජනය පාවාදීමක් බව අප කියන්නේ මේ නිසාය.

වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස ජුනි 18 වෙනිදා ආන්ඩුව නිකුත් කල තර්ජනකාරී නිවේදනය කම්කරුවෝ ප්‍රතික්ෂේප කලහ. ආන්ඩුවේ නිවේදනයෙන් පසු තවත් දින හයක් වර්ජනය පවත්වාගෙන ගියේ ඉල්ලීම් දිනා ගැනීමට කම්කරුවන්ට පැවති බරපතල අධිෂ්ඨානයෙනි. සමිති නායකයන් විසින් වර්ජනය පාවාදීමෙන් පසු තැපැල්පති චක්‍රලේඛයක් නිකුත් කරමින් කියා සිටියේ ජුනි 18 වෙනිදායින් පසු වර්ජනයේ නිරත වූ සේවකයන්ගේ දින හයක වැටුප් කැපිය යුතු බවය. කම්කරුවන්ගෙන් මතු වූ විරෝධතාවය වාෂ්ප කිරීම සඳහා තැපැල්පතිට එරෙහි විරෝධතා දැක්වීමක් කැඳවීමට සමිති නායකයන් ට බල කෙරුනි. කම්කරුවන්ගේ විරෝධතාවය නිසා වැටුප් කැපීම තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් තීන්දු කලත් ඉදිරි මාසවල දී එය කපා හැරීම පිලිබඳ තර්ජනය ඉවත් වී නැත.

තැපැල් සමිති නිලධරය මෙවර වර්ජනය කැඳවූයේ පසුගිය වසර 12 තිස්සේ තැපැල් සේවකයන්ගේ ගැටලු වලට විසඳුම් ලබාදීම ධනපති රාජපක්ෂ ආන්ඩුව හා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ද ප්‍රතික්ෂේප කර සිටි තතු යටතේය. තැපැල් සේවකයන් ගේ අයිතීන් කප්පාදු කිරීම සඳහා 2006 දී රාජපක්ෂ ආන්ඩුව චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රහාරය පටන් ගත්තේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) මේ ප්‍රතිගාමී වැඩපිලිවෙලට තව තවත් කැපීම් කෙටීම් එකතු කලේ ය. මේ සියලු තතු යටතේ සමිති නායකයන් කලේ කම්කරුවන්ගෙන් පැන නගින විරෝධතා මැඩ ධනපති ආන්ඩුවලට කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමය.

මෙවර ද වර්ජනයේ ආරම්භයේ සිටම සමිති නායකයෝ ආන්ඩුව සමග සම්මුතියක් අපේක්ෂා කල හ. ඔවුන් ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ජනවාරි මාසයේ පොරොන්දු වූ පරිදි තැපැල් සේවකයන්ගේ ගැටලු පිලිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම පමනය.

2006 චක්‍රලේඛය යටතේ හඳුන්වාදුන් III වන ශ්‍රේනිය නිසා තැපැල් ස්ථානාධිපති වරයෙකුගේ ආරම්භක මාසික වැටුප රුපියල් 16,640 සිට 15,005 දක්වා පහල දැමීමෙන් රුපියල් 1,635 වැටුප් කප්පාදුවක් ඔවුන් මත පැටවුනි. කනිෂ්ට සේවක ශ්‍රේනි 18 තැපැල් සහායක නමින් එක ශ්‍රේනියකට සිඳවීම නිසා ශ්‍රේනිගත වැටුප් වැඩිවීම් ද ඔවුන්ට අහිමි කෙරුනි.

සමිති නායකයන් ධනපති ආන්ඩුවෙන් කැබිනට් පත්‍රිකා ඉල්ලමින් කල් මරද්දී මීට ඉහත ආන්ඩුවෙන් පත් කල කැබිනට් අනුකාරක සභාව විසින් කලේ තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ නිර්දේශයන් යටතේ මෙම ප්‍රහාරයන් තවත් තීව්‍ර කිරීමට සැලුම් සැකසීමය. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව “තැපැල් සේවාව” බවට පරිවර්තනය කර එය ස්වාධීන පාලක මන්ඩලයක පාලනයට යටත් කෙරෙයි. සේවක බඳවා ගැනීම්, උසස්වීම් හා වැටුප් තීන්දු කරනු ලබන්නේ මෙම පාලක මන්ඩලය විසිනි. තැපැල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 7 ක් වන අතර වියදම බිලියන 13 කි. එම පාඩුව මගහරවා ගනිමින් ලාබ ලබන මට්ටමට දෙපාර්තමේන්තුව පරිවර්තනය කලයුතු යයි කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශයන් හි දැක්වෙයි. මේවා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මෙන් ම, තැපැල් දෙපාර්තමේන්තුව ද ක්‍රමානුකුලව පුද්ගලීකරනය කිරීමේ සැලසුම් ය. සමිති නායකයන් මේ කිසිවක් ගැන කම්කරුවන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සාකච්චාවක් ඇතිවීම වලක්වාගෙන සිටී.

“පාලක මන්ඩලය අහෝසිකරනු!” යනුවෙන් සමිති නායකයන් මතු කරන සටන් පාඨය කම්කරුවන් මුලා කිරීම සඳහා කරන හුදු ඝෝෂාවක් වන්නේ මේ නිසාය.

තැපැල් සේවකයන් ගේ ඉල්ලීම් රිජුව ම ගැටෙන්නේ ජාමුඅ නියෝග අනුව ධනපති ආන්ඩු ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින කම්කරු විරෝධී ආර්ථික ප්‍රතිසංස්කරන සහ මූල්‍ය කප්පාදු කිරීම් සමගය. රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය හා 2020 වන විට ආන්ඩුව රාජ්‍ය අයවැය පරතරය සියයට 3.5 දක්වා පහත හෙලීමට ජාමුඅ නියෝග කර ඇත.

ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය මධ්‍යයේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ නය ගැතිකම ඉහලයාම හා විදේශ ආදායම් පහල වැටෙන කොන්දේසි තුල මෙම ප්‍රහාරයන් වඩ වඩා තීව්‍රවීමක් මිස ලිහිල්වීමක් නොවනු ඇත.

විශ්ව විද්‍යාල අනධ්‍යයන සහ ජල සම්පාදන මන්ඩලයේ සේවකයන් සම්බන්ධයෙන් දුන් පොරොන්දු ආන්ඩුව ඉරා දැමුවේ ය. අනධ්‍යයන සේවකයන්ට ලැබුනේ පොරොන්දු වූ සියයට 20 වෙනුවට සියයට 10 දීමනාවකි. සියයට 33 ක් වූ ජල සම්පාදන සේවකයන් ගේ වැටුප් ඉල්ලීම ආන්ඩුව සියයට 23 ට කප්පාදු කලේ ය. සේවක විරුද්ධත්වය නොතකා ආයතන දෙකේ ම වෘත්තීය සමිති ආන්ඩුවේ එම කප්පාදුව පිලිගත්හ.

ගැඹුරුවන ආර්ථික අවපාතයක් තුලට ඇදවැටී ධනපති ක්‍රමය තුල සෑම රටකම ධනපති පාලක පන්තීන් ගේ ආර්ථික පිලිවෙත බවට පත්ව ඇත්තේ කම්කරු පන්තියට එරෙහිව මෙම රුදුරු කප්පාදු පිලිවෙත් සහිත සමාජ ප්‍රතිවිප්ලවයයි. ධනපති පාලක පන්තීන්ගේ මෙම සමාජ ප්‍රතිවිප්ලවයේ ප්‍රහාරවලට විරුද්ධව එක්සත් ජනපදය, යුරෝපය හා ඉන්දියාවේ දසදහස් ගනන් කම්කරුවෝ මෑත සති වල අරගලවලට ඇදී ආහ. අනධ්‍යයන, ජල සම්පාදන මෙන් ම තැපැල් සේවකයන්ගේ අරගලය ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් පවතින මෙම රැඩිකලීකරනයේ අත්‍යන්ත කොටසකි.

එම තතු තුල, පොලිස් රාජ්‍ය විධික්‍රම යොදා ගනිමින් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සහ අරගල තලා දැමීම හා ආඥාදායක පාලන තන්ත්‍රයන් වෙත මාරුවීම ධනපති පාලක පන්තීන්ගේ දේශපාලන මූලෝපාය බවට පත් වී ඇත. පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව මෙන් ම, වර්තමාන ආන්ඩුව ද ක්‍රියාවට දමමින් සිටින්නේ එයයි.

ශ්‍රී ලංකාවේ මෙන් ම, ලෝකයේ සෑම රටකම වෘත්තීය සමිති ක්‍රියාත්මක වී සිටින්නේ අර්බුදගත ලෝක ධනවාදයේ මෙම ආර්ථික දේශපාලන මූලෝපායන්ට කම්කරු පන්තිය යටත් කර පාවාදීමෙහි ය. එය ගෝලීයකරනය වූ ධනවාදය තුල ජාතිකවාදී හා ධනේශ්වර ප්‍රතිසංස්කරනවාදී ඉදිරිදර්ශනයක් මත පාදකව සිටි වෘත්තීය සමිතිවල දකුනට සිදුවී ඇති පරිවර්තනයේ ප්‍රකාශනයකි. ඒවා අද ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ සහ එය විසින් මෙහෙයවනු ලබන ධනපති පාලක පන්තීන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මිස තමන් නියෝජනය කරනවායැයි කියන සාමාජිකත්වයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නොවේ.

මෙම පරිහානිගත හා ප්‍රතිගාමී වෘත්තීය සමිති තුලින් කවර රටක හෝ කම්කරු පන්තියට තමන්ගේ පවතින අයිතීන් ආරක්ෂාකර ගැනීමට හෝ අලුතෙන් අයිතීන් දිනා ගැනීමට නොහැකි බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) එක දිගට ම අවධාරනය කර ඇත. එම කරුන, පන්ති අරගලය තුල නැවත නැවතත් සනාත වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ අනධ්‍යයන, ජලසම්පාදන හා තැපැල් සේවකයන් ඇතුලු විවිධ ක්ෂේත්‍රවල කම්කරුවන් මෙන් ම, එක්සත් ජනපදයේ ගුරුවරු, ප්‍රන්සයේ දුම්රිය කම්කරුවෝ හා ඉන්දියාවේ ප්‍රවාහන සහ බැංකු සේවකයෝ ද ඔවුන්ගේ මෑත අරගලවල දී එම අත්දැකීම් ලදහ.

මෙම තතු තුල සෑම රටකම කම්කරු පන්තීන් ඉදිරියේ මතු කර ඇත්තේ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ ඉදිරිදර්ශනයක හා මූලෝපායක අවශ්‍යතාවය යි.

ජුනි 22 වෙනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල ලිපිය තුල තැපැල් කම්කරුවන්ට හා සමස්ත කම්කරු පන්තියට එවන් ඉදිරිදර්ශනයක අවශ්‍යතාවය මෙලෙස අවධාරනය කෙරුනි.

“කම්කරු පන්තියට සමාජවාදී වැඩපිලිවෙල පෙරදැරි කරගත් විකල්ප දේශපාලන ඉදිරිදර්ශනයක් නොමැතිව ධනපති පාලක පන්තියේ මෙම ප්‍රහාරයන් පරාජය කර තම අයිතීන් දිනා ගැනීමට නුපුලුවන. එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස රාජ්‍ය ව්‍යවසායන් සහ මහා පරිමාන බැංකු, කම්හල් හා වතු ඇතුලු ධනපති දේපල කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම ඉලක්ක කරගත් කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් බලමුලුගන්වා ගත යුතු ය”.

වෘත්තීය සමිති දඬු අඬුවෙන් නොබිඳී තැපැල් සේවකයන් මෙන් ම අවශේෂ කම්කරුවන් ට ද මෙම ඉදිරිදර්ශනය මත සටන් වැදිය නොහැකිය. වෘත්තීය සමිතිවලින් ඉවත් ව, සිය ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු තැපැල් සේවකයන් විසින් ද ගොඩ නගා ගත යුතුය. එම ක්‍රියාකාරී කමිටු හරහා ධනපති ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ ප්‍රහාරයට එරෙහිව කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීමට රාජ්‍ය අංශයේ, පුද්ගලික අංශයේ සහ වතු කම්කරුවන් ඒකාබද්ධ කල යුතුය.

එමෙන් ම, ධනපති ආන්ඩුවෙන් බැට කන සහ ඊට එරෙහිව පෙරලිකාරී වී සිටින රැකියා විරහිත තරුනයන්, ශිෂ්‍යයන්, ගම්බද හා නාගරික දුප්පතුන් ඇතුලු අවශේෂ ජන කන්ඩායම් ඒ වටා රැලි කර ගත යුතුය.

අන් සියල්ලටමත් වඩා මෙහිදී තීරනාත්මක සාධකය වන්නේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයයි. ඉහත ඉදිරිදර්ශනය සහ වැඩ පිලිවෙල සඳහා සටන් කරන සසප කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එකතු වන ලෙස තැපැල් සේවකයන්, අවශේෂ කම්කරුවන් සහ තරුනයන් ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: