ඒකාධිපති පාලනයක් සඳහා බෞද්ධ සංස්ථාපිතය උඩගෙඩි දෙයි

මිනූෂ ප්‍රනාන්දු විසිනි, 2018 ජූනි 28

පසුගිය සතියේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නිවසේ පැවති බෞද්ධ උත්සවයකදී, බෞද්ධ සංස්ථාපිතයේ ඉහල ධුරයක් හොබවන වෙඬරුවේ උපාලි භික්ෂුව, “හිට්ලර් කෙනෙක් වෙලා” හෝ “මිලිටරි පාලනයක්” ගෙනවිත් හෝ “රට හදන” ලෙස ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටිමින්, ඒකාධිපති පාලනයක් සඳහා වන බෞද්ධ සංස්ථාපිතයේ උත්සුකය පල කලේය.

ඒකාධිපති පාලනයක් වෙනුවෙන් බෞද්ධ සංස්ථාපිතය පෙනී සිටි ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 1980 දී 180,000ක් රජයේ සේවකයන් දොට්ට දැමීමට සහ වසර තිහකට ආසන්න කාලයක් පුරා වර්ගවාදී යුද්ධය කරගෙන යාමට ඔවුහු අනුබල දුන්හ. එපමනක් නොව, 1988-1989 සමයේ 60,000 ක තරුනයන් මරා දැමීමට යොදා ගැනුනු ජේ.ආර්. ජයවර්ධන ගේ 1978 ව්‍යවස්ථාව වෙනස් නොකර එලෙසම පවත්වාගෙන යන ලෙසට ඉල්ලමින් බෞද්ධ භික්ෂූන් විරෝධතා දැක්වූයේ මීට වසරකටත් වඩා අඩු කාලයකට පෙරය.

වැඩවසම් උරුමයන්ගෙන් අනූන ප්‍රතිගාමී බෞද්ධ සංස්ථාපිතය, සූරාකෑමේ පද්ධතිය මත යැපෙන සහ එහි අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින ධනපති පන්ති පාලනයේම කොටසකි. එහි ප්‍රධාන භික්ෂු පාර්ශ්ව දෙකෙන් එකක් වන අස්ගිරි පාර්ශ්වයේ අනුනායක උපාලි භික්ෂුවගේ මෙම කැඳවුම හරහා ප්‍රකාශයට පත්වන්නේ, පුපුරා යමින් තිබෙන ආර්ථික දේශපාලනික හා සමාජයීය අර්බුදයන් විසින් ධනපති පන්ති පාලනය බිඳ හෙලා තම වරප්‍රසාද අහිමි කරතැයි යන භීතියෙන් පෙලෙන බෞද්ධ සංස්ථාපිතය, පාලක පන්තියේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් වන ඒකාධිපති පාලනයක් වෙනුවෙන් පල කරන සහාය යි.

තම ජීවන කොන්දේසි වලට හා ඊට ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන්, තරුනයන් සහ ශිෂ්‍යයන් ගෙනයන අරගල විසින් පාලක පන්ති අර්බුදය වඩාත් තීව්‍ර කරමින් තිබේ. ක්ෂේත්‍ර ගනනාවක් පුරා පැතිරී මෙම නොසන්සුන්තාවය, දුම්රිය, ජල සම්පාදන සහ මේ සතිය වන විට තැපැල් සහ විදුලි සංදේශ කම්කරුවන් හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර එකකට පසු එකක් වශයෙන් පුපුරා ගියේ යන්තම් මාස දෙකකටත් අඩු කාලයක් තුලය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කප්පාදු මගින් මෙම අර්බුදය වඩාත් ගැඹුරු වෙන බව දන්නා පාලක පන්තිය, ඒකාධිපති පාලනයකින් තොරව එයට මුහුන දිය නොහැකි බවට ගනන් බලයි.

ඒකාධිපති පාලනයක් සඳහා වන භික්ෂූන්ගේ නවතම කැඳවුම, 2020 ජනාධිපතිවරනයේදී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමේ විභවයක් ඇති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කෙරී තිබීම අහම්බයක් නොවේ. ඔහු බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන සහ වර්ගවාදී කොටස් ධනපති පාලනය සඳහා භාවිතා කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට වාර්තාවකට හිමිකම් කියන මිලිටරියේ හිටපු ඉහල නිලධාරියෙකි. මහින්ද රාජපක්ෂ සමයේ දෙමල ජනතාවට එරහිව ගෙන ගිය වර්ගවාදී යුද්ධයේ දී ආරක්ෂක ලේකම් ලෙස ප්‍රමුඛතම කාර්යය භාරයක් ඉටු කිරීම සහ ඊට සමගාමීව අර්ධ - මිලිටරි බලකායන් යොදා ගනිමින් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩීම සම්බන්ධයෙන් ඔහු කුප්‍රකට ය.

කොලඹ නගරය මූල්‍ය හා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් මෙන්ම සංචාරක පුරවරයක් කිරීම සඳහා පැල්පත් 60,000 ක් විනාශ කොට දහස් ගනන් දුගී පවුල් පලවා හැරීමට කටයුතු කිරීම, 2011 කටුනායක නිදහස් වෙලඳ කලාපයේ විරෝධතා දැක්වූ කම්කරුවන්ට පහරදී එක් අයෙකු ඝාතනය කොට විශාල පිරිසකට තුවාල සිදුකිරීමට පොලිසිය මෙහෙය වීම, තෙල් මිල ඉහල දැමීමට එරහිව විරෝධය පෑ හලාවත ධීවරයන්ට පොලිස් විශේෂ කාර්ය බලකාය ලවා පහර දී එක් අයෙකු ඝාතනය කිරීම, රතුපස්වල පරිසර දූෂනයට එරෙහි විරෝධතාවක් බිඳ දැමීමට මිලිටරිය මෙහෙයවා තරුනයන් තිදෙනෙකු මරා දැමීම සහ තවත් බොහෝ පිරිසකට තුවාල සිදු කොට ඇතැමුන් ආබාධිත තත්වයට පවා පත් කිරීම වැනි දීර්ඝ කම්කරු පන්ති විරෝධී වාර්තාවකට ඔහු හිමිකම් කියයි.

ඔහු දැනටමත් ෆැසිස්ට් පන්නයේ ප්‍රකෝටිපති ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් වැනි අය සහ අනෙකුත් “අසම්ප්‍රදායක” දේශපාලන නායකයන් කෙරහි සිය ප්‍රසාදය පලකරමින් තමන් ස්ථාපිත කිරීමට අදහස් කරන පාලන තන්ත්‍රය ගැන ඉඟි කොට ඇත.

කෙසේවෙතත් උපාලි භික්ෂුවගේ ඉල්ලීමට කම්කරුවන්, තරුනයන් සහ ශිෂ්‍යයන් අතරින් එල්ල වූයේ දැඩි විරෝධයකි. සමාජ ජාලා වෙබ් අඩවි ඇතුලු සිය අදහස් ප්‍රකාශ කිරීමට හැකි සියලුම මාධ්‍යන් සහ ආකාර හරහා ඔවුහූ සිය විරෝධය පල කලහ.

කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ එම විරෝධය ගසා කෑමට වහා ඉදිරියට පැනගත් ජනාධිපති සිරිසේන පැවසුවේ “ආපු පාර වරද්දාගෙන වලකට” නොවැටෙන ලෙසය. “හාමුදුරුවනේ සමාවෙන්න” යැයි ආරම්භයේදීම ප්‍රකාශ කරමින්, බෞද්ධ සංස්ථාපිතය සමග ගැටුමකට නොයන සේ සිය මැදිහත් වීම සිදු කිරීමට ජනාධිපතිවරයා ප්‍රවේසම් විය.

අගමැති වික්‍රමසිංහද සිරිසේන ගත් පියවරම අනුගමනය කරමින්, තමන් සිටින ස්ථානයක කවුරුන් හෝ “ඒකාධිපතිත්වයක් වෙනුවෙන් කතා කලා නම් තමන් ඒ මොහොතේම ඊට විරුද්ධ වෙන” බව ප්‍රකාශ කලේය. ඒ එය “බෞද්ධ ඉගැන්වීම් වලට” එරෙහි නිසා යැයි සඳහන් කරමින්, තමන්ද බෞද්ධ විරෝධී නොවන වග සහතික වෙමිනි.

සිරිසේනට මෙන්ම වික්‍රමසිංහටද ඒකාධිපති පාලනයක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැත. ඔවුන්ගේ මේ උත්සාහය ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනයකට එරෙහිව මහජනතාව අතරෙන් නැගී ආ විරෝධතාවය රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන කන්ඩායමට එරෙහිව පිහිටුවීමටය.

1994 සිට පත්වූ සෑම ආන්ඩුවක් මෙන්ම සිරිසේන - වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රධානීහූද බලයට පැමිනීමට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කොට “ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක්” ගෙන එන බවට පූච්චානම් දෙඩවීය. එහෙත් ඔවුන් තවමත් ත්‍රස්ත විරෝධී පනත වැනි අතිශය රුදුරු ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් පවා සිය පාලන පවත්වාගෙන යාම සඳහා භාවිතා කරමින් සිටියි.

අනෙක් අතට උපාලි භික්ෂුවගේ ප්‍රකාශය මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම, සිරිසේන - වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි මහජන විරෝධය, වාර්ගික මාවත් ඔස්සේ පීලි පන්නමින්, භික්ෂූන් ප්‍රමුඛ අන්ත දක්ෂිනාංශික දේශපාලන ව්‍යාපාරයක් පිටුපස ගාල් කිරීමට ගත් දැනුවත් උත්සාහයකි.

මෙම ප්‍රකාශය සිදුකල උත්සවය මුලුමනින්ම පුද්ගලික උත්සවයක් වන අතර එවැනි උත්සවයක් ආවරනය කිරීම සඳහා ආරාධනා ලබන මාධ්‍ය තෝරා බේරා කැඳවන පසුබිමක මෙම ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් වීම උත්සවය සංවිධානය කල පුද්ගලයන්ගේ අනුදැනුමකින් තොරව සිදුවීමේ හැකියාව ඉතා අඩුය.

කෙසේ වෙතත් ප්‍රකාශයට එරහිව නැගී ආ දැවැන්ත මහජන විරෝධය හමුවේ සිය උත්සාහය ආපසු කැරකී එන බව දැක භීතියට පත්වූ ගෝඨාභය රාජපක්ෂ සමග එකට සිටගෙන සිටින අන්ත වර්ගවාදී කොටස්, උපාලි භික්ෂුවගේ ප්‍රකාශයට සුදු හුනු ගෑමට, යුක්ති යුක්ත කිරීමට, වෙනත් ආකාරයෙන් අර්ථ නිරූපනය කිරීමට සහ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තම කන්ඩායමට ඇති වගකීමෙන් කර ඇරීමට ඉදිරියට පැනගත්තේය.

ප්‍රකාශය සිදුකල භික්ෂුවම පසුව මාධ්‍ය වෙත යොමු කල ලිපියකින් පැහැදිලිකර තිබුනේ තමන් “හිට්ලර් මෙන් මිනී මරමින් මිලේච්ඡ පාලනයක් කලයුතු බවක්” අදහස් නොකල බවයි. එහි අර්ථය වන්නේ හිට්ලර් යනු “මිනීමරු” සහ “මිලේච්ඡ පාලනයක්” ගෙනගිය කෲර ආඥාදායකයෙකු බව දැන දැනම “හිට්ලර් කෙනෙක් වෙලා” හෝ “රට හදන” ලෙස උපාලි භික්ෂුව ගෝඨාභය රාජපක්ෂට කැඳවුම් කර ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ 2020 ජනාධිපති අපේක්ෂකත්වයට ගෙන ඒමේ ප්‍රධාන කසකරුවෙකු වන දයාන් ජයතිලක “තමන්ට මෑත කාලීනව අසන්නට ලැබුනු භයානකම සහ ලජ්ජා සහගත ප්‍රකාශය” මෙය බව සහ “ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් දරන බවක් හෝ එම අදහස් පිලිපදින බවක්” තමා නොපවසන බව සඳහන් කරමින්, තමන් සහය දෙන දේශපාලන ව්‍යාපාරයේ ප්‍රතිගාමිත්වය වසන් කිරීමට උත්සාහ කොට තිබුනි.

ව්‍යවස්ථාව විසින් ජනාධිපති ධුරයට තරඟ කිරීමේ වාර ගනන දෙකකට සීමා කෙරී ඇති පසුබිමක, සිය සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ හට 2020 ජනාධිපතිවරනයේදී සහාය පල කිරීම එක් විකල්පයක් ලෙස සැලකීමට බල කෙරී ඇති මහින්ද රාජපක්ෂ “ඇතැමුන් හිමි නමගේ ප්‍රකාශය හරිහැටි තේරුම් නොගෙන සංඝරත්නයට අපහාස කරනවා යැයි” ප්‍රකාශ කරමින් ඒකාධිපති පාලනයක් වෙනුවෙන් වූ සැලසුම්, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයෙන් මුවා කිරීමට තැත් කලේය.

ගෝඨාභය රාජපක්ෂද සිය සොයුරාගේ ප්‍රකාශය සනාථ කරමින් මාධ්‍යයට පවසා තිබුනේ හික්ෂුවගේ ප්‍රකාශය “හරි හැටි තේරුම් නොගත් අය” එම ප්‍රකාශය විවේචනය කරන බවයි.

රාජපක්ෂ සොහොයුරන් ගේ වංචනික කතා වලට ප්‍රතිකූලව උපාලි භික්ෂුවගේ ඉල්ලීමෙන් ප්‍රකාශයට පත් වනුයේ කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි ආඥාදායක පාලනයක් සඳහා පාලක පන්තිය ගෙනයන වැඩකටයුතු වලට පිටුබලය දීම සඳහා බෞද්ධ සංස්ථාපිතයේ කොටස්වල පවත්නා උත්සුකයයි.

Share this article: