බැඳුම්කර වංචාවේ විත්තිකරුගෙන් මුදල් ගත් තවත් මැති ඇමැතියන්ගේ නම් හෙලිවේ

ප්‍රදීප් රාමනායක විසිනි, 2018 ජුනි 12

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගම් වලින් මුදල් ගත් තවත් මැතිඇමැතියන් කීපදෙනෙකුගේ නම් හෙලිවීම නිසා ධනපති දේශපාලන සංස්ථාපිතයේ කුනුවීම දැක ගැනීමට වැඩකරන ජනතාවට තවත් කුඩා ඉඩක් විවර වී ඇත.

මැයි 24 වනදා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන අංශය කොලඹ මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කල වාර්තාවක් තුලින්, දැන් ඇමති නිලතල වලින් ඉවත් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට අනුබද්ධ සමාගමකින් 2015 වසරේදී රුපියල් මිලියනයක චෙක්පතක් ලබාගෙන ඇති බව හෙලිදරව් විය.

තමන් එම මුදල ලබාගත් බව පිලිගැනීමට සිදුවූ ජයසේකර, ඊට පසුදා, එල්ල වූ චෝදනාවට “නිදහසට කරුනු” ගෙනහැර දක්වමින් පාර්ලිමේන්තුවට පැවසුවේ සිය මැතිවරන උද්ඝෝෂනයට ආධාර වශයෙන් එම මුදල ලබා ගත් බවයි. ඔහු ඉන් නොනැවතී, එලෙස මුදල් ලබාගත් තවත් මැති ඇමතියන්, ආගමික නායකයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා පුවත්පත් කලාවේදීන් ඇතුලු 118 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් බැඳුම්කර විමර්ශන කොමිසමේ වාර්තාවේ තිබෙන බවත් ඔවුන් අතර රුපියල් බිලියන 1.3 ක මුදලක් බෙදී ගොස් ඇති බවත් සඳහන් කලේ තමන් මේ සොච්චම ගත්තාට මොකදැයි ප්‍රශ්න කරන්නාක් මෙනි.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව උසාවියට ඉදිරිපත් කල තවත් වාර්තාවකින් ජූනි 8 දා හෙලි කෙරුනේ ආන්ඩුවේ ඇමතියෙක් වන සුජීව සේනසිංහ ඇලෝසියස්ට සම්බන්ධ සමාගමකින් රුපියල් මිලියන තුනක් ලබාගෙන ඇති බවයි. සේනසිංහ ප්‍රකාශ කලේ චෙක්පත් ලබාගන්නා අවස්ථාවේදී ඇලෝසියස්ට සම්බන්ධ සමාගමකින් ඒවා නිකුත් වූ බව දැන සිටියේ නම් නොගන්නා බවයි. කතානායක හෝ බෞද්ධ මහනායකයන් කියන්නේ නම් පමනක් එම මුදල් පුන්‍යායතනයකට දීමට සුදානම් බව සේනසිංහ කියා ඇත්තේ පව් සෝදාගැනීමේ බලාපොරොත්තුවෙන් විය යුතුය.

උසාවියේ නම හෙලිවීමට පෙරම ඇමති සරත් ෆොන්සේකා තමන්ට ද ඇලෝසියස් ගෙන් රුපියල් ලක්ෂයක් ලැබුනු බවත් ඒවා ඒ අවස්ථාවේම තමන් සමග සිටි අපේක්ෂකයන් කිහිප දෙනෙකුට දුන් බවත් කීවේය.

තමන්ගේ ද පාර්ලිමේන්තුවේ ද නම කැතවීමට ඉඩ තිබෙන නිසා බැඳුම්කර වාර්තාව ලබාගෙන “118දෙනාගේ” නම් හෙලිකිරීමට කතානායකවරයා ක්‍රියා කල යුතුයයි තවත් මන්ත්‍රීන් පිරිසක් මොරදෙන්නට පටන්ගෙන ඇත. කථානායක ගිය සතියේ ප්‍රකාශ කලේ “118දෙනාගේ” නම් ලැයිස්තුවක් ඇති බවට කෙරුනු කතාව බොරුවක් බවත් තමන් අතට පත්වන තොරතුරු පාර්ලිමේන්තුවට ලබා දෙන බවත් ය.

වසරකට අධික කාලයක් තිස්සේ ඇදී යන ලංකාවේ විශාලතම මුල්‍ය මගඩිය පාලක පන්තියේ සහ ධනපතියන්ගේ වංචාකාරී ලාභ ගැරීම් අතර සම්බන්ධතාවය හෙලිදරව් කල වෙනත් උදාහරනයක් නැති තරම්ය. මුල්‍ය මගඩියේ ප්‍රධාන විත්තිකරුවකු වී සිටින අර්ජුන මහේන්ද්‍රන් සහ ඇලෝසියස් අතර ඥාතිත්වය දන්නා පසුබිමක් තුල මහ බැංකුවේ අධිපති තනතුර ඔහුට ලබාදීම සහ බැඳුම්කර මිලදී ගැනීම සඳහා එතෙක් පැවති ලන්සු ක්‍රමය වෙනස් කිරීමට මහබැංකු අධිපති ට උපදෙස් දීම පිලිබඳව පසුගිය නොවැම්බරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසම ඉදිරියට කැඳවනු ලැබුනි.

ඊට මාස දෙකකට පෙර, ඇලෝසියස් සමඟ මූල්‍ය සම්බන්ධතා පැවැත්වූ බවට එලිදරව් වූ එවක විදේශ ඇමති රවී කරුනානායකට සිය තනතුරෙන්ම ඉල්ලා අස්වීමට බලකෙරුනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ “ඒකාබද්ධ විපක්ෂයේ” මන්ත්‍රීයෙක් දෙන්නෙක් ආන්ඩුවට සම්බන්ධ සගයන්ගේ නම් හෙලිදරව්ව ඩැහැ ගැනීමට තැත් කරති. එහෙත් ඔවුන්ගෙන් වැඩිදෙනා සීරුවෙන් අඩිතබන්නේ තමන්ගේ නම් ද අගුකොන්වල ඇතිබව දන්නා නිසාය.

කෙසේවෙතත්, මහබැංකු මගඩියට තබා වෙනත් දුෂන හා වංචා වලට සම්බන්ධ ධනපතියන්ගේ හා එහි ඒජන්ත පාලකයන්ගේ සියලු තොරතුරු මහජනයාට ධනපති පන්ති පාලනය යටතේ නම් කිසි දා දැන ගන්නට ලැබෙනු නැත.

ජයසේකර සිය පාර්ලිමේන්තු කතාවේදී සහ ඉන් පසුව පෙනී සිටි මාධ්‍ය සාකච්ඡා වලදීත් පැවසූවේ ප්‍රාදේශිය සභා මැතිවරනවල සිට ජනාධිපතිවරනය දක්වාම ඡන්ද අපේක්ෂකයන්ට ව්‍යාපාරිකයින්ගෙන් “ආධාර” ලැබීම හා ලබා ගැනීම සාමාන්‍ය දෙයක් බවයි. “ලංකාවේ දේශපාලනය කෙරෙන්නේ ඒ ආකාරයට” යැයි කියමින් ඔහු පිලිගත්තේය. සේනසිංහ හා ෆොන්සේකා ද මාධ්‍ය සාකච්ඡාවලදී මේ හා සමාන ප්‍රකාශ කලහ. ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ ලෙසට පාරම්බාන පාර්ලිමේන්තුව සැදී ඇත්තේ මෙවන් මන්ත්‍රීයන්ගෙනි. මේ “ආධාර” ව්‍යාපාරිකයන් විසින් දෙන අල්ලස් ය.

ඉතා දියනු ප්‍රජාතන්ත්‍රවාදය තුල පවා “පාර්ලිමේන්තුව කොටස් වෙලඳපොලට හා බැංකුකාරයන්ට යටත්ව පවතී” යයි ලෙනින් පාර්ලිමේන්තුව වන්දනා කරන්නට එරෙහිව පෙන්වා දුන්නේය. ධනපතිවාදය, මුල්‍ය කතිපයාධිකාරයේ ග්‍රහනය යටතේ දූෂනයෙන් කුනුවී බරපතලම අර්බුදයට මුහන දී ඇති තතු තුල මහා ධනපති රටවලත් පසුගාමී රටවලත් ධනේශ්වර පාලනයේ සියලු සංස්ථා අරටුවටම ජරාජීර්නවී ඇත. කම්කරුවන්ට තරුනයන්ට හා දුගීන්ට අනේකවිධ පොරොන්දු දී බලයට එන පාලකයන් මහා ව්‍යාපාරිකයන්ගේ අතකොලුය.

මෙය ධනපති පන්ති පාලනය මුලුමනින්ම අයථාභාවයට පත්ව තිබෙන බව පෙන්නුම් කෙරෙන එක් සාධකයකි.

ධනපති පන්ති පාලනයට පන පිඹීම හා එය රැක ගැනීම දේශපාලන කර්තව්‍ය බවට පත්කරගෙන ඇති ජනතා විමුක්ති පෙරමුන ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත්තවුන්ගේ ලැයිස්තුව එලියට ගැනීමේ උද්ඝෝෂනයේ පෙරමුන ගෙන සිටියි. ඔවුන්ට අනුව ධනපති ක්‍රමය හා පන්ති පාලනය ලේ හා කුනු සෝදා පිරිසිදුකර පවත්වා ගැනීම මහජනයා ඉදිරියේ ඇති එකම විකල්පයයි.

කම්කරුවන් කල යුත්තේ මෙම ප්‍රෝඩාව පිලිකුලෙන් බැහැර කර, ගම්බද හා නගරබද දුගීන් ද තරුනයන් ද තමන් වටා රැලිකර ගනිමින් තමන්ගේ බල සංස්ථා ලෙස සෝවියට් සභා ගොඩනගාගෙන, ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කිරීමයි.

Share this article: