ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ලමුන් විසිදෙනෙකු මරනයට පත්වෙයි: සෞඛ්‍ය සේවා කප්පාදුවේ සෘජු ප්‍රතිඵලයක්

තුෂර සේනානායක විසිනි, 2018 ජූනි 10

මේ දිනවල ශ්‍රී ලංකාවේ දකුනු පලාතේ පැතිර යන වසංගත රෝග තත්ත්වය නිසා වයස අවුරුදු දෙකට අඩු දරුවන් 20 කට වඩා මරනයට පත්වී ඇත. ගාල්ල කරාපිටිය රෝහලේ දී මියගිය මෙම ලමුන් සියලු දෙනා ම පැමින ඇත්තේ මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලිනි.

ශ්වසන රෝගයක් වන මෙය වයස් භේදයක් නොමැතිව පැතිරෙන අතර වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට මාරාන්තික ය. අනෙක් වයස් සඳහා බරපතල සංකූලතා ඇති කරනු ලබයි. මෙය බොහෝ දුරට ඉන්ෆ්ලුවෙන්සා (වෛරස් රෝගය) විය හැකි වුවද, ඇඩීනෝ වෛරසය වැනි වෙනත් වෛරස් වලින් ද, වෛරස් ආසාදනයේ එන දෙවන අදියර වන නියුමොකොකල් (pneumococcal) හෝ සෙබ්සොඑල්ලා (cebsoella) වැනි බැක්ටීරියාවන් ගෙන් ද මරන සිදු වී ඇති බවට සාධක හමු වී ඇත. නිශ්චිතව වසංගත තත්ත්වයකින් මරන සිදුවන්නේ දැයි යන්න පිලිබඳ ව නිගමනයක් හෝ එකඟතාවක් මේ වනතුරු නොමැත.

මරන පරීක්ෂන වාර්තා වලට අනුව, දරුනු ලෙස පෙනහලු නියුමෝනියා තත්ත්වයෙන් හානි සිදු වී ඇත. එසේ පෙනහලු හානි වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා පැමිනීම ප්‍රධාන රෝග ලක්ෂනය යි. දැනට තත්ත්වය පාලනය වී ඇතැයි බලධාරීන් කරන ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යයකි.

මේ දිනවල කරාපිටිය රෝහලට පැමිනෙන හා රෝහල් ගත වන සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාවේ පහල යාමක් සිදු වී ඇත. රෝගය තමාටද වැලැඳෙතැයි යන භීතිය නිසා වෙනත් රෝගාබාධ සඳහා පැමිනෙන රෝගීන් සංඛ්‍යවේ පහල යාම මෙයට හේතුවයි. නමුත් ශ්වසන රෝගීන්ගේ පැමිනීමේ අඩුවීමක් සිදු වී නොමැති බව, කරාපිටිය රෝහලේ වෛද්‍ය නිලධාරියෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කලේය.

දැඩි සත්කාර ඒකක වල පවතින ඇඳන් හිඟය හා අදාල උපකරන හිඟය ප්‍රධාන අභියෝගයක් බව ද ඔහු පැවසීය. එමනිසා ලමා රෝගීන් වැඩිහිටි දැඩි සත්කාර ඒකක වලට හා වෙනත් දුර බැහැර රෝහල් කරා මාරු කර යැවීමට සිදු වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කලේ ය.

දැනට සාදා නිම කර ඇති කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය, උපකරන හා පුහුනු මානව සම්පත් හිඟය නිසා විවෘත කල නො හැකි ව ඇත. එහි ඉහල මාලය විවෘත කර ගැනීමට පවා බලධරයින්ගේ ඇත්තේ ඇල්මැරුනු උනන්දුවකි. හුස්ම ගැනීමට අපහසු දරුවන් සඳහා අවශ්‍ය ෆ්ලෝ මීටර් වල හිඟයක් පැවැති අතර ඉල්ලුම් කල ප්‍රමානයෙන් සපයා දී ඇත්තේ අඩක් පමනකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවසුවේ ඉන්ෆ්ලුවෙන්සා සඳහා ලබා දෙන ටැමිෆ්ලු (Tamiflu) ඖෂධය අවශ්‍ය තරම් නොමැති බවයි. මෙය වැලැක්වීම සඳහා ඇති ඉන්ෆ්ලුවෙන්සා එන්නත දැනට ලබා ගත හැක්කේ පෞද්ගලික අංශයෙන් පමනි. එයින් රෝගය වැලැක්වීමේ ප්‍රතිශතය සියයට 40 ක් පමන වු වත්, එන්නත ලබා දුන් විට රෝගීන්ගේ බරපතල සංකූලතා, එන්නත ලබා නොදුන් රෝගියෙකුගේ සංකූලතාවන්ට වඩා අඩු බව වෛද්‍ය මතයයි.

මෙය වැලඳෙන රෝගීන් දින කීපයක් තුල අසාධ්‍ය තත්ත්වයට පත්ව, මියයන බැවින් රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ දී පුහුනු මානව සම්පත්, නවීන නිරීක්ෂන උපකරන හා හුස්ම ගැනීමට ආධාර වන ශ්වසන යන්ත්‍ර, ඉහල වටිනාකමින් යුත් ප්‍රතිජීවක හා ප්‍රතිවෛරස වැනි අත්‍යවශ්‍ය ඖෂධ තීරනාත්මක කාර්යභාරයක් ඉටුකරයි.

නමුත් දැවැන්ත නය බරින් ද ලෝක ආර්ථික අර්බුදයෙන් ද මිරිකී සිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ පිලිවෙත වන්නේ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කරනු වෙනුවට දැනට ඇති පහසුකම් ද කප්පාදු කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධානය කර සිටින්නේ රාජ්‍ය වියදම් දැවැන්තව කප්පාදු කරමින් 2020 වනවිට රටේ අය-වැය පරතරය දල ජාතික නිශ්පාදනයෙන් සියයට 3.5 දක්වා අඩු කරන ලෙසයි.

මෙවන් මාරාන්තික වසංගතයක් වලක්වා ගැනීම සඳහා අවශ්‍ය අවම සෞඛ්‍ය පහසුකම් පවා නොමැතිවීම සම්බන්ධයෙන් වැඩෙන මහජන විරෝධය හමුවේ ආන්ඩුවේ මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරීහු සැබෑ මරන සංඛ්‍යාව වසන් කරමින් මාධ්‍යයට අසත්‍ය ප්‍රකාශ කරති.

රෝගය පැතිරීම ස්වභාවිකව පාලනය වූ කල්හි, එය ඔවුන්ගේ ජයග්‍රහනයක් ලෙස හෙට දිනයේ දී ඔජ වඩවනු ඇත. නමුත් ඊලඟ වසංගතය පැමිනි විට මරන සංඛ්‍යාව මීටත් වඩා වැඩිවනු ඇත.

Share this article: