අවිශිබමයේ දස වසරක සයිටම් විරෝධතා හා නිදහස් අධ්‍යාපන කප්පාදුව

කපිල ප්‍රනාන්දු විසිනි, 2018 ජූලි 30

මාලඹේ පිහිටි සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයට එරෙහිව වසර 10 ක් පුරා ගෙන ගිය විරෝධතා නවතා දමන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) මේ මස 08 දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කලේ ය.

අවිශිබමය මෙම ප්‍රකාශය කරනු ලබන්නේ සයිටම් ආයතනය සම්බන්ධව ආන්ඩුව ජුනි මස 29 දා නිකුත් කල ගැසට් නිවේදනය මුල් කර ගෙනයි. සයිටම් ශිෂ්‍යයන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයට (කොජාආවි) ඇතුලත් කර ගැනීමෙන් පසු “සයිටම් හි වෛද්‍ය පීඨයට එම්බීබීඑස් උපාධිය ප්‍රදානය කිරීම සඳහා ඇති සුදුසුකම අවසන් විය යුතු අතර, එකී වෛද්‍ය පීඨය ක්‍රියාත්මක වීම අවසන් විය යුතු ය”යි එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ගැසට් නිවේදනයට මෙම වගන්තිය ඇතුලත් කොට ක්‍රියාත්මක කිරීමත් සමග “සයිටම් අහෝසි කිරීම සම්බන්ධ අපේ අරගලය අවසන් වෙනවා” යයි මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක් වූ අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර “සයිටම් සම්බන්ධ අපේ අරගලය නිෂ්චිත ජයග්‍රහනයක් ලබා තිබෙනවා” යයි ද ප්‍රකාශ කලේ ය. නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් වනසන සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු යන්න අවිශිබමයේ ප්‍රධාන ඉල්ලීම වූ බවත් ඒ සඳහා “සටන් කරන බලවේගත් සමග ඒකාබද්ධව සමාජයට දැනෙන අරගලයක් ගෙන ගියා” යයි වීරසේකර එහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.

ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙය වන අවිශිබමය, වසර 10 ක් තිස්සේ සිදු කර ඇත්තේ නිදහස් අධ්‍යාපන කප්පාදුව හා අධ්‍යාපන පුද්ගලීකරනයට එරෙහි අරගලය තනි ආයතනයකට ලඝු කොට ශිෂ්‍යයන් ඊට එරෙහි විරෝධතා, සත්‍යග්‍රහ, උපවාස තුල සිර කිරීම මගින් අධ්‍යාපන හා සෞඛ්‍ය යන දෙඅංශයේම බරපතල කප්පාදූන්ට බලයට පත් ආන්ඩුවලට පාර කපා දීමයි.

“ජයග්‍රහන” පිලිබඳ අවිශිබමයේ මෙම ප්‍රකාශ, අධ්‍යාපන පෞද්ගලීකරනයට හා නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව අඛන්ඩ විරෝධතාවලට සම්බන්ධ වූ ශිෂ්‍යයන් තවදුරටත් අවමංගත කිරීමේ ප්‍රයත්නයකි. අවිශිබමයේ දස වසරක “අරගලය” සම්බන්ධව විවේචනශීලිව සිතන ශිෂ්‍යයෙකුට නම් මෙම ප්‍රකාශ පිලිකුල් සහගත වනු ඇත.

ආන්ඩුවේ ගැසට් පත්‍රයට අනුව සයිටම් හි වෛද්‍ය උපාධිය නතර කොට ඇති බව සඳහන් වේ. නමුත් ඇත්තටම සිදු වී ඇත්තේ සයිටම් නමින් කොජාආවි වෛද්‍ය සිසුන් බඳවා ගැනීම පමනි. උක්ත ගැසට් නිවේදනය මැයි මස මුල ආන්ඩුව අධ්‍යාපනය තුලට මිලිටරියේ අතපෙවීම වේගවත් කිරීමට ගෙන ආ රුදුරු පියවරක් වන කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට (කොජාආවිප) ගෙන ආ සංශෝධනයකි. එම පනත යටතේ කොජාආවිට අලුත් සරසවි මන්ඩල, පීඨ, යම් විශේෂිත ආයතන පිහිටුවීමට හා වෙනත් පෞද්ගලික උපාධි ආයතන පිලිගැනීමටත් බලය පවරා දී තිබුනි. කොජාආවි දැනටමත් උපාධි පාඨමාලා සඳහා මිලියන ගනන් මුදල් අය කරන අතර මිලිටරියේ ඉහල නිලධාරීන් විසින් පාලනය කරනු ලබයි. එම පනත පලල් විරුද්ධත්වය හමුවේ ආන්ඩුව පස්සට ගත්ත ද මුලුමනින් අහෝසි කොට නැත.

සයිටම් සිසුන් බඳවා ගැනීමත් සමග කොජාආවි හා දැනටමත් ආරම්භ කොට ඇති පෞද්ගලික සරසවිවල වැඩකටයුතු නව පනත යටතේ පුලුල් කිරීම ආන්ඩුවේ එල්ලයයි. අවිශිබමයට මේවා ජයග්‍රහයක් වුවත් ශිෂ්‍යයන්ට හා කම්කරු පීඩිත මහජනයාට සැමරීමට ජයග්‍රහනයක් ඇත්තේ නැත.

ගත වූ දස වසර පමනක් ගෙන බැලුවත් සයිටම් ආයතනයට අමතරව වෛද්‍ය උපාධි පිරිනමන ආයතනත් ඇතුලු පෞද්ගලික උපාධි ආයතන දුසිම් ගනනක් රට පුරා විවෘත කොට තිබේ. හෝමාගම ප්‍රදේශයේ පිහිටි එන්එස්බීඑම් යනු වෛද්‍ය උපාධි පිරිනමන එවන් විශාල පෞද්ගලික උපාධි ආයතනයකි. රට පුරා ඉදිවන පෞද්ගලික උපාධි ආයතනවල අධ්‍යාපනය ලැබීමට ආන්ඩුව උසස් පෙල සමත් සිසුන්ට ලක්ෂ ගනනින් නය ලබාදීමට පසුගිය අයවැයෙන් කල යෝජනාව දැන් ක්‍රියාවට නගා තිබේ.

මහින්ද රාජපක්ෂ ආන්ඩුව සමයේ ආරම්භ කල පාසල් වසාදැමීමේ වැඩසටහන් (සපිරි පාසල් ව්‍යාපෘතිය) මේ ආන්ඩුව තවත් රුදුරු ලෙස ඉදිරියට ගෙන යමින් තිබෙන අතර එමගින් පාසල් හැර යන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල නංවා තිබේ. සිරිසේන-වික්‍රමසිංහගේ වත්මන් ආන්ඩුව බලයට පත් වීමත් සමග බරපතල අධ්‍යාපන වියදම් කප්පාදුවක් ඉලක්ක කොට ගෙන පාසල් පෙල පොත් මුද්‍රනය භාගයකින් පමන කප්පාදු කල අතරම පාසල් නිල ඇඳුම් ලබා දීම නතර කොට වව්චර ක්‍රමයක් හඳුන්වා දුන්නේ ය. සෞඛ්‍ය අංශයේ කප්පාදුව පිලිබඳ වාර්ථාව මීට එහා ගමන් කරයි.

වීරසේකර “සටන් කරන බලවේග” ලෙස නම් කරන වෘත්තීය සමිති නිලධරය, නව සමසමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වාම පක්ෂ හා ධනපති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පාසල් අධ්‍යාපනයේ, සෞඛ්‍ය හා අනෙකුත් සෑම අංශයකම පැන නැගී කම්කරු අරගල හුදකලා කොට පාවා දීම මගින් ආන්ඩුවේ බරපතල කප්පාදුවලට ඉඩ සලසා දී ඇත. ආන්ඩුවට වැඩි පීඩනයක් යෙදීම සඳහා යයි ප්‍රකාශ කරමින් සයිටම් ආරම්භ කල මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයේ, වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට දායක වූ ජවිපෙ හා ජාතික හෙල උරුමයේ කොටස් පවා අවිශිබමයේ විරෝධතා වටා රැලි කර ගත්තේ ය. මහා රැඩිකලුන් ලෙස නවක ශිෂ්‍යයන් ඉදිරියේ රංගනයේ යෙදෙන අවිශිබමයේ වැඩපිලිවෙල එතරම් බංකොලොත් හා ධනේශ්වර ගැති එකකි.

ධනපති ආන්ඩුවේ පොරොන්දු “ජයග්‍රහන” ලෙස හුවා දැක්වීම යලි යලිත් පෙන්නුම් කර ඇත්තේ, නිදහස් අධ්‍යාපනය දිනා ගැනීම සඳහා අවිශිබමය ගෙන යන “අරගලයේ” ප්‍රෝඩාකාරී ස්වභාවයයි.

ධනපති ආන්ඩුවල බොරු පොරොන්දු හා අවිශිබමයේ “ජයග්‍රහන” එකට ගමන් කරයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ ආන්ඩුවේ ඇමතියකු වන හර්ෂ ද සිල්වා “සයිටම් අහෝසි කරනවා” යයි දුන් පොරොන්දුව “ජයග්‍රහනයක්” යයි කියා පාමින් අවිශිබමය ඉහත “බලවේගත්” සමග ඒකාබද්ධව ශිෂ්‍ය සටන් උත්කර්ෂයට නැංවීමේ යෙදී ගත්තේ ය. ඒ අවස්ථාවේ දී ඇත්තටම අවිශිබමය සිදු කලේ, ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමට දේශපාලන වැඩපිලිවෙලක අවශ්‍යතාවය ඉස්මතු වී පැවති වෛද්‍ය ශිෂ්‍යයන් මාස 10 ක් පන්ති වර්ජනයේ යෙදෙමින් ගෙන ගිය ශිෂ්‍ය අරගලය පාවා දීමයි.

මෙවර ජයග්‍රහන සැමරුම එතරම් විශාල නොවුනද නවක සිසුන් රැවටීම සඳහා ලහිරු වීරසේකර ඇතුලු අවිශිබම නායකයෝ විශ්වවිද්‍යාල පුරා සැරිසරමින් කියා සිටින්නේ දැන් එන්එස්බීඑම් ඇතුලු අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහි අරගල ගෙන යා යුතු බවයි.

අවිශිබමය තව වසර දෙසියයක් මෙවැනි උද්ඝෝෂනවල යෙදී ගත්ත ද කප්පාදුවට ලක් කොට තිබෙන සීමිත නිදහස් අධ්‍යාපන අයිතිය යලි දිනා ගැනීම හෝ ආරක්ෂා කර ගැනීම හෝ සිදු කල නොහැකි ය.

අධ්‍යාපන හා සෞඛ්‍ය ඇතුලු කම්කරු පීඩිත මහජනයාගේ දැවෙන සමාජ ප්‍රශ්න අර්බූද ග්‍රස්ත ධනපති ක්‍රමය යටතේ විසඳා ගත නොහැකි ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග මත රටක් රටක් පාසා ධනපති පාලක පන්තීන් කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් වැනසීමට පියවර ගෙන ඇත්තේ අතලොස්සක් මහා බැංකු හා සමාගම් හිමියන් තවත් තර කිරීමටයි.

වර්ධනය කෙරෙන ප්‍රහාර හමුවේ සමාජ අසමානතාවය පෙර නොවූ විරූ පරිමානයෙන් ඉහල ගොස් ඇති අතර එමගින් කම්කරු පන්තියේ හා තරුනයන්ගේ පන්ති සටන් අවුලුවා තිබේ. ධනපති පාලක පන්තීන් සමග සටන් වැදීමට කම්කරු පන්තියේ හා තරුන ශිෂ්‍යන්ගේ එම අරගලවලට අඩුවක්ව ඇත්තේ නිවැරදි ඉදිරිදර්ශනයක් හා නායකත්වයකි.

තම ඒකාබද්ධ අරගල මගින් ධනපති ක්‍රමය පෙරලා දෑමීමේ ශක්‍යතාවය ඇති කම්කරු පන්තිය ධනේශ්වර සමාජයේ එකම විප්ලවවාදී පන්තියයි. අවිශිබමයේ “ශිෂ්‍ය දේශපාලනය” ප්‍රතික්ෂේප කරමින් ධනවාදය පෙරලා දමා දැවෙන මානුෂ්‍ය අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කරන සමාජවාදී දේපල ක්‍රමයක් පිහිටුවීම සඳහා ශිෂ්‍යයන් කම්කරු පන්තියේ නායකත්වය වටා පෙල ගැසිය යුතු ය. පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සෑම ශිෂ්‍යයෙකුටම ගුනාත්මක නිදහස් අධ්‍යාපනයක් හා සෞඛ්‍ය පහසුකම් දිනා ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදයේ කොටසක් ලෙස ලංකාවේ ගොඩනගන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් තුලින් පමනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සයිටම් ආරම්භයේ සිටම අවිශිබමය ගෙන යන විරෝධතාවල ප්‍රෝඩාව හෙලිදරව් කල එකම ව්‍යාපාරයයි. “අක්ෂය ප්‍රකාශනයේ රමිඳු පෙරේරා එලිදරව් කිරීමක්: නිදහස් අධ්‍යාපනය රැකීමේ ව්‍යාජ-වාම උද්ඝෝෂනය ධනපති ක්‍රමය ඉදිරියේ දනගසයි“ යන හිසින් 2016 නොවැම්බර් 27 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ, සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් සම්පාදිත දීර්ඝ විශ්ලේෂනාත්මක ලිපියක එය මෙසේ පැහැදිලි කලේ ය: “සයිටම් ආයතනය වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය අලෙවිකරන වෙලඳ කුටියක් ලෙස ප්‍රාදූර්භූතවීම, නිදහස් අධ්‍යාපන සේවාව අහෝසි කිරීමට වසර ගනනාවක් තිස්සේ කෙරී ගෙන යන ක්‍රියාදාමයෙහි එක් විනාශකාරී ප්‍රකාශනයක් පමනි. එය රෝග ලක්ෂනයක් මිස රෝගය නොවේ. රෝග ලක්ෂනයට එරෙහිව විරෝධතා බෙරිහම්දීම් වලින් රෝගය පහව යනු නැත. රෝගයට ම ප්‍රතිකර්ම යෙදිය යුතු ය. එනම්, සමාජ සුබසාධන සේවා අහෝසි කිරීමට යොමුවී ඇති පරිහානිගත ධනේශ්වර පද්ධතිය ප්‍රගතිශීලි සමාජවාදී ක්‍රමයක් විසින් විස්ථාපනය කිරීම අවශ්‍ය වේ. සයිටම් විරෝධී ව්‍යාපාරය තොරොම්බල් කල පෙසප, අවිශිබම, වෘත්තීය සමිති හා සියලු ව්‍යාජ වාම සංවිධාන අවුරාගෙන සිටියේ, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුටීම මගින් අහෝසිකර දැමීමට ගොදුරු කෙරෙමින් පැවති නිදහස් අධ්‍යාපන අයිතිය සඳහා අත්‍යවශ්‍ය එම ප්‍රගතිශීලි දේශපාලන මාවත ය.”

Share this article: