ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ පොදු අරගලයක් සඳහා සමාජවාදී වැඩපිලිවෙලක්

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2018 ජුලි 19

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ ධනපති ආන්ඩුව රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව මෙම වසරේ ගත වූ මාස කිහිපය තුල ලංකා විදුලි බල මන්ඩලයේ, ඛනිජ තෙල් සංස්ථාවේ, දුම්රිය, විශ්ව විද්‍යාල අනධ්‍යන, ජල සම්පාදන හා තැපැල් ඇතුලු කම්කරු පන්තියේ අරගල මාලාවක් පැන නැගුනි.

ආසන්නතම අරගලයන් වූයේ දේශපාලන පක්ෂග්‍රාහිත්වය මත කෙරෙන පත්වීම් සහ සහ උසස්වීම් වලට එරෙහිව ජුලි 4 වෙනිදා දසදහස් ගනනක් ගුරුවරුන්ගේ සහ ජුලි 13 වෙනිදා වැටුප් ඉල්ලීම් මත 20,000 ක් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ වර්ජන හා උද්ඝෝෂනයන් ය.

තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුනොත් නැවතත් මෙම මාසය තුල වර්ජන වලට එලඹෙන බව ගුරු හා රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය සමිති නිවේදනය කර ඇත.

පොරොන්දු වූ පරිදි වැටුප් හා සේවාකොන්දේසි පිලිබඳ ඉල්ලීම් ඉටු කිරීමට අසමත් වුනොත් නැවතත් වර්ජනය කරන බව තැපැල් වෘත්තීය සමිති එකතුව ප්‍රකාශ කර ඇති අතර පොරොත්තු සේවය සහ ප්‍රවාහන දීමනාව වැඩි කිරීම ප්‍රමාද කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන් ද, පුද්ගලීකරනයට විරුද්ධව දුම්රිය සහ රාජ්‍ය බැංකු සේවකයෝ ද අරගලයකට සූදානම් වෙමින් සිටිති. ප්‍රතිගාමී බලවේගවල වාර්ගික භේද කිරීමේ උත්සාහයන් නොතකා සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ඒකාබද්ධ අරගල වලට පිවිසීම පන්ති එකමුතුව සඳහා කම්කරු පන්තිය තුලින් සිදුවන වෛෂයික නැඹුරුවකි.

මෙම වර්ධනයන්ගෙන් ඇඟවුම් කෙරෙන්නේ වෘත්තීය සමිතිවල භේද කිරීම් සහ මඟ ඇවිරීම් තිබියදී ම පන්ති සටන ගිනියම් වීමකි. මෙම මාසය වර්ජනවලින් රට උනුසුම් වන බවට ජුලි 15 සන්ඬේ ටයිම්ස් පත්‍රයේ පල වූ තීරු ලිපියකින් ආන්ඩුවට අනතුරු අඟවා තිබුනි.

වෘත්තීය සමිතිවලට වර්ජන සහ විරෝධතා උද්ඝෝෂන කැඳවීමට බල කෙරී ඇත්තේ ධනපති ආන්ඩුවේ ප්‍රහාර කෙරෙහි විරුද්ධත්වය කම්කරු පන්තිය තුල උත්සන්න වන කොන්දේසි තුලය. ශ්‍රී ලංකාව තුල වර්ධන වෙමින් පවතින පන්ති අරගලය ධනපති පාලක පන්තීන්ගේ ප්‍රහාරවලට විරුද්ධව ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල සිදුවෙමින් පවතින රැඩිකලීකරනයේ කොටසකි.

පසුගිය සති කිහිපය තුල ඇමරිකාවේ ගුරුවරු, ජර්මනියේ ලෝහ, ප්‍රන්සයේ දුම්රිය, නොර්වේජියාවේ තෙල් කම්කරුවෝ ද, බ්‍රසීලයේ, චීනයේ සහ ආර්ජන්ටිනාවේ ට්‍රක් රථ රියදුරෝ, සහ බංගලාදේශයේ ඇඟලුම් කම්කරුවෝ ද වැටුප් ඉල්ලීම් මත අරගලවලට පිවිසුනහ. කාර්මික “සාමය” සහිත රටක් ලෙස සැලකුන නවසීලන්තයේ හෙද සහ සෞඛ්‍ය සේවකයෝ හා රාජ්‍ය අංශයේ කම්කරුවෝ දසදහස් ගනනක් ද වැඩි වැටුප් ඉල්ලා පසුගිය සතියේ වර්ජන හා උද්ඝෝෂනවල නිරත වුහ.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අරගලවලට සමගාමීව ගම්බද දුගී ගොවීන්, රැකියා විරහිත තරුනයන්, ඇතුලු පීඩිත ජන කන්ඩායම්වල අරගල ද වර්ධනය වෙමින් ඇත.

ශ්‍රී ලංකාවෙත්, ජාත්‍යන්තරවත් අරගලයට පිවිසෙන කම්කරු පන්තියේ පොදු අත්දැකීම වන්නේ වෘත්තීය සමිති ධනපති පාලක පන්තියේ සහ හාම්පුතුන්ගේ උවමනාකම් වෙනුවෙන් පෙනී සිටිමින් කම්කරු පන්ති අරගල සම්මුති ගැස්සවීමේ සහ පාවාදීමේ ප්‍රතිගාමී භුමිකාවක යෙදී සිටීමය.

ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති පරම ලෙසම හතුරුය. ඔව්හු ශ්‍රේනිවාදී සහ කට්ටිවාදී ඉල්ලීම් වලට කම්කරු පන්තියේ අරගල කොටු කරති. එක් අරගලයක් තවත් අරගලයකින් වෙන් කොට හුදකලා කරති. අවසානයේ දී ආන්ඩුවේ සොච්චම් සහන හෝ බොරු පොරොන්දුවලට යටත් කොට ඒවා පාවා දෙති. ඔවුන්ගේ එම ප්‍රතිගාමී පිලිවෙත ගලාගෙන එන්නේ ඔවුන් පදනම් වී සිටි ජාතිකවාදී ප්‍රතිසංස්කරනවාදී ඉදිරිදර්ශනයෙනි. නිෂ්පාදනයේ ගෝලීය වර්ධනය විසින් ජාතිකවාදී ප්‍රතිසංස්කරනවාදී ක්‍රියාමාර්ග තුලින් කම්කරු පන්තිය සඳහා ප්‍රතිසංස්කරන දිනා ගැනීමට වෘත්තීය සමිතිවලට තිබුන හැකියාවට මුලුමනින් ම වල කපා ඇත.

සමිති නිලධරයේ පාවාදීම් වලින් යහමින් ගැම්ම ගනිමින් ජාමුඅ නියෝග වලට අනුව රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහකරනය හා පුද්ගලීකරනය ද, රාජ්‍ය වියදම් කැපීමේ සැලසුම් හා ආන්ඩුවේ ගැඹුරුවන ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මතට කඩාපාත් කරමින් ඔවුන්ගේ ජීවන තත්වයන් ට පහරදීම ද ආන්ඩුව තීව්‍ර කර ඇත.

ලාබ හෝ පාඩු ලබන ආයාතන ලෙස නොතකා සියලුම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහකරනය හා පුද්ගලීකරනය කිරීමට ආන්ඩුව තීරනය කර ඇත. ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මන්ඩලය, ජල සම්පාදන හා ජල අපවහන මන්ඩලය, සීමා සහිත ගුවන්තොටුපල හා ගුවන් සේවා ආයතනය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රතිව්‍යුහකරනයන් ඉතා කඩිනමින් මෙම වසර තුල සිදු කිරීමට නියමිතය. රාජ්‍ය බැංකු වල කොටස් වෙලඳපලට නිකුත් කිරීමටත්, තැපැල් දෙපාර්තමේන්තුව හා දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරනයේ ප්‍රථම පියවර ලෙස ස්වාධීන පාලක මන්ඩල යටතේ පාලනය වන අර්ධ රාජ්‍ය ආයතන බවට පරිවර්තනය කිරීමට යෝජනා කෙරී ඇත.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරන කොමිසමට අමතරව, රාජ්‍ය ව්‍යවසාය මන්ඩලයක් මගින් මෙම පියවරයන් ක්‍රියාවට දැමීමට ආන්ඩුව තීන්දුකර ඇත. ජාමුඅ විසින් නියෝග කර ඇති පරිදි 2020 වන විට දැන් පවතින සියයට 5.6 වන ආන්ඩුවේ අයවැය පරතරය සියයට 3.5 දක්වා අඩුකිරීම සඳහා අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු රාජ්‍ය සුබසාධන වියදම් කපා හැරීම ද, වැටුප් කප්පාදු කිරීමට ද පියවර ගෙන ඇත. වැඩකරන ජනතාව මත දැවැන්ත ලෙස බදු බර පටවන අතර භාන්ඩ හා සේවා ගාස්තු ඉහල දමයි. තෙල් මිල මාස දෙකක් තුල දෙවරක් ඉහලදමා ඇති අතර විදුලි හා ජලගාස්තු ද ඉහල දැමීමට නියමිතය.

මෙම ප්‍රහාරයන් තීව්‍ර කිරීම හැර ගැඹුරුවන ආර්ථික හා දේශපාලනය අර්බුදයකට මුහුන දී සිටින ධනපති පාලක පන්තියට වෙනත් විකල්පයක් නැත.

පොලිස් හා මැරප්‍රහාර, අධිකරන වාරන නියෝග හා අත්‍යාවශ්‍ය සේවා නියෝග උපයෝගී කර ගනිමින් මෙම ප්‍රහාරයන්ට විරුද්ධව අරගලයට තල්ලු කරනු ලබන කම්කරු පන්තිය මර්දනය කිරීමට ආන්ඩුව වියරු උත්සාහයක යෙදී සිටී. මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දනය කිරීමේ මුවාවෙන් මරනීය දන්ඩනය යලි බලාත්මක කිරීමට ද, ත්‍රිවිධ හමුදාවට පොලිස් බලතල පැවරිය හැකි පරිදි නීති සංශෝධනය කිරීමට ද ගෙන ඇති තීන්දුව පන්ති සටන් මර්දනය සඳහා ආන්ඩුව වඩාත් මෘග පොලිස් රාජ්‍ය විධික්‍රම වෙතට හැරීමකි.

වර්ධනය වන පන්ති අරගලවලින් තැති ගෙන සිටින ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය මෘග ආඥාදායක පාලනයකට මාරුවීමේ විවෘත සාකච්චාවක් ආරම්භ කර ඇත.

සිරිසේන -වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමන ප්‍රහාරයන් ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය මැද හැම රටකම ධනපති පාලක පන්තීන් විසින් කම්කරු පන්තියට විරුද්ධව ක්‍රියාවට දමන සමාජ ප්‍රතිවිප්ලවයේ හා පන්ති යුද්ධයේ කොටසකි.

ආන්ඩුවේ ප්‍රහාරවලට විරුද්ධව පන්ති අරගල වර්ධනයවීම සහ දේශපාලන අර්බුදය තීව්‍ර වන තතු තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන (ශ්‍රීපොජපෙ ) රට “අරාජක” වී ඇති බව ප්‍රකාශ කරමින් කම්කරු පන්තියට විරුද්ධව දක්ෂිනාංශික ව්‍යාපාරයක් ඉස්මත්තට ගැනීමේ සහ ආන්ඩු බලය යලි අල්ලා ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටී.

මෙම තතු තුල කම්කරු පන්තිය නිශ්චිතව සහ තීරනාත්මකව මුහුන දෙන ප්‍රශ්න වන්නේ: ප්‍රතිව්‍යුහකරනය සහ පුද්ගලීකරනය නතර කරන්නේ කෙසේ ද?

රැකියා වැටුප් සහ සේවා කොන්දේසි පිලිබඳ අයිතීන් දිනා ගන්නේ සහ රැක ගන්නේ කෙසේ ද?

රාජ්‍ය මර්දනය හා ධනපති පාලක පන්තියේ දක්ෂිනාංශික සැලසුම් පරාජය කරන්නේ කෙසේ ද?

මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කරන්නේ කෙසේ ද?

පන්ති අරගල සම්මුති ගස්වා පාවා දෙන වෘත්තීය සමිති තුලින් කම්කරු පන්තියට මෙම ප්‍රශ්නවලට කිසිදු විසඳුම් ක්‍රියාමාර්ගයක් බලාපොරොත්තු විය නොහැකිය.

පලමු කොටම කම්කරුවන් ධනපති රාජ්‍යයේ සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ උපකරන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලින් ඉවත්ව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු වැඩපලවල, කාර්යාල හා වතුවල පිහිටුවා ගත යුතු ය. එමගින් සමස්ත කම්කරු පන්තිය පන්තිය තුල සන්නිවේදන මාර්ගයන් හා විවෘත හා ප්‍රජාතන්ත්‍රවාදී සාකච්චාවන් මගින් ජාමුඅ සහ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව ඒකාබද්ධ අරගලයක් සංවිධානය කල යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ සහ ධනවාදී ලාබ පද්ධතියේ ප්‍රහාර පරාජය කලහැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. එය කල හැක්කේ සියලුම ජාතිකවාදී බෙදීම් ප්‍රතික්ෂේප කරමින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව දැනුවත් ව තහවුරු කිරීම මගින් පමනි. ජාත්‍යන්තරව දිගහැරෙන පන්ති අරගලය ඒ සඳහා වෛෂයික කොන්දේසි නිර්මානය කර ඇත. අවශ්‍ය වන්නේ ලෝක ධනවාදය පෙරලා දැමීමේ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය මත දැනුවත්ව එම එකමුතුව පිහිටුවා ගැනීම ය.

රාජ්‍ය මර්දනය හා කම්කරු පන්තියට එරෙහි දක්ෂිනාංශික ව්‍යාපාරයන් පරාජය කල හැක්කේ පන්ති අරගලය තුල ට “දේශපාලනය එපා” යයි කියන වෘත්තීය සමිතිවල ප්‍රතිගාමී සංකල්පය ප්‍රතික්ෂේප කරමින් ධනපති දේශපාලන පක්ෂවලින් ස්වාධීනව කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම තුලිනි. ඒ වටා ගම්බද දුගී ගොවීන්, රැකියා විරහිත තරුන ජනයා ඇතුලු අවශේෂ පීඩිත ජන කන්ඩායම් බලමුලු ගන්වා ගත යුතු ය.

කම්කරු පන්තියට වැටුප් සහ සෙසු සමාජ ප්‍රතිලාබ දීමට මුදල් නැත යන්න බොරුවකි. මුදල් ඇත. එහෙත්, එම මුදල් ගොනු ගැසී ඇත්තේ අතලොස්සක් ධනපතියන් අතේ ය. මහා කර්මාන්ත, ව්‍යාපාර, වතු සහ බැංකු පාලනය කරන්නේ මෙම අතලොස්සක් ධනපතියන් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ධනපති ආන්ඩුව විසිනි. එහෙයින්, ඒ සියල්ල කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතු කරමින් සැලසුම්ගත සමාජාවාදී ආර්ථික සැලැස්මක් ක්‍රියාවට දැමීමෙන් තොරව කම්කරු පන්තියේ අයිතීන් තහවුරු කර ගැනීමට නුපුලුවන.

ඒ සඳහා ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස ධනපති පන්ති පාලනය අහෝසි කර කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන එමින් ධනපති පන්තියට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන බලය තහවුරු කල යුතුය.

කම්කරු පන්තියට ඒ සඳහා මග පෙන්වන විප්ලවවාදී දේශපාලන නායකත්වයක් අවශ්‍ය ය. එම නායකත්වය සම්පාදනය කිරීමට සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. සසප කම්කරු පන්තියේ විපල්වවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එක්වන ලෙස සියලු පන්ති විඥානිත කම්කරුවන්, තරුනයන් ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: