ක්වල්කොම් එකඟත්වය දියබත්වේ: චීනය ඇමරිකාවේ වෙලඳ යුද්ධයට ප්‍රතිප්‍රහාර දෙයි

Qualcomm deal scuttled: China hits back at US in trade war

නික් බීම්ස් විසිනි, 2018 ජුලි 27

ඇමරිකාව තුල පිහිටි, දැවැන්ත තාක්ෂනික සමාගමක් වන නෙදර්ලන්තයේ එන්එක්ස්පීහි අර්ධ සන්නායක චිප් නිෂ්පාදක ක්වල්කොම් සමාගම ඩොලර් බිලියන 44ට අත්කර ගැනීමේ සැලැස්ම බීජිනය විසින් දියබත් කිරීමත් සමඟ, දැනට කෙරීගෙන යන හා ගැඹුරු වන ඇමරිකානු වෙලඳ යුද්ධයට චීනයෙන් ප්‍රති ප්‍රහාරයක් එල්ල විය.

අත්කර ගැනීමේ ගිවිසුමට චීන ආන්ඩුව අත්සන් නොතබන බව පැහැදිලි වීමෙන් පසුව ක්වල්කොම් 25දා සවස, තමන් ගිවිසුමෙන් ඉවත් වන බව නිවේදනය කලේය. ගිවිසුම ක්‍රියාත්මක වීමට අවශ්‍ය ඒකාධිකාර විරෝධී ප්‍රතිපාදන යටතේ එවැන්නක් අනුමත කිරීමට අවශ්‍ය ජාතික නීති උපදෙස් ලබාදෙන නව දෙනාගෙන් අවසන් සාමාජිකයා වූයේ චීනයයි.

චීනය ලෝකයේ විශාලතම අර්ධ සන්නායක නිපෂ්පාදකයාය. පසුගිය වසරේ එහි අගය ඩොලර් බිලියන 132ක් විය. ඒවායේ ආදායමෙන් වඩි පංඟුවක් හිමිකර ගන්නේ, දකුනු කොරියානු, ජපාන, තායිවාන හා ඇමරිකානු සමාගම් විසිනි.

පුලුල්ව පැතිරුනු වාර්තා වලට අනුව, අත්පත්කර ගැනීමේ ගිවිසුම් පිලිබඳව වගකිවයුතු චීන නියාමකයින් එයට මේ වසර මුල අත්සන්තබා ඇත ද බීජිං ආන්ඩුව එයට අවසන් අනුමැතිය ලබාදෙන තෙක් බලාපොරොත්තු තබා සිටියේ ය. එහෙත් වේලාව අවසන් වීමට පැය කිහිපයක් තිබියදීත් එම අනුමැතිය නොලැබීම නිසා තමන් එයින් ඉවත්වන බව ක්වල්කොම් නිවේදනය කලේය.

චීන ආන්ඩුවේ නිල ආස්ථානය වූයේ අනුමැතිය නොදීම චීන-ඇමරිකා වෙලඳ ගැටුමට සම්බන්ධයක් නැතැයි යන්නය. චීනයේ වෙලඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකුට අනුව, “මා දන්නා තරමින් ප්‍රශ්නය විශ්වාසය කඩවීමේ නීතිය බලගැන්වීම පිලිබඳ කාරනයකි.”

එහෙත් අනෙකුත් මාධ්‍ය වාර්තා දෝංකාරය නැංවමින් ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසූ අයෙකුට අනුව, “ක්වල්කොම්හි දැක්ම පරිදි සෑම දෙයක්ම අවශ්‍ය ආකාරයට ඉටුකර තිබුනි.”

ගිවිසුම පිලිබඳ ක්‍රියාවලිය ඔබාමා පාලනය කාලයේ පටන්ගෙන වසර දෙකක් තිස්සේ ඉටුවෙමින් තිබුනි. එහෙත් සන්ධිස්ථානය පැමිනියේ, විශේෂයෙන්ම බීජිනයේ “2025 චීනයේ සාදන ලදී” යන සැලැස්මට සම්බන්ධ අයගේ චීන නිෂ්පාදනයන්ට ඩොලර් බිලියන 50ක තිරුබදු පැනවීම ඉදිරියට ගෙන යන බවට ට්‍රම්ප් පාලනය මැයි මාසයේ නිවේදනය කිරීමත් සමඟය. චීනය පෞද්ගලික දේපොල සොරාගැනීමේ ද බලහත්කාරී තාක්ෂනික මාරුකිරීම්වල ද යෙදී සිටින බවට නැඟුනු චෝදනා යටතේ, 1974 වෙලඳ පනතේ 301 වගන්තිය ධවල මන්ඳිරය විසින් ඒ සඳහා උපයෝගී කර ගත්තේය.

තීන්දුව පලවූයේ ට්‍රම්ප් ආන්ඩුවේ සාමාජිකයින් සමඟ චීන උප අගමැති ලියු හී පැවැත්වූ ඉහල පෙලේ සාකච්ඡා වලින් තෙදිනකට පසුවය. චීනය ඇමරිකාවෙන් කරන ආනයන ඩොලර් බිලියන 100න් වැඩිකිරීමට එකඟවූ එම රැස්වීමෙන් පසුව ඇමරිකානු භාන්ඬාගාර ලේකම් ස්ටීවන් මුන්චින් පැවසුවේ, වෙලඳ යුද්ධය “අත්හිටුවාගත්” බවය.

එහෙත් එය කඩකරමින් වොෂින්ටනය තීරුබදු පැනවීම, චීනයේ ප්‍රධාන වෙලඳ නියෝජිතයාට ප්‍රසිද්ධියේ ගැසූ කම්මුල් පහරක් විය. බීජිනයේ මනෝ ගතිය වෙනස්වූ අතර ඒ පිලිබඳ නිල ප්‍රකාශයක් ප්‍රසිද්ධ නොකල ද එය පෙන්නුම් කලේ අත්පත්කර ගැනීමේ අවසාන අනුමැතිය නොලැබෙන බවයි.

ක්වල්කොම් ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් මොලන්කොප් පැවසුවේ “අපට ඉහලින් පැමිනි දෙයක් මඟින් පැහැදිලිවම අප ග්‍රහනයට ගත්” බවය. සමාගමට දැන් එන්එක්ස්පී වෙත වන්දි වශයෙන් ඩොලර් බිලියන 2ක් ද මූල්‍ය ආයෝජකයින්ගේ ඉල්ලීම් සැපිරීම පිනිස ඩොලර් බිලියන 30ක කොටස් යලි මිලට ගැනීමේ වැඩසටහනක් ද නිවේදනය කිරීමට සිදුවේ.

තමන්ගේම ඒකාබද්ධවීම් හා අත්පත්කර ගැනීම් පිලිබඳ සැලසුම් ඔස්සේ යාමට පෙර, ක්වල්කොම්-එන්එක්ස්පී ගිවිසුමේ ප්‍රතිපලය දෙස බලා සිටි අධි තාක්ෂනික සමාගම් හා චිප් නිෂ්පාදකයින්ට මෙම අත්කර ගැනීම බිඳ වැටීමෙහි දුරදිග යන ඇඟවුම් පවතී.

විශ්ලේෂක මයිකල් වෝල්ක්ලි බ්ලූම්බර්ග් වෙත පැවසූ පරදි, “එය නිශ්චිතවම අත්පත්කර ගැනීම් හා ඒකාබද්ධයන්ගේ අනාගතය පිලිබඳ කනස්සල්ල වැඩිකරනු ඇත. චීනය සමඟ ප්‍රශ්නය කොතෙක් කල් පවතී ද හා එය ගිවිසුම් වලට බාධා පමුනුවයි ද යන්න පිලිබඳ අනිශ්චිත භාවය වැඩෙමින් ඇත.”

බිඳ වැටුනු ගිවිසුම පිලිබඳ සිය වාර්තාව තුලෆිනෑන්ෂල් ටයිම්ස්, “කෙටි කාලයේදී අර්ධ සන්නායක කර්මාන්තය තුල, ඕනෑම විශාල අත්පත්කර ගැනීම් හා ඒකාබද්ධයන් මත දැවැන්ත රතු එලියක් දල්වා ඇතැයි” සඳහන් කල කාර්මික විශ්ල්ෂකයෙකු උපුටා දක්වයි. “තාක්ෂනයේ පරදුවට තැබී ඇති දෑ බෙහෙවින්, බෙහෙවින්ම ඉහලය, විශේෂයෙන්ම චීනයට අර්ධ සන්නායක දැවැන්ත මූලෝපායික වැදගත් කමක් දරන තතු තුලය.”

එවන් ගිවිසුම් 2015 හා 2016 අතර ඩොලර් බිලියන 200ට වැඩි අගයක් ඉසිලීය. එයට ක්වල්කොම්_ එන්එක්ස්පී ගිවිසුම ද ඇතුලත්ය. දැන් ඇරඹෙමින් තිබෙන රැහැන් රහිත 5ජී තාක්ෂනය සඳහා හොඳින්ම සූදානම්ව සිටින ස්මාට්ෆෝන් හා පරිගනක ක්ෂේත්‍රයේ, සිය තත්වය නංවා ගැනීමට කුඩා සමාගම් අපේක්ෂා කරයි.

එවන් කටයුතු පසුගිය වසර තුල අඩුවෙමින් තිබුනි. දැන් එය “හඬ නඟමින් නතරවන තැනට පැමින තිබේ.” ෆිනෑන්ෂල් ටයිම්ස් උපුටා දක්වන තවත් කාර්මික විශේලේෂකයෙකු එසේ පවසයි.

ක්වල්කොම් එම කර්මාන්තය තුල මාරුවීම්වල ද අධි තාක්ෂනික සංවර්ධනය මත ඇමරිකානු හා චීනය අතර ගැටුමේ ද හරි මැද පිහිටියේය. මාර්තුවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, “ආරක්ෂක හේතු” මත බ්‍රෝඞ්කොම් යන ඇමරිකානු සමාගම විසින් ඩොලර් බිලියන 142ට ක්වල්කොම් අත්පත්කර ගැනීම වැලැක්වීමට කෙලින්ම මැදිහත් විය.

ක්වල්කොම්හි ඉල්ලීම මත ඇමරිකාවේ විදේශ ආයෝජන කමිටුව (CFIUS) ක්‍රියාවලිය තුල මැදිහත්විය. ඒ අනුව එය අනාවරනය කර ගත්තේ, වෝල් වීදියට ඉතා පොදු භාවිතයක් වන, සමාගමට මූල්‍ය සැපයීම පිනිස අත්පත්කර ගැනීමෙන් පසුව බ්‍රෝඞ්කොම්, වියදම් කපාහරින බව හා එහි ප්‍රතිපලය ලෙස ක්වල්කොම්හි පරියේෂන හා සංවර්ධන කටයුතු සඳහා වෙන් කෙරෙන අරමුදල් කපා හරිනු ඇති බවයි.

මෙ මඟින් හුආවේ වැනි චීන සමාගම් වලට 5ජී සංවර්ධන ක්‍රියාවලියේදී ප්‍රමිතීන් නියම කිරීමට ඇති සිය අනුහස වැඩිකර ගැනීමට අවකාශ සලසයි.

“මෙම සතුරු අත්පත්කර ගැනීමේ ප්‍රතිපලයක් ලෙස ක්වල්කොම් විසින් අතහරින ඉඩකඩ පිරවීමට චීනය වේගයෙන් ඉදිරියට එනු ඇත. දැනට එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය දරනු ලබන ප්‍රමිතීන් නියම කිරීමේ අවස්ථා අඩුවනු ඇත.”

චීනයට එරෙහිව “ජාතික ආරක්ෂාව” සහතික කිරීමේ පදනම මත සිව් මසකට පෙරාතුව ක්වල්කොම් “බේරාගැනීමට” සමත් වුව ද එම පදනමම මත තීරුබදු පිලිබඳව ට්‍රම්ප් පාලනය ක්‍රියාත්මක කල කටයුතු දැන් සැලකිය යුතු පහරක් වැදීමට හේතුවී ඇත.

එවන් පියවරයන්හි අවසානය එය වන බව නොකියවේ. චීනයේ සමස්ත අපනයනයන්ම ආවරනය වන පරිදි ඩොලර් බිලියන 500ක් වටිනා චීන නිෂ්පාදිතයන්ට තීරුබදු පනවන බවට ට්‍රම්ප් පාලනය තර්ජනය කර තිබේ. චීනය ඇමරිකාවෙන් ආනයනය කරන්නේ ඊට බිලියන 350ක් පමන අඩු වටිනාකමකින් යුත් නිෂ්පාදිතයන්ය. එබැවින් එකට එක කිරීමේ තීරුබදු පැනවීමක් සිදු නොවන්නේය.

එහි අර්ථය පහර දීම සඳහා වඩ වඩාත් අනෙකුත් මාවත් යොදාගැනීමට බලනු ඇති බවයි. ක්වල්කොම් ගිවිසුම දියබත් කිරීම එවන් පියවරයන්හි පලමුවැන්න විය හැකිය. එය වෙලඳ යුද්ධය අනෙකුත් ක්ෂේත්‍ර කරා පැතිරයාම පිලිබඳ සලකුනකි.

Share this article: